වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




‘පොඩ්ඩන්ට පුළුවන්’

තවත් ලෝක ළමා දිනයක් අවසන් විණ. එදින පැවති පොඩිත්තන්ගේ හැකියාවන් කලඑළියට ආ අවස්ථාවන් රැසක් මගේ නෙත ගැටිණ. මම මොහොතක් කල්පනාවෙහි නිමග්න වීමි. ඇත්තෙන්ම මා දුටු ඇතැම් ළමෝ අති දක්ෂයෝය. කුසලතාවයන් අතින් කෙළ පැමිණියෝට වඩා ඔවුන්ගේ සහජ දක්ෂතාවයන් අකුණු සැර මෙන් ප්‍රබලය. කෙටියෙන්ම පැවසුවොත් අපේ පොඩ්ඩෝ අනාගතය දිනන්නෝ බව පැහැදිලිය.

මා මේ කියන්නට සැරසෙන කතාවට එලෙස ප්‍රවේශයක් ගත්තේ පොඩ්ඩන් හා සබැෙඳන අපූරු ගමනක් යාමට පෙරය. ඇත්ත වශයෙන්ම එය ඇඟට දැනෙන බොහොම ආශ්වාදජනක ගමනක්ය. මා මීට ප්‍රථම සංචාරය කළ කිසිදු දර්ශන තලයකින් නොවිඳි අත්දැකීම් රැසක් මෙතැනදී ලැබෙනු නොඅනුමානය.

මෙවර මා චාරිකා කරන භූමියේ සිටින්නේ පොඩ්ඩෝය. ඔවුන් තුළින් විද්‍යාමාන වූ උපමා උපහැරණ සහිතව පෙන්වා දිය හැකි ආනන්දනීය කලා හැකියාවන් ගැන දැන් මුලු රටම දනිති. සත් අන්තයේ හෙවත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හී රාත්‍රී නවයට සිරස නාලිකාවෙන් දිග හැරෙන ‘පොඩ්ඩන්ට පුළුවන්’ මගේ අද ගමනාන්තයයි.

එය මේ වන විට අතිශය ජනාදරයට පත් වූ වැඩසටහන් බවට වාදයක් නැත. ‘පොඩ්ඩන්ට පුළුවන්’ හි තිරය පිටුපස වැඩසටහන තරමටම මනරන්ජනීයය. එලෙස මට සිතුණේ වැඩසටහන පටිගත කෙරෙන සිරස ස්ටයින් මැදිරිය හි ඇතුළටත් යාමට ප්‍රථම එහි දොරටුව අභියසට ආසන්නයට පැමිණි මොහොතෙහි විඳි සිත් අලවන අත්දැකීමක් නිසාය.

පුංචි රුවන් පුංචි රුවන් පුංචි කාලේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කලේ
අට පහ නොදන්නා කොල්ලෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මට පුංචි කලේ

ගජමන් නෝනාගේ රචනයක් වූ එය ගැයුවේ ද අට පහ නොදන්නා පුංචි දැරිවියක්ය. එවැනි විචිත්‍ර වූත්, පැරැණි වූත් කවියක් අට පහ දන්න අයකුට වුව ද මතක තබා ගත හැකි යයි සැකයකි. මා එම පුංචි බට්ටියගෙන් තවත් කවියක් අසා ගැනීමේ රිසියෙන් ඇය වෙත ගියෙමි. මා එන වග දුටු ඈ මැදිරියේ පළමු දොර විවෘත කොට එවන්ම වූ තවත් පිරිසකට එකතු විය. ඒ වන විටත් ‘පොඩ්ඩන්ට පුළුවන්’ තරඟ වැඩසටහනක් රූගත කිරීමට සැරසෙමින් තිබුණි.

අලියන්ටයි ළමයින්ටයි එක තැන එක විදිහට ඉන්න බැහැ. මේ කියමන සියයට දාහක් ඇත්ත බව මට පසක් වූයේ එදාය. අවසන් වටයට තේරී පත්ව සිටිනා ළමුන් දොළොස් දෙනාගෙන් හත් දෙනෙකු සහ ඔවුන්ගේ කණ්ඩායම වේදිකාවේ පසෙක වාඩි වී කිචිබිචි ගාමින් සිටිති.

ඇතැමෙක් තවත් කෙනෙකුගේ නහයෙන් අදිමින් බොරු රණ්ඩුවක් මවා ගැනීමට උත්සාහ කළේය.

වැඩසටහනෙහි අධ්‍යක්ෂ ප්‍රදීප් මහේෂ් ලියනගේ ඇතුළු පිරිස මහත් සංයමයකින් යුතුව ඔවුන්ව පාලනය කරන අන්දම අගය කළ යුතුය.

හොඳයි බබාලා . . . අපි දැන් රෙකෝඩින් එක පටන් ගන්න හදන්නේ . . .

ඒ වන විට ද රන්ජන් රාමනායක, සංගීතා, තදානි සහ නිමන්ත හේෂාන් ගමගේ සූදානමනි.

පුංචි විශේෂත්වයක් කිරීමේ අරමුණෙන් කුසලානි නෙත්මා පොඩිත්තියගේ නර්ථන කණ්ඩායමට මැදිව රන්ජන්ව වේදිකාවේ සිට විනිසුරු අසුනට ගෙන ඒමට ප්‍රදීප් තීරණය කළේය.

රන්ජන් වේදිකාවේ මැද එක් දණහිසක් තබා වාඩි විය. නර්ථන කණ්ඩායම ඔහුව නොපෙනෙන්නට ආවරණය කළෝය. මෙය බලා සිටි පොඩිත්තෙකුගේ හඬ අවදි වූයේ ඉබේමය.

රන්ජන් මාමේ, ඔබ මොකද කරන්නේ.

ඔහුගේ ළපටි හඬට රන්ජන් නොදැනුවත්වම හිට ගත්තේය.

රන්ජන් මාමා හිමින් මතු වෙලා එන්න හදන්නේ.

රන්ජන් ඊට පිළිතුරු සැපයීය.

අනේ ඇත්තද? රන්ජන් මාමා පොළව පලාගෙන ගැඩවිලෙක් වගේ මතුවෙලාද එන්න හදන්නේ?

දැන් මුලු සභාවම සිනාසෙන්නේය.

අන්න ඒ අයිඩියා එක මරු. පුතා දිගටම ආයෙත් එහෙම කතා කරන්න. තවත් දෙබස් කිහිපයක් ලියා දී එලෙස රූගත කිරීම අරඹන ලදී. මෙහි නිවේදක සම්පත් ජයසිංහ අද දමිල ඇඳුමින් සැරසී සිටින්නේය. ඔහු දමිල සහ සිංහල බසින් නිවේදනය කොට නර්ථනයෙන් පෙළහර පාන ඉරෝෂ් නිමේෂ්ට වේදිකාව භාර කළේය.

ඔහු පංජාබ් බෙර වාදනයක් සමඟ ඉන්දියානු සම්ප්‍රදායට සැරසී ඊට අයත් ගීයකට නර්ථනය පටන් ගත්තේය.

දැන් ගීතයේ අඩක් ගෙවී ගොසිනි. හදිසිියේම ඉරෝෂ්ගේ හිසෙහි තිබුණු තලප්පාවක් බඳු කුඩා තොප්පිය බිම වැටුණේය. රූගත කිරීම නැවතුණේය. දෙවන තෙවන වර ද වුණේ එසේමය.

ඒක ඔළුවට තියලා පුංචි ඇණයක් ගැහුවා නම් හරි. තලප්පාව වැටීම බලා සිටිය නොහැකි තැන පොඩිත්තෙක් කීවේය.

මුලු සබාවම දැන් සිනහ සයුෙර්ය. පසෙකින් සිටින ළමුන්ගේ මව්පියෝ ද තම කටකාරයින් ගැන සතුටින් පසු වන බව මට දැනුණේය.

හරි දැන් අපි කෙටි විරාමයකට යමු.

ඉඩෙ . . . ඉඩෙ . . . ඉඩෙ . . .

සම්පත් දමිළ බසින් කියන්නට හැදූ වාක්‍ය පැටලුණේය.

කෙනෙකු වහ වහා ඔහුට වතුර වීදුරුවක් ගෙනත් දුන්නේය. ඉන් පසු ඔහුගේ වචන පැටලුම් ලිහුණේය.

ඉඩෙයි වේලක්ක පිරග සන්දිප්පෝම්

(විරාමයෙන් පසු නැවත හමු වෙමු)

විවේකයදී ළමෝගේ කංකෙඳිරිය වැඩිය. ඔවුන් මව්පියන් ළඟට දුවගොස් කන්නට බොන්නට යමක් ඉල්ලා සිටියහ.

මේ ළමයට ආයේ බඩගිනි වෙලා. දැන් ටිකකට කලින්නේ කෑවේ.

මවක් තම පුතුට පවසන්නීය.

අනේ අම්මේ මං ඒවා කෑවේ බඩේ පණුවන්ටනේ. දැන් ඕනේ මට . . .

එවදන් කොතරම් උපහාසාත්මකදැයි මට සිතිණ.

උහිරේ . . . උහිරේ . . .

විවේකයෙන් පසු වේදිකාව භාර වූයේ අන්ජන යසිරුටය. ඔහු අප සැවොම ක්ෂණයකින් වසඟයට ගත්තේය.

ඊළඟට ආමිනා රහ්මත් ඉදිරිපත් කළ වළලු කරකැවීම් අංගය දෙස අප බලා සිටියේ විස්මිත වූ දෑසිනි.

කවුශාලගේ සහ රිද්මිගේ ගායනය, කුසලානිගේ නර්ථන කණ්ඩායම, සරිත් සහ සුරිත් යන දෙසොහොයුරන්ගේ අදහාගත නොහැකි ගිටාර් සහ ඩ්‍රම්ස් වාදනය අපව අමන්දානන්දයට පත් කළෝය.

මේ අයගේ නැටුම් බලලා ෂාරුක් මට කෝල් කරලා ඇඬුවා. ඉන්දියාවට මෙයාලව එවන්න එපා කිව්වා. ඒගොල්ලන්ට තැන නැතිව යයි කියලා.

විනිසුරු අදහස් දැක්වීමේදී රන්ජන් කීවේය.

මේ වගේ පොඩ්ඩො ලංකාවේ ඉන්නවද කියලත් පුදුමයි.

ළමා මනෝ විද්‍යාව පිළිබඳ උපදේශිකාවක් වන සංගීතා පවසන්නීය.

ඔයාලා හොඳ අපේ සිංහල සිනමාවට.

නර්ථනයෙන් පෙළහර පෑ අයට යොවුන් සංගීතවේදී කථිකාචාර්ය නිමන්ත හේෂාන් ගමගේගෙන් ඇරයුමකි. සැබවින්ම මේ දඟයන් නොබෝ දිනකින්ම අප කලා ක්ෂේත්‍රයට පා තැබිය යුතුමය. මෙවැනි ආශ්චර්යමත් හැකියාවන් ඇති දුවා දරුවන් මෙරටට සම්පතක් වන්නේය. මෙම අදහස් කල්පනා කරමින් මා මැදිරියෙන් පිටතට පැමිණීමට හැදුවේය.

මාමාට බොහොම ස්තුතිය අපව බලන්න ආවාට.

සභයේ සියල්ලෝම එක්හඬින් පැවසීය.