වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සෙනසුරු මාරුව අසාර්ථකයි . . .? කවුද එහෙම කියන්නේ

සෙනසුරු මාරුව අසාර්ථකයි . . .? කවුද එහෙම කියන්නේ

 

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරිය අසයි

සිනමාව යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයයි. එකී මාධ්‍යයෙහි සිය සුවිශේෂී අනන්‍යතාවත්, අපූර්ව නිර්මාණශීලිත්වයත් ප්‍රකට කළ මුල් පෙළේ සිනමාකරුවකු ලෙස උදයකාන්ත වර්ණසූරිය හඳුන්වා දිය හැකිය.

උදයකාන්තගේ නවතම චිත්‍රපටය ‘සෙනසුරු මාරුව’ මේ දිනවල සැවෝයි ඇතුලු සිනමාහල් රැසක ප්‍රදර්ශනය කෙරේ. එය සිය සුපුරුදු සිනමා රීතියෙන් බැහැර වෙනස්ම මාදිලියේ චිත්‍රපටයක් බව ඔහු පවසයි. මේ ‘සෙනසුරු මාරුව’ මුල් කර ගනිමින් උදයකාන්ත හා කළ කතාබහකි.

කොහොමද ‘සෙනසුරු මාරුව’?

ඇත්තටම ‘සෙනසුරු මාරුව’ මගේ දාහත් වැනි චිත්‍රපටය. මේක මෙතෙක් මම නිර්මාණය කළ චිත්‍රපටවලට වඩා වෙනස් චිත්‍රපටයක් විදිහටයි මම හඳුන්වන්නේ. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ කතාවක් ඇසුරෙන් මා විසින්ම තිර නාටකය ලියා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. මම කළින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටත් එක්ක බලද්දී ‘සෙනසුරු මාරුව’ ජනප්‍රිය ලක්ෂණවලින් යුත් චිත්‍රපටයක් නෙවේ. මොකද මම එක දිගටම වගේ පසුගිය කාලේ නිර්මාණය කළේ විනෝදාත්මක චිත්‍රපට. මේ චිත්‍රපටය පවුල් දෙකක් අතර සිදුවන ගැටුම් රැසක් මුල් කර ගනිමින් හැදූ චිත්‍රපටයක්.

ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ කතා කළොත්?

මෙහෙමයි ඉතින්. සාමාන්‍යය විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය දිනවල තිබුණු වැසිබර කාලගුණය නිසා ප්‍රේක්ෂකයන්ට සිනමාහල්වලට ඒමේ අපහසුතාවයකුත් තියෙන්නට ඇති. නමුත් දැන් වන විට ඒ තත්ත්වය මග හැරී සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹන්නට පැමිණෙනවා. හොඳ චිත්‍රපටයක් ලෙස බොහෝ දෙනා මෙය හඳුන්වනවා. ඉතින් ඒක මට ලොකුª සතුටක්.

ඔබේ සෙසු චිත්‍රපටත් එක්ක බලද්දී මෙය වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ලෙස හුවා දක්වන්නේ ඇයි?

මා කලින් කීවා වගේ මේක තිස්ස අබේසේකරයන්ගේ කතාවක්. ඒක ඇත්තටම හරි ප්‍රබල කතාවක් කිව්වොත් නිවැරදියි. මුල ඉඳන් අග දක්වාම ප්‍රේක්ෂකයන් ඉතාම කුතුහලයෙන් යුතුව සිනමා ශාලාවේ රඳවා ගන්නට සමත් කතන්දරයක්. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවන ආකාරයේ විශ්මිත අවසානයක් කරා ඔවුන් රැගෙන යන චිත්‍රපටයක් මේක. මෙතෙක් මා නිර්මාණය කළ විනෝදාත්මක ස්වරූපයේ චිත්‍රපටවලින් බැහැර වෙලා කිසියම් අන්දමක ජීවිත විවරණයක් කරන්නයි මා උත්සාහ කළේ. ජීවිතයට කිසියම් අරුතක් දෙන චිත්‍රපටයක් ලෙසයි මම මෙය හඳුන්වන්නේ.

ඔබේ චිත්‍රපටවලට බොහෝ විට ඉතා හොඳ මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. නමුත් ‘සෙනසුරු මාරුව‘ට එවැනි ආකර්ෂණයක් ලැබුණේ නැහැ?

‘සෙනසුරු මාරුව’ කලාත්මක හැඩතල තිබෙන චිත්‍රපටයක්. එවැනි චිත්‍රපටවලට කොහොමත් ඉතින් අර විනෝදාත්මක චිත්‍රපටවලට වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගන්නට බැහැ. මේ චිත්‍රපටයේ රැඟුම්, ගැයුම් නැහැ. ජනප්‍රිය ගීත නැහැ. හැබැයි මෙහි ප්‍රබල කතාවක් තියෙනවා. එහෙම චිත්‍රපට බලන්න එන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක්. ඇත්තෙන්ම මම බලාපොරාත්තු වුණේත් එහෙම තත්ත්වයක් තමයි. මේ චිත්‍රපටයෙන් ගිය වියදම පියවා ගන්න මට අවස්ථාව ලැබෙයි. එතනදි මම තෘප්තිමත්. ඇත්තටම මමත් මේ චිත්‍රපටයේ නිෂ්පාදකයෙක්. හොඳ චිත්‍රපටයක් කිරීමේ අවංක චේතනාවෙන් තමයි මම ඒ පැත්තෙන් මීට දායක වුණෙත්.

කලාත්මක ධාරාවේ චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලැබෙන බවද ඔබ ඔය කියන්නේ?

ඔව්. ඉතිහාසයේ ඉඳලා බලපුවම අපි දකින්නේ ඒ තත්ත්වයක් තමයි. ලංකාවේ සිනමාව ගත්තත් ලෝක සිනමාව ගත්තත් පොදු කාරණාවක් ඒක. නමුත් සිනමාව ප්‍රබල කලාත්මක මාධ්‍යයක් නිසා සමහරු ඉතින් විවිධ කැප කිරීම් ඔස්සේ ඒ අවදානම අරගෙන එවැනි චිත්‍රපට නිෂ්පාදනය කරනවා. මෙහෙමයි ඉතින් වැඩි ප්‍රේක්ෂක පිරිසක් බැලුවයි කියලා ඒ චිත්‍රපටය සාර්ථක නිර්මාණයක් වෙන්නේ නෑ. චිත්‍රපටයක් හොඳ ද, නරක ද කියලා තීරණය වෙන්නේ ඔළු ගෙඩි සංඛ්‍යාවෙන් නෙවෙයි. දැන් ‘ගම්පෙරළිය’ වගේ චිත්‍රපටයක් වාණිජ වශයෙන් අසාර්ථක වී තිබුණත් හොඳ සිනමා කෘතියක් විදිහට ඉතිහාසයේ රැඳී තිබෙනවා.

ඇතැමෙකු පවසනවා ‘සෙනසුරු මාරුව’ ඔබේ අසාර්ථකම චිත්‍රපටය කියලා?

මම කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. මොකද මම මුලිනුත් කිව්වනේ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබූ පමණින් ඊට සාර්ථක නිර්මාණයක් කියන්න බැහැනේ.

නැහැ එහෙම නෙවෙයි, අධ්‍යක්ෂවරයකු හැටියට ඔබේ සිනමා භාවිතයේ පෙර තිබූ සශ්‍රීකත්වය මෙහි නොමැති බව කිසිවකු පැවසුවොත්?

සිනමාකරණය පිළිබඳ දන්නා සියලු කරුණු එකතු කරලා තමයි මේ නිර්මාණය මම කළේ. මේක එහෙම දමලා ගහලා කඩි මුඩියේ හදපු චිත්‍රපටයක් නෙවෙයි. ඒ කියන්නේ මම සෑහෙන කාලයක් තිස්සේ ප්‍රගුණ කරපු, හදාරපු සිනමා ශිල්පය ඇතුළත් කරලා තමයි මම මේ චිත්‍රපටය හැදුවේ. චිත්‍රපටය ගැන එක් එක් අයට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අවංකවම මේ චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳ මම සංතෝෂ වෙනවා. මොකද උපරිමයෙන් මේ චිත්‍රපටයට කැප වුණා.

එක්තරා පුවත්පතකට ඔබ ප්‍රකාශ කර තිබුණා ඔබටම කියා වෙන් වූ ප්‍රේක්ෂක පිරිසක් නැහැ කියලා. එතකොට උදයකාන්තගේ චිත්‍රපට නරඹන්න එන වෙනම පිරිසක් නැද්ද?

මට යම් ප්‍රේක්ෂක පිරිසක් ඇති. ඒක මම නැහැ කියන්නේ නැහැ. චිත්‍රපටයක් වාණිජ වශයෙන් සාර්ථක කර ගන්න ඒ ප්‍රේක්ෂක පිරිසම ප්‍රමාණවත් මදි කියලා තමයි මට හිතෙන්නේ. කැමරාකෝණය නිවැරදි ද, සංස්කරණය කොහොම ද වගේ කාරණා වැදගත් වෙන්නේ නැහැ චිත්‍රපටයක් වාණිජ වශයෙන් සාර්ථක වෙන්න. ඒත් හොඳ චිත්‍රපටයක් නිර්මාණය වෙන්න ඒක බලපානවා. ඉතිහාසය දිහා බලද්දී නොසිතූ විදිහට ඇතැම් චිත්‍රපට ජනප්‍රිය වෙලා තියෙනවා. ඒකට යම් යම් කාරණා බලපාන්නට ඇති. සංගීතය කවුද, නර්තනය කවුද එතකොට අධ්‍යක්ෂණය කාගේ ද වගේ කාරණා බලපාන්නේ නෑ එතනදි. අපි මොන තරම් මහන්සි වුණත් ප්‍රේක්ෂකයන්ට දැනෙන යමක් තිබුණේ නැතිනම් ඒ තුළ ඔවුන්ගේ ප්‍රතිචාර නොලැබෙන්න හෝ අඩු වෙන්න පුළුවන්.

චිත්‍රපටයක් සාර්ථක වන්නට අධ්‍යක්ෂවරයා යොදා ගන්නා නළු නිළියන්ගේ දායකත්වය ප්‍රබල සාධකයක් වෙනවාද?

ඔබ කියන්නේ වාණිජ වශයෙන් සාර්ථකත්වය ගැන නේද?

ඔව්, එහෙම කියමු. මම ඇහුවේ අසවල් නළුවාගේ, නිළියගේ රඟපෑම් බලන්නමයි කියලා සිනමා ශාලාවට එන ප්‍රේක්ෂක පිරිසක් ලංකාවේ ඉන්නවාද?

අද වෙන කොට ප්‍රේක්ෂක ආකර්ෂණය එහෙම දිනා ගන්න පුළුවන් අය ඉන්නේ නිළියන්ගේ පැත්තෙන් පූජා උමා ශංකර්. නළුවන්ගේ පැත්තෙන් මට කියන්න බෑ. ගාමිණී ෆොන්සේකලා, විජය කුමාරණතුංගලා හිටපු කාලේ එහෙම තිබුණා. නමුත් අද වෙන කොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන් මඟ හැරිලා ගිහිල්ලා. ඒ නිසා අපට නළු, නිළියන් මත යැපෙන්න හරි අපහසුයි. චිත්‍රපටයක් සාර්ථක වෙන්න අද කාලේ මට දැනෙන දෙයක් තමයි සාමාන්‍යය ප්‍රේක්ෂක පිරිසට එහා ගිය ප්‍රේක්ෂක පිරිසක් අපට අවශ්‍යය වෙනවා. ගාමිණී ෆොන්සේකලාගේ කාලේ සිනමාව වෙනම තැනක තිබුණේ. අද වෙනකොට අභියෝග රැසක් එක්ක තමයි සිනමාව අරගෙන යන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. අර ටී. වී. මේ ටී. වී. හෝම් තියටර්ස්. සිනමාව දැන් ගෙදරට ඇවිත්. ඒ අභියෝග ජය ගන්න එකත් අද අභියෝගයක් වෙලා.

අනෙක ගාමිණීලා, විජයලා වගේ සුපිරි තරුත් අද නැහැනේ?

ඔව් . . . ඒකත් එහෙමයි. අද තරු සංකල්පය අපේ සිනමාවේ මුළුමනින්ම බිඳ වැටිලා. ‘තරු’ බලන්න කියලා අද කවුරුවත් සිනමාහල්වලට එන්නේ නැහැ. ඇයි තරු නැහැනේ.

හැබැයි එහෙම ‘සුපිරි තරු’ නැතත් පසුගිය කාලේ ඉතාමත් දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපට කිහිපයක්ම අප දුටුවා?

ඉතිහාසය පසුබිම් කරගත් චිත්‍රපටවලට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා. ඒ චිත්‍රපට නරඹන්න සාමාන්‍ය ප්‍රේක්ෂකයාට එහා ගිය වෙනම පිරිසකුත් ආවා. බෞද්ධකම, ජාතිකත්වය ඒ වගේම තමන්ගේ ඉතිහාසය දැනගන්න වගේ කාරණා නිසයි එතනදි ප්‍රේක්ෂකයෝ සිනමාහලට ආවේ. එහි සිනමාරූපී බව හෝ ප්‍රමිතිගත කාරණා ඒගොල්ලන්ට වැදගත් වුනේ නෑ. දැන් ‘අබා’, ‘කුස පබා’, ‘විජය – කුවේණි’ වගේ චිත්‍රපටවලට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා අපි දැක්කනේ. ඉතින් ඒ ඓතිහාසික චිත්‍රපට රැල්ලේ ලොකු හයියක් වුණා මම නම් කියන්නේ පසුගිය කාලේ අපේ සිනමාව කර්මාන්තයක් විදිහට රඳා පවතින්න.

දැන් ඔබට හිතෙන්නේ නැතිද ඒ වගේ චිත්‍රපටයක් හදන්න?

නෑ . . . ඇත්තටම මගෙත් අදහසක් තියෙනවා අනිවාර්යෙන්ම ඒ වගේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න. නමුත් ඒ ඔස්සේම මගේ සිනමාව මෙහෙයවන්න අදහසක් නෑ. අලුත් අලුත් විවිධ නිර්මාණ කරන්න කැමැතියි. ඉදිරියේදී මගේ අතින් වැඩිපුර විනෝදාත්මක ගණයේ චිත්‍රපට නිර්මාණය වෙයි. ඉඳලා හිටලා කලාත්මක චිත්‍රපටයකුත් නිර්මාණය වේවි. එය අවදානමක් වුණත් අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් මම එබඳු චිත්‍රපටයක් හදනවා. තිරගත වීමට නියමිත ‘රන් කෙවිට 02’, ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ අතිශයින්ම විනෝදාත්මක චිත්‍රපට. ඉතින් ඒවා ගැන නම් මට ඇත්තටම ගැටලුවක් නැහැ.

ලෝක පරිමාණයෙන් ගත්තත් අද සිනමාව දැඩි ලෙස තාක්ෂණයට නැඹුරු වෙලා. මේ තාක්ෂණික හරඹය නිසා අධ්‍යක්ෂවරයාගේ නිර්මාණශීලී බව වියැකී යන බවයි මගේ අදහස?

දැන් ලෝක සිනමාව ගත්තොත් ඔය ‘අවතාර්’ වගේ චිත්‍රපටයක් බලන්න මොන තරම් නිර්මාණාත්මකද කියලා. 3 ච් තාක්ෂණය යොදා ගත් පමණින් චිත්‍රපටයක නිර්මාණශීලී ගුණය කොහොමත් බැහැර වෙන්නේ නැහැ. දැන් බලන්න ‘ලයන් කිං’ වගේ චිත්‍රපටයක්. ඒක මොන තරම් දැනෙනවද ඇඟට. 3 ච් වලින් වුණත් කමක් නෑ මිනිසුන්ගේ ඇඟට දැනෙන දෙයක් කරන්න පුළුවන් නම්. ඒක තමයි විශිෂ්ටත්වය. හැබැයි 3ච් කියලා නිකම්ම මේ සැකිළි රූ නටවන එක නෙවෙයි, ඒ තුළින් ඇඟට දැනෙන්න ඒ නිර්මාණය හසුරවන්න ඕනෑ. ඒක තමයි නිර්මාණ ශිල්පියකුගේ දක්ෂකම.

අපි ඩිජිටල් සිනමාවට යා යුතුයි කියන තැනයි අද බොහෝ දෙනෙකු පසුවන්නේ. මේ පිළිබඳ විවිධ ගැටලු, මතවාද තිබෙනවා. ඔබේ අදහස?

අනිවාර්යයෙන්ම අපට ඉදිරියේදී ඩිජිටල් සිනමාවට යන්නට සිදු වෙනවා. දැනටමත් ඒක සිදු වෙමින් පවතිනවා. මොකද වෙනස් වෙන ලෝකයත් එක්ක ඩිජිටල් සිනමාව කියන එක ඉදිරියේදී සිනමාවට නැතිව බැරි අංගයක් බවට පත් වෙනවා. ඉතින් මේ තුළින් හරවත් නිර්මාණ බිහි කරන්න තමයි අපි උත්සාහ කරන්න ඕනෑ. ඩිජිටල් සිනමාවේ තිබෙන පහසුව සහ ලාභය පෙරදැරි කරගෙනයි මේ කටයුත්ත අප කළ යුත්තේ. මේ කාරණාව අපි හරියට හසුරවන්න ඕනෑ. අද අනන්ත, අප්‍රමාණ ඩිජිටල් කැමරා තියෙනවා. නමුත් ඒවායේ ගුණාත්මක බව පිළිබඳ අප සැලකිලිමත් වෙන්න ඕනෑ. මේක අනිවාර්යයෙන්ම ප්‍රමිතිගත තත්ත්වයක තියෙන්න ඕනෑ. ඒ සඳහා නීති රීති පැනවීමත් අවශ්‍යයම කාරණයක්. රජය මැදිමත් වී ඒ කාර්යය සඵල කර ගැනීමට අනුග්‍රහය දැක්විය යුතුයි.

ලෝක සිනමාව හා සසඳද්දී අපේ සිනමාව පහළ මටටමක පවතින බවට චෝදනා නැගෙනවා. ප්‍රවීණ සිනමාකරුවකු හැටියට මේ තත්ත්වය කොහොමද ඔබ දකින්නේ?

ඇත්තටම ලෝකයේ ජනප්‍රිය සිනමාවත් එක්ක අපට හැප්පෙන්න බෑ. ඒක හීනයක් විතරයි. හැබැයි අපට කලාත්මක සිනමාවත් එක්ක තරගයක් දෙන්න පුළුවන්. විදෙස් සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර වීමට අපට හැකි වෙලා තියෙනවා. නමුත් ඇත්තටම අනෙක් රටවල සිනමාවත් එක්ක ගත්තම අපි තාමත් බාල අවදියේ කියලායි මට හිතෙන්නේ. මෙතෙක් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ අපට සතුටු වෙන්න බැහැ.

විදෙස් සිනමා උළෙල නියෝජනය කරමින් යම් යම් ජයග්‍රහණයන් ලැබුවත් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ අවධානයට අපේ සිනමාව මෙතෙක් පාත්‍ර වී නැහැ?

අපේ සිනමාව විදෙස් රටවල ප්‍රචලිත කරගන්න අපට අවස්ථාවක් ලැබිලා නෑ. සම්මාන උළෙලේ ජූරියයි, ඊට සහභාගි වන පිරිසයි තමයි අපි ගැන දැනගන්නේ. අපේ සිනමාවට ජාත්‍යන්තර වෙළෙඳ පොලක් නැත්තේ ඒ නිසයි. කොටින්ම එහෙම විදෙස් සම්මාන උළෙලවල පොඩි, පොඩි සම්මාන දිනා ගන්නා චිත්‍රපට තමන්ගේ රටෙන් ප්‍රතික්ෂේප වෙනවනේ.

‘සෙනසුරු මාරුව’ හා සමගාමීව තිරගත වූ ‘කර්ම’ චිත්‍රපටය ඔබ නැරඹුවාද?

ඔව්.

ඒ පිළිබඳ විවෘතව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්ද?

චිත්‍රපටය කෙසේ වෙතත් සිනමාකරුවකු විදිහට ප්‍රසන්න සිනමාව පිළිබඳ ලොකු ඇල්මක්, උනන්දුවක් දක්වන කෙනෙක්. ඔහුගේ ‘කර්ම’ චිත්‍රපටය හොඳීන් ප්‍රදර්ශනය වෙන බව තමයි ආරංචිය. ඒ ගැන සතුටුයි. අපි අතරේ කිසිම තරගයක් නෑ. නමුත් එකම දේ ප්‍රසන්න කලාත්මක සිනමාව පැත්තට බර වුණ අධ්‍යක්ෂවරයෙක්. මම විනෝදාත්මක සිනමාවකට නැඹුරු අධ්‍යක්ෂවරයෙක්. ඕක තමයි වෙනස මම හිතන්නේ.

‘කර්ම’ පිළිබඳ කතා කළොත්?

ඒ චිත්‍රපටයට මම කැමැතියි. නමුත් මම කවදාවත් එවැනි තේමාවක් තෝරා ගන්නෙ නෑ මගේ චිත්‍රපටයකට. ඒක මගේ රීතිය නෙවේ. නමුත් ප්‍රසන්නගේ චිත්‍රපටයට එවැනි රීතියක් අවශ්‍යයි. ‘කර්ම’ ප්‍රසන්නගේ කැමැත්ත. ‘සෙනසුරු මාරුව’ මගේ කැමැත්ත.

කොහොම නමුත් පොදුවේ ගත්තම අද අපේ සිනමාව් යම් පසුගාමිත්වයක් දකින්න ලැබෙන බව රහසක් නෙවෙයි. මම හිතන්නේ ප්‍රවීණ සිනමා ශිල්පීන් අද සිනමාවෙන් ඈත්වෙලා. ඒ දායකත්වය නොලැබීමත් සිනමාවේ පසුගාමිත්වයට ප්‍රබල සාධකයක්?

මම හිතන්නේ එදා සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවන් බොහෝ දෙනෙකුට අප්ඩේට් වෙන්න බැරි වුණා. ඒ නිසා කෙමෙන් ඔවුන් සිනමාව හැර යන තත්ත්වයට පත් වුණා.

අතිශය ජනප්‍රිය, දැවැන්ත ‘තරු’ බිහි කළ සිනමාකරුවන්ට පවා මේ ඉරණම අත් වුණා නේද?

ලෙනින් මොරායස් වගේ ජනප්‍රිය සිනමාවේ දැවැන්තයකුට පවා ඒ ඉරණම අත් වුණා. දැන් හේමසිරි සෙල්ලප්පෙරුම වගේ අධ්‍යක්ෂවරයකු අද චිත්‍රපටයක් කරන්න බැරි තත්ත්වයට පත්වෙලා මේ අප්ඩේට් නොවීමේ කතන්දරයත් එක්ක කොයි තරම් තර්ජන, ගර්ජන, කෙනෙහිලිකම් තිබුණත් මම මේ අභියෝග ජයගෙන හොඳ සිනමාවක් වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද කියන කාරණය මම දැඩිව හිතනවා.

ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වගේ ප්‍රවීණයන් අද සිනමාවෙන් බැහැර වෙලා?

ඒ වගේම පරාක්‍රම නිරිඇල්ල, අමරනාත් ජයතිලක පවා. ඔවුන් සිනමාවෙන් ඈත්වීම ලොකුª ප්‍රශ්නාර්ථයක් අද වෙන කොට. එතනදි අපට හිතන්න වෙනවා අද සිනමාවේ තිබෙන අභියෝග ජය ගන්න ඔවුන්ට අපහසු වුණාද කියන කාරණයත්. ඒ කියන්නේ අප්ඩේට් වෙන්න බැරි වුණාද කියන කාරණය. ඔවුනුත් අද සිනමාවේ රැඳී සිටියා නම් අපේ සිනමාව මීට වඩා ශක්තිමක් වෙනවා. අද සිනමාව කඩා වැටිලා කියන්නේ ඔවුන්ගේ නිර්මාණ නොදකින නිසාවෙන් කියලා මට හිතෙනවා.