වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කැස්සට, කොස් ඇට අරගෙන සරසවියට රම්බරී ආ දා . . .

කැස්සට, කොස් ඇට අරගෙන සරසවියට රම්බරී ආ දා . . .

ගීතයක් ජනප්‍රිය වෙන්න වාසනාවත් ඕනෑ . . .

බටහිර අහස වැහි මන්දාරමෙන් වැසී ගිහින්. සිහින් වැහි බිඳු එක දෙක පොළොවට පතිත වන්නේ ක්‍රමයෙන් වේගය වැඩි වෙමින්. කුඩා වැහි පොද මහ වැස්සක් වන්නට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. මේ වැහිකෝඩය මැද නවීන පන්නයේ රේසින් මෝටර් රථයක් ලේක්හවුස් වාහන අංගනය වෙත පැමිණියා.

ඒ පිටුපස තවත් නවීන පන්නයේ මෝටර් රථයක් වේගයෙන් ආවා. වාහන අංගනයේ මේ මෝටර් රථ දෙක නතර වුණත් කිසිවෙකු එළියට බැස්සේ නැහැ. ඒ නාකපන වැස්ස නිසා. වේලාව පෙ. ව. 10 යි. විනාඩි කිහිපයක් වාහනයේ රැඳී සිටි අමුත්තන් දෙදෙනා අනෝරා වැස්සේම රථයෙන් එළියට බැස්සත් අත වූ නවීන පන්නයේ බොක්ස් ගිටාරය තෙමෙන නිසා නැවත මෝටර් රථයේ දෙරගුළු ලා ගත්තා.

මේ කාරණය දෙස විමසිල්ලෙන් බලා සිටි සරසවියේ ප්‍රසාද් සමරතුංග කුඩ දෙකක් ද රැගෙන ඉක්මන් ගමනින් ඔවුන් වෙතට පියමැන්නා.

ලහිරු පෙරේරා සමඟ මනුරංග විජේසේකර මෙවර තරු මිහිර හැඩ කරන්නට පැමිණියේ මහ වැසි ද නොතකායි.

මේ දෙදෙනා ප්‍රසාද් සමඟ ලේක්හවුස් ඉහළ මාලයේ ඇති සරසවිය ඡායාරූපාගාරයට පැමිණෙන විට එහි නොඉවසිලිවත්ව රැඳි සිටියේ,

කිරිඳිවැල සිට පැමිණි නෙත්මි සංජනා,

පොළොන්නරුවේ ගැමුණු සෙනෙවිරත්න,

අනුරාධපුර ටී. සගායම්

හා ඇහැලියගොඩ අනුර කුමාර යන පිරිසයි. මේ පිරිසගේ අභිලාෂය ඉටු කරමින් ලහිරු හා මනුරංග සරසවිය ඡායාරූපගාරයට ඇතුල් වූයේ ගිටාරය වයමින් ගීතයක් ද ගයමින්.

සුදු ගවුමේ ඇයි – මඩ ගෑවුණේ . . .

දැන් නම් ඉතින් ගෙදරින් බනියි නංගෝ . . .

බොර ගං දියේ මල් යයි ඇදී . . .

ගන්නයි ගියේ අයියේ මගේ පණසේ . . .

මනුරංග ලියූ මේ ගීතය ඇසෙන විටම සරසවියේ පාඨක පිරිසගේ සිත් සතුටින් ඔද වැඩුණා.

ඔන්න යාලුවනේ මම තනියම නම් ආවේ නැහැ. මගේ ගීත බොහොමයක් ලියන මනුරංගවත් එක්කගෙන ආවේ ඔයාලව පුදුම කරවන්න යැයි කියමින් ලහිරු හා මනුරංග පිරිස අතරට ගියා.

පිරිස අතර සිටි කටකාර සගායම් ඔවුන් එකිනෙකා ලහිරු හා මනු වෙත හඳුන්වා දුන්නා.

‘හානේ බලන්න මේ චූටි නංගි පැටියෙකුත් ඇවිත් මාව බලන්න. ඔයා ඉස්කෝලේ කීයෙද ඉගෙන ගන්නේ? ලහිරු පුංචි නෙත්මිගෙන් විමසුවේ ඇගේ හිස අතගාමින්.

කිරිඳිවැල මහා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණිියේ ඉගෙන ගන්නේ.

අනේ මගෙත් දැන් පදිංචිය කිරිඳිවැලට කිට්ටුවනේ. හරියටම රදාවාන හොස්පිට්ල් එක ළඟ. එහෙනම් නෙත්මි ඔයා මගේ අසල්වැසිියෙක් නේද?

ලහිරු ඔයාගේ පළමු ගීතය ද ‘රම්බරි’. ගැමුණු විමසුවේ මනුරංගටත් ඉඟිකරමින්.

නැහැනේ, මම මුලින්ම මගේ කියලා ගායනා කළේ ‘මනබැන්දා’ ගීතය. ඊට පසුව පිළිවෙලින් ’තනුවක් වී’, ‘දෑසින් පෑවා’ වගේම තවත් ගීතයකට පසුව පස්වැනි ගීතය විදියට ගායනා කළේ රම්බරි. වෙලාව කියන්නේ වයස් බේදයකින් තොරව රම්බරි මේ රටේ ජනප්‍රිය වුණානේ.

දැන් ඉන්නේ මොනවා හරි වචන ටිකක් ලියලා ජනප්‍රිය වෙන ගීත රචකයෝයි, ගායකයෝයි කියලා කවුදෝ පත්තරේකට කියලා තියෙනවා මම දැක්කා. මනු මේ ගැන මොකද කියන්නේ? මෙතෙක් වේලා නිශ්ශබ්දව සිටි අනුර දැඩි විමසිල්ලෙන් ඇසුවා.

මෙහෙමයි. සමහර ගීතවල පෙනෙන්නට තියෙන උඩු පෙළ නෙමේ එහි ගැඹුරින් කියවෙන්නේ. අනික මම ලියන හැම ගීතයම ජනප්‍රිය වෙන්නෙත් නැහැ.

ඒකට සංගීතය වගේම ගායකයාත් බලපානවා. තරුණයෝ විදියට සම්ප්‍රදායෙන් එහාට ගිහිල්ලා මේ වගේ ගීත නිර්මාණය කරලා ඒවා ජනප්‍රිය වුණාම කියන කතානේ ඕවා. ජනතාව ගීතය වැළඳ ගන්නවා නම්, රස විඳිනවා නම් ඉතින් ආයේ මොනවද මේ ගැන කතා කරන්නේ.

ලහිරු දැන් නාලිකාවලට සල්ලි ගෙවලා පැකේජ් ක්‍රමයට ගීත ප්‍රචාරය කරලා ජනප්‍රිය කර ගන්නවා කියලා චෝදනාවක් තියෙනවා. ගැමුණු නැවතත් ඇසුවා.

මෙහෙමයි ගැමුණු, ඔය කියන පැකේජ්වලින් දවසට බොහෝ සැරයක් ගීත ප්‍රචාරය කරලත් ජනප්‍රිය නොවුණ ගීත ඕනෑ තරම් තියෙනවානේ. ගීතයක් ජනප්‍රිය වෙන්න වාසනාව කියන එකත් බලපානවා. ඒ වගේම තව අවශේෂ කාරණා කිහිපයකුත් තියෙනවානේ.

තව ගීතයක් කියමුද? ඒ යෝජනාව සගායම්ගෙන්.

ගිටාරය අතට ගත් ලහිරු,

කැස්සට කොස් ඇට – උණට කුරුම්බා ගීතයත්, දෑසින් පෑ මා ඉඟි මැරූ දෙව්ලියෝ ගීතයත් ඉතා මනරම්ව ගිටාරය වයමින් ගායනා කළා.

මෙන්න සරසවිය පත්තරේ ගානේ කේක් එකක්. හරි ලහිරුම කපන්න. මනුරංග කීවේ පිහිය ලහිරු අතට දෙන ගමන්. ලහිරු හා මනුරංග ඒක්ව කේක් ගෙඩිය කපා සියල්ලන්ටම කැව්වේ ආදරයත් කරුණාවත් මුසුකරමින්.

බොන්න මොනවද අපට දෙන්නේ? ලහිරු මගෙන් විමසන විටත්, සරසවිය කර්තෘ මණ්ඩලයේ සුගත් ප්‍රියන්තත්, තිලානි හා යතේජා එක්ව රසම රස අඹ පානයක් රැගෙන ආවා. ලහිරු හා මනුරංග අඹ පානය අපේ පාඨක මිතුරන්ට ලබා දුන්නේ පිංතූරයකටත් පෙනී සිිටිමින්. ලහිරු අඹ වීදුරු කිහිපයක් හිස් කළත් මනුරංග නම් සීනි වැඩියි කියමින් එක වීදුරුවකින් සෑහීමකට පත් වුණා.

කෝ අනේ අපිව උඩට එන්න පාර පෙන්නපු අපේ ප්‍රසාද් මිත්‍රයා. එවිටම ප්‍රසාද් පැමිණිියේ සුදු පැහැති ලියුම් කවර කිහිපයක් ද රැගෙනයි. එම ලියුම් කවර සරසවිය ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න අතට පත් කළ ප්‍රසාද් නැවතත් හදිසි කටයුත්තකට බැහැරට ගියා.

අද ලහිරු හා මනුරංගගේ පැමිණීම නිසා තරු මිහිර අනුග්‍රාහකයා වන ‘ලක් සළුසල’ ලබාදෙන තෑගි වවුචර පත් ලහිරු හා මනුට අරුණ ගුණරත්න මහතා විසින් පිරිනැමුවා. පෙරලා ලහිරු හා මනු අපේ පාඨක හිතවතුන් වෙත එම තෑගි වවුචර් පිරිනැමුවේ ලක් සළුසල ගැන ද මතක් කරමින්.

මතක තියාගන්න ජාවත්ත, කොළඹ 07 තියෙන ‘ලක් සළුසල’ වෙළෙඳ සලට ගියොත් අදම ඔයාලට තෑගි ගන්න පුළුවන් යනුවෙන් ලහිරු මතක් කළේ හැමෝටම මාර්ගෝපදේශකයකු වෙමින්.

සගායම් රැගෙන ආ තෑගි පාර්සලය ද ලහිරු වෙත පිරිනැමුවේ හද පිරි සතුටින් ඉපිල යමින්.

හෝරා දෙකකටත් වැඩි කාලයක් අපේ පාඨක මිතුරන් සමඟ රැඳී සිටි ලහිරු අවසානයේදී ‘රම්බරි’ ගීතය ගයන විට සගායම් මනරම් රැ¼ගුමක් ද ඉදිරිපත් කළේ සියල්ලන්ගේම සිත් සතුටු කරමින්.

අපේ පාඨක පිරිස නික්ම ගියත් ලහිරු හා මනුරංග තවත් හෝරා කිහිපයක් සරසවියේ පත්තර මිතුරන් සමඟ සතුටින් ආගිය තොරතුරු විමසමින් රැඳී සිට හවස් යාමයේ ලේක්හවුස් මන්දිරයෙන් පිටව ගියේ ඊළඟ ගීත ඇල්බමයේ තොරතුරුත් විගස රැගෙන එන පොරොන්දුව පිටයි.