වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිතුරන් තිදෙනෙක්. ඉරණම් චාරිකාවක් විශිෂ්ට චිත්‍රපටයක් තණ්හා රතී රඟා

සුමිතුරන් තිදෙනෙක්. ඉරණම් චාරිකාවක් විශිෂ්ට චිත්‍රපටයක් තණ්හා රතී රඟා

සමග නිලේන්ද්‍ර දේශප්‍රිය
නීටා - ස්වර්ණා - අනෝජා මුල්වරට එකට

තණ්හා රතී රඟා නමින් චිත්‍රපටයක් තනා ඇති බවත් එය නරඹන්න එන්නැයි මට කවුදෝ දුරකතනයකින් ආරාධනා කළා.බොහොම සුකුමාල කටහඬක්.ඇය ඉංග්‍රිසියෙන්ම තමන් ගැන හඳුන්වාදෙමින් ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන බව පැවසුවා. ඒ වගේම ඇය චිත්‍රපටය පිළිබඳ හඳුන්වාදෙමින් එහි රඟපාන නළු නිළියන් ගැන වර්ණනාවක යෙදුන ගමන් එය නරඹන්නට මට ආරාධනා කළා.එහෙත් චිත්‍රපට නැරඹීමේ දී මට වටින්නේ නළු නිළියන්ට වඩා අධ්‍යක්ෂගේ පැටිකිරිය බැව් මම ඇයට එක හෙලා පැවසුවා. ඒ එහි රඟපාන නළු නිළියන් කෙරෙහි අහිතකින් නොවේ. චිත්‍රපටය යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍ය බැවින්.ඒ ගැන උත්තර නොදුන් ඇය චිත්‍රපටය නරඹන්න යළිත් ආරාධනා කළා.

2009 මැයි 19 වැනි දින ප්‍රභාකරන් මරා දමමින් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කරපු දවස.එදා මෙරට සාමය අගය කරන බොහෝ දෙනා සතුටින් ඉපිලි ගිය දවසක්. මේ චිත්‍රපටය ඇරඹෙනුයේ ඒ දවසින්. චිත්‍රපටයේ නම තණ්හා,රතී,රඟා.නම කියනවිට හිතුණේ තවත් එක් ඵෙතිහාසික කතාවක් කියලයි.නැත්නම් බණ කතාවක් කියලයි.චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මා මිත්‍ර නිලේන්ද්‍ර දේශප්‍රිය.

චිත්‍රපටය ඇරඹෙනුයේ මුලින්ම දෙරණ නාලිකාව මගින් ප්‍රභාකරන් මරා දැමුණු වග ප්‍රචාරය කර හරින දර්ශන මාලාවකින්.එයින් පසු අප දකිනුයේ එය සමරන කොළඔ වැසියන්.කොහොම උනත් නිලේන්ද්‍ර චිත්‍රපටය ආරම්භ කරන්නේ එතැනින් වුවත් මා මේ ලිපිය ආරම්භ කරනුයේ තවත් එහා දවසකට ගිහින්.ඒ දවස එයට වසර පහලොවකට විතර ඉස්සර. හරියටම දිනය මතක නැතත් ඒ 1989 විතර.

නිලේන්ද්‍ර දේශප්‍රියත් මාත් මුණ ගැසුන මුල් දවස්.මාත් සරසවියට එක්වුණ එක්වුණ මුල් දවස්. ඒ දවස්වල එවකට අප වගේ ඉලන්දාරින් ඇවිදින්නේ බයෙන්.කොයි වේලේ අන්තරස්දාන වෙයිද දන්නේ නැති නිසා.එහෙත් ඒ වගක් ගණනකට නොගත් අපි ඒ දවස්වල කොළඹ තානාපති කාර්යාල වල තිබුණ චිත්‍රපට දර්ශන නරඹන්නට ඇබ්බැහි වෙලා හිටියා.නිලේන්ද්‍ර ඒ වනවිටත් සහාය අධ්‍යක්ෂවරයෙක් හැටියට නමක් දිනා ගෙනයි සිටියේ. ඒ දවස්වලත් එක රෑණේ කුරුල්ලෝ එකට එක් වෙනවා වගේ අප ඔක්කොම නිතරම එකට එක් වෙනවා. අපේ කතා බහ වැඩිපුරම යොමු වන්නේ අලුත් චිත්‍රපට ගැන.අද වගේ අන්තර්ජාලය නැති ඒ දවස්වල මේ කතාබහ අපේ දැනුම හුවමාරුවට හොඳ අවස්ථාවක්.නිලේන්ද්‍ර චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වන්නෙත් ඒ දවස්වල. ඉතින් මාත් එබඳු සිහිනයක ඇලි ගැලී ඉඳීමින් සරසවිය පත්තරයට සම්බන්ධ වනවා. ඔන්න ඔය දවස්වල තමයි ආසියාවේ මහත් ආන්දෝලනයකට ලක් වුණ පිරවි චිත්‍රපටය මෙරට සිනමා උළෙලක තිර ගත වනුයේ.

පිරවි නරඹන පිරිස සමහරු මේවගේ චිත්‍රපට අපේ රටේ හදන්න බැරි ඇයි දැයි ලිව්වා මට මතකයි. අපේ රටේ මොනවද? ඉන්දියාවෙත් පිරවි හැදුණෙ එක් වතාවයි කියලා අප තර්ක කළා.දරුවකු අතුරුදහන් වූ පසු ඔහු එනු ඇතැයි බලා සිටින තාත්තා කෙනෙකු ගැන කියන මේ චිත්‍රපටය ඒ කාලයේ තිබුණ සිද්ධි එක්ක වඩා හොඳීන් පෑහුණා විය යුතුයි.කොහොම උනත් ඉන් මාස ගණනාවකට පස්සේ නිලේ රැවුල වවා ගත්ත හාදයෙක් එක්ක අපේ ගෙදරට ගොඩ වෙනවා. "මේ තමයි මචං සනී ජෝශප්" නිලේ මට ආගන්තුකයා හඳුන්වා දෙනවා.මගේ ඇස් උඩ යනවා. සනි පිරවි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා.

ඒ දවස්වල නිලේන්ද්‍ර ගේ අධ්‍යක්ෂණයෙන් සනී ගේ කැමරාකරණයෙන් චිත්‍රපටයක් තනන්නට සැරසෙනවා.එහෙත් මොකක්දෝ අවාසනාවකට ඒ චිත්‍රපටය පටන් ගත්තු තැනම නතර වුණා.ඒ දවස්වලත් නිලේන්ද්‍රට චිත්‍රපටයක පරිපූර්ණත්වය පිළිබඳ තිබුණේ ලොකු උනන්දුවක්.මට මතකයි.වතාවක් කොල්ලුපිටියේ සසකාවා මධ්‍යස්ථානයේ දී ජපාන චිත්‍රපටයක් නරඹන්නට ගිය අවස්ථාවක ගොඩනැගිල්ලේ තිබුණ සුළං කවුළු අතරින් මුහුදු සුළඟක හඬ ඇහෙන විදිය මට කන තියා අත් විඳීන්නට නිලේන්ද්‍ර සැලැස්වුවා. ඉහලින් තියෙන වා කවුළු වල සුළං හඬට වඩා පහල වා කවුළුවකින් එන සුළං හඬ වෙනස් කියලා මා ඉගෙන ගත්තේ එදා.

මා දන්නා තරමින් නිලේන්ද්‍ර මුල් වරට චිත්‍රපටයක් තනන්නට සැරසෙනුයේ අවුරුදු 14 දී විතර.එහි නම සැබෑවුණ කතාවක්.එහි තිරනාටකය ඒ දවස්වල චිත්‍රපට සංස්ථාවේ තිබුණ තිර නාටක බැංකුව මගින් අනුමත කළා. ඒ දවස්වල චිත්‍රපටයක් හදන්න දළ සේයා පට ලබා ගන්න එහි අනුමැතිය ලබා ගත යුතුව තිබුණා.පස්සේ චිත්‍රපටය හදන්න එයට වැය වෙන මුදල් කොච්චරදැයි බජට් ෂීට් එකක් නැත්නම් අයවැය වාර්තාවක් හදා දුන්නේ අසල්වැසි ගිවන්ත අර්ථසාද්.ගිවන්ත නිලේගේ අසල්වැසි සිනමාකරුවෙක්.ඔහු ඒ දවස්වල දුටුගැමුණු චිත්‍රපටය තනන්න ගජරාමෙට කාටුන් අඳීනවාලු.ඒ දවස්වල ගිවන්ත හදපු නිලේගේ බජට් එක රුපියල් විසි දහසක්. නිලේන්ද්‍රගේ පාසල් යන දවස්වල.හදන්න ගිය මුල්ම චිත්‍රපටයේ කැමරාව මෙහෙය වන්නට එක් වනුයේ දිනේෂ් ප්‍රියසාද්.හැබැයි චිත්‍රපටය සැබැ නොවුණ කතාවක් වුනා. කොටින්ම චිත්‍රපටය හැදුණේ නැහැ.ඒ වගේම නිලේන්ද්‍රගේ ගමේ සිටි අනිත් මිත්‍රයාවුණේ සුනිල් ටී.ප්‍රනාන්දු.සුනිල් ගේ තාත්තා ඒ වනවිටත් චිත්‍රපට නිෂ්පාදකයෙක්.

ඒ වනවිටත් නිලේගේ පැවැති චිත්‍රපට උනන්දුව නිසාම සුනිල් සහ ඔහුගේ පියා ඒ දවස්වලත් නිලේන්ද්‍ර ගේ අධ්‍යක්ෂනයෙන් චිත්‍රපට නිපදවන්නට ගියත් එයත් පළ දැරුවේ නැහැ. කොහොම හරි සුනිල් ටී, දිනේෂ් වගේ අසල්වැසි ගැටවරයන් සිනමාවට අත ගැසුවත් නිලේ ට ඉක්මනින් චිත්‍රපටයක් කරන්න ලැබෙන්නේ නැහැ.නිලේන්ද්‍ර ගමන් ගත්තේ වෙනම පාරක. පාසැලේ අවසන් දවස වනවිට නිලේන්ද්‍රට අලුත් ආරාධනාවක් ලැබුණා.ඒ තමයි චිත්‍රපටයක සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස දායක ව කටයුතු කරන්නට. ඒ අවස්ථාවේ නිලේන්ද්‍රට තිබුණේ එක ගැටළුවයි. තව දුරටත් පැසැල් යනවද? නැත්නම් ලැබුණු චාන්ස් එක හරහා චිත්‍රපට කෙෂත්‍රයට දායක වනවාද යන්නයි. නිලේ අලුත් වාසනාව උරගා බලන්නට තීරණය කළා. චිත්‍රපටය තිලක් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ රැජන චිත්‍රපටයයි.මේ චිත්‍රපටයේ එන ලා නීල සේයා යනුවෙන් ඇරඹෙන එක් ගියක් රචනා කර තිබුනේ අරුණ ගුණරත්න.එහෙම නමක් චිත්‍රපටයේ නාමාවලියෙ තිබුණා. රැජන තිර ගත වුණේ මා පාසල් යන අවදියේයි.

චිත්‍රපටය නරඹපු මගේ යාළුවෝ මට සුභ පතන්නත් ගීතය ගැන විමසන්නත් පටන් ගත්තා.අහම්බෙන් හරි තමන්ගේ පංතියේ ඉඳගෙන චිත්‍රපට ගැන සිහින මවන එකා චිත්‍රපට ගීත රචකයෙක් විම ගැනයි ඔවුන් අවංකව සතුටු වුණේ.හැබැයි වාසනාවට ඒ අරුණ ගුණරත්න මම නොවේ.වෙන කෙනෙක්.පස්සෙන් පසු මාත් චිත්‍රපටයකට ගීතයක් ලිව්වත් දැන් නම් උත්සාහ කරන්නේත් නැහැ. හේතුව මට සිංදු ලියන්න බැරි බව මම අවබෝධ කර ගත් නිසා.හැබැයි නිලේන්ද්‍රත් මාත් හමුවෙලා ටික දවසක් යනතුරුම තුරුම නිලේ සිතා ඉඳලා තියන්නේ අර සිංදුව ලිව්වේ මාය කියලා.දැන් නම් නිලේන්ද්‍ර එහෙම වැරදි අවබෝධයක නැහැ.කොහොම උනත් නිලේ රැජන චිත්‍රපටයේ සිට වසන්ත ඔබේසේකර,ගාමිණී ෆොන්සේකා,ඩී.බී.නිහාල්සිංහ, විජය ධර්ම ශ්‍රී,ප්‍රසන්න විතානගේ,ජැක්සන් ඇන්තනි, වැනි සිනමා කරුවන් රැසකගේ චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂණයේ නියැලුණා.

එක් කාලයක මෙරට සිටි කාර්ය බහුලම සහ වැඩිම ඉල්ලුමක් ඇති සහාය අධ්‍යක්ෂවරයා වුයේ නිලේන්ද්‍ර.චිත්‍රපට මෙන්ම ටෙලිවිෂන මාධ්‍යයේ නම් දැරූ නිලේ චිත්‍රපට රැසකම ප්‍රචාරක ව්‍යාපෘතිත් බාර ගත් අවස්ථා තිබුණා.හැබැයි ගාමිණී ෆොන්සේකා සමග අන්තිම රැය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාට පස්සේ නිලේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂණයෙන් සමු ගෙන ටෙලිවිෂණ කේෂත්‍රයේ මහා පුටුවකට එනවා. ඒ සිරස ටීවී ආයතනයට. මෙරට ටෙලිවිෂන ඉතිහාසයේ මුල් වරට පාරක තොටක මිනිසෙක් නැති දවසක් ගොඩ නැගුවා නම්,ඒ සිරස සුපර් ස්ටාර් දෙවැනි වටය අවසන් මහ තරගය විකාශය වූ දවසයි.එදා මුළු රටේම පාරවල් පාළු වුණා.හරියට ඇඳීරි නිතිය දැම්මා වගේ.එහි පිටුපස හිටපු දැවැන්ත හස්තය නිලේන්ද්‍ර දේශප්‍රිය.කොහොම උනත් නැවතත් වතාවක් නිලේ ගේ සිනමා සිහිනය ඉස්මතු වනවා.

පහල යනවා.ඒ එක්කම නිලේ සිරස අතහැර දෙරණට යනවා.තව ටික කාලයක් ගත වනවා. නිලේන්ද්‍ර දේශප්‍රිය චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට යන බව පුවත්පත් වල පලවනවා.හැබැයි වැඩි සද්දයක් බද්දයක් නැහැ. කොහොම උනත් නිලේ ගේ ගමේ මිතුරා,මුලින්ම නිලේට චිත්‍රපට නිපදවමු කියන තැනැත්තා සුනිල් ටී. චිත්‍රපටයේ නිෂ්පාදනයට එක් වනවා. ඔහුත් එක්ක බර පැන ට සම්මාදම් වන අනෙක් තැනැත්තා එච්.ඩී.ප්‍රේමසිරි. නම් සම්මානනීය නිෂ්පාදකවරයා.

මේ අතීතාවර්ජනය කෙළවර ආයෙමත් තණ්හා රතී රඟා ගැන කතාව පටන් ගනිමු.මේ කතාවේ තිර රචනය හැටියට නාමාවලියේ සම්බන්ධ වනුයේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලයි.

"මේ දෙන්නා ලියපු තිරනාටකය කිහිප දෙනෙක් ගේ අතට ගිහින් මා වෙතට එනවා.මට පේනවා මේ ඇතුලේ හොඳ චිත්‍රපටයකට දේවල් තියෙනවා. ඒ පාර නැවත තිරනාටකය ලියන්නට පටන් ගත්තා.ඒ අනුව එහි යම් යම් දේ වෙනස් වෙනවා.මම දැනගෙන හිටියා.මම විශාල අවදානමක් ගන්නවා කියලා.මට අවශ්‍ය වෙලා තිබුණා ඒ වෙලේම සැලසුම් නැති ආකාරයේ රූප භාවිතයක යෙදෙන්න.“

මේ චිත්‍රපටය ගොඩ නගන ශෛලිය අමුතුයි. හැබැයි ශෛලින් වෙනස් කරන අපේ චිත්‍රපට බහුතරයක් පහසුවෙන් දිරවන්නේ නැහැ.එයට හේතුව සම්මතය කඩන්න වෙර දරන සිනමාකරුවන් බහුතරයක් චිත්‍රපට ගැන නොදැනීම.එහෙත් තණ්හා රතී රඟා එහෙම නොදිරවන චිත්‍රපටයක් නොවේ.විවිධ අය විවිධ ආකාරයට චිත්‍රපටය තේරුම් ගන්න පටන් ගන්නවා. බලන් ඉන්න විට සමහර දර්ශණ එහෙම සැළසුම් කළ වගක් පේන්නේ නැහැ.

කැමරාව නිදැල්ලේ භාවිතා වනවා.චිත්‍රපටයේ කතාවත් එහෙමයි. මිතුරන් තිදෙනෙක් යුද්ධය නිමාවීමත් සමග උතුරු පලාතේ සවාරියක් යනවා.එය අහම්බෙන් සැලසුම් කළ දෙයක්.එහෙත් ඔවුන් නොසිතූ වෙලාවක නොසිතූ ඉරණමකට මුහුණ දෙනවා.හරියට ජීවිතය වගෙයි. සැලසුම් කළ ජිවිතයකට වඩා බොහෝ විට මිනිසුන් ට සිදුවනුයේ අහම්බයන් බාර ගන්න. සමහරුන්ට එය වාසියටත් සමහරුන්ට අවාසියටත් හේතු වන්නේ මේ අහඹු සිදුවීම්.ඒ වෙපාවට අප නම් කරන්නේ ඒක අපේ ලැබීම කියලා හිත හදාගන්න එක.හැබැයි ඉතින් සමහරවිට එක පඹගාලකින් තව පඹගාලකට යන එක වලක්වන්න බැහැ.ඔය සිදුවීම් චිත්‍රපටයේ එමටයි.

'කොහොමද බං ප්ලෑන් නොකර ෆිල්ම් කරන්නේ. මේ හැම රූපයක්ම සැලසුමක්. හැබැයි සාමාන්‍යයෙන් කරනවා වගේ සමීප රූපයෙන් මධ්‍යම රූපය ට යනවා වගේ සැලසුමක් ඇතිව කළා නොවෙයි .රූපයේ සාර්ථකත්වයට මම හැම දෙයක්ම කළා.චිත්‍රපටය තනන්න පෙර මම එහි හැඩය ගැන ගොඩක් හිතුවා.හේතුව මේ චිත්‍රපටයට එම හැඩ තළ අත්‍යවශය බව මට වැටහුණ නිසා“.

නිලේන්ද්‍ර පවසනවා. සැලසුමක් නැතුව චිත්‍රපට කරන්න බැහැ.සාමාන්‍යයෙන් නිලේන්ද්‍ර යනු චිත්‍රපට දර්ශණ තලයේ දී දක්ෂ විධායකයෙක්. කොටින්ම ඔහු සැලසුම් සකස් කළ පසු සිනමාකරුවකුට කිබෙන්නේ තමන්ගේ පාඩුවේ නිර්මාණය සම්පුර්ණ කරන්නට විතරයි.බොහොමයක් සහාය අධ්‍යක්ෂවරු පසුව චිත්‍රපට අධ්‍යක්ෂණයේ දි අසාර්ථක වනවාලු.එයට හේතුව නිර්මාණශීලි මිනිසා බිඳ දමමින් යාන්ත්‍රික සහාය අධ්‍යක්ෂවරයෙක් ගොඩ නැගිම.කොහොම උනත් නිලේ වැනි නිර්මාණ ශීලි මිනිසකු තමන්ගේ පාඩුවේ වසර ගණනාවක් සහාය අධ්‍යක්ෂණයේ යෙදුණේ කොහොමද? මට එහෙම හිතුනේ ඔහු තැනූ චිත්‍රපටය දකිද්දී.නිර්මාණශීලි මිනිසුන්ට එවැනි තැන්වල කට පියාගෙන ඉන්නට නොහැකි නිසා.

‘ඒක කිසිසේත් අදාල වන්නේ නැහැ.මා වැඩ කළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ හැම එකකදීම මගේ ඉර පැන්නේ නැහැ. ඒ සීමාව මා දැන සිටියා.ඒ නිසාම මේ චිත්‍රපටය රූප ගත ආකාරය සැලසුම් කළේ සාමාන්‍යයෙන් අපේ චිත්‍රපටයක් රූප ගත කරන විලාසයෙන් නොවේ.මගේ වෘත්තිය පසුබිම චිත්‍රපට සහාය අධ්‍යක්ෂණය,ඊට පස්සේ ටෙලිවිෂන්.ඒ හරහා රියැලිටි ටෙලිවිෂන් විභවය හඳුන්වා දෙන්න මට හැකි වෙනවා.මේ මාධ්‍යයන් දෙකම සැලසුම්කරණය නිසි පරිදි ඉල්ලා සිටින වෘත්තින් සහ මාධ්‍යයන්.මම අවුරුදු ගණනාවක් පුරා අනිත් අධ්‍යක්ෂවරුන්ට චිත්‍රපට තනන්නට සහාය වුනත් මේ චිත්‍රපටයේ දී මා මෙතෙක් අධ්‍යක්ෂවරුන් සමග කරපු දේවල් හිතා මතාම නොකර සිටියා.කොටින්ම මේ චිත්‍රපටයට මා භාවිතා කරන්නේ එයටම අනන්‍ය රූප රාමු පෙළක්.සම්ප්‍රදායික රූප රාමු භාවිතයේ දි වගේ ඊළඟ රූපය ගන්නේ කොහොම ද කියන එක මට ගැටලුවක් වුණේ නැහැ.“

නිලේ සිය චිත්‍රපටය මෙහෙයවා තිබු සියුම් ආකාරය සිනමාකරුවෙක්ගේ අනන්‍යතාවය කුමක්ද කියන කාරණය මනාව පැහැදිලි කරන්නක් හැටියටයි මම දැක්කේ.

‘තිර පිටපතට නැවතත් අර්ථ කථනයක් දෙන්නයි මා උත්සාහ කළේ.ඒ ගැන මා විශාල අවධානයක් දුන්නා.ඒ හින්දා තමයි ජිවිතයේ ඇති අහඹු සිදුවිමි ඒ ශෛලිය මගේ චිත්‍රපටය ඇතුලේ දැක්කේ.“

සිනමාකරුවකුගේ චිත්‍රපටයක් තිර ගත වන්නට පෙර එයට ප්‍රශස්තියක් ලියන්නට යෑම අනුවණ ක්‍රියාවක් බැව් ඇත්තය.එහෙත් තණ්හා රතී රඟා චිත්‍රපටය දකින විට ඒ කොන්දේසිය හැර දමා මේ චිත්‍රපටය පිලිබඳ ලියන්නට මා කැමතියි.එහි චිත්‍රපටයක ගති ලක්ෂන මා දුටු බැවින්.චලෙයි පෙදෙසේ කර්කශ දූවිල්ලත් කොළඹ ගිනි ගහන අව්වත් අතර වෙන මෙන්ම ජිවිතයේ අහඹු සිදුවීම් මුළු ජීවිතයක්ම වෙනස් කරන අන්දමත් නිලේ චිත්‍රපටය හරහා අපට කියා දෙන්නේ විටෙක අපටම සහාසික ලෙස සිනාසෙන්නට බල කරමින්.

‘මගේ චිත්‍රපටය ගැන මගෙන් අහන්න එපා.මම චිත්‍රපටය නිදහසේ සිතන්න පුළුවන් අන්දමට සැළසුම් කළා.මේ සැලසුම් කළ චිත්‍රපටය තමයි මචං උඹ දැක්කේ.මට වුවමනාවුනේ කතාවක් කියන්න.මම කොහොමද ඒක කියන්නේ.ඒක කියවන්න උඹ වෙහෙසෙන්න වුවමනා නැහැ.මේ චිත්‍රපටය ඇතුළෙන් උඹේ කතාවක් කියවුනා නම් ඒ හරි.ඒක ඇතුලේ තමන් ඒ කිව්වේ අපි කවුරු කවුරුත් දැක්කා නම් ඒ හරි‘

නිලේන්ද්‍ර පැවසුවා. ඒ මගේ කතාව දැයි මා දන්නේ නැහැ. හැබැයි මේ හැම තැනකම ඔබත් මමත් අපත් කොටස් කරුවන් බවට පත්කර ගන්නට නිලේ සමත් වෙනවා.විමුක්ති ජයසුන්දර අපේ සම්මානනීය සිනමා කරුවා තණ්හා රතී රඟා නරඹා නිලේන්ද්‍ර ට පැවසුවේ මෙහෙම කාරණයක්. චිත්‍රපට මිලියනයක්වත් නොබලපු කෙනෙකුට විනා මේ වගේ චිත්‍රපටයක් කරන්න බැහැ.

කතාව ඇත්ත.චිත්‍රපට නැරඹීම තමා හොඳම සිනමා පාසල.

බොහෝ සිනමාකරුවන් ඔවුන්ගේ විශිෂ්ට චිත්‍ර ගෙටන එන්නේ ඔවුන්ගේ හිරිමල් තාරුණ්‍යයත් එක්ක.එහෙත් නිලේන්ද්‍ර චිත්‍රපටය තනන්නේ එයින් පසුව.ගැටවර විය පසුකොට චිත්‍රපට කරන්නට එන සිනමාකරුවන් අතර නිලේන්ද්‍ර එක්කෙනෙක්.වයසින් මුහුකුරා යෑම සිනමාකරුවකුට බල නොපාන කරුණක්ද?.

‘මම හිතන්නේ නැහැ.දැන් මගේ එකම අවධානය චිත්‍රපට කරන්න.ඒ දවස්වල හදන්න ගිහින් නතර කළ චිත්‍රපටය බඩඥර ඤචදජඥ චතධදඥ ඊළඟට පටන් ගන්නවා.එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ස්වර්ණා මල්ලවාරච්චි.එයටත් පස්සේ පොදු පුරුෂයා පටන් ගන්නවා.

නිලේ සිය බලාපොරොත්තු කියා ගෙන යයි.මේ අනාගත චිත්‍රපට පිළිබඳ නිලේන්ද්‍ර කතා කරන්නේ බලාපොරොත්තු තබාගෙන.බැලූ බැල්මට තණ්හා රතී රඟා එක්ක අනිත් චිත්‍රපට කතාන්දර ඈඳුණ ගතියක් තියෙනවා.හැබැයි මේ පටන් ගන්නේ මුල වුනාට කතාව ගලා යන්නේ අතීතයට.

ආයෙමත් අපි සාමාන්‍ය පරිදි කතාවට වැටෙනවා.ඒ පාර තණ්හා රතී රඟා හැරුණු විට විවිධ දේවල් ගැන ලස්සන කතා වෙනවා.මෑත කාලයේ නරඹපු චිත්‍රපට ගැන.ඒ කාලයේ දැක්ක ලස්සන ගෑණු ළමයි ගැන.ත්‍රිමාණ තාක්ෂනය ගැන.7:1 ශබ්ද ක්‍රම ගැන.වෙනදා වගේම මේ කතාව කෙළවරක් නෑ.මාතෘකා කෙළවරක් නැහැ. එකපාරටම කතාව නතර වෙනවා.ලොකු සද්දයක් ඉවර වුනාම එකවර දරන්න බැරි නිහඬතාවයක් මතුකරනවා වගේ.වැස්සක් වැහැලා පෑව්වා වගේ කියන්නේ අන්න එහෙම.එහෙම දර්ශනයක් තණ්හා රතී රඟා චිත්‍රපටයේත් තිබුණා.නිහැඬියාව එකවර අදහස් දහසක් මතු කරනවා.එකවරම නිහැඩියාව බිඳුණා.

'ඇත්තටම උඹ මගේ ෆිල්ම් එක ගැන හිතන්නේ කොහොමද?

නිලේන්ද්‍ර අහනවා.

මම තනි වචනයෙන් උත්තර දෙන්න හිතනවා.නියමයි.,ඉතා හොඳයි,මාරයි,විශිෂ්ටයි.අනර්ඝයි.වචන ගොඩක් හිතට එනවා.පසුගිය කාලයේ අපේ තැනුණ චිත්‍රපට බහුතරයක් අතරින් එකක් දෙකක් ඇර මං අග වෙන තුරු බලා ඉඳලා නැහැ.හිටියොත් ඉඳලා තියෙන ඒවාත් හිටියේ ඉවසීමේ පුරුද්ද ඇති කර ගන්නට වගේ.හැබැයි මම කිසිම ගැටළුවක් නැතිව තණ්හා රතී රඟා නරඹනවා. ආරාධිත චිත්‍රපටයක් ඉවර වුනාම ටෙලිවිෂන මාධ්‍යය කට්ටිය ආරාධිතයන් වට කර ගන්නවා.මම පුරුද්දක් හැටියට ඒ වගේ වෙලාවක බැහැයි කියලා කෙලින්ම කියලා නැගිටිලා යනවා.හැබැයි නිලේන්ද්‍ර ඇහැව්වාම මම මෙහෙම කිව්වා .කාගේ වුනත් චිත්‍රපටයක් මූනිච්චාවට හොඳයි කියන සිරිතක් මට නැහැ. ඒ පුරුද්ද හින්දා සමහරු මාත් එක්ක තරහ වෙලා තියෙනවා.ඒ ගැන දන්නා නිසා සමහරු මගෙන් තමන්ගේ චිත්‍රපටය ගැන අහන්නේ නැහැ.ඒත් නිලේ අහනවා. මම මෙහෙම නිලේන්ද්‍ර ට උත්තර දුන්නා

පට්ට ෆිල්ම් එක බං.