|
කැමිලස්ගේ නිවෙස සොයා සනත් වත්තල පීරයි
ගීත රචනයෙන්, ලේඛනයෙන් දස්කම් පෑ කැමිලස් පෙරේරා සරසවියේ සොඳුරු දවස් සිහිපත් කරයි
හතළිස් හත් වසරක් වූ මාගේ පුවත්පත් කලා ජීවිතයේ සොඳුරු මතකයන් රැසකින් අත්දුටු කාල පරිච්ඡේදයක් ලෙස සරසවියේ මා ගෙවූ කාල පරිච්ඡේදය අදත් මගේ මතකයේ නිදන්ගතව ඇත්තේය. දෙසතිය, කලා සඟරාව, සුරතුර මෙන්ම දිනමිණ ඇතුළු දිනපතා පුවත්පත් හා සඟරා රැසක මා ගෙවූ මාධ්‍ය ජීවිතයේ වඩාත්ම තෘප්තිමත්ව ගත කළ කාලය වූයේ සරසවියේ ගෙවූ වකවානුවයි. සරසවියට මා සම්බන්ධ වූයේ ද අහම්බෙනි. එයට පෙර සම්බන්ධ වූයේ දෙසතිය සඟරාවේ නිදහස් මාධ්‍යවේදියකු ලෙසිනි. ඒ යුගයේ අවිවාහක මාගේ කාලය ගෙවුණේ යහළුවන් සමඟ රට තොට ඇවිදීමටය. විජය ධර්ම ශ්‍රී ආරාධනා චිත්‍රපටය තනන්නට අවශ්‍ය දර්ශන තල සොයා නිෂ්පාදක විජය රාමනායක හා කුලරත්න ආරියවංශ සමඟ සැරිසරද්දී මම ද එයට එක් වීමි. වරක් අනුරාධපුරය බලා ගිය ගමනකට අප සමඟ සරසවියේ කතුවර ග්‍රැන්විල් සිල්වා, ඒ. ඩී. රන්ජිත් කුමාරත් එක් විය. ඒ ගමන අතරමඟ නතර වුණ අපි මධුවිතකින් සප්පායම් වුණෙමු. මේ අවස්ථාවේදී ග්‍රැන්විල් සිල්වා හට විජය රාමනායක මා ගැන යෝජනාවක් කළේය. ග්‍රැන්විල් මචං, මේ කැමීව උඹ සරසවියට ගනින්. හොඳට ලියන්නත් පුළුවන්. කොපි කියවලා හොඳට හදන්නත් පුළුවන්. කැමියා හොඳ උඹට. මම කියනවට ගනින්. කාපු බීපු වෙලාවක වුවත් ඒ ඉල්ලීම සැබෑ විය. මම සරසවියට එක්වීමි. සරසවියට අල්ලපු පත්තරය නවයුගය එඩ්වින් ආරියදාස ශූරීන්ගේ කර්තෘත්වයෙන් හැඩවිණ. ඊට එහා තිබුණේ තරුණීය. සුමනා සපරමාදු එහි කතු පදවිය හෙබ වූවාය. මට මතක හැටියට සරසවියට පැමිණ මා පළමුව ලියනු ලැබුවේ විමල් කුමාර ද කොස්තා පිළිබඳවය. කා ගැනත් භේදයකින් තොරව මම ලිව්වෙමි. එහෙත් මට බහුලව ලැබුණේ සරසවියට ලියන අන් අයගේ ලිපි සංස්කරණය කිරීමටයි. සරසවියේ එවකට ග්‍රැන්විල් සිල්වා කර්තෘ වූ අතර රංජිත් කුමාර, ලතා බොතේජු, නෙළුම් විමලරත්න, සුනිල් හොරේෂස්, සුසිල් ගුණරත්න, දීප්ති ෆොන්සේකා, ගීෂා මුණසිංහ, තිලකසිරි, ආරියරත්න පෙරේරා ආදී පිරිසක් එවක කතු මඩුල්ලේ වූහ. එහෙත් මධුවිතට ලොල් වී තිබීම මගේ එක් නරක පුරුද්දක් විය. එදා මෙන් අදත් එයින් මට ඈත් විය නොහැක. පමණ ඉක්මවා මධුවිත තොල ගෑව ද මා ලියනු ලැබූ හෝ සංස්කරණය කළ දෙයක් කිසිදා වැරැදී නැත. ශරීර සෞඛ්‍යයට මධුවිත අහිතකර වුව ද මගේ ලේඛන කලාවට එය හොඳ උත්තේජනයක් විය. සරසවියේ කරපු කිවු දේ අතර මට ඇත්තේ බොහොමයක් මධුවිත නිසාම මා අත්දුටු සිදුවීම්ය. මෙය කෙනෙකුට නීරසවීමටත් තව කෙනෙකුට රසවත් සිද්ධියක් වීමටත් පුළුවන්ය. මධුවිත පානය නිසා මට ගෙදර හොයා ගැනීමට අපහසු වූ අවස්ථා ද බොහොමයකි. එබඳු ඇතැම් දවස්වල වත්තල නිවෙසට යා යුතු මා වත්තල සොයා ගැනීමට නොහැකිව මොරටුවට ගිය අවස්ථා ද තිබිණි. මේ නිසාම කෙතරම් වැඩ රාජකාරි මැද වුව ද දහවල් කාලයේ මධුවිත පානය මගේ පුරුද්දක් විය. මේ සඳහා කොළඹ එක් ස්ථානයක් මා තෝරා ගෙන තිබිණි. දහවල් 11.30 ට කන්තොරුවේ ආසනයෙන් නැගිට යන මා නවතිනුයේ එහිය. එහි දකුණු අත පැත්තේ කෙළවරේ මේසය මටම වෙන් කළ එකක් විය. දහවල් 11.30 න් පසුව මා සොයා එන්නන් එන්නේ මෙතනටය. ජංගම දුරකථන නොමැති එකල කන්තෝරුවේ හදිසි වැඩකදී මා සොයා ගන්නට එන්නේ එතැනටය. මා සොයා එන ආගන්තුකයන්ට ද අහවල් අවන්හලේ දකුණු අත පැත්තේ කෙළවරේ මේසය වෙත යන්න යැයි කර්තෘ මාණ්ඩලිකයෝ පවසන්නට පුරුදුව සිටියහ. යම් හෙයකින් සුපුරුදු වේලාවට මා නොගොස් අසුනේ රැඳී සිටියදී වරක් සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා විමසුවේ ඇයි කැමී අද තවම මෙතැන යැයි කියාය. මා ග්‍රැන්විල් සිල්වාට ඇමතුවේ අයියා යනුවෙනි. ග්‍රැන්විල් අයියා අද හරි ඩල් පර්ස් එක මම පැවසුවෙමි. ග්‍රැන්විල් අයියා මගේ අඩුපාඩුව සකසා දුන්නේය. මේ අවධියේ මගේ තවත් සගයකු වූ සුනිල් හොරේෂස් ද හමු වෙයි. හොරේෂස් දොඩමළු වී පැවසූ දෙයක් මට තාම මතකය. මචං කැමී, සිනමා පුවත්පත් කලාවේදියා වනාහි දල්වන ඉටිපන්දමක් වැනිය. අනුන්ට ආලෝකය දී තමන් දැවී නිවී යනවා. සුනිල්ගේ ඒ කතාව පරම සත්‍යයකි. සරසවියේ තමන් පිළිබඳ ලිපියක් හෝ ප්‍රවෘත්තියක් පළවනවා යනු ඕනෑම තරාතිරමක කලාකරුවකුට කලාකාරියකට ඉමහත් සතුටකි. ඔවුන් ද පත්තරයේ පිරිස් වටා බොහෝ ළෙන්ගතුකමින් රොක් වී සිටියේ ඒ අරමුණ ඉටු කර ගැනීමටය. කෙසේ වෙතත් පුවත්පත් කලාවේදීන් කවදාවත් දොසක් නොකිය වූ එකම පුද්ගලයා වූයේ විජය කුමාරතුංගය. ඔහු කිසි දිනෙක තමන් ගැන පත්තරයට ලියවා ගැනීමට ඉල්ලීමක් ද කළේ නැත. පඬුරු පාක්කුඩම් අල්ලස් දුන්නේ ද නැත. එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ සහරාවේ සිහිනය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස මා කටයුතු කළ අවධියේ විජය වෙනුවෙන් මම රන් දහඩිය විකුණලා ගීතය ලිව්වෙමි. නළුවන් මෙන්ම නිළියන් ද ඔවුන් ගැන යමක් පත්තරයේ පළ කර ගැනීමට අමතනුයේ සුරතල් නාමයන් ද අපේ නමට ඈඳමිනි. සුරතල් ලීලාවෙන් සුරතල් නාමයෙන් අපව අමතන විට අපි ඉවෙන් මෙන් දැන ගන්නේ ඔවුන් ගැන යමක් පළ කර ගැනීමට අවශ්‍ය වී යන්නය. එක්තරා නිළියක් විය. අවශ්‍ය විට ඈ මා ඇමතුවේ කැමී පැටියෝ කියාය. පැටියෝ කියන කොට මා ඇයගේ අවශ්‍යතාවය හොඳින් හඳුනා ගෙන තිබිණ. කෙතරම් මධුවිතට ලොල් වුව ද එහි ආදීනව විඳින්නට සිදු වූ අවස්ථාද විය. වරක් අජන්තා රණසිංහ ඇතුළු අපේ කීප දෙනකු දහවල් ඇරැඹූ මධු සාදයක් කෙළවර වූයේ මැදියම් රැයේය. අජන්තා මගේ වත්තල නිවස ළඟටම ගොස් ඇරලුවේය. වැට කඩුල්ල අල්ලා ගත් මම අජන්තා චෙරියෝ ගුඩ් නයිට් කියා වෙන්ව ගිය වහාම එය ද කඩාගෙන බිමි වැටිණ. නැගිට ගත් මා හට ගෙදර සොයා ගත නොහැකි විය. එතැන් පටන් පාන්දර වන තුරුම මා හතර වටේ ඇවිද්දේ නිවෙස සොයන්නටය. පාරවල් පුරා ඇවිදිමින් මගේ ගේ සෙව්වත් මට හමු වූයේ නැත. පාන්දර යාමයේ නිවෙසක ළිඳ ළඟ මුහුණ සෝදන පුද්ගලයකු දැක කැමිලස් පෙරේරාගේ ගේ කොහේද මල්ලී කියා ඇසුවේ බැරිම තැනය. ඒ පුද්ගලයා අත දිගු කර මගේ ගේ මටම පෙන්නුවේ අර තියෙන්නේ අයියේ කැමිලස් පෙරේරාගේ ගේ යනුවෙනි. ගේ අද්දර වැට ද බිම වැටී තිබිණි. තවත් දවසක චිත්‍රපට අධ්‍යක්ෂ ආනන්ද වික්‍රමසිංහගේ නිවසේ යසපාලිත නානායක්කාර, අජන්තා රණසිංහ, සරත් දසනායක, සනත් ගුණතිලක, බණ්ඩාර කේ. විජේතුංග සහභාගි වූ සාදයක් පැවතුණි. එදින මම පමණ ඉක්මවා මධුවිතින් සප්පායම් වුණෙමි. සනත් ගුණතිලකට වාහන පැදවීමට ද නොහැකිය. එහෙත් ඔහු පැමිණ සිටි වාහනයෙන් මා වත්තල නිවසට ඇරලීමට බාර ගත්තේය. වත්තලට ගිය ද මගේ නිවෙස හරි හැටි නොදන්නා සනත් කැමී ගෙදර කොහේද කියා මගෙන් අසයි. මා අඩ සිහියෙන් ඔතන ඉස්සරහ කියමින් යයි. අවසානයේ මගේ නිවස සොයා මුලු වත්තලම සනත් කරක් ගැසුවේය. මේ වන විට කේන්තිය ද ඉවසාගත නොහැකි තැන සනත් පාර අයිනේ සිටි කෙනෙකුගෙන් මා පෙන්වා මෙයාගේ ගෙදර කොහිදැයි විමසා තිබිණි. ඔහු අත දිගු කොට ගේ පෙන් වූයේය. ඒ වන විට සනත් මා වාහනයේ දමාගෙන ඒ නිවෙස ඉදිරියෙන් කිහිප වරක් ගොස් තිබිණ. මතු සම්බන්ධයි
|