|
ඉන්දියානු සිනමා කතාව 21
පාළු රාත්‍රියක රහසේ ඉන්දියානු සිනමාව කතා කරයි
වර්තමානයේ හොලිවුඩ් සිනමාව කවර තාක්ෂණය ගෙනාවද එය එක් රැයකින් ඉන්දියානුවෝ ඩැහැ ගනිති.එහෙත් ලොව මුල්ම කතානාද චිත්‍රපටය වන ජෑස් සිංගර් තිර ගත වී වසර කිහිපයක් ගත වනතුරුම ඉන්දියානුවන් එයට අත තිබ්බේ නැත. ඒ එදා ඉන්දියානු සිනමා කර්මාන්තයේ ඇත්ත තත්වයයි. එමෙන්ම කතානාද සිනමාව ඉක්මනින් ලොව පුරා ජනප්‍රියවන්නට පටන් ගත්තේය.ලොව මුල්වරට චිත්‍රපටයක නිහඩ බව බිඳීන ලද්දේ 1926 වසරේ තිර ගත කරන ලද දොන් ජුවාන් චිත්‍රපටයට එක් කළ සංගීත ඛන්ඩය සමගය. එයින් වසරක් ගෙවුනු තැන වෝනර් බ්‍රදර්ස් සමාගම ද ජෑස් සිංගර් චිත්‍රපටය සමග සිනමාවේ නිහැඬියාව බිඳ හෙලීය.ඒ සදහා ගීත හයක් ඇතුළත් ව තිබිණ. එමෙන්ම එයට අල් ජොල්සන් ගේ කතනයක් ද ඇතුළත් ව තිබිණ.තවත් වසරක් ගෙවුනු තැන සම්පූර්ණයෙන්ම කතානාද චිත්‍රපටයක් තිර ගත කරවීමට වෝනර් බ්‍රදර්ස් සමාගම සමත් විය. ඒ බ්‍රයන් ෆේ අධ්‍යක්ෂණය කළ ද ලයිට්ස් ඔෆ් නිව්යෝක් චිත්‍රපටයයි.ඒ සමග බ්‍රිතාන්‍යය ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ බ්ලැක්මේල් හරහා ද ප්‍රංශය රෙනේ ක්ලයර් ගේ අන්ඩර් ද රූෆ්ස් ඔෆ් පැරිස් හරහා ද කතානාද සිනමාව බිහි කර ගත්හ.මුල්ම ඉන්දියානු සිනමා කෘතිය ද බිහිවනුයේ ලොව අනිත් රටවලට සාපේක්ෂව පසු කාලයක මෙන්ම කතානාද චිත්‍රපටයක් නිපදවන්නට ද ඉන්දියාව කල් ගත්තේය.කතානාද සිනමාවට සම්බන්ධව එක් හේතුවක් වූයේ ඒ වන විට ලොව පුරා පැතිරුන ආර්ථික අවපාතය ඉන්දියාවට තදින්ම දැනීමය. එහෙත් මේ වන විට මදාන් සමාගම සිය සිනමා හල් සියල්ල ශබ්ද උපකරණ සවිකළද.එහෙත් මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටය තවත් කල් ගියේය. ඉන්දියාවේ තිර ගත කරන ලද මුල්ම කතානාද චිත්‍රපටය වනුයේ පර්යේෂණ මට්ටමේ පැවැති ජුලියස් සීසර් චිත්‍රපටය බැව් 1927 වසරේ මැයි 28 වැනි දින ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් හෙළි කරයි.එංගලන්තයේ සිනමා නළු නිළියන් වන ලිලියන් හෝල් ඩේවිස් සහ මයිල්ස් මන්ඩර් ට දෙබස් සහිත ශබ්ද පටයක් ආරෝපණය කිරීමෙන් සකස් කරන ලද චිත්‍රපටය තිර ගත කරවන ලද්දේ බොම්බායේ රෝයල් ඔපෙරා හවුස් ශාලාවේය. \මේ චිත්‍රපටය නරඹා ඉන්දියානුවන් හිනාවෙන්නට පටන් ගත් වග පුවත්පතේ සඳහන් විය. එහෙත් මේ චිත්‍රපටය අමෙරිකානු නිෂ්පාදනයක් නොව බ්‍රිතාන්‍ය චිත්‍රපටයක් වන අතර ඒ වන විට ඔවුන් සිනමා නිෂ්පාදනයේදී සිටියේ අමෙරිකාවට වඩා ගව් ගනනකින් පසුපසින් බවත් මෙහි දී පුවත්පත් අමතක කරන්නේ නැත.ඉන්දියාවේ මුල්වරට සම්පූර්ණ කතානාද චිත්‍රපටයක් තිර ගත කරවනුයේ මදාන් සමාගමයි. ඒ යුනිවර්සල් සමාගම නිපදවන ලද මෙලඩි ඔෆ් ලව් චිත්‍රපටයයි.ඒ කල්කටාවේ එල්ෆින්ස්ටන් සිනමාහලේ දීය.ඒ 1929 වසෙර්ය.මේ වන විට එල්ෆින්ස්ටන් සිනමාහල අංග සම්පූර්ණ ශබ්ද උපකරණ වලින් සමන්විත කිරීමට මදාන් සමත් ව තිබිණ.එකල යුනිවර්සල් සමාගමේ ඉන්දියානු නියෝජිතයාවූයේ මදාන් බැවින් ඔවුන් තිර ගත කරවන ලද මුල්ම කතානාද චිත්‍රපටය යුනිවර්සල් සමාගමේ චිත්‍රපටයක් වීම සාමාන්‍ය කරුණකි.මෙලඩි ඔෆ් ලව් ලංකාවේද තිර ගත කළ මුල්ම කතානාද චිත්‍රපටය වනුයේ මදාන් සමාගම නිසාය.එය තිර ගත කරවන ලද්දේ ඔවුන් හිමිව තිබූ කොළඹ එම්පයර් සිනමාහලේය. බොම්බායේ එක්සලර් සිනමාහලේ ද කල්කටාවට සමගාමිව මෙලඩි ඔෆ් ලව් තිර ගත කර වන ලද්දේ එය ද මදාන් සිනමාහලක්වූ හෙයිනි.එහෙත් 1930 වසර වන විට ඉන්දියාවේ පැවැති ස්ථාවර සිනමාහල් සංඛ්‍යාව වූ 370 න්ම ශබ්ද උපකරණ සවි කර තිබුණේ තිහක පමණී. ජේ.ජේ.මදාන් ද ජෑස් සිංගර් චිත්‍රපටය අමෙරිකාවේ තිර ගත කරවද්දීම එය දැක තිබිණ. ඔහු කාටත් කලින් සිනමාහල් නවීකරණය කළේ එහෙයිනි.ඔහු හොලිවුඩ් චිත්‍රාගාර පුරා සැරිසරමින් ශබ්ද තාක්ෂනය පිලිබඳ ස්වයං අධ්‍යයනයක යෙදිණ.පසුව ඔහු සිය කල්කටාවේ චිත්‍රාගාරය නවීකරණය කරන්නට යෙදින.අලුත් තැනක මදාන් නව චිත්‍රාගාරය ගොඩ නැගුවේ බාහිර ඔබ්ද වලින් එයට බාධා නොඑන පරිද්දෙනි.එයට පෙර චිත්‍රාගාරවලට එබඳු ගැටළුවක් නොවීය.මදාන් චිත්‍රාගාරයට අවශ්‍ය ශබ්ද උපකරණ අමෙරිකාවෙන් ගෙන්වා ගත් අතර විදේශ ශිල්පීන් රැසක් ද තාක්ෂනික ශිල්පින් ලෙස සිය චිත්‍රාගාරයට එක් කර ගත්තේය.මේ අතර ශබ්ද පරිපාලන කටයුතු සඳහා ඊ.බී.ලයිෆර්ඩ් සහ පී.ජුරාස්චෙක් ද කැමරා ශිල්පින් ලෙස කාල් ඩෙනට් සහ ටොමසෝ මාකෝනි ද රසායනගාර ප්‍රධානි ලෙස ඩී.ට්‍රොම්ලේන් ද මේ විදේශිකයන් අතර ප්‍රමුඛ වූහ.1931 පෙබරවාරි හතර වැනි දින මදාන් සමාගම ආර්.සී.ඒ.ෆොටෝ ෆෝන් ක්‍රමයට පටිගත කරන ලද ශබ්ද සහිත සිනමා දර්ශණ කිහිපයක් ප්‍රදර්ශණය කරන ලදී. තබ්ලා සහ සිතාර් වාදනයන් ද නැටුම් ජවනිකාවන් පෙලක් ද එයට ඇතුළත් ව තිබිණ.මොරිස් බර්ඩෙච් සහ රොබට් බ්‍රසිලා විසින් ලියන ලද හිස්ට්‍රි ඔෆ් ද ෆිල්ම් ග්‍රන්ථයේ සඳහන් වන පරිද්දෙන් මේ එක් දර්ශණයකට රබීන්ද්‍රනාත් තාගෝරයන් ගේ දර්ශණයක් ද ඇතුළත් ව ඇත්තේය.එහි එතුමන් කිසියම් ගායනයක් ඉදිරිපත් කොට ඇති වගක් සඳහන් කරයි.එය ඔවුන්ට කිසිසේත්ම වටහා ගත නොහැකි බවත් එහි කතුවරුන් සඳහන් කරන්නේය. කෙසේ හෝ තාගෝරයන්ගේ ගේ මේ දර්ශණයට ඇතුළත්වනුයේ පසු කලක ඉන්දියානු ජාතික ගීය බව විශ්වාස කළ හැක. මේ දර්ශණ මාලාවේ තාගෝරයන් සිඟිති දැරියන් පෙලක් වට කරගෙන වාද්‍ය භාණ්ඩයන්ගෙන් තොරව ජන මන ගීතය ගායනා කරන විලාසය ඇතුළත් වාර්තා චිත්‍රපටයක් අද ද ඉන්දියානු සිනමා සංරක්ෂනාගාරයේ ඉතිරිව ඇත්තේය. එයට පෙර එනම් 1930 වසරේ ඔක්තෝබරයේ ද මූවිං පික්චර්ස් මාසික සඟරාව ද නොවැම්බර් 07 වැනි දින ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් ද කතානාද ඉන්දියානු සිනමාවක අඩුව පෙන්වා දෙයි.ඇතැම් සිනමාහල් නවීකරණය වද්දී ඉන්දියාවේ තවමත් කතානාද සිනමාවක් නැති බව පෙන්වා දෙන නමුත් මූවිං පික්චර්ස් සඟරාව පෙන්වා දෙන්නේ නැවත නිහඬ සිනමා යුගයට යෑම වඩා යෝග්‍ය බවකි.එයට හේතුව ලෙස සඳහන් කරන්නේ කතානාද සිනමාවට කිසිසේත්ම ආදායම් ඉපැයිය නොහැකි බවත් මෙයින් සිදුවනුයේ සිනමා තාරකා සහ එහි වානිජ පදනම සහමුලින් බිඳ වැටෙන වගත්ය. ඔවුන් පවසනුයේ නළු නිළියන් කතා කරනු දකින විට ප්‍රෙක්ෂකයන් සිනාසිය හැකි බවට සඟරාව අනතුරු හඟවා සිටියේය. මේ වනවිට ඇතැම් සිනමා නිෂ්පාදකයන් ඉන්දියාවේ ද කතානාද චිත්‍රපට තනන්නට මග බලන නමුත් එය කිසිසේත් නොකළ යුත්තක් ලෙස මූවිං පික්චර්ස් සඟරාව පවසා සිටියේය.එහි ඇත්ත නම් ඒ වන විට ලෝකයේ නම ගිය බොහෝ නළු නිළියන් ට දෙබස් කැවිම අපහසු කාර්යක් විමය. මේ අතර වාරයේ ඉන්දියාවේ ඇතැම් නම් දැරූ සිනමා සමාගම් රැසක් පැවති ආර්ථික අහේනිය මත සිය ව්‍යාපාර කටයුතු අත් හළහ.නිහඩ සිනමාවේ නම් දැරූ සිනමා සමාගම් වූ කොහිනූර්,ජග්දිශ්,නිව් එක්සෙල්සියර්,වික්ටෝරියා ෆැට්මා,ගුන්ජාල්,යූනියන් ස්ටාරස්,යංග් ඉන්ඩියා,ඉන්දිරා සහ ඔරියන්ට් ෆිල්ම්ස් මේ අතර කැපී පෙනෙයි. එහෙත් මදාන් ඉන්දියාවේ මුල්ම කතානාද චිත්‍රපටය තනන්නට විවිධ පර්යේෂණ පවත්වද්දී බොම්බායේ දී වැඩි සද්දයක් බද්දයකින් තොරවම කතානාද චිත්‍රපටයක් එළි දැක්කේ මේ අතරවාරයේය.ඒ අර්දේශර්.එම්.අයිරානි නිර්මාණය කරන ලද අලම් අරාය.ඉම්පීරියල් ෆිල්ම්ස් කම්පැනි මගින් නිපදවන මේ චිත්‍රපටයට පාදක වනුයේ ජෝශප් ඩේවිඩ් විසින් රචනා කරන ලද පාර්සි නාටකයකි.චිත්‍රපටය තිර ගත වූයේ 1931 වසරේ මාර්තු 14 වැනි දිනයේ දී බොම්බායේ මැජස්ටික් සිනමාහලේය. එයට පසුබිම් වනුයේ ආදි යුගයක ජිවත් වූ කුමාර්පුර් රජුගේ බිසෝවරුන් දෙදෙනෙක් වටා ගෙතුන කතාවකි.එක් බිසවක් නව්බහාර් නම් වන අතර ඇයට පුතෙක් ලැබෙයි. නිතරම ඊර්ෂ්‍යාවෙන් පෙලන දෙවැනි බිසව දිල්බහාර් හමුදාපති අදිල් කෙරෙහි රාගයෙන් බැඳෙයි. එහෙත් එයට කැමැති නොවන ඔහු ඇය පයින් ගසා නෙරපයි. මෙයින් කිපුණු දිල්බහාර් කුමන්ත්‍රණයකින් අදිල් සිර ගත කරවයි. උන් හිටි තැන් අහිමි ව යන අදිල් ගේ ගැබිනි බිරිය අහිගුණ්ටික පිරිසක් මැද දී දියනියක ලබයි.ඇය අලම් අරා නම් වෙයි.දිනක් ඇය සිය පියා සොයා එද්දි රජ කුමරෙකුට මුණ ගැසෙයි. කුමරු ඇය සමග පෙමින් වෙලෙයි. මේ කුමරු නව්බහාර්ගේ පුතනුවන්ය. අවසානයේ සියළු බාදා අවසන්ව පෙම් යුවල එක් වන අතර දිල්බහාර්ට දඬුවම් ලැබෙයි. මේ චිත්‍රපටය සඳහා එවකට ඉන්දියානු සිනමාවේ සුපිරි තරුව මාස්ටර් විතාල්,(කුමරු) සුබෙයිදා(අලම් අරා),ප්‍රිත්විරාජ් කපූර් (අදිල්)එල්.වී.ප්‍රසාද්,ජග්දිශ් සේති,වසීර් මොහමඩ් කාන්,ජේ.සුසිලා,ජිලෝ ආදින් චරිත මැවූහ.චිත්‍රපටය සංගිතවත් කළේ ෆෙරොශාහ් එම්.මිස්ට්‍රි, සහ බී.අයිර්නි දෙදෙනාය.සංස්කරණයෙන් එර්සා මීර් ද කැමරාකරණයෙන් විල්ෆ්‍රඩ් ඩෙමිංග් සහ අදි එම්.අයිරානි ද දායක විය.චිත්‍රපටයේ මුලින් කුමරුගේ චරිතය සදහා තෝරා ගෙනි සිටියේ ද මාස්ටර් විතාල් වුවත් ඔහු හා ශර්ධා ෆිල්ම්ස් සමග ඇති කර ගත් ගිවිසුමක් නිසා නිසි පරිදි චිත්‍රපටයට දායක වන්නට විතාල්ට නොහැකි විය. එවර අයිරානි නවක නළුවකු මෙන්ම පසුකලක විශිෂ්ට අධ්‍යක්ෂවරයකු වන මෙහෙබුබ් කුමරුගේ චරිතය සඳහා තෝරා ගත්තේය. මෙහිදී විතාල් සහ ශර්ධා සමාගමත් අයිරාන්ගේ ඉම්පීරියල් සමාගමත් අතර ඇති වූ හබය අවසානයේ අධිකරණය දක්වා දුර දිග ගියේය.මෙහිදී විතාල් වෙනුවෙන් පෙනී සිටියේ පසු කලක ඉන්දියාව බෙදා පාකිස්ථානය බිහි කිරීමට පුරෝගාමී වූ මොහමඩ් අලි ජින්නාය. අලම් අරා නිර්මාණය කිරිමට අයිරානි පෙළඹුණ කාරණය වූයේ ඔහු එංගලන්තයේ දී යුනිවර්සල් සමාගම මගින් නිපදවන ලද ෂෝබෝට් චිත්‍රපටය දැකීමෙන් ඇති වූවක් යැයි පැවසේ. කෙසේ වෙතත් 1929 වසරේ නිපදවුණ ෂෝ බෝට් චිත්‍රපටය නිහඩ සහ කතානාද යනුවෙන් පිටපත් දෙකක් එළි දුටු අතර එයින් කතානාද චිත්‍රපටය ද ශබ්ද ආරෝපණය කළ චිත්‍රපටයක් විය.අලම් අරා නිපද වද්දී මදාන් මෙන් අති විශාල ධනයක් වැය කිරීමට ඉම්පීරියල් නොසිතුවේය. ඔවුන් පැරණි චිත්‍රාගාරයේම රූ ගැන්වීම් සිදු කිරීමට තීරණය කලේය.නිහඬ චිත්‍රාගාරවලට බාහිර ශබ්ද ගැටළුවක් නොවිණ. එබැවින් ඉම්පීරියල් චිත්‍රාගාරය ඉදිවුණේ බොම්බායේ දුම්රිය මාර්ගයක් අද්දරය.අලම් අරා දෙබස් පටිගත කරන්නට සැලසුම් කළේ චිත්‍රපටය රූ ගන්වද්දීම දෙබස් කැවෙන ආකාරයටය. චිත්‍රාගාරය සතු වූ ටනාර් වර්ගයේ ශබ්ද උපකරණයන්ය. එයට ඈත සිට ශබ්ද පටි ගත කර ගත හැකි බූම් එකක් නොවිණ.විල්ෆ්‍රඩ් ඩැමිංග් නම් අමෙරිකානු ඉංජිනේරුවරයා ඉම්පීරියල් චිත්‍රාගාරයට පැමිණියේ ශබ්ද පරිපාලනය කරන්නට නොව ආනයනය කරන ලද යන්ත්‍ර නිසි පරිදි සකසන්නටය. අවසානයේ පටි ගත කිරීමේ ජොබ් එක ඔහු කර මත ලන්නට අයිරානි සමත් විය. අයිරානි සහ ඔහුගේ ව්‍යාපාරික සගයා වූ අබුදුලාලි යූසූෆාලි සහ නිර්මාණ සහායකයා වූ රස්ටම් බරුචා ගේ මහන්සිය අපතේ නොගියේය.මදාන් මෙන් අති විශාල ධනයක් වැය කොට නවීන චිත්‍රාගාරයක් ගොඩ නැගීමකට නොගිය අයිරානි ලා තරමක් මහන්සි වී නිර්මාණයක් කරන්නට පටන් ගත්තේය. පළමු බාධාව වූයේ බාහිර ශබ්දයන්ගෙනි. දර්ශණයක් රූ ගන්වන්නට සැරසෙන හැම විටම චිත්‍රාගාරය දෙදරවාගෙන දුම්රියක් ගමන් කළේය.ඉන්දියානුවන්ගේ ආගන්තුක සත්කාරය කෙතරම් දයත් ඒ හැම එකකටම ඩැමිං ගේ දැනුම පිහිටට සිටි වග අමෙරිකන් සිනෙමටෝග්‍රැෆර් සඟරාවේ 1932 ජූනි කලාපය හෙළි කරයි.ඩැමිං සඟරාවට අනාවරණය කරන ආකාරයට ප්‍රංශයේ නිෂ්පාදිත ඩෙබ්‍රි වර්ගයේ කැමරාවක් ද බෙල් ඇන්ඩ් හොවල් උපකරණ ද තවත් ජර්මානු උපකරණ ද චිත්‍රාගාරය සතු සමස්ත උපකරණ තොගය විය.රූප ගත කරන අතරතුර දෙබස් ද පටි ගත කෙරුණේ උපකරණ අඩුව පමනක් නොව වියදම ද පිරිමසා ගැන්මේ අභිලාෂයෙනි.චිත්‍රපටය මාසයක් ඇතුළත රූ ගැන්වීමට තීරණය කිරිම එයටත් වඩා හපන් කමකි. අන්තිමට රූප ගත කරන්නට තීරණය කරන ලද්දේ රාත්‍රි එකොලහත් පාන්දර හතරත් අතරය. ඒ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නොවන කාලයයි. 1956 දී මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටයට විසි පස් වසර පිරීම නිමිත්තෙන් නිකුත්වූ ඉන්ඩියන් ටෝකි සිල්වර් ජුබිලි විශේෂ සඟරාවට යූසුෆාලි මතක සටහන් එක් කරන්නේ තම සිහිනය සඵල වූ බවය. චිත්‍රපටය නරඹන්නට මැජස්ටික් සිනමාහලට පැමිණි ජන ගඟ පාලනය අපහසු කරුණක් විය. සමාගමේ හවුල් කරුවන් පවා සිනමාහලට රිංගා ගත්තේ අපහසුවෙන් බැව් යූසුෆාලි සිහිපත් කරයි.මේ අවදියේ සිනමාහල්වල පෝලිම් ක්‍රමයක් නොවීය.හැකි එකා කෙසේ හෝ රිංගා ප්‍රවේශ පත්‍ර මිළයට ගත්තේය.එබැවින් ආසන වෙන් කරවා ගැනීම් පිළිබඳ සිතීමත් විහිළුවක් විය.මිනිසුන්ට අවශ්‍ය ව තිබුණේ තමන්ට තේරෙන බාසාවකින් කතා කරන මිනිසුන් දකින්නටය.මහා මාර්ග අවහිර වීම් වලකා ලන්නට පොලිස් නිළධාරින්ටත් උගහට විය.සති ගණනාවකට ප්‍රවේශ පත්‍ර කලින් අලෙවි වූ අතර ඒ බහුතරය ඉහල මිළ ගනන් වලට සිනමාහල අවට දීම යළි විකිනෙනු දැක්ම සුලබ කරුණක් විය.චිත්‍රපටයේ කාර්මික තත්වය සහ දෙබස් කැවීම් සෑහීමකට පත් විය හැකි බැව් 1931 අප්‍රෙල් මස දෙවැනි දින ද බොම්බේ ක්‍රොනිකල් සහ මාර්තු 23 වැනි දින ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පතක් සාක්ෂි දරති.චිත්‍රපටය ගීතයෙන් නැටුමින් පිරි චිත්‍රපටයක් විය. සියයට සියයක්ම තොල්වලට දෙබස් කැවීම සාර්ථක යැයි සිතිය නොහැකි නමුත් වෑයම අපතේ ගොස් තිබුණේ ද නැත.එය ඉතා සම්පුර්ණයෙන් සාර්ථක කතා කියා පෑමකි.සුබෙයිදා,විතාල් සහ ප්‍රිති විරාජ් පිළිබඳ බොහෝ දෙනා ප්‍රශංසා කළහ.අලම් අරා එලෙස තිර ගත වද්දි මුල්ම ඉන්දියානු කතානාද චිත්‍රපටය නිපදවීමේ ගෞරවය අත් පත් කර ගැන්මට පෙරුම් පිරූ මදාන්ට සිදුවූයේ මුල්ම බෙංගාලි කතානාද චිත්‍රපටය වූ ජමායි ශාස්ත්‍රි චිත්‍රපටය නිපදවීමේ ගෞරවයෙන් සෑහීමකට පත් වන්නටය.ඒ අලම් අරා තිර ගත කොට සති තුනක් ගතවූ පසුය. එහෙත් අලම් අරා තිර ගත වන සමයේම මදාන් ඔවුන්ගේ මුල්ම හින්දි චිත්‍රපටය ශිරින් ෆර්හාඩ් ද තිරයට ගෙන ඒමට සමත් විය. එහෙත් ඉන්දියානු සිනමාව සියවස සපිරෙද්දී එහි මුල්ම කතානාද චිත්‍රපටයේ එකම රූප රාමු පෙලක්වත් ඉතිරිව නැත.එහි නිශ්චල ඡායාරූප පමනක් ඉතිරිව ඇත්තේය.
මතු සම්බන්ධයි. |