වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




මට දුවනකන් බොරලු ගැහුවා

මට දුවනකන් බොරලු ගැහුවා

රංජිත් යායින්න අතීතාවර්ජනයක

කාලෙකින් කිසිදු තොරතුරක් පළ නොවුණ ද, කාලයක් ඔහු සිංහල සිනමාවේ ජනප්‍රිය චරිතයකි. මෙරට අද්විතීය ළමා චිත්‍රපටය වන හඳයා හි සර්පීනු අයියාට පණ පෙවූ හෙතෙම පසුකාලීනව සිනමාපට රාශියක චරිත මවන ලදී.

රංජිත් යායින්න. ඒ සොඳුරු මිනිසා අද බොරලැස්ගමුවේ පිහිටි ඔහුගේ නිවසෙහි විවේකයෙන් පසු විය. පසුගිය දිනෙක අපි ඔහු සොයා ගියෙමු.

වෙලාව උදෑසන නවයට ආසන්නය. බොරලැස්ගමුවේ රූබන් පෙරේරා මාවතේ ටික දුරක් ගමන් කොට වැඩි වෙහෙසක් නොගෙන මමත් අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නත් අංක 33 දරන ස්ථානයේ පිහිටි රංජිත්ගේ නිවස සොයා ගත්තෙමු.

රංජිත් ටිකක් කුකුල් කේන්තිකාරයා. මොනවා හරි වැරැදි දෙයක් කියවුණොත් සැරට වචන දායි.

රංජිත් යායින්න ගැන එලෙස හිතවතකු කිව්වේ පෙර දිනයකය. එහෙයින් අප සිත් ද දෙගිඩියාවකින් පිරී ඇත්තේ නිරායාසයෙනි. නිවසට ආගන්තුකයන් ඇවිත් යන්න ඉවෙන් දැනගත් නිවසේ සුරතලා කලබල විය. උගේ කෑ ගැසීමට අප ඇමතීමටත් ප්‍රථමයෙන් රංජිත්ගේ නිවසෙන් පිටතට පැමිණියේ ඔහුගේ ප්‍රිය බිරියයි.

අපි සරසවිය පත්තරෙන්.

රංජිත් මහත්තයා ඉන්නවාද?

ඔව්. හැබැයි එයාට ටිකක් සනීප නැහැ ඇවිත් වාඩි වෙන්න. එයා පහළට ඒවි.

ස්වල්ප මොහොතක් ගිය තැන ඒ ප්‍රතාපවත් මිනිසා තරප්පු පෙළ බසිනා හඬ ඇසිණ. ඒ අත් වාරුවක උදව්වෙනි.

මං ටිකක් අසනීප වුණා. විවේකීව හිටියේ. සෑහෙන්න කාලෙකට පස්සේ මේ පත්තරේකින් ආවාමයි.

රංජිත් හරිබරි ගැසී වාඩි වුණේ ඔහුටම කියා නිවසේ සාදා ඇති අසුනකයි. මගේ මතකය ගමන් කළේ හඳයා චිත්‍රපටයේ එන සර්පීනු චරිතයට. එය නපුරු චරිතයක්. ඒ හින්දාම ඔහුට චිත්‍රපටය නැරැඹූ ළමුන්ගෙන් ආවේ දැඩි විරෝධයකි.

ඒ කාලේ වෙච්ච සිද්ධියක් මං ආවර්ජනය කරන්න කැමැතියි. සර්පීනු චරිතයට ගොඩක් අය වෛර කළා. ඇතැමුන්ට මාව පෙන්නන්න බැරි වුණා. මං පිටකොටුවේ ඇවිගෙන යද්දී පොඩි කොල්ලො රැලක් ගැහැව්වනේ බොරළු අහුරකින්, මේකව තියන්න හොඳ නෑ කියලා කෙනෙක් කිව්වා. මම දෑතින් ඔළුව වහගෙන හයියෙන් දිව්වා සෑහෙන දුරක්. ඔවුන් මට දුවනකනුත් බෙරළුවලින් ගැහැව්වා.

ඔහු ඒ රසවත් මතක පෙත විවර කොට දබර ඇඟිල්ලෙන් නිකට පිරිමදියි. ඊළඟට ඔහු මේ කතා කිරීමට සූදානම් වනුයේ රංගනයට පිවිසි අයුරු බව මට දැනුණේ ඉබේටමය.

ඉස්කෝලේ අධ්‍යාපන කටයුතුª හමාර කරලා මං ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ගත්තා. ඊට පසු ලංකාවට ඇවිත් සතොස ආයතනයෙයි වැඩ කළේ. ඔය අතරතුරදි ආර්. ආර්. සමරකෝන් නාට්‍යවේදියාණන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ලෙඩෙක් නැති ලෙඩෙක් නාට්‍යයට ආරාධනා ලැබුණා. ඒත් පළමුවරට වේදිකා ගත වුණේ අයලින් සරච්චන්ද්‍රගේ බිලි පූජාව වේදිකා නාට්‍යය. ඊට පසුව මෝදර මෝල, කබායේ හබේ සහ ඉංග්‍රිසි නාට්‍යය ගණනාවකම රංගන දායකත්වය සැපයුවා.

එතකොට ඔහු චිත්‍රපටවලට එන්නේ කොහොමද යළිත්? මට නොඅසා ඉන්නට බැරි විණි.

හෙක්ටර් ජයසිංහ තමයි මාව චිත්‍රපටවලට ගත්තේ. ඒ සඳ නැග එද්දී චිත්‍රපටයට. ආශා, පළඟැටියෝ, හඳයා චිත්‍රපටවල රඟපෑවා. ඒ අතරින් වැඩිපුරම ජනප්‍රිය වුණේ හඳයා.

හඳයා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටයිටස් තොටවත්තයන්. ඔහු සමඟ වැඩ කිරීම හරිම අමාරුයි කියලා මං අහලා තිබුණා.

ඇත්තම ඇත්ත. ටයි මහත්තයා හරිම අමාරුකාරයා. ක්ෂණිකව කේන්ති යනවා. ඒත් ඔහුව හඳුණ ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ටයි මහත්තයා සෙට් එකේ හැමෝටම දොස් කිව්වා. ඒත් මට බැන්නේ නැහැ. ඔහුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම මා ලද උතුම් අවස්ථාවක් ලෙස සලකනවා.

හඳයා හින්දයි මං ගොඩක් ජනප්‍රිය වුණේ. අදටත් හඳයා චිත්‍රපටයේ සර්පීනු කියලා කිව්වොත් ගොඩක් අයට මතකයි.

හැබැයි පසුකාලීනව රංජිත් රංගනයෙන් ඉවත් විණි.

මං ටෙලි නාට්‍යය කිහිපයකත් රඟපෑවා. ඒත් මොනවද කියලා මතකයක් නැහැ. මම ශිෂ්‍යත්වයක් ලැබිලා ජර්මනියටත් ගියා රංගනය පිළිබඳ හදාරන්න. ඊට පස්සේ ලංකාවේ යළි රැකියාවකට යොමු වුණා. මම ටිකක් අසාධාරණයට එරෙහි වෙනවා. වෘත්තීය සමිතිවලට බැඳිලා ක්‍රියාකාරීව හිටියා. ඔන්න එතකොට මගේ වැඩ තහනම් කළා. මොන රඟපෑම් ද හිතුවෙත් නැති විදිහට රංගනයෙන් ඉවත් වුණා.

අද නිවෙසට වී ගත කරන ජීවිතය ගැන රංජිත් කලකිරෙන්නේ නැති බව ඔහුගේ වාග් රටාවෙන් මට හැඟෙයි. එමෙන්ම ක්ෂේත්‍රයේ වැඩි දෙනෙක් ඔහු සිටින්නේ කොහේද යන්න නොදන්නා නිසා වැඩිපුර සබඳතා නැත. අපේ කතාබහ අවසන් කරන මොහොතේ ඔහු අපට පැවසුවේ එදා හිටි මිතුරන් අද ඇවිත් යනවා නම් තමන් සතුටුවන බවයි.