|
ඒ චරිතය ලැබුණොත් කොණ්ඩෙයි රැවුලයි කපනවාසම්මානනීය නළු ලකී ඩයස් කෙළින් කතා කරයි රංගනය අභිමානවත් ජීවන වෘත්තියක් මෙන්ම උත්තම ගණයේ කලාවක් සේ සලකන ලකී ඩයස් එහි ගෞරවය රැකගැනුම උදෙසා නිබඳ කැපවෙන විශිෂ්ට රංගන ශිල්පියෙකි. එනිසාවෙන්ම කිසියම් නිර්මාණයකට රංගන දායකත්වය ලබාදීමට පෙර ඔහු ඒ පිළිබඳ වරක් නොව දෙතුන් වරක් සිතා බලයි. පුංචි තිරයේ වේවා රිදී තිරයේ වේවා එසේ ඔහු දායක වූ නිර්මාණ පිළබඳ ප්‍රේක්ෂක මතකයේ ඇත්තේ සුපසන් හැඟුම් සමුදායකි. ලකී ඩයස් යනු ලාංකේය රංගන ක්ෂේත්‍රයට මහ¼ගු අර්ථයක් සැපයූ රංගන ශිල්පියකු බව මාගේ වැටහීමයි.
සිනමාවට වඩා වර්තමානයේ ඔබේ වැඩි දායකත්වයක් ලැබෙන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට. ඒ ගැන පැහැදිලි කිරීමකින් මේ කතාව ආරම්භ කරමු? මෙහෙමයි, සිනමාවට වැඩියෙන් ටෙලි නාට්‍යයවල ඉන්නවා කියන එකත් පිළිගන්න අමාරුයි. මොකද ‘යශෝරාවය’ කළාට පස්සේ සාමාන්‍යයෙන් අවුරුද්දකට එක ටෙලි නාට්‍යයයි මම රඟපෑවේ. සිනමාව බංකොළොත් වුණාට පස්සේ දැවැන්ත සිනමා නළුවොත් මේ ක්ෂේත්‍රයට ආවනේ. එහෙම ඇවිත් අපේ චරිතත් සොරා ගත්ත යුගයක් තිබුණනේ, නම් කිව්වේ නැතිවට. නමුත් මගේ රංගන ජීවිතයේ පළමුවැනි දවසේ ඉඳලම මම සමබරව තමයි රඟපෑවේ. අවුරුද්දට එක චිත්‍රපටයයි. ටෙලි නාට්‍යයයි.
එහෙම නොවුණ අවස්ථා නැතිද? ඉඳලා හිටලා ඕවර්ලැප් වුණා හැරෙන්න එහෙම කළේම නැති තරම්. ඒ කියන්නේ සමහර විට අපි අවුරුද්දක් තුළ කරපු නිර්මාණය ඊළඟ අවුරුද්දට යනවා මොනවා හරි හේතුවක් නිසා. එතකොට නිර්මාණ දෙකම එක අවුරුද්දේ තමයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ. ටෙලි නාට්‍යය වේවා චිත්‍රපට වේවා. ඒ හැරුණාම ප්‍රතිපත්තියක් වශයෙන් මම හැමදාම හිටියේ අර ස්ථාවරයේ. දැන් උදාහරණයක් විදියට ගිය අවුරුද්දේ මම උදයකාන්තගේ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයේ රඟපෑවා. ඊට කලින් අවුරුද්දේ රඟපෑවේ ඔහුගේම ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටයේ. ඒ හැරුණාම තව චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. සුනිල් අරුණ වීරසිරිගේ ‘වීර්යයා’ හා මොහාන් නියාස්ගේ ‘අපි මැරෙන්නේ නෑ’ කියන චිත්‍රපට දෙක. ඒ දෙකම පෝලිමේ. අද පෝලිම් පැනගෙන ප්‍රදර්ශකයන්ට ඕනෑ විදිහටනේ චිත‍්‍රපට ප්‍රදර්ශනය වෙන්නේ. ඒ නිසා ඒක කොයි විදිහට වෙයි ද දන්නේ නෑ.
එතකොට ඔබ වෘත්තීය නළුවෙක් ද? වෘත්තීමය වශයෙන් මගේ ප්‍රචාරක ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් හැටියට තමයි රැකියාව කළේ. ඒකෙන් තමයි මම සල්ලි හොඳටම හම්බ කළේ. ඊට කලින් මම වෘත්තීමය වශයෙන් සංගීත ශිල්පියෙක්නේ. ඩැල්රින්ලා, ඩෙස්මන්ඩ් සිල්වලා එක්ක මම බෑන්ඩ් ප්ලේ කළානේ. එතකොට ඒවා තමයි මගේ වෘත්තීය වුණේ. මම බෑන්ඩ් ලීඩර් කෙනෙක් හැටියට ‘ඕ’ එන්ටර්ටේන්මන්ට් ආයතනයෙන් මාසිකව රු: 6,000 ක විතර පඩියක් ගන්නවා ඒ කාලේ. එතකොට මම අවුරුදු විස්සක විසි එකක විතර කොල්ලෙක්. ලොකු මුදලක් ඒ කාලේ හැටියට.
නමුත් ඒ තාරුණ්‍යයේදීම ඔබ සංගීත ක්ෂේත්‍රයෙන් ඈත් වෙනවා? ඒකට හේතුව මගේ මව්පියන්ගේ අකැමැත්ත. එයාලා ඒකට එච්චර කැමැත්තක් දැක්වූවේ නෑ. ඉතින් අපේ තාත්තා එයාගේ හොඳ මිත්‍රයා වුණ ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමාට මාව යොමු කරලා එතනදි රස්සාව පටන් ගත්තා. හැබැයි ඉතින් සෑහෙන අගාධයකට වැටුණා ආර්ථික අතින්.
ඒ මොකද? මාසෙකට රුපියල් 6,000 ක් හම්බ කරපු කොලුවාට ඇඩ්වටයිසින් කොම්පැණියේදී ලැබුණේ රුපියල් 1,500 යි. නමුත් ඉතින් මම සීඝ්‍රයෙන් උඩට ආවා. සාස්තරේ මට හරියට ඉගැන්නුවා, මගේ දෙවැනි පියා වගේ ආනන්ද තිස්ස ද අල්විස් මහත්තයා. මම කොපි රයිටර් කෙනෙක් වුණා. ඩිරෙක්ටර් කෙනෙක් වුණා. ටෙලිවිෂන් කොමර්ෂල්ස්, රේඩියෝ ජින්ගල්ස් නිර්මාණකරුවෙක් වුණා. ඊට පස්සේ මට වඩා ජ්‍යෙෂ්ඨයෝ ඉන්දැද්දී වසර කිහිපයකින් මැනේජින් ඩිරෙක්ටර් තත්ත්වයටත් ආවා. ඉතින් ඒවා තමයි මගේ වෘත්තීන් වුණේ.
එතකොට නළුකම? මේකට ආවාට පස්සේ නිකම්ම ඒක වෘත්තියක් වුණානේ. දැන් මම වෙන කිසිම දෙයක් වෘත්තියක් හැටියට කරන්නේ නෑනේ. මගේ රංගන හැකියාවෙන් පමණයි හම්බ කරන්නේ. ඒක නිසා මම වෘත්තීය නළුවෙක්.
අද තියෙන මේ ආර්ථික, සමාජ රටාවත් එක්ක වසරකට එක චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක රඟපෑමෙන් පමණක් පුළුවන් ද මේ ජීවිකාව කරගෙන යන්න? මෙහෙමයි, මට ඉල්ලුම තියෙනවා මීට වඩා යමක් කරන්න. දැන් කොටින්ම කිව්වොත් ‘ඔබ ද ලක්ෂපති, මම ද ලක්ෂපති’ ජය කෙහෙළි නැංවුවාණේ මම. ඒ වැඩ සටහනෙන් මට සුමති සම්මානයත් හිමි වුණා. එතකොට ‘හූ වෝන්ට්ස් ටු බී එ මිලියනයර්’ කියන වැඩ සටහනේ අධිපතියෝ මට පැසසුම් කළා ඉන්දියාවේ අමිතාබ් භච්චන් ගේ ලෙවල් එකට ඒ ප්‍රෝග්‍රෑම් එක කළයි කියලා. මගේ පුරසාරමක් නෙවෙයි. ඒ අය එංගලන්තයේ ඉඳලා මට ලිඛිතව හා ඊ මේල්වලින් කළ ප්‍රකාශයන්. ඊට පස්සේ මට තව චැනල් එකකින් කතා කළා ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. මම බැහැ කිව්වා.
ඒකත් ප්‍රතිපත්තිමය තීන්දුවක්ද? පැහැදිලිවම. දැන් ’යර්ස් බොස්’ කියන්නේ අදටත් ප්‍රේක්ෂකයෝ කෙල හළ හළා බලන ටෙලි නාට්‍යයක්. මට රූපවාහිනී නාළිකා දෙකකින් කතා කළා ඒ ආකෘතියේම නිර්මාණ දෙකකට. මම ගියේ නෑ. මොකද මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මම ඩුප්ලිිකේට් වෙන්නේ නෑ කියලා. කොටින්ම මම ‘යශෝරාවයේ’ බලදේවගේ චරිතය රඟපෑවට පස්සේ කොච්චර ආරාධනා ලැබුණාද ගුරුතුමාගේ චරිතය කරන්න. එක වතාවක් මම අපේම ‘සඳ මඬල’ කියන චිත්‍රපටයේ ඒ හා සමාන පොඩි චරිතයක් කළා හැරෙන්න ඒ චරිතය, ඒ කියන්නේ බලදේවගේ ප්‍රතිරූපය විකුණගෙන කෑවේ නැහැ. ඉතින් මට ලැබුණ ඒ ඇරැයුම් බාර ගත්තා නම් මේ වගේ ගෙදරක නෙවෙයි අද ඉන්න ඕනෑ. මේ වගේ ගෙවල් තුනක් මට හදා ගන්න තිබුණා. මේ බෙන්ස් එකේ නෙවෙයි මම යන්නේ එහෙනම් ඊයේ ලංකාවට ගෙනාපු බෙන්ස් එකේ.
ඇත්තටම වෙන කොහේවත් ගෙවල් එහෙම හදලා නෑනේ? අනේ නෑ. එහෙම නම් ඔයාලට හංගන්න බෑනේ. ඉතින් ඒක ලොකු පසුබෑමක්. නමුත් මම දන්නවා මුදල් පෙරේතකමට මම ඒ දේවල් බාර ගත්තා නම් අද අසංක මහත්තයෝ ඔයා මෙතන ඉඳගෙන මාව මෙ විදිහට ඉන්ටර්වීව් කරන්නේ නැහැ. මොකද සරසවියට මම ගැන ලියන්න තරමේ විශේෂත්වයක් නැති නිසා.
එතකොට ලකී ඩයස් මුදල් පසුපස හඹා නොයන නළුවෙක්? කාටද සල්ලි අවශ්‍යය නැත්තේ. මීට අවුරුදු දහයකට කලින් අපට කරන්න පුළුවන් වුණ දේ ඒ රුපියලෙන් නැතිනම් සීයෙන්, දාහෙන් අද අපට කරන්න බෑ. අපේ ආර්ථිකය පිරිහිලා තියෙන්නේ. නමුත් එහෙමයි කියලා මම මේක ගණිකා වෘත්තියක් කරගන්න යන්නේ නෑ. මම විකිණෙන්නේ නෑ. මගේ යම් කිසි මිලක් තියෙනවා. ඒ මිල අධිකයි. මම දන්නවා මා හා සමාන හෝ මට වඩා ප්‍රවීණයෝ මම ගන්න ගානෙන් තුනෙන් එකකට ගිහිල්ලා වෙළෙද දැන්වීම් කරනවා. මේ ළඟදිත් මට ලොකු කොම්පැනියකින් කතා කළා රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට. මම ලොකු මුදලක් ඉල්ලුවා. මොකද මගේ මාර්කට් එක බස්සගන්න මම කැමැති නෑ.
ඔබ, ඔබවම මාර්කට් කර ගන්නවා කියන තැනද මේ ඉන්නේ? ඇත්තම කිව්වොත් මට මීටත් වඩා හොඳට මාව මාර්කට් කර ගන්න පුළුවන්. මොකද මම මාර්කටිං කලාව දන්න නිසා. ඒත් මම මගේ වටිනාකමට සරිලන විදිහට මිසක් එතනින් එහාට යන්නේ නෑ. නමුත් වෘත්තීය ගරුත්වය රැක ගන්න මම හැමදාම උත්සාහ කරනවා. ගාමිණී ෆොන්සේකා කියන උත්තමයා තමයි මට ඒ ගුරුහරුකම් ලබා දුන්නේ. ‘උඹ හන්දියක්, හන්දියක් ගානේ රස්තියාදු වෙන්න එපා’, ‘හැම රූපවාහිනී නාළිකාවකම පෙනී සිටින්න එපා’ කියලා එතුමා මට කියා දුන්නා. ‘හව් ටු බිකම් අ ඇක්ටර් ඇන්ඩ් හව් ටු බී අ ඇක්ටර් ඇන්ඩ් කන්ටිනිව් ඇක්ටර්’ කියලා තමයි එතුමා කිව්වේ එදා. එය ආදර්ශ පාඨයක් විදිහට අරගෙන තමයි අදත් මම ජීවත් වෙන්නේ.
‘යශෝරාවයේ’ – බලදේව ඔබේ රංගන ජීවිතයේ කොඳු නාරටිය විදිහටයි මම දකින්නේ. එදා මෙදාතුර ඔබ රඟපෑ වෙනත් කිසිදු චරිතයකට ඇයි බලදේව අතික්‍රමණය කරන්නට නොහැකි වුණේ? ඔබ කියන විදිහට සහ බොහෝ අය පවසන පරිදි බලදේව තමා මගේ රංගන ජීවිතයේ ප්‍රබලතම සලකුණ. අදටත් සමහරු මට කතා කරන්නේ බලදේව කියලා. නැතිනම් ඒ චරිතය ගැන. මම හිතන්නේ ඒක තමයි වාසනාව කියන්නේ. මම ක්ෂේත්‍රයට එන යුගයේ රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනි වගේ ප්‍රතිභාපූර්ණ නළුවෝ හුඟක් හිටියා. කොටින්ම බලදේවගේ චරිතයට සෝමවීර සේනානායක, පරාක්‍රම නිරිඇල්ල වගේ අය එකතු වෙලා නිර්දේශ කරල තිබුණේ බොහොම ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ නළුවෙක්. නමුත් පරාක්‍රම නිරිඇල්ල මාව මේ චරිතයට තෝරා ගත්තා.
ඒක අහඹු සිදුවීමක් නේද? යශෝරාවයේ රඟපාන්න කලින් අනපේක්ෂිතව මට පුංචි රඟපෑමක් කරන්න සිද්ධ වුණා. ඒ ‘නිරූපමාලා’ ටෙලි නාට්‍යයේ. ඕ. ඛ්. ඛ්. ආයතනය මගින් නිෂ්පාදනය කළ සුවීන්ද්‍රා සබන් අලෙවිය පිළිබඳ පුංචි කථාංගයක් තමයි ඊට ඇතුළත් වුණේ. මේ කතාව ලිව්වේ දයා රාජපක්ෂයන්. ඔහුම යෝජනා කළා ඒ චරිතය මට නිරූපණය කරන්න. මගේම කොම්පැණියේ, මගේම ප්‍රොඩක්ෂන් එකක්. මම හරි කරමු කියලා ඒක කළා. ක්ෂණික ජනප්‍රියත්වයක් මට ලැබුණා. ඉන් මාසෙකට විතර පස්සේ තමයි ‘යශෝරාවය’ සෙට් වුණේ. අහම්බෙන් ‘නිරූපමාලා’ ටෙලි නාට්‍යයේ මගේ රඟපෑම දැකලා තමයි පරාක්‍රම හදිසියේ මාව මුණ ගැසුණු වෙලාවේ ඒ ආරාධනාව කළේ. ඒක තමයි ලක් එක.
’යශෝරාවය’ අපේ ටෙලි නාට්‍යය වංශයේ විශිෂ්ට නිර්මාණයක් ලෙසටයි අදත් බොහෝ දෙනා සලකන්නේ? මේක සෝමවීර සේනානායක කියන දැවැන්ත සාහිත්‍යවේදියා අතින් තිර පිටපත ලියැවී තවත් එවැනිම දැවැන්ත අධ්‍යක්ෂවරයකු වූ පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක්. පරාක්‍රම එතකොට ‘ළා හිරු දහසක්’ එහෙම කරලා හොඳම අධ්‍යක්ෂවරයා බවට පත්වෙලා හිටියේ. ඒ වගේම මට රඟපාන්න තිබුණේ අයිරාංගනී සේරසිංහ, ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, එච්. ඒ. පෙරේරා, ගීතා කාන්ති, ගාමිණී හෙට්ටිආරච්චි වගේ ප්‍රවීණයන් එක්ක. මම වගේ රංගනයේ හයක් හතරක් නොදැන සිටි කෙනෙකුට දෙනවා එහි ප්‍රබලම චරිතය. පරාක්‍රමට කොයි තරම් පෙර දැක්මක්, ඉවක් තියෙන්න ඇති ද මේ මනුස්සයා මේ වැඩේ හරියට කරයි කියන එක ගැන. හැබැයි ඒක මගේ දක්ෂතාවයම කියලා මම කියන්නේ නෑ. පරාක්‍රමගේ උපදෙස් මත මම චරිතය ගොඩ නඟා ගත්තා. හැකියාව අල්පයි. වාසනාව තමයි මාව උඩට ගෙනාවේ.
චරිතය වෙනුවෙන් රැවුල කපන්න එහෙමත් යෝජනා වුණාළු? තිර පිටපතේ හිටපු බලදේවට එහෙම රැවුලක් තිබුණේ නෑ. මෙයාගේ රැවුල කැපුවොත් හොඳයි නේද කියලා සෝමවීර මහත්මයා පරාක්‍රම මහත්තයත් එක්ක කතාබහ වෙනවත් මට ඇසුණා. මම කරබාගෙන හිටියා. ඒ දවස්වල මම රැවුල වැව්වේ කපන්න කම්මැලිකමට. කොහොම හරි ඔය රැවුල බලදේවගේ පෞරුෂයටත් හොඳයි කියලා ඔවුන්ම තීරණය කළා. ඉතිං ඒ රැවුලා ප්‍රේක්ෂකයෝ අතර ගොඩක් ජනප්‍රිය වුණා. මතකනේ ඒ කාලේ සමහර තරුණයෝ ‘ලකී කට්’ එක කියලා එයාලගේ රැවුල පවා වැව්වා.
අද එවැනි උසස් ගණයේ ටෙලි නාට්‍යය බිහි නොවන්නට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා දකින්නේ හොඳ තිර පිටපත් රචකයන් නොමැතිකම? ඇත්ත. මමත් ඒක පිළිගනන්වා. දැන් බලන්න එදා ‘යශෝරාවය’ වගේම ‘ළා හිරු දහසක්’, ‘පළි¼ගු මැණිිකේ’, ‘ඇල්ල ළඟ වලව්ව’, ‘හිමි අහිමි’, ‘කඩුල්ල’, ‘සංක්‍රාන්ති සමය’, ‘දඬුබස්නාමානය’ වගේ හොඳ ටෙලි නාට්‍යය නිර්මාණය වුණා. අද එහෙම ටෙලි නාට්‍යයක් නිර්මාණය නොවෙන තරම්. හොඳ පිටපත් නෑ. එහෙම වුණේ අර මෙගා ටෙලි නාට්‍යය රැල්ල පටන් ගත්තාට පස්සේ. ලියන කෙනා දන්නේ නෑ මොනවද තමන් ලියන්නේ කියලා. කොටසක් ලියනවා. සල්ලි ගන්නවා. සෙට් එකට ඇවිල්ලත් ලියනවා. ඉතින් එතැන නිර්මාණයක් නෑනේ.
නමුත් ඔබ පවා ‘මෙගා’ ටෙලි නාට්‍යවල රඟපෑවා? ඔව් . . . ඔව් . . . මමත් ජීවත් වෙන්න ඕනෑ. අපේ ගෙදරත් බතක් ඉදෙන්න එපායැ.
එතකොට ඔබේ අර ප්‍රතිපත්තියට හානි නොවන විදිහට ද එය සිදු වුණේ? ප්‍රතිපත්තිය කිව්වේ . . .?
අර අවුරුද්දකට එක චිත්‍රපටයක්, එක ටෙලි නාට්‍යයක් විතරයි කිව්වනේ? කොහොමත් එහෙමයි. මුල් කාලේ මම ඉන්දියන් ඩිරෙක්ටර්ලා හදපු ;ටලි නාට්‍යය තුනක වැඩ කළා මතකද? ඒවා ඉන්දියානු කතා. නමුත් ඒවායේත් යම් නාට්‍යමය ගුණයක් තිබුණා. කොටින්ම දැන් ‘යර්ස් බොස්’ වුණත් ඉන්දියාවේනේ. ඒකේ හින්දි ස්ක්‍රිප්ට් එක තමයි මෙහෙ ට්‍රාන්ස්්ලේට් කරලා කළේ. නමුත් ඉන්දියාව කොච්චරවත් මෙලෝ ඩ්‍රැමටික් ස්ක්‍රිප්ට් හදනවා කිව්වාට ඒවයේ නාට්‍යමය අවස්ථා ඕනෑ තරම් ගැබ් වෙලා තියෙනවා. ඒවා අපට ප්‍රති නිර්මාණය කරන්න ලේසියි අපට අවශ්‍යය විදිහට. ඉතින් ඒ වගේ නාට්‍යය කිහිපයක මම මෑතක් වනතුරු රඟපෑවා. නමුත් මම කියන්නේ අපේ රයිට(ර්)ස්ලා ලියන නාට්‍යය දිහා බැලුවොත් ඒවා ඒකාකාරියි. මේ දැන් යන ටෙලි නාට්‍යය ගැනවත් මිනිස්සුන්ට මතකයක් තියෙනවාද?
සිනමාවේ දැවැන්ත ප්‍රතිරූප ගොඩ නගා ගත් නළු නිළියන් පවා අද පුංචි තිරයට එක්ව සිටිනවා. සමහරුන්ට චරිතයේ රඟපාන්න දෙයක් නෑ. ඔහේ පෙනී සිටිනවා. නමුත් රඟපෑම වෘත්තීය නිසා ඒ වගේ දේවල්වලට ඇවිත් තමන්ගේ ආත්මය පාවා දෙනවා. මේ චෝදනාව කවුරු හරි ඔබට එල්ල කළොත්? දෙවියන්ගේ පිහිටෙන් තාම මට කාගෙන්වත් එහෙම චෝදනාවක් එල්ල වෙලා නෑ. මොකද එල්ල නොවෙන විදිහට මම කටයුතු කරලා තියෙනවා. පිටපත් දහයක් අතට එනකොට පීරලා, පීරලා එකක් විතරක් කරන්න මට පුළුවන්. ගිය අවුරුද්දේ මම ‘භාර්්‍යාවෝ’ ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය ගැන මිනිස්සු අදටත් කතා කරනවානේ. ඒක වෙනස් විදිහකට කරන්න මට ශක්තියක් තිබුණා. සාරංග මෙන්ඩිස් කියන තරුණ අලුත් අධ්‍යක්ෂවරය පවා මට ඒ සහයෝගය දුන්නා. දැන්’අංගනා’ ටෙලි නාට්‍යයේ වුණත් මිනිස්සු මම රඟපාන චරිතය දිහා බලලා කියනවා ‘මේකෙ පොඩි වෙනසක් තියෙනවා නේද’ කියලා. ඒක තමයි අර මම මුලින් කිව්ව වාසනාව. නැතිනම් අපි වැරදි තීරණවලට එළඹෙනවා.
වාසනාව වගේම හැකියාවත් තියෙන්න ඕනෑ? හරියට හරි. දෙක එකට අත්වැල් බැඳගන්න ඕනෑ. හැකියාව තිබුණ පලියට කෙනෙකුට ගමනක් යන්නත් බෑ. ඒ වගේම වාසනාව විතරක් තිබිලත් මදි. ලක් ඇන්ඩ් ටැලන්ට් කියන දෙක තියෙන්න ඕනෑ.
අපේ නළුවෝ චිත්‍රපටයෙන්, චිත්‍රපටයට, ටෙලි නාට්‍යයෙන්, ටෙලි නාට්‍යයට තමන්ගේ ස්වරූපය වෙනස් කර ගන්නවා. රැවුල කපනවා. රැවුල වවනවා. කොන්ඩෙ දික්කර ගන්නවා. ඔය ආදි වශයෙන් . . .? ඔව් . . ඔව් . . ඇත්ත.
හැබැයි ලකී ඩයස් කියන්නේ බාහිර ස්වරූපයෙන් එහෙම වෙනස්කම්වලට බඳුන් නොවුණ චරිතයක්. ඇයි ඔබ වෙනස් නොවෙන්නේ සහ එහෙම වෙනස් වෙන්න ඕනෑද? අසංක බොහොම ගැඹුරු ප්‍ර‍්‍රශ්නයක් ඇහුවේ. හොඳට විශ්ලේෂණය කරපු, අන්තර්ගතයක් තියෙන ප්‍රශ්නයක් ඒක. චරිතයෙන් චරිතයට වෙනස් වෙන්න ඕනෑ. නමුත් ඒ පිටපතේ ලොකු ඉල්ලුමක් නැතිනම් බාහිරව ඒ චරිතය වෙනස් කරගන්න බොරුවට ‘සිරිසඟබෝ’ වෙලා වැඩක් නෑනේ. දැන් මම ‘කෙම්මුර’ නාට්‍යයේ ලොකු වෙනසක් කරගත්තා. මොකද ඒ පිටපතේ එහෙම තිබුණා. රයිට්. කොන්ඩේ දිගට දාගෙන ඒ වගේ . . . ආ . . . දැන් කොටින්ම කිව්වොත් ‘අන්තිම රැය’ කරද්දී ගාමිණී ෆොන්සේකා මහත්තයා මගෙන් ඇහුවා ‘අයිසේ ලකී තමුසේ කොණ්ඩේ කපන්නේ නැද්ද’ කියලා. මම කිව්වා ‘සර් කියනවා නම් මම එහෙම කරන්නම්’ කියලා. ‘නෑ ඕයි තමුසේ ඔහොම කරනවා. තමුසෙට හොඳට ඇක්ට් කරන්න පුළුවන් නේ’ කියලා පස්සේ ඔහුම කිව්වා.
ඇත්තටම අවශ්‍ය වුණා නම් ඔබ ඒ දේ කරනවා? අනිවාර්යයෙන්ම. නිලෙන්ද්‍ර දේශප්‍රිය තමයි ඒ චිත්‍රපටයේ ඇසිස්ටන් ඩිරෙක්ටර්. ඔහුත් ඇහුවා, මම කිව්වා ’නිලේ ඕනෑ නම් කපමු, හැබැයි බොරුවට එහෙම කරලා වැඩක් නෑනේ’ කියලා. නමුත් හෙට වුණත් මට චරිතයක් ලැබුණොත් එහෙම කැපවීමක් කරනවා. ආමි ජෙනරල් කෙනෙකුගේ චරිතයට මට කතා කරලා තියෙනවා. නමුත් තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඒ චරිතය ලැබුණොත් අනිවාර්යයෙන්ම මේ රැවුලයි, කොණ්ඩෙයි කපන්න වෙනවනේ. අවශ්‍යතාවය අනුව තමයි අපි වෙනස් විය යුත්තේ. මම හිතන්නේ වඩා වැදගත් වෙන්නේ රංගන පෞරුෂයයි. ප්‍රබල පිටපතක් තියෙනවා නම් සිරිසඟබෝ වෙලා හරි රඟපාන්න පුළුවන්.
ඔබ දැන්වීම් කලාවේ ඉහළටම ගිය කෙනෙක්. නිර්මාණශීලී සිතිවිලි ඔබ ළඟ තියෙනවා. අත්දැකිම් තියෙනවා. ඇයි තමා සිනමාකරුවෙක් වෙන්න අදහස් නොකළේ? ඒකත් අත ළඟ තිබුණ දෙයක්. දැන් ‘අන්තිම රැය’ පිටපත හදාගෙන මම ලොක්කා ගාවට ගියාම එතුමා ගත් කටටම කිව්වේ ‘මේක තමුසේ ඩිරෙක්ට් කරන්න ඕනෑ’ කියලයි. මට චූ ගියා. මට දැනුණා මට කලිිසමේ චූ ගියා කියලා. ෂූටිංවලට දින ඔක්කොම දැන් හදලා. එතුමා එතකොට නියෝජ්‍ය කථානායක. දින එහෙට මෙහෙට කරගෙන ලොකු කැපවීමකින් වැඩේට බැස්සේ. මම ගාමිණී මහත්මයාට කියලා තිබුණේ නෑ මේක ඩිරෙක්ට් කරන්න කියලා. නමුත් එතුමාට මම ස්ක්‍රිප්ට් එක එහෙම දුන්නේ ඒ නිසානේ. පස්සේ කොහොම හරි ඊළඟ ෆිල්ම් එක මම කරන්නම් කියලා ෂේප් වුණා. මම වැඳලා කිව්වා ඊළඟට කරන එකක් මම කරන්නම් සර් කියලා. ‘අන්තිම රැය’ කරද්දී එතුමා මට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ ප්‍රායෝගික දැනුම මම ළඟ තියෙනවා.
කොහොම වුණත් ඔබ ඉදිරියේ අධ්‍යක්ෂවරයෙක් වේවි? චිත්‍රපටයක් කරන ස්ටේජ් එකට එනකොට අපේ සිනමා කර්මාන්තය බල්ලට ගිහින්. ඒ අවදානම අපට ගන්න බෑ. මට අද වුණත් පොඩියුසර්ලා ඉන්නවා. මම හෙට කිව්වොත් ලක්ෂ තුන්සීයක් වියදම් කරලා චිත්‍රපටයක් කරමු කියලා ඒකට කැමැති වෙන නිෂ්පාදකයෝ ඉන්නවා. මම ලියපු ස්ක්‍රිප්ට් එකකුත් තියෙනවා. මම චිත්‍රපට හයක් විතර නිෂ්පාදනය කරපු මනුස්සයෙක්. ඒ චාටර් එක, ටිං කිරිය ගාගෙන තියෙන්නේ. මං ඒ කට්ට හොඳටම කාලා තියෙනවා. ශාලා හිමියෝ වංචා කරපු අවස්ථා ගොඩයි. අනූ ගණන්වල ‘පාරදීසේ’ චිත්‍රපටයෙන් රුපියල් ලක්ෂ හතරක් වංචා කළා. ඒක නීතියෙන් ඔප්පු වුණා. නමුත් චිත්‍රපට සංස්ථාවේ නීති මාලාවේ කිසිම වගන්තියක් නෑ එහෙම හොර කරපු සිනමා ශාලාවකට එක දවසකට හරි දර්ශන අවලංගු කරන්න කියලා. අද ඒ තත්ත්වය වෙනස් වුණත් වෙන වෙන අර්බුද රැසක් නිර්මාණය වෙලා තියෙනවනේ. එවැනි තත්ත්වයක් උඩ මම කොහෙත්ම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට හෝ නිෂ්පාදනය කිරීමට පෙළඹෙන්නේ නෑ.
|