වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ

අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ

ජෝති - මිල්ටන් - කරු - ගුණරත්න ගැන මතක

එච්. ආර්. ජෝතිපාල හා ජේ. ඒ. මිල්ටන් පෙරේරා එකම යුගයේ චිත්‍රපට ගායකයන් ලෙස ජනප්‍රියත්වයෙන් ඉහළටම ගිය දෙදෙනකි. මේ දෙදෙනා එක්ව ද යුග ගීත කිහිපයක් ගයා තිබුණි. එහෙත් ඔවුන් චිත්‍රපටයක අවසන් වරට ගැයූ ගීතය අපේ රසිකයන්ට අසන්නට නොලැබීම අවාසනාවකි. මේ ගීතය පටිගත කරනු දැක ගැනීමේ භාග්‍ය මට ලැබුණි. ඒ අසූව දශකයේ මුලය. චිත්‍රපට අධ්‍යක්ෂ ජෝ මයිකල් චිත්‍රපටයක් පටන් ගන්නා විට ඒ ගැන මගෙන් අදහස් ගැනීම පුරුද්දක්ව තිබුණි.

දිනක් ජෝ මට තමා අධ්‍යක්ෂණය කරන අලුත්ම චිත්‍රපටයේ කතාව කීවේය. ඊට පසු එහි ගීතමය අවස්ථා ගැන ද ඔහු කතා කළේය.

'අපි ජෝතියි, මිල්ටනුයි කියන යුග ගීතයක් යොදාගමු' මා කී විට ජෝ කීවේ තමා ජෝති ගයන තවත් යුග ගීතයක් ගැන ද සිතා සිටින බවය.

'මරු අදහස මට ඕක කල්පනාවට ආවේ නෑ. අපි ඔය අදහස ජෝර්ජ් ලෙස්ලි රණසිංහට කියලා ගීතයක් ලියා ගම්මු' ජෝ කීය.

එවලේම අපි ජෝගේ මෝටර් සයිකලයෙන් ලංකාදීප පත්‍ර කාර්යාලයට ගියෙමු. ඒ පැරැණි ටයිම්ස් මන්දිරයටය.

කතාවත් ගීතයේ පසුබිමත් ඇසූ ජෝර්ජ් ලෙස්ලි එය තමාට ලැබුණු දුර්ලභ අවස්ථාවක් බව කීවේය. චිත්‍රපටයේ සංගීිතය සඳහා ජෝ මුල සිටම තිරණය කර තිබුණේ ප්‍රේමදාස අතුකෝරාළවය. රෝලන්ඩ් අමරසිංහ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා වූ ඔහු 'කේසර සිංහයෝ' චිත්‍රපටයට නිර්මාණය කළ 'සන්සුන් රුවන් හද මන්දිරයේ' (ගායනය ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ ශ්‍රීමතී තිලකරත්න) ගීතය අතිශයින්ම ජනප්‍රියව තිබුණි. ගිජු ලිහිණියෝ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ද අතුකෝරාළය.

ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ නම 'ධීවර සම්පත්' ය.

'ඒක ගැළපෙන්නේ නෑ. හරියට වාර්තා චිත්‍රපටයක නමක් වගේ. ධීවර සංස්ථාවේ වැඩක් කියලත් හිතාවි' මම සිනාසෙමින් කීවෙමි. එවකට ජෝ සේවය කළේ ධීවර සංස්ථාවේය.

'අපි සින්දු රෙකෝඩිං කරලා පස්සේ නමක් හිතමු' ඔහු කිවේය.

එදා ලංකා චිත්‍රාගාරයේ ගීත පටිගත කිරීමට නියමිතව තිබුණි. මුලින්ම පටිගත වූයේ ජෝති සහ මිල්ටන් කියන ගීතයකි. එය රචනා කර තිබුණේ ජෝර්ජ් ලෙස්ලිය. මේ ගීතය චිත්‍රපටයට පැමිණියා නම් එය නිසැකවම ජනප්‍රියවීමට තිබුණි. දෙවන ගීතය යුග ගීතයකි. ජෝතිත්, මගේ බිරිඳ දමයන්ති ජයසූරියත් එය ගායනා කළහ. මගේ මතකය හරි නම් ඒ ගීතය රචනා කළේ සිරිල් ඒ. සීලවිමලය. මේ ගීතය පටිගත කිරීමට පෙර මිල්ටන්, ජෝතිට කොඳුරා මෙසේ කීවේය.

'මචං මේකට ඩොලැක් පාරක් ආව නං තවත් නැගලා යනවා'

ජෝතිපාල එය අනුමත කොට සංගීත අධ්‍යක්ෂක ප්‍රේමදාස අතුකෝරාළට කීවේය. ඔහු එය හිස් මුදුනින් පිළිගත්තේය.

'ඩොලැක් එකක් නං හොයා ගතෑකි, කවුද ගහන්නේ'

'මම ගහන්නම් මාස්ටර්' මිල්ටන් සිය කැමැත්තෙන්ම කීවේය.

මිල්ටන් දක්ෂ තබ්ලා හා ඩොලැක් වාදකයෙක් බව ජෝති මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයා ද දැන සිටියේය. එපමණක් නොව මිල්ටන්ගේ පියා වූ පොඩි අප්පුහාමි ද එදා ටවර් යුගයේ දක්ෂතම තබ්ලා වාදකයෙකි. එකල ඔහු ප්‍රකටව සිටියේ 'තබ්ලා පොඩි අප්පුහාමි' නමිනි. ඔහු කොහෙන්දෝ ඩොලැක්කියක් සොයා ගත් පසු මිල්ටන් ඩොලැක් එක වාදනය කිරීමෙන් ඒ ගීතයට අනුප්‍රාණයක් ලැබුණි. ඒ ගීතය ද අද අපට අසන්නට නැත. ඒ ගීතය චිත්‍රපටයට ඇතුළත් වූවා නම් එය ජනප්‍රිය වන්නේ 'සන්සුන් රුවන් හද මන්දිරයේ' ගීතය මෙනි. අවාසනාවකට මේ චිත්‍රපටයේ වැඩ නතර විය. එදා මිල්ටන් හා ජෝති කුහකත්වයෙන් තොරව එකිනෙකාට සහාය වීම සංගීත ක්ෂේත්‍රයේ නොදැකිය හැකි දුර්ලභ සිදුවීමකි. මේ ගායකයන් දෙදෙනා එකල විහාර මහා දේවි උද්‍යානයේ වාර්ෂිකව පැවැත් වූ ප්‍රසංගය එදා සංගීත රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වූහ.

එකල මිල්ටන්ට ප්‍රමාණයෙන් විශාල මෝටර් රථයක් තිබුණි. සිරුරින් පුංචි පුද්ගලයකු වූ මිල්ටන් මේ මෝටර් රථය පදවාගෙන යන විට බලා සිටින අයට සිතෙන්නේ රියදුරකු නැති වාහනයක් පාරේ යන බවය.

දිනක් ජෝතිපාල හමුවීමට මාලිගාවත්තේ නිවාස සංකීර්ණයේ ඔහුගේ නිවසට මම ගියෙමි. එදා ඔහු සිටියේ යටට අඳින කලිසම පිටිනි.

'මොකද ජෝති අයියා මේ' මම ඇසුවෙමි.

'දන්නේ නැද්ද? අද අහිංසක කෙනෙක් ආවා අඳින්න කිසි ඇඳුමක් නෑ කියලා. මම ගෙදරට අඳින ඔක්කොම සරම්, කමිස එයාට දුන්නා. මම රෑට නිදා ගන්නේ මේ දොර රෙද්ද ඇඳගෙන' ජෝති සිනාසුණේය.

ඒ ජෝතිගේ හැටිය. ඔහු දකුණු අතින් දුන් දේ වම් අත දැන සිටියේ නැත.

මීට වසර 60 කට පෙර ජෝති හා මිල්ටන් ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් 'අනංග වාදයක' පැටලුණේය. ජෝති 'අනංගයා මං' යයි ගීතයක් ගැයූ අතර 'අනංගයා මහ පෙම් හොරා' යයි මිල්ටන් පිළිතුරු ගීයක් ගැයුවාය. ඒ ගීතයට එරෙහිව ජෝති 'පෙම්වතුන්ට සරණේ අනංගයා මමනේ' යයි ගැයීය. එකල බොහෝ දෙනෙකු හිතුවේ ජෝති - මිල්ටන් අතර භේදයක් තිබූ බවය. මේ වාදය නතර වුණේ ජෝති මිල්ටන් ගැයූ 'අපි සන්තෝසෙන් ඉන්නේ, දුක ශෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ' ගීතයෙනි.

මිල්ටන් පසු කලෙක මා හඳුනා ගත්තේ අප මිත්‍ර ඒ. ඩී. විජේසිරි (ටයර් හවුස් හි හිටපු විධායක නිලධාරියෙකි) නිසාය. මිල්ටන් හා විජේසිරි අසල්වැසියන් වූහ. එදා අනංගවාදයට ජෝති වෙනුවෙන් ගීත රචනා කළේ කරුණාරත්න අබේසේකරය. මිල්ටන් වෙනුවෙන් කරුගේ බාල සොහොයුරෙකු වූ ගුණරත්න අබේසේකරය. වාදය කෙළවර වූයේ ගුණරත්නයන් ලියූ 'අයියා මල්ලී' ගීතයෙනි. අප ආදරයෙන් අමතන 'කරු අයියා' එකල අපේ ලෝකයේ වීරයෙක් විය. ළමා පිටියේ සරස්වතී මණ්ඩපය මෙහෙය වූ කරු අයියා දැක ගැනීමට මම සිහින මැව්වෙමි. මාත්, කුලරත්න ආරියවංශත් සරස්වතී මණ්ඩපයට කැඳවා ගෙන ගියේ ආනන්දයේ අප සමඟ ඉගෙන ගත් ප්‍රේමකීර්ති ද අල්විස්ය. කරු අයියා ගැන මුලින්ම සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ලිපියක් ලිව්වේ ද මා පාසල් යන කාලයේදීය. ඒ 1967 වසරේ 'විසිතුර' සිනමා පුවත්පතටය. ඒ සඳහා මට අත හිත දුන්නේ විසිතුර කර්තෘ ආතර් යූ. අමරසේනය.

මා කරු අයියා ජීවමානව මුලින්ම දැක ඇත්තේ කුඩා කාලයේය. කරු අයියා පදිංචිව සිටියේ කුප්පියාවත්ත ජයසේඛරාරාමයට යාබද සැලැස්කි පෙදෙසේ (අද කරුණාරත්න අබේසේකර මාවතේ) 'සීගිරි' නිවසේය. මගේ ලොකු තාත්තා ජී. ඒ. තලගල මහතා මාලිගාකන්ද ආණ්ඩුවේ පාසලේ විදුහල්පතිවීම නිසා කුඩා කළ මා පාසල් ගියේ පාසලේ වූ ගුරු නිවාසයේ නැවතී සිටය. කුමක් හෝ හේතුවක් නිසා ලොකු තාත්තාගේ පුතා වූ නිහාල් තලගල සමඟ 'සීගිරි' නිවසට ගිය බව මතකය. හේතුව මතක නැත. එදා කරුණාරත්න අබේසේකරයන් මුල්වරට මට දැකගන්නට ලැබිණ. එවකට මගේ වයස අවුරුදු 12 ක් පමණ ඇත.

මා 'සරසවිය' පත්‍රයට බැඳුණු විට කරු අයියා ඉතා සමීපව ඇසුරු කිරීමට ලැබිණ. මම විශේෂාංග රැසක් ඔහු ගැන ලියූවෙමි. කරු අයියා ගීතයක් ලියනු මුල්වරට මා දුටුවේ 1972 වසරේදී පමණය. කේමදාස මාස්ටර්ගේ 'සංගීත මංජරියේ' දී හඳුනා ගත් සෝමපාල ලීලානන්ද (ගීත රචක, තිර නාටක රචක හා අධ්‍යක්ෂ) නිසාය. 'සදහටම ඔබ මගේ' චිත්‍රපටයේ බොහෝ දර දිය ඇද්දේ සෝමපාලය. ඔහු චිත්‍රපටයේ තිර නාටකය මෙන්ම ගීත ද රචනා කළේය. මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂවරයකු හා සරත් දසනායක සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස (දෙවන වරටත්) හඳුන්වා දුන්නේ ද සෝමපාලයන්ය. 1969 දී පමණ 'උදය' පුවත්පතේ මාධ්‍යවේදියකුව සිටි සෝමපාල එකල සිටම මගේ දැඩි මිත්‍රයෙක්ව සිටියේය.

'රන්ජිත් හවස වැඩක් නැත්නම් අපි කරුලගේ ගෙදර යමුද? අපේ ෆිල්ම් එකට කරු සින්දුවක් ලියනවා දසනායක හදපු තනුවකට' සෝමපාල දිනක් ඇසුවේය.

'මරුනේ මට ඒක සරසවියටත් ලියන්න පුළුවන්'

එදා හවස මම කරු අයියාගේ ගෙදරට ගියෙමි. සේන, මිල්ටන්, සෝමපාල හා දසනායක එහි පැමිණ සිටියහ. සරත් දසනායක හාමෝනියම් එකෙන් ගීතයේ තනුව වැයීය. චිත්‍රපටයේ ඒ ගීතයේ එන දර්ශනය අසා එය ලස්සන ප්‍රේම ගීතයක් බව සෝමපාල කීවේය. කරු අයියා තනුව දෙතුන් වරක් අසා සිගරට්ටුවක් දල්වා ගත්තේය. කඩදාසියක් සහිත ෆයිල් එකක් අතට ගත්තේය.

'අමර පෙම් ලතාවේ

රන් මලක් උදාවේ

අඳුන් සඳුන් රුව මැවේ

මමෝ මන්දිරේ'

කරු අයියා මොන තරම් විශ්ව කර්මයෙක්දැයි මට සිතුණි. ගීතයක් ලියනවාට වඩා තනුවකට වචන යෙදීම කොතරම් අමාරු වැඩක්දැයි එකල මම සිතුවෙමි. අප ආනන්දයේ උගනිද්දී විවේක කාලයේදී ප්‍රේමකීර්ති ද අල්විස් එකල ජනප්‍රියව තිිබූ හින්දි ගීතවලට සිංහල වචන යොදා අපූරු ගීත ලිව්වේ විනෝදයටය. ඒවා කොතරම් නිර්මාණාත්මකදැයි වැටහෙන්නේ දැන්ය. ප්‍රේමකීර්ති ඒ වන විට ප්‍රකට ගීත ලියා නොතිබුණි.

'සදහටම ඔබ මගේ' චිත්‍රපටයේ ඒ ගීතය එදා අතිශයින්ම ජනප්‍රිය වූහ. ගීත රචක තිස්ස ඩයස් දිනක් ජෝතිගේ කැසට් පටයක ගීත ගයන ශබ්දාගාරයකට රැගෙන ගියේය. එදා මට සංගීත අධ්‍යක්ෂක සරත් වික්‍රම හඳුනාගන්ට ලැබිණ. ජෝති 'මේ නොනිමෙන දිවි ගමනේ' ගීත ගැයූදා ජෝතිගේ නෙතට කඳුළු නැඟිණි. 'මට අම්මා මතක් වුණා. හෙට උදෙන්ම මේ ගීතය ගෙනිහින් අහන්න දෙන්න ඕනෑ' ජෝති කීවේය. මේ ගීතය රචනා කළේ තිස්ස ඩයස්ය. තිස්ස හා සරත් වික්‍රම කීවේ ද තමන්ට ද 'අම්මා' මතක් වූ බවය.

'කරු අයියා ගැන සඟරාවක් කරමුදැයි' සරසවියේ සගයෝ දිනක් කතා කරමින් සිටියෝය. කර්තෘ මාණ්ඩලිකයන් වූ ලක්ෂ්මන් වික්‍රමසිංහ, සෝමවීර සේනානායක, කුමාරදාස වාගීස්ට, රවීන්ද්‍ර විජේවර්ධන හා මාද එයට හවුල් විය. අපි කරු අයියා හමු වී මේ ගැන කත කළෙමු. අපි එක් එක් මාතෘකා යටතේ ලිපි ලිවීමට සැලසුම් කර ගතිමු. මා ලිව්වේ කරු අයියාගේ බිරිඳ ඉරාණි අක්කා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවය. එවකට පුංචි දිලීපට වයස අවුරුදු 10 ක් පමණ ඇත. මේ සඟරාවේ ඇතුළත ශීර්ෂ පාඨ අඳින ලද්දේ මා විසිනි. ප්‍රකාශකගේ ලිපිනය මගේ ගෙදර ලිපිනය වූ 285, ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ, කොළඹ 14 යන්නය. මේ සඟරාවේ නම 'කරු'ය. අලංකාර ලෙස අප අතින් නිම වූ මේ සඟරාව එදා ඉතා ඉක්මනින් විකිණී අවසන් විය.

කරු අයියාට අප තුළ වූයේ ගෞරවය මුසු ආදරයකි. එහෙත් ඊට වඩා අපට සමීප වූයේ ඔහුගේ සොහොයුරු ගුණරත්න අයියාය. ගුණරත්න අයියා මාව ඔහුගේ ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ කර ගත් අතර මම සෝමවීර සේනානායක ද එහි කැඳවාගෙන ගියෙමි. එහිදී මට ඉතා යොවුන් වියේ සිටි කොළඹ නාලන්දාවේ ශිෂ්‍යයන් වූ රොහාන් ශාන්ත බුලේගොඩ හා ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ හා රාජකිය විද්‍යාලයේ ශිෂ්‍ය සමන්ත හේරත් (දැන් මහාචාර්ය) හඳුනාගන්නට ලැබිණි. ඔවුන් තිදෙනාම වැඩ සටහනේ ලිපි කියවූහ.

ගුණරත්න අයියා අප සැමට ආදරය කළේ තම සොහොයුරන්ට මෙනි. ඔහු ග්‍රැමෆෝන් යුගයේ ද ළමා ගායකයකු ලෙස ගැයූ විරිදු තැටි මා අසා තිබුණි. ඒ අතරම ගුණරත්න අයියා රචනා කළ (අනංග වාදයේ ගීතවලට අමතරව) ගීත එකල ඉතාමත් ජනප්‍රිය විය. ඒවා අතර ජෝති ගැයූ 'රොබින් හුඩ් වගේ', 'කිරි ඉතිරේවා නව වසරේ', 'මගේ ආදරීට සම්පත සැප සතුට සදන්නම්', 'සැන්දෑවේ මං බලා සිටියා සුදා එනකං කියා' (මල්ලිකා කහවිට සමඟ) කැපී පෙනෙයි.

මට තවමත් ඉඳහිට කරු අයියා හා ගුණරත්න අයියා නිබඳව සිහිවේ. කරු අයියා 1983 වසරේද ගුණරත්න අයියා 1992 වසරේ ද ජීවිතයෙන් සමු ගත්හ. මේ දෙදෙනාගේ බලා සොහොයුරන් වූ කීර්ති හා රන්ජන් අප ආනන්දයේ සිටියදී අපට බාල ශිෂ්‍යයන්ය. .