|
මේ විහිළු දැකලා දුක හංගන්න පුළුවන් කාටද?ඇනස්ලි ඩයස්ගේ බිරිය අසයි
ජාතික රූපවාහිනිය ඔස්සේ සෑම සෙනසුරාදාවකම විකාශය වන අන්දරේගෙන් පස්සේ සමඟ යළිත් විකට රජ තුන් කට්ටුව ඇනස්ලි, සැමුවෙල්, බර්ටි යළිත් කතාබහක් ඇති කළා. ඒ අතරේ අප ඇනස්ලි ඩයස් ජීවත් වූ නිවහනට ගියෙමු. අපි පියමං කළේ 377, පරණ නුවර පාර, දළුගම, කැලණිය නිවහන වෙතය. එහිදී අපට හමු වුණේ එදා ඇනස්ලි ඩයස්ගේ ජීවිත සහකාරිය වූ ප්‍රිය බිරිය නොයෙලින් ඩයස් මහත්මියයි. මේ ඇය හා කෙරෙන පිළිසඳරකි.
මේ දවස්වල ඇනස්ලිගේ කියුම් කෙරුම් අහල බලලා චිත්තක් ප්‍රීතියෙන් ගත කරනවා කියලා ආරංචියක් ලැබුණා? මම විතරක් නෙමේ රටේ හැමෝම එයාගේ කෙරුම් කියුම් අහලා නරඹලා ඇඟේ ලේ පිරිසිදු කර ගන්නවා කියලයි මට ආරංචි. අද සැමියත් ජීවතුන් අතර නැති එකේ දුකක් කනගාටුවක් හිතේ තියන් මේ ප්‍රහසනාත්මක රංගනයන් නරඹන කොට මොකද හිතෙන්නේ? මහත්තයා ඉන්න කොට මම මේ නාට්‍ය රූපවාහිනියෙන් නරඹලා තියෙනවා. අද එයා මා ළඟ නැහැ. ඒත් එදා මහත්තයා රඟපෑ දේවල් දකින කොට එයා ළඟ නැහැ කියන දුක තිබුණත් කාටද අනේ දුක හංගන් ඉන්න පුළුවන්. එයාලා මේ කියන කරන දේවල් බලන් ඉන්න කොට දුක තුනී වෙලා යනවා. එයාව ආයෙත් සැබැවින් දකින කොට හරියට අදත් එයා ජීවත් වෙනවා කියන සිතුවිල්ල තමයි මට දැනෙන්නේ. කොහොමද එදා ඔබට ඇනස්ලි හමු වුණේ? එයා කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වන කාලයේ තමයි මට හඳුනගන්න ලැබුණේ. එයා කැලණිය දළුගම පදිංචි වෙලා හිටියේ. මම කඳානේ පදිංචි වෙලා හිටියේ. අපි දෙන්නා ගුරුකුල විද්‍යාලයේදී එකට හමු වුණා. අපි අතර සම්බන්ධයක් ගොඩ නැගුණා. එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. මම ඒ ගැන අපේ පවුලේ වගකීම් අරගෙන තිබූ මගේ අයියට දන්වන්න කිව්වා. එයා අයියාට ලියුමක් දැම්මා. දවසක් අයියා මගෙන් ඇහුවා ඇනස්ලි කියල කෙනෙක් හඳුනනවද කියලා. මම ඔව් එයා මගේ යාළුවෙක් කිව්වා. අයියා ඇහුවා කොහොම කෙනෙක් ද කියලා. මම කිව්වා හොඳ කෙනෙක්, දළුගම පැත්තේ පදිංචි වෙලා ඉන්නේ කියලා. ඒ පාර අයියා කිව්වා ඇවිත් මාව හමුවන්න කියලා . කොහොම හරි ඇනස්ලි ඇවිත් අයියාව හමු වුණා. අපේ විවාහයට දෙමාපිය ආශිර්වාදය ලැබුණා. අපි 1957 ඔක්තෝබර් 16 වැනිදා විවාහ වුණා. ඔබට අපූරු නැන්දම්මා කෙනෙක් ලැබුණලු නේද? ඇනස්ලි පවුලේ බාලයා වීම නිසාම මාව කැන්දගෙන ආවේ එයාලගේ දළුගම මහ ගෙදරට. ඒ ගෙදර හිටියේ එයාගේ අම්මා ආනමරියා පෙරේරාත්, ඇනස්ලිත් විතරයි. එයාගේ අම්මයි මායි අතර තිබුණේ පුදුම උපදවන මිත්‍රශීලීකමක්. අම්මා හිටියේ හරිම විනෝදයෙන්. නිතර සිනාසීමට ප්‍රිය කරන ඇය කා අතරත් මිත‍්‍රශීලී තැනැත්තියක් වුණා. මට පුදුම විදියට ඇය ආදරය කළා. මමයි අම්මයි හරියට යාළුවො දෙන්නෙක් ගානයි. දරුවෝ එහෙම කොහොමද? අපි දෙන්නට පුතාලා දෙන්නයි, දුවල හතර දෙනයි. ජයමාලි, නිලීකා රජින්ද්‍ර, මනෝරි, ජනක්, සමන්ති මේ හැමෝම අද වෙන කොට විවාහ වෙලා. මේ අයගෙන් රජින්ද්‍ර පුතා හදිසියේ හෘදයාබාධයක් හැදිලා නැති වුණා. අද ඔබ කාගෙ හවුහරණයක් ඇතුව ද ජීවත් වෙන්නේ? මගේ බාල පුතු ජනක් ළඟ තමයි මම ඉන්නේ. පුතා ව්‍යාපාරිකයෙක්. මට මුනුපුරෝ මිනිබිරියෝ හත් දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ කවුරුවත් කලාවට යොමු වුණේ නැද්ද? ඇනස්ලිගේ කැමැත්තක් තිබුණේ නැහැ දරුවෝ කලාවට එනවට. බාල දුව සමන්ති කලාවට හරි දක්ෂයි. එයා කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ගුරුවරියක්. ඒ කාලේ මර්සි එදිරිසිංහ නැති දවස්වල විනෝද සමය රඟපාන්න ඇයත් කීප විටක් ගිහින් තියෙනවා. ඇනස්ලි ඔබ හඳුනා ගන්න කොටත් ඔහු විනෝද සමයේ නිර්මාණකරුවෙක් වෙලාද? ඔව්. අපි දෙන්නා යාළු වෙලා ඉන්න කාලේ මට ගෙදරට පෝස්ට් කාඩ් දෙක තුනක් එවනවා ඔන්න අද විහිළු තහළු අහවල් වෙලාවට ගුවන් විදුලියෙන් යනවා, අහන්න කියලා. මමත් ඉතිං ඒ දවසට මඟ හරින්නේ නැතුව මේ වැඩ සටහන අහලා රස විඳිනවා. පස්සේ ඉතිං හමු වුණාම අහනවා කොහොමද එදා ගිය වැඩ සටහන කියලා. නාට්‍ය පිටපත් එහෙම වැඩිපුර ලිය වුණේ ඇනස්ලි අතින් කියලයි දැනගන්න තියෙන්නේ? එයා තමයි විනෝද සමයේ නාට්‍ය පිටපත් රචකයා. එයාගේ සිරිතක් තිබුණා උදේට ස්ක්‍රිප්ට් ලියන එක. හවසට වත්තේ ගොවිතැන් වැඩ. දවල්ට පල්ලියේ වැඩ, සමාජ සේවා වැඩ. එයා උදේට ස්ක්‍රිප්ට් ලියන වෙලාවට කවුරුවත් එනවට කැමැති නැහැ. ගෙදර ඉස්සරහ කාමරයට වෙලා තනියම ලියන එක එයාගේ පුරුද්දක්. මමවත් දරුවන්වත් ඒ වෙලාවට එයාගේ කාමරයට යන්නේ නැහැ. ඇනස්ලිට ඔය සුවිශේෂ හැකියාව කොයි ආකාරයෙන් පිහිටියා කියලද ඔබ සිතන්නේ? මම හිතන්නේ ඒක එයාගේ අම්මාගෙන් එයාට ලැබුණු දෙයක්. ඇයත් හරිම විනෝදයට බර විහිළුවෙන් ජීවත් වුණු තැනැත්තියක්. ඇනස්ලි, සැමුවෙල්, බර්ටි අතරට මර්සිත් එකතු වුණා? මුල් කාලයේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තමයි විනෝද සමය ඉදිරිපත් කළේ. පසුකාලීනව කාන්තා චරිතයක අවශ්‍යතාව තදින් දැනුණු නිසා මර්සි එයට සම්බන්ධ කර ගත්තා. අනුන්ව සිනා ගැන්වීමේ අපූර්වතම හැකියාවක් ඇය උපතින්ම ගෙනත් තිබුණා. ඒ අසාමාන්‍ය දක්ෂකම ඇය හරි අපූරුවට විනෝද සමය රස ගන්වන්න යොදා ගත්තා. ඇනස්ලි විහිළුවෙන් තහළුවෙන් හිටියත් තරහ එහෙමත් යනවා ඇති? කවදාවත් එයාට තරහ යනවා මම දැකලා නැහැ. අපි කොච්චර කතා කළත් එයා වචනයයි දෙකයි කියන්නේ. හැබැයි එයාට තරහ නොගියත් මම නම් ඉඳල හිටලා කෑගහල තියෙනවා. ඔබත් විනෝද සමය රඟ දක්වනවා බලන්න ගිහින් තියෙනවාද? ඔව්. ගුවන් විදුලියේ හය වැනි මැදිරියේ තමයි මාසික රැඟුම ඉදිරිපත් කළේ. මමත් කීප විටක් ඒකෙ රඟපෑවා. මම වගේම සැමුවෙල් රුද්‍රිගෝගේ බිරියත් කීප විටක් එහි රඟපෑවා. ගුවන් විදුලියට ඇවිත් විනෝද සමය රස වින්ද ප්‍රේක්ෂකයෝ ගහපු විසිල් පාර, අත්පුඩි පාර දැනුත් මට මැවිලා පේනවා. ඇනස්ලි ගෙදරත් ඔය වගේ විහිළු කරනවාද? එයා දරුවන්ට හරිම ආදරෙයි. දුවල හතර දෙනාට පණ ඇරලා. එයාලත් එහෙමයි. අපේ දරුවන්ගේ පුරුද්දක් තිබුණා තාත්තා කොහේ හරි ගිහින් එනකොට මඟට දුවනවා මොනවද ගෙනාවේ බලන්න. ඇනස්ලි ඔය නිසාම රස කැවිලි අරන් තමයි ගෙදර එන්නේ. වැඩියෙන්ම දුවගෙන යන අය අතරේ හිටියේ ජනක් පුතයි, සමන්ති දුවයි. දවසක් ඇනස්ලි වැඩට ගිහිින් එනකොට පාර්සලයක් අරන් ආවා. එතකොට ජනක් හා සමන්ති දුවල ගියා. ඒ පාර ඇනස්ලි කිසිම වෙනසක් නොහඟවා ඒ දෙන්න අතට අතේ තිබුණ පාර්සලය දීලා බෙදාගෙන කන්න කියලා. දෙන්නත් හරිම සතුටින් ගෙට ගෙනත් පාර්සලය ලිහලා බලන කොට ඒක කරවල පාර්සලයක් බව දැනගත්ත දරුවො දෙන්නා බඩ අල්ලන් හිනා වෙනවා . ඇනස්ලි නෑ වගේ වගක්. ඇනස්ලි ක්‍රිකට් මැච් බලන්න රුසියෙක්ලු නේද? ඒකෙ දෙකක් නැහැ. මැච් එකක් යනදාට ටී. වී එක ළඟින් හෙල වෙන්නේ නැහැ. එයාගේ නාට්‍ය පිටපතක හරි අපූරු ක්‍රිකට් මැච් එකක් ගැන ලියලා තිබුණා. ඇනස්ලි, බර්ටි, සැමුවෙල්. මර්සි කවදාවත් තරහ වෙලා එහෙම නැද්ද? අපෝ නෑ. හතර දෙනාම එක වගේ හොඳයි. ඔතනින් සීරියස් කැරැක්ටර් එක ඇනස්ලි. සැමුවෙල් නම් දුම් වැටි මත් වතුර කටේ තිබ්බේ නැහැ. මහත්තයත් එක්ක එකට ගමේ හැදී වැඩුන පාසල් ගිය ඇල්ෆ්‍රඩ් පෙරේරාත් විනෝද සමයේ එවක සාමාජිකයෙක්. විනෝද සමයේ නිවේදකයා වගේම මුල් කාලයේ රංග ශිල්පියෙක් වුණෙත් ඇල්ෆ්‍රඩ් පෙරේරා. ඇල්ෆ්‍රඩ් කට්ටියත් එක්ක හොඳ හොඳ විහිළු කළා. විනෝද සමය කට්ටිය එකතු වුණ තැන ඇල්ෆ්‍රඩ්ගේ විහිළු කෙරුම් මේ කට්ටියව තවත් රසවත් කළා. විනෝද සමය රට වටා ගිය අවස්්ථාත් තිබුණා? ගම් උදාවට, සංගීත සංදර්ශනවලට විනෝද සමය නැතුවම බැරි වුණා. ඒ කාලේ මුවන් පැලැස්සේ කට්ටියත් විනෝද සමයේ කට්ටියත් එකට තමයි ප්‍රසංගවලට ගියේ. මට මතකයි ඇනස්ලිව ගන්න බස් එක එනවා අපේ ගෙදරට. බස් එක පුරා එකම හිනාවක්. එකිනෙකාට විහිළු කර ගන්නවා. එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු මේ හැමෝම එකම බස් එකේ ප්‍රසංගවලට ගියා. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහත්තයා විනෝද සමයේ කට්ටියට හරියට ආදරය කළා. හැම අංශයකම හැකියාවක් ඇනස්ලිට තිබුණා. එයාට 1994 දී ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා අතින් ශ්‍රී ලංකා තිලක සම්මානය පවා හිමි වුණා.
|