වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමලතාට තිබූ කශේරුකාව කාටවත් නෑ

සෝමලතාට තිබූ කශේරුකාව කාටවත් නෑ

පූජිත ද මැල්

කුඩා කාලයේම පාසල් වේදිකාවේ ‘පුහුල් හොරා කරෙන් දැනේ’ නාට්‍යයේ රඟපාමින් සිය රංගන ගමන ඇරැඹූ පූජිත ද මෙල් නම් කුඩා දරුවා සෝමලතා සුබසිංහගේ නාට්‍ය පීඨයට ඇතුළත් වන්නේ පුවත්පතක පළ වූ දැන්වීමක් දැකීමෙනි. එතැන් පටන් මේ නාට්‍යවේදිණියගේ නාට්‍යවල රඟපාමින්, කාලයක් ගතවීමේදී එහි සහය අධ්‍යක්ෂණයට සහභාගි වෙමින්, වැඩමුළු කරමින් ඒ ආයතනයේ මෑතක් වනතුරුම කටයුතු කරන ඔහු තමා ඉගෙන ගත් දේ වේදිකාවට රැගෙන එන්නේ ඉන් අනතුරුව ය. ‘පියවර’, ‘අසෙනිමාලි’ හා ‘විකාර හැන්දෑව’ නම් පර්යේෂණ නාට්‍යය කරමින් වේදිකාවේ සැරිසරන මේ තරුණයා හෙට දිනයේ සමාජයට යහපත් දරු පිරිසක් උරුම කරන්නට මහන්සි ගන්නෙකි. එවැනි උදාර පරමාර්ථයක් ඇති පූජිත ද මෙල් නම් මේ තරුණායා පිළිබඳත්, නාට්‍ය කලාවේ නවමාන පිළිබඳත් ඔහු සමඟ කළ සාකච්ඡාවකින් මේ ලිපිය සැකසිණි.

තවත් වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයක්ම ඔබ වේදිකාට රැගෙන පැමිණියා නේද ?

කැලණිය විශ්වවිද්‍යාලයත් එක්ක දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ ‘බක්මහ දීගේ ’ නාට්‍යයක් විදියට කළා. ඒක සයිට් පැසිෆික් එකක්. පේරාදෙණිය වලේ දි සුනන්ද මහේන්ද්‍ර මහත්තයාගේ ‘සොක්‍රටීස්’ නාට්‍යය කළා. මේ වනවිට මා ‘හඳයා ගිය පාර’ නමින් ළමා නාට්‍යයක් කරනවා.

සෝමලතා සුබසිංහ කියන ප්‍රවීණ නාට්‍යවේදිණියගෙන් ඔබගේ ජීවිතයට ලැබුණු පන්නරය මොන වගේ ද?

හොඳ කශේරුකාවක් තිබීම ඇයගේ මා දැක්ක ප්‍රධාන ම ගුණාංගයයි. විශේෂයෙන් ම ඇය අධ්‍යාපන වේදිණියක් විදියට අධ්‍යාපනය ගැන විශ්වාස කළා. එතැනදි ඒ අධ්‍යාපනයට නාට්‍ය ආකාරයෙන් දරුවන්ව හදන්න ඕනෑ, ලෝකයේ ම ඉන්න ඔවුන්ගේ රස වින්දනය වැඩි කරන්න ඕනෑ, තරුණයන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕනෑ කියන මතයේ ඇය සිටියා. වෙනස් වන සමාජයත් සමඟ ඒ තරුණයන්ව ඇය හොඳීන් හඳුනා ගත්තා. ඇය අසල සිටිය ඒ ඒ අයගේ විවිධ හැකියා හොඳීන් හඳුනා ගත්තා. ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කළා. ඒ අයත් සමඟ වැඩ කළා. එක් එක් කෙනාගේ අනන්‍යතාවලට ගරු කළා. ඒ අනන්‍යතා ඔස්සේ යන මාවතක් තැනුවා මිසක් ඇගේ අනන්‍යතාවට මේ අයව දැම්මේ නැහැ. කවුරුවත් සෝමලතා සුබසිංහගේ කාබන් කොපියක් කළේ නැහැ. මියයනතුරුමත් ඇය සිටියේ මේ කියන මතවලමයි. මෙවැනි පසුබිමකයි මා හැදුණේ, වැඩුණේ. මේ විදියට ලැබුණු පන්නරයයි අපේ ජීවිතවලටත් බලපෑම් කළේ.

ඔබ ආරම්භ කළ පදනම හරහා සිදු කරන්නේ කුමන කටයුතු ද?

ශෛලී ආරම්භ කරන්නේ 2008 වසරේදී. ළමයින්, තරුණ - තරුණියන්, වැඩිහිටියන් මූලික කරගෙනයි මේ ආයතනය ආරම්භ කළේ. විශේෂයෙන් ම ළමයින්ගේ පෞරුෂය වර්ධනය සඳහා වැඩමුළු කිරීම අපගේ එක් කාර්යයක්. නොමිලේ පාසල් කිහිපයක ම අපි මේ කටයුත්ත සිදු කළා. ඊට හේතුව වන්නේ අද ළමා සාහිත්‍ය හා රස වින්දනය කියන දෙය ළමයින්ගේ සිත්වලින් ඈත් වෙමින් යන බවකුයි පෙනෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කළ යුතුයි. කොහොම ද කතන්දරයක් රස විඳීන්නේ. ජන කවියක් කියන්නේ මොකක්ද? කොහොමද ඒ ඔස්සේ ජීවිතය රස විඳීන්නේ කියලා ඔවුන් දැනගත යුතුයි. ඔවුන් අද මුළු පරිසරය ම තමන්ගේ ජීවිතයෙන් ඈත් කරලා. ඒ ඈත් කළ මුළු පරිසරය ම දකින්නේ ලැප්ටොප් එකෙන්. ඔවුන් ගේම් සෙල්ලම් කළ යුතු බව ඇත්තයි. නමුත් සාමුහිකව සෙල්ලම් කරන්නටද? ජය පරාජය විඳගන්නටද? ඔවුන් පුරුදු පුහුණු විය යුතුයි. අද වනවිට මනුෂ්‍යත්වයෙන් බැඳීලා සිටිය අපේ අයගේ ඒ සියලු බැඳීම් එකින් එක ගැලවෙමින් යන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. එහි ආදීනවයි පසුගිය දවස්වල ඇසෙන කතා මගින් අපි අත් විඳීන්නේ. මේ නිසා නිදහසේ හිතන්න පුළුවන් සමාජ රටාවක්, ක්‍රමයක් නිර්මාණය කරන්නට අපි ළමයින් ඇතුළු වැඩිහිටියන් සියලුදෙනා ම උනන්දු කළ යුතුයි. එයයි මේ පදනම බිහි කිරීමේ මූලික අරමුණ වන්නේ. බොහොම සුළුවෙන් ඒ කටයුත්ත සිද්ධ වෙනවා.

ඒ වගේ ම කර්මාන්තශාලාවල තරුණ සහ වැඩිහිටි අයට, ගුරුවරුන්ටත් අපි වැඩමුළු කරනවා. ඒ නාට්‍ය ආශ්‍රිතවයි. නායකත්ව පුහුණු වැඩසටහන් වගේ ම සාමූහිකව, කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද කියන දේවල් ගැනත් අපි එහිදි කතා කරනවා. මේ වැඩමුළු ආයතනවලට විශේෂයි. මේ අතර පර්යේෂණ නාට්‍ය කිහිපයක් ද වේදිකාවට ගෙනාවා. මේ කටයුතු කරන්නට මාත් සමඟ සංජීව,මයුර, අජිත්, නිරංජලා, නදීක කියන පිරිසක් එකතුවෙලා ඉන්නවා. ඕනෑ ම වෙලාවක, ඕනෑම කෙනෙකුට අපේ සේවය ලබා දෙන්න අපි සූදානම්. නොවැම්බර් මාසයේ මුල ළමයින්ට ළමා නාට්‍ය වැඩමුළුවක් ආරම්භ කරන්න සිතාගෙන සිටින බව කිව යුතුයි. ඒ කටයුත්ත කෙරෙන්නේ මාස හයක වැඩමුළුවක් ලෙසින්. එය අවසානයේ ළමා ගීත සැන්දෑවක් කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සඳහා සහභාගි වන්න යැයි ආරාධනා කරන ගමන් ම ඊළඟට ‘සොක්‍රටීස්’ වේදිකා නාට්‍යයත් නැවත නිෂ්පාදනයක් ලෙසින් වේදිකාවට පැමිණේවි.

ලංකාවේ නාට්‍ය කලාව එක ම තැනක කැරැකෙන බවක් තමයි අද අපට දකින්නට ලැබෙන්නේ නේද ?

ලංකාවේ නාට්‍ය සීමා වී තිබෙන්නේ හතරැස් ශාලාවකටයි. එහි ඇවිත් නාට්‍යයක් නරඹලා, සිනහ වෙලා, අත්පුඩි ගහලා යන කාරණාවලට පමණක් අද නාට්‍ය නැරැඹීම මූලික වෙලා. අද හැමෝම අහන්නේ නාට්‍යයක් නරඹන්න ඉස්සෙල්ලා මේ නාට්‍ය නැරැඹුවට පස්සේ සිනහ යනවද කියලා. එහෙමත් නැත්නම් සිනහ වෙන්න පුළුවන් ද කියලා. ඒ වගේ තලයකයි අද නාට්‍ය නරඹන්නන්ගේ රසිකත්වය තිබෙන්නේ. මේක බොහොම ඛේදනීය තත්ත්වයක්. හැබැයි ආසන්න ම රට වුණු ඉන්දියාව දෙස බැලුවොත් එහි නාට්‍ය ක්ෂේත්‍රය වර්ධනය වුණු තැනකයි තිබෙන්නේ. ඒ වර්ධනය වීම ඇතුළේ ඩ්‍රාමා තෙරපි, ෆෝරම් ඩ්‍රාමා, සයිට් පැසිෆික් ඩ්‍රාමා, ඉමේජ් ඩ්‍රාමා, සයිලන්ස් ඩ්‍රාමා ආදී නොයෙක් නාට්‍ය ප්‍රවේශ බිහිවී තිබෙනවා. තියටර් ෆෝ ඩිවලොප්මන්ට් කියලා වෙනස් ම විෂයයක් බිහිවෙලා තිබෙනවා. ඒ ඔස්සේ නිර්මාණ හා පර්යේෂණ කරනවා. නමුත් අප තවමත් ඒවාට ප්‍රවේශ වන ප්‍රමාණය බොහොම අඩුයි.

වර්තමානය වනවිට නාට්‍ය කලාවේ වර්ධනයක් දකින්නට ලැබුණත් ඒ ඒ නව නිර්මාණ හා පර්යේෂණයන්ට අපේ නාට්‍යකරුවන් යොමු නොවන්නේ ඇයි ?

එහෙම වෙන්න ගැටලු ගොඩක් තිබෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපට හිතුණොත් මේ නාට්‍යයක් සයිට් පැසිෆික් තියටර් එකක කරන්න ඒ සඳහා ගැටලු රාශියක් ගොඩනැඟෙනවා. කැලණි විශ්වවිද්‍යාලයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ළමයින් පිරිසක් සමඟ එකතු වී අපි කළ ‘සොක්‍රටීස්’ පෙන්නුවේ පේරාදෙණියේ වළේ. වළ ඇතුළේ ප්‍රේක්ෂකයන් දමලා නාට්‍යය පෙන්නුවේ පඬිපෙළවල්වල රඟපාමින්. ‘බක්මහ අකුණු’ නාට්‍යය අපි පෙන්නුවේ කැලණියේ විශ්වවිද්‍යාලයේ තිබුණු පුස්කොළ පුස්තකාලයේ. ඒ වනවිට ඒක විවෘත කරලාවත් තිබුණේ නැහැ. මේ නාට්‍ය එහෙම පෙන්නවන්න වුණේ විවිධ තලවල තිබුණු නිසා. එහෙම නාට්‍ය වර්ග ලෝකයේ තිබෙනවා. එහෙම වුණත් ඒ විදියට නාට්‍ය කරන්න නම් ඊට අනුරූප විදියට අනෙක් වටපිටාවත් නිර්මාණය වෙන්න ඕනෑ. සමහර වෙලාවට ළමයි අහන දෙයක් තමයි මේ වගේ නාට්‍යයක් අරගෙන තැනකට ගියාට පස්සේ අපි මෙතැන කොහොමද නාට්‍යය කරන්නේ කියලා. ඒ කියන්නේ එතැන තියෙන්නේ වෙනස් ම පරිසරයක්. එවිට නළු නිළියෝ ඒ පරිසරයට අනුගත විය යුතුයි. එහෙත් මේ අභියෝගය භාර ගන්න අධ්‍යක්ෂවරයා හා නළු නිළියන් කැමැති වුණත්, ඊළඟට සංවිධායකවරුන් මේ අභියෝගය භාර ගන්න කැමැති නැහැ. නාට්‍ය කියන්නේ සාමූහික ක්‍රියාවලියක්.

වෙනත් රටවල්වල නම් නාට්‍ය සංස්කෘතියක් තිබෙනවා. මීට පෙර එවැනි සංස්කෘතියක් අපටත් තිබුණා. අපි නාට්‍ය නරඹන්න යොමු වෙන්නේ එවැනි සංස්කෘතියක් තිබුණු කාලයකයි. අපේ අම්මලා, තාත්තලා අපව නාට්‍ය නරඹන්න එක්ක ගෙන ගියා. මට තවම මතකයි මා මුලින්ම වේදිකාවට ප්‍රවේශ වුණේ විජිත ගුණරත්න මහත්තයාගේ ‘සුබ සාධක’ නාට්‍යයෙන්. ඔහුගේ මුල් ම නාට්‍යය වුණු ‘දැති කියත’ නාට්‍යය වේදිකා ගතවුණේ තිර ඔක්කොම ඇරලා. එහෙම කළේ ඒ නාට්‍යය එක්තරා වෙනස් විදියේ නාට්‍යයක් නිසා. එදා ඒ වගේ නිර්මාණ නිර්මාණය වුණා. නමුත් අද එහෙම නැහැ. නෙළුම් පොකුණ කියන ශාලාව හැදුවට මේ වගේ නිර්මාණවලට ඉඩක් වෙන් වෙන්නේ නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. මට අවශ්‍ය නම් මේ ශාලාවක පුටු ටික අයන් කරලා වෙනස් විදියට නිර්මාණයක් කරන්න ඒකට ඉඩකඩක් නිර්මාණය වෙන්නේ නැහැ නේ. භාරකාරත්වය ඊට කැමැතියි ද? එහෙම කරන්නට නම් ඊට අවශ්‍ය විදියටයි රඟහලවල් නිර්මාණය විය යුත්තේ. නමුත් වෙන රටවල්වල නම් මේ සඳහා නිර්මාණය වී තිබෙන්නේ වෙනස් ම වටපිටාවක්. එවැනි ගැටලු රාශියක් සමඟයි අපි නාට්‍ය කරන්නේ. මේ තත්ත්වය වෙනස් වනතුරු මොන දේ කළත් වැඩක් වේ යැයි මා නම් සිතන්නේ නැහැ.

අද වේදිකාවේ දී වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ විහිළු නාට්‍යයයි. මේ අයුරින් ගුණාත්මක නොවන නාට්‍ය බිහිවීම අද ටෙලි නාට්‍යවලට ද පොදු වූ ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ කාරණය තරුණ නාට්‍යකරුවෙක් විදියට ඔබ දකින්නේ කොහොම ද ?

මේක අපම කරගත්ත විනාශයක්.ටෙලි නාට්‍යවලත් ස්වර්ණමය යුගයක් තිබුණා නේ. තිස්ස අබේසේකර, පරාක්‍රම නිරිඇල්ල, බර්ට්‍රම් නිහාල් ඇතුළු තවත් බොහෝ අධ්‍යක්ෂවරු හොඳ නිර්මාණ කළා. ඒ කාලයේ වෘත්තියට ගරුත්වයක් තිබුණා. එහෙත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. අද නළු නිළියෝ දවසේ පඬිකාරයන් බවට පත්වෙලා. මේ තත්ත්වය ම වේදිකාවටත් මුහුණ දෙන්නට සිදුවුණා. එසේ නොවන්නට නම් විය යුත්තේ අපි මේ මොකක්ද කරන්න යන්නේ කියලා නාට්‍යකරුවන් සවිඥානික වීමයි. නාට්‍යකරුවෝ සිතන්න ඕන මෙන්න මේවා අපි කරන්නේ නැහැ, මේවා අපි කළ යුතුයි කියලා. ඒ වගේ ම දේශපාලයනට ප්‍රවේශ වෙන්න ඕනෑ, ඒ සඳහා මිනිස්සුන්ව, ළමයින්ව දැනුවත් කිරීම් කරන්න ඕනෑ, සූදානම් කරන්න ඕනෑ කියලා. සුගතපාල ද සිල්වා, සෝමලතා සුබසිංහ, හෙන්රි ජයසේන, සරච්චන්ද්‍ර, ධර්මසිරි බණ්ඩාරනායක කියන මේ නාට්‍යකරුවන් හැමෝම කළේ ඒකයි. ඒ තත්ත්වය මේ වනවිට ගිලිහී ගිහින් තියෙනවා. මා නම් සිතන්නේ නැවතත් ඒ තත්ත්වය ඇතිකළ යුතු බවයි.