වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මම ඉන්නේ තොරන් හදන්න නෙවෙයි

මම ඉන්නේ තොරන් හදන්න නෙවෙයි

දිගු කලකට පසු ධර්මසේන පතිරාජ සමඟ හරවත් සංවාදයක්

අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, පාර දිගේ, සොල්දාදු උන්නැහේ, මතු යම් දවස වැනි ප්‍රශස්ත සිනමා කෘතීන් ලාංකේය සිනමාවට දායාද කළ ධර්මසේන පතිරාජ සිය නවතම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට නිම කොට තිබේ. ඒ හැරුණු කොට තවත් අලුත් චිත්‍රපටයක් සඳහා ද ඔහු මේ දිනවල සූදානම් වේ.

පතිරාජ වැනි විශිෂ්ට සිනමාවේදීන් කලක් නිර්මාණකරණයෙන් බැහැරව සිටීම, සිනමාවේ බිඳ වැටීමට ප්‍රාමාණික හේතු සාධකයක් වූ බව ඇතැම් විචාරකයන්ගේ මතයයි.

කෙසේ වුව ද පතී යළි සිනමාකරණයට නැඹුරු වීම මෙරට විදග්ධ සිනමා රසිකයන්ගේ සොම්නසට හේතු වනවා නිසැකය.

ඔහුගේ අනාගත සිනමාව මෙන්ම අතීත සිනමාව ද සංවේදී ලෙස ස්පර්ශ කිරීමට ගත් වෑයමකි මේ.

* ඔබ යළි නිර්මාණකරණයට පිවිසෙන්නේ තරමක දිගු නිහැඬියාවකින් පසුව?

හරියටම අවුරුදු දහයකට පස්සේ. අන්තිමට මම චිත්‍රපටයක් නිර්මාණය කළේ 2003 දී. ඒ ‘මතු යම් දවස’ චිත්‍රපටය. මේ වෙන කොට අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු සියල්ලම අවසන්.

* අපි ටිකක් කතා කරමු ඒ ගැන?

‘ස්වරූප’ තමයි චිත්‍රපටයේ නම. ප්‍රාන්ස් කෆ්කා කියන ඉතා ප්‍රසිද්ධ ලේඛකයාගේ කෙටි නවකතාවක් එරික් ඉලෙයප්පාරච්චි අනුවර්තනය කළා. ඊට පස්සේ අපි දෙන්නා එකතු වෙලා එහි තිර නාටකය ලිව්වා. අවුරුදු තිහ, හතළිහකට එහා පැත්තේ කාලයක් පසුබිම් කරගෙන පිරිහෙන මධ්‍යම පාන්තික පවුලක් වටායි මේ කතාව ගෙතී තිබෙන්නේ. කෆ්කා මේ කෘතිය රචනා කරන්නේ 1912 දී ‘ර්ඥබචථධපනඩධඵඪඵ’ කියන විශ්ව සාහිත්‍යයේ ඉතා විශිෂ්ට කෘතිය තමයි ඒ.

* ‘ස්වරූප’ පාත්‍ර වර්ගයා ගැන කතා කළොත්?

ප්‍රධාන චරිත හතරක් වටායි මේ කතාව ගෙතී තිබෙන්නේ. මේ චරිත රඟපාන්නේ ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, තුසිත ලක්නාත් සහ අලුතින් අපි හඳුන්වා දෙන ලිනී ද සිල්වා. අවශේෂ චරිත රඟපාන්නේ ලක්ෂ්මන් මෙන්ඩිස්, විමල් කුමාර් ද කොස්තා, දයා තෙන්නකෝන්, ඩී. බී. ගංගොඩතැන්න, ප්‍රියා රණසිංහ, චමිලා පීරිස් වැනි නළු නිළියන්. කැමරාව ඩොනල්ඩ් කරුණාරත්නගේ. කලා අධ්‍යක්ෂණය ලාල් හවීන්ද්‍රනාත්. සංගීතය නදීක ගුරුගේ. සංස්කරණය එල්මෝ හැලිඩේ. නිෂ්පාදනය මොහාන් මහබොටුවන.

* හරි එතකොට ඔබේ අනෙක් චිත්‍රපටය?

චම්මින්ද වෙලගෙදර ගේ ‘සක්කාරං’ නවකතාව ඇසුරෙන් ඔහුම තිර නාටකය ලියූ චිත්‍රපටයක් එය. එක්දහස් අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේ දළදා මාළිගාව සම්බන්ධව කටයුතු කළ නැටුම් කුලයක් ප්‍රධාන කරගෙන එකල සමාජ, දේශපාලන වටපිටාව පිළිබඳයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. චිත්‍රපටය නම් කළෙත් ‘සක්කාරං’ කියලාමයි. තවම නළු, නිළියන් තෝරා ගෙන යනවා. ප්‍රධාන නිළි චරිතයට අපි අලුත් මුහුණක් සොයනවා. උඩරට නර්තනය හැදෑරූ, ඒ රූපකාය තියෙන අවුරුදු 25 ත් 30 ත් අතර කෙනෙකුට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ප්‍රධාන චරිතයට බිමල් ජයකොඩි අපි මේ වෙනකොට තෝරාගෙන තිබෙනවා. සිරිල් වික්‍රමගේත් මෙහි චරිතයක් රඟපානවා.

* මෙතෙක් කලක් ඔබ නිහඬව සිටියේ සිනමාව ගැන කලකිරීමෙන් ද?

ඇත්තටම මම පැවතුණේ සිනමාකරුවෙක් හැටියටම නෙවෙයිනේ, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් විදිහට. මට ඕනෑ නිර්මාණ ආවේශය එනකල් මම මගේ වැඩ කරගෙන හිටියා. හුඟක් දෙනා නොදන්නවා වුණාට සාහිත්‍යකරණය පැත්තෙන් මගේ ජීවිතයක් තියෙනවනේ. ඔබ ඇසුවා වගේ යම් කලකිරීමක් නොතිබුණාම නෙවෙයි. විශේෂයෙන්ම අද පවතින සිනමාව සම්බන්ධයෙන්. අද චිත්‍රපට හැදෙනවා. නමුත් සිනමාවේ ප්‍රගතියට ඉවහල් වෙන ඒවා නෙවෙයි ඒ බොහොමයක්. කර්මාන්තයේ දියුණුවක් කියලා බොරු මවාපෑමකුයි අද තියෙන්නේ. මට ඒවා කරන්න ඕනෑ නෑ. තොරන් හදන්න නෙවෙයි මම ඉන්නේ.

* ඒ කියන්නේ චිත්‍රපට කියලා තොරන් හදන අයත් අද ඉන්නවා?

නෑ ඉතින් එහෙම දේවල් තමයි අද ජනප්‍රිය වෙලා තියෙන්නේ. මම හිතන්නේ නෑ මේ රැල්ල හැමදාම තියෙයි කියලා.

ස්වරූප

* නමුත් පොදුවේ අපට ඒ චෝදනාව එල්ල කරන්න බැහැනේ. පහුගිය කාලේ අපි දැක්කා නිලේන්ද්‍ර දේශප්‍රිය, ප්‍රසන්න ජයකොඩි, අරුණ ජයවර්ධන වැනි සිනමාවේදීන්ගේ හොඳ සිනමා කෘති?

ඇත්තටම මම හිතන්නේ ප්‍රසන්න විතානගේ හා අශෝක හඳගම මුල් කරගෙන නව සිනමා ප්‍රවාහයක් එනවා. ප්‍රසන්න ජයකොඩි, විමුක්ති ජයසුන්දර, අරුණ ජයවර්ධන, අතුල ලියනගේ, සංජීව පුෂ්ප කුමාර වැනි හොඳ තරුණ සිනමාවේදීන් පිරිසක් අපට ඉන්නවා. නමුත් ඒ අයගේ සිනමාව ඉදිරියට යන්න දෙන්නේ නෑ, මේ බෞද්ධ මතවාද, එතකොට ජාතික මතවාද වගේ දේවල් එක්ක. මම හිතන්නේ නෑ අද ලංකාවේ කිසිම සිනමාකරුවකුට යුද්ධයේ සැබෑ ස්වරූපය ගැන චිත්‍රපටයක් කරන්න පුළුවන් වෙයි කියලා.

* මේ අලුත් සිනමා පරම්පරාවට වැට කඩුලු බැඳිලා කියන එකද ඔබ අවධාරණය කරන්නේ?

පැහැදිලිවම, ඔවුන් යන මඟ අද අහුරා දමා තිබෙනවා. සිනමාව ගැන ව්‍යාජ අර්ථකථනයක් අද දීලා තියෙන්නේ. මේ ව්‍යාජ නිර්වචන අස්සේ ඒ පරම්පරාව හිර වෙලා ඉන්නේ. ඉදිරියේදී ඔවුන් මම වගේ අවුරුදු දහයකට පස්සේ යන්තම් ගැට ගහගෙන චිත්‍රපටයක් කරයි. හැබැයි මම සිනමාව පටන් ගත්ත කාලේ සිනමාව මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදියි.

* නිදහසේ පියාසර කරන්න අවකාශ තිබුණා?

එහෙම තිබුණ. මට මතකයි 80 දසකයේ මම චිත්‍රපට පහක්, හයක් එකටම හදනවා. අවුරුදු දහයකට පස්සේ එකක් නෙවෙයි, දසකයක් ඇතුළත චිත්‍රපට පහක් හයක් හදනවා. අලුත් පරම්පරාව එළියට අරගෙන, ස්වාධීනව ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්න එදා අවකාශය තිබුණා. මම හිතන්නේ මට විතරක් නෙවේ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි සිනමාකරුවන්ටත් ඒ අවස්ථාව ලැබුණා.

* ආරම්භයේ පටන්ම ඔබේ චිත්‍රපට සඳහා ඔබ යොදා ගත්තේ එකම පිරිසක්. නළු, නිළියන් පමණක් නොවේ, කාර්මික ශිල්පීන් පවා. විශේෂයෙන්ම විජය කුමාරණතුංග වැනි ජනප්‍රිය නළුවෙක් චරිතාංග නළුවකු බවට පත් වෙන්නේ ඔබේ චිත්‍රපට හරහා. ඒ වගේම කේමදාසයන්ගේ සංගීතය. ඔවුන් නැති අඩුව අද ඔබට දැනෙනවාද?

බඹරු ඇවිත්

පාර දිගේ

අහස් ගව්ව

‘පාර දිගේ’ – චන්දරේ සහ ‘බඹරු ඇවිත්’ - බේබි මහත්තයා විජයගේ රංගන ජිවිතයේ සුවිශේෂී කඩඉම් බව ඔහු වගේම අපේ විචාරකයොත් පවසා සිටියා. ඇත්තටම විජය වගේ නළුවෙක් අපට නැවත හමු වෙන්නේ නෑ. ඒ වගේම තමයි කේමදාස. ඔහුගේ අඩුව පුරවන්න හැකි වෙනත් සංගීතවේදියකු බිහිවන එකකුත් නෑ. ඔවුන් මිය ගියාට ඒ කරපු දේවල් ඉතිරි කරලා ගියේ. ඒ මග යන අලුත් පරම්පරාවක් ඉන්නවා. නමුත් ඔවුනට නිදහසේ හැදී වැඩෙන්නට ඉඩ ප්‍රස්ථාවක් අපේ රටේ නෑ. දැන් නදීක ගුරුගේ වගේ තරුණ සංගීතවේදියෙක්ගෙන් අපට ගොඩක් දේ ලබා ගන්න පුළුවන්. ඔහු කේමදාසයන්ගේ සංගීත භාවිතය හොදින් හඳුනා ගත් අයෙක්.

* මම කැමැතියි ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය ගැන කතා කරන්න. ඔබේ සිනමා දිවියේ කූටප්‍රාප්තිය ලෙසයි බොහෝ දෙනා එය හඳුන්වන්නේ?

ඇත්තටම මගේ චිත්‍රපට ගත්තොත් එහි යටින් දිවෙන අදහස බොහෝ විට එකක් වුණාට, සන්දර්භය අතින් ඒවා එකිනෙකට වෙනස්. දැන් අබඹරු ඇවිත්’ මමම අගය කරන මගේ සිනමා කෘතියක්. සමහරු මගේ හොඳම චිත්‍රපට හැටියට ‘සොල්දාදු උන්නැහේ’, ‘බඹරු ඇවිත්’ සහ ‘පාර දිගේ’ චිත්‍රපට ත්‍රිත්වයම හඳුන්වනවා. ඒ චිත්‍රපට තුනම හුඟක් වෙලාවට එක විදිහේ අගැයීමකට ලක් වුණා. හැබැයි එක දෙයක් වැරැදිලා තියෙනවා. ඒ මට නෙවෙයි. විචාරකයන්ට.

* මොකක් ද ඒ වැරැද්ද?

‘පාර දිගේ’ ඒ වසරේ පැවැති ජනාධිපති සම්මාන උළෙලේ තෝරා ගත් චිත්‍රපට දහයටවත් ඇතුල් වුණේ නෑ. ඒක ඉතිං චිත්‍රපටයක් නොවන ගාණට තමයි එයාලා සැලකුවේ. ඒ හිටපු විනිශ්චය මණ්ඩලයට ඒක අහුවුණේ නෑ. මගේ ‘මතුªයම් දවස’ චිත්‍රපටයට සිදු වුණෙත් ඒ වගේ දෙයක් තමයි. මේ රටේ චිත්‍රපට උළෙලවලින් නොසලකා හැරියට ලෝකයේ විශිෂ්ට සිනමා උළෙල රැසක් එය නියෝජනය කළා. විශේෂයෙන්ම ලන්ඩන් සිනමා උළෙල. ඒක සිනමා උළෙලවලත් උළෙලක්. (ජ්ඥඵබඪමචත ධට ජ්ඥඵබඪමචත). මොකද පශ්චාත්වාදී නවීන සිනමා රැල්ල තමයි මේක නියෝජනය කරන්නේ.

* ‘අහස් ගව්ව’ චිත්‍රපටය හැඳින්වූවෙත් නූතනවාදී සිනමා කෘතියක් ලෙස නේද?

ඔව්. එය නූතනවාදී සිනමා කෘතියක්. යථාර්ථවාදී චිත්‍රපටයක් නෙවෙයි. ඔය ඉන්න විචාරකයෝ හුඟ දෙනෙක් ‘මතු යම් දවස’ දිහා බැලුවේ අර යථාර්ථවාදී දෘෂ්ටියෙන්. ඇතැමුන් කියනවා දැන් ‘අහස් ගව්ව’යි, ‘පාර දිගේ’යි, ‘මතු යම් දවසයි’ ගත්තොත් මේ රටේ තිබෙන ප්‍රශ්න, සමාජ, දේශපාලනය විග්‍රහ කරන තුන් ඈඳුතු කතාන්දරයක් වගේ කියලා. ලන්ඩනය විතරක් නෙවෙයි, රෝමය, සිංගප්පූරු සිනමා උළෙල ආදියේ පවා ‘මතු යම් දවස’ ප්‍රදර්ශනය වුණා.

* නමුත් එක්තරා විචාරකයෙක් එය අවර ගණයේ චිත්‍රපටයක් ලෙස හදුන්වා දී තිබුණා නේද?

එය අවර ගණයේ චිත්‍රපටයක් නෙවෙයි. නොතේරුන ගණයේ චිත්‍රපටයක් හැටියටයි මම හඳුන්වන්නේ. සමහර විචාරකයෝ තමන්ගේ මතවාද ඉදිරිපත් කළේ චිත්‍රපටය බලන්නේවත් නැතිව අනුන් කියපු දේවල් අහලා. වර්තමානයේ අපේ රටේ පවතින දේශපාලනය, පාතාලය වගේ සියලුම ප්‍රවණතාවන් මේ චිත්‍රපටයෙන් පිළිබිඹු වෙනවා. ඒකයි මම ‘මතු යම් දවස’ කියලා මේ චිත්‍රපටය නම් කළේ. ඉතින් ඒක තේරුණේ නෑ හුඟ දෙනෙකුට.

* මම හිතන්නේ ඔය ප්‍රශ්නය ඔබේ ‘පාර දිගේ’, ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපට දෙකටත් ආවා. ප්‍රේක්ෂක විඥානයට උඩින් පියාසර කළ චිත්‍රපට දෙකක් හැටියටයි විචාරකයෝ එදා ඒ නිර්මාණ හැඳින්වූවේ?

එතනත් වුණේ ඒ වගේ කතන්දරයක්. පසුකාලීනව මම ‘මතු යම් දවස’ ආයේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහයක් ගත්තා. ඒත් සාර්ථක වුණේ නෑ. ‘රිත්මා’ කියන අලුත් සර්කිට් එක ඡන්දෙ එනකොට කලබලෙන් හදාගෙන තමයි සංස්ථාව එදා මේ චිත්‍රපටය ප්‍රදර්ශනයට මුදා හැරියේ. කොළඹ, නුවර සිනමා ශාලා තිබුණේ නෑ. මගේ ඉපදුන ගමේ, ඒ කියන්නේ මහනුවරවත් මේ චිත්‍රපටය පෙන්නන්න එදා ඉඩ ලැබුණේ නෑ. ඉතින් ඒ විදිහේ අසාධාරණයට ලක්වුණා ප්‍රදර්ශනය පැත්තෙන්.

* ආයෙත් ‘බඹරු ඇවිත්’ දිහාට හැරෙන්න මා කැමැතියි. මේ චිත්‍රපටයේ ඔබ විජය කුමාරණතුංග නිරූපණය කළ බේබි මහත්මයාගේ චරිතය කතාවට ඈඳුවේ දුෂ්ට චරිතයක් විදිහට?

සොල්දාදු උන්නැහේ

මතු යම් දවස

දුෂ්ටමත් නෙවේ, බේබි මහත්තයා කියන්නේ විනෝදකාමී, සෙල්ලක්කාර තරුණයෙක්.

* ඔව්, හරි . . . කොහොම වුණත් මේ චිත්‍රපටයේ කොල්ලාගේ චරිතය රඟපාන්නේ සිරිල් වික්‍රමගේ. නමුත් අවසානයේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට, අනුකම්පාවට ලක්වෙන්නේ බේබි මහත්තයව. ඒ කියන්නේ විජය?

ඔව්, ඔව් . . .

* මේක ඔබ චිත්‍රපටයේ බලාපෙරොත්තු වූ අරමුණ ඉක්මවා ගිය වෙනත් පැතිකඩක්?

නෑ . . . නෑ . . . මම එහෙම තමයි හිතුවේ. මගේ චිත්‍රපටවල ආඛ්‍යානය ඒ විදිහට යන්නේ නෑ. ඒ කියන්නේ එහෙම ජයග්‍රාහී කොල්ලො, කෙල්ලෝ නෙවෙයි ඉන්නේ. බේබි මහත්තයා එහෙම කළාට පස්සේ හෙලන්ට මොකද වෙන්නේ. ඒ ප්‍රශ්න නිමක් නැතිව ඉදිරියට ඇදෙනවා. ඒ කියන්නේ විවෘත අවසානයක් තියෙන්නේ. නිශ්චිත ආඛ්‍යානයක පිහිටා මේ කතාව ගොඩ නැගුවා නම් මිනිස්සුන්ට හිතන්න දෙයක් ඉතිරි වෙන්නේ නෑ. කතාව ඔක්කොම කියලා ඉවරයි. අවසානයේ සියල්ලෝම සතුටෙන් විසිරිලා යනවා. ඉතින් එහෙම ඒවා නෙවෙයි මේ. ඒ චරිත ස්වාධීනව ඒ ඒ චරිත හැටියට ජීවත් වුණා. ඊළඟට සමාජය ඒ චරිත දිහා බලන විදිහ.

* ඒ සමාජ පසුබිම ඇතුළේ තමයි මේ චරිත විග්‍රහ වෙන්නේ?

ඔව් . . . ඒ චරිත හැසිරෙන ආකාරයෙන් තමයි මේ කතාවේ ස්වරූපය ඉස්මතු වෙන්නේ. නිර්මාණයක් හැම වෙලේම කාල්පනිකයි. නමුත් එහෙම අච්චුවකට, මොඩ්ල් එකකට දාපු චරිත නෙවෙයි මේ තියෙන්නේ. ප්‍රේක්ෂක විචාර බුද්ධියට අවමානයක් නොකර, නිර්මාණකරණයේ යෙදීම තමයි මම හිතන්නේ කලාකරුවාගේ යුතුකම හා වගකීම වෙන්නේ.

* දැන් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ ‘දිරිය මව’ වගේ නාට්‍යයක් අවසානයේ ප්‍රේක්ෂක අනුකම්පාවට පාත්‍ර වෙන්නේ යුද්ධයට මුවා වී තම දරුවා විකුණගෙන කන අර මව. ඇත්තෙන්ම එය බ්‍රෙෂ්ට් පවා බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. ඒ නිසයි අර වගේ ප්‍රශ්නයක් මා ඔබෙන් ඇසුවේ?

ඔව් . . . පවතින සමාජ බලවේග තමයි මේවා තීන්දු කරන්නේ. නිර්මාණකරුවා නෙවෙයි. ඒ ඒ චරිත හැසිරෙන්නේ ඒවායේ උපකරණ හැටියට. නැතිව නිකං මේ මොඩ්ල් හැටියට නෙවෙයි.

* ‘බඹරු ඇවිත්’ රූගත කළ ‘කල්පිටිය වෙරළ’ ආශ්‍රිත ‘සුන්දර මතකය’ තාමත් ඔබට අමතක නැතිව ඇති. ඒ ගැන යළි සිහිපත් කළොත්?

ඇත්තටම ඒක සුන්දර අවධියක් තමයි. මොකද හොඳ කලා නිර්මාණයක් බිහි වෙන්නේ අපේ තිබෙන සම්බන්ධකම් ඇතුළේ. සිනමා කර්මාන්තයක් ගැන අද සමහරු ලොකුවට කතා කළත් මේ සොඳුරු එකමුතුව නිසා තමයි හොඳ නිර්මාණයකට පසුබිම සැලසෙන්නේ. අපි කණ්ඩායමක් හැටියට තමයි හැම දේම බෙදා හදා ගත්තේ. අපි හැමෝගෙම තරුණ කාලේ ඒක. ජීවිතයේ සුන්දරම අවධිය. අපි හැම දේම කළේ අපේ ජීවිතයෙන්ම පැන නැගුණ දෙයක් හැටියට. ඉතින් හරිම සුන්දරයි ඒ කාලය.

* බීපු, කාපු ඒවා පවා . . .?

සෑම සියලු දෙයක්ම. අපි අපේ ජීවිත අයින් කර ගත්තේ නෑ මේක හින්දා. ඒ ජීවිතය තුළින්ම පැන නැගුණ, ඒවායින්ම ආපු අත්දැකීම් හරහා තමයි අපි නිර්මාණ ආවේශයක් ලැබුවේ. ඇත්තටම කල්පිටිය වෙරළ හොයා ගත්තේ මමයි, ඩොනල්ඩ් කරුණාරත්නයි. ඒ ‘අහස් ගව්ව’ චිත්‍රපටයට. ‘අහස් ගව්වේ’ තියෙනවා ඒ පිරිස ට්‍රිප් එකක් යනවා. පිටපත ලිව්වෙත් මමමයි. කොහාට ද මේ ට්‍රිප් එක යන්නේ කියලා මම හිතුවා. සිරීපාදේ යන්න බෑ. පෙරහැර බලන්න යන්න බෑ. දළදා මාළිගාව වඳින්න යන්න බෑ. වෙන කොහේවත් යන්න බෑ. මගේ ආසාවක් තිබුණා මේ ලංකාවේ සිතියම දැක්කම පස්සේ මේ ‘අත’ වගේ තියෙන කොනටම යන්න ඕනෑ කියලා දවසක. එතකොට මම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා. ඩොනල්ඩ් එතකොට සහාය කැමරා ශිල්පිියෙක්.

*ද දෙන්නා එකතු වෙලා කල්පිටි යනවා?

ඔව්. . . ඩොනල්ඩ් ගේ සීයා කෙනෙකුගෙන් මොරිස් මයිනර් කාරෙක ඉල්ලා ගත්තා. මට මගේ පඩිය හම්බ වුණා රුපියල් 614.00 ක්. ඊට පස්සේ මම පෙට්‍රල් ගහලා අපි දෙන්නා ගියා කල්පිටියට. එතනින් පස්සේ කල්පිටිය ‘අපේ ගම’ වගේ වුණා. මට හිතුණ ගමන් ඔය බස් එකක නැගලා යනවා කල්පිටියට. සමහර වෙලාවට කොස්තාත් එක්ක යනවා. සමහර වෙලාවට ජයසිරිත් එක්ක යනවා. එහෙම ගියාම අපට ඉන්න තිබුණේ වාඩියක. දැන් ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ විජයගේ වාඩිය තමයි එදා අපි ගිහින් නැවතුණ වාඩිය. ඒකට කිව්වේ බොලොන්නේ වාඩිය කියලා. එතන විජය වගේම කඩවසම් තරුණයෙක් හිටියා. ඔහු අපට කන්න, බොන්න දීලා හරි ආදරෙන් සැලකුවා. ඒ ගිය ගමන තමයි ‘බඹරු ඇවිත්’ තිර රචනයට හේතුව වුණේ. ඊට පස්සේ හැම වාඩියකම ඉන්න අය අපේ මිත්‍රයෝ වුණා.

* වැල්ලට බඹරු ආවේ ඊට පස්සේ?

‘බඹරු ඇවිත්’ රූගත කරන්න අපි තෝරා ගත්තේ කල්පිටිය වෙරළ. ඒ ආසන්නයේ තිබුණ රෙස්ට් හවුස් එකේ තමයි අපි නැවතුණේ. කාමර දෙකයි. ඒ කාමර දෙකෙන් එකක අපි රූබි ද මැල්වයි, මාලිනීවයි නතර කළා. අනෙක් කාමරේ මේකප් බඩුයි, අරවයි, මේවයි දැම්මා. අපි සේරමලා අර ඉස්තෝප්පුවේ විශාල පැදුරක් දාගෙන එක පෙළට නිදා ගත්තේ. උදේට නැගිටින කොට මැස්සෝ එහෙම පිරිලා. විජය කුමාරණතුංග හිටියේ කෙළවරක. එයා මැද නිදාගන්නෙම නෑ. ඊළඟට සෝමසිරි දෙහිපිටිය, සිරිල් වික්‍රමගේ, මම, ඩොනල්ඩ් කරුණාරත්න, කොස්තා, තෙන්නකෝන්, පියසේන අහංගම, කලං ඔක්කෝම එක පැදුරේ. උදේ පාන්දර මැස්සෝ එනකොට තමා අපි ඇහෙරෙන්නේ. ෂූටිං නැතිදාට මුළු ගෙස්ට් හවුස් එකම අතු ගාන්නේ රූබී ද මෙලුයි, මාලිනියි එකතු වෙලා.

* කට්ටිය කාපු බීපුවා අස් කරන එක වෙනම කෝස් එකක් වෙන්නැති?

රෑට සේරම බඹරු වගේ තමයි. බිව්වෙත් කසිප්පු. පොලීසිය තිබ්බේ අල්ලපු වැටේ. අපිට පොලීසියෙන් නිකං කසිප්පු දෙනවා. ඒවා මේ දැන් වගේ නෙවෙයි, හොඳ කසිප්පු. ඉතිං එහෙම තමයි ඒ කාලේ ජීවිතේ.

* ‘බඹරු ඇවිත්’ සංගීතය ගැනක් කතා කරන්න මෙය හොඳ අවස්ථාවක්. සම්මත ආකෘතිය බිඳ හෙලූ ගීතයක් වගේම පසුබිම් සංගීතයක් බිහි වෙන්නේ ‘බඹරු ඇවිත්’ හරහා. ඒක සිදු වුණේ කොහොමද?

ඇත්තෙන්ම ස්ථර කිහිපයක් තියෙනවා මේ තේමාවට. මුලින් අපට පෙනෙන ස්ථරය තියෙනවා. ඊට පස්සේ නව ස්ථරයක තේරුම් නිර්මාණය කරනවා.

* ඒ කියන්නේ වෙනම ලේයර් එකක්?

වෙනම ලෙයර් එකක්. එතකොට මේ සිංදුව එන්නේ අවස්ථා තුනකදී. දැන් අපට එකට ඇහුනට ආරම්භය, මැද සහ අවසානය කියන අවස්ථා තුනෙන් අපි කිසියම් අවකාශයක් ලබා දෙනවා ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය දෙස විමසුම් නෙත් හෙළන්නට. මේක මුල, මැද, අග සහිත ආඛ්‍යානයක් විතරක්ම නෙවෙයි. මේ වෙනස හින්දා තමයි ‘උදුම්බරා’ විශිෂ්ටතම සිනමා ගීතයක් බවට පත් වුණේ. අදටත් මිනිස්සු කියනවා ලස්සන ගීතයක් කියලා. නමුත් මේකේ තේරුම එන්නේ චිත්‍රපටයත් එක්ක බලන කොට.

* කොතෙකුත් විශිෂ්ට ගීත රචකයෝ හිටියත් ඔබ මේ ගීත රචනය බාර දෙන්නේ ඩබ්ලිව්. ජයසිරි වගේ නවකයකුට. කොහොමද මේ නිවැරැදි තීරණයට එදා ඔබ එළැඹුණේ?

මම දැනගෙන හිටියා ජයසිරිට මේ වැඩේ කරන්න පුළුවන්කම තිබෙන බව. මොකද අපි දෙන්නා එකටමයි ඒ දවස්වල හිටියේ. ඔහුගේ ටැලන්ට්ස් මම දැනගෙන හිටියා. එයා නළුවෙක් වුණෙත් මේ චිත්‍රපටයෙන් නේ. ඒ වගේම ඔහු මගේ සහාය අධ්‍යක්ෂවරයා.

* යළි අපේ සිනමාවේ වර්තමානයට ආවොත් අද අප දකින එක ප්‍රවණතාවක් තමයි මේ උසස්, එහෙම නැතිනම් කලාත්මක ධාරාවේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා එල්ල වන යම් යම් බලපෑම්?

ඔව් . . . එහෙම දේවල් තියෙනවානේ. ඒවා අද නෙවෙයි එදාත් තිබුණා.

* නමුත් එදා එවැනි උසස් චිත්‍රපට සඳහා සම්භාව්‍ය පස්වැනි මණ්ඩලය වෙන් කර තිබුණා. නැවත එවැනි මණ්ඩලයක් ආරම්භ කිරීම කාලෝචිතයි කියා ඔබ සිතන්නේ නැතිද?

මගේ ‘ස්වරූප’ චිත්‍රපටය දැන් රැ¼ගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කරලයි තියෙන්නේ. ඒ අනුමැතිය ලැබුණට පස්සේ තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. කවදා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පුළුවන් වේදැයි කියන්න බෑ. සම්භාව්‍ය පස්වැනි මණ්ඩලය නැවත ඇති කරනවා නම් හොඳයි. නැතිනම් මේ කලාත්මක චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ප්‍රදර්ශකයන් විසින් ප්‍රමාද කරයි. එහෙමත් නැතිනම් ඉක්මනින් ගලවලා දායි. එහෙම වුණොත් මේගොල්ල අර ඔක්කොම සර්කිට් ටික ‘තොරන්’ ප්‍රදර්ශනයටම දෙයි.