|
වෛද්‍ය නලින්ද ජයතිස්ස වාමාංශිකයෙක් නොවෙයිසය පෙති කුසුම අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරන්ගෙන් චෝදනාවක්
මේ වනවිට ලාංකේය චිත්‍රපට උයනෙහි සයපෙති කුසුමක් පිපී ළෙල දෙයි.වෙනස්ම තේමාවක් රැගත් ඒ නිර්මාණය ෆැන්ජිපානි ලෙස නම්කොට ඇත. Frangipani (ෆ්‍රැන්ජිපානි) අපට ගෙනෙන්නට පෙරමුණේ සිටින ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරන්ද සිනමාවට ආගන්තුකයෙකි. වස්තු බීජය ප්‍රබලත්වයට පත්කරමින් හෙතෙම නිර්මාණ පෙරලියක් සමග අප අතරට පැමිණ සිටියි. මේ විසා සහ සරසවිය හමුවූ මොහොතයි. * Frangipani ඔස්සේ කරළියට එන විසාකේස චරිතය අප මුලින් හඳුනා ගනිමූ? දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටන ද්විත්ව පුරවැසිභාවය හිමි මා පිළිබඳ විවිධ අනන්‍යතා තිබෙනවා. මගේ මව සිංහල කාන්තාවක්. පියා දෙමළ ජාතිකයෙක්. මම බෞද්ධයෙක්. නමුත් හින්දු දහමේ ආභාසයත් තිබෙනවා. වෘත්තීමය වශයෙන් මා පිළිබඳ හැඳීන්විමක් කළොත් කලක් මානව හිමිකම් නීතිඥවරයෙක් ලෙස ලංකාවේ කටයුතු කර තිබෙනවා. 2005 දි ඔස්ට්‍රේලියාවේ රජයේ සේවයට බැඳී එතැන් සිට මේ දක්වා විවිධ ක්ෂේත්‍ර වල ප්‍රජා විවිධාංගීකරණ උපදේශකවරයකු ලෙසයි දැන් මා සේවය කරන්නේ. නිර්මාණකරණයට පිවිසෙන්නේ මට අවුරුදු 17 දි. ඒ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු ලෙසයි. ‘රජ කෙල්ලෝ’, ‘ත්‍රිශූලය’ සහ ‘ශක්ති’ යන චිත්‍රපට මම සහය අධ්‍යක්ෂණයෙන් එක් වී තිබෙනවා. විටෙක නාට්‍ය නිමාණකරණයෙන්ද, තවත් විටෙක ලේඛකයෙක් ලෙස නව කතා තුළින්ද මගේ කලා නිර්මාණ එළිදක්වා තිබෙනවා. * සයපෙති කුසුම හෙවත් Frangipani නිර්මාණයට පසුබිම් වෙන්නේ? විවිධ හේතු ගණනාවක් ඊට පසුබිම් වුණා. මූලිකම දේ වුණේ මෙය මට ඉතා සමීප මාතෘකාවක්. Frangipani නිර්මාණ වන්නේ මගේ සහ මගේ මිතුරන් ගේ ජිවන අත්දැකීම් එක්කාසූ කර ගෙනයි. මානව හිමිකම් නීතිඥවරයෙක් ලෙස පෞද්ගලිකව මෙම විෂය ගැන කතා කරන්නත් මට වුවමණාවක් තිබුණා. ඒ සමකාමින් යනු කවුරුන්ද, ඔවුන්ගේ හැඟීම් සහ ඔවුන් මුහුණ පාන ගැටලු මොනවාද යන්න පිළිබඳ ලංකාවේ හරි හමන් ගැඹුරු කතා බහක් තවමත් සිදු නොවීම සහ ඊට අදාළ අප විසින් නිරාකරණය කළ යුතු ගැටලු කිහිපයක් තිබෙන නිසා. දේශපාලනිකව වශයෙන් වුණත් නිවරැදිතාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මේ කියන සමකාමී ප්‍රජාව පිළිබඳ මෙතෙක් විවෘතව සාකච්ඡා නොවීමේ ඒ රික්තය පුරවන්න මට වුවමනා වුණා. මගේ හැම නිර්මාණයකටම පසුබිම් වෙන්නේ සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට මගේ විෂයට සම්බන්ධව මා කළ පර්යේෂණයි. ඉතින් ඒ සොයා ගත් කරුණු එළියට දාන්න බැරි වුණහම ඒ වෙනුවෙන් මම තෝර ගන්නේ කලාව. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ස්ථාපනය කළ යුතු සමකාමින්ගේ අවශ්‍ය හා සමානාත්මතාවය පිළිබඳ හදවතට සහ බුද්ධියට දැනෙන්න කතා කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කලාව. * නිර්මාණකරණයේදී සහ ඉන් පසු ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද? නිර්මාණකරණයෙදි තිබුණ බරපතළ අභියෝගය රූපණ ශිල්පින් තෝරා ගැනීමයි. සමකාමි චරිතයකට පණ පොවන්න ගොඩක් අය කැමැති වුණේ නැහැ. මේ නිර්මාණය සඳහා මට තිබුණු සම්පත්, මුදල් සහ කාලය ඉතා සීමිතයි. කොහොම හරි චිත්‍රපටය රූ ගත කළා කියමුකෝ. ෆයිනල් කොපි එක පෙන්වන්න මාස තුනක් ඇතුළත අපිට අවස්ථාව ලැබුණත් සිනමාහල් වලට Frangipani ගේන්න අවුරුදු තුනක් බලා ගෙන ඉන්න වුණා. ප්‍රර්ශනයට අවශ්‍ය රැඟුම් පාලක මණ්ඩලයේ ප්‍රර්ශන සහතික ලැබේවී කියලා මම කියටවත් හිතුවේ නැහැ. තහනමකට ලක් වුණොත් මගේ පාඩුව විඳ ගෙන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා දෙන මගේ දායකත්වය විදිහට ච්.ඍ.ච් ලෙස හෝ යූ ටියුබ් දාලා මිනිසුන්ට බලන්න සලස්වන්නයි මම හිතා ගෙන හිටියේ. නමුත් නොසිතු ලෙස රජය වෙනස් වෙලා, වාරණ මණ්ඩලයේ සංයුතිය වෙනස් වෙලා අපිට අනුමැතිය ලැබෙනවා. අනුමැතිය ලැබුණාට, කොහොමද පෙන්වන්නේ කියන කාරණය මතු වුණා. ඉතින් බොහො තැන් වලින් ප්‍රතික්ෂේප වුණු Frangipani සුනිල් ටී. ප්‍රනාන්දු පිළිගන්නේ කුමුදු සහ ෂර්ලිගේ මහන්සියේ සාර්ථක ප්‍රතිඵලයක් ලෙසයි. ඔහු නොහිටින්න සමහර විට කවදාවත් මෙම නිර්මාණය සිනමාහල් වලට නොයන්න ඉඩ තිබුණා. * Frangipani තුළින් උත්සහ ගන්නේ ඔබේ පෞද්ගලික අත්දැකීම බලෙන් සමාජ ගත කිරීමට නොවේද? මෙහි තිබෙන පෞද්ගලික අත්දැකීම ආදරයයි. එතැනින් එහා හැම අත්දැකීමක්ම පෞද්ගලිකද යන්න ප්‍රශ්නයක්. නිර්මාණකරුවා සහ නිර්මාණය අතර කුමක් හෝ සබඳතාවක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් නිර්මාණකරණයේදී වෙන්නේ නිර්මාණකරුවාගේ පෞද්ගලික අත්දැකීම් තම නිර්මාණය තුළදී ඉදිරිපත් කිරීමයි. පෞද්ගලිකව විඳීන්නේ නැතිනම් ඔවුගේ නිර්මාණ පිළිබඳ පොඩි ප්‍රශ්නෙකුත් මතු වෙනවා. මේ නිර්මාණය සඳහා මම අපහසුවෙන් එකතු කර ගත් මුදල් යෙදීමනේ ඔබ ඔය කියන බලහත්කාරයෙන් සමාජ ගත කිරීම යන කාරණයට හේතු වන්නේ. නමුත් මේ නිර්මාණයට සම්බන්ධ වුණු හැමෝම බොහොම ස්වෙච්චාවෙනුයි ඉදිරිපත් වුණේ. සංගීත අධ්‍යක්ෂණයට සතයක්වත් අය කළේ නැහැ. ඊට හේතුව ඔවුන් මේ නිර්මාණය තුළ තිබූ කෙනෙක්ට ආදර කිරීමට තිබෙන ඒ පොදු විශ්වීය මානුෂියත්වය වටහා ගැනීමයි. ඉතින් කවුරුන් හෝ එවැනි චෝදනාවක් කරනවා නම් මුලින්ම මේ චිත්‍රපටය නරඹන ලෙස මම ආරාධනා කරනවා. මේ චිත්‍රපටය ඔස්සේ සමකාමීන් ලෙස හඳුනා ගන්නේ මේ රටේ දෙදෙනෙක් පමණයි. මේ රටේ තිබෙන නීතිය හන්දා මම ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කරන්නේ නැහැ. නමුත් දෙදෙනෙක් කියන්නේ මුලු මහත් සමාජයේම සුළු චරිත දෙකක්. * මෙම නිර්මාණයේ නොයෙක් අවස්ථාවලදී චරිත ඒකාත්මික බවක් ගෙන තිබෙන්නේ පෞද්ගලික අත්දැකීම ඉස්මතු කරන්නට ගොස් නොවේද? මට නම් හිතෙන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් ඒ අයුරින්ම මතු නොකර, යටපත් කරන්න ගිහින් ෆ්ලැට් වෙන්න ඇති කියලයි. එහෙම දේවල් වෙනවා. යම් යම් ආකාරයේ මනෝ මූලික සිද්ධාන්ත වගයක් තිබෙනවා. ඒ නිසා කෙනෙකුගෙන් තව කෙනෙකුට එය වෙනස් වෙන්න පුළුවන්. මෙහි යම් යම් දුර්වල අවස්ථා ඇති. නමුත් මේ මගේ පළමු නිර්මාණය. මම එය කරන්නේ නව තාක්ෂණය ගැන තිබූ සීමිත දැනුම, සිමිත මුදල් සහ සිමිත කාලයකින්. ඒ කොණයෙන් බැලුවොත් මේ නිර්මාණය ගැන මට සෑහිමකට පත් වෙන්න පුළුවන්. * සංක්‍රාන්ති ලිංගිකත්වයට බලපාන්නේ ජෛව විද්‍යාත්මක ගැටලුද නැතිනම් සමාජ නියෝජනයේ ගැටලුද? ඉර, හඳ පායනවා. එය ස්වාභාවිකයි. මලක් පිපීම, දරුවෙක් ඉපදීම ස්වාභාවිකයි. දරුවෙක් ඇස් අන්ධ වෙලා ඉපදෙනවා නම් එයත් ස්වාභාවිකයි. මේ විශ්වය තුළ අස්වාභාවික කිසි දෙයක් නැහැ. එවැනි අස්වාභාවික දේවල් තියෙනවා නම් විශ්වය තුළ පවතින්න බැහැ. සංක්‍රාන්ති ලිංගිකත්වය කවුරුන් හෝ අස්වාභාවික දෙයක් ලෙස දකිනවා නම් ඒ යම් යම් මූලධර්ම හෝ යම් ආගමික මූලධර්ම පදනම් කර ගෙනයි. සමකාමිත්වය මනෝ වියාධියක් නොවන බව පවසමින් ඔය කියන ‘අස්වාභාවික’ යන මතය මනෝ විද්‍යාඥයින් විසින් බැහැර කරන්නේ 1970 ගණන් වලදිමයි. පුද්ගලයෙක් සිය උපතින්ම එක් එක් ආකාරයට ක්‍රියාත්මක වෙන බවට හේතු සාධකද වර්තමානයේ විද්‍යාඥයෝ හඳුනා ගෙන තිබෙනවා. ඒ මවකගේ ජාන හරහා පිරිමි සමලිංගිකත්වය ඇති වීම ගැනයි. ඊට හේතුව ලෙස දරුවන්ට අසීමිත ලෙස ආදරය කරන්න පුළුවන් ආකාරයේ ජාන පිහිටා තිබෙන මවකට පිරිමි ආකර්ෂණය කර ගැනීමේ හැකියාව වැඩියි. එවිට මේ වැඩිපුර තිබෙන ජාන ඇය කුස තුළ සිටින පිරිමි දරුවාට ද එක් වීම නිසා ඒ දරුවද වැඩිපුර පිරිමි ආකර්ෂණයට යොමු විය හැකි බව ඔවුන් හඳුනා ගෙන ඇති නවතම සාධකයයි. සමාජ නියෝජන යන කාරණයේදී ඔවුන් මුහුණ පාන ප්‍රධාන ගැටලුව සමාජය විසින් ඔවුන් පිළිගැනීමට සූදානම් නොවීමයි. ඉතින් මේ සමාජීය ගැටලු නිසා සමානාත්මතාවය ඇති කිරීමට සමකාමි සබදතාවලට එරෙහිව පනවා ඇති අපරාධ නීතිය ඉවත් කිරීම වැනි යම් යම් ක්‍රියා මාර්ග ගතයුතුයි. සමානාත්මතාවය සමකාමින් වෙනුවෙන්ම පමණක් නෙමෙයි. සෑම සුළුතරයකටම ද ලබා දිය යුතුයි. පාසල් සහ රැකියා ස්ථානවලද සමානාත්මතාවය ඇති කිරීමට නිසි අධ්‍යාපනයක්, නිසි මග පෙන්වීමක් ලබා දීය යුතුයි. ඒ තුළින් සමකාමින්ට සමනාත්මතාවය ලබා දීමෙන් ඔබ්බට යන හොඳ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කළ හැකි වේවි. * සමකාමී සබඳතා සහ සංක්‍රාන්තික ලිංගිකත්වය ආගමික වශයෙන් සැබැවින්ම ප්‍රතික්ෂේපිතද? සමකාමින් හෝ සංක්‍රාන්ති ලිංගිකයන් ප්‍රතික්ෂේප කිරීමේ හෝ හෙලා දැකීමේ කිසිඳු මූලාශ්‍රක් බුදු දහමේ නැහැ. එක් එක් කුල වලට, විදි ගණිකාවන්ට, නගර ශෝභනියන්ට සලකන්න යැයි කියූ බුදු දහම අපට අවබොධ කරන්නට උත්සහ ගන්නේ සමානාත්මතාවය අගයන නිදර්ශනයි. හින්දු දර්ශනය මින් තවත් ඔබ්බට යනවා. ඒ තුළ සමකාමී, සංක්‍රාන්ති ලිංගික චරිත පවා අපට හමු වෙනවා. වරක් විෂ්ණු දෙවියෝ අමෘතය සොරකම් කරන්න මොහිනි බවට පරිවර්තනය වෙනවා. එහිදි මොහිනි සහ ශිව අතර වෙන ලිංගික සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අයියඅප්පන් දෙවියෝ උපත ලබන බවට මතයක් තිබෙනවා. මේ දෙවියන් කාන්තාවන්ට අකමැතියි. ඒ නිසා තමයි සබරෙයිමලේ ශ්‍රී අයියප්පන් කොවිලට අදටත් පිරිමි පමණක් යන්නේ. ඔය හින්දු ධර්මයේ සමකාමින් සහ සංක්‍රාන්ති ලිංගිකයන් හමු වන එක් අවස්ථාවක්. අනෙක් ප්‍රධාන ආගම් දෙකෙහිම ප්‍රධාන මූලය වෙන්නේ යුදෙව් ආගමයි. එනම් ඒකදේවවාදය. එහි ඔවුන් පිළිගන්නේ දෙවියන් විසින් දෙනු ලැබූ අණ පමණයි. පරණ තෙස්තමේන්තුවේ පුංචි පුංචි කොන්වල සමාමිත්වයට එරෙහි වෙන සටහන් තිබෙන බවට ඔවුන් විශ්වාස කළත් මේ තිබෙන මූලාශ්‍ර නිවරැදිව අර්ථ නිරූපණය කෙරෙනවාද යන්න ප්‍රශ්නයක්. එම පොත්වල කියා තිබෙන දේ අනුවනම් මිනිස්සු තම චර්යාවන් හදා ගන්නේ ඇත්තටම ඔවුන් ඒ හැම දේම පිළිපදිනවාද.. නැහැ ඔවුන් පිළිපදින්නේ ඔවුන්ට ඕනෑ දේ පමණයි. අපි මැවුම්වාදය දිහා බැලුවොතින් මේ ලෝකේ යමක් බිහි වෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවනේ. ඉතින් මේ කියන සමකාමි පිරිස මවන්නෙත් දෙවියන් විසින්මයි. මැවුම්වාදයට අනුව එය බොහොම සරල දෙයක්. * නව ව්‍යාවස්ථාව තුළ සමකාමි අයිතින් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්නට අපේ සමාජයෙන් ඉඩක් ලැබේවිද? ඒ කාලයේ ලංකාව තුල බින්න විවාහ තිබුණා. එමෙන්ම අන්‍යොනය කැමැත්ත මත දික්කසාදය ලබා ගන්න පුළුවන් වුණේ උඩරට නීතිය තුළ පමණයි. වැඩවසම් යුගයක පවා අපට එවැනි ප්‍රගතිශිලී ලක්ෂණ තිබුණා. නමුත් ඒ කාලයේ බටහිර සමාජය හිටියේ අපට වඩා බොහොම පිටුපසින්. පසු කාලීනව බ්‍රිතාන්‍යන් විසින් කළ යම් යම් වෙනස් කම් පසුව අපි අපේ දේවල් හැටියට වැලඳ ගෙන තිබෙනවා. නමුත් අර ප්‍රතිශිලී මූල තවමත් අපට තිබෙන නිසා අභියෝග වලට වඩා අපට තිබෙන්නේ අවකාෂ. ඒ තමා සැමට සමානව සැලකීම පිළිබඳ උගන්වා ඇති බෞද්ධ සහ හින්දු දර්ශනයේ ආභාසය. ඉතින් ලංකාවේ බහුතරයක් පිළිපදින දර්ශනයෙත් සමානාත්මතාවය ගැන මෙහෙම කියැවෙනවා නම් මොකද්ද මේ ව්‍යාවස්ථාවෙන් සමානාමතාවයක් ලබා දීමේ ප්‍රශ්නය.. අපට වඩා ඉතා පසුගාමි ආර්ථිකයක් තිබෙන, සිවිල් නිදහස වෙනුවෙන් විශාල අරගල කළ විවිධ ගෝත්‍රික ජනගහනයක් එක්ව සැදී දකුණු අප්‍රිකාව පවා මේ සමාකමි අයිතිවාසිකම් උදෙසා එකග වෙනවා නම්, ඊට වටා හොඳ සාක්ෂරතාවයක්, බෞද්ධ දර්ශනයෙන් ඉවසීම සහ සදාචාරය ගැන කියා දී තිබෙන ලංකාව වගේ රටක මේ සමානාත්මතාවය ඇති කිරීම පහසුයි. * සමකාමින් පිළිබඳ පෞද්ගලිකව ඔබ කළ පර්යේේෂණ තිබෙනවාද... ඔවුන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් කර ඇති පරීක්ෂණවල නිරික්ෂණ මොනවාද? මගේ විෂය ක්ෂේත්‍රය නීතියයි. සමානාත්මතා නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් මා සතුයි. ඒ නිසා සමකාමින්ට සිදුවන අසාධාරණකම් වලදි ඔවුන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්න පිළිබඳ නෛතික පර්යේෂණවල මා නියැළෙනවා. නමුත් මේ වන විට සමකාමීන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් කෙරුණු බරපතළම පර්යේෂණයක නිරීක්ෂනයක් මා ඔබට කියන්නම්. එය විද්‍යාඥයින් හඳුන්වන්නේ ‘හොමොෆොබියා’ හෙවත් සමකාමීත්වයට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙසයි. ඒ අනුව මේ කියන සමකාමිනට විරුද්ධ වෙන්නේ විවිධ මානසිකත්වයන් නිසා තමන්ගේ සමකාමීත්වය යටපත් කර ගෙන සිටින අයගෙන්මයි. තම සමකාමීත්වය ලොවෙන් වසන් කිරීමට හොඳම ක්‍රමය ලෙස ඔවුන් තෝරා ගන්නේ සමකාමින්ට පහර දෙමින් ඔවුන් හිංසාවට ලක් කිරීමයි. ඒ තුළින් අන් අයගේ විශ්වාසය ගොඩ නඟා ගන්නට මේ පිරිස උත්සහ දරනවා. මේ වන විට මෙවැනි හිංසන බරපතළ ලෙස අහන්න දකින්න ලැබෙන්නේ රුසියාවෙන්. සමකාමින් හඹා ගොස් ඔවුන්ට හිංසන පමුණුවා එම විඩියෝ අන්තර්ජාලයට පවා මුදා හැර තිබෙනවා.. සමකාමින් ඔවුන්ගේ සමාජයේ කොටසක් නොවන බව ජනපති පූටින් ප්‍රසිද්ධියේම පවසා තිබෙනවා. කොන්චිටා වූෂ් කියන ඊපචදඵඨඥදඤඥප ගායිකාව මිට වසර දෙකකට පෙර යූරෝ විෂන් හි පළමු ස්ථානය දිනා ගැනිමට එරෙහිව හඬ නැඟුවෙත් රුසියාවයි. මේ තමයි හෝමෝෆෝබියා කියන රෝගයේ ලක්ෂණ. මේ හැරුණම සමකාමීන් පිළිබඳ කෙරෙණු නවතම පර්යෂෙණයේ තොරතුරු මම සඳහන් කළා. * ‘සමකාමින් සමාජ විරොධි පිරිසක් යැයි’ වාමාංශිකයකු වන වෛද්‍ය නලීන්ද ජයතිස්ස කළ ප්‍රකාශය පිළිබඳ ඔබේ අදහස? ඒ ප්‍රකාශය ගැන මට තිබෙන්නේ බරපතළ විරෝධයක්. වාමාංශික දේශපාලනයේ තිබෙන්නේ සමානාත්මතාවය. ඉතින් ඒ සමානාත්මතාවය ගැන කතා කරන අය කොහොමද එක් පිරිසක් අසමාන කොට සලකන්නේ. එය වාමාංශික දේශපාලන මුලධර්මවලට එරෙහිව යාමක්. මම නොබියවම කියනවා මොහු වාමාංශිකයෙක් නොවෙයි. ඔවුන්ට ඒ සංස්කෘතිය වැරැදි විදිහට අර්ථ නිරූපණය කිරීමේ යම් ඇජෙන්ඩා එකක් තියෙන්න පුළුවන්. සමහරවිට ඔහුගේ වෛද්‍ය විද්‍යා දැනුම තුළ මේ කාරණය සම්බන්ධ දැනුමක් නැති වෙන්නත් පුළුවන්. එසෙත් නැති නම් අර මම කලින් කියූ ‘හෝමෝෆෝබියා’ වගේ හේතුවක් වෙන්නත් පුළුවන්. * මෑතකදී අපේ නිර්මාණකරුවන් කිහිප දෙනෙකුටම ජාත්‍යන්තර ව්‍යාපෘති හෝ රාජ්‍ය නොවන සංවිධාන වල අවශ්‍යතා මත නිර්මාණ කරණයේ යෙදිම යන චෝදනාව එල්ල වී තිබෙනවා. ඔබටත් මෙවැනි චෝදනාවක් කළොත් ? පැහැදිලිවම ඕනෑම කෙනෙකුට මගේ ගිණුම් තොරතුරු සොයා බලන්න පුළුවන්. එක්තරා අවස්ථාවකදි මට ලැබෙන වන්දි මුදලක් සහ මා විසින් ඉතිරි කර ගෙන තිබූ මුදල් යොදා ගෙන තවත් ණය තුරුස් වෙලා තමයි මේ චිත්‍රපටය කරන්නේ. ඒ හැරුණම කිසිදු රාජ්‍ය නොවන ආයතනයක නමක්වත් සයපෙති කුසුමට ගෑවිලා නැහැ. මේ චිත්‍රපටයෙන් ලක්ෂ දහයක ප්‍රමාණයක් මම පෞද්ගලිකවම පාඩු ලබනවා. ලංකාවේ මහපරිමාණෙන් සිදු වන දුෂණ වංචා සහ මුදල් නාස්තිය බැලුවාහම රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ගැනීම ඒ තරම් දරුණු නැහැ කියන අදහස තමයි මට තිබෙන්නේ. රාජ්‍ය නොවන සංවිධානවලට තිබෙන බිය නැවත විශ්ලේෂණය කළ යුතුයි. එහි යම් යම් ප්‍රශ්න තිබෙන බව මම පිළි ගන්නවා. නමුත් යම් නිර්මාණ කරුවෙක් රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල් ලබා ගත්තත් එහි තිබෙන ප්‍රශ්නේ මොකද්ද? කවුරු හරි මුදල් එවනවා නම් ඒ මුදල් යොදා ගෙන නිර්මාණය කරනවා නම් ප්‍රශ්නයක් තියෙනවාද? හැබැයි මුදල් එවන පිරිස ඒ නිර්මාණයේ අන්තර්ගතය වෙනස් කිරිමට බලපෑම් කළොත් එතන ගැටලුවක් තියෙනවා. * ඔබේ දෙවන නිර්මාණයට වෙනස් විෂයක් පසුබිම් වේවිද? බොහො දුරට සමකාමීන් සම්න්ධයෙන් මගේ පළමූ හා අවසන් චිත්‍රපටය Frangipani වෙන්න පුළුවන්. දැනට මම තවත් නිර්මාණයකට සූදානම් වෙනවා. එහි කතා කෙරෙන්නේ ලංකාවේ දේශපාලන හිංසනය සම්බන්ධවයි. දැනට ඒ නිර්මාණයට අවශ්‍ය රූපණ ශිල්පීන් හඳුනා ගනිමින් ඉන්නවා. එතනින් එහාට තවම කැමරා ශිල්පින් සහ සංස්කරණ ශිල්පින් සොයා ගත යුතුයි. ඉදිරියේදී මෙවැනි දේශපාලන හිංසන සහ මිලිටරිකරණය සම්බන්ධයෙන් තවත් නිර්මාණ මා අතින් බිහි වේවි.
|