|
||||||
මරදානට මිනී පෙට්ටියෙන් ආ ‘ඩ්‍රැකි්‍යුලා’60 දශකයේ කොළඹ නගරය අද මෙන් ජනාකීර්ණ නොවිණි. මහමඟ ජනතාව ගැවසුණේ කාර්යාල ඇරැඹෙන සහ අවසන්වන වෙලාවන්හි දී පමණකි. ඩී. ආර්. විජයවර්ධන මාවත හෙවත් එවකට මැකලම් පාර ප්‍රදේශය කොහොමටත් පාළු බවක් ඉසිළුවේ විශාල ගබඩා සංකීර්ණ හැරුණු කොට අන් කිසිවක් එම ප්‍රදේශය තුළ නොතිබි හෙයිනි. මැකලම් පාරේ මරදාන අන්තයේ පිහිටි වටරවුම අසල චිත්‍රපට ඇරැඹෙන සහ ඇරෙන වෙලාවන්හි දී සිනමා ලෝලීන් නිසා ජනකීර්ණ වුණේ අසල තිබූ ප්‍රසිද්ධ සිනමාහල් දෙකක් නිසාවෙනි. ඉන් එක්ක නම් අදට සලකුණක්වත් ඉතිරිව නැති සිනමාස් සමාගමට අයත් ‘ගාමිණී’ සිනමා ශාලාවයි. අනෙක ඊට හූවක පමණ දුරින් මරදානේ රේල් පාලම දෙසින් පිහිටි සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස් සමාගමේ ‘නිව් ඔලිම්පියා’ සිනමාහලයි. ‘ගාමිණී’ සිනමාහලේ බහුලව තිරගත වුණේ සිංහල චිත්‍රපට වන අතර ඉංගී‍්‍රසි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් ‘නිව් ඔලිම්පියා’ සිනමාහල වෙන්වී තිබුණි. එදා එක්තරා වැහිබර සැඳෑවක ‘ඔලිම්පියා’ සිනමා ශාලාව ඉදිරියෙන් ගමන් ගන්නා කෙනෙකුට දැකගන්නට ලැබුණේ අද්භූත ජනක අපූරු දසුනකි. මළානික විදුලි පහන් එළියෙන්, සිනමා ශාලාවේ ආලින්දය මැද දක්නට ලැබුණේ විවර කරනලද දිළිසෙන මිනී පෙට්ටියකි. දෙපස ඇත්දළ දෙකකින් ද පොල් තෙල් පහනක් හා මල් වඩම් කිහිපයකින් ද වට වී තිබුණු දෙන තුළ දිස් වූයේ සුදු මැළි මුහුණකින් යුත් මළ සිරුරකි. යන එන අය මෙන්ම සිනමා රසික පිරිස ද මෙම දසුනින් විමතියටත් කුතුහලයටත් පත්වුණු අතර හොඳින් නිරීක්‍ෂණය කරන විට දක්නට ලැබුණේ මෙම මළ මිනිය වරින්වර හුස්ම ගන්නා බවයි. පසුව දැන ගන්නට ලැබුණේ එදා පෙට්ටියේ බෑවී සිටියේ මළ මිනියක් නොව මෘත දේහයක් ලෙස වෙස් ගන්වන ලද සැබෑ මිනිසකු බවය. එදා ‘ඔල්ම්පියා’ සිනමාහලේ තිරගත වූ ඩ්‍රැකි්‍යුලා චිත්‍රපට වෙනුවෙන් වෙළෙඳ ප්‍රචාරක කටයුතු සිදුකර තිබුණේ ඔන්න ඔය අයුරිනි. සිනමාහලේ අඳුරේ තනිව හිඳ චිත්‍රපටය නරඹන අයකුට නොමිලේ ටිකට්පතට අමතරව වටිනා ත්‍යාගයක් පිරිනමන බවට ද රාවයක් පැතිරුණු අතර රසිකයන් භීතියෙන් සහ ත්‍රාසයෙන් මුසපත් කරමින් සෑහෙන කලක් චිත්‍රපටය තිරගත වූ බවට නම් එදා සිටි ඉංගී‍්‍රසි චිත්‍රපට ලෝලීන් සාක්‍ෂි දරනු ඇත. අද්භූත සිනමා කලාවේ නව රැල්ලක් බිහිකරමින් ලොව වටා සිටින රසිකයන් භීතියෙන් තැති ගැන් වූ ‘හොරර් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටයෙන් ලද සාර්ථකත්වයෙන් උදම් වූ බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට සමාගමේ ඊළඟ නිෂ්පාදනය ලෙස එළි දකින්නේ ‘ද බ්‍රයිඩ්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටයයි. බ්‍රෑම් ස්ටෝකර් නම් වූ අයිරිෂ් ජාතික ගත්කතුවරයා ගේ කතාවක චරිත පාදකකර ගනිමින් පීටර් බ්‍රයන් සහ එඩ්වඩ් පර්සි විසින් ටෙරන්ස් ෆිෂර් ගේ සහාය ද ඇතිව චිත්‍රපටයේ තිර රචනය සිදු කරන ලදී. අධ්‍යක්‍ෂණය කළේ ‘හොරර් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ටෙරන්ස් ෆිෂර් විසිනි. බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇන්තනි හින්ඩ්ස් ය. 1960 ජනවාරි 16 දා එංගලන්තයේ බේ ස්ට්‍රෑන්ග් චිත්‍රාගාරයේ දී ප්‍රධාන රූ ගත කිරීම් ඇරැඹුන අතර සංගීතය මැල්කල් විලියම්සන් ගෙනි. ජැක් ඇෂර්ගේ කැමරාකරණයෙන් සහ ඇල්ෆ‍්‍රඩ් කොක්ස් ගේ සංස්කරණයෙන් චිත්‍රපටය වර්ණවත් විය. ලෝ පුරා බෙදා හැරීමේ කටයුතු සිදු කළේ යුනිවර්සල් සමාගම විසිනි. අප්‍රකාශිත යම්කිසි හේතුවක් නිසා ප්‍රවීණ නළු ක්‍රිස්ටෝපර් ලී මෙහි රඟ නොපෑ අතර ඩ්‍රැකි්‍යුලා ගේ ශ්‍රාවකයකු හෙවත් අනුගාමිකයකු ගේ චරිතයක් නිර්මාණය කරමින් කතාවක් ගොඩනැගීමට තිරකතා රචක පීටර් බ්‍රයන් සහ එඩ්වඩ් පර්සි විසින් පියවර ගන්නා ලදී. ඒ අනුව බැරන් මැනිස්ටර් නමැති ලේ පිපාසිත ආදිපාදවරයා ගේ චරිතය නිර්මාණය වූ අතර ඒ සඳහා ඩේවිඩ් පීල් නම් නළුවකු තෝරා ගන්නා ලදී. චිත්‍රපටයට යොවුන් සුරූපිනියන් යොදා ගන්නා අරමුණින් ප්‍රධාන නිළි චරිතය සඳහා ඉවෝන් මොන්ලා නමැති යොවුන් රූමතියක් දායකකර ගත් අතර ඇගේ යෙහෙළිය ජිනා ගේ චරිතයට ඇන්ඩ්‍රි මෙලී සහ ඩ්‍රැකි්‍යුලා ගේ ශාපයට ගොදුරුවන ගැමි රූමතිය ලෙස මාරි ඩෙවරුක්ස් ද රංගනයට එක්විය. බැරොන් ආර්යාවගේ චරිතයට පණ පෙව්වේ මාර්ටිෂා හන්ට් විසිනි. සුපුරුදු වැන් හෙල්ඩින් ගේ චරිතය පීටර් කුෂින් වෙත පිරිනමන ලදී. ලේ පිපාසිත වැම්පයරුවන්ගේ ඝාතකයා වන්නේ ඔහුය. ‘ද බ්‍රයිඩ්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ හෙවත් ‘ඩ්‍රැකි්‍යුලා ගේ මනාලියෝ’ චිත්‍රපටය 1960 ජුලි 6 වැනිදා ලන්ඩනයේ ‘ඕඩියන්’ සිනමා ශාලාවේ දී තිරගත කිරීම ආරම්භ විය. ප්‍රංශ ජාතික යොවුන් සුරූපිනියක වන මේරියන් ඩැනියෙල් පාසල් ගුරුවරියකි. ට්‍රැන්සිල්වේනියාවට යන අතරමඟ පාළු ගම්මානයක අතරමංවන ඇය සහ ඇගේ රථ රියැදුරා ගැමියන්ගේ අනතුරු ඇඟවීම් ද නොතකා අසල පිහිටි සුවිසල් මැනිස්ටර් මන්දිරයේ රාත්‍රියේ නවාතැන් ගනී. මෙහිදී ආදිපාදවරිය ගේ කඩවසම් පුත්‍රයාවන ‘බැරන් මැනිස්ටර්’ ඇයට දක්නට ලැබේ. උමතු රෝගයකින් පෙළෙන බැව් කියා දම්වැල්වලින් ඔහු ගැටගසා ඇති අයුරු දකින ඇගේ සිතේ ඔහු ගැන අනුකම්පාවක් ජනිත වේ. ‘බැරන්’ ඇයගෙන් ඔහු මුදා ගන්නා ලෙස අයදියි. භයානක මෙන්ම කෲර පෙනුමක් ඇති මැනිස්ටර් ආර්යාවගෙන් යතුර සොරා ගන්නා මේරියන් ඔහු යදමින් නිදහස් කරයි. එදා රැයේ ආර්යාවගේ සේවිකාව වන ග්‍රේටා වසඟයට ගන්නා ‘බැරන්’ ඇගේ ලේ උරා බොයි. එය දැනගත් මේරියන් බියට පත්ව අසල වූ වනයට පළායන අතර සිහිසුන්ව සිටින ඇය සොයා ගනු ලබන්නේ ආචාර්ය වැන් හෙල්ඩින් විසිනි. මේරියන් සහ ඇගේ මිතුරිය වන ජිනා ලුහුබැඳ එන බැරන්ගෙන් ඔවුන් ගලවා ගැනීමට ආචාර්ය වැන් හෙල්ඩින් ගන්නා උත්සාහය වටා ‘බ්‍රයිඩ්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ කතාව විකාශනය වී ඇත. එදා දෙස් විදෙස් සිසාරා ප්‍රේක්‍ෂක ජනතාව ගේ ප්‍රසාදය දිනාගත් ‘බ්‍රයිඩ්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය 2005 සැප්තැම්බර් 6 දා ප්‍රථමවරට DVD තැටියක් ලෙස ඩිජිටල් මාධ්‍යයට එක් වූ අතර 2007 ඔක්තෝබර් 15 දා දෙවැනි වරටත් 2013 අගෝස්තු මාසයේ බ්ලූ රේ තාක්‍ෂණයෙන් යුත් තැටියක් ලෙස වෙළෙඳ පොළටත් නිකුත්වීමෙන් එම චිත්‍රපටය ලබාගත් ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය කොතෙක්දැයි අපට සිතාගත හැකිවනු ඇත. අද්භූත රසයට කැමැති සිනමා ලෝලීන්හට අද වුවද එම චිත්‍රපටය රස විඳීමේ හැකියාව ලැබී ඇත්තේ නවීන තාක්‍ෂණයේ පිහිට නිසාවෙනි. ඉදිරි සතියක දී ‘සුරූපී ලලනාවන් වසඟ කොට ඔවුන් ගේ යොවුන් රුධිරය උරාබොන අන්ධකාරයේ කුමාරයා’ ඩ්‍රැකි්‍යුලා හමුවෙමු. |
||||||