|
මෙය සිනමාව වෙනුවෙන් කළ සේවාවක්
ෂෙරීන් කුමාරතුංග සමඟ කතාබහක්
මෙම සුවිශේෂී උළෙල සංවිධානයෙහි බර කරට ගෙන කටයුතු කළ චරිත දෙකක් විය.එනම් රංගන ශිල්පිනී සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරතුංගය. මේ ඒ පිළිබඳ ෂෙරීන් කුමාරතුංග සමඟ සරසවිය කළ සංවාදයයි. මෙම අනගි අවස්ථාව සංවිධානය වූ ආකාරය පිළිබඳ ප්‍රථමයෙන් සඳහන් කරමු? මුලින්ම අජිත් ගලප්පත්ති තමයි මේ ගැන අදහස අපට කිව්වේ. ඒ වෙලාවේ මම දෙපාරක් හිතන්නේ නැතුව ඒ සඳහා කැමැත්ත දුන්නා. අජිත් මෙම ග්‍රන්ථය අවුරුදු එක හමාරක් වැනි කාලයකදී ඉතාම ලස්සනට ලියල අවසන් කළා. ඊට පසුව මෙය එළිදැක්වීම වෙනුවෙන් අපි සියලු කටයුතු සංවිධානය කළා. ඔබ මෙවැනි දෙයක් මඟින් බලාපොරොත්තු වුණේ? වඩා වැදගත් වන්නේ සිනමා ලෝලීන් දැනුවත් කිරීම. අපේ වර්තමාන පරපුර පැරණි සිනමාව පිළිබඳ දැනුවත් විය යුතුයි. ඒ වගේමයි සුමිත්‍රා පීරිස් කියන්නේ අපේ සිංහල සිනමාවේ මහා චරිතයක්. එතුමිය පිළිබඳ ඇගේ සිනමා ජීවිතය වගේම ජත්‍යන්තර පිළිගැනීම වැනි තොරතුරු මේ කෘතියේ කැටිකර තියෙනවා. ඇත්තෙන්ම මෙවැනි සුවිශේෂී චරිත පිළිබඳ සිනමාලෝලීන් අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුයි. මේ තුළින් එය ඉටු වුණා කියල හිතෙනවා. සුමිත්‍රා පීරිස් වැනි දැවැන්ත චරිතයක් පිළිබඳ මෙවැනි සිංහල කෘතියක් මෙතෙක් කල් බිහි නොවීම පුදුමයක්. මෙය අප විසින් සිනමාවට කළ යුතු යුතුකමක්. ඔබ කලාවට තියෙන සබඳකමත් සමඟ සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියගේ හමුවීම පිළිබඳ සඳහන් කළොත්?
‘සුමිත්‍රා අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව’ නම් කෘතිය ගැනත් සඳහන් කළොත්?
සුමිත්‍රා පීරිස් නම් වූ විශිෂ්ට සිනමාවේදිනියගේ අද්විතීය සිනමා ජීවිතය පිළිබඳව
කතාව තමයි මෙයින් එළි දැක්වුණේ. එහිදී සිනමාවේදිනියක් වගේම දුවක්, බිරිඳක් ලෙසත්
ඇගේ පවුල් පසුබිම ඇතුළුව ජීවිත කතාව මෙහි ඇතුළත්. සංකීර්ණ තේමාවක් වුණත් ඉතා සරලව
ප්‍රකාශ කරලා තියෙනවා.
අඩ සියවසක් පුරා අධ්‍යක්ෂවරියක්, සංස්කාරකවරියක් ලෙස සිනමාවේ රැඳෙමින් ඇය කළ මෙහෙය ගැඹුරු වුණත් මෙහි එය සරලව දක්වා තියෙනවා. මෙම ග්‍රන්ථයේ කර්තෘ අජිත් ගලප්පත්ති එම කාර්යය සාර්ථකව ඉටු කරලා තියෙනවා. මෙම අවස්ථාවේදී තවත් විශේෂ දෙයක් සිදු කෙරුණා නේද? ඔව්, සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමාව වෙනුවෙන් කළ සේවය උදෙසා මුද්දරයක් නිකුත් කරන්න පුළුවන් ද කියලා මම ජීවන්ගෙන් ඇහුවා. ඒ පිළිබඳ සලකා බලල ඔහු ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන සියලු කටයුතු සම්පාදනය කළා. ඒ ගැන හරිම සතුටුයි. එතුමියගේ සේවය අගයා මුද්දරයක් වගේම විශේෂ මුල් දින කවරයක් නිකුත් කරන්නත් කටයුතු කළා. මේ කටයුත්තේදී ඔබ දෙපළට ශක්කියක් වූ අයත් ඇති නේද? විශේෂයෙන්ම අපි දෙන්නාගෙම ස්වාමි පුරුෂයන් මේ සඳහා හොඳ සහයෝගයක් ලබා දුන්නා. ජීවන් හැම වෙලේම මෙවැනි කටයුතු සඳහා මා දිරිමත් කරනවා. ඔහු ගොඩක් කැමැතියි මම මෙවැනි දේ කරනවාට. ඒ සහයෝගය, දිරිගැන්වීම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.
ඉදිරියේදීත් ඔබ විසින් මෙවැනි කටයුතු සංවිධානය වේවිද? ඔව්, මීට පෙරත් අපි විවිධ උත්සව සංවිධානය කළා. ගොඩක් ඒවා කළේ පිළිකා රෝහල වැනි ආයතන සඳහා ආධාර වෙනුවෙන්. ඒ වගේම මේ වසරේ මිස් යුනිවර්ස්, මිස් ශ්‍රී ලංකා රූ රැජන තේරීමේ අවස්ථාව, රූකාන්ත - චන්ද්‍රලේඛා ප්‍රසංගය වගේම නිරෝෂා විරාජනීගේ ප්‍රසංගයකුත් සංවිධානය කළා. ඒ හැම එකකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මීට අමතරව අපේ රටේ නැටුම්, ගැයුම්, වැයුම්වලින් විචිත්‍රවත් වුණ ‘ග්ලැමර් ඔෆ් ඒෂියා’ ප්‍රසංගයත් ඒ අතර විශේෂ වුණා. ජීවන් කුමාරතුංග පදනමේ මුදල්වලින් රණවිරුවන් දස දෙනෙකුට නිවාස ලබා දෙන්නටත් කටයුතු කළා. ඒ වගේම ඉදිරියේදී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමඟින් දැවැන්ත සංගීත සංදර්ශනයක් සංවිධානය කරන්නත් බලාපොරොත්තු වෙනවා. පිළිකා රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ ඖෂධ වෙනුවෙන් ආධාර පිණිස තමයි මෙය සංවිධානය කෙරෙන්නේ. |