|
උදයකාන්ත වර්ණසූරියගේ 21 වැනි චිත්‍රපටය‘බන්ධනය’ දර්ශන තලයේ රසමුසු තැන්...
මහසෝන් පිල්ලිය A/C දාගෙන වෑන් එකේ
වලාකුළු ඉස්මත්තෙන් ඉඳහිට එබිකම් කරනා සඳඑළිය නොවන්නට මේ නම් නිසැකයෙන්ම කෑලි කැපිය හැකි අඳුර රජයන රැයකි. මූකලාන දෙසින් හමා එන තරමක සැඩ සුළං රැලි හා මුසු වූ බකමූණකුගේ විලාපය සිත කීරිගස්වන සුළුය. ගනින් මෙහාට ඔය රා මුට්ටිය . . . කුඹුක් ගහක් මුල එරමිණියා ගොතා වාඩිලා සිටි තිදෙනාගෙන් එකකු තම සගයන්ට එසේ පවසන්නේ අණ කිරීමකට වඩා ආයාචනාත්මක ස්වරූපයෙනි. එබසට අවනත වූ එක් සගයකු වහා ඉදිරිපත්ව රා මුට්ටිය ඔහුට පිරිනමන්නේ වෙව්ලන දෑතිනි. මුවග දැල්වෙන සුරුට්ටුවලින් නැගෙනා දුම් රොටු අතරින් දිස්වන්නේ හොඳ හැටි පදම් වූ ඔවුනගේ මලානික දෑස්ය. ඒ දෑස්වලින් දිස්වන්නේ කිසියම් තැතිගත් ස්වරූපයකි. මැණික්හාමි සහ ඩිංගිරාල අතර දහවල සිදු වූ වාග් ප්‍රහාරය එයට පමණක් සීමා නොවන බව ඔවුන් ඉවෙන් මෙන් දැන සිටියහ. මැණික්හාමිගේ අණසකට යට නොවූ ඩිංගිරාල තමනුත් කැටුව ඉඩම හරහා ඉනිවැට බැන්දේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අටියෙන් යුතුව බව මේ සුරා සොඬුන්ට තවම අමතකව ගොස් නැත. ඊළඟ නිමේෂයේ අඳුරු සෙවණැලි අතරින් මතු වූයේ පොලු, මුගුරු අමෝරා ගත්, මුහුණු ආවරණය කර ගත් මැරයන් සතර දෙනෙකි. ඒ දුටු ඩිංගිරාලගේ සහචරයන්ට වෙරිමත සිඳී ගියේ ඇසිල්ලකිනි. තව මොහොතකින් සිදුවන්නට යන දේ පිළිබඳ ඔවුනට අමුතුවෙන් වටහා දෙන්නට අවැසිව තිබුණේ නැත. බුදු අම්මෝ . . . මැරයකුගේ මුගුරු පහර කීපයකින් බැට කෑ පුංචිරාලගේ සහචරයකු නැඟූ මර ළතෝනිය බැද්ද පුරා රැව් පිළිරැව් දුන්නේ එතෙක් පැවැති නිහැඬියාව එකවර බිඳ දමමිනි. මැරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට බමන මතින් හෙම්බත්ව සිටි ඩිංගිරාලගේ සහචරයන්ට හැකි වූයේ නැත. පහර කෑ ඔවුන් පසු පස බලමින් මහා වතුයායේ ඈතට දිව යන්නට වූයේ තරගයට මෙනි. ඕ. කේ. කට් . . . අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ විධානයත් සමඟින් ඒ දර්ශනය රූ ගැන්වීම අවසන් විය. ඔහුගේ මුහුණේ ඇඳි සිනහව නිහඬව කියාපෑවේ එකී දර්ශනය සාර්ථකව රූ ගැන්වුණ බවකි. මා දැන් සිටින්නේ උදයකාන්තගේ 21 වැනි චිත්‍රපටය ‘බන්ධනය’ රූගත කෙරෙන ආනමඩුව, පරමාකන්ද දර්ශන තලයේය. මට එක පාරයි පිටට ගහනවා කිව්වේ. මොකද තුන් පාරක්ම පතබෑවේ . . . මැරයකු ලෙසින් රඟපෑ සිසිර කුමාරතුංගගේ පහර කෑමට ලක් වූ ඩිංගිරාලගේ සහචරයකු පවසන්නේ තරමක නෝක්කාඩුවෙනි. ඩිරෙක්ටර් කට් කියනකල් ඉතින් සීන් එක නවත්තන්න බෑනේ. ඒකයි එහෙම කළේ. පහර කෑමට ලක් වූ තැනැත්තාගේ පිට පෙදෙස පිරි මදිමින් සිසිර පැවසුවේ ඇඟට පතට නොදැනීය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගෙන්, ජනප්‍රිය නළු විජය කුමරණතුංගගෙන් පමණක් නොව ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුලාගෙන්, විල්සන් කරූලාගෙන් හැමදාම අම්බානකට ගුටි කෑ සිසිරට සිංහල සිනමාවේ තිස් වසරකට පසුව අතේ පයේ හිරි ඇර ගන්නට ලැබුණේ උදයකාන්තට පින් සිදු වන්නටය. ‘ෂඞ අද නේ අපි සිසිරගේ වැඩ කිඩ දැක්කේ. ඒත් උඹ තඩිබෑවේ අන්තිම අහිංසකයකුටනේ’ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත එසේ පැවසුවේ දර්ශන තලයේ සිටි සැවොම සිනා ගන්වමිනි. මම ජීවිතේට සිගරට් එකක් බීපු එකෙක් නෙවෙයි. ඒත් අද සුරුට්ටු හයක්ම එක දිගට බිව්වා. ජනක හාල්පන්දෙනිය එසේ පැවසුවේ පපුව අල්ලාගෙන කහින ගමන්ය. ජින්ජර් බියර් වෙනුවට ඇත්තම රා තිබුණා නම් මරු නේද? පුංචිරාලගේ තවත් සහචරයකු ලෙස රඟපෑ චින්තක එලෙස පවසන්නේ රා පොදක් තොල ගෑමට තිබූ කදිම අවස්ථාවක් මඟ හැරී ගිය සොවෙන් යුතුවය. රයිට් . . . අපි ඊළඟ ෂොට් එකට යමු. නැවතත් උදයකාන්තගෙන් විධානයකි. කැමරා අධ්‍යක්ෂ කේ. ඩී. දයානන්ද කාර්මික ශිල්පීන්ට උපදෙස් ලබා දෙන්නේ එකී විධානයට අවනත වෙමිනි. උදයට අවශ්‍යව ඇත්තේ රා කලයට පයින් ගසනා සමීප දර්ශනයකි. එකී දර්ශනය රඟපෑමට නියමිතව තිබුණේ සෝමවීර ගමගේ කලාකරුවාටය. පා පහර කීපයක් එල්ල කළ ද රා මුට්ටිය පෙරළුණේ නැත. මොකද ඔයා මේ රා මුට්ටිය සුරතල් කරනවානේ . . . සිය අභිමතය පරිදි අදාළ දර්ශනනය රූගත නොවූ හෙයින් අධ්‍යක්ෂවරයා සෝමවීරට පවසනු අවට සිටි අපට ද ඇසුණි. මේ මුට්ටිය අවුරුදු සීයක් පරණ එකක්. ඒ හින්දා මේකට කිසිම හානියක් කරන්න එපා කියලා මට ආ(ර්)ට් ඩිපා(ර්)ට්මන්ට් එකෙන් කියලා තිබුණා. ඒකයි පරෙස්සම් වුණේ. සෝමවීරගේ පිළිතුරට උදයකාන්තට සිනා නොවී සිටීමට බැරි විය. ‘ගහට නැගපු මිනිහාටත් කියන්න දෙයක් තිබුණානේ’ යැයි කවුදෝ මගේ කනට කොඳුරා කිව්වේ ඔය අතරය. ජනප්‍රිය නළු කුමාර වඳුරැස්සට මෙහි නිරූපණය කරන්නට තිබුණේ පාන් බක්කරේ කෙනකුගේ චරිතයකි. උපන් තේකට පාන් පෝරනුවක පළාතක ගොස් නොතිබූ කුමාරට එකී රංගනය තරමක් අසීරු කටයුත්තක් විය. එහෙත් කුමාරට අවශ්‍යය වූයේ චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කර තම හැකියාව ප්‍රදර්ශනය කිරීමටය. පාන් පිටි අනලම අත් දෙකත් රිදෙනවා . . . කිහිප වතාවක් පාන් පිටි අනමින් එකී කාර්යයට පුහුණු වූ කුමාර එකී දර්ශනය රූගත කර අවසන් වූ පසු තමා සමඟ එකී දර්ශනයට පෙනී සිටි හේමාල් රණසිංහට පවසනු මට ඇසිණ. ඒත් කමක් නෑ කුමාර අයියේ, ඔයා අනා ගන්නේ නැතුව රඟපෑවනේ . . . හේමාල්ගේ එවදන් කුමාරගේ සිතට ගෙන ආවේ එක්තරා අස්වැසිල්ලකි. ඔහු වහා තම සිගරට් පැකැට්ටුව හේමාල් වෙත දිගු කරමින් තම කෘතඥතාව එවලේම පුද කළ අයුරු දර්ශන තලයේ සිටි කාගෙත් ඇස ගැටිණ. ‘බන්ධනය’ චිත්‍රපටයට තේමා වී ඇත්තේ යාග හෝම, දිෂ්ටි හා බන්ධන පිළිබඳ සිංහල ජන ජීවිතයේ ඇති සිද්ධි ඇතුළත් අතිශය භයංකාර කතා පුවතකි. ජනකතා හා පත පොත ඇසුරෙන් උදයකාන්ත විසින්ම තිර රචනය කර ඇති ‘බන්ධනය’ චිත්‍රපටයට ප්‍රවීණ සහ නව පරපුරේ කුසලතා සපිරි නළු, නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ. සිරිල් වික්‍රමගේ. හේමාල් රණසිංහ, සුවිනීතා වීරසිංහ නිල්මිණි තෙන්නකෝන්, දුලානි අනුරාධා, රවීන්ද්‍ර යසස් ප්‍රධාන චරිත රඟන මෙහි ප්‍රියංකර රත්නායක, ලියෝනි කොතලාවල, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සහේලි සතරසිංහ, සුදම් කටුකිතුලේ, උදයකුමාරි රණසිංහ, ආරියසේන ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, කීර්ති රංජිත්, නන්ද වික්‍රමගේ, රංජිත් රූබසිංහ, නිමාශා ද සිල්වා ඇතුළු පිරිසක් සෙසු චරිත නිරූපණය කරති. ‘බන්ධනය’ භයංකාර චිත්‍රපටයක්. ඒ කියන්නේ බටහිර සිනමාවේ ජනප්‍රිය හොර(ර්) වර්ගයේ චිත්‍රපටයක්. දැනට අවුරුදුු හැත්තෑවකට පමණ පෙර අපේ රටේ තිබුණ ගැමි ජන ජීවිතය පාදක කර ගනිමින් තමයි මම මෙහි කතාව රචනා කළේ. යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, පිල්ලි, බන්ධන ආදී දේවල් ඇසුරින් ලියැවුණ අතිශය භයංකාර කථා පුවතක්. මැණික්හාමි (සිරිල් වික්‍රමගේ) ඩිංගිරාල (විල්මන් සිරිමාන්න) කියන ඥාති සොහොයුරන් අතර ඇතිවන ඉඩම් ආරාවුලක් සම්බන්ධ කරගෙන තමයි මේ කථා පුවත ගෙතී තිබෙන්නේ. දවසක් මැණික්හාමි, ඩිංගිරාලගේ නිවසට පිල්ලියක් අරිනවා. භයානක පිල්ලියක්. මා දැන් සිටින්නේ ගරා වැටෙමින් තිබෙන ගලපාත කන්දකැටිය වලව්ව ඉදිරිපිටය. අක්කර සිය ගණනක් පුරා විසිරුණු භූමි භාගයක පිහිටි මේ දැවැන්ත වලව්ව කිසියම් අද්භූත ස්වරූපයකින් යුක්තය. ඩිංගිරාලගේ නිවහන ලෙස යොදා ගෙන තිබෙන්නේ මේ කන්දකැටිය වලව්වය. මැණික්හාමි විසින් මහසෝන් පිල්ලිය එවනු ලබන්නේ මේ භුමියටය. ‘මේකා අමුතුම යකෙක්. අපේ සිනමාවේ කවදාවත් මේ වගේ යක්ෂයෙක් නිර්මාණය වෙලා නෑ’ නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්න එසේ පවසද්දී නිශ්චල ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්ත ඔහුගේ විශාල දෙනෙත් තවත් විසල් කරමින් මා දෙස බැලුවේ ත්‍රාසය, භීතිය මුසු බැල්මකිනි. කෝ ඉතින් යකා . . . යකාව හංගලා තියෙන්නේ. දැනට එළියට ගන්නේ නෑ. එසේ පවසන්නේ කලා අධ්‍යක්ෂ අරුණ ඩයස්ය. උඹට යකා බලන්න ඕනෑ ද . . . වරෙන් . . . වේශ නිරූපණ ශිල්පී ජයන්ත රණවක වහා ඉදිරිපත් වූයේ මගේ ආශාව සංසිඳවනු පිණිසය. ඔහු මා කැටුව වලව්ව ඉදිරිපස නවතා තිබූ වෑන් රියක් අසලට පිය මැන්නේ මසිත කුහුලින් පුරවමිනි. වෑන් රියේ එන්ජිම පණ ගන්වා තිබුණි. පසුපස දොර හරිමින් ජයන්ත ‘මේං යකා’ යැයි පවසමින් මට යම් රුවක් පෙන්වීය. එතෙක්, මෙතෙක් අපේ සිංහල සිනමාවේ මා දුටු බිහිසුණුම හා විරූපිම යක්ෂ රුව වෑන් රියේ හිඳ ගත් වනම මදෙස නෙත් යොමා සිටියි. ඒ රුව අතිශයින් භයංකාරය. සිරුර පුරා වැසුණු ඝන කළු ලෝමවලින් යුත් ඒ යක්ෂ රුව ඊළඟ දර්ශනය සඳහා සූදානමින් සිටින්නේ අධ්‍යක්ෂවරයාගේ කැඳවීම ලැබෙන තෙක්ය. මෙයාට A/C එක නැතුව ඉන්න බෑ. එකයි මේ වෑන් එකේ A/C දාලා තියෙන්නේ . . . මහසෝන් පිල්ලියේ නිර්මාතෘ ජයන්ත රණවක මා හා පවසන්නේ ගැටලුවක් නිරාකරණය කරනා පරිද්දෙනි. මෙම අපූර්ව නිර්මාණය පිළිබඳ ඔහුට පවසන්නට බොහෝ දේ ඇතිවා නිසැකය. මම මේ යක්ෂයා නිර්මාණය කළේ බද්ධාංග රචනය එහෙම නැතිනම් ප්‍රොස්තටික් මේකප් කියන ක්‍රමයට. ත්‍රිමාන අංග රචනයේදී මේ ප්‍රොස්තටික් මේකප් අපේ සිනමවේ භාවිත කර තිබෙන්නේ මුලින්ම රන් කෙවිට 01 චිත්‍රපටයේ අර පන්සලේ ‘යකා’ගේ චරිතය වෙනුවෙන්. ඊට පස්සේ මම ‘වරිග පොජ්ජ’ චිත්‍රපටයට නීට්ටෑවෝ නිර්මාණය කළා. මේ තැන්වැනි එක. මේ අංග රචනය ශිල්පියාගේ රූපය සහමුලින්ම වෙනස් කිරිමක්. මුහුණේ අඟල් හයක් පමණ ඉදිරියට නෙරා එන ලෙස තමයි මම එය නිර්මාණය කළේ. මේ මේකප් එකට පැය පහක් විතර ගියා. හිසේ සිට පාදාන්තය දක්වාම මේ අංග රචනය සිදු කර තිබෙන නිසා ශිල්පියාට ස්ට්‍රෝ එකකින් බීම ටිකක් විතරයි බොන්න පුළුවන්. ලොකු කැප කිරීමක් කළා ඔහු මේ චරිතයට. රයිට් දැන් යකාගේ සීන් එක . . . සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත විගසින් පැමිණ එසේ පැවසුවේ යක්ෂයාට හිසින් සන් කරමිනි. මෙතෙක් වේලා යක්ෂයා දැක තිබුණේ අධ්‍යක්ෂවරයා, සහාය අධ්‍යක්ෂවරයා, වේශ නිරූපණ ශිල්පියා වැනි කිහිප දෙනකු පමණි. අම්මෝ මුගෙ හැටි . . . යක්ෂයා දර්ශන තලයට පැමිණෙන විට කවුදෝ පැවසුවේ විවර කරගත් දෙනෙතිනි. රූගත කිරීමට ඇත්තේ යක්ෂයා ආරියපාලගේ බොටුව කඩා දමා ඔහු වීසි කරනා දර්ශනයයි. දෙතුන් වරක් එම දර්ශනය රූගත කෙරිණ, ආරියපාල ලෙස රංගනයෙන් දායක වූයේ ප්‍රියංකර රත්නායකය. යක්ෂයාට කතා කිරීමට නොහැකිය. නමුදු සියලු ඉරියව් මුහුණෙන් ප්‍රකාශ කළ හැකිය. විදුලි ආලෝක ධාරාවල එළියෙන් යකාගේ ඇතුළත සිටි රංගන ශිල්පියාගේ සිරුර ගිනියම්ව ඇති බව සියල්ලටම අවබෝධ විය. යකා ද අතින් ඉඟි කරමින් ඒ බව කියා පෑවේ අසරණ ලෙසිනි. නමුදු ඒ දාහය නිවාලන්නට ඒ පරණ වලව්වේ විදුලි පංකාවක් තිබුණේ නැත. ඉක්මනට ෆෑන් එකක් හොයාගෙන එන්න. යකාට අමාරුයි මෙහෙම ඉන්න. . . උදයකාන්ත එසේ පවසන විටම ඉදිරිපස නවතා තිබූ වෑන් රිය පණ ගැන්වුණි. මම එහි සිටි සියල්ලන්ටමත් ඒ යක්ෂයාටත් ආචාර කර ආපසු එන්නට සැරසුනෙමි. ඇත්තෙන්ම ඒ යකාට පණ පෙවූ රංජිත් සිල්වාගේ කැප කිරිම නම් අති විශිෂ්ටය.
|