|
නිරුවතින් රඟපෑ මුල්ම ඉන්දියානු නිළිය කවුරුන්ද?
ඉන්දියානු සිනමා කතාව 14
ඉන්දියානු සිනමාව වාරණයෙන් බැට කන්නට පටන් ගත්තේ එය ආරම්භ කළ සමයේ මැයි පසුගිය ලිපියක මා සටහන් කළා මතකය.එහෙත් මේ වාරණයෙන් පසුබට වූයේ ඉන්දියානුවන් නොවේ. සිනමාව නම් රූප කලාව තම දේශපාලන ප්‍රචාරය සදහා උපයෝගි කර ගත හැකි බැව් අවබෝධ කර ගත් නායකයන් දෙදෙනෙක් පසුගිය සියවසේ ලෝකයේ පහළ වී සිටියහ. එයින් එක් අයෙක් නම් සෝවියට් දේශය ගොඩ නැගූ වි.අයි.ලෙනින්ය.
සෝවියට් සමාජවාදි කඳවුර ගොඩ නැගීමේ දී මෙන්ම එහි දේශපාලන අදහස් බිහිකිරීමේ දී ලෙනින් මෙන්ම ඔහුගේ අනුප්‍රාප්තිකයෝද සිනමාව යනු වඩා හොඳ ප්‍රචාරක අවියක් ලෙස වටහා ගත්හ.ටෙලිවිෂනය නොවූ එකල සිනමාව ඔවුනගේ දේශපාලන ව්‍යාප්තිය උදෙසා මහත් මෙහෙයක් ඉටු කළේය. මේ වාසිය හඳුනාගත් අනිත් තැනැත්තා නම් මහත්මා ගාන්ධි තුමන්ය.ලෙනින් සිනමාවේ වාසිය තමන් නතු කර ගන්නට සමත් වූයේ බලයට පැමිණි පසුවය.එහෙත් ඉන්දියානු සිනමාව ආරම්භයේම එය ස්වදේශීය ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගිණ.එමෙන්ම එයට දායකවූ බහුතරය නිදහස් ඉන්දියාවක් පිළිබඳ සිහින මැවූවන් වූහ. නැතහොත් නිදහස් සටනේ ඇතැම් නායකයන්ගේ අනුගාමිකයන් වූහ.එබැවින් නිදහස් සටන පිළිබඳ සාමාන්‍ය ජනතාවගේ සිත්සතන් අවදි කිරීමට සිනමාව උපයෝගී කර ගැන්මට ගාන්ධි ප්‍රමුඛ නායකයන් වග බලා ගත්හ. එබැවින්ම ඉන්දීය නායකයන් ඉන්දියානු සිනමාව යනු ස්වදේශිය ව්‍යාපාරයක් යන සිතිවිල්ල ජනතාව වෙත යැවීමට ද කටයුතු කළහ. ද්වර්කදාස් නරේන්දස් සම්පත් නිෂ්පාදනය කරන ලද භක්ත විධූර් මේ අතරින් පුරෝගාමී චිත්‍රපටයකි.සම්පත් සිනමාවට එක්වනුයේ පතන්කර් ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් කම්පැනි හි කොටස් කරුවකු වෙමිනි.පතන්කර් එනම් එස්.(ශ්‍රී)එන්.(නාත්) පිළිබඳ මෙයට පෙර ද මේ ලිපි මාලාවේ ලියැවි ඇති අතර ඔහු ඉන්දියානු සිනමාවේ පුරෝගාමි කැමරා ශිල්පියකු විය. ඔහු සිය සමාගම පතන්කාර් මිත්‍රයන් ලෙස නම් කරනුයේ සම්පත් එයට දායක වූ බැවිනි.සම්පත් වෙන්ව ගිය පසු මිත්‍ර සමාගම වෙනුවට පතන්කර් නැෂනල් ෆිල්ම් කම්පැනි ඇරඹුවේය.අනතුරුව සම්පත් කොහිනූර් සිනමා සමාගම ආරම්භ කළේය.සම්පත් සහ ඔහුගේ කොහිනූර් සමාගම ඉන්දියානු සිනමාවේ අගනුවර මුම්බායි බවට ස්ථාපිත කිරීමෙහිලා මහත් මෙහෙයක් කළ තැනැත්තෙකි.1919 වසරේ සිට 1928 දක්වා කාලය ඇතුළත කොහිනූර් සමාගම චිත්‍රපට අනූ අටක් නිෂ්පාදනය කළේය. ඉන්දියානු නිහඩ සිනමා ඉතිහාසයේ බොම්බාය කේන්ද්‍ර කොට ගත් ප්‍රධාන සිනමා සමාගම් හතරක් ඉස්මතු වෙයි.ඒ පසුකලක මුල්ම ඉන්දියානු කථානාද චිත්‍රපටය නිශ්පාදනය කළ අර්දේශර් එම්. අයිරානිගේ ඉම්පිරියල්, අහමාද්බාද් හි චිත්‍රපට ප්‍රදර්ශකයකු ලෙස සිනමාවට පිවිස පසුව කොහිනූර් සමාගම සඳහා සම්පත්ගේ හවුල්කරුවා වන මනෙක්ලාල් පතෙල් ගේ ක්‍රිෂ්ණා,නානුබායි දේසායිගේ ශර්ධා සහ සම්පත් ගේ කොහිනූර්ය.මේ අතරින් වඩා පැරණි කොහිනූර් සමාගමයි. සම්පත් චිත්‍රපට නිෂ්පාදනයේ දී වඩාත් දැවැන්ත හා විශිෂ්ට ආකාරයෙන් කටයුතු කළේය.ඔහුගේ දැවැන්ත දර්ශන තල සියල්ල වටිනා දැවයෙන් තැනූ ඒවාය.එමෙන්ම චිත්‍රපට නිර්මාණයේ දි ඔහු ඒ සදහා සකස් කළ ඇඳුම් පැලඳුම් ආදිය ද ඉතා වටිනා ඒවා විය.අබරණ ද ඉහල මිලක් වැය කොට නිර්මාණය කළ ඒවා විය.කොහිනූර් සමාගම මුලින් ගාන්ධිතුමන් පිළිබඳ වාර්තා චිත්‍රපට කිහිපයක් ද තනන්නේය.පසුව එහි චිත්‍රපට අධ්‍යක්ෂවරයාවන කන්ජිබායි රතොද් ඉන්දියානු සිනමාවේ මුල්ම වෘත්තිමය චිත්‍රපට අධ්‍යක්ෂවරයා විය. රතොද් අමෙරිකාවේ සිනමාව හැදෑරු මුල්ම ඉන්දියානුවා ලෙස සැලකෙන සුචෙත් සිංගේ සහාය අධ්‍යක්ෂවරයා විය.අමෙරිකානු සිනමාවේ මුල්ම සිනමා සමාගමක් වන විටාග්‍රාෆ් සමාගමේ පුහුණුව ලද සුචෙත් පුවත්පත් කලාවේදියකු ද විය. නිව්යෝක් හි බෲක්ලින් පෙදෙසේ දී ජේ.ස්ටුවට් බ්ල්ක්ටන් සහ ඇල්බට් ජේ.ස්මිත් ගේ මූලිකත්වයෙන් ඇරඹුණ විටාග්‍රාෆ් සමාගම එරට බිහිවුන මුල්ම අංග සම්පූර්ණ චිත්‍රාගාරයේ හිමිකරුවන් විය.හොලිවුඩ් නගරයට සේන්දුවුන මුල්ම සිනමා සමාගමක් වූ විටාග්‍රාෆ් සමාගමේ ලද පුහුණුවෙන් පසු සුචෙත් ඉන්දියාවට පැමිණියේ අමෙරිකානු නිළි ඩොරති කිංඩම්, කැමරා ශිල්පි රෝයි එන්. වෝගන් සමගය.එහෙත් රිය අනතුරකට ගොදුරු වි සුචෙත් අකාලයේ මිය යැමත් සමග චිත්‍රපටය අතරමග නතර විය.මේ වන විට රතොද් ඔහුගෙන් සිනමාව පිළිබද හදාරා තිබිණ. එබැවින් රතොද් නිරාමාණය කළ චිත්‍රපට සෙසු සමකාලින ඉන්දියානු සිනමාකරුවනට වඩා නෑකම් කීවේ හොලිවුඩ් සිනමාවේ ශෛලියටය. සම්පත් සිය චිත්‍රපට සදහා රතොද් ලවා කෘතිම ආලෝකය භාවිත කරවීය.කොහිනූර් චිත්‍රපට විලාසය නිසාම සෙසු ඉන්දියානු චිත්‍රපට අතරින් වෙන් කොට හදුනා ගත හැකි ලකුණු තිබිණ. රතොද් ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූ ගුල්-ඊ-බකවාලි සහ භක්ත විධූර් චිත්‍රපට යුගලම අති සාර්ථක විය. කෙසේ වෙතත් රතොද් පසුකලක කොහිනූර් වෙතින් ඉවත්ව රාජ්කොට් හි සෞරස්ට චිත්‍රපට වෙත දායක වන අතර ඉන් පසු ඔහු ක්‍රිශ්ණා චිත්‍රපට සදහා දායක විය. පසුකලක කථානාද සිනමාව සමගද චිත්‍රපට නිෂ්පාදනයේ යෙදෙන රතෝද් ගේ නිහඬ චිත්‍රපට කිහිපයක්ම යළිත් කතානාද චිත්‍රපට ලෙස එළි දැක්විමට ඔහු ට හැකි විය. එහෙත් දෘබායි දේසායිගේ චන්ද්‍රලේඛා චිත්‍රපට සමාගමෙන් සිය සිනමා ගමන හෙතෙම අවසන් කරනුයේ එහි නිෂ්පාදන කළමනාකරු හැටියටය. සම්පත්ගේ නිෂ්පාදන හැකියාව නිසාම කොහිනූර් චිත්‍රපට තිර ගත වද්දී ඒවාට පරිබාහිරව සංගිතය සපයන වෘත්තිය සංගිත කණ්ඩායම් ද සිටියහ.මහා කවි කාලිදාස්ගේ කතාවක් ඇසුරින් තැනුණ වික්‍රම් උර්වශී චිත්‍රපටය අතරතුර වේදිකාවට ගොඩ වදින කොහිනූර් නිළියක වන ඇංග්ලෝ ඉන්දියානු ජාතික ලීනා වැලන්ටිනෝ ගී ගයා රඟපාමින් ප්‍රෙක්ෂකයන් සැනසුවාය.කොහිනූර් සමාගමේ මහාසති අන්සුයා චිත්‍රපටයට ද පාදක වූයේ රාමායනයේ එන කතාවකි. එහි ප්‍රධාන චරිතයක් රඟපෑවේ ලීනා වැලන්ටිනෝය. ඉන්දියානු සිනමාවේ මුල් වරට නිරුවත් ජවනිකාවක් ඇතුළත් වූයේ මහාසති අන්සුයා චිත්‍රපටයටය.ඉන්දියානු සිනමා ඉතිහාසයේ මුල් වරට නිරුවතින් පෙනී සිටි නිළිය වනුයේ එහි රඟපෑ සකිනාබායි ය.කෙසේ වෙතත් මේ ජවනිකාව වාරණයකින් තොරව ඉන්දියානු සිනමාහල් වල තිර ගත විය. වාරණ ගැටලුව ඇති වූයේ එයට පසු කොහිනූර් නිපද වූ භක්ත විධූර් (1922) චිත්‍රපටය සම්බන්ධවය. හක්ත විධූර් චිත්‍රපටයට පාදක වූයේ මහා භාරත ග්‍රන්ථයේ එන කතාන්තරයකි.එහි ප්‍රධාන චරිතය වූ විධූර් ලෙස සම්පත් ද ක්‍රිෂ්ණා ලෙස මනේක්ලාල් පතෙල් ද චරිත නිරූපණය කළහ. ඔවුන් දෙදෙනා කොහිනූර් සමාගමේ හවුල්කරුවන්ය.එහි දුර්යධන ගේ චරිතය රගපෑවේ හෝමි මාස්ටර්ය. එහෙත් මේ චිත්‍රපටය සූක්ෂම අන්දමින් ගාන්ධි තුමන්ගේ දේශපාලන මතිමතාන්තර තිරයට ගෙන ආවේය. මේ වනවිට අම්රිත්සාර් ඝාතනයට එරෙහිව ගාන්ධි තුමන් විසින් සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කිරීම අරඹා තිබිණ. සම්පත් මනෙක්ලාල් රඟපෑ විධූර් ගේ හිසට ගාන්ධි තොප්පියක් පලඳවා උඩුකය සඳහා කදාර් රෙද්දෙන් මැසූ කමිසයක් ද ඇන්දවූයේය.ඒ නිදහස් සටන් නායකයන්ගේ විලාසිතාව විය.චිත්‍රපටය බොම්බායේ තිර ගතකිරීම අරඹා දර්ශන දෙකක් පමණක් තිර ගත වන තුරුම චිත්‍රපටයේ ගාන්ධිවාදය බ්‍රිතාන්‍ය පාලකයන්ට හඳුනා ගත කොහැකි විය.එහෙත් චිත්‍රපටය කරච්චියේ වහාම තහනම් කිරීමට එහි මහේස්ත්‍රාත්වරයා අණ දුන්නේය. අනතුරුව මදුරාසි පාලකයන් ද චිත්‍රපටය තහනම් කළහ.හයිද්‍රාබාද් හි එය තිර ගත කරන ලද්දේ දර්ශන කිහිපයක් ඉවත් කළ පසුය. මෙයින් වසරක් ගත වන්නටත් මත්තෙන් බොම්බායේ කොහිනූර් චිත්‍රාගාරය සහමුලින්ම ගින්නකට හසුවිය.කවුදෝ ගින්නක් යැයි කෑ ගැසනු ඇසී සම්පත් එදෙසට යන විටත් කළු දුමාරය චිත්‍රාගාරය වෙළා ගනිමින් පැවතින.මේ වන විට කොහිනූර් චිත්‍රාගාරයටම අයත් කුඩා සත්තු වත්තක් ද විය.සම්පත්ගේ සුරතලාව සිටියේ එහි සිටි දිවියෙකි. චිත්‍රපට පමණක් නොව මේ දිවියා ද ගින්නට හසු විය. මෙයින් ටික කලකට පසු මනේක්ලාල් කොහිනූර් වෙතින් වෙන්ව ගොස් ක්‍රිෂ්ණා චිත්‍රාගාරය ආරම්භ කරන ලදී.එහෙත් කොහිනූර් සමග බැඳුණු ශිල්පීන් කිහිප දෙනෙක්ම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී යළි චිත්‍රාගාරය ගොඩ නංවනු වස් සම්පත් දිරිමත් කරන ලද්දේය. කොඩැක් සමාගම ආධාරයක් ලෙස ණය පහසුකම් යටතේ දළ සේයා පට සැපයීමට එකඟ වීය.චිත්‍රාගාරය යළි පණ ගැන්විණ. එය වසරකට චිත්‍රපට දහයකට ආසන්න සංඛ්‍යාවක් නිෂ්පාදනය කළේය.නාරායන් දේවාර්,මොහාන් බව්නානි,චන්දුලාල් ශා,නන්ද්ලාල් ජශ්වන්ත්ලාල්,මනිලාල් ජෝශි සහ හෝමි මාස්ටර් කොහිනූර් සමාගම වෙනුවෙන් චිත්‍රපට රැසක් න්ර්මාණය කළහ. නිහඬ සිනමා යුගයේ ඉන්දියානු සිනමාව බැබළවූ සිනමා තාරකාවන් රැසක්ම බිහි කරන ලද්දේ කොහිනූර් චිත්‍රාගාරය හරහාය.සුලෝචනා(රූබි මේයර්), ගොහාර්,සෙබුනිසා,සුබෙයිදා මේ අතරින් සමහරෙකි.කොහිනූර් සමාගමේ චිත්‍රපට විවිධ මාදිලියේ ඒවා විය. විකට, දේව කතා,සුරංගනා කතා,ප්‍රේම කතා ආදි විවිධ ගණයේ චිත්‍රපට එහි තැනුණේ අතරින් සෑම වර්ගයකම ප්‍රේක්ෂකයා දිනා ගනු පිණිසය.ඒ බොහෝ තිරනාටක රචනා කරන ලද්දේ මොහාන්ලාල් ජී.දේව් විසිනි.දේව් නිසැක වශයෙන්ම ඉන්දියානු සිනමා ඉතිහාසය මුල හමුවන හෙඳම තිරනාටක රචකයකු විය.ඔහුගේ තිර නාටකය චිත්‍රපටය පිළිබද සම්පූර්ණ සටහනක් විය. එම තිරනාටකය අතට ගන්නා සිනමාකරණය පිළිබඳ මෙලෝ දෙයක් නොදන්නා කෙනෙකුට වුව අදාළ චිත්‍රපටය නිර්මාණය කිරීම පහසු කටයුත්තක් විය.කොහිනූර් චිත්‍රපට දැන්විම් ද සමකාලින බොහෝ ඉන්දියානුවන්ගේ චිත්‍රපට දැන්වීම් වලට වඩ වෙනස් විය. යුරෝපියානු සහ අමෙරිකානු චිත්‍රපට පෝස්ටර් යන්ගේ ආභාසය කොහිනූර් චිත්‍රාගාරය ලබා ගෙන තිබිණ.කොහිනූර් චිත්‍රපට අතර වඩාත්ම සාර්ථක චිත්‍රපටය වූයේ හෝමි මාස්ටර්ගේ කල්නාග් චිත්‍රපටයයි.කෙසේ වෙතත් බොම්බායේ සිනමාවට ස්ථාවර මුහුණුවරක් ලබා දුන් කොහිනූර් චිත්‍රාගාරය කථානාද සිනමාව කරළියට පැමිණීමත් සමග අනතුරුව ඉතිහාසයට එක් විය. |