වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයාට ලොකු ගමනක් තියෙනවා

ඔයාට ලොකු ගමනක් තියෙනවා

එදා සම්මාන උලෙළේදී සක්විති ගාමිණි පැවසුවා

ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පුංචි තිරයේ අහිංසකාවිය ලෙසිනුත් ඇය අමතනවා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සාර්ථක ප්‍රවීණ ශිල්පිනියක්. ඒ විතරක් නෙවෙයි ඇය නිවේදන ක්ෂේත්‍රයටත් තම දායකත්වය ලබා දෙන්න කැප වෙලා. පුංචි තිරයේ සම්මානනීය නිළියක ලෙසින් ජනාදරයට පාත්‍ර වූ ඇය සිය රංගන ජීවිතයේ ප්‍රථම සම්මානය ලබන්නේ සිනමාව වෙනුවෙන්. ඒ 1992 වසරේදීයි. මෙරට සිනමාවේ 1991 වසරේ තිරගත වූ සිනමා නිර්මාණ ඇගයීමට ලක් වූ සරසවිය සම්මාන උලෙළේදී නැඟී එන නිළිය වූයේ ඇය යි. නිල්මිණි තෙන්නකෝන්. එදා ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ ‘කෙළිමඬල’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එම සම්මානයට උරුමකම් කීවා.

* 1992 වසරේ සරසවිය සම්මාන උලෙළේ ඔබේ මතකය යළිත් සිහිපත් කරමු?

මට මගේ ජීවිතයේ ලද පළමු සම්මානය වෙන්නේ එදා නැඟි එන නිළිය ලෙසින් ලද සරසවිය සම්මානය යි. ඒක මට මගේ ජීවිතයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වූ පළමු අවස්ථාව වෙන්නෙත් ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂණය කළ ‘කෙළිමඬල’ චිත්‍රපටය යි. එදා මම සරසවිය සම්මානය ගන්නවිටත් මම ජනප්‍රිය වුණු නිළියක්. දූදරුවෝ ටෙලි නිර්මාණයේ දීප්තිගේ චරිතය සමඟින් කා අතරත් කතාබහට ලක්වෙලා තිබුණා. සිනමාවෙනුත් මා මෙලෙස සම්මානනීය වෙනකොට ඒ ජනප්‍රියත්වය තව තවත් වැඩි වුණා.

ඇත්තටම සිනමාව කියන්නේ මම ගොඩක් පෙරුම් පිරුව දෙයක්. සිනමාවෙන් මට නැඟී එන නිළිය සම්මානයක් ලබන්න හැකිවීම විශේෂයි. ඒ කාලයේ අපි අහලා දැකලා තිබුණු සිනමා පුවත්පත වුණේ සරසවිය පත්තරය යි. ඉතින් එහි පුංචි මුද්දර ප්‍රමාණයේ පින්තූරයක් හරි පළ වෙනවා නම් ඒක අපට ලොකු දෙයක් වුණා. මොකද දැන් වගේ නෙවෙයි, ලෙහෙසියෙන් පහසුවෙන් සරසවිය පත්තරයේ පින්තූරයක් දාගන්න බැහැ. මටත් පින්තූරයක් දාගන්න පුළුවන් වෙයි කියන හීනයක් හිතේ තිබුණා. මට ඒ දවස උදාවුණේ 1992 වසරේදීයි. එදා නැඟි එන නිළිය ලෙසින් සම්මානනීය වීමත් එක්ක සරසවිය පත්තරයේ කවරයක් මගේ ඡායාරූපයකින් සැරසුණා. ඒ සතුටත් වචනයෙන් කියලා නිම කරන්න බැහැ. එදා මම පත්තර පහක් විතර ගත්තා. මගේ හීන වෙලා තිබුණු ඒ ලිපි, ඡායාරූප බොහොම ආදරයෙන් මං එකතු කරලා තියෙනවා.

* සරසවිය සම්මානයක් ලැබුණාම රංගනයේ ඉදිරිය ගැන හිතුවේ කොහොමද?

එදා සම්මාන උලෙළට මම රන් පැහැ ඔසරියකින් සැරසිලා ගියේ. එදා මාව සැරසුවේ පුෂ්පා අක්කා. සම්මානය ගන්න වේදිකාවට නඟිනකොට මගේ කකුල් දෙක වයලින් ගැහුවා. ඉන් පසුව මම තවත් සම්මාන විසිඑකක් ගත්තා. විසිඑක් වැනි සම්මානය ගන්නකොටත් කකුල් දෙක එදා සරසවිය සම්මානය ගත්තා වගේම වුණා. ඒ අතරේ එදා සරසවිය සම්මානයේ ලොකු විශේෂත්වයක් තියෙනවා. එක්තරා නාට්‍යයක රූගත කිරීමක් පල්ලියක තිබුණා. එදා පල්ලියේදී අනේ මා මේ රටේ ජනප්‍රිය නිළියක් කරන්න කියලා ප්‍රාර්ථනාවක් කළා. හොඳම නිළිය කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ජනප්‍රිය වෙන්න තමයි ආසාව තිබුණේ. සරසවිය සම්මානය අතට අරගෙන වේදිකාවෙන් බැස්සේ, ජනප්‍රිය නිළිය නෙවෙයි මම හොඳම නිළිය වෙනවා කියලා අධිෂ්ඨාන කරගෙන.

සම්මානයක් කියන්නේ කලාකරුවකු ලබන වටිනා ත්‍යාගයක්. එය එතැනින් එහාට තමන්ගේ ගමන යන්න ලොකු ශක්තියක්, ඒවගේම ධෛර්යක් ඕනේ. එදා සරසවිය සම්මානය නිසා මටත් ඒ ශක්තිය ධෛර්යය ලැබුණා. “ඔයාගේ මුහුණේ හොඳ හැඩතලයක් තියෙනවා. ඔයා තවම පොඩියි. යන්න ලොකු ගමනක් තියෙනවා. කලාව සම්බන්ධයෙන් හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න උත්සහ කරන්න. හොඳීන් ඉගෙන ගන්න. ඉන්පසු ගමන සාර්ථකයි. “කියලා එදා සම්මාන උලෙළ අවසානයේ පැවති සාදයේදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා මට පැවසුවා.

* ඒ විතරක් නෙවෙයි සරසවිය සම්මාන උලෙළක බිහිසුණු අත්දැකීමකුත් තියෙනවා නේද?

ඇත්තටම ඒ අත්දැකීම සරසවිය සම්මාන උලෙළක් සතු එකම සහ බිහිසුණුම අත්දැකීමත් වෙනවා.

2006 වසරේ සරසවිය සම්මාන උලෙළට සමගාමීව විවිධ පළාත්වල චිත්‍රපට දර්ශන පැවැත් වුණා. ඒ වෙනකොට මම කුරුණෑගල ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට දායක වෙමින් සිටියේ. ඉතිං කුරුණෑගල පැවැත්වෙන්න නියමිත වූ දර්ශනය වෙනුවෙන් උත්සව අවස්ථාවට මටත් දායක වෙන්න සරසවිය ආරාධනා කළා. ඊට කලින් දවසේ මම හොඳටම නිදිමරලා හිටියේ. මොන තරම් අපහසු වුණත් කුරුණෑගල නිසා ඒ වෙනුවෙන් පිටත් වුණා. මහන්සිය නිදිමත නිසා වාහනයේ මම ටිකක් නිදා ගන්තා. මම දන්නේ එච්චරයි. වාහනය අනතුරකට ලක්වෙලා. මාස තුනක් යනකල් මම මොකුත්ම දන්නේ නැහැ. ඒ සමඟින් මට අලුත් උපතක් ලැබුණා. මොකද එදා අනතුරින් මගේ හුස්ම ටික ගියා. නැවත අලුත් හුස්මක් එක්ක ලැබුණේ අලුත් ජීවිතයක්. ඒ මගේ දුව වෙනුවෙන්. ඒ වාසනාව නිසා මට අදත් සරසවිය සම්මාන උලෙළ ගැන කතා කරන්න අවස්ථා ලැබුණා.

* කෙළිමඬලට රංගන වරම් ලැබුණේ කොහොමද?

මං පාසල් කාලයේ පටන්ම ආචාර්ය ඩී. බී නිහාල්සිංහ මහත්මයාගේ නිර්මාණවලට දායක වෙලා තිබුණා. එතුමා වාර්තාමය ටෙලි නාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්වලට මගේ රංගන දායකත්වය ලබා ගත්තා. ඒ දැන්වීම් හරහා මට දිමුතු මුතු දෙවැනි කොටසට දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඉස්කෝලේ යන නිසා දිගටම දායක වෙන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ ආයෙමත් ක්ෂේත්‍රයට එන්න ආසාව ඇති වුණා. මේ ගැන හදාරන්න හිතුවා. සහය අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, සංස්කරණය වැනි දේ ඉගෙන ගත්තා. ඒ අතරවාරයේදී තමයි නිහාල්සිංහ මහත්මයා ‘කෙළිමඬල’ චිත්‍රපටයට මට ආරාධනා කළේ.

* ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන්ගේ අධ්‍යක්ෂණය වගේම ප්‍රවීණයන්ගෙන් ලද සහයෝගය ගැනත් කියමු?

ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන් හැමදාම තෝරා ගත් නළු නිළි පිරිසක් හිටියා. ඒ අතරට මටත් ඇතුළත් වෙන්න වාසනාව ලැබුණා. මම රංගන පාසල් ගමන ආරම්භ කළේ ආචාර්ය ඩී. බී නිහාල්සිංහයන්ගේ අධ්‍යක්ෂණය යටතේයි. මම ගොඩක් දේ එතැනින් ඉගෙන ගත්තා. ඇත්තටම එතුමා රංගන පාසලක්. නිල්මිණි තෙන්නකෝන් කියන නිළිය අද යම් තැනක ඉන්නවා නම් ඒ නිහාල්සිංහ මහත්මයා නිසයි. මං පාසල් යන කාලයේ මවුපියන්ගේ අවසරය අරගෙන එතුමා මාව කලා ක්ෂේත්‍රයට කැඳවා ගත්තා. ඒත් සමඟින් එතුමා මට එක අවවාදයක් දුන්නා. කවදාවත් ජනප්‍රිය තලයට එන්න උත්සහ ගන්න එපා. දක්ෂ නිළියක් වෙන්න බලන්න කියලයි. ඒ වෙනුවෙන් මට උදාහරණය විදියට දුන්නේ ස්වර්ණා අක්කා. ඒ වෙනුවෙන් තමන්ගේ උත්සාහය කැපවීම අවශ්‍යයි කියලත් එතුමා කිව්වා. ඒ වගේම වෙලාවට වැඩ කරන්න ඉගෙන ගත්තේ එතුමාගෙන්.

එතුමා මිය යන්න සතියකට විතර කලින් මට එතුමා හමු වෙන්න අවස්ථාවක් ලැබුණා. මට හැමදාම එතුමා කතා කළේ තමුන්නාන්සේ කියලයි. “ඔන්න තමුන්නාන්සේ මං කිව්ව තැනට ඇවිත් තියෙනවා. මට පිස්සු හැදුණා හලෝ” කියලා මම දායක වුණු ‘අම්මා’ ටෙලි නාට්‍යය නරඹලා එතුමා මට කිව්වා. ඒ විතරක් නෙවෙයි මෙතැනින් එහාට යන්න තැනක් නැහැ කියලා හිතන්න එපා. තව ගොඩක් දේ කරන්න තියෙන බවත් කිව්වා. ඒ සමඟින් ‘කෙළිමඬල’ චිත්‍රපටයේදී එදා මම ලංකාවේ හිටිය ජ්‍යෙෂ්ඨතම නළු නිළි පිරිසක් සමඟින් රඟපෑවේ. අනෝජා අක්කා, වීණා අක්කා, එච්. ඒ පෙරේරා අයියා එහිදි ලොකු සහයක් දුන්නා. ‘කෙළිමඬල’ චිත්‍රපටය රූගත කළේ, ගිරිඋල්ල ප්‍රදේශයේ. ඒ කාලයේ දරුණු විදියට ජේවීපි කලබල තිබුණා. ඒ අත්දැකීම් නම් කාටවත් අමතක වෙන්නේ නැහැ. දර්ශන තලයේ රූගත කිරීම්වලට අමතරව දණගහගෙන ඉන්න සිදු වුණ අවස්ථාත් තියෙනවා. එක දවසක් ඩිලානි කොල්ලෙක් වගේ ඇඳගෙන ඇවිත් චිත්‍රපටයක වගේ හැමෝටම ගහන්නත් හැදුවා. ඒවා කවදාවත් අමතක වෙන්නේ නැහැ.

* කෙළිමඬල වගේම සරසවිය සම්මානයත් සමඟින් සිනමාවට මඟ විවර වුණත් මේ දක්වා ඒ වෙනුවෙන් ඔබේ දායකත්වය ගැන තෘප්තිමත්ද?

සරසවිය සම්මානය සිනමා රංගන ක්ෂේත්‍රය තුළ මා ඉහළින් ඔසවා තැබුවා. නමුත් මා විසින්ම ඒක නැති කර ගත්තා. ඒ වනවිට මම අඩු වයසක හිටියේ. කලාවට පිවිසීම සමඟින් ආදරයෙන් බැඳුණා. ඒ සමඟින් සිනමාව මගෙන් ගිලිහුණා. මට සිනමා නිර්මාණ විස්සකට විතර දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හැම චිත්‍රපටයක්ම වගේ ගොඩක් ජනප්‍රිය වුණා. මේ කාලයේ එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ සිනමා නිර්මාණ තුනක් මට මඟ හැරුණා. ඒක මට මහා දුකක්. බෙනට් රත්නායක, යසපාලිත නානායක්කාර වැනි අධ්‍යක්ෂවරුන් මගෙන් ගිලිහුණා. සිනමාවට පිවිසීම සමඟින් සරසවිය සම්මානයක් ලැබුණත් මට ඒ සමඟින් ‍වැඩි කාලයක් ගත කරන්න නොලැබීම නම් විශාල දුකක් දැනෙනවා. නැති වුණ දේට මම අඬන්නේ නැහැ ලැබුණු දේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසීම සමඟින් මම ජනප්‍රිය නිළිය ලෙසින් සම්මාන රැසක් දිනාගෙන තියෙනවා. ඒ අතරේ ප්‍රථමයෙන් ලද සරසවිය සම්මානය විශේෂයි. මට මේ ගමන එන්න රසික රසිකාවන්ගේ උපකාරය විශාල ශක්තියක්. එදා සරසවිය පත්තරය ඔස්සේ මට ඒ සහයෝගය ලැබුණා.