|
අළු යට ගිනි පුපුරු වන් තුන්කොන් ආදරය
ගොළු,බිහිරි බර්ෆි තරුණයා මද වෙලාවකින් අසල තිබෙන ඔරලෝසු කණුවට නැඟලා එහි වෙලාව විනාඩි 15 න් ආපස්සට කරකවනවා. ඒ මීට මොහොතකට පෙර සිදු වූ තමාව විවාහ කර ගන්නැයි කළ ඉල්ලීම සිදු නොවූවක් බවට පත් කරන්නයි. මේ බුහුටි හැසිරීමට ඈ තරමක් සසල වෙනවා කියලා නොපෙන්වා ඉන්නයි හදන්නේ. ඒත් ආදරය හරි මායාකාරයි. ප්‍රේමයට අයිති නොයෙකුත් විජ්ජාවන් ගෙන් සෑම මොහොතක්ම පිරී ඉතිරී යනවා. මේ සෑම මොහොතක්ම තමන්ට ඕනෑ විදිහට නතර කර ගන්න තියෙන නිදහස ගැන බොහෝ දෙනෙක් දන්නෙ නෑ බර්ෆි මේ ගැන දන්නවා. . ඒත් ඔහුට කථා කරන්න බෑ. ඔහුට ඇහෙන්නෙ නෑ. ශ්‍රැති මේ දෙවර්ගයෙන්ම පොහොසත්. ඒත් ඈ එවන් විජ්ජාවන් ගැන දන්නෙ නෑ. ඩාජලින් නගරයට තියෙන්නෙ ඉන්දියාවට අයිති නැති තරම් වෙනත් රටක ලක්ෂණ පෙන්වන දේශගුණයක්. තමන්ගෙ උපතත් එක්ක මව අහිමි වෙන බර්ෆි ට උපතින් ලැබුණු නම මර්ෆි. ඒත් ඔහුට මේ නම ශබ්ද කරන්න බෑ. ඔහු තමන්ව හදුන්වා දෙන්නේ බර්ෆි කියලයි. ඔහුගේ පියා රියදුරෙක්. වඩාත් විස්තර ඇතිව කිව්වොත් ජිල්මිල්ගේ පියාගේ රියදුරා. ජිල්මිල් කියන්නේ ඔහුගේ කුඩා කල මිතුරියක්. ඈ ඔටිසම් රෝගයෙන් පීඩා විඳීන්නියක්. අවුල්,වියවුල්වලින් ගහණ පවුල් පරිසරයක වෙසෙන ජිල්මිල්ට මහත් ධනයක් ඉතිරි කරමින් ඇගේ සීයා මිය යනවා. මේ කියන්නේ 'බර්ෆි' සිනමාපටය ගැනයි. එහි අධ්‍යක්ෂවරයා අනුරාග් බාසු. අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ඉන්නවා. ඒ රොනී ස්ක්‍රෙවාලා සහ සිද්ධාර්ත් රෝයි කපූර්. බර්ෆි ලෙස අපූරු රංගනයක යෙදෙන්නේ රන්බීර් කපූර්. රන්බීර් කපූර් මෙහිදී සිනමාපටයටත් වඩා විශේෂයි. ඔහුගේ රංගනය හරිම නිරුත්සාහිකයි. මෑත කාලීනව නිපදවූ සුපිරි නළුවන් රඟපෑ සිනමාපට බොහොමයකින් නූපදවූ සංවේදනා ඇති කරන්න ඔහු සමත් වෙනවා.
යම් යම් තැන්වල ප්‍රකට
සිනමාපට බොහොමයක් රූපරාමු දකින්න තිබුණත් ඒ අනුකරණ ඉතා අපූරුවට කර තිබුණා. මෙවර
ඔස්කාර් සම්මාන උළෙල ජිල්මිල් ලෙස රඟන ප්‍රියංකා චොප්රා ගේ රඟපෑම අවධානය දිනා ගන්නා සුළුයි. ඈ සුරූපීකම වසාගෙන ඔටිසම් රෝගියකු ලෙස නරඹන්නාගේ ඇසට කිදා බහිනවා. සිනමාපටය පුරා දකින්න තියෙන හාස්‍ය දනවන දර්ශන සියල්ල යටින් දිවෙන මානුෂීය කතාන්දරය ලේසියෙන් අමතක කර දමන්න නොහැකියි. තක්කඩියකු ලෙස සලකන බර් ෆි තමාගේ ගොළු-බිහිරිබවින් විඳීන අධික පීඩාව,මව අමිහි වීමේ දැඩි සාංකාව ආදිය වසා ගන්නේ මේ දඩබ්බර කම්වලින්. ඔහු අවධානය දිනා ගනු පිණිස කරන සියලු දේ තක්කඩිකමේ ගිණුමට නිතර බැර වෙනවා. පියා ගේ ශල්‍යකර්මයට මුදල් වුවමණා විට ඔහු මිතුරෙක් සමඟ මිස්ටර් බීන් පන්නයේ බැංකු කොල්ල කෑමක් සිද්ධ කරනවා. සුපුරුදු හින්දි සිනමාපටවල ඉන්න සොරු අල්ලාගත නොහැකි විසුළුසහගත පොලිස් නිලධාරියා බර්ෆි පසුපස ලුහුබදිනවා. බර්ෆි පහසුවෙන් ඔහුගෙන් පලා යනවා. කුඩාවුන් කරන හොරා පොලිස් සෙල්ලම මෙන් වූ මේ ලුහුබැදීම හාස්‍යය මතු කළත් ඒ යටපත් කරගෙන මතුව එන අතත්‍ය බව ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරනවා. අන්තිම තුරුම්පුව ලෙස තම මිතුරිය වන ජිල්මිල්ව පැහැරගෙන යාමට තීරණය කරන බර්ෆි සහ මිතුරා ඒ සඳහා පත්තරවලින් කපා ගත් අකුරු සහිත කප්පම් ලිපියක් ජිල්මිල්ගේ නිවසට යවනවා. අවසානයේ වෙනත් පිරිසක් විසින් ජිල්මිල් පැහැරගෙන යනවා. නමුත් බර්ෆි ගේ විසුළු සහගත ක්‍රියා කලාපය නිසාම ඔහුට හැකි වෙනවා ජිල්මිල්ව පැහැර ගත් සොරුන්ගෙන් නැවත ජිල්මිල්ව පැහැර ගන්න. මේ සියල්ල අතර බර්ෆි ශ්‍රැති සමඟ අප්‍රකාශිත ප්‍රේමයකින් බැඳෙනවා. පිටතට නොපෙනෙන වීදුරු බිත්තියකින් වැසුණු මේ ප්‍රේම කතාව නරඹන්නා තුළ කම්පනයක් ඇති කරවනවා. එය නොවැළැක්විය හැකි තරම් ප්‍රබලයි.
මේ ලිපිය කියවන මව එය ආධාර පත්‍රයක් බව පියාට පවසන අතරම ශ්‍රැති ගේ අනාගත ස්වාමියා සමඟ ඈ කතාබහ කරමින් සිටිනවා බර්ෆි දැකීමත් සමඟ ඔහු තුළ තිබූ සුබ සිහින සියල්ලම බිම වැටෙනවා. තව දුරටත් ප්‍රකෘතියෙන් එයට මුහුණ දීමට බැරි වන බර්ෆි ගොළු බාසාවෙන් තමන්ගේ අඩු ලුහුඩුකම් ශ්‍රැතිට පවසා මහ වැස්සක තෙමෙමින් ඇගෙන් වෙන්ව යනවා. ඔහු ප්‍රකෘතියෙන් මිදී,තමා දිවි හිමියෙන් ආදරය කළ ශ්‍රැතීගෙන් ද මිදී ඈ හැර අනෙක් සියල්ල ඉතිරි ලෝකයක තනි වෙනවා. අසාර්ථක විවාහ ජීවිතයකින් දුක් විඳීන්නී ශ්‍රැති ය. ඇගේ විවාහයෙන් සදාකාලික පීඩාවට පත් වන්නා බර්ෆිය. මේ අතරමැද පාලම ජිල්මිල් තනන්නීය. ප්‍රේමයේ විජ්ජාකාර ගති එහෙමය. ඕනෑ විට ඔබෙන් උදුරා ගන්නා විජ්ජාවන් නුවමනා විට ඔබට ලබා දෙන අතර නිතර පසු තැවීමට ඔබ පොලඹවයි. ශ්‍රැති තැවෙන්නේ එවන් ශෝකයකිනි. බර්ෆි ඒ මොහොත ජීවත් වෙයි. පාරිභෝගික සමාජයේ ක්‍රියා කලාපය පිළිබඳ අනවබෝධයෙන් පසුවන ඒ දෙපොළ එකිනෙකා කෙරෙහි ආදරය උපදවා ගැනීමට සමත් වෙයි. එහෙත් සියල්ල ඇසෙන,කථා බහ කළ හැකි,සාමාන්‍ය ගැහැනියක වූ ශ්‍රැති එක් වැරැදි තීරණයක් හේතුවෙන් ජීවිතයේ එක් පටන් ගැන්මක වූ විවාහයෙන් පරදියි. ඇයට දෙවැනි තීරණය ගැනීමට තරම් දිරියක් ලැබෙන්නේ වැරැදි මොහොතකය. බර්ෆි දෙලොවක් අතර භ්‍රමණය කරවන මේ තුන්කොන් ආදරය යළි යළි ඇවිලෙමින් නිවි,නිවී යන්නක් මෙනි. අළු යට ගිනි පුපුරු ඇති ආදරයකට නැවතීමක් තිබිය හැකිද? එකම ප්‍රශ්නය එයයි. පිළිතුර සොයා ගැනීම ඔබ සතුය.
|