|
ජීවත් වෙන්න තවත් කාලයක් තියෙනවා
රංගන දිවියේ හතළිස් වසරක් ජයසේකර අපොන්සු
ජයසේකර අපොන්සු නාට්‍යවේදියාගේ කලා දිවියට වසර හතළිහක් සපිරිලා. ඔහුට මේ බව මුලින්ම කිව්වේ මල්ලී ගාමිණී අපොන්සු. ඊට පස්සේ පවුලේ හැමෝම වගේ මේ ගැන කතා කළා. ඔහුගේ ගෝලබාලයෝ සුදානම් වුණෙත් තම ගුරුවරයා වෙනුවෙන් උපහාරයක් තියන්න. “එහෙම ඕන නැහැ. අපේ නාට්‍යය එදාට රඟ දක්වමු.“ ජයසේකර අපොන්සු ගෙනාවේ අලුත් යෝජනාවක්. ඒ අදහස ඒකමතිකව තීරණය වුණා. ඒ නිසා මේ මාසේ 27 වැනිදා ඉරිදා සවස 3.30ට වගේම 6.30 ටත් බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් එකේ ‘තරුව විකිණේ‘ වේදිකා ගත කරන්න සියල්ල සුදානම්. කොහොම නමුත් බොහෝ කලාකරුවන් සමරන්නේ අඩ සියවසක කලා දිවියක්. ඒත් ජයසේකර අපොන්සු කියන්නේ ඊට වඩා වෙනස් කෙනෙක් කියලා මට හැඟුණා. ඒ ගැන ඔහු කිව්වේ අපූරු කතාවක්. ‘කාටද කියන්න පුළුවන් තවත් අවුරුදු 10ක් ඉදීද කියලා“ ඔහු කිව්වේ සිනාවෙවී. “මගේ ජීවිතයම කලාව තමයි. මම අඳීන එකේ පටන් හැමදෙයක්ම ලැබුණේ කලාවෙන් ඒ ගැන කියන්නේ මම බොහොම ආඩම්බරයෙන්“ ඔහුට තිබෙන්නේ ඒ වසර හතළිහක කලා දිවිය ගැන ආඩම්බරයක්. ඒ සපිරුනු වසර හතළිහක් වූ කලා දිවියේ මතක සටහන් නම් කොයිතරම් ඇත්ද? මට සිතුණා. ඒ අතීතයේ වුණු බොහෝ දෑ ඔහු එකින් එක මතකයට නැඟුවා. ඒ මගේ ඇරැයුමෙන් පස්සේ. ‘පාතාලයේ සෝල්දාදූවෝ‘ 1984 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන දොළහක් ගත් වේදිකා නාට්‍යයක්. ඒ නාට්‍යයේ ජයසේකර අපොන්සුගේ මල්ලිත් රඟපෑවා. මේ ඇබැද්දිය වුණේ නාට්‍යය පුහුණුවීම් කරන කාලේ. එදත් වෙනදා වගේම හැමෝම ආවේ නාට්‍ය පුහුණුවීම් කරන්න හිතාගෙන. එක එක්කෙනා චරිතවලට පිවිසුණා. ටික වෙලාවක් ගියා. මීළඟට තිබුණේ ගාමිණීගේ වාරේ. ඒ ජවනිකාවේ ඔහුට තිබුණේ හොඳටම අඬන්න. කඳුළු වගුරනතුරු අඬන්න. ඒත් ඇහෙන්නේ දෙබස් විතරයි. කඳුළු පේනතෙක් මානයකවත් නැහැ. නාට්‍යයේ ගුරා එකපාරක් බැලුවා. දෙපාරක් බැලුවා. හරියන්නේ නැහැ. දෙන්න ඕන අත දිග ඇරලා කම්මුල්පාරක්. හැමෝටම ඇහුණේ ‘චාටස්‘ කියන හඬක් විතරයි. ගාමිණී කම්මුල අල්ලාගෙන වාඩිවුණා. හැමෝම බලාගෙන සිටියේ බිරන්තට්ටු වෙලා. කම්මුල් පාරේ සැර කොයිතරම් ද කිවිවොත් ගාමිණිගේ ඇස්වලින් කඳුළු වැටුණා. “අන්න ඒක තමයි මට ඕන“ ජයසේකර අපොන්සු කෑ ගැහුවේ මැණිකක් හමුවුණා වගේ. එතකොටයි හැමෝගෙම මුහුණට හිනා පොදක් නැඟුණේ. මේ සිද්ධිය නම් වුණේ අපොන්සු 1975 තිබුණු රාජ්‍ය නාට්‍ය උළෙලෙහි හොඳම නළුවා විදියට ගත්ත සම්මානයත් එක්ක. ඒ සම්මානේ ලැබුණේ ‘රන්ලන්තෑරුම ‘ වේදිකා නාට්‍යය වෙනුවෙන්. එදත් මේ හොඳම නළුවා සිටියේ සුදර්ශියේ. ඔහු මුණ ගැහෙන්න ආවේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ධර්මසේන පතිරාජ. ඔහුත් සමඟ තවකෙක් සිටියා. ඒ සෝමවීර දෙනිපිටිය. ඔවුන් මේ හොඳම නළුවට අපූරු යෝජනාවක් කළා. “අපේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට ඔයාව තෝරා ගත්තා.“ කීයද ඔයාගේ ගණන“ ජයසේකර අපෝන්සුගේ කට අරුණා. ටික වෙලාවක් ඔහු නිශ්ශබ්දව සිටියේ සිතේ සතුට වැඩිකමට. “සල්ලි නම් නොගෙවුවත් කමක් නැහැ.“ ජයසේකර අපොන්සු පැවසුවේ හදවතින්ම. ඒත් ඔහුගේ අවාසනාවට ඒ නිර්මාණයේ පිටපතට අනුමැතිය ලැබුණේ නැහැ. අපොන්සුගේ හිතේ ඇතිවුණේ වාවගන්න බැරි දුකක්. ඒ වගේ අපූරු අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න තිබුණු අවස්ථාව නැතිවුණු නිසා. එදා වේදිකා ගතවුණේ ‘තටු‘ වේදිකා නාට්‍යය. ඒක දුෂ්කර පළාතක්. හරියට හෝල් එකක් තිබුණෙත් නැතිතරම්. ජයසේකර අපොන්සු ඇතුළු නඩේ සූදානම් වුණේ ඒ සෑම අපහසුවක්ම විඳගෙන නාට්‍යය වේදකා ගත කරන්න. මුලින්ම 3.30 දර්ශනය. ප්‍රේක්ෂාගාරය පිරිලා. ‘තටු‘ නාට්‍යය වේදිකා ගත වෙනවා. ටික වෙලාවයි ගියේ . ඔන්න වේදිකාවේ රඟ දැක්වුණේ ‘කිරිල්ලීයෝ‘ ගීතය. ජයසේකර අපොන්සුට ඉහළ බැලුණේ එකපාරටම. ඒත් එක්කම වේදිකාව එළිය කරන ලයිට් බාර් එක කඩාගෙන වැටුණේ ඉබේටම. කිසිම කෙනෙකුට තුවාලයක් නොවුණෙත් හොඳ වෙලාවට. ලයිට් බාර් එක ඇඟට වැටුණා නම් දෙන්නෙක්, තුන්දෙනක් මැරෙනවා ඒකාන්තයි. තවත් දවසක් දුර පළාතක ‘පාතාලයේ සොල් දාදුවෝ‘ නාට්‍යය වේදිකා ගත වෙන්න සියල්ල සූදානම්. මුළු ප්‍රේක්ෂාගාරයේම කට කපලා ප්‍රේක්ෂකයෝ. නඩේගුරා අපොන්සුගේ සිතේ තිබුණේ නම් බොහොම සතුටක්. සෙමෙන් සෙමෙන් නාට්‍යය වේදිකා ගත වුණා. හෝරාවක් ගියා. දෙකක් ගියා. නාට්‍යය අවසානය උදාවුණා. ඒක බොහොම උද්වේගකර අවස්ථාවක් රොබට් නොහොත් බඹරා අපූරු කතාවක් ප්‍රේක්ෂකයන්ට කියනවා. “නංගියේ උඹ වැරුදි නෑ. ජීවිතය කියන්නේ රඟ මඬලක් අපි ඒකේ නළුවෝ. උඹගේ ජීවිතේ මින් පස්සේ වෙනස් වෙන්න ඕන. එතකොට මගේ ජීවිතේ?“ සෙමෙන් වේදිකාවට ආලෝකය ගෙනා විදුලි එළියත් නිවී ගියා. ප්‍රේක්ෂාගාරයත් වේදිකාවත් දෙකම කළුවරේ. ඒ අතර ප්‍රේක්ෂාගාරය මැද්දෙන් ඇසුණේ විලාපයක්. මොකක්ද ඒ කලබලේ. හැමෝගෙම මුහුණේ තිබුණේ ප්‍රශ්නාර්ථයක්. ජයසේකර අපොන්සු රඟපෑම තියලා ප්‍රේක්ෂාගාරයට දිව්වා. ප්‍රේක්ෂාගාරය මැද එකම ලේ විලක්. “මනුස්සයෙකුට පිහියෙන් ඇනලා.“ කවුදෝ කිව්වා. තුවාල කාරයාව රෝහල් ගත කළා. අපරාධ කරන්නන්ට අපූරු අවවාදයක් අරගෙන ආව මේ නාට්‍යය අතරම අපරාධයක්. ජයසේකර අපොන්සුගේ හිතේ ඇතිවුණේ දුකක්. ‘තරු සොබා‘ චිත්‍රපටය රූගත කිරීම් කළේ නුවර එළියේ. චිත්‍රපටයක් කරන්න තිබුණු ආශාවටයි ජයසේකර අපොන්සු ඒක කළේ. ඔහු ළඟ තිබුණේ ලක්ෂ 25ක්. තවත් යාළුවෝ දෙන්නෙක් ඔහුට ලක්ෂ 5 ක් වගේම ලක්ෂ 10 ක් දුන්නේ බොහොම කැමැත්තෙන්. සියලු කටයුතු බොහොම අපූරුවට සිද්ධ වුණා. ඒත් චිත්‍රපටයේ රූගත කිරීම් කරන අවසාන දවස් කිහිපයේ සිද්ධ වුණේ නොසිතුව දෙයක්. ඒ ලැබෙන්න තිබුණු මුදල් වගයක් එක්වරම නොලැබී ගියා. අපොන්සුට කරන්නම දෙයක් තිබුණේ නැහැ. ඔහු දහඅතේ කල්පනා කළා. “අපි මේ කරන්න ගත්ත වැඩේ දිගටම කරමු“ රොඩ්නිත්,අර්ජුනත් කිව්වේ අපොන්සුට. ඒත් ඒකට අපොන්සුගේ හිතට හරිමදි. ඔහු හිතවතෙකුට දුරකථන ඇමතුමක් ගත්තේ මේ අතරදි. “මට ලක්ෂ 3 ක තරම් ගණක් මදි වෙලා කරදරයක වැටිලයි ඉන්නේ“ ඔහු කිව්වේ එච්චරයි. සවස 3.15 වෙනකොට ලක්ෂ 3 ම බැංකුවේ. පුදුම අපූරු මිනිහෙක්. අපොන්සු කෙඳීරුවේ ඔහුටමයි. ඒ හිතහොඳ අපූරු මනුස්සයා තවත් වරක් අපොන්සුව පිහිට වුණේ කිසිම ප්‍රතිලාභයක් ගැන හිතන්නේ නැතුව. චිත්‍රපටයේ වැඩ නිසා ඔහු හිටියේ හිරවෙලා. ඔහු මේ අපූරු මනුස්සයට ලියුමක් ලිව්වා. ඒ ආගාධයෙන් ගොඩ එන්න අපොන්සුට ඔහු නැවතත් උදව් කළා. “කිසිම ප්‍රතිලාභයක් නොලැබෙන බවක් දැන දැනම ඔහු මට උදව් කළා. “ ඒ වගේ සොඳුරු මිනිස්සුත් මේ සමාජයේ තවම ඉන්නවා කියලා හිතෙන්නේ ඒ කතාවෙන්. අපොන්සුගේ පළමු චිත්‍රපටය වුණේ ‘රෑ රූ‘. ඔහු ඒක කළේ තමන්ට තිබුණු ඒකම ගෙයත් උකස් කරලා. ඒත් ඒක පළමුවරට ප්‍රදර්ශනය කළේ ලංකාවේ නොවෙයි ප්‍රංශයේ. ඊට පස්සේ ඇමෙරිකාවේ. ඊටත් පස්සේ කැනඩාවේ. විදේශවල සිටිය ඒක නැරඹුව බොහෝදෙනා කිව්වේ අපූරු චිත්‍රපටයක් කියලා. ඒත් ඒකට අපොන්සු ඉපදුණු මව් රටේ තැනක් ලැබුණේ නැහැ. වසර ගණනක් චිත්‍රපට පෝලිමේ සිටිය අපොන්සුගේ චිත්‍රපටය කරගෙන කරන්න තිබුණු කාලයේ රටේ කලබල. කොහොමින් කොහොම හරි චිත්‍රපටය තිරගත වුණේ නැහැ. “ආයෙ කවදාවත් ඒ චිත්‍රපටය කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ.“ ඔහු ඉන්නේ එහෙම ස්ථාවරයක. “කවදා හරි මම මැරුණ දවසක චිත්‍රපටය කනන්තේදි කාටත් නරඹන්න ප්‍රදර්ශනය කරන්න.“ අපොන්සු තමන්ගේ අන්තිම කැමැත්ත ගැන එහෙම කිව්වේ පළමු වරට සරසවියට. කලාවට ආදරය කරන ඔහුගේ ජීවිතය වුණේ කලාව. එත් අද වෙනකොට ඔහුගේ නිවසත් උකස් වෙලා. ඉන්නේ කුලියට කාමරයක. “කවදාහරි දවසක රඟපාන අතර වේදිකාවේම හුස්ම යනවා නම් හොඳයි“ ජයසේකර අපොන්සු එහෙම කිව්වා. එත් මේ ළඟදිත් ඔහු අනතුරකට මුහුණපාලා බේරුණේ අනූනවයෙන්. එදා ඔහු ගියේ ‘තරුව විකිණේ‘ වේදිකා නාට්‍යයේ ටිකට් විකුණන්න හිතාගෙන. ඒ යන අතර මඟදියි මේ විපත්තිය වුණේ. හරියටම ඇසළ පෝය දවස. හවස 2.30 විතර වෙලාවේ බොරැල්ල පහුකළා විතරයි. නිතරම නිවෙන පත්තු වෙන කහ එළිය දෙසම ඔහු බලාගෙන සිටියා. පාරේ කිසිම වාහනයක් ඇත්තේ නැහැ. ඔහු පාරට වාහනය දැම්මා. ඒ පරක්කුව විතරයි කොහේදෝ ඉඳලා වේගයෙන් ආව බස් එකක් අපොන්සුගේ වාහනේ හැපුණා. වැඳුණ වේගයට අපොන්සුගේ වාහනේ ගිහින් නැවතුණේ ලයිට් කණුවක හැපිලා. වාහනේ ගන්න දෙයක් නෑ. සෙනඟ වටවුණා. “මහත්තයට කරදරයක් නෑනේ“ අපොන්සුට ඒ විනාඩි කිහිපය ගැන හිතාගන්නවත් බැහැ. ඒ අතර සිටිය අපොන්සුගේ රසිකයෙක් මෙහෙම කිව්වා. “මහත්තයා සූර්යා එකේ නියමෙට රඟපානවා“ ජයසේකර අපොන්සුගේ මුහුණට හිනා පොදක් නැඟුණේ එතකොට. ‘තවත් ජීවත් වෙන්න කාලය තියනවා වගේ‘ ඔහු කිව්වේ ඒ හිනාවත් සමඟමයි. මේ සොඳුරු කලාකරුවාට සුබ පතන්න 27 වැනිදාට ඔබත් එන්න. නාමෙල් - මාලිනි පුංචි තියටර් එකට. අපෙන් ඔබට ආරාධනාවක්.
|