|
මම අවුරුද්දකට සැරයක් වැලිකඩ හිරගෙදරට යනවා
නොම්මර 17 හැදූ ප්‍රීතිරාජ් 17 වසරකට පසු 17 වැනිදාවක වැඩ අරඹයි
අලුත්ම ටෙලි චිත්‍රපටය ගැන විවරණයක්
වාණිජමය ලෙස අති සාර්ථක වූ චිත්‍රපට කිහිපයකම නිෂ්පාදකවරයා වූ ඔහු නමින් ප්‍රිතිරාජ් වීරරත්නය. ‘නොම්මර 17’ (1990) ‘සූරවීර චණ්ඩියෝ’ (1994) චිත්‍රපට සඳහා ජනප්‍රිය නිෂ්පාදකට හිමි ‘සරසවිය’ සම්මානයෙන් පුද ලද ඔහු ‘ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්’, ‘පුදුමයි ඒත් ඇත්තයි’ චිත්‍රපටවල නිෂ්පාදකවරයා ද වේ.
වසර දාහතක නිහැඬියාවකින් පසු ඔහු යළිත් අප අතරට එන්නේ සිනමාවෙන් නොව පුංචි තිරයෙනි. එමෙන්ම තිරකතා රචකයකු හා නිෂ්පාදකයකු ලෙස අප දැන හුන් ඔහු ටෙලි නාට්‍යය අධ්‍යක්ෂවරයකු ලෙස ද සිය දස්කම් හුවා දැක්වීම විශේෂත්වයකි. එකී අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණින් පසුගිය දිනෙක අප ප්‍රීතිරාජ් සමඟින් මේ කතාබහට එක් වුණෙමු. ඔබේ අලුත් නිර්මාණය, මම හිතන්නේ ඔබටත් වෙනස්ම විදිහේ අත්දැකීමක්? මම හරියටම වසර 17 කට පස්සේ, පෙබරවාරි 17 වැනිදා මගේ අලුත් නිර්මාණ කටයුත්තේ වැඩ ඇරඹුවා. මගේ පුතා, ඉරාජ් වීරරත්න තමයි මේ ටෙලි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ. එදා අපි එහි ගීත කිහිපයක් පටිගත කරමින් ඒ කටයුත්ත ආරම්භ කළා. මේක ඇත්තටම ටෙලි චිත්‍රපටයක්. ටෙලි ඩ්‍රාමා ස්ටයිල් එකට නෙවේ යන්නේ. ටෙලි නාට්‍යයක වගේ සීන්ස් ඇදෙන්නේ නැහැ. දැන් මුළුමනින්ම රූගත කර අවසන්. මේ ටෙලි චිත්‍රපටයේ නම රශ්මි. කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය මගේ. ‘රශ්මි’ මම ගොඩක් ආදරය කරන තිර රචනයක්. මොකද මේක මම ලියපු අනෙක් තිර නාටකවලට වඩා ගොඩක් වෙනස්. මොකක් ද ඒ වෙනස? ‘ නොම්බර 17’, ‘සූර වීර චණ්ඩියෝ එතකොට ‘පුදුමයි ඒත් ඇත්තයි’ මේ හැම එකක්ම ගත්තොත් ඒවා ඇක්ෂන් කොමඩි. මේක එහෙම නෙවයි. ‘රශ්මි’ කියන්නේ රූපලාවණ්‍යය ශිල්පිනියක්. ඇය විවාහකයි. එක් දරු මවක්. ඇය විවාහ වී සිටින්නේ බොහොම සෙල්ලක්කාර තරුණයෙක් සමඟ. ඔහු කිසිම රැකියාවක් නොකරන රශ්මිගේ සල්ලිවලින්ම ජීවිතේ ගෙනියන කෙනෙත්. එතකොට රශ්මිට මුණ ගැහෙනවා යුගයේ ජනප්‍රියතම නවකතා රචකයා. එයා ආකාශ් සෙනෙවිරත්න. මේ තුන් දෙනා කේන්ද්‍ර කරගෙනයි මේ කතාව ගලාගෙන යන්නේ. කවුද මේ චරිත තුන නිරූපණය කරන්නේ? රශ්මි ගේ චරිතය රඟපාන්නේ උපේක්ෂා ස්වර්ණමාලි. එතකොට ඇගේ සැමියා අමල් ලෙස රඟපාන්නේ පුබුදු චතුරංග. ආකාශ්ගේ චරිතයට තෝරා ගත්තේ අකලංක ගනේගම. අසංක දන්නවනේ මම තිර කතාවක් ලියන්නේ ලොකේෂන් එක ඔළුවේ තියොගෙන. ඒ වගේම නළුවා, නිළිය ඔළුවේ තියාගෙන. උපේක්ෂා සහ පුබුදු ඔළුවේ තියාගෙනයි මම රශ්මි සහ ඇගේ සැමියාගේ චරිත ලිව්වේ. නමුත් ආකාශ් ඇත්තටම මම එහෙම නළුවෙක් ගැන හිතේ තියාගෙන ලියපු චරිතයක් නෙවේ. අකලංකව මේ චරිතයට තෝරා ගත්තේ අහම්බෙන්. මටම පුදුමයි අකලංකගේ කෙටි නමත් ‘අකා’. ආකාශ් ගේ කෙටි නමත් මම ලියා තිබුණේ ‘අකා’ කියලමයි. මම හිතන්නේ සෙසු චරිත සඳහාත් ඔබ ප්‍රවීණ, නවීන අපූරු සංකලනයකින් යුත් නළු නිළි කැලක් තෝරා ගෙන තියෙනවා? ඔව්, සම්පත් ධනවර්ධන කියලා ප්‍රධාන චරිතයක් කරනවා ලකී ඩයස්. ඒක නෙගටිව් රෝල් එකක්. ලකී හරි කැමැති වුණා ඒ චරිතයට. එතකොට විමල් කුමාර් ද කොස්තා. ඔහු රඟපාන්නේ මැක්ඩොනල්ඩ් කියලා චරිතයක්. ඒ වගේම ජයසසේකර අපොන්සු, දුලීකා මාරපන, සුසිලා කෝට්ටගේ, මහේන්ද්‍ර පෙරේරා වැනි ප්‍රවීණතම නළු නිළියන් මේකේ රඟපානවා. මගේ චිත්‍රපටවල මීට කලින් රඟපෑ ටෙඩී විද්‍යාලංකාර, විල්සන් කරූ, සරත් සිල්වා, සිසිර කුමාරතුංග, මානෙල් චන්ද්‍රලතා වගේ අය මම අමතක කළේ නෑ. ඒ වගේම මානෙල් වානගුරු, ක්ලීටස් මෙන්ඩිස්, රුවන්ති මංගලා, රජිත හිරාන්, කීර්ති රන්ජිත් පීරිස්, මියුරි සමරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ වගේ අයත් මේ ටෙලි චිත්‍රපටයේ ඉන්නවා. නව පරපුරටත් ඔබ ලොකුª අත හිත දීමක් කර තිබෙනවා? ඇත්තටම අසංක, මම හිතන්නේ මේක ප්‍රවීණ සහ නව පරපුරේ නළු, නිළි එකමුතුවක්. ලක්ෂිකා ජයවර්ධන, බුද්ධික අබේරත්න, කුමාර වදුරැස්ස ඉන් කීපදෙනෙක්. ඒවගේම අලුත්ම අලුත් මුහුණුත් හඳුන්වා දෙනවා. අපේ රටේ මේ බොහෝ විට නොවෙන දෙයක්නේ ‘කාස්ටින් ඩිරෙක්ටින්’ කියන එක. අදාළ චරිත සඳහා සුදුසුම නළු, නිළියන් යොදා ගන්නට ඔබට හැකියාව ලැබුණාද? සියයට සීයක්ම. මොකද මම අර මුලින් කීවා වගේ චරිතවලට ගැළපෙන නළු, නිළියන් ඔළුවේ තියාගෙනනේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ. ඒ ප්‍රේම් වර්ක් එක ඇතුලේ ඉඳගෙන මම ලිව්වේ. මගේ ක්‍රමය ඒකයි. නළු, නිළියන්ගේ සීමා මායිම් දැනගෙන ඒ අනුවයි මම චරිත ලිව්වේ. ඇයි ඔබ වසර දාහතක් සිනමාවෙන් ඈත්වෙලා සිටියේ. කලකිරීමෙන් ද . . . නැතිනම් වෙනත් ප්‍රශ්නයක් ද? ඒක අතිශය පෞද්ගලික ප්‍රශ්නයක්. ඕකට උත්තරේ තිත් තිත් තිත් තියලා ප්‍රශ්නාර්ථයක් දාන්න. එතකොට දන්න අය දන්නවා මොකක්ද කියලා. ඔබ ප්‍රේක්ෂකයාට සමීප වුණේ චිත්‍රපට නිෂ්පාදකයකු හැටියට. එතකොට ඇයි තවත් චිත්‍රපටයකට නොයා මෙවැනි කාර්යයකට අත ගැසුවේ? ඕක මගෙන් හැමෝම අහන දෙයක්. එකක් තමයි මෙතෙක් මම රූපවාහිනියකට නිර්මාණයක් කරලා තිබුණේ නැහැ. මට ඒකත් කරන්න ඕනෑ වුණා. ඇත්තම කියනවා නම් වාණිජමය පැත්තෙන් බැලුවොත් මම ලොකු පාඩුවක් විඳ දරාගෙන මේක කරන්නේ. මොකද මේ ප්‍රොඩක්ෂන් එකට යන වියදම කිසිම චැනල් එකකට ගෙවලා ගන්න බෑ. ඒ තරම් කොස්ට් එකක් යනවා. ඒත් මම මේක බොහොම ආසාවෙන් කරනවා. ඒ මගේ වින්දනය සහ රසාස්වාදනය උදෙසා. සමහර විට මේක රූපවාහිනියට දෙන පළමු සහ අවසන් ටෙලි නාට්‍යය වෙන්නත් පුළුවන්, කියන්න බැහැ. ඇයි ඒ? මේක ලියන්න මට මාස තුනක් ගියා. එපිසෝඩ් පනහක් ලියනවා කියන්නේ මට චිත්‍රපට තුනක් ලියන්න තිබුණා. ඒක ලිව්ව නම් මට වාණිජමය අතින් වාසියි. මොකද මම දන්නවා මගේ චිත්‍රපට දුවනවා කියලා. ආයේ මැයි මාසේ මම චිත්‍රපටයකට අත ගහන්න බලාපොරොත්තුª වෙනවා. ඒ වගේම දිගටම ක්ෂේත්‍රයේ රැඳී ඉන්නයි මගේ බලාපොරොත්තුව. නළු, නිළියන්ගේ මුදල් ගෙවීම් සම්බන්ධව නිතර ගැටලු, අර්බුද පැන නගින ක්ෂේත්‍රයක් මේ. විශාල පිරිසක් දායක කරගෙනයි ඔබ මේ නිර්මාණයට අත ගසා තිබෙන්නේ? එක ජවනිකාවකට පෙනී සිටි අයකුට පවා මම ඇග්රිමන්ට් එකක් දුන්නා සයින් කරන්න. අඩුම තරමෙන් රුපියල් දාහක්, දෙදහාක් හෝ දුන්නා. ඒක මම කළේ හැමෝටම ආදර්ශයක් වෙන්න. මොකද යම්කිසි ඇග්රිමන්ට් එකක් නැතිව කලාකරුවකු පාවිච්චි කරනවා නම් ඒක ඔහුට හෝ ඇයට කරන හානියක්. අගෞරවයක්. යම්කිසි කලාකරුවකුගේ වෘත්තීය ගරුත්වය රැකෙන්නේ ඔහුගේ ඇග්රිමන්ට් එක සහ පේමන්ට් එක අනුවයි. මේ නිර්මාණ කාර්යයේදී දෙසීයකට ආසන්න පිරිසක් මා සමඟ වැඩ කළා. සමහරු ගිවිසුම් අස්සන් කරලා මට පින් දීලා ගියා. මොකද ටෙලි නාට්‍යය දහය දොළහ රඟපාලා අද වෙනතුරු කිසිදු මුදලක් නොලබපු අයත් ඒ අතර සිටියා. එහෙම නොහොබිනා වැඩ කළ, කරන අයට මේ වෙලාවේ මොකද කියන්නේ? ඒක හරිම වැරැදි වැඩක්. අපි කලාකරුවන්ට හොඳීන් සලකන්න ඕනෑ. මොකද කලාකරුවා කියන්නේ අපට දෙවියන්ගෙන් ලැබුණ දායාදයක්. අපි ඒක හිතන්න ඕනෑ. වෙනත් ඕනෑම වෘත්තියකට පුළුවන් විභාග පාස් කරලා ඒ වෘත්තියේ නියැළෙන්න. ඒත් කලාකාරයෙක් වෙන්න හැමෝටම බැහැ. අද ක්ෂේත්‍රයේ කවුරුත් වැඩකට ගන්නේ නැති ප්‍රවීණයන් කීප දෙනෙකුටම මම කතා කළා. සමහරු කිව්වා ලෙඩ රෝග තත්ත්වයන් නිසා වැඩ කරන්නට බැහැයි කියලා. විමල් කුමාර් ද කොස්තා වැනි ජ්‍යෙෂ්ඨයන් පවා ඔබ මීට දායක කර ගත්තා? ඇත්තෙන්ම. මොකද කොස්තා වගේ තවත් නළුවකු අපට නෑ. ඔහු විතරයි. ඒ වගේම ජයසේකර අපොන්සු. ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකුව සිටියදී මම නිෂ්පාදනය කළ ‘රන් දේදුන්න’ කියන වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඔහු මියුරි සමරසිංහ සමඟ. එතකොට මට අද ඒ අය සමඟ මේ නිර්මාණයට එකතුවෙන්න ලැබීම ලොකුª සතුටක්. අධ්‍යක්ෂණය ඔබට අලුත් අත්දැකීමක් මම හිතන විදිහට? නෑ, අධ්‍යක්ෂණය ගැනත් මට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒත් මම කැමැති නෑ ඒ ගැන වැඩිදුර කතා කරන්න. එතකොට මේ කාර්යය ඔබට අභියෝගයක් වුණේ නැහැ? අපෝ නෑ . . . මේක මට සෙල්ලමක්, ගේම් එකක්. කොහොමත් අසංක දන්නවනේ මම අභියෝග ජයගන්න කැමැති කෙනෙක්. තව එකක් මේකෙ සම නිෂ්පාදිකාව මගේ දුව රිෂිනි වීරරත්න. එයා පශ්චාත් උපාධිධාරිනියක්. නීති උපදේශිකාවක් විදිහට දැන් කටයුතු කරනවා. එක් පැත්තකින් ඔබ ශූර ව්‍යාපාරිකයෙක්. කලකට පෙර ඔබ චිත්‍රපට නිෂ්පාදනය කළේ වාණිජ පරමාර්ථත් එක්ක? ඔව් . . . මම කැමැති නෑ මම කරන කිසිම ව්‍යාපාරයකින් පාඩු ලබන්න. සිනමාවට තියෙන ආදරය වගේම එයින් ලැබෙන ලාභය ගැනත් මම හුඟක් හිතුවා.ඉතින් ඒකයි මම සම්මාන බලාගෙන කවදාවත් කලාත්මක චිත්‍රපට නොකළේ. නමුත් ලංකාවේ ජනප්‍රියම සහ වැඩිම ආදායම් ඉපයූ චිත්‍රපට හැටියට ‘නොම්මර 17’ සහ ‘සූරවීර චණ්ඩියෝ’ සරසවිය සම්මාන දිනා ගත්තා. ජනාධිපති සම්මානය හිමි කර ගත්තා. ඒ කියන්නේ ජනතා සම්මාන මට හම්බ වුණා. ඇයි ඔබ කලාත්මක සිනමාවට කැමැත්තක් නැද්ද? කලාත්මක සිනමාවට මම කැමැතියි. උදයකාන්ත වර්ණසූරියගේ, සෝමරත්න දිසානායකගේ හැම චිත්‍රපටයක්ම මම බලලා තියෙනවා. ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩිගේ හැම චිත්‍රපටයකටම මම කැමැතියි. ඒවා මම අගය කරනවා. මොකද මම හැම වෙලාවෙම කියන්නේ මට එකත් සිනමාව, දෙකත් සිනමාව, තුනත් සිනමාව. සිනමාව කියන්නේ මගේ ඇඟේ තියෙන දේ. හැම දවසකම චිත්‍රපටයක් බලලයි මම නින්දට යන්නේ. කලාත්මක චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට ඔබේ බලාපොරොත්තුවක් නැතිද? සමහර විට. මොකද හැමෝම හිතන්නේ මම කරන්නේ බයයිස්කෝප් කියලානේ. ඉතින් ඇත්ත, මම පිළිගන්නවා ඒක. මගේ සිනමාව වෙනයි. හැබැයි එකක් කියන්න ඕනෑ. මම චිත්‍රපට හදන්නේ කොළඹ හතේ ඉන්න අයට නෙවෙයි. මම කොළඹ හතේ හිටියට. මම චිත්‍රපට කරන්නේ අන්නාසිකාරයට, කඩලකාරයට, අයිස්ක්‍රීම්කාරයට, ත්‍රීරෝද රියදුරාට. ඒ අය තමයි චිත්‍රපට බලන්න යන්නේ. ඉතින් ඒක වෙන්න ඕනෑ මගේ චිත්‍රපට දුවන්නේ. ඔබේ මීළග චිත්‍රපටයත් එබඳු සරල, විනෝදාත්මක ආරේ චිත්‍රපටයක්ද? ඔව්. ඒකේ නම ‘එදත් දිනුම්, අදත් දිනුම්’. ඔන්න මම පළමු වතාවට ‘සරසවිය’ පත්තරේට කියන්නේ. ඒකෙ තිර රචනයත් මේ වෙන කොට සම්පූර්ණයෙන්ම ලියලයි තියෙන්නේ. අධ්‍යක්ෂණයත් මගේමයි. එතැනින් පස්සේ සමහර විට ඉදිරියේදී මම වාණිජ පර්මාර්ථ ගැන හිතන්නේ නැතිව කලාත්මක චිත්‍රපටයක් කරාවි. ඒකත් මමම ලියලා, මමම හදලා පෙන්වනවා. ඇත්තටම අපේ සමහර කලාත්මක චිත්‍රපට ජාත්‍යන්තර මට්ටමට තියෙන්න පුළුවන් ඒවා. ඒත් ලංකාවේ දුවන්නේ නෑ. මම හිතන්නේ රජයේ වගකිව යුතුª නිලධාරීන් දැනගන්න ඕනෑ ඒවා විදේශ වෙළෙඳ පොළට විකුණන්න. දැන් ඒ වගේම කියන්න ඕනෑ වාණිජ චිත්‍රපට හදන සුනිල් ටී. ප්‍රනාන්දු වගේ අය නිසා තමයි සිනමා ශාලාවල පැවැත්ම තියෙන්නේ. ඒ නිසා කිසිම චිත්‍රපටයකට මම අගෞරව කරන්නේ නැහැ. අද ඔය මොනවා කිව්වත් ඔබ හැදුවේ ‘කසිකබල්’ චිත්‍රපටනේ කියා කිසිවකු චෝදනා කළොත්? අනිවාර්යයෙන්ම ඒක ඇත්ත. මම කිව්වනේ මම කරලා තියෙන්නේ බයිස්කෝප්. නමුත් මේකයි වැඩේ. විශාල පිරිසක් ඒවා වැළඳ ගත්තා. ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා ලිංගික චිත්‍රපට නෙවෙයි මම නිෂ්පාදනය කළේ. මම කළේ වාණිජ චිත්‍රපට. පැය දෙකක් දෙක හමාරක් තිස්සේ මිනිස්සු සිනමා ශාලාවක ගත කරන්නේ ඔළුව අවුල් කරගන්න නෙවෙයි. ඒ අයට උපරිම වින්දනයක් ලබාදෙන්න ඕනෑ. ඒක තමයි බයිස්කෝප් කියන්නේ. අපි ඕක සිංහල සිනමාව ගැන විතරක් කතා කරනවා. ඉතින් එහෙම නම් ‘ජුරාසික් පාර්ක්’ කියලා චිත්‍රපටයක් හැදෙන්න පුළුවන් ද? ඒවා හොඳට දිව්වා. හින්දි සිනමාව බලන්න. කොයි තරම් සිහින ලෝකවලට අපිව ගෙනියනවද? ඒවා සැබෑ ලෝකයේ වෙන්නේ නෑනේ. බයිස්කෝප් කියන්නේ ඒකයි. ඇත්තම කිව්වොත් මම හදපු චිත්‍රපට බලලා මගේ නෝනාවත් සතුටු වෙන්නේ නෑ. මගේ දුවයි, පුතයි වුණත් සමහර විට සතුටු වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබ සතුටු වෙනවා? මම සතුටු වෙනවා. මම සහ මගේ චිත්‍රපට නැරඹූ සාමාන්‍ය ජනතාව විශාල පිරිසක්. මම කොහොමත් අසංක සාමාන්‍ය ජනතාව එක්ක ගැවසෙන්න කැමැතියිනේ. එතකොට ඔබ ඔබේ සතුටට මුල් තැන දීලා කටයුතු කරන පුද්ගලයෙක්? මගේම සතුට විතරක් නෙවෙයි, අනෙක් අය සතුටු නොවුණා නම් ඒ අය ඇවිත් මගේ සිනමාව නරඹන්නේ නෑනේ. මාව ආදරයෙන් වැලඳ ගන්නේ නෑ. මම සමහරදාට රෑට යනවා ගෝල්ෆේස් එකට. වාහනේ පැත්තකින් නවත්තලා මම තනියම ඇවිදිනවා. මම කතා කරනවා කඩලකාරයත් එක්ක. අන්නාසිකාරයත් එක්ක. ඒ වගේම තමයි මම අවුරුද්දට සැරයක් වැලිකඩ හිර ගෙදරට යනවා පර්මිෂන් අරගෙන. ඒ අයත් එක්ක කතාබහ කරනවා. ඒ අත්දැකීම් එක්ක තමයි මම චිත්‍රපට හැදුවේ. ඒවා මේ තරම් ජනතාව අතරට ගියෙත් ඒ නිසයි.
|