|
මම කුමාරයෙක් නෙවේ ගමේ කොල්ලෙක්
13 වැනි සියවසේ දඹදෙනිය රාජධානිය කර විසූ නැම්බඹර කලිකාල සාහිත්‍ය සංගීත සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ ළමා කාලය ආශ්‍රිත ජන ප්‍රවාද පාදක කොට ගෙන ආචාර්ය සෝමරත්න දිසානායක විසින් ලියන ලද තිරනාටකය ඇසුරු කොට ලියැවෙන්නකි.
ගිනි මද්දහනේ වන පෙත මැදින් ඇවිද ගෙන එන මැදිවියට එළැඹෙමින් සිටින නමුත් රූමත් ගැහැනියක වූවාය.ඇය හිස මත රැඳී පොට්ටනිය දුටු මතින් ඇය කවර වෘත්තියක් කරන්නියක් ද යන්න පෙනෙයි.ඇය රජක ස්ත්‍රියකි. වෙනදා ඇය යන එන ගමන මිනිසුන්ට අමුත්තක් නොවුනත් එදා නම් ඇගේ ගමනෙහි අරුමයක් දැනෙන හැටියකි.වෙනදා ඇය සමග ඇත්තේ හිස මත රැඳී පොට්ටනිය පමනක් වුවද මෙදා ඇය සමග එන කොලු පැටියෙකි. ඔහු සුරතල් එකෙකි.වෙනදා හිස මත රඳන රෙදි පොට්ටනිය ඇයට බරක් නොදැනෙන මුත් මෙදා ඈ සමග එන කොලු පැටියා ඇයට බරකි. ඒ ගතට නොව හිතටය. විටෙක ඈ අතරමග කිසිවකු නොපෙනෙන තැනක සිට ඇස රැඳුණ කඳුල පිසලෑවාය. මේ වගකීම සුළු පටු නොවේ.උපන් බිමේ අනාගතය රැඳී ඇත්තේ තමා අත මත බව වැටහීමෙන් ඇයට දැනුනේ අසීමිත බියකි. 'සීවරං දෙය්යනේ" ඇය ට තනියම කියවිණි. රෙදි නැන්දා ගේ හිතෙහි ඇති බර දරුවාට නොවැටහිණ. ඔහු ඇය පසුපස දිව ආවේ සමනලුන්ට ඉඟි කරමිනි.ගම්මානයට සේන්දු වන්නට නම් ඒ දණ්ඩකින් පියමං කළ යුතු ව ඇත්තේය.එබැවින් ගැහැනිය මංකඩ ළඟ නතර වී කොලු පැටියා ඇමතුවේය. ' පුතේ උඹට මේක තනියම යන්න බෑ.උඹ මෙහෙම හිටපං.මං මේ රෙදි පොට්ටනිය එහා ගෙඩින් තියල එනකං' ඇය රෙදි පොට්ටනිය හිස මත තබාගෙන ඒ දණ්ඩේ වු අත්වැල අල්ලාගෙන සීරුවට දිය පාරෙන් එතෙර වූවාය. 'හෙල්ලෙන්නේ නැතුව ඔහොම හිටපං.මං ඇවිත් එගොඩ කරන්නම්" පොට්ටනිය බිම තබා ආපසු හැරී බැලූ ඇයට දෙවියන් සිහි විය.කොලු පැටියා පේන තෙක් මානයක නැත.ගැහැනියට බියක් ඇති විණ. එහෙත් ඇය නොදත් කාරණයක් විය. ඒ රෙදි පොට්ටනිය සමග ඇය සීරුවෙන් දිය පාර තරණය කරද්දී කොලු පැටියා ද ඇය පසුපසින් ඒ දණ්ඩ පියමං කළ බවය.බිය පත් වූ ඇය හතර අත බලද්දී කොලු පැටියා ඇය පිටුපස හිනා මුසු මුහුණින් සිට ගෙන සිටියේය. "උඹ කොහොමද මගේ පුතේ ආවේ?‘ ඇය දරුවාගෙන් විමසුවාය. ‘මෙන්න මෙහෙමයි ආවේ" පොඩි එකා ඒ දණ්ඩ දිගේ ආපසු දිව ගියේ තමන් පැමිනි විලාසය පෙන්වන්නටය. ඒ දණ්ඩකින් තරණය කළ මුල්ම දවස වුවත් කොලු පැටියාට කිසි බියක් සැකක් තිබුණේ නැත.ඔහු යළි දිව ආවේ අත් දණ්ඩ අල්ලන්නේ නැතිවය. ඒ දැක රෙදි නැන්දාට කෑ ගැසිණ.පොඩි එක් ඇස් දෙක මෙන් රැක ගත යුතු ව ඇත්තේය. අනතුරුව ගැහැනිය දරුවා සමග ඉදිරියට ගියේ ගම්මානයකට සමීප විය.හංදියේ සිටි මිනිසෙක් රෙදි නැන්දා හඳුනා ගෙන ඇය සමග තනියට යන කොලු පැටියා දෙස විපරමෙන් බැලුවේය. 'අපි දන්නේ නෑනේ.රෙදි නැන්දාට මේ වයසේ කොල්ලෙක් ඉන්න විත්තිය" ගැමියා පැවසුවේය. 'එහා ගමේ අපේ නෑ කොල්ලෙක්' රෙදි නැන්දා පැවසුවාය. කොලුවාගේ හුරු බුහුටි කමට ගැමියාට ආදරයක් සිතිණ. ඔහු තමා කමින් සිටි හැලප කෑල්ලක් කොලුවාට දිගු කළේ එහෙයිනි. එහෙත් එය පිරික්සූ කොලු පැටියා එය අතට ගෙන ඉවතට විසි කළේය. 'මොකද බොල ඒ කෙරුවේ?' එය දුටු ගැමියා ඇසුවේ කෝපයෙනි. 'මී පැනි තවරලා නෑ' දරුවා පැවසුවේ චෝදනා ස්වරයෙනි. 'මි පැනි. කිරි අප්පද බොල.රෙදි නැන්දා මාලිගාවේ රෙදි හෝදන හින්ද තෝ හිතා ගෙන ඉන්නෙත් රාජ කුමාරයෙක් කීයද? ගැමියා ඇසුවේ කෝපය මැඩ ගනිමිනි.කොලුවා ගැමියා වෙතට ළංවූයේය. 'මම රාජ කුමාරයෙක් නෙවේ.ගමේ කොල්ලෙක්' ඒ හඬට ගැමියා තරමක් පසුබෑවේය. රෙදි නැන්දා මාලිගයේ රෙදි හෝදන්නේ අද ඊයේ සිට නොවේ. කොහොමටත් ඇය ඇහැට කනට පෙනෙන එකියකි.රෙදි නැන්දා වහා කොලු ගැටයා අල්ලා ගත්තේය. ' අනේ අප්පුහාමි අපට සමා වෙන්ඩ.අපට සුනංගු වෙනවා" ඇය කොලු පැටියා අල්ලා ගෙන ඉක්මන් ගමනින් ගියාය.කොලු පැටියාට ගමේ කොල්ලෙක්යැයි ඉගැන්වුයේ ඇයය. දැන්දරුවාගේ එකම ආරක්ෂකයා ඇයය. අදත් උදෑසන හෝදන ලද රෙදි පොට්ටනියක් අරගෙන මාලිගාවට ගියේ සේදු රෙදි බාර දී කිළිටු රෙදි අරන් එන්නටය.සතියට දින දෙකක් වත් ඇය මාලිගයට යන්නීය.වෙනදා ඇය යන මාර්ගයේ අමුත්තක් එදා ද ඇයට නොදැනිනි.අතරමග බාධාවක් ද නොවිණ. මාලිගයට සමීපවද්දී ඇය දුටු දෙයින් ඇයට කෑ ගැසිණ. ගණන් කර ගත නොහැකි තරම් තරුනියන් රැසකගේ මළ කඳන් රාශියක් හැම තැන විසිර තිබිණ. ඇයට උඩ බැලිණ. ඒ බැලුම්ගල පර්වතයේ පාමුලයි.එහි ගස් අතර දෙබල් වලද ගැහැනුන්ගේ මළ සිරුරු රැඳී ඇත්තේය.ඒ තවරෙකුගේ දැයි සොයා බලන්නට ඇයට නොසිතිණ. මරණ බියක් ඇයට ඇතිවිණ.හැකිතරම් ඉක්මනින් පණ බේරා ගන්නට දිව යායුතුය. ඇය දුවන්නට ගත්තේ ඉන් එහා තිබූ මාලිගාව පැත්තටය.එහි කලබලයක් බව ඇයට පෙනෙන්ට තිබිණ. දන්නා කියන සේවිකාවක් කිසිවක් නොපැහැදිලි හඬින් කෑ ගසා පැවසුවද එය ඇයට නොවැටහිණ.ඇය ඉදිරියටම දිව ගියාය. එක්වරම හදිසි හස්තයකින් ඇයගේ ගමන නතර කළේය. මර බිය දැනුණ ඇය බිම වැතිරිණ. මේ විනාසය මැද තමන් මොන කරුමයකට මෙහි දිව ආවාදැයි ඇයට මුල් වරට සිතිණ. 'මාලිගාවේ මහා විනාසයක්." තමා නතර කළ තැනැත්තා පවසනු ඇසීමෙන් ඇය හිස ඔසවා බැලුවාය. ඒ පතිරාජ සෙනෙවි බව ඇය හඳුනා ගත්තාය.සෙනෙවි පැරකුම් කුමාරයා වඩා ගෙන සිටියේය. කරුණු පැහැදිලි කිරීමට කාලයක් නෙවි මේක.මේ කුමාරයා කොතැනට හෝ ගෙන ගොස් ඔහුගේ ජිවිතය ආරක්ෂා කර ගත යුතුයි." දෝතට ගත් කුමරු ඇය වෙත පාමින් පතිරාජ පැවසුවේය.කුඩා කුමරු මාලිගා ප්‍රවේශයේ කෙලි දෙලෙන් සිටිනු ඇය ඕනෑ තරම් දැක තිබිණ.එහෙත් පතිරාජගේ හඬට ඇය පුදුම වූවාය. සුර සැපට හැදුණ මේ දරුවා තනිකඩ තමා කොහි ගෙන යන්නටදැයි ඇය තම සිතින් විමසා බැලුවාය. 'කුමාරයා ..මම?"ඇය පතිරාජ සෙනෙවිගේ මුහුණ බැලුවාය. හඬෙහි ඇති තේජස මුහුනින් ද විහිදෙන බැව් ඇය වටහා ගත්තාය. 'කුමාරයාගේ ජීවිතේ අවදානමේ." සෙනෙවි යළි කියා සිටියේය. 'මට මොකවත් තේරෙන්නේ නෑ . හාමුදුරුවනේ" මාලිගාවේ කිළිටු රෙදි සේදිමට පැමිනෙන තමා වැන්නියකගෙන් එහි ඉහලම නිළමක්කාරයකු වන පතිරාජ සෛනෙවි තමන්ගෙන් කරන ඉල්ලිම කිසිසේත්ම මග හැර යා නොහැක. ' තේරුම් කර දෙන්න කාලයක් නැහැ බොල.අවශ්‍ය වන්නේ කුමාරයාගේ ජීවිතය බේරා ගැනීම පමණයි" රෙදි නැන්දා පතිරාජ පාමුළ වැටුණාය. ' හාමුදුරුවනේ. රාජ කුමාරයෙක්.මම කොහේ ගෙනියන්නද?කාට දෙන්නද?' ඇය හඬන්නට පටන් ගත්තාය. ' මේ කුමාරයා කවුරුන් හෝ විසින් මරා දමනවා දකින්න තී කැමතිද? අවසානයේ පතිරාජ ඇසුවේය. ' අනේ නෑ හාමුදුරුවනේ.රාජ කුමාරයා මගේ ආයුෂත් අරගෙන ජීවත් වන්න ඕනෑ." ඇයගේ හඩෙහි වූවේ වෙව්ලන ස්වරයකිනි.මේ ගැහැනියට මේසා විශාල වගකීමක් දැරිය හැකි ද යන්න පතිරාජට නොදැනුනා නොවේ. එහෙත් ඔහු ගැහැනිය පිළිබඳ පූර්ණ විස්වාසය තබා කටයුතු කරන්නට මේ මොහොතේ තීරණය කළේය. 'අවශ්‍ය කුමාරයා හැකි ඉක්මනින් මෙතනින් පිට මංකිරීමයි.තී යන කොහේ හෝ ගම් දනව්වකට යව.හැබැයි රාජ කුමාරයා වග කිසිවකුට හෝ නොහඟවා රහසක් ලෙස තබා ගනු.ප්‍රධාන දොරටුව මග හැර පෑල දොරෙන් පිටවනු." පතිරාජ කුමාරයා රෙදි නැන්දාට බාර දුන්නේ මහාර්ඝ වස්තුවක් බාර දෙන්නා සේය.සිදුවන කිසිම දෙයක් පිලිබඳ කිසිදු හැඟීමක් කුමාරයාට තිබුණේ නැත.එහෙත් තම හිතවතා වෙතින් වෙන්ව යන බව ඔහුට දැනිණ. 'කොහේද මා යන්නේ?' ඔහු පතිරාජගෙන් විමසා සිටියේය.පතිරාජ කුමරු ළඟ දණ නැමුවේය. 'කුමාරයානෙනි.ඔබ යන්නේ ලස්සන ගමකට.මේ මාලිගාව වගේ නෙවෙයි.හරිම ලස්සනයි.හාවුන් ගව පැටවුන් මුවන් කුරුල්ලන්. පිරිලා.දිය ඇලි වනාන්තර හරිම ලස්සනයි." පතිරාජ කියාගෙන ගියේය.පරාක්‍රමබාහු කුමරුගේ ඇස් ප්‍රීතියෙන් නටන්නට විය.කඳු මුදුන් වලින් ලස්සනට ජල කඳන් ඇද හැලෙන බවත් ඒවාට දිය ඇලි යැයි කියන බවත් පෙර දවසක පතිරාජ කියා දුන්නේය.නුදුරු දිනක දිය ඇලි බලන්නට පතිරාජ තමා සමග යන්නට එන බව ඔහු කුමාරයාට පොරොන්දු විය. තමන් උපන් රට ලස්සනයැයි පතිරාජ ඔහුට කියා දුන්නේය. බොහෝ අතීතයේ තම මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද වැව් අමුණු ද මහා ස්තූප ගැන ද පතිරාජ නොයෙක් කතා කියා දී තිබිණ.තමන්ගේ නම හිමි වූ එක් මුත්තෙකු මුලු මහත් රටම සරුසාර කළ හැටි කියා දුන්නේ ද පතිරාජය.දැන් පතිරාජ කියන්නේ තමන්ට ඒ සියල්ල බලන්නට හැකි බැවින් මේ ගැහැනිය සමග යන ලෙසය. 'මාලිගාවේ වගෙ නෙවෙයි.එහෙ සෙල්ලම් කරන්න ළමයි ඉන්නවා." පතිරාජ යළිත් කියන්නේ ආසා කරන දේවල්ය.දණ ගසා සිටින මේ ගැහැනිය සමග යන්නට කුමාරයා ඉටා ගත්තේය. 'එහෙ කන්ඩුල වගේ අලි පැටවු" කුමාරයා යළි ඇසුවේ හගිස්සන්ට මෙනි. 'ඉන්නවා" පතිරාජ ඉක්මන් කරන්නට වෙර දැරුවේය. 'මට ගහට නැගලා මොර කඩන්න දෙනවාද ?" කුමාරයාට හදිස්සියට වඩා තිබුණේ පතිරාජයන් ලවා විස්තර දැන ගන්නටය. පහුගිය ටික දිනේම තමා වටා සිටි පතිරාජ කුමාරයාට තනිවම කණ්ඩුල පිට නගින්නට පවා ඉඩ දුන්නේ නැත. 'දෙනවා.ගමේ මොර පිරිලා. ඉක්මන් කරන්න.' 'මට වැස්සෙ තෙමෙන්න දෙනවද?" කුමාරයා යළිත් විමසා සිටියේය. 'දෙනවා දෙනවා.ඒ සේරම දෙනවා.දැන් පිටවෙන්න.මේ රෙදි නැන්දත් එක්ක. මේ දැන්ම" එවර පතිරාජ තරමක් තදින් කියා සිටියේය.රෙදි නැන්දා යමක් කියන්නට සිතුවාය. 'දෙයි හාමුදුරුවනේ.' එවර පතිරාජ ඇයට ගෝරනාඩු කළේය. 'වහා පිටවෙයං.පෑල දොරින්' ගැහැනිය කුමාරයා ඇද ගෙන එතැනින් දිව්වාය. පතිරාජ සිදුවූ දෙය ගැන යළි මෙනෙහි කළේය.දැන් තමන් සමග බිසව අමනාපව ඇත්තේය.පතිරාජ අත සිටි කුමරු වඩා ගන්නට බිසව තැත් කළ අයුරු ඔහුට සිහිපත් විය.ඔහු එයට ඉඩ දුන්නේ නැත. 'එන්න මගේ පුත් කමරුවනි." ඇය පැවසුවේ එහෙමය. මා කුමාරයා සමග බැලුම්ගලට එන්නෙමි. අවසරයි" පතිරාජ පැවසුවේය. එහෙත් බිසව එයට අවසර නොදුන්නාය.පතිරාජ එය ගනන් ගත්තේ නැත.බිසවගේ අණට කීකරු වූවා නම් සිංහලේ මීළඟ මහ රජතුමන් මේ වන විටත් මළවුන් අතරය. කුමාරයා වඩා ගත් රෙදි නැන්දා වහා මාලිගාවෙන් පැන ගියාය.ඉන් ඔබ්බෙහි එක් බිඳක් වත් ආපසු හැරී බලන්නට සුනංගු වූයේ ඇය නොවේ.කිසිවකුට සැක නොසිතන පරිද්දෙන් යන්නට නම් රෙදි පොට්ටනිය තමන් සන්තකයේ තබා ගත යුතු වග ගැහැනු සිත ඇයට මොර ගා පැවසුවාය.අවම වශයෙන් හෝරා දෙකක් වත් ගතවන්නට ඇත. එහෙත් ආපසු හැරී බලන්නට හෝ විවේකයක් ගන්නවාට වඩා මුළු මහත් ජාතියම පවතින්නේ තමන් අතැයි හැඟුණු කළ ඇය වඩාත් ප්‍රවේශම් වූවාය. ගත වූ දවස වන තුරුම කිසිවකු ට හෝ නොවැදගත් ගැහැනියක වූ තමන්ට රටේ අනාගතයේ ඉරණම බාර ව ඇතැයි හැඟෙන විට ඇය කම්පනයට පත් වූවාය.කෙසේ හෝ පණ තිබෙන තුරුම කුමාරයා රැක ගනිමි ඇය අදිටන් කළාය. ඒ ගැන සිතමින් තමන්ගේ ගමනට ආරක්ෂාව දෙන ලෙස ඉල්ලා මේ වනාන්තරයේ වෙසෙන නොපෙනන දෙවි දේවතාවන්ගේ පිහිට අයැද සිටියාය.අනුරාධපුරයේ සිරි මහ බෝ සමිඳුන් සිහිපත් කළාය.මහා විජයබා නිරිඳු විසින් ආරක්ෂා සහිතව බෙලිගල ට වැඩමවා තැන්පත් කර ඇති දළදා හාමුදුරුවන්ගේ ගුණ මහිමය සිහිපත් කළාය.කිසියම් දවසක අනුරාධපුරයේ සිරි මහ බෝ සමිඳුන් ළඟ සිල් සමාදම් වන්නට ඇයට අවශ්‍යය. මතු උපදින ආත්මයක ගැහැනු කම ද හැර දමා උසස් කුලයක උපදින්නට ඇය කැමැත්තෙන් සිටියාය.ඇය වෙනදා ප්‍රාර්ථනා කරන ලද්දේ ඒ ගැනය. එහෙත් අද ඇගේ එකම ප්‍රාර්ථනය තමන් වෙත පැවරුණ වගකීම හරි හැටි ඉෂ්ට කරන්නට ධෛර්යය ලබා දෙන ලෙසටය. මේ කුමරු රැක දෙන ලෙසටය. කුමාරයා හතර අත බැලුවේ ඉගිලෙන සමනලුන් අල්ලන්නටය. බුදු හාමුදුරුවන්ගේ සිරි පාද වඳීන්න සමනලුන් යන වගක් කියා දුන්නේ ද පතිරාජය.සමනලුන් අල්ලන රිසින් කුමරු නතර වූයේය. 'ඉක්මන් කළ යුතුයි කුමාරයාණෙනි." රෙදි නැන්දා පැවසුවාය. 'අපි කොහෙද මේ යන්නේ?" කුමාරයා විතාලේය. 'අපේ ගමට.කුමාරයාණෙනි.' ඇය පැවසුවාය. ගම කියන්නේ කුමක්ද කුමාරයාට ප්‍රශ්ණයකි.එහෙත් රෙදි නැන්දා ගේ වෑයම ප්‍රශ්ණ වලට උත්තර දෙනවාට වඩා ඉක්මනින් යන්නටය. 'අපි යන්නේ ඔයාගේ මාලිගාවට ද? 'අපිට මාලිගා නෑ.තියෙන්නේ ගෙවල්." පොඩි එකාගේ අතෝරක් නැති ප්‍රශ්ණ වලින් හෙම්බත් වූ රෙදි නැන්දා පැවසුවේ නොමනාපයනි.එහෙත් එය ඔහුට ප්‍රශ්ණ රැසක් ඇත්තේය.එබැවින් කුමාරයා පැණයක් ඇසුවේය. 'ගෙවල් කියන්නේ මොනවාද?' ගෙවල් කියන්නේ අපි ඉන්න මාලිගා.ඉක්මනට යමු තව පොඩ්ඩෙන් අලි එනවා." 'හොඳයිනේ.' කුමාරයාට කියැවිණි. 'කුමාරයාණෙනි රෙදි නැන්දා කෑගෑවේ තරමක් සැරෙනි.ඒ හඩට පරාක්‍රමබාහු කුමරුට සිනා ගියේය.එහෙත් එසැනින් රෙදි නැන්දාට බියක් ඇති විය. කුමරු ආරක්ෂා කර ගත යුතු වෙයි.ඇගේ වෙනස කුමරුට දැනිණ. 'කුමාරයා කියලා හරි යන්නේ නෑනේ' ඇය තමන්ටම කියා ගත්තාය.ඇය දරුවා අමතන්නට හොඳ වචන පෙලක් සොයන්නට මෙන් කල්පනා කළාය. මහ විජයබාහු රජු තම රට වැසියන් අකුරු ඉගෙන ගත යුතුයැයි ඇදහූ කෙනෙකි. එබැවින් ඔහුගේ පාලන ප්‍රදේශයේ බොහෝ තැන් වල අකුරු කියා දෙන්නට ගුරුවරු සිටියහ.එහෙත් රෙදි නැන්දා ට එහෙම තැනකට ගොස් ඉගෙන ගන්නට ලැබුණේ නැත. ඇයට ඒ ගැන දුකක් ඇති විණ.ළමයා, පුතේ, කොල්ලා, පැංචා ඇය නම් පෙලක්ම ගැන සිතුවාය. 'කොල්ලා' ඇය එක්වරම පැවසුවාය. කුමාරයා තිගැස්සිණ.අනතුරුව ඔහු මොහොතක් නිහඩව සිටියේය.ඊළඟට ඔහු හිනා වෙන්නට පටන් ගත්තේය. 'කොල්ලා කියන්නේ මොකක්ද? කොල්ලා කියන්නේ උඹට. උඹ රාජ කුමාරයෙක් නෙවේ.ගමේ කොල්ලෙක් තේරුනාද?" කුමාරයා හිස සැලුවේ යමක් තේරුම් ගත් විලාසයෙනි.කුමාරයානෙනි යැයි අමතනවාට වඩා කොල්ලා යැයි පැවසීම සුන්දරයැයි ඔහුට සිතින.කොල්ලා ඔහු කිහිප වරක්ම මිමිණුවේය.කුමාරයාට වඩා එය කදිමයැයි ඔහු උදම් ඇනුවේය. තමන්ට දැන් අලුත් නමක් ද ලැබී ඇත්තේය. 'මොනවද තේරුනේ?' රෙදි නැන්දා ඇසුවාය. 'මම රාජ කුමාරයෙක් නෙවේ.ගමේ කොල්ලෙක්." කුමාරයා කියා සිටියේය.රෙදි නැන්දාට හැඬුම් ආයේය. ඇය කුමාරයා ළඟ බිම දණ ගසා ගත්තාය. '"උඹ ඒකට කැමතිද මයෙ පුතේ" ඈ කුමාරයාගේ මුහුණ අත ගෑවාය. 'ඔව්.මම කැමතියි". කුමාරයා පැවසුවේ රෙදි නැන්දාට හේත්තු වෙමිනි. මෙපමණ කලක් නොලැබුණ අපූරු සෙනහසක් මේ ටික වේලාව ඇතුළත මේ ගැහැනියගෙන් ලැබෙනු කුමාරයාට දැනිණ.රෙදි නැන්දා කුමාරයා වැළද ගෙන හඩන්නට පටන් ගත්තාය.කුමාරයා සිටියේ කුමක් කළ යුතු ද යන ගැටළුවට මුහුණ දෙමිනි. 'ඇයි අඩන්නේ?" කුමාරයා ඇසුවේ ඇගේ නිකටටෙන් ඔසවමිනි. "උඹ රත්තරන් දරුවෙක්. උඹට කවදාවත් වරදින්නේ නෑ" ඇය නැගිට සිටියාය. අනතුරුව කදුළු දෙ ඇසෙහිම වියලෙන්නට හැර කුමාරයාගේ අතින් අල්ලාගෙන ඉක්මන් ගමනින් යන්නට පටන් ගත්තාය. 'මාත් එක්ක තරහ වෙන්න එපා මයේ පුතේ" ඈ හීන් හඬන් කියා සිටියාය.මද දුරක් ගිය තැන ඈත පොල් රුප්පාවක් පෙනෙන්නට පටන් ගත්තේය. කුමාරයා කිසිවක් පැවසුවේ නැත. 'මාත් එක් තරහද?' ඇය නැවතත් ඇසුවාය.කුමාරයා තරහ නැති වග අඟවන්නට මෙන් හිස දෙපසට සැලුවේය.
ලබන සතියේ හේවායෙකු ලෙස වෙස් ගන්නා සෙන්පති |