වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මහ පොළොවට අහිමි වැහි බිංදු නිකිණි වැස්ස

මහ පොළොවට අහිමි වැහි බිංදු නිකිණි වැස්ස

අරුණ ජයවර්ධනගේ නිර්මාණයක්

මෙබඳු ගැහැනියක පිළිබඳ ඔබ මෙයට පෙර අසා තිබෙන්නේද?

සෝමලතා තමාගේ ජීවිතයේ අළු වී නොගිය ආදාහනාගාර

සිහිනය වෙනුවෙන් වෙහෙසෙද්දී පියසිරි තමන්ගේ ප්‍රේමණීය සිහිනය වෙනුවෙන් වෙහෙසුණේය.

පඬුවන් පැහැති අහස දෙදරා හැළෙන්නට ළඟය. නමුදු තවමත් වියළි සුළඟ ගිණියම්ය. තුරු වියළ පිස හමන වියළි ආගන්තුක සුළං කෝඩය අනාරාධිතවම මල් ශාලාවට එබුණේය. සෝමලතාට මේ වෙනස්වීම් ගැන හැඟීමක් නැත. ඈ තනිවම තම කටයුත්තේය.

ජීවිතය ගෙවා දමා අවසන් චාරිකාවට යන අයකු ඇගේ සියුමැලි ශක්තිමක් දෑතින් හැඩ වෙයි. තනිකම පාළුව මෙන්ම කාන්සිය ද ඈ අසලවත් නැති සෙයකි. සියල්ල අවසන සෝමලතා දෑත මෙන්ම දෑස ද පිරිසුදු කරගත්තාය. ඈ කොතරම් පිරිසුදු වුව ද අවට ලෝකයා තමා අප්‍රසන්න, පිළිකුල් සහගත චරිතයක් ලෙස කොන් කොට වෙන් කර තබන බව ඈ දැන උන්නාය.

කෙනෙකුගේ ජීවිතය හමාර වූ තැන සිට අන් සියල්ල බාර ගන්නා සෝමලතා ජීවත්ව සිටියදී මුණ ගැසීමට ගැමියෝ බිය වූහ. එම්බාම් කරන ගැහැනියක ලෙස තමන්ගේ ජිවිතයේ අවසානය පිළිවෙල කරන්නේ සෝමලතා බව බොහෝ දෙනකුට අමතකව තිබිණි.

මඟතොටදී, කඩපිලේදී මෙන්ම පන්සලේදීත් සියලු දෙනාගේ පිළිකුල් සහගත බැල්මෙන් සංග්‍රහ විඳින සෝමලතා දයාව, අනුකම්පාව, මිත්‍රත්වය, කරුණාව කිසි දිනෙක සිහිනයකින්වත් නොපෙනෙන විවාහය, පවුල් ජීවිතය මෙන්ම දරු මල්ලන් ගැන ද නොසිතා, නොතකා පාළු හුදෙකලා ජීවිතයක් ගත කරමින් උන්නාය.

අළු පැහැති වලාවන් අතරින් රිදී අකුණු එළි කර්කෂ පොළොව මත පතිත වද්දී සෝමලතා හුදෙකලාව ඒ දෙස බලා උන්නාය. මියගිය ඇත්තන්ගේ ජීවිත පිළිවෙල කරන තමන්ගේ ජීවිතය කොතරම් අපිළිවෙලදැයි ඈ විටෙක සිතුවාය.

තමන්ව මඟහරින, කොන් කරන අසල්වැසියන්ගේ ගෞරවය, ආදරය, පිළිගැනීම මෙන්ම අවධානය දිනා ගැනීම පිණිස ගමට ආදාහනාගාරයක් ඉදි කර දිය යුතු යයි සෝමලාත එක් හැන්දෑවක ඒකමතිකව තීරණය කළාය. තමාගේ තනි නොතනියට ළඟ සිටින සේවකයකු වන පියසිරිගේ සහාය මේ සඳහා ලැබෙන බව සෝමලතා ඉඳුරාම විශ්වාස කළාය.

කුඩා දරුවකුගේ මළ සිරුරක් බහාලන්නට සැකසූ පෙට්ටියක තම සියලු අඩුම කුඩුම අසුරා ගත් පියසිරි සෝමලතාට නිතර උපකාර කළ සේවකයකු වූයේය.

සෝමලතා තමාගේ ජීවිතයේ අළු වී නොගිය ආදාහනාගාර සිහිනය වෙනුවෙන් වෙහෙසෙද්දී පියසිරි තමන්ගේ ප්‍රේමණීය සිහිනය වෙනුවෙන් වෙහෙසුණේය. සෝමලතාගේ සිහිනය පළ දරන්නට පෙර පියසිරිගේ සිහිනය විකසිත වූයේය. ඒ අනුව පියසිරි සුපෙම්වතෙකු වූයේ හදිසියේ හමුවන තරුණියක සමඟ පෙමින් බැෙඳමිනි.

පියසිරි සහ තරුණියගේ ප්‍රේමය වැඩෙන අවධියේදී සෝමලතා මේ සබඳතාව දැනගන්නේ සිතේ සඟවා ගත් සතුටිනි. පියසිරිගේ ප්‍රේමයට සතුටින් උදව් දෙන සෝමලතා දෙදෙනා විවාහ කරදීමට වෙහෙසෙන්නේ තමන්ට අහිමි ලෝකය ඔවුන්ගෙන් දැකීමටය.

පියසිරිගේ විවාහයෙන් පසුව තමාගේ හීනය වෙනුවෙන් කැපවෙන සෝමලතා එම කටයුත්ත වෙනුවෙන් ශක්තිමත් වෙයි. මෙම කටයුත්තට සෝමලතාට සවියක් වන්නේ දක්ෂ ලාබාල ගෘහ නිර්මාණ ශිල්පියකු වන විශ්වය. එක් වර්ගයක අපස්මාර රෝගයකින් පෙළෙන විශ්ව නිසි වේලාවට ඖෂධ නොලද විට මානසික අස්ථාවර බවට පත්වන රෝගියෙකි. එබැවින් ඔහුගේ ජංගම දුරකථනය මඟින් ස්වයංක්‍රීයව ඖෂධ ලබා ගත යුතු වේලාව දක්වයි.

කොතරම් රෝගී තත්ත්වයෙන් පෙළුණද විශ්ව තම ක්ෂේත්‍රයේ අති දක්ෂයෙකි. සෝමලතාගේ ආශාව මුදුන්පත් කර දීම විශ්වගේ අරමුණ වී තිබේ.

සෝමලතා තමාගේ සිහිනය විකසිත කරලනු වස් වෙහෙසෙද්දී පියසිරිගේ සිහිනය යළිත් මුකුලිත වෙන්නේ අනපේක්ෂිත ලෙසිනි. අඳුරු කුරිරු රැයකදී පියසිරිගේ නිවෙසට කඩා වදින වල් අලි ගර්භණී බිරිය සහ නූපන් දරුවා මරු තුරුළට ගෙන යන්නේ පියසිරි නැවතත් වියළි කර්කෂ වා ගොමු තුළ හිරකරලමිනි. තමාගේ අඩුම කුඩුම බහාපු පෙට්ටිය තුළ නූපන් දරුවාගේ සිරුර බහාලන පියසිරි සතුටින් පිරි ජීවිතය වියළි වාසුලි අතරට මුදා හරියි.

විශ්ව, පියසිරි මෙන්ම සෝමලතාගේ සිහිනය දිනවන්නට වෙහෙසෙන තවත් අයෙකි. තිස් වසරක් තිස්සේ යුද්ධය වෙනුවෙන් තම පාදය දන් දුන් විජේතිලක ආදාහනාගාරය ඉදි කිරීමේ කටයුත්ත වෙනුවෙන් මූලිකත්වය ගෙන කටයුතු කරයි. විවිධ හැල හැප්පීම් ඔස්සේ මේ පිරිස ආදාහනාගාරය ඉදි කිරීමේ කටයුත්ත වෙනුවෙන් වෙහෙසෙයි.

ඔවුන්ගේ සිහිනය කෙසේ කෙළවර වේද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවිය යුත්තේ තවත් නොබෝ දිනකින් තිරගතවීමට නියමිත නිකිණි වැස්ස හරහාය. නිකිණි වැස්ස අරුණ ජයවර්ධනගේ නිර්මාණයකි. වියළි කලාපයේ ජීවත්වන ගැහැනියක සහ පිරිමියකු වටා මෙම කතාව ගෙතී ඇත. සාමාන්‍ය සමාජය ගැහැනියකට නුසුදුසු යයි බැහැර කරනු ලබන අවමංගල්‍ය අධ්‍යක්ෂවරියක, මල් ශාලාවක හිමිකාරිය, එම්බාම් කිරීම වැනි කටයුතුවල යෙදෙන මෙම ගැහැනිය චිත්‍රපටයේ කතා නායිකාව වී තිබේ.

නළු නිළි පිරිවර:

චාන්දනි සෙනෙවිරත්න
ජගත් මනුවර්න
තුමිදු දොඩම්තැන්න
බිමල් ජයකොඩි
ලක්ෂ්මන් මෙන්ඩිස්
සුලෝචනා වීරසිංහ
දයා අල්විස්
ජී. ආර්. පෙරේරා

තිර රචනය සහ අධ්‍යක්ෂණය – අරුණ ජයවර්ධන
නිෂ්පාදනය - වෛද්‍ය කුසුම්සිරි ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
සංස්කරණය - ජීවන්ත දේවප්‍රිය
සංගීතය – නදීක ගුරුගේ
කලා අධ්‍යක්ෂණය – උදේනි සුබෝධි කුමාර
අංග රචනය - ජයන්ත රණවක