වර්ෂ 2014 ක්වූ ජූලි 24 වැනිදා බ්‍රහස්පතින්දා




රවීගෙන් ඇඳුමක් විජයගෙන් අත්සනක්

රවීගෙන් ඇඳුමක් විජයගෙන් අත්සනක්

දවසක් රවීගේ දෙමාපියන්ට මාව හඳුන්වලා දෙන්න රවී මාව මහ ගෙදරට එක් කරගෙන ගියා. ගෙදරට ගොඩ වෙනතුරුම මම හිටියේ දෙගිඩියාවෙන්. ඒ අය මට කැමති වෙයිද? නැද්ද? මාව දැකලා මොනවා හිතයිද? ගෙදර ගොඩ වැදුනගමන්ම හරිම තනිකමක්, නුහුරු නුපුරුදුකමක් හිතට දැනුණා. සාලෙ තිබුණ කුෂන් කරපු දිග සැටියෙ මම වාඩි වෙලා හිටියා. රවීගේ පොඩි මල්ලි මගේ දිහා බලලා හිනාවෙවී දෙතුන් සැරයක්ම එතැනින් එහාට මෙහාට ගියා. එතකොට එයා ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. මගේ මල්ලිගේ වයස. ටික වෙලාවකින් මල්ලි ඇවිත් මගේ ළඟින් වාඩිවෙලා මාත් එක්ක කතා කළා. හරියටම මගේ මල්ලි මාත් එක්ක කතා කරනවා වගේ හයියෙන් හිනා වෙවී. එතකොට මම දන්න අඳුරන කෙනෙක් හම්බ වුණා කියලා දැනිලා අර තනිකම නුහුරු නුපුරුදු ගතිය මඟ ඇරිලා ගියා.

අම්මත් කතාවට මුල පිරුවෙ, අපි හිතුවා බොනී කවදාවත් බඳින එකක් නැහැ කියලා. එහෙම කියලා රවී බඳින්න තීරණය කරපු එක ගැන අම්මලාගේ හිතේ තියෙන්නේ සංතෝසයක් කියලත් කිව්වා. පවුලේ විස්තර කතා කරලා අපි දෙන්නගෙ විවාහය කතෝලික පල්ලියෙ ආගමානුකූලව සිද්ධ විය යුතු බවත් කිව්වා. ආගම් භේදේ ගැන මට විශාල වැටහීමක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඒ ගැන හිතලා තිබුණෙත් නැහැ. එන ගමන් මම රවීගෙන් මේ ගැන ඇහුවාම රවී ඒ ගැන මට විස්තර කළා.

අපේ ආච්චිලා, සීයලා, මුළු පරම්පරාවම අදහන්නේ කතෝලික ආගම. අම්මලා මොනවා නැතත් ආගම ගැන නම් හුඟාක් හිතනවා. පල්ලියේ බඳින්න අවසරය ලබාගන්න නම් දෙන්නම ආගමේ වෙන්න ඕනෑ. මම ඔයාගෙන් කිසිම දෙයක් ඉල්ලලා නැහැනේ. ඒ නිසා අපි දෙන්නම වෙනුවෙන් ඔයාට ආගම නම් වෙනස් කරන්න වෙනවා. හැබැයි ඒක අම්මලව සංතෝස කරන්නයි පල්ලියේ බඳින්න අවසරය ගන්නයි විතරයි. මගේ ආගම දිගටම අදහන්න කියලා නම් මම බල කරන්නේ නැහැ. ඒක අදහනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න.

මම ගෙදර ගිහින් අපේ අම්මගෙන් මේ ගැන ඇහුවම අම්මා කිව්වා හැම ආගමේම කියන්නේ මිනිස්සුන්ට හොඳක් කරන්න කියලනේ පුතේ. පුංචි දූ කතෝලික ආගමට කියලා නරක දෙයක් කරන්න කියන්නේ නැහැනේ. අපි කරන හොඳ නරක තමයි අපි කවදහරි අරගෙන යන්නෙත්. දූ අහල තියෙනවනේ වපුරන දේවල් තමයි නෙලා ගන්නේ කියලා. ඔය දෙන්නට හොඳට ඉන්න පුළුවන් නම් ඔයා ආගමට ගියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. හොඳට ඉන්න තමයි ඕනෑ.

ඒ 1973 අවුරුද්ද. සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව කාලේ. විදේශ ගමන් යන්න අවසරය ලැබුණේ සුපිරි පැලැන්තියට පමණයි. ‘ගෝඩ් කිං’ චිත්‍රපටයේ දෙබස් කැවීම එංගලන්තයේ සිදු කළ නිසා එහි රඟපෑ නළු නිළි පිරිසකටත් එංගලන්තයට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ නිසා විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම සමඟ රවීන්ද්‍ර රන්දෙණියත් එංගලන්තය බලා පිටත් වුණා. අපි දෙන්නා විවාහ වෙන්න තීරණය කරපු කාලෙම ඉතාම ළඟින් ඇසුරු කරපු කාලෙම මේ වෙන්වීම සිදුවීම මගේ හිතේ විශාල කණගාටුවක් දුකක් ඇතිවීමට හේතු වුණා. මම දුකෙන් පාලුවෙන් ඉන්නවා කියලා සුමිත්‍රා අක්කා (සුමිත්‍රා අමරසිංහ) මාව ඇවිත් ඒගොල්ලන්ගේ ගෙදර එක්කර ගෙන ගියා. රවී සුමිත්‍රා අක්කට කියලා ගිහින් තිබුණා කන්‍යා සොයුරියක් ගාවට මාව යොමු කරලා කතෝලික ආගම ගැන අවබෝධයක් ලබා දෙන්න කියලා. අක්කා මාව සිස්ටර් කෙනෙක් ගාව ආගම ඉගෙන ගන්න පන්තියකට ඇරියා. සුමිත්‍රා අක්කා කාර් එකෙන්ම මාව පන්තියට ඇරලලා එතනම ඉඳලා කාර් එකෙන්ම ගෙදර එක්කර ගෙන ආවා. අපේ ගෙදර ඉඳන් පන්තියට යන්න කරදර නිසා හුඟාක් දවස්වලට මම සුමිත්‍රා අක්කලාගේ ගෙදරම නැවතුණා. සුමිත්ත අයියයි සුමිත්‍රා අක්කයි මට අම්මා තාත්තා වගේ සැලකුවා.

සුමිත්ත, සුමිත්‍රා යුවළගේ පුංචි දූ දිලිණි අම්මයි තාත්තියි එයාට වඩා මට ආදරෙයි කියලා මාත් එක්ක පුංචි පුංචි රණ්ඩු පටන් ගත්තා. දිලිනි රවීට කිව්වේ බොනී මාමි කියලා. මට කිව්වේ පීතො කියලා. උදේට නැගිට්ට වෙලේ ඉඳන් බෙල්ල කැඩෙනතුරු මම පාර බලාගෙන ඉන්නවා රවීගෙන් අද නම් ලියුමක් ලැබේවි කියලා. බැරි වෙලාවත් ඒක දිලිනියා අතට ලැබුණොත් දිලිනිට නොවඳින වැඳුම් වැඳලා තමයි ලිපිය ඉල්ල ගන්නේ. දිලිනි හුඟක් පොඩියි. දිලිනි අඬලා කියනවා ඇයි පීතොට විතරක් බොනී මාමි ලියුම් එවන්නේ, මටත් එවන්න කියන්න කියලා. ඉන් පස්සේ රවී මට ලියුම් එවනකොට දිලිනිටත් මගේ ලිපියෙන් කොටසක් හරි ලස්සන සුභපැතුම් පතක් හරි එවන්න අමතක කළේ නැහැ.

රවී එංගලන්තයේ ඉන්න කාලය ඇතුළත සුමාන දෙක තුනකට සැරයක් පමණ මට දුරකථන ඇමතුමකුත් දුන්නා. ඒ කාලේ පිටරටක ඉන්න කෙනෙක් දුරකථනයෙන් කතා කරනවා කියන්නෙත් විශාල දෙයක්. සුමිත්ත අයියලගේ ගෙදරත් ටෙලිෆෝන් තිබුණේ නැති නිසා රවී එවන ලියුමක කතා කරන වෙලාවයි දිනයයි සඳහන් කරලා එවනවා. සුමිත්‍රා අක්කගේ අයියලගේ ගෙදරට තමයි කතා කරන්නේ. මම ඒ ගෙදරට ගිහින් ඒ වෙලාව එනතුරු බලාගෙන ඉන්නවා. රවී මාත් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කර කර ඉන්න කොට විජේ අයියත් ටෙලිෆෝන් එක අරගෙන මොනවා හරි කියනවා. දවසක් මට මතකයි විජේ අයියා කිව්වා ප්‍රීති ඔයාට ඊයේ රවී ඇඳුම් වගයක් ගත්තා. මම ඒ අඳුම්වල මගේ නම අත්සන් කරලා තිබ්බා. ඒවා මගේ ගානේ හොඳද? ඉන් පස්සේ රවී ෆෝන් එක අරන් කිව්වා විජේ මාලිනීට ගත්ත ඇඳුම්වල මම රවීන්ද්‍ර රන්දෙණියගෙන් කියලා අත්සන් කළා කියලා. ඇත්තටම මේ දෙන්නා කිව්වා වගේම ඒ ඇඳුම් ගෙනාපුවම විජේ කුමාරණතුංගගෙන් කියලා ඒ ඇඳුමවල අත්සන් කරලා තිබුණා.

රවී එවපු හැම ලිපියකම තිබුණෙ එයා ඉන්නෙ හරිම දුකෙන් පාලුවෙන් කියලා. එහෙම ලියලා එව්වත් රවී ලංකාවට ආවේ එංගලන්තේ මාස හයක් පමණ ගත කරලා.

දැන් තමයි තේරෙන්නේ රවීන්ද්‍ර රන්දෙණිය, විජය කුමාරණතුංග මේ දෙන්නගේ ලස්සනම මල්බර අවධිය. ජෝ අයියා වැඩිමල් වුණත් මේ සමාගමේම හිටියා. මේ තුන්දෙනාම ලන්ඩන් නුවර ගත කරපු ඒ නිදහස් ජීවිතය මොන තරම් සතුටුදායක කාල සීමාවක් වෙන්න ඇද්ද කියලා. ඒ මාස හය ඇතුළත රවී මට එවපු ලිපිත් මම රවීට යවපු ලිපිත් මං ගාව තාමත් තියෙනවා. මේ ලිපි පෙළ ලියන ගමන් මම ඒවා එකක් දෙකක් කියවලා බැලුවා. මේවා ලියලා තියෙන්නේ අපිම ද කියලා ලැජ්ජා හිතෙනවා. හරිම බොළඳයි. ඒ නිසාම මම තීරණය කළා කවුරුවත් මේවා දකින්න කලින් ළඟදීම ඒවා ගිනි දෙවියන්ට පූජා කරන්න ඕනෑ කියලා.

පසුගිය කොටස්

* බොඳ මීදුම් කඳු රැල්ලේ

* පවස නිවන දිය පොදක් නොවී ඔබ

* අත්තිකාරම්වලින් අල්මාරියක්