වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




සසර පුරා ඔබ ඈතට ඇදුණා

සසර පුරා ඔබ ඈතට ඇදුණා

සිංහල සිනමාවේ සදාදරණීය ආදර කතාව
නිළි රැජනගේ මතකයෙන්

විසි වසරක් පුරා මම විජය සමඟ රංගනයේ නියැළුණෙමි. ඒ කාලය පුරාවට අප ගත කළේ සතුටින් හා සෙනෙහසිනි. අද ද ඒ මතකය මගේ මනසේ රැව් පිළිරැව් දේ. එහෙත් එය අතීතයට එක් වූ සිතිවිලි සමුදායක් පමණකැයි කියා සිතෙනා විට සිතට නැගෙන්නේ කිසියම් සංතාපයකි. එහෙත් ජීවිතය යනු එය නොවේ ද . . .?

විජය කුමාරණතුංග හා මාලිනී ෆොන්සේකා එකිනෙකා සමඟ පෙමින් නොබැඳුනා නම් අපේ සිනමාව මෙතරම් සුන්දර නොවනු ඒකාන්තය. ඒ මට සිතෙන හැටිය. විජයගේත්, මාලිනියගේත් අනගි පෙම් රැඟුම් රිදී තිරයෙන් දුටු ඔබට ද එසේ නොසිතුණි නම් එය පුදුමයකි.

එක්තරා යුගයක විජය – මාලිනී සුසංයෝගය අපේ සිනමාවේ ප්‍රාණ වායුව බඳු විය. එය ජනප්‍රිය සිනමාවේ අසිරිමත් හා ප්‍රේමාන්විතම යුගයයි. ප්‍රේක්ෂකයන් වැල නොකැඩී එදා විජය - මාලිනී බලන්නට සිනමාහල් වෙත එක් රොක් වූයේ ඒ සොඳුරු ප්‍රේමයේ අසිරිය නෙත්, සිත් පුරා විඳ ගැනීමේ අටියෙනි.

අපේ සිනමාවේ විජය හා වඩාත්ම ළෙන්ගතුව බැඳුණු අනෙක් නාමය මාලිනීය. අතීත සිනමාවේ ප්‍රේම සිහින අතර කිමිදෙන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන්නේ මාලිනිය සමඟ හාදකම් පැවැත් වූ විජයගේ රුවය.

කාලය බොහෝ දෑ වෙනස් කර තිබේ. නමුදු විජය – මාලිනී ප්‍රේමය අපේ සිනමාවේ සදාතනික සිහිවටනයකි. සිනමාවේ සුපෙම්බරයා අපෙන් නික්ම ගොස් දැන් විසි පස් වසක් ගෙවී අවසන්ය. එහෙත් ඔහු පිළිබඳ මතකය දිනෙන් දින අලුත් වේ. ඒ ජනකාන්තයන්ගේ උරුමයයි.

නිළි රැජන මාලිනිය මේ පවසන්නේ ඇගේ හදවතට වඩාත් සංවේදී වූ විජය පිළිබඳ ආදරණීය මතකයයි.

මිනිස් දිවියක ආයු කාලය හා සසඳන විට වසර විසි පහක් යනු දීර්ඝ කාලයකැයි මට සිතේ. ඇසි පිය හෙළනා තත්ත්පරයක සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් නිසා මෙයින් විසි පස් වසකට පෙරාතුව ඔබ අපෙන් සමුගෙන යන්නට ගියේ මුළු රටම කඳුළු සයුරක ගිල්වමිනි.

ආදරණීය විජය, වසර විසි පහක් නොව වසර පනහක් ඉක්ම ගිය ද ඔබ මෙරට සුවහසක් ප්‍රේක්ෂක හදවත්හි ජීවමාන චරිතයක් වනු ඇතැයි මම දැඩිව විශ්වාස කරමි. ඔබ අප ළඟ තබා ගිය මනුෂ්‍යත්වයේ ගුණ සුවඳත්, දැවැන්ත ප්‍රතිරූපයත් ඊට හේතුවයි. ජනතා හදවතට මෙතරම් සමීප වූ කලාකරුවකු මීට පෙර සිටියාදැයි මම නොදනිමි. එහෙත් ඔබෙන් පසු එවැන්නකු බිහි නොවූ වග නම් ඉඳුරාම දනිමි. සැබැවින්ම ඔබ වැනි උත්තරීතර මිනිසුන් ලොව පහළ වන්නේ කලාතුරකින් විය යුතුය. අපේ කලා ක්ෂේත්‍රයේ එවන් මිනිසකු අපේ කාලයේ බිහි වීම අප සැම ලද භාග්‍යයකි.

හා හා පුරා මට විජය මුණ ගැසුණේ තිමති වීරරත්න නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වූ ‘මේ දෑස කුමටද’ චිත්‍රපටයෙනි. මා ගැමි තරුණියක ලෙසත් විජය දෑස් අඳ අවිහිංසක තරුණයකු ලෙසත් රඟපෑ ‘මේ දෑස කුමටද’ එකල ප්‍රේක්ෂකයන් ඉමහත් ආදරයෙන්, සෙනෙහසින් වැලඳගත් චිත්‍රපටයක් වූ බව මට මතකය.

එය මමත්, විජයත් රඟපෑ ප්‍රථම චිත්‍රපටය වුව ද ඔහු මුල් වරට ප්‍රධාන චරිතයක් රඟපෑ ‘හන්තානේ කතාව’ අප දෙදෙනාගේම මුල්ම චිත්‍රපටය වන්නට ද ඇතැම් විට ඉඩ තිබිණ. ඒ මට ද එම චිත්‍රපටයේ රඟපෑමට ආරාධනාවක් ලද නිසාය. එහෙත් කුමක්දෝ අවාසනාවකට එම ඓතිහාසික අවස්ථාව අප දෙදෙනාගෙන්ම මඟහැරී ගියේය.

‘මේ දෑස කුමටද’ චිත්‍රපටයෙන් අප එකිනෙකා දැන හඳුනා ගන්නා විට විජය මෙන්ම මම ද පසු වූයේ තාරුණ්‍යය උතුරා යන හැඟුම්බර අවධියකය. ඔහුගේ කඩවසම් බවට, මෙන්ම ළෙන්ගතු කතාබහට එදා මසිත කිසියම් ආකර්ෂණයක් ඇති නොවී යැයි පැවසුවහොත් එය මුසාවකි. සැබැවින්ම ඔහුට තිබුණේ ඕනෑම අයකුගේ නෙත්, සිත් සොරා ගන්නා සුන්දර, සුකුමාර පෙනුමකි. සෙසු නළුවන් අතරින් විජය වඩාත් කැපී පෙනුණේ ඔහුටම ආවේණික වූ ඒ මනස්කාන්ත ස්වරූපය නිසා යැයි මට සිතේ.

විජයගෙන් මා දුටු තවත් සුවිශේෂත්වයක් වූයේ විවෘත හා නිර්භීතභාවයයි. සිතට යම් අදහසක් ආවිට එය නොසඟවා එවලේම ප්‍රකාශ කිරීමේ සෘජු ගුණාංගය ඔහු සතුව තිබිණ. පෞද්ගලික දිවියේදී හෝ සිනමාවේදී හෝ දේශපාලනයේදී ඔහුගේ දැක්ම විවෘතව ප්‍රකාශ කිරීමට ඔහු කිසි විටෙකත් පසුබට වූයේ නැත. විජය ලෝකය දුටුවේ ඉතා විවෘත මනසකින් යුක්තව යැයි මම විශ්වාස කරමි.

විජය – මාලිනි යුගයක් පිළිබඳ අද ද බොහෝ දෙනකු කතා කරති. එම යුගය ආරම්භ වූයේ ‘තුෂාරා’ චිත්‍රපටයෙන් යැයි ඔවුන් පවසති. එය මගේ ද විශ්වාසයයි. තාරුණ්‍යයේ හැඟීම්, ආදරය, ජීවන රටාව ‘තුෂාරා’ චිත්‍රපටය ඔස්සේ එහි අධ්‍යක්ෂ යසපාලිත නානායක්කාර අපෙන් උපරිම අයුරින් උකහා ගෙන තිබුණි. ප්‍රේක්ෂකයන් එය කෙතරම් ආදරයකින් වැලැඳ ගත්තාදැයි කිවහොත් අදට ද ‘තුෂාරා’ චිත්‍රපටය පිළිබඳ ඔවුන් තුළ ඇත්තේ අමතක නො වූ සුන්දර මතකයකි. ‘තුෂාරා’ එකල බොක්ස් ඔෆිස් වාර්තා තබමින් අතිශය සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයක් බව ද මෙහිදී මගේ මතකයට නැඟේ.

සංඛ්‍යාත්මකව හරි හැටි මතක නැතත් විජය හා මා චිත්‍රපට පනහක, හැටක ප්‍රධාන චරිත රඟපා ඇතැයි සිතේ. ඒ සෑම වතාවකම විජය සමඟ ඉතාමත් සමීපව, ළෙන්ගතුව ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබිණ. අද මා විශ්වාස කරනා අන්දමට එදා ප්‍රේක්ෂකයන් සිනමාවෙන් අත්වින්දේ අප අතරේ තිබූ ඒ නිර්මල සුහදත්වයයි. වෙනත් වචනවලින් පවසතොත් අප දෙදෙනාගේ පෙම් රැඟුම් මෙතරම් සාර්ථක වූයේ ඒ අන්‍යෙන්‍ය බැඳීම නිසා බව මගේ විශ්වාසයයි. විජය – මාලිනී යුගය මෙතරම් ආදරවන්ත වූයේ එනිසාය.

හෙළ සිනමාවේ වඩාත්ම සාර්ථක පෙම් යුවළ විජය – මාලනී යැයි කියනු මම අසා ඇත්තෙමි. ඊට ප්‍රබලතම සාධකය වූයේ රිදීී තිරයේ පෙම් යුවළකට අවැසි අප අතර තිබූ ගැළපීමය. බාහිර ස්වරූපයෙන් මෙන්ම රංගනයේදී ද අප අතර තිබූ සමානතාවන් ඊට ඉවහල් වන්නට ඇතැයි අද ද එම රූප රාමු දකිද්දී මට හැඟේ. එසේ සිතෙන්නේ දැන්ය. නමුදු එකල මා විජය සමඟ තිරයේ පෙම් කළේ එසේ සිතා, කිරා මැන බලා නොව සංසාර පුරුද්දට මෙනි.

විජය හුදු ජනප්‍රිය නළුවකු ලෙස පමණක් හඳුන්වන්නට ඇතැමුන් උත්සාහ කළ ද සැබැවින්ම චරිතාංග රංගනයට ඔහුගේ තිබූ දක්ෂතාවයන් අපමණය. ඔහුත් මමත් ප්‍රධාන චරිත රඟපෑ ‘බඹරු ඇවිත්’, ‘මධුසමය’, වැනි චිත්‍රපටවල විජයගේ සංවේදී රංගන ප්‍රතිභාවන් ඊට කදිම නිදසුන්ය. එසේ වුව ද බොහෝ නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් උත්සාහ කළේ ඔහුගෙන් එකී දක්ෂතාවයන් උකහා ගන්නවාට වඩා සරල, විනෝදාත්මක තරුණයාගේ භූමිකාව තුළ විජය සිර කොට තබා ගන්නටය. අද ආපසු හැරී බලද්දීීී විජය සතුව තිබූ ඒ වෙනස්ම රංගන හැකියාවෙන් අපේ අධ්‍යක්ෂවරුන් නිසි ප්‍රයෝජනයක් නොගත්තා යැයි මට සිතේ.

විජය නමැති නළුවාට මෙන්ම විජය නමැති ගායකයාට ද මම එකසේ ඇලුම් කළෙමි. ඔහුගේ ගායන හැකියාවන් ලෝකයා හඳුනා ගන්නට බොහෝ කලකට පෙර මම ඒ අපූර්වත්වය විඳ ඇත්තෙමි. රූගත කිරීම් අතරතුර විජය මිමිනූ ගී පදයක මා දුටුවේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියකුගේ හැඩතලයි. ඉතාමත් හැඟුම්බර, ගැඹුරු, පපුවෙන් එන හඬක් ඔහු සතුව තිබූ බව මගේ හැඟීමය. ‘ෂා . . . හරි ලස්සනයිනේ, ඔයාට සිංදු කියන්න පුළුවන්නේ හොඳට’ කියා මා බොහෝ සෙයින් ඔහු උනන්දු කළ අවස්ථාවන් ද තිබුණි. ඒ ඔහු රට තොට පතළ ජනප්‍රිය ගායකයකු වන්නට බොහෝ කලකට පෙරාතුවය. ටිකෙන් ටික මිතුරන් අතරේත්, පසුව ප්‍රියසාදවලත් සිය හැ¼ගුම්බර ගායනයන් අවදි කරමින් විජය එකී දක්ෂතාවන් ඔප මට්ටම් කර ගන්නා අයුරු මා පසෙක සිට බලා සිටියේ සැබෑ පිවිතුරු, ආදරණීය හැඟීමකිනි.

ගායකයකු ලෙසින් ද විජය සතුව සුවිශේෂී අනන්‍යතාවක් තිබූ බව නොරහසකි. සැබැවින්ම ඒ කටහඬ අමුතුය. පිරිමියකුට තිබිය යුතු ලස්සනම කටහඬක් ලෙස මම එය හඳුන්වමි. ඇතැම් ගායකයන් සතුව තිබූ ගැහැනු හඬවලට වඩා විජයට තිබුණේ පෞරුෂයෙන් සපිරි සැබෑ පිරිමි හඬකි. එය මා ඔවුන් හට කරනා මදි පුංචිකමක් නොව ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීමක් පමණකි. හොදම නළුවා ලෙස ‘සරසවිය’ සම්මානයට හිමිකම් කීමට කිසිදා ඔහුට නොහැකි වුවත්, හොඳම ගායකයා ලෙස දෙවරක් ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් විජය වාසනාවන්තයකු විය. එය ඔහුගේ ගායන හැකියාවට නිසි තක්සේරුවක්, වටිනාකමක් එක් කළ සංසිද්ධියක් සේ මම දකිමි.

විසි වසරක් පුරා මම විජය සමඟ රංගනයේ නියැළුණෙමි. ඒ කාලය පුරාවට අප ගත කළේ සතුටින් හා සෙනෙහසිනි. අද ද ඒ මතකය මගේ මනසේ රැව් පිළිරැව් දේ. එහෙත් එය අතීතයට එක් වූ සිතිවිලි සමුදායක් පමණකැයි කියා සිතෙනා විට සිතට නැගෙන්නේ කිසියම් සංතාපයකි. එහෙත් ජීවිතය යනු එය නොවේ ද . . .?

මේ ජීවිත කාලයේ අප සිතන, පතන දේ අනන්තය. අප්‍රමාණය. එහෙත් ඒවා ඒ අයුරින්ම ඉටු වන්නේ නැත. බොහෝ විට සිදුවන්නේ අප නොසිතන දේමය. එහෙත් දෛවයේ නියමයන් බාර ගැනීම විනා වෙනත් කළ හැකි දෙයක් නොවන්නේය. විජයගේත්, මගේත් ජීවිත දෙස ආපසු හැරී විවෘත මනසින් බලද්දී මට හැෙඟන්නේ එපරිද්දෙනි. එනමුදු ජීවිතය තුළ කම්පාවක් හෝ දැඩි සංතාපයක් සිදු වී යැයි මම නොසිතමි.

විජය අපෙන් සමු ගත්තේ කිසිවකු, කිසිදා අපේක්ෂා කළ අයුරින් නොවේ. ලොවට මෙතරම් ආදරය කළ අවිහිංසක මිනිසකු වූ ඔහු සිය අවසන් ගමන් ගියේ කෙතරම් ශෝචනීය අයුරින් ද . . .? 1988 පෙරවාරි 16. එදින මහ පුදුම දිනයකි. එදින වූ අවාසනාවන්ත සිදුවීම් පෙළ තාමත් එකින්එක අද වාගේ මගේ මතකයේ රැඳී තිබේ. එදා එලෙස සිදු නොවුණා නම් යැයි අනන්ත අප්‍රමාණ වාරයක් සිතුණ ද එය යථාර්ථයෙන් බොහෝ දුර බැහැර සිතිවිල්ලක්ම පමණකැයි මම දනිමි.

දයාබර විජය, ඔබ අදත්, අප අතර සිටියා නම් කියා අනේක වාරයක් සිතුණ ද යළි මේ අත්භවයේ ඔබ හමු නොවනා වග දනිමි. එහෙත් ඔබේ අව්‍යාජ සිනහවත්, ආදරණිය බැල්මත්, ළෙන්ගතු කතාවත් කිසිදා මතකයෙන් බැහැර නොවන වග මට විශ්වාසය. මා පමණක් නොව ඔබේ දයාබර සහෝදර සිනමා ශිල්පී, ශිල්පිනියන්ටත් එය එසේ වනු නියතය. ඔබ යළි නොඑනා ගමන් ගොස් විසි පස් වසක් ගතවුණ ද ඔබ අප අතර තබා ගිය සහෝදරත්වයේ, මිත්‍රත්වයේ ඒ හැමටම වඩා මනුෂ්‍යත්වයේ උත්තරීතරත්වය ජීවත්ව සිටිනා තාක් අප හදවතේ රැඳී තිබෙනු නොඅනුමානය.

‘ඔබෙ රුව ඡායා

සැඟවේ පායා’

ඔබ එසේ ගැයුව ද කිසිදා ඔබේ රුව අප මනසින් සැඟ වී නොයනු ඇත.