වර්ෂ 2014 ක්වූ මාර්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

සිය හදවතට ළබැඳි ගීපද අතර වරෙක ඔහු සැරිසරයි. ඒ ගී පද සමඟ සිය සිතට පිවිසෙන සිතුවිල්ලෙහි නිමග්න වන ඔහුගේ හදවතට තවත් වරෙක පිවිසෙන්නේ තවත් ගීතයකි. සිය හදවතෙහි බැඳුණු සොඳුරු ගී පදවල සිතුවිලි හෙළි කරන ‘මතක ගී පොත’ ට මෙවර සහභාගි වන්නේ ප්‍රවීණ කවියකු මෙන්ම ගී පද රචකයකු වන රත්න ශ්‍රී විජේසිංහයන්ය.

මිහින්තලාවේ සුවඳ අරගෙන හමන මදනල ඉන් සැතපුම් හතක් පමණ දුර ගිය තැන හමුවන මරදන්කල්ල සුන්දර ගම්මානය සොයා ඇදුණේ පුරුද්දටය. මිහින්තලයේ සෑ රඳුන්ගේ කොත් කැරැල්ලෙන් විහිදුණු රශ්මි කදම්බයේ ආලෝකය මරදන්කල්ල ගම්මානය වෙළා ගත්තේය. ඒ ආලෝකයෙන් එළිය වුණු මා මිතුරා ගේ ඒ සොඳුරු ගම්මානය හා මා මිතුරා සිහිපත් කරන මේ ගීතය හා බැඳුණු ඒ සොඳුරු පසුබිම මගේ සිතේ ඇඳී ගියේ කිසිදිනෙක නොමැකෙන අයුරෙනි. මේ ගීතය ඇසෙන අනේක වාරයක් පාසා මට ඔහු හා බැඳි ඒ අතීතය සිහිපත් වන්නේ නිතැතිනි.

කලා, නුවර හා පදවිය යන වැව් ත්‍රිමූර්තියේ පෝෂණය ලබමින් සරුසාරවත් වුණු නුවර කලාවියට අයත් ගම්මානයක් වූ මරදන්කල්ල ගම්මානය සොඳුරු ගම්මානයක්ම විය. ඒ සොඳුරු බව ඇතුළත වූ අනේක විධ දුක් කම්කටොලු මැද ගෙවුණු ජීවිතය අපට අලුත් කතාවක් කියා පෑවේය. මරදන්කල්ල ගම්මානය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සෙවණැල්ලෙන් නොවැසුණු එකල එහි විසූ ගැමියෝ සිය ජීවිකාව සරිකර ගත්තේ හේන් ගොවිතැනෙනි. හේන් කපා කොටා, ගිනි තබා, බීජ ඉස, පැළ වූ බීජ අංකුර පොළොවෙන් ඉහළට එබී බලන්නේ හොර රහසෙනි. කාලය ගෙවී ගොස් සිය දහඩිය මහන්සියේ බර දරා සිටින කුරහන්, මුං, මෑ, බටු, තල සිනාසෙයි.

මේ අයුරෙන් එක දිගට වසර කිහිපයක් තමන් අස්වැද්දූ හේන් අතැර අලුත් හේනක් කොටනා මේ ගැමියෝ එහි බව භෝග සිටුවන්නේ නැවුම් බලාපොරොත්තු රැසක් සිය හදවත තුරුලු කරමිනි. මෙලෙස අස්වැද්දූ නවදැලි හේනට පිවිසි ඔවුහු සිය පැරැණි හේනද අමතක නොකරති. එහි තවමත් ඵල දරන මුං, මෑ, බටු, මිරිස්, නෙළන්නට මේ කනත්ත හේනට යන ඔවුන් සිය අව්, වැසි, සුළංවලට හසුවන්නේ ඉබේටමය. මා මිතුරාටද එකල නවදැලි හෙනක් මෙන්ම කනත්ත හේනක්ද තිබුණි.

පසු කලෙක එහි පිවිසි මම ඔහු කලෙකට පෙර මා සමඟ පැවසූ දෑ මැවී පෙනෙන්නට වූයේ නිතැතිනි. වරෙක ඔහු සිය මෑණියන් සමඟ නවදැලි හේන අස්වද්දන අයුරු මම දිටිමි. තවත් වරෙක පැල්කොටයක් නොමැති කනත්ත හේනෙහි බටු, මිරිස් පළා වර්ග කඩන මව හා පුතුගේ සෙවණැලි එහි නිතර ගැවසෙන්නේ යැයි මට සිතිණි. මම කනත්ත හේන දෙසම බලා සිටියෙමි. හදිසියේම ඇද හැලුණේ අකාල වැස්සකි. මම වටපිට බැලීමි. මුවා වන්නට කිසිවක් නොමැත. වැස්සට තෙමෙන්නට අපට සිදුවිය. මේ අතර මා මිතුරා ලියූ ගීතය මගේ සිතට පිවිසියේ ඉබේමය.

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැසි වැටුණා
තුරුළේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යටකර ගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳක ගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මුහුදු සුළඟ හඬලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ....
 

ගේය පද – රන්බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය – විශාරද ගුණදාස කපුගේ

ගායනය – විශාරද ගුණදාස කපුගේ

 

රන්බණ්ඩා සෙනෙවිරත්න සුරතෙන් ලියූ මේ ගීතයේ මතුපිටෙන් කියැවෙන අර්ථයට වඩා කියැවෙන යටිපෙළක් තිබෙන බවක් මට වැටහේ. මේ ගීතයේ පැලක් නැති හේනක් යනු කුමක්ද යන්න විමසිය යුත්තකි. එය ස්වභාවයෙන්ම පැලක් නැති හේනක් පමණක්ද? ඉන් කියැවෙන්නේ පියෙක් නැති පැලක් පිළිබඳ නොවේදැයි සිතේ. පියා නොමැති පැලක දරුවන්ට හරිහමං ආරක්‍ෂාවක්, රැකවරණයක් නොලැබේ. සියල්ල කළ යුත්තේ මවය. ඔවුන්ට ලැබිය යුතු ආර්ථික ආරක්‍ෂාව, සමාජ ආරක්‍ෂාව ලබාදිය යුත්තේ ද මවමය. එසේනම් මේ පැලක් නැති හේන යන්න පියෙක් නැති පැල යන්නට මනාලෙස ගැලපෙයි. තවද මව හිටි පියවරෙන්ම සිටි බවද ගී පද රචකයා පවසයි.

ඉන් ඔහු අදහස් කරන්නට ඇත්තේ ඇය සිය දරුවන් ගේ දියුණුව පතා ඒ සිතුවිල්ලෙහිම සිරවී සිටි බවය. දෙවැනි විවාහයකට යා හැකි ඉඩකඩ ද අහුරා ඇය සිය දරුවන් පෝෂණය කරන්නීය. මෙහි වැස්ස යනු සියලු දුප්පතුන් පීඩාවට පත් කරන්නා වූ දුප්පත්කම, නැතිබැරි කමය. මේ කුමන පීඩාවකින් මවක් දුකට පත් වුවද සිය දරුවන්ට ඒ පීඩා විඳින්නට ඇය කිසිදිනක ඉඩ නොදේ. කලා නිර්මාණයක් බිහිවීමේදී ඊට සමාජ සංස්කෘතික, දේශපාලන කාරණා රැසක් බලපාන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ ගීතය පසුපස ද ඇත්තේ එවැනි කතාවකි. 1956 දී අපට හිමි වූ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් මත ගමෙන් නගරයට පැමිණෙන තරුණ, තරුණියෝ රැසකි. රැකියාවක් හෝ අධ්‍යාපනය සඳහා ඔවුන් නගරයට පැමිණෙන්නේ තමා සතු වූ අවිහිංසක, චාම් බව ආදී අපූරු සම්පත් රැසක් ද රැගෙනය. එවැනිම කෙනෙකු වූ ගී පද රචකයා ද නගරයට පිවිසෙන්නේ ඔවුන් සමඟය. එහි ඇද හැලෙන වැස්සෙන් තෙමෙන ඔහුව බේරා ගැනීමට එකල මෙන් මෙකල සිය මව නොමැත. සිටින්නේ බිරිය පමණකි. එනමුදු ඇගේ සෙනෙහස යෝධ ඇල නම් වූ අපූර්ව නිර්මාණයේ වැව් නැම්මේ රැඳෙන කල ඔහුට සිහිපත් වන්නේ සිය මවය. මේ ගී පද රචකයා, නැවතත් වැස්සකට අරඅදින කොළඹ අහස දෙසම බලාගෙන සිටියි.

කොළොම් පුරවරයේ සිටින ඔහුගේ සිය මතකයට නැගෙනනේ සිය මවමය. තමා එහිදී පැලඳි නම්බුව, තනතුරු ආදී ඔටුනු බිමදා එක පිම්මට දුවගෙන ගමට පැමිණෙද්දී ඉදිකඩ ළඟ නුඹ සිටින්නේ දැයි ඔහු සිය මවගෙන් විමසයි. එය අපූරු ගෙතුමක් නොවේද? ඒ නිසාම එය මගේ ජීවිතයට අමුත්තක් නොවූ සමාජ පරිසරයක් හා බැඳුණු මගේ ජීවිතය හා බැඳුණු අපූර්ව ගී පද රචනයකි. ඊට මම බෙහෙවින් පි‍්‍රය කරමි.

මේ ගී පද රචනය ද මා සිත බෙහෙවින් ඇදබැඳ තබාගැනීමට තරම් සමත් වූවකි.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළදැලියන් ගේ සිහින අතරේ
මැවේ ඒ රූපේ

රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
හදේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවණ් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ගේ පද – මහගම සේකර

සංගීතය - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

ගායනය – විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

නිෂදයේ රජු වූ නල කුමරු ගේ රූපශ්‍රීය හා වික්‍රමාන්විත බව පිළිබඳ දනන් තුඩ තුඩ රැව්දෙන්නේ නොසිතූ විරූ අයුරෙනි. ඒ සොඳුරු රූපශ්‍රීයෙහි තතු දමයන්ති කුමරියට පවසන්නේ තුන්වැන්නෙකි. ඒ හිමවන් හංස ධේනුවකි. ඇගේ කියුමට අනුව නලගේ රූපශ්‍රීයෙහි වූ ඒ සොඳුරු බවෙන් කවුරුන් වුවද වශීකෘත වනු නොඅනුමානය. මේ ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පසා මගේ මතකයට නැගෙන්නේ වජිරා - චිත්‍රසේන ගේ ‘නල – දමයන්ති’ මුද්‍රා නාටකයයි. සොඳුරු නල කුමරුගේ රුවෙහි ශෝබාව වර්ණිත අපූර්ව ගී පද, මා සිත ගීතයට ඇ බැඳ තැබීමට තරම් සමත්වන බව මම කියමි. ගීත සාහිත්‍යයෙහි කොතරම් ගීත තිබුණද ඒ සියල්ලෙහිම වර්ණිත වන්නේ කාන්තා රූ සපුවය. ලාවන්‍යය ය. නමුදු පුරුෂයකුගේ රූපශ්‍රීය වර්ණනා කරන වෙනත් ගීතයක් අපගේ ගීත සාහිත්‍යයේ නොමැති තරම්ය. එහි රික්තය සපුරණ මේ ගීතය සැබැවින්ම සොඳුරු ගේය පද රචනයකි.

රත්තරන්වලින් වාත්තු කරන ලද්දාක් වැනි වූ නල ගේ පුළුල් උරතලය කාන්තාවන් ගේ ළමැදේ වූ හංසයන් මුසපත් කරන්නට තරම් සමත්ය. මේ පද යෙදුමට මහගම සේකරයන් ආභාසය ලබන්නට ඇත්තේ මහා කාව්‍ය වූ කව් සිළුමිණ කෘතියේ කුස වළපෙන් බැව් මට පසක් වෙයි.

“රතොට රතැදියෙම් කොපොල් පතලේ බිඳියෙම්
තනහස මුස කෙළෙම් නිදොසිම් ලූ හා නුගියට”

පබවතියගේ වියෝවත් සමඟ වැළපෙන කුස රජු කියන මේ කියුම කාගේ සිතෙහි වුවද අපූර්ව රසයක් ජනනය කරනු නියතය.” මම ඇගේ දෙතොලෙහි රසය උරා බිව්වෙමි. ඇගේ සොඳුරු කොපුල් තලයෙහි වූ පත්‍ර රේඛා බිඳ දැමීමි. පයෝදර නමැති හංසයන් මුර්ජාවට පත් කළෙමි.” ඒ අපූර්ව සොඳුරු යෙදුම මහගම සේකරයන් මේ ගීතයට යොදන්නේ ‘හසුන් ළමැදේ මුස කරන්නේ’ යනුවෙනි. එය එතැනටම අතිශයෙන් සුදුසුම වූ යෙදුමකි. සම්භෝග ශෘංගාරය ඇති කරන ඒ යෙදුම එසේ භාවිත කළ හැක්කේ එවැනි අපූර්ව කවියකුට, ගී පද රචකයකුට ම පමණි. මේ නිසා මේ ගීතය, ගීතයෙහි පද මගේ හදවතෙහි ජීවත් වන්නේ නොමැකෙන අයුරෙනි. ඒ නිසාම මේ ගීතයට මම බෙහෙවින් පි‍්‍රය කරමි. ආදරය කරමි.