වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල ගීත රචනා කළ ප්‍රථම මුස්ලිම් ජාතිකයා මා විය හැකියි

සිංහල ගීත රචනා කළ ප්‍රථම මුස්ලිම් ජාතිකයා මා විය හැකියි

නිලාර් එන්. කාසිම්

මෙරට ගීත රචනා ක්ෂේත්‍රය තුළ සුවිශේෂී මං සලකුණු සනිටුහන් කළ ගීත රචකයෙකු ලෙස නිලාර් එන්. කාසිම් බොහෝ දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වන්නෙකි. සිංහල ගීතයේ සාහිත්‍යමය රසය නොනැසී පවත්වාගෙන යන්නටත් භාෂාවේ අනුපමේය ගුණාංගයන් ආරක්ෂා කරමින් නොනැසී පවත්වාගෙන යන්නටත් ඔහු ගන්නා උත්සාහය වර්තමාන ගීත රචනා කලාවේ දක්නට ලැබෙන අසාර ප්‍රයත්නයන් හමුවේ සුවිශේෂී කාරණාවකි. ඒ වෙනුවෙන් පෙනී සිටිමින් සිය නිර්මාණකරණය යහපත් කලාවක් වෙනුවෙන් භාවිත කරන ඔහු ගෙවුණු දශක දෙක තුනක කාලය පුරා මෙරට ගී කෙත පෝෂණය කරන්නට ලබා දුන් දායකත්වය අති මහත්ය. සිංහල ගීිතයේ ප්‍රගමනය උදෙසා ගීත රචනා කලාවේ යෙදෙනවා සේම මෙරට විද්‍යුත් මාධ්‍ය කලාව තුළ සන්නිවේදයෙකු වශයෙන් ද භාරදූර කර්තව්‍යයෙක නිරත වන ඔහු පසුගියදා සිය තුන්වැනි ගීත පොත 'වලාකුළු වියන්' නමින් එළි දැක් වීය. මෙරට ගීත රචනා කලාවත්, මාධ්‍ය ක්ෂේත්‍රයත් පිළිබඳ ඔහුත් සමඟ කළ කතාබහකින් බිඳකි මේ.

නිලාර් සාහිත්‍යකරුවකු වශයෙන් සැලකුවහොත් ඔහු අතින් රචනා වූ 10 වැනි ග්‍රන්ථය වූයේ මෙම ගීත රචනා එකතුවය. මින් පෙර ශාස්ත්‍රීය ග්‍රන්ථ වශයෙන් දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සළකුණ - ජෙයපාලන්, අසල්වැසියාගේ සාහිත්‍යය වැනි කෘතීන් ද, අර්ධ දරුවා (දෙමළ කෙටි කතා) සහෝදර පියාපත් (දෙමළ කවි) කුර්බාන් කළ සිහිනය වැනි පර්වර්තන කෘති ද දෙමළ හෝඩිය, දෙමළ හුරුව වැනි ළමා ග්‍රන්ථ ද රචනා කළේය. ගීත රචනා සංග්‍රහ වශයෙන් ගත් කළ වලාකුළු වියන් ඔහුගේ තුන් වැනි ගීත සංග්‍රහයයි. මින් පෙර පැහැසර අරුණක හා කිරිකෝඩු හිතට යන ගීත සංග්‍රහ ඔහු විසින් නිකුත් කර ඇත.

ඔබ ගීත රචනා එකතුවක් පොතක් ලෙස එළිදක්වන්නේ වසර 10 ට පසුයි. මෙතරම් දිර්ඝ කාලයක් ඒ වෙනුවෙන් ගත කළේ ඇයි?

ඇත්තටම ගීත වශයෙන් ගත්තොත් එක පොතකට නෙවෙයි. පොත් දෙක තුනක් කරන්න තරම් ගීත රචනා මගේ ළඟ එකතු වෙලා තිබෙනවා. අවුරුදු 10 ක් කියන්නේ දීර්ඝ කාලයක් තමයි. ඒ කාලය ඇතුළත පොතක් කෙරුණේ නෑ තමයි. ගෙවුණු කාල වකවානුව දිහා බලන කොට ප්‍රමාණාත්මකව ගීතය කිසියම් පරිහානියකට පත් වෙලා තිබෙනවා. තව සමහරු ප්‍රශ්න කරන්න පෙලඹෙනවා ගීත කලාවක් ඉතිරිවෙලා තියෙනවාද කියලත්. මම කල්පනා කළා වර්තමානයේ සක්‍රීය ගීත රචකයෙක් විදියට මේ කාලය ගීත පොතක් එළිදක්වන එක වැදගත් කියලා. ඒක ඇත්තටම අපි අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. ලංකාවේ ගීත සාහිත්‍යයක් තියෙනවාද කියන එක සංවාදයට ගත යුතු දෙයක්.

ඇත්තටම දැන් අපට ගීත සාහිත්‍යයක් තියෙනවාද? අතීත පරම්පරාවේ හිටපු ගීත රචකයන්ගෙන් අපට ඉතිරිවුණු ගීත සාහිත්‍ය තමයි අදටත් ඉතිරි වෙලා තිබෙන්නේ. ඒ පරපුරේ නිර්මාණකරුවන්ගේ ආභාසය ලබමිනුයි අපි ආවේ. අපෙන් පස්සේ ඊයේ පෙරේදා ආපු තරුණ කොටස් අතර නම් මම මේ ලක්ෂණය දකින්නේ නෑ. එවැනි අඩුපාඩුවක් හිඩැසක් තියෙන වෙලාවක තමයි මගේ ගීත පොත එළියට ආවේ. මේ සමඟම ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශගේ ගීත පොතකුත් එළි දැක්කා. මේ කාරණා හරහා මේ කතිකාව පුළුල් කර ගත යුතුයි.

මගේ මතකයේ හැටියට නිලාර් අප මුලින්ම හඳුනා ගත්තේ ගීත රචකයෙක් හැටියට නොවෙයි. හොඳ කවියෙක් විදියට. කෝ ඔබේ ඒ කවිකම?

මම හිතනවා ඒ කවිකමේ විකාශය තමයි මේ කියලා. කවියේ ඇසුර ලබපු ගීත රචකයෙකුට මනා ශික්ෂණයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපේ මතු පරම්පරාවල ගීත රචකයෝ දිහා බැලුවාම උදාහරණ ඕන තරම් තියෙනවා. මහගමසේකර, මඩවල එස්. රත්නායක, රත්න ශ්‍රී විජේසිංහ ඇතුළු මෙකී නොකී බොහෝ ප්‍රවීණ ගේය පද රචකයෝ මුලින් කවිය ඇසුරේ වැඩුණු අය. ජීවිතේ ඉස්සරහට යනකොට අපි හැමෝටම තමන්ගේ අනන්‍යතාවය ක්‍රමානුකුලව ගොඩනැඟෙනවා. කවිය ඇසුරේ හිටපු මමත් ක්‍රමයෙන් ගීතය පැත්තට යොමු වුණා. මම හිතුවා මගේ ආත්ම ප්‍රකාශනය වඩාත් හොඳින් කරගෙන යන්න පුළුවන් ගීත රචනා කලාව තුළ කියලා.

ඔබ ඉතාම ලස්සන ගීත රචනා රැසක් ගීත රචනා ක්ෂේත්‍රයට දායාද කළ ගීත රචකයෙක්. හැබැයි ඔබ සිංහල භාෂාව සහ සිංහල සමාජයෙන් දුරස්ථව ඉපදුණ හැදී වැඩුණු කෙනෙක්. මේකට මෙතරම් ආසක්ත වුණේ කොහොමද?

මගේ උත්පත්තිය සහ පරම්පරාව දිව යන්නේ මුස්ලිම් සමාජයත් එක්ක. මට උත්පත්තියෙන් හිමි වන්නේ දෙමළ භාෂාව. මගේ ගෙදර මගේ අම්මා තාත්තා ඉගෙන ගත්තේ කතා කළේ දෙමළ භාෂාව. නමුත් මගේ මවුපියෝ තීරණය කරනවා මට සිංහලෙන් අධ්‍යාපනය ලබලා දෙන්න. ඒ අනුව පුංචි කාලේ ඉඳලම මම ඉගෙන ගන්නේ සිංහලෙන්. හැබැයි මට ජීවිත ඥානය ලැබෙන්නේ මේ සිංහල, මුස්ලිම් යන සමාජ දෙකම තුළ. අද මේ දුර එන්න මට බලපෑවේ අම්මා තාත්තා එදා ගත්ත ඒ තීරණේ නිසා කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා. සිංහලෙන් ඉගෙන ගන්න පටන් ගත්ත ඒ ගමන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල විශේෂවේදී ගෞරව උපාධියත් ලබා ගත්තා. ඒ සමඟම කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා. මම විශ්වාස කරනවා මේ සීමාව අතික්‍රමණය කළ තවත් මුස්ලිම් ජාතිකයෙකු නැහැ කියලා. පළවෙනියා මම වෙන්න ඕනෑ. ඒත් එක්කම ගීත ක්ෂේත්‍රයට පැමිණි මුස්ලිම් ජාතිකයෝ රැසක් ඒ කාලේ හිටියා. අපි ගත්තොත් ගවුස් මාස්ටර්, මොහිදීන් බෙග් ආදීන්. ගීත රචනා ක්ෂේත්‍රයට පැමිණි මුල්ම මුස්ලිම් ජාතිකයා මම වෙන්න ඕනෑ.

ඔබේ බොහෝ නිර්මාණ තුළින් අන්තර් වාර්ගික සමගිය පිළිබඳ සාකච්ඡා වෙනවා. මේ සංහිඳියාව ඔබට ඇති වුණේ කොතැනක සිටද?

මං හිතන්නේ කුඩා කාලයේ සිටම පෞද්ගලිකව ජාතිවාදයට යුද්ධයට මම අකමැති කෙනෙක්. මගේ නිර්මාණ ජීවිතයේදී ඒ වෙනුවෙන් මම හැකි තරම් පෙනී හිටලා තිබෙනවා. අපි නිර්මාණකරුවෝ හැටියට කැපවිය යුත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන්. හැකි තරම් සමාජය ඒකරාශි කිරීම වෙනුවෙන්.

ගීත රචනා ක්ෂේත්‍රය තුළ ඔබගේ දායකත්වය විශේෂ වෙන්න තවත් හේතුවක් වෙන්නේ චිත්‍රපට පසුබිම් ගීත රචනය නිසා. මේ මාධ්‍ය දෙක තුළ ඔබේ අනන්‍යතාවය කෙබඳුද?

මගේ පරම්පරවේ ගීත රචකයන් අතරින් චිත්‍රපට පසුබිම් ගීත රචනා ක්ෂේත්‍රයට මගේ වැඩි දායකත්වයක් තිබෙනවා කියලා මට හිතෙනවා. මම මුලින්ම චිත්‍රපටයකට පසුබිම් ගීතයක් රචනා කරන්නේ උදයකාන්ත වර්ණසූරියගේ යකඩ පිහාටු චිත්‍රපටයට. එතැන් සිට මේ දක්වා චිත්‍රපට 40 කට පමණ මම ගීත රචනා කරලා තිබෙනවා. ඒ අතර බහුතරයක් ජනප්‍රිය ගීත බවට පත්වෙලා තිබෙනවා. මෑතකදී 'ආදරණීය කතාව' චිත්‍රපටයේ 'අහසින් එහා' ගීතය තමයි ළඟදීම ජනප්‍රිය වුණු ගීතය. උදාහරණ කියනවා නම් 'හිරිපොද වැස්ස' චිත්‍රපටයේ 'මීදුමෙන් වැසී', 'ආසයි මම පියාඹන්න' චිත්‍රපටයේ 'වලාකුල් වියන් තනා' සිංහාවලෝකනය චිත්‍රපටයේ 'මතකද සැන්දෑවේ', රෝසකැලේ චිත්‍රපටයේ 'උන්නාදෝ රෑනෙන් රෑනේ' වැනි ගීත මතක් කළ හැකියි. සාමාන්‍ය සරල ගීයක් රචනා කරනවා වගේ නොවෙයි චිත්‍රපටයකට ගීතයක් රචනා කරත්දී සැලකිල්ලට ගත යුතු කරුණු ගොඩාක් තිබෙනවා. චිත්‍රපටයේ තේමාව, අවස්ථාව, චරිත ස්වභාවය, නළුවාගේ ස්වභාවය, චිත්‍රපටය විසින් ඉල්ලා සිටින දේ, අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයට අනුගත වීම ඇතුළු තවත් බොහෝ දේ ගැනම සැලකිලිමත් වෙන්න ඕනෑ. අපි සරල ගීයක් ලිව්වොත් සම්පූර්ණයෙන්ම අපේ ආත්ම ප්‍රකාශනය ඉදිරිපත් කිරිීමේ අවස්ථාව තිබෙනවා.

නිර්මාණ ජීවිතය තුළ ඔබ පූර්වාදර්ශ කොට ගත් ගීත රචකයන් සිටිනවාද?

පොදුවේ සමස්තයක් විදියට ගත්තම මහගමසේකර, රත්න ශ්‍රී, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි චරිත සහ ඔවුන්ගේ නිර්මාණ මම ඇසුරු කළා. ඒ වගේම චිත්‍රපට ගීත රචනා ක්ෂේත්‍රයේදී ධර්මසිරි ගමගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, කරුණාරත්න අබේසේකර වැන්නන්ගේ උපාය උපක්‍රම මට අධ්‍යයනය කරන්න හැකි වුණා. ඒ තුළින් මේ ගමන් මඟ පුළුල් කර ගන්න පුළුවන් වුණා.

ඔබ තනුවට ගී පද ලියන්නත් දක්ෂයෙක්. ඒ පිළිබඳ ඇති අත්දැකීම් කෙබඳුද?

මේ දෙවිදියටම මම ගීත ලියනවා. හැබැයි පෞද්ගලිකව මම වඩා කැමැති පද රචනයට පසු තනුවක් නිර්මාණය වනවාටය. තනුවට පද ලියන කොට අපට සීමා මායිම් දාලා කොටු කරලා තිබෙන නිසා ආත්මීය ප්‍රකාශනයක් කරන්න අමාරුයි. භාතිය - සන්තුෂ් වෙනුවෙන් ලියපු ගීත බොහොමයක් මම ලිව්වේ තනුවලට.

වර්තමානය වන විට ඔබ මේ රටේ ප්‍රවීණ ජනප්‍රිය ගීත රචකයෙක්. එසේම විශාල ප්‍රමාණයකට සිංහල භාෂාවෙන් ආමන්ත්‍රණය කරන සන්නිවේදිකයෙක්. මුස්ලිම් සමාජය ඔබ සිටින මේ තත්ත්වය දකින්නේ කොහොමද? ප්‍රතිචාර මොනවාද?

ඔවුන් බෙහෙවින් ආඩම්බර වෙනවා. ලෝකයේ බොහෝ රටවල්වල ජීවත්වන මුස්ලිම්වරු පාවිච්චි කරන්නේ ඒ ඒ රටවල්වල ප්‍රධාන භාෂාව. ඒ අනුව ලංකාවෙදිත් පාවිච්චි කරන්න විය යුතුව තිබුණේ සිංහල භාෂාව. මේ රටේ බොහෝ මුස්ලිම් ජනතාව ළඟා විය නොහැකි තැනකට මට යන්න ලැබුණාය කියන සතුට ඔවුන්ට තිබෙනවා. මගේ මවු බස දෙමළ වුණත් වැඩි ඇල්ම තිබෙන්නේ සිංහල භාෂාවට. සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින්න කොයිම මොහොතකවත් මම පසුබට වන්නේ නෑ. එහෙම කරන්න ලැබීම මට ලොකු සතුටක්.