වර්ෂ 2014 ක්වූ ජනවාරි 02 වැනිදා බ්‍රහස්පතින්දා




2014 දී පටල පටයට යන්න කියමු

2014 දී පටල පටයට යන්න කියමු

2013 ලොව වැඩිම මුදලක් ඉපැයූ අයන් මෑන් 3

හොලිවුඩ් චිත්‍රපට බොහොමයක් ප්‍රදර්ශණ පිටපතට අමතරව ඩිරෙක්ටර්ස් කට් නැතහොත් අධ්‍යක්ෂවරයාගේ සංස්කරණය නමින් ද පිටපතක් වෙයි. සිනමාව යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය නම් අධ්‍යක්ෂවරයාගේ පිටපතක් යනුවෙන් තවත් සංස්කරණයක් ඇත්තේ කුමකටද? ඇත්ත නම් සිනමාව යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යය වුව ද ලොව සිනමා කර්මාන්තයක් ඇති රටක සිනමාව නිෂ්පාදකවරයාගේ වෙළඳ භාණ්ඩයක් වීමය.

එවිට අධ්‍යක්ෂවරයා කවර තරාතිරමේ එකක් වුව ද නිෂ්පාදකවරයා එය සිනමා හලට යවන්නේ තවත් සංස්කරණයකින් පසුවය.මා වඩාත්ම කැමැතිම චිත්‍රපට අතරින් එකක් වන ඉතාලි සිනමා කෘතියක් වන සිනමා පැරඩිසෝ චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයාගේ සංස්කරණය යනුවෙන් පිටපතක් ඇත්තේය. අධ්‍යක්ෂවරයාගේ සංස්කරණය යන අරුත ඇති මේ පිටපත වර්තමානයේ නම් ඩීවීඩී හෝ බ්ලූ රේ පිටපත් අතර ඇත්තේය. එහෙත් එය සාමාන්‍යයන් සිනමා හල් වල තිර ගත නොවෙයි. ඇතැම් විට සිනමාහලට වඩා කෑලි වැඩි කමක් බොහෝ බ්ලූ රේ හෝ ඩීවීඩී පිටපත් වල ඇති වගට හැඟෙන්නේ එබැවිනි. සිනමා උත්සව සඳහා බොහෝ විට නියෝජනය වනුයේ ද අධ්‍යක්ෂවරයාගේ පිටපතයි. එහෙත් මගේ පෞද්ගලික හැඟීම නම් මා නැරඹූ බොහෝ අධ්‍යක්ෂවරයාගේ පිටපතට වඩා තිර ගත කළ පිටපත කදිම බවයි. අර බොහෝ චිත්‍රපට සදහා අධ්‍යක්ෂවරුන් සිය සිතැඟි සියල්ල එක් කොට ගන්නා බැවිනි.

එහෙත් සිනමාව ව්‍යාපාරයක් ලෙස සළකන බොහෝ රටවල සිටින නිෂ්පාදකවරුන් මෙරට බොහෝ නිෂ්පාදකවරුන් මෙන් හුදු ආයෝජකයන් නොවේ. ඔවුන් සිනමා කර්මාන්තයට තවත් ආයෝජකයන් ගෙන එනවා පමනක් නොව අධ්‍යක්ෂවරයා තනා දුන් චිත්‍රපටයට වඩා ව්‍යාපාරික ලක්ෂණ ගෙන චිත්‍රපටය වෙළඳ පොළට නිකුත් කරති. අධ්‍යක්ෂවරයාගේ වගකීම නිෂ්පාදකට අවශ්‍ය චිත්‍රපටය නිර්මාණය කර දීමය. සාමාන්‍යයෙන් ලංකාවේ දී සිදුවන්නේ චිත්‍රපටයක් තනන නිෂ්පාදකවරයා අනතුරුව අධ්‍යක්ෂණයේ යෙදීම වුවත් සිනමා කර්මාන්තයක් ඇති රටවල සිදුවනුයේ චිත්‍රපට අධ්‍යක්ෂණයේ සාර්ථක වන තැනැත්තා ඊළඟට නිෂ්පාදකවරයකු බවට පත්වීමය. ඔහු තම සිතැඟි පරිදි අධ්‍යක්ෂවරයෙක් සොයා තමන්ට අවශ්‍ය චිත්‍රපටය නිර්මාණය කර ගනී.

ස්ටීවන් ස්පිල්බර්ග් ලොව පුරා ජනප්‍රිය වනුයේ ජෝස් චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් පසුවය. ඒ වන විටත් ඩුවල්,සුගර්ලන්ඩ් එක්ස්ප්‍රස්,1941 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබුන ද ජෝස් චිත්‍රපටය සමග ඔහු ලොව මුල් පෙලේ අධ්‍යක්ෂවරයෙක් වන්නේය. ජෝස් චිත්‍රපට ඇරඹෙනුයේ රාත්‍රියේ මුහුදේ දිය නාන තරුණියක කිසියම් අනතුරකට මුහුණ දෙන ආකාරයේ ජවනිකාවකිනි.එහි සංගීතය ද සමග ඇයට සමීප වන කිසිවකු ඇය බිහිසුනු ඉරණමකට ගොදුරු කර ගන්නා අයරු පෙන්වා දෙයි. එහෙත් ඇය ගොදුරු කර ගන්නා සත්වයා කවර ආකාරයේ පරිමාවක සතෙක් දැයි එහි කියා පාන්නේ නැත. ඒ වෙනවට වරින් වර බිහිසුනු සතෙක් පිළිබඳ මනෝමය රූපකායක් අප සිත් තුළ ගොඩ නංවන සිනමාකරු අවසානයේ සැබැවින්ම සත්වයා දුටු විට ශාලාවේ පුටු පෙරලා දුව ගොස් පණ බේරා ගත යුතුය යන ආකල්පය අපට ඇති කරයි.

එ වර්තමානයේ මෙන් 7:1ශබ්ද තාක්ෂණය නැති සහ ත්‍රිමාණ සිනමාකරණය බහුල නැති අවදියකය. එහෙත් ස්පිල්බර්ග් මුලින් චිත්‍රපයටය නිර්මාණය කරන ලද්දේ මෝරෙකු පළමු දර්ශණයේම තරුණිය වෙත කඩා පැන ඇය ගොදුරු කර ගත් දර්ශණයක් සමගය. එහි නිෂ්පාදක රිචඩ් ඩි සානුක් සහ ඩේවිඩ් බ්‍රවුන් යන දෙපළ විසින් මේ මුල් දර්ශණයේ ඉදිරිපත් කරන ලද මෝරා ගේ රූපය ඉවත් කරන ලදී .එයින් ස්පිල්බර්ග් නම් නිර්මාණ ශිල්පි සිනමාකරු ද ජෝස් නමැති මතක සිටින සිනමාකෘතිය ද ලොවට දායක විය.මා මේ දන්නා කියන කතාව ලියන්නට පටන් ගත්තේ සරසවිය අද අරඹණ එඩිටර්ස් කට් යන ලිපිමාලාවට ගොඩ බසින්නටය.සාමාන්‍යයෙන් චිත්‍රපටයක ඩිරෙක්ටර්ස් කට් විනා එඩිටර්ස් කට් එකක් නැත. චිත්‍රපටයක් සංස්කරණයේ දී සංස්කරණ ශිල්පියාගේ දායකත්වය අඩු තක්සේරු කළ යතු නැත.එහෙත් චිත්‍රපටයක ඩිරෙක්ටර්ස් කට් එකක් විනා එඩිටර්ස් කට් එකක් නැත.

සමහර සංස්කරණ ශිල්පින් සමහර චිත්‍රපට පිළිබඳ පුරාජේරු කතා කියන්නේ අපි විසින් චිත්‍රපටය ගොඩ දැම්මා යැයි උදාරම් ව පවසමිනි. ඔහුට ගොඩ දමන්නට අවශ්‍ය රූප පෙළක් කැමරාශිල්පියා විසින් රූපයට නංවන බවත් ඒ සියල්ල අධ්‍යක්ෂගේ සිතැඟි පරිදි සිදු නොවූයේ නම් හෝ තමන්ට නොලැබුනේ නම් ගොඩ දමන්නේ අහවල් කෙංගෙඩියක් දැයි වරක් මම එලෙස පුරාජේරුවක් පැවසු සංස්කරණ ශිල්පියෙක්ගෙන් ඇසුවෙමි.ඔහු අද වනතරු මා සමග කතා කරන්නේ නැත.සිනමාව යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය යන්න ප්‍රංශය විසින් එළි දක්වන ලද්දක් වුව ද එය සාක්ෂාත් කරලනු වස් ඒ හා සම්බන්ධ වන කිහිප දෙනෙකි.සිනමාකෘතියකට මේ හැමගේම දායකත්වය අත්‍යාවශ්‍යය.

කෙසේ වතුදු සරසවිය අද ගෙන එන අලුත් ලිපි මාලාවට නමක් හැටියට එඩිටර්ස් කට් යනුවන් නම් කරන ලද්දේ එය යහපත් සිනමාවක් ගැන අලුත් කියැවීමකට අත වැනීමක් ලෙස විශ්වාස කරමිනි.සිනමාව යනු තවදුරටත් සිනමාහල් මත්තේ නහින්නක් නොවන බව මා ලියා ඇත්තේ වසර ගණනාවකට පෙරාතුවය.කලක් ලොරි භාගයක් කුළියට ගෙන ගිය චිත්‍රපට පිටපතක් වසර ගණනාවකට පෙර වීඩියෝවට ද ඩිවිඩියට ද එතැනින් බ්ලු රේ යට මාරුවට ගියේය.එය පෙන් එකක් දමා ගෙන යන්නට පටන් ගත්තේ ද අන්තර් ජාලය හරහා බාගන්නට ද පටන් ගත්තේ දැන් වසර ගණනාවක සිටය. නම මොබයිල් ෆෝන් එකේ පුරවා ඇති අලුත්ම චිත්‍රපට නරඔමින් දුම්රියක බස් රියක ගමන් කරන කොලු කුරුට්ටන් ගණන කොපමණදැයි ඔබට නිකමට සිතුනාද ? කලකට ඉහත කොළඹ පැමිණ දුම්රිය එනතුරු සිනමාහලකට වී කාලය මරා දැමුවා වෙනුවට ටැබ් එකක නැතහොත් අයි පෑඩ් එකක් හෝ නැතිනම් මොබයිල් ෆෝන් එකක ඇති චිත්‍රපටයක් තනිවම නරඹන හැටි අද පුදුම එළවන දර්ශණයක් නොවේ.එහෙත් අපේ සිනමාව තවමත් මේ සිනමාවේ ඇති ආදායම පිළිබඳ දන්නේ නැත.

අපි වත්ත බද්දට දී ඇස්සට දත් නියවමු. තවමත් අපේ නිෂ්පාදකවරුන් චිත්‍රපට රීල දහය පහලොව සිනමාහල් වලට ලක්ෂ ගණන් වියදම් කොට සපයද්දී ලෝකය එය එයට වඩා ලක්ෂ ගණනක් අඩුවෙන් සහ පහසුවෙන් හා පෙරටත් වඩා වඩා බලවත් රූප ශාක්‍යතාවකින් යුතුව සිනමාහල් වලට ගෙන යති.එහෙත් එයට පෑහෙන සිනමාහල් අපට ඇත්තේ ද අතලොස්සකි.කොටින්ම එක් අතකින් ගණන් කළ හැකි සිනමාහල් කිහිපයකි. මා දන්නා පරිදි අනාගත ඩිජිටල් සිනමා තාක්ෂණය පිලිබඳ මෙරට බළධාරින්ගේ අවධානය යොමු කරන ලද්දේ චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයෙක් ව සිටි අයිවන් වීරක්කොඩි මහතාය.

ඒ මෙයින් දශකයකටත් එපිටය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය වෑකන්දේ වලව්ව චිත්‍රපටය තනද්දිම පැවසුවේ පටල පටයෙන් චිත්‍රපට තනන අවසන් පරපුර යනුවෙනි. එහෙත් මේ අනාගතය ගැන සිතන්නට කිසිවකුට අවශ්‍යතාවයක් තිබුනා ද? සියල්ල ම ඔහේ කකුල් වන වනා එදා දවස ගනැම සිතූහ. එහෙත් සිනමා රසිකයන් එයට වඩා දුර ගියහ. තව දුරටත් චිත්‍රපට නරඹන්නට සිනමාහල් වලට යන්නේ මොන කෙහෙම්මලටදැයි අසන පරම්පරාවක් බිහිව ඇත්තේය. නවසිය අනූ වසරේත් මෙපිට උපන් දරුවන් ගෙන් කී දෙනෙක් වැස්සකට හෝ සිනමාහලකට ගොඩ වී ඇත්දැයි අවංකවම සිතන්න.එහෙත් මේ පරම්පරාවේ අය අතර ලොව බිහිවන අලුත් චිත්‍රපට නොදන්නේ කී දෙනාද.

අපි අලුත් චිත්‍රපට ගැන කතා කරමු. සිනමාවේඅලුත් මුහුණු වර ගැන කතා කරමු.එඩිටර්ස් කට් මට පමණක් නොවේ.අප සියල්ලන්ටම සංවාද මණ්ඩපයක් වේවා. 2014 අලුතින් සිතන වසරක් වේවා.