වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




Editors's cut

ගී ලොව පිබිදූ විජය රාමනායක

බිංදුවෙන් පටන් ගෙන අහස ඇල්ලූ මිනිසුන් ගැන මගේ හිතේ ඇත්තේ ගෞරවයකි.එබැවින් ඔවුන් දුක දිනා ජය ගත් හැටි කියවන්නට මම හැම විටම ආසා කළෙමි.එම ඇල්ම කවදා ඇතිවූවක් දැයි මා නොදන්නා නමුත් ඔවුන් ගැන කියවන්නට පෙළැඹුණේ ළමා වියේ දී මා අතට පත් පොතක් නිසාවෙනි.මගේ මතකය නම් එම පොත මා ලද්දේ අහම්බයක් හැටියටය. පොතේ නම පිරුණු ලොවින් ය.ඒ වන විට මා කරුණා සේන ජයලත් සූරීන් ගේ පිරුණු හදක් කියවා තිබුණේ නැත.එහෙත් ඒ ගැන අසා තිබිණ.පිරුණු ලොවින් හමුවුණේ ඒ අතරය.එය මා අතට පත් වන විට සිතා සිටියේ එය පිරුණු හදක් සමාන කතාවක් හැටියටය.එහෙත් එයට පාදක ව තිබුණේ තඹ දොයිතුවක් ද නැතුව කොළඹ පැමිණ එය ඇල්ලූ මිනිසුන් ගැනයය.ඔවුන් සතුව තිබුණේ ආත්ම විශ්වාසය පමණී.ඒ කිසිවකු හෝ ස්වීප් ඇද ගත් මිනිසුන් නොවීය.ඔවුන් සතුව තිබුණේ අනන්ත අප්‍රමාණ ලෙස ජය ගැනීමේ ශක්තියයි.මේ ග්‍රන්ථය ට පාදක ව තිබුණේ එවකට ලේක් හවුසිය මගින් පළ කරන ලද ජනතා පුවත් පතට ඇතුළත් ව තිබුණ ලිපි මාලාවකි.මේ පොත ලියා තිබුණේ විජය රාමනායක නමැත්තෙකි.එයින් තවත් වසර කට පමණ පසු විජය රාමනායකගේ නම මා කියවන්නේ තරංගා කැසට් සමාගමේ අධිපති හැටියටය.තරංගා යනු ලංකාවට කැසට් ගී ව්‍යාපාරය හඳුන්වා දුන් ආයතනයයි.තමා විසින් ජීවිත අත්දැකීම් හෙළි කළ මිනිසුන් ගිය මග ගිය විජය ද එදා දුක දිනා ජය ගත් මගට පිවිසුනේ එහෙමය.

ඒ අවදිය වන විට මැද පෙරදිග ආදි රටවල සිට විදෙස් සේවා නියුක්තිකයන් ලංකාවට පැමිණෙන මුල්ම අවදියයි.ඔවුන් සතුව අනිවාර්යනේම පැවැති භාණ්ඩයක් වූයේ කැසට් යන්ත්‍රයයි.කැසට් යන්ත්‍ර ගෙනාවට සිංහල ගී ඇතුලත් කැසට් නොවීය.ඒ වන විට ගී තැටිය තිබුණේ ලොකු මිනිසුන්ගේ භාණ්ඩයක් හැටියටය. ගී තැටි යන්ත්‍රයක් තිබීම සරුසාර කමේ ලකුණක් විය.කැසට් යන්ත්‍රය ගී තැටිය අබිබවා ගීතය පොදු මහජනතාවගේ දේපළක් බවට පත් කළේය.අපේ මුල්ම කැසට් ගෙනා මිනිසුන් පට්ටා ගැසුවේ හින්දි සහ දෙමළ ගීතයන්ය.එය හරියට මෑතක් වන තුරු මෙරට ඩීවීඩී වෙළඳ පොළ විදෙස් චිත්‍රපට වලින් පිරුණු බඳු කාලයක් විය.

විජය රාමනායක ඒ අවදියේ ලේක් හවුස් ආයතනයේ පුවත්පත් කලාවේදියකු විය.තමා ලියූ ලිපි පෙළ ට පාදක වූ බොහෝ මිනිසුන් මෙන්ම දකුණු පලාතේ මිනිසකු වූ විජය අලුත් මාවතක් සොයා ගියේය.ඔහු ගේ අත ගැසුණේ මිනිසුන් අත රැඳී කැසට් යන්ත්‍රයටය.ඒ වන විට ගීතය පිළිබඳ ඒකාධිකාරය දරා සිටියේ ගුවන් විදුලියයි.කැසට් ගීතය මෙරටට හදුන්වා දෙන දවසේ ලාංකික ගීතයේ නව ප්‍රකාශන යුගයක තමා පුරෝගාමියකු වනු ඇතැයි විජය රාමනායක නොසිතන්නට ඇත.ඔහු සිය ව්‍යාපාරයට මුල පිරුවේ තරංගා නම යොදා ගනිමිනි.තරංග යනු තම පුතනුවන්ය.ඔහු විසින් ඉදිරිපත් කළ මුල්ම ගීත කැසට් පටය එනිටයිම් එනිවෙයාර්-මිල්ටන් නම්විය. පසුව එය සඳෙන් එහා නම් විය. ලංකාවේ මුල්ම කැසට් පටයට ගී ගැයූ ගායකයා ලෙස මිල්ටන් මල්ලවාරච්චි අභිෂේක ලැබුවේ එසේය. එහි කවර නිර්මාණය කළේ පේ‍්‍රම් දිසානායකය. මේ ගී කැසට් අලෙවි වූයේ දහස් ගණනින් නොව ලක්ෂ ගනනිනි.ඒ වන විට මෙරට ගී තැටි ව්‍යාපාරයේ යෙදී සිටි කිසිදු ව්‍යාපාරිකයෙක් හෝ ගී කැසට් පිළිබඳ සිතා සිටියේ නැත.ව්‍යාපාරය කෙතරම් අල්ලලා ගියා ද යත් මොනරා ලකුණ යෙදූ තරංගා ලේබලය යටතේ ගී නොගැයූ ගායක ගායිකාවන් නොසිටි තරම්ය.රට පුරා බෙදා හැරුණු තරංගා ගී මෙරට රසික ප්‍රජාවගේ නැණ දොල සපිරුවේය. අද මෙන් බැංකු පහසුකම් නොතිබූ එකල තරංගා ආයතනයට රටපුරා මුදල් ගලා ආවේ ගෝනි ගනන් වලිනි.කැසට් යන්ත්‍රය ද ගෙයින් ගෙට යන්නට පටන් ගත්තේය.එපමනක් නොව ලේක් හවුස් ආයතනය ඉදිරිපිටම ඔහුගේ ව්‍යාපාරික ස්ථානය විවෘත විණ

ගී පිළිබඳ ඉල්ලුම පමනක් නොව එය විශාල වෙළද පොළක් ද විය.කැසට් ව්‍යාපාරය තරගකාරි ඉසව්වට පිවිසුනේ එයින් පසුවය.ව්‍යාපාරය අරඹා වසර දෙක තුනක් ගතවන විට විජය රාමනායක මෙරට ජනප්‍රිය ව්‍යාපාරිකයක් විය. ඔහු වටා රැස්වුන පිරිස පුවත්පත් කලාවේදියා වටා රැස් වූ පිරිසම නොවීය.විජය රාමනායක ඉන් පසු හැරුනේ තම සිත් ගත් අලුත් ව්‍යාපාරයකටය.ඒ චිත්‍රපට නිෂ්පාදනයටය.ඒ අනුව විජය මුල් වරට නිපද වන්නේ විජය ධර්ම ශ්‍රී නිර්මාණය කළ ආරාධනා චිත්‍රපටයයි.එය විජය සහ විජය එකතුවේ විජය ග්‍රාහි නිර්මාණයක් ලෙස දැන්වීම් මගින් හඳුන්වා දෙනු ලැබිණ. ඒ විජය ධර්ම ශ්‍රී සහ විජය රාමනායකයි.විජය කුමාරතුංග එයට හවුල්වූයේ ගායනයෙනි.දමයන්ති ජයසූරිය සමග සිනහවකින් පුතුගේ මුවේ ගීත ය එම ගීතයයි.මෙම ගීතයේ රූප රාමු වල රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලිනී ෆොන්සේකා සමග රඟ පෑ දරුවා සැබෑ තරංගා විය.නැතහොත් විජය රාමනායකගේ පුත් තරංග රාමනායක විය.

ආරාධනා තිර ගත වන විට අප පාසල් සිසුන් ව්ය ආරාධනා මුල්ම දවසේ ආදායම පිරිනැමුණේ වෘත්තිය පත්‍ර කලාවේදීන්ගේ සංගමය වෙතට බැව් පිටුවක් පුරා පළ කෙරුණු ආරාධනා මුල් දින දැන්වීමේ තිබූ වග මට තවම මත.කය.ආරාධනා අති සාර්ථක චිත්‍රපටයක් විය.

හැමවිටම විජයට අවශ්‍ය වූයේ හොඳ යමක් නිර්මාණය කරන්නටය. අනතුරුව ඔහු අලුත් චිත්‍රපටයක් සඳහා තිර නාටකයක් තිස්ස අබේසේකර ලවා රචනා කරවන ලද්දේය.ඒ ලෙටිෂියා බොතේජු ගේ කඳු පාමුල නවකතාව ඇසුරිනි.මේ තිර නාටකය ලියවා ගෙන එය සුමිත්‍රා පීරිස් ලවා නිර්මාණය කරවන්නට ගිය ගමන කෙලවර වූයේ කලියුගය චිත්‍රපටය නිපදවීමේ කර්තවයට අත තබමිනි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ කලියුගය මෙන්ම යුගාන්තය සඳහා ද බර පැන දරන ලද්දේ විජය රාමනායක විසින්ය.මේ චිත්‍රපට යුගලම එකල ජර්මන් ටෙලිවිෂන නාලිකාවක් මගින් මිළයට ගනු ලැබිණ.විජය රාමනායක රිදී නිම්නය සහ මල්දෙණියේ සිමියොන් චිත්‍රපට සඳහා ආයෝජනය කරන ලද්දේ ඩී.බී.නිහාල්සිංහයන් වෙනුවෙනි.අනෝජා වීරසිංහ නවදිල්ලි සිනමා උළෙලේ දී රජත මයුර සම්මානයෙන් පුදනු ලැබුවේ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටය උදෙසාය.ඒ අවදියේම සෙරන්ඩිබ් සමාගමේ රන්මුතුදූව චිත්‍රපටයේ මෙන්ම ගැටවරයෝ අයිතිය ද විජය රාමනායකයන් විසින් මිළදී ගනු ලද අතර ඔහු රන්මුතුදූව චිත්‍රපටයේ ඩීවීඩී පිටපතක් ඉතා මෑතක වෙළඳ පොලට ගෙනාවේය.සමහර විට එය ඔහුගේ අවසාන කලා ආයෝජනය විය යුතුය.රන්මුතුදූව චිත්‍රපටය යළි තිරගත කර වීමට ඔහු සිහින දුටුව ද එය ඉටු කර ගත නොහැකි විය.විජය මල්දෙනියේ සිමියොන් චිත්‍රපටය උදසා සරසවිය සම්මානයෙන් ද යුගාන්තය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවේ හොඳම නිෂ්පාදක හැටියටය.

විජය රාමනායකයන් නැතහොත් විජය අය්යා මට මුල් වරට හඳුනා ගන්නට ලැබුණේ ඔහුගේ සැප දුක යන දෙකෙහිම ප්‍රාණ සම මිතුරාව සිටි ප්‍රේම් දිසානයක මහතා නිසාය.ඒ මෙයට වසර තිස් වසරකට පෙර ය.ප්‍රේම් අය්යා කතු පදවිය දැරූ විචිත්‍ර පුවත්පතට පැමිනිය දී ඔහු හඳුනාගන්නා විට විජය රාමනායක ව්‍යාපාරික ලෝකයේ ඉහලටම ගොස් පහලට එමින් සිටි අවදියයි.එය ඉතා සුහද කතාවක් විය.ඉන් දින කිහිපයකට පසු විජය අය්යා විදෙස් ගත විය.යළි ඔහු හමුවනුයේ තවත් දසකයක් පමණ ගතවූ තැන ය.ඒ ඔහු ගේ ජීවිතය ඇරඹු ලේක් හවුස් මන්දිරයේ දීමය.දිගු කලකට පසු ඔහු සමග පුවත්පත් සාකච්ඡාවක් කරන්නට මට හැකි විය.ඒ වන විට මා අසා සිටි ඔහුගේ බොහෝ මිතුරන් ඔහු අතහැර ගොසිනි.එය මිනිස් ස්වභාවය විය.ඉන් පසු ඔහු බොහෝ අවස්ථාවලදී මට ඔහු මුණ ගැසිණ.ඔහු යළිත් තරංගා ලේබලයට පණ දුන්නේය.එහෙත් ඒ වන විට කැසට් ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ඉවත්ව ගොස්ය.තරගකාරින් බොහොමයකි.එබැවින් මහා පරිමාණ ව්‍යාපාරයක සිට යළි මුල සිටම ගොඩ නැගෙන්නට ඔහුට සිදු විය.

පසු කලක විජය අය්යා හමු වූ විට ඔහු කිසියම් කලකිරීමකින් සිටි වග මට පසක් විය.කෙසේ වෙතත් ඉඳහිට හෝ කොළඹ කොටුව පැත්තේ පැමිණි විට තම පැරණි මහගෙදර පැත්තේ පැමිණ යන්නට ඔහු අමතක කළේ නැත. ඒ වන විට ඔහු සමග එහි සිටි සමකාලිනයෝ බොහොමයක් විශ්‍රාම ලබා සිටියහ.එබැවින් ඔහුට මුණ ගැසෙනුයේ එයින් පසු පරම්පරාවේ අප වැනි පිරිසය.ලේක්හවුසියේ එදවස යටගියාව මෙන්ම රසවත්ම සිදුවීම් රැසක් ඒ කතාවට මුල පුරන්නට හේතු වෙයි.ඒ කතාව අපට දැනුම මෙන්ම ඔහුගේ හිතට ද සැනසුමක් ගෙනාවේය.

ගිය බදාදා සරසවිය පුවත්පත් මුද්‍රණය සදහා සියල්ල සූදානම් ව තිබිය දී විජය අය්යා මිය ගිය බව මට පැවසුවේ ප්‍රේම් අය්යාය.බොහෝ දෙනාට අමතක ව ගිය ද විජය රාමනායක යනු නිකම්ම සිනමා අයෝජකයකු නොවීය.නිකම් ව්‍යාපාරිකයක් ද නොවීය.ඔහු පුරෝගමි කැසට් ව්‍යාපාරිකයාය.විශිෂ්ට ගණයේ නිෂ්පාදකවරයෙකි.ඔහුගේ චිත්‍රපට සියල්ල මෙරට සිනමාවේ යම් ස්ථානයක් ලබා ගත් චිත්‍රපටයන්ය..ඔහු ව්‍යාපාරිකයන් ගේ දුෂ්කර මුල පිළිබද අපට විසාල පාඩමක් කියා දුන්නේ ය.

විජය අය්යා නොලියූ කතාවක් විය.ඒ ව්‍යපාරික ලෝකයට ගොඩ වීමේ දුෂ්කරත්වය නොව එහි රැඳී සිටිමේ අබියෝගයයි.අනුන්ගේ ජීවිත කතා ඔස්සේ ජීවිතය ජය ගත් විජය රාමනායක තමා ගේම ජීවිත කතාව ලියා තැබුවා නම් එය පිරුණු ලොවින් ට වඩා වැදගත් වනුයේ ජය ලැබූ පසු ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ලියන්නට එතරම් හොඳ ජීවන පුවතක් සොයා ගත නොහැකි නිසාය.මේ වන විට කැනඩාවේ සිටි සිය එකම පුතණුවන්ගේ විවාහ මංගල්‍ය නියම ව තිබුණේ බදාදා ය.ඉන් දෙදිනක් ඇවෑමෙන් පුත් මෙරටට පැමිණීමට නියමිත ව තිබුණේ තම මනාලිය සමගය.එහෙත් පුත් ලංකාවට පැමිණෙන විට විජය අය්යා නික්ම ගොසිනි.ඔහු කිසි කලකත් තමා ලත් පරාජයන් ගැන කම්පා නොවිණ.එහෙත් තමාට මුණ ගැසුන ඇතැම් මිනිසුන් ගැන නම් කම්පා වූයේය.ජය සහ පරාජය පිළිබඳ අපූරු කතාවක් නොලියා ම ඒ පිළිබඳ ලියන්නට සිටි හොඳම මිනිසා විජය රාමනායක පසුගිය සෙනසුරාදා අප ඇතහැර ගියේය.