වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




21 වැනි උපන් දිනය දා

21 වැනි උපන් දිනය දා

‘සරසවියේ’ පළ වූ දැන්වීමකින් සිනමාවට එක් වූ ‘විජය’

මානව හිතවාදී කලාකරු විජය කුමාරණතුංග චිත්‍රපට නළුවකු වූයේ ‘සරසවිය’ පුවත්පතෙන් වීම ‘සරසවියට’ ඉමහත් ආඩම්බරයකි. විජය සිනමාවට ප්‍රවිෂ්ට වූයේ ‘සරසවිය’ පත්‍රයේ පළව තිබූ දැන්වීමක් ඔස්සේය. 1966 ඔක්තෝබර් මස 09 වැනි දින නිකුත් වූ ‘සරසවිය’ පුවත්පතේ එකී දැන්වීම පළව තිබුණේ අමුතුම ලේඛන ශෛලියකින් ද යුක්තවය.

කොල්ලන්ගේ කතාව
කෙල්ලන්ගේ කතාව
ඔබේ ජීවිත කතාව
‘හන්තානේ කතාව’

ඔබට රඟපාන්නට හැකි නම් අවස්ථාවක් දෙන්නට අධ්‍යාපනික සුදුසුකම් සහිතව විමසන්න.

සීමාසහිත සමකාලීන චිත්‍රපට
අංක 40, හේග් පාර,
කොළඹ 04

මෙම දැන්වීම දුටු සීදූව ප්‍රදේශයේ කඩවසම් තරුණයෙක් ඊට ඉල්ලුම් පත්‍රයක් ලියා තැපැල් කළේය. තරුණයා විජය කුමාරණතුංගය. ඔක්තෝබර් 9 විජයට සුවිශේෂ දිනයක් වූයේය. ඒ ඔහුගේ 21 වැනි උපන් දිනය එදිනට යෙදී තිබුණු බැවිනි.

ඔය කාලයේදීම විජය සෙරන්ඩිබ් ආයතනය මෙහෙය වූ රංගන පාඨමාලාවකට ද සම්බන්ධ වී සිටියේය. ඔහු එහිදී රඟපෑම් ඉගෙන ගත්තේ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පි පී. වැලිකලගෙන් සහ රංගවේදී ජේ. එච්. ජයවර්ධන වෙතිනි. එහිදීම ඔහු ශේෂා පලිහක්කාරගෙන් නැටුම් ද හැදෑරුවේය.

‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ඉල්ලුම් පත්‍රයට යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබිණි. ඉන් කියවුණේ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසය. විජය දැන්වීමේ සඳහන් ලිපිනය සොයා ගියේය. ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා, සහාය අධ්‍යක්ෂ හා දෙබස් රචක විජය ධර්ම ශ්‍රී, අඛණ්ඩතාව හා කාර්යාංශ පරිපාලනයෙන් එක් වූ සෝමපාල ලැනරෝල්, දෙබස් අඛණ්ඩතාව භාරව සිටි දයානන්ද ගලප්පත්ති යන අය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටියහ. චිත්‍රපටයේ බන්දු නම් වූ කෙළිලොල් සරසවි සිසුවාගේ චරිතය විජයට ගැළපෙතැයි යාපාට සිතුණත් පරහකට තිබුණේ විජයගේ ‘ප්‍රේම් ජයන්ත්’ කට් කොණ්ඩයයි. ‘ඔය කොණ්ඩය ගැළපෙන්නේ නැහැ. ඒ නිසා කොණ්ඩෙ ටිකක් කොට කරගෙන එන්න පුළුවන් ද?’

යාපා විජයගෙන් ඇසුවේය.

‘පුළුවන් සර්’

විජය පිළිතුරු දුන්නේය.

දෙවැනි සම්මුඛ පරීක්ෂණයට ද විජයට ආරාධනාවක් ලැබිණි. ඔහු එදින ගියේ කොණ්ඩය හොඳ හැටි කොට කරගෙනය. යුනියන් පෙදෙසේ ජුබිලි ශාලාවේදී සම්මුඛ පරීක්ෂණය පැවැත්විණි. විජයට කරන්නට සිදු වූයේ ‘හන්තානේ කතාවේ’ එන දෙබස් කීපයක් රංග විලාසයෙන් කියාපෑමය. ඊට අමතරව ‘සද්ධර්ම රත්නාවලියේ’ ආ පාඨ කීපයක් ද කියැවීමට සිදු වූයේය. විජයගේ කුසලතාව පිළිබඳ මනා පැහැදීමක් ඇති කර ගත් යාපා ඔහුව තම චිත්‍රපටයට තෝරා ගත්තේ ඒ මොහොතේදීමය.

‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ රූපගත කිරීම් සිදු වූයේ පේරාදෙණි විශ්ව විද්‍යාලය හා හන්තානේ කන්දේදීය. විජය ගලහ පාරේ පිහිටි බේකරියක උඩ තට්ටුවේ නවාතැන් ගත්තේය. චිත්‍රපටයට සම්බන්ධ වු අයගෙන් විජය, ස්වර්ණා මල්ලවආරච්චි, ආචාර්ය ධර්මසේන පතිරාජ, දයා තෙන්නකෝන්, බර්ටි ගුණසේකර, බාලු මහේන්ද්‍රන් යන අය සමඟ සමීප ඇසුරක් ගොඩ නඟා ගත්තේය.

පතිරාජ මෙම චිත්‍රපටයට සම්බන්ධ වූයේ සම තිරනාටක රචකයකු වශයෙනි. බර්ටි ගුණසේකර ද සම තිර රචනයෙන් එක්ව සිටියේය. කාර්මික ශිල්පියකු ලෙස ‘හන්තානේ කතාව’ට එක් වූ බාලු මහේන්ද්‍රන් පසුව ලංකාව හැරදා ඉන්දියාවට ගියේය. එහිදී ඔහු චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළ අතර අද වනවිට ඔහු දකුණු ඉන්දියාවේ සිටින ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවන්ගෙන් කෙනෙති. ‘සන්ධ්‍යා රාගම්’, ‘වීඩු’, ‘මූන්ඩ්‍රම් පිරායි’ වැනි සිනමාපට නිර්මාණය කළේ ඔහුය.

‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා විජයට ලැබුණු මුදල කොපමණදැයි ඔබ දන්නෙහිද? එය රුපියල් 750 කි.

‘හන්තානේ කතාවේ’ නිෂ්පාදනය වෙද්දී විජය චිත්‍රපට 17 ක රඟපෑමට ගිවිසුම් අත්සන් කළ බවත් මෙම චිත්‍රපටය තිරගත වෙද්දී චිත්‍රපට 24 ක රඟපාමින් සිටි බවත් පැවසේ.

ආරම්භයේ සිටම විජය ‘සරසවිය’ පුවත්පත සමඟ ඉතාම ළබැඳි මිත්‍රත්වයක් ගොඩ නඟා ගත්තේය. ‘සරසවියේ’ පළ වූ කොටස් වශයෙන් පළවන නවකතාවලට ද ඔහු පෙනී සිටියේය.

‘සරසවිය’ සම්මාන උළෙලේ ගාමිණී ෆොන්සේකාගෙන් පසුව ජනප්‍රිය නළුවා වූයේ විජයය. ඔහු පිටපිට හය වතාවක්ම (1983 සිට 1988 දක්වා) මේ ජනප්‍රිය නළු කිරුළ දිනාගත්තේය. එය සිදු වූයේ ඔහුගේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පාලනයක් යටතේ වීම සුවිශේෂත්වයකි. ඉන් උද්ධරණය වූයේ විජයගේ අසීමිත ජනකාන්තභාවය යටපත් කිරීමට දේශපාලනයට ද නොහැකි වූ බවයි. (1970 මහ මැතිවරණයේදී විජය එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය සඳහා එජාප වේදිකාවට නැඟි බව ද අතිරේක කරුණක් ලෙස මෙහිලා සිහිපත් කළ යුතුය).

විජය ඝාතනයට ලක් වූ අවස්ථාවේ ‘සරසවිය’ පත්‍රය විශේෂ කලාපයක් නිකුත් කළේය. එහි පිටපත් ලක්ෂ එකහමාරක් අලෙවි වූ බවත් ඉන් පසු නිකුත් කළ එහි දෙවැනි මුද්‍රණයේ පිටපත් ලක්ෂයක් අලෙවි වූ බවත් එවක ‘සරසවිය’ පුවත්පතේ සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ. ඩී. රංජිත් කුමාර තම ජීවන සටහන් රැගත් ‘කොස්ගස් හන්දිය’ ග්‍රන්ථයෙහිලා කියා සිටී.

විජයගේ ඝාතනයෙන් පසු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර සංස්කරණය කළ ‘සරසි’ සිනමා පුවත්පතේ පිට කවරය විජයගේ සේයාරුවකින් නොකඩවා වසර දෙකකට ආසන්න කාලයක් සැරසුණේය. එය ලෝක වාර්තාවක් යැයි සිතමි.

අසහාය ගායක එච්. ආර් ජෝතිපාල මෙන්ම විජය කුමාරණතුංග ද ඔවුන්ගේ අනුස්මරණ දිනවලදී මහත් හෘදයාංගමව සැමරීම පක්ෂ පාට භේදයකින් තොරව ‘සරසවිය’ විසින් ඉටු කරනු ලබන්නකි. පොදුවේ ගත්විට සෑම කලාකරුවකුම ඊට අදාළය. එහෙත් විජය හා ජෝති ඒ අතරින් වඩාත් සුවිශේෂ වන්නේ ඔවුන් අපෙන් වියෝ වී 25 වසරක් ඉක්ම ගියද තවමත් ජන සන්තානයේ අමරණීයව ජීවත්වන බැවිනි.