වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඉර හඳ තරු මැද පොකුරු ගැසීලා . . .

ඉර හඳ තරු මැද පොකුරු ගැසීලා . . .

71 වැනි උපන් දිනයදා

වික්ටර් රත්නායක

දරු මුණුබුරන් පිරිවරා අලුත් වැඩක

ඔහු හද ගැහෙනා රාවය ද මියුරු ගීතයකැයි මට සිතේ. වික්ටර් රත්නායකයන් හා සප්ත ස්වරය අතර ඇත්තේ එවන් වූ ආත්මීය බැඳීමකි. අඩසිය වසරක් පුරා ලාංකේය ගී කෙතට විශිෂ්ටතම මෙහෙවරක් ඉටු කළ මේ මහා ගාන්ධර්වයා එළැඹෙන 18 වැනි දින සිය දිවි මගේ සැත්තෑ එක් වැනි වියට පා තබයි.

එදින හේ සිය දරු, මුණුබුරන් හා එක්ව ‘ඉර – හඳ – තරු’ නමින් ගී ප්‍රසංගයක් පැවැත්වීමට සූදානමින් සිටනා වග දැන් කිසිවකුටත් රහසක් නොවේ.

මේ වික්ටර් ඒ පිළිබඳ අප සමඟ කළ සුවිශේෂී පිළිසඳරක වගතුගය . . .

මෙවැනි ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට ඔබ තීරණය කළේ අරමුණු කිහිපයක් මුල් කරගෙන. අපි එතනින් මේ කතාබහ අරඹමු?

ඇත්තෙන්ම අපේ රටේ ඒක පුද්ගල ගී ප්‍රසංග කලාව ආරම්භ කරපු මම එය සමාප්තියක් කරා ගෙන ගියානේ. නැවත ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වේදිකාගත කරන්න මම අදහස් කරන්නේ නැහැ කොහොමටත්. ඒ වුණත් අපට තව වැඩ කරන්නට පුළුවන්. ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව එකී කටයුතුවල මම තවම ක්‍රියාශීලීව නියැළී සිටිනවා. මේ ක්ෂේත්‍රයට මා පිවිසිලා දැන් වසර පනහක්. ඒ කාලය තුළ මා කළ නිර්මාණ ඊළඟ පරපුරට දායාද කිරීම මෙහි එක් අරමුණක්.

විශේෂයෙන්ම ඔබ වෙනත් ගායක, ගායිකාවන් උදෙසා බොහෝ මියුරු ගී නිර්මාණය කළ සංගීතවේදියෙක්?

මම මේ කියන දේ පුරාජේරුවක් නෙවෙයි කියලයි මම හිතන්නේ. ඒ නිසා මේ නම් පෙළ මතක් කළොත් හොඳයි. ආචාර්ය අමරදේව, මොහිදීන් බෙග්, ලතා වල්පොල, නන්දා මාලිනී, සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ජී. එස්. බී. රාණි පෙරේරා, ෆෙ‍්‍රඩී සිල්වා, එම්. එස්. ප්‍රනාන්දු, ඩෙස්මන්ඩ් සිල්වා, ශ්‍රීමතී තිලකරත්න, අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග, සෝමතිලක ජයමහ, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි ආදී ගායන ශිල්පීන් හා ශිල්පිනියන් වෙනුවෙන් මා ගී තනු රැසක් නිර්මාණය කර සංගීතවත් කර තිබෙනවා. ඒත් බොහෝ රසික පිරිස් දන්නේ නැහැ මේවා වික්ටර් රත්නායකගේ ගී නිර්මාණ කියලා. දැන් ෆෙ‍්‍රඩී සිල්වාගේ ‘මන්නාරම් පිටිවැල්ලේ’ ගීතය අහලා රස විඳිනවා හැර එහි සංගීත නිර්මාණය කාගෙද කියලා බොහෝ අය දන්නේ නැහැ. එහෙම හෙවිල්ලක්, බැලිල්ලක් නැහැ. සාමාන්‍ය සංගීත රසිකයාට එබඳු අවශ්‍යතාවයකුත් නැහැ.

ඔබේ දරු මුනුබුරන් හරහා මුළු මහත් ලාංකේය රසික ප්‍රජාව ඒ පිළිබඳ දැනුවත් කිරීමක් මේ ප්‍රසංගය හරහා සිදුවෙනවා?

හරියට හරි. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඔවුන්ටත් දරුවෝ ඉන්නවා. මේ පරම්පරා දෙකම දැනුවත් කිරීමක් වගේම ඒ හරහා මුළු ලංකාවටම මේ පණිවිඩය ලබා දෙනවා.

‘මගේ දරු මුනුබුරන් අතරින් මට පෙනෙන ලෝකය හරහා
ලොවේ දරුවනි මගේ ගීතය ඔබටමයි මියෙනා තුරා’

බන්දුල නානායක්කාරවසම් ලියූ මේ ගීයත් මම එදාට ගායනා කරනවා. මියැසි දායාදය කියලනේ මේකට කියන්නේ. මවිසින් අපේ ළමා පරපුරට මීට වසර ගණනාවකට ඉහත කළ ගී නිර්මාණත් රැසක් තියෙනවා. දැන් ඔය ‘ටක් ගානවා ටික් ගානවා’, ‘උප්පැන්න සහතිකේ’, ‘කුරුම්බැට්ටි මැෂිමේ’ වැනි ගීත මගේ මුණුබුරු මිණිබිරියෝ එදාට ඒ ගීත ගායනා කරනවා. ඔය පේෂලා මෙන්ඩිස් කියන ළමා ගායිකාවට වැඩිපුරම ගීත නිර්මාණය කළේ මම.

ඔබ වෙනත් ගායක, ගායිකාවන්ට නිර්මාණය කළ ජනප්‍රිය ගීතත් එදාට ගැයෙනවාද?

ඒවා මම ගයන්නේ නැහැ. නමුත් නන්දා මාලිනී, ලතා වල්පාල, එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි ඇතුළු ගායක, ගායිකාවන් එදා ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක් ඛණ්ඩ වශයෙන්, අපි අර කියන්නේ චේන් කියලා. ඒ විදිහට චේන් එකක් හදලා තියෙනවා. ඒවා එදාට මගේ දරු මුණුබුරන්, මිණිබිරියන් විසින් ගැයීමට නියමිතයි. මගේ ජනප්‍රිය ගීත හතකුත් එදාට ගයනවා. ගී හතකට සීමා කළා. නැතිනම් ඒක වික්ටර් රත්නායකගේ ගී ප්‍රසංගයක් වෙනවනේ. එක නෙවේනේ වෙන්න ඕනෑ. මේ ප්‍රසංගය ‘ඉර, හඳ, තරු’ කියා නම් කළේත් විශේෂ හේතුවක් ඇතිවයි. ‘ඉර’ කියන්නේ මම. ‘හඳ’ මගේ දරුවෝ. ‘තරු’ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ මගේ ආදරණීය මුණුබුරු, මිණිබිරියන්. මේ නම යෙදුණේ එහෙමයි.

ජනප්‍රිය පැරැණි හින්දි ගීතයකුත් එදාට ඔබ ගයනවා කියා දැනගන්න ලැබුණා?

ඇත්තෙන්ම මගේ නිර්මාණ දිවියට පදනම වැටුණේ හින්දුස්ථානි සංගීත සම්ප්‍රදාය හරහා. මුල් කාලයේ මම පැරැණි, ජනප්‍රිය හින්දි ගී නොමඳව ආශ්වාදනය කළා. එවැනි උත්තම ගණයේ නිර්මාණ හා බැඳිලා තමයි මේ ශිල්පීයත්වයට එන්න කලින් හිටියේ කියලා අපි පෙන්නන්න එපායැ. දැන් ඔය මොහමඩ් රාෆි ගැයූ ‘මේරි කහානි’ ගීතය මම හිතන්නේ අවුරුදු හතළිහ විතර පැනපු ශ්‍රාවකයකට නම් අලුත් ගීතයක් නෙවෙයිනේ. නමුත් මේ ගීතය අපි ගායනා කළේ අවුරුදු පනහකටත් එහා පැත්තේදී. අපි පාසල් යන අවධියේ ගායනා කළ හින්දි ගීතනේ.

‘මේරි කහානි’ තනුවට අනුව ගැයුණු සිංහල ගීතයකුත් තියෙනවානේ?

ඔව්. ඒ. ජේ. කරීම් ගායනා කර තිබෙනවා. ඒ ‘සාදු සිරිපා’ කියන ගීතය. නමුත් මේවායේ වින්දනාත්මක ගුණය සහ ඒ සංගීතමය පෝෂණය අද පරපුරට අප ගෙන හැර දැක්විය යුතුයි. මේ එකම හින්දි ගීතය මා ගයන්නේ එකී අරමුණ පෙරදැරිව. ඊට පොඩි පූර්විකාවක් සපයනවා ගායනයට කලින්. එතකොට මගේ ඔය මුණුබුරු, මිණිබිරියෝ ‘ඩොක්ර් ෂිවාගෝ’ චිත්‍රපටයේ ‘ලාරාස් තීම් මියුසික් ’ එක වාදනය කරනවා. කියන ගීතය ගායනා කරනවා. බටහිර සංගීතය පවා ඉතාම අර්ථපූර්ණ හා කර්ණරසායන ලෙස ඒ ගීතයට ගැබ් වී තිබෙනවා. ඒ පරපුරත් ඒවා විඳිනවා. එතකොට මගේ අර ජානමය ගුණය ඔවුන්ටත් ගිහින් තියෙනවා කියන දේ තමයි ඒකෙන් ගම්‍ය වන්නේ.

‘හින්දි ගීයක්’ ගැයීම ඔබේ ශිල්පීය පෞරුෂයට කිසියම් අන්දමක හානියක් යැයි කිසිවකු පැවසුවහොත්?

අද හින්දි චිත්‍රපටයක එදා වගේ මියුරු කර්ණරසායන ගීත නැහැ. දැන් ඔය සල්මන් ඛාන්ලා, ෂාරුක් ඛාන්ලා, අර ඛාන්ලා, මේ ඛාන්ලා රඟපාන ගීතමය ජවනිකා ජනප්‍රිය වෙන්නේ එයාලගේ නැටුම්, වැයුම්, කරණම්, පිණුම් නිසයි. බොහෝ විට ඒවායේ වින්දනාත්මක සංගීත නිර්මාණයන් නැහැ. එහෙම නෙවෙයි එදා හින්දුස්ථානි චිත්‍රපට පසුබිම් ගීතය තිබුණේ. පරිසමාප්ත ගී තනු නිර්මාණ හා සංගීතමය රචනානේ එදා තිබුණේ. මං ශිල්පියකු වන්නට පෙර සිටම ඒවායේ ඇසුර ලැබූ බව පෙන්වන්නයි මට මෙතනදී වුවමනා වන්නේ. ඇත්තෙන්ම කිව්වොත් මේවා ගුරු කොට තැකුවා අපි. දැන් ඔය නෞෂාඩ් ගේ චිත්‍රපට පසුබිම් සංගීත නිර්මාණයක් දෙස බැලුවාමත් එය කෙතරම් විශිෂ්ටද? ඒ සංගීත සංයෝජන ප්‍රවණතාත් එක්ක බලපුවාම විශේෂයෙන්ම සිනමා සංගීතයේදී අපට හැරෙන්නවත් බැහැනේ.

අපේ සිනමා සංගීතයේ ඔබ දකින එවන් සුවිශේෂී කඩයිමක් නැතිද?

පණ්ඩිත් අමරදේවයන් ‘සත් සමුදුර’ චිත්‍රපටයට ගැයු ‘සිනිඳු සුදුමුදු තලාවේ’ තරම් යහපත්, සිනමාරූපී නිර්මාණයක් අපේ පසුබිම් සංගීත නිර්මාණ ඉතිහාසයේ මෙතෙක් බිහි වී නැහැ. එය මම හැමදාමත් කටපුරා කියන දෙයක්. වෙනත් කිසිදු ශිල්පියකුට එදා සෝමදාස ඇල්විටිගල කළ දේ මුළු ජීවිත කාලයේදීම කරන්න බැරි වුණානේ. චිත්‍රපටයකට අවශ්‍ය සංගීතාත්මක ගුණය සහ ඒ බරසාර බව. ‘ගැඹුරු සත්සර පතුළ බිඳ’කියන කොටසට කලින් යෙදෙන අන්තර් සංගීත ඛණ්ඩය දෙස බලන්න. ඒ තමයි අපේ සිනමාවෙන් ගත හැකි හොඳම උදාහරණය. දැන් ‘මදර් ඉන්ඩියා’ චිත්‍රපටයේ බැක්ගවුන්ඩ් ස්කෝර් එක බලන්න. නෞෂාඩ් කොයි තරම් වැඩ ඒකේ ඇතුලේ කරලා තියෙනවද? අපි ඇසුරු කළේ අන්න ඒවා. අපේ වින්දනාත්මක පෝෂණීය ගුණය වැඩි වුණේ එතැනින්.

දැහැන්ගතව මනා ශික්ෂණයකින් ගීතයක් ශ්‍රවණය කිරීමේ ගුණය අපේ රසික ප්‍රජාවට හුරු කළේ ‘ස’ ප්‍රසංගයෙන්. නමුත් ‘ඉර – හඳ – තරු’ ප්‍රසංගයේදී මේ ගුණය අත් විඳින්නට ඔබේ සහෘද රසකාමීන්ට ඉඩ හසර විවර වෙන්නේ නැහැ?

‘ස’ ප්‍රසංගයේ තිබූ සංයමය හෝ ධ්‍යානගතවීම මේ ප්‍රසංගයෙන් බලාපොරොත්තු වෙන්න එපා. මේක මේ පරපුර තුනක් එක් වී කරන දෙයක්නේ. ඒ පරම්පරාවල තිබෙන ගායනමය, වාදනමය, නර්තනමය හැකියාවන් ඉස්මතු කරන ප්‍රාසාංගික බවෙන් යුත් සංගීත ප්‍රසංගයක් මේක. සිංහල, ඉංග්‍රිසි, දෙමළ, හින්දි භාෂා හතරෙන්ම මෙහි ගී ගයනවා. එතකොට නර්තන අංගයන් ඇතුළත්. මගේ මිනිබිරියෝ දෙන්නෙත් මේ ප්‍රසංගයේ නර්තනයන් ඉදිරිපත් කරනවා. ෆොෆෝමින් ආර්ට් ඒ කියන්නේ ප්‍රාසාංගික කලාවට වඩාත් නැඹුරු වෙමිනුයි ‘ඉර – හඳ – තරු’ වේදිකා ගත වෙන්නේ. එහි ‘ස’ ප්‍රසංගයේ කිසිදු හැඩතලයක් නැහැ.

ප්‍රසංගය ගැන තවදුරටත් ඔබේ ආදරණීය රසිකයන් දැනුවත් කළොත්?

පෙබරවාරි 18 වැනි සඳුදා සවස 6.00 ට මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී තමයි ‘ඉර – හඳ – තරු’ ප්‍රසංගය පැවැත්වෙන්නේ. මෙහි පිටපත ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම්ගේ. සමන් අතාවුදහෙට්ටි, වසන්ත රෝහණ සහ සඳමාලි හේවානායක කථනයෙන් මීට දායක වෙනවා. ප්‍රසංගය සංගීතවත් කරන්නේ ජයන්ත රත්නායක. නර්තන නිර්මාණයෙන් නීලමනී දිසානායක මේ ප්‍රසංගය විචිත්‍රවත් කරනවා.

මෙතෙක් ඔබ ආ ගමන් මඟ දෙස හැරී බැලීමේදී ඔබේ මෙහෙවර පිළිබඳ තෘප්තිමක්ද? නැතහොත් තවත් යමක් ක්ෂේත්‍රයට කළ යුතුව ඇතැයි සිතනවාද?

මෙහෙමයි, ඒකට කියන්න තියෙන්නේ. මගේ උපරිම දායකත්වය මම ලබා දී තිබෙනවා. තව ඉදිරියටත් මගෙන් එවැනි නිර්මාණාත්මක දායාදයක් ලබා දෙන්නට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා. මා මෙතෙක් කළ කී දෑවලින් සතුටට පත් වෙන කෙනෙක් හැටියට මගෙන් සංගීත ක්ෂේත්‍රයේ උන්නතියට යම් දායකත්වයක් ලැබුණා මිස කිසියම් අවැඩක් සිදු වී නැහැයි කියන විශ්වාසයේයි මා ඉන්නේ.