|
||||||
ඉන්දියානු සිනමා කතාව 29
නිළි බිරියගේ අනියම් පෙමින් නළුවකු බිහි වෙයි
වර්තමානයේ හින්දි සිනමාව ලොවපුරා හඳුන්වා දෙනු ලබනුයේ බොලිවුඩ් සිනමාව යනුවෙනි.ඒ වර්තමානයේ හින්දි සිනමාවේ අගනුවර බවට පත්ව ඇති මුම්බායි නගරය නිසාවෙනි.මුම්බායි සිනමාව බොලිවුඩ් යනුවෙන් හඳුන්වා දෙනුයේ එම නගරයේ එකල නම බොම්බාය නිසාවෙනි.බෙංගාලි සිනමාව කල්කටාව කේන්ද්‍ර කර ගන්නේත්, දෙමළ සිනමාව චෙන්නායි කේන්ද්‍ර කර ගන්නේත්, මලයාලම් සිනමාව තිරුවානන්ද පුරම් කේන්ද්‍ර කර ගන්නේත් ඒ ඒ ප්‍රාන්තයන් ගේ ප්‍රධාන භාෂාව අනුවය. එහෙත් හින්දි සිනමාව බොම්බාය කර ගත්ත ද එහි වැඩි වශයෙන් වහරන්නේ මරාති බසය.ඒ මුම්බායි යනු මහාරාෂ්ට්‍රයේ අගනුවර බැවිනි. එහෙත් ඉන්දියාවේ ප්‍රධානම වෙළෙඳ නගරය වන මුම්බායි හි හින්දි සිනමාවේ අගනුවර බවට පත් කරන පිරිසෙහි බහුතරය ද මරාති ජාතිකයෝ නොවෙති.ශාන්තාරාම් ඇතුළු ප්‍රභාත් සමාගම හැරුණු විට කතානාද සිනමාව හරහා ඉන්දියානු සිනමාවේ අගනුවර ලෙස ගොඩ නඟන බහුතරය මුම්බායි වැසියන් නොවේ. ඔවුන් එහි එන්නේ වෙනත් ප්‍රාන්තවලිනි.හොලිවුඩ් සිනමාවේ බොහෝ සිනමාකරුවන් ලෝකයේ විවිධ රටවලින් පැමිණි අය විලාසයෙන්, බොලිවුඩ් සිනමාවේ පුරෝගාමීන් මෙන්ම වර්තමානයෙහි සිටින්නෝද ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලින් එහි පැමිණි අයම වූහ.ඒ අතරින් කල්කටාවේ සිට හින්දි චිත්‍රපට තැනූ නිව් තියටර්ස් මෙන් නොව වංග ජාතික හිමන්සු රායි විසින් ගොඩ නංවන ලද බොම්බේ ටෝකිස් සමාගම සෙසු සියලු සමාගම් අතර ඵෙතිහාසික කාර්යක් ඉටු කළේය. ‘බොම්බේ ටෝකිස්‘ නම කෙතරම් ඉන්දියානු සිනමාව පිළිබඳව වැදගත් වී ද යත්, එයට සියවස පිරුණ දවසේ එය සමරනු වස්, වර්තමාන සිනමාකරුවන් වූ අනුරාග් කාශ්‍යප්,දේබකාර් බැනර්ජි,සෝයා අක්තාර් සහ කරන් ජොහාර් එක්ව තැනූ චිත්‍රපටය නම් කරන ලද්දේ ද ‘බොම්බේ ටෝකිස්‘ නමිනි.හිමන්සු රායි බොම්බේ ටෝකිස් සමාගම පිළිබඳ සැලසුම් කරනුයේ එංගලන්තයේ සිටිද්දීය.එයට මුල පිරෙනුයේ රායි විසින් 1932 වසරේ දී නිපද වන ‘කර්ම‘ චිත්‍රපටය අතරතුරය. එහි අධ්‍යක්ෂවරයා ජේ.එල්.ෆ්‍රියර් හන්ට් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ කපිතාන් වරයෙකු මෙන්ම එහි වාර්තා චිත්‍රපටකරුවෙකු ද විය.‘කර්ම‘ දර්ශන කිහිපයක් ඉන්දියාවේ රූ ගැන් වූ අතර බහුතර දර්ශන සහ පසු නිෂ්පාදන කටයුතු ද සිදු කරන ලද්දේ ‘ලන්ඩනයේ ස්ටොල් ස්ටුඩියෝ‘වේදීය. චිත්‍රපටය හින්දි බසින් මෙන්ම ඉංග්‍රීසි බසින් ද නිර්මාණය විය.එය හිමන්සු රායිගේ මුල්ම කතානාද චිත්‍රපටය විය.පියාගේ විරෝධය නොතකා අසල්වැසි සතුරු රටක කුමාරයෙක් සමඟ පෙමින් වෙළෙන කුමරියක වටා ගෙතුණ මෙහි තිර රචනය දිවාන් ශර්මා විසින් රචනා කරන ලදී.සමකාලීන හොලිවුඩ් චිත්‍රපටයක විලාසය පලකළ නමුදු එහි දේවිකා රාණිගේ ගායනය සහ රංගනය බ්‍රිතාන්‍යයේ වැරයිටි සඟරාවේ විචාරකයන්ගේ පවා නොමඳ පැසසුමට හේතුවිය.චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වුව ද හිමන්සු රායි සහ දේවිකා රාණි වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනයට ආයෝජකයෝ සූදානම් ව සිටියහ. එහෙත් ඒ ගැන වැඩිපුර නොතැකූ හිමන්සු රායි 1934 වසරේ යළි ඉන්දියාවට පැමිණ සීමාසහිත සමාගමක් ලෙස ‘බොම්බේ ටෝකිස්‘ ආරම්භ කළේය.එහි ආරම්භක ප්‍රාග්ධනය ලක්ෂ විසි පහක් වූ අතර එය ඒ කාලයේ හැටියට ඉතා ඉහළ මුදලක් විය.සමාගම ආරම්භයේම එය ඉන්දියානු කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් විය.සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් අතර කෙනෙකු වූ එෆ්.ඊ.ඩන්ෂෝගේ බොම්බායේ පිහිටි සුවිසල් මැදුර කේන්ද්‍ර කොට ගනිමින් චිත්‍රාගාරය ඉදිවිණ.ශ්‍රීමත් චිමන්ලාල් ශිතල්වාද්,ශ්‍රීමත් චූනිලාල් බී.මෙහ්තා,ශ්‍රීමත් රිචඩ් ටෙම්පල්,ශ්‍රීමත් ෆෙරෝස් සෙත්නා,ශ්‍රීමත් සොරාබ්ජි පොත්කන්වාලා සහ ශ්‍රීමත් කොවාස්ජි ජෙහන්ගිර් මේ සමාගමේ ප්‍රධාන හවුල්කරුවන් මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වූහ.එහි ප්‍රධානම ආයෝජකයා වූයේ රාජ්නාරායන් ඩූබේය.බොම්බේ ටෝකිස් චිත්‍රාගාරය බොම්බායේ ආරම්භ කරන ලද මුල්ම අංග සම්පූර්ණ චිත්‍රාගාරය විය. එය සහමුලින්ම පරිබාහිර ශබ්ද කිසිවක් නො ඇසෙන ආකාරයට ගොඩනැඟූ අතර සංස්කරණ මැදිරියක්, අගනා රසායනාගාරයක් සහ විශේෂ දර්ශන සඳහා පමණක් වෙන් වූ සිනමාහලකින් ද සමන් විත විය.චිත්‍රාගාරයේ සියලු උපකරණ ඒ වනවිට ලොව පැවැති ඉහළම ගණයේ උපකරණ විය. නළු නිළියන් ඇතුළු සියලු සිනමා කාර්මික ශිල්පීන් සඳහා අවශ්‍ය සියල්ල එහි තිබුණේ එවකට පැවැති හොලිවුඩ් චිත්‍රාගාර ආදර්ශයට ගනිමිනි. එහෙත් සමාගම සඳහා වැය කළ ප්‍රාග්ධනය එවකට සමකාලීන ඉන්දියානු සිනමා ආයෝජකයන්ගේ ඉහමොළ රත් කරන ජාතියේ මුදලක් විය.එය ඉතා අවදානම් ව්‍යාපෘතියක් බැව් බොහෝ දෙනා අතර බහුල අදහසක් වුව ද, ඒ ගැන නොතැකූ හිමන්සු රායි එය ආදායම අතින් මෙන්ම ගුණාත්මක අතින් ද ඉන්දියානු සිනමාවේ අංක එකේ සමාගමක් බවට පරිවර්තනය කළේය.ඒ ඉතිහාසය ඇතුළත බොම්බේ ටෝකිස් චිත්‍රපට 102 ක් නිෂ්පාදනය කළේය. එහි කවර ආයෝජකයෙකු සිටිය ද චිත්‍රපට පිළිබඳ සම්පූර්ණ අවසන් තීරණය දරන ලද්දේ හිමන්සු රායි විසිනි. එමෙන්ම රායි සමඟ ‘ලයිට් ඔෆ් ඒෂියා‘ චිත්‍රපටය නිපදවන්නට එක්වුණ ෆ්‍රාන්ස් ඔස්ටන් ඇතුළු ජර්මානු තාක්ෂණ ශිල්පීන් ද බොම්බේ ටෝකිස් සමාගමට එක් වූ හෙයින් එමගින් ඉන්දියානු තරුණ පිරිසකට ඔවුන් යටතේ පුහුණුව ලැබීමේ අවස්ථාව හිමි වූහ.කැමරා ශිල්පී ජෝශෆ් වර්ෂ්ලිං, පසුතල නිර්මාණ ශිල්පී කාල් වොන් ස්ප්‍රෙ ඔස්ටන් මෙන්ම එයට දායක වූ ජර්මානුවන් වූ අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ ලෙන් හාට්ලි ශබ්ද පරිපාලන ශිල්පියා ලෙසද, සොල් ලේ රසායනාගාර අධිපති ලෙසද එයට එක් විය.හිමන්සු රායිගේ තිර නාටක රචකයා වූ නිරන්ජන් පාල් ද ලන්ඩනය හැරදා එහි පැමිණියේ තිර නාටක රචකයා හැටියටය.මෙකී පිරිස විසින් බිහි කරන ලද ඉන්දියානු සිනමා තාක්ෂණ ශිල්පීන් පරම්පරාවෙන් පරම්පරාවට සිය දැනුම බෙදා ගනිමින්, අද ද හින්දි සිනමාවේ කටයුතු කිරීම ‘බොම්බේ ටෝකිස්‘ ඉන්දියානු සිනමාවට කළ බලපෑමට නිදසුනකි. සමාගමේ මුල්ම චිත්‍රපටය1935 වසරේ තැනුණ ‘ජවානි කි හවා‘ චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ෆ්‍රාන්ස් ඔස්ටන් විසිනි.නිරන්ජන් පාල් එහි තිර රචනය කළ අතර දේවිකා රාණි සහ නජ්මුල් හුසේන් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළහ.මව්පියන්ගේ විරෝධතාවය නොසලකා තම පෙම්වතා සමඟ විවාහ වීමේ අපේක්ෂාවෙන් පළා යන යුවළක් එදින රාත්‍රියේ දුම්රියක දී මුහුණ දෙන අබිරහසක් වටා ගෙතුණ මේ චිත්‍රපටය පරිපූර්ණ නිර්මාණයක් විය. එහි කතාව බැලූ බැල්මට අගතා ක්‍රිස්ටිගේ ‘මර්ඩර් ඔෆ් ඔරියන්ට් එක්ස්ප්‍රස්‘ නවකතාව ඇසුරෙන් ලබා ගත්තක් යැයි පෙණුන ද නිරන්ජන් පාල් එහි චරිත ගොඩ නැංවීම හා සිදුවීම් පෙළ ගැස්වීමේ දී තම අනන්‍යතාවය කදිමට ඉස්මතු කර තිබිණ. චිත්‍රපටය සඳහා සංගීත නිර්මාණය කරන ලද්දේ සරස්වතී දේවිය විසිනි. හින්දු දෙවඟනකගේ නම භාවිත කළ ද ඇය පාර්සි ජාතික කාන්තාවක් වූවාය. ලක්නව් හි මොරිස් විදුහලෙන් සංගීතය හැදෑරූ ඇගේ සැබෑ නම කොර්ඹෙඩ් මිනොෂර් හෝම්ජි නම් විය. එමෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරිය ගායිකාවක සහ නිළියක වූ අතර ඇය හඳුන්වන ලද්දේ ‘චන්ද්‍රප්‍රභා‘ යන නාමයෙනි.ඉන්දියානු සිනමාවට මුල් වරට දායක වන පාර්සි ජාතික කානතාවන් වූයේ හෝම්ජි සහෝදරියන් ය. ඔවුන්ට එරෙහිව සෙසු පාර්සි ජාතිකයන් කෙතරම් හඬක් නැඟුවාද යත් එය චිත්‍රපටයට අනියම් ප්‍රචාරයක් ලාබදීමට සමත් විය. අති සාර්ථක ‘ජවානි කි හවා‘ ට පසු සමාගමේ දෙවැනි නිෂ්පාදනය 1936 වසරේ දී ‘ජීවන් න්‍යායි‘ නමින් තිරයට ආවේය.‘ජීවන් න්‍යායි‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ ද ඔස්ටන් වූ අතර එයට පාදක වනුයේ ද නිරන්ජන් පාල් ගේ තිර රචනයකි.පළමු චිත්‍රපටයේ ජනප්‍රියත්වය නිසාම ‘ජීවන් න්‍යායි‘ චිත්‍රපටයේ ද ප්‍රධාන චරිතය රඟපෑමට නියමිත ව සිටියේ දේවිකා රාණි සහ නජ්මුල් හුසේන්ය. එහෙත් ඒ වනවිට හුසේන් සහ දේවිකා රාණි අතර ඇති වූ අනියම් ප්‍රේමය චිත්‍රාගාරයට රහසක් නොවීය. සිය බිරිය ගේ තහනම් ප්‍රේමයේ ප්‍රතිඵලය ලෙස චිත්‍රපටය රූ ගන් වන අතරතුර දීම හිමන්සු රායි විසින් හුසේන් චිත්‍රාගාරයෙන් පන්නා දමන ලද්දේය.චිත්‍රපටයට ගැළපෙන අලුත් නළුවකු සොයා සැරිසරන හිමන්සුට සිය රසායනාගාරයේ සේවය කළ ආධුනික කඩවසම් තරුණයෙකු නෙත ගැටිණ.තරුණයා හිමන්සු සහ දේවිකා රාණි මෙන්ම බෙංගාලි ජාතිකයකු විය. කුමුදුලාල් ගංගුලි නමින් කල්කටාවේ බෙංගාලි බ්‍රාහ්මණ පවුලක වැඩිමහල් දරුවා ලෙස උපන් ඔහු ගේ පියා නීතිඥවරයකු ද විය.කෙසේ වෙතත් හිමන්සු විසින් අහම්බෙන් සොයා ගන්නා ලද තරුණයා ඉතා ඉක්මනින් සිනමා ක්ෂේත්‍රයේ ගෞරවාදරයට පත් විශිෂ්ට නළුවකු විය.මේ විශිෂ්ටයා සිනමාවේ ජනප්‍රිය වනුයේ අශෝක් කුමාර් නමිනි. (1911 ඔක්තෝබර් 13-2001 දෙසැම්බර් 10). ඔහු ‘දදා මෝනි‘ යන ගෞරව නාමයෙන් ඉන්දියානු සිනමාවේ සියල්ලන්ගේම ආදරයට පාත්‍ර විය.පසු කලෙක ඔහුගේ සොහොයුරන් වූ අනූප් සහ කිශෝර් ද සිනමාවට එක් වූ අතර ඒ අතරින් කිශොර් කුමාර් නළුවකු ට වඩා ජනප්‍රිය වූයේ ගායකයකු හැටියටය. එපමණක් නොව අශොක් කුමාර් ඉන්දියානු සිනමාවේ තවත් පෙළපතකට ද මුල පිරුවේය. වර්තමාන සිනමාවේ ජනප්‍රිය සිනමා තරු වන කාජොල් සහ රාණි මුඛර්ජි ආදීන් ඒ පරම්පරාවේ වර්තමාන සාමාජිකාවන් වෙයි. දේවිකා රාණිට පෙම් කරන ලද නජ්මල් හුසේන් ඉන් අනතුරුව චිත්‍රපට ලෝකයෙන් සදහටම අතු ගෑවී ගියේය.ඔහුගේ පසුකාලීන ඉරණම කිසිවකු හෝ නොදත්තේය. මතු සම්බන්ධයි
|
||||||