වර්ෂ 2012 ක්වූ සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මහ අප්පච්චී ආපසු ආවේ නැත

මහ අප්පච්චී ආපසු ආවේ නැත

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනි දින රාත්‍රිය එළැඹෙත්ම සදහටම නික්ම ගිය ජෝ අබේව්ක්‍රමයන් ගේ දේහය කොළඹ කනත්තේ ඉදි වූ චිතකයක දැවී ගියේ එයින් දින කිහිපයකට පසුවය.ඒ සමග මැකී ගියේ පුරවා නොහැකි අතීත කතාවකි.කූඩාරම් සිනමාහලේ සිට නවීන සිනමාහලකට චිත්‍රපට ප්‍රදර්ශණය මාරු වන අන්දම ඔහු දුටුවේය.

වනස්පතිය ඇද වැටුණේ යැයි පැවසුවේ මහා නළු රවීන්ද්‍ර රන්දෙණියයි. මහ අප්පපොච්චි මිය ගියා යැයි අපේ පරපුරේ රංගධර ජැක්සන් ඇන්තනි කම්පා වූයේය. වනස්පතියක් වූ මහ අප්පොච්චි කවරෙක්ද ? නමින් ගම්මන පටබැඳීගේ දොන් ජෝන් අබේවික්‍රමයි.

පසු කලක බිහිවන මහා රංගධරයන්ටත් වනස්පතියකු වූ මහ අප්පොච්චියකු වූ ජෝන් අබේවික්‍රම සිනමාවේ නැත.එහෙම නමක් ඇත්තේ වැඩිම ගීත ගණනක් ඇති නිසාවෙන් පමණක් වරින් වර සිංහල සිනමාවේ සදහන් නොවන්නට කිසි විටකත් කිසිවකු විසින් මොනම හේතුවක් නිසාවත් සඳහන් නොකරන චිත්‍රපටයක් වූ දේව සුන්දරී චිත්‍රපටයේ පමණී.

වැඩිම ගීත ගණනාවක් තිබුණායැයි සඳහන් වුවද දේව සුන්දරියේ එකම ගීතයක් වත් අසා ඇති එකෙක් මා දන්නා තරමින් නම් නැත.

එහෙත් ජෝන් අබේවික්‍රම නම ලාංකික සිනමාවේ ඇත්තේ එහි පමණී. එයට පෙර ඒ රූපකාය සරදම් චිත්‍රපටයේ දී පේ‍්‍රක්ෂකයන් මුල් වරට දකින විට එහි සඳහන් වූයේ ජෝ අබේවික්‍රම යනුවෙනි.ඒ අපූරු කතන්දරය අමුතු එකකි.

ජෝ මහත්තයා මුලින් රඟපෑවේ දේව සුන්දරී චිත්‍රපටයේ වුවද එය තනන්නට කල් ගත විය. ඒ චිත්‍රපටයේ රඟන්නට මදුරාසියේ කල් ගත වද්දී සරදම් නමින් චිත්‍රපටයක් ද මදුරාසියේ වෙනත් චිත්‍රාගාරයක වැඩ ඇරඹිණ.

සරදම් නිර්මාණය කළ ටී.සෝමසේකරන් ට අලුත් නළුවා හිතට ඇල්ලුවත් ඔහුගේ නම ඇල්ලුවේ නැත.ඔහු ජෝන් ගේ අල් න යන්න කපා දැම්මේ ජෝ බවට පත් කරවමිනි.

මේ ජෝ අබේවික්‍රම නම් වනස්පතිය නැතහොත් සිනමාවේ මහ අප්පොච්චි මිය ගොස් හෙටට අවුරුද්දක් පිරෙයි.රත්නපුරයට නොදුරු ලෙල්ලොපිටියේ දී ජෝ මහත්තයා උපත ලද්දේ 1927 වසරේ ජූනි 20 වැනි දිනය.

ඒ අනුව ඔහු අවුරුදු 84 ක් ආයු වැළඳුවේය.පළමුව දිප්පිටිගොඩ රජයේ පාසලින් ද අනතුරුව රත්නපුර සීවලී සහ සාන්ත ඇලෝසියස් විදුහල් වලින් ද අධ්‍යාපනය ලද හෙතෙම අනතුරුව මුල් රස්සාව හැටියට බාර ගත්තේ ගමේ සමුපකාරයේ කළමනාකාර ධුරයය.

වැඩි කලක් නොයා ඉන් බැහැර වන හෙතෙම දේශීය සිනමාවේ පුරෝගාමියකු වූ සිරිසේන විමලවීරයන් සොයා එන්නේ චිත්‍රපට රංගනයට හිත ගිය නිසාවෙනි.එහෙත් ඔහුට සිදුවනුයේ විමලවීරයන්ගේ නවජීවන සමාගමේ වෙනත් රැකියාවක නිරත වන්නටය.

විමලවීරයන්ට හඳුනා ගත නොහැකිවූ සිංහල සිනමාවේ පතාක යෝධයන් බවට පත්වන මහා පුරුෂයන් තිදෙනාගෙන් කෙනෙක් වනුයේ ජෝ අබේවික්‍රමය.

අනෙක් දෙදෙනා නම් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ අසහාය ගායක එච්.ආර්.ජෝතිපාලයන්ය.මේ තිදෙනාම විමලවීරයන් හමුවට පැමිණිය ද ඒ එක් අයෙක්වත් ඉදිරි සිනමාවේ දැවැන්තයන් වනු ඇතැයි හඳුනා ගන්නට ඔහු අසමත් වීම දෛවයේ සරදමකි.

අනතුරුව ජෝ අබේවික්‍රමයන් සිය රංග අභිලාසයන් මුදුන් පත් කර ගැන්මට සමත් වනුයේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ ආරියදාස පීරිස් ගේ උදව්වෙනි.දේව සුන්දරී චිත්‍රපටය නිපදවන්නටත් තිරගත වන්නටත් කල් ගත වූ බැවින් ජෝන් ජෝ වී සරදම් කලින් තිර ගත වූයේය.

ඒ කාලයේ මෙරට සිටි හැම නළුවකුටම රඟන්නට සිදුවූයේ දකුණු ඉන්දියාවේ මදුරාසියේ චිත්‍රපට වල ආකාරයටය. එයින් එහා සිනමාවක් මේ බොහෝ දෙනා දැන සිටියේ නැත.එයින් එහා යමක් ඉගෙන ගන්නට උත්සාහ කළේ ද නැත.

එහෙත් ජෝ අබේවික්‍රමයන්ට එයින් එහා යන්නට වාසනාව ලැබිණ.ඉගෙන ගන්නට අවශ්‍යතාව තිබිණ.රන්මුතුදූව වැනි චිත්‍රපටයකට පිවිසෙන්නට ඔහුට බලපාන්නේ එයයි. සිනමාවට පිවිසි දා සිටම එහි පණ්ඩිතයන් සේවනයේ ආදිනව ජෝ මහත්තයාට දැනී තිබුණාට කිසිදු සැකයක් නැති වග පෙනෙයි.ඔහු වියත් ඇසුර ලබනුයේ සිනමාවේ පමනක් නොව ජීවිතයෙනි. ඔහු සිනමාවට පිවිසෙනුයේ අමු කට්ටක් කෑමෙනි.එහෙත් එයට පෙර සිටි බොහෝ දෙනා ගිය මගෙහිම නොගිය ජෝ අබේවික්‍රමයන් තමන්ගේම රංග රටාවකට උත්සුක වූ වගක් පෙනී යයි.එය මුලින්ම වටහා ගන්නේ ද මෙරට දකුණු ඉන්දීය රංග රීතින් බෝ කළ සිනමාකරුවන් වීම විශේෂයකි.

ඒ නිසාම අඩුක්ක වීටු පෙන් චිත්‍රපටය පාදක කොට ගෙන අල්ලපු ගෙදර චිත්‍රපටය තනද්දී එහි ප්‍රධන චරිතයට දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණ චිත්‍රපට තැනූ අධ්‍යක්ෂ එම්.මස්තාන් තෝරා ගන්නේ ජෝ අබේවික්‍රමයන්ය.එහෙත් එහි නිෂ්පාදක කේ.ගුණරත්නම් ගේ තෝරා ගැනීම වූයේ ජෝ අබේව්ක්‍රම නොව එයට වඩා එදා නමක් තිබූ එඩී ජයමාන්නය. එහෙත් මස්තාන් ජෝ තෝරා ගැනීමේ මතයේ එල්බ ගෙන සිටියා පමනක් නොව ඒ දින වල පැපොල වැළඳී සිටි ජෝ මහත්තයාගේ තුවාල කැළල් සුව වන තුරු රූප ගත කිරීම් කල් දමන්නට ද මැළි වුයේ නැත.

සමකාලින විකට නළුවන් අබිබවා ගිය ජෝ අබේවික්‍රමයන්ට තිස්ස ලියනසූරියගේ සාර විට චිත්‍රපටයේ සාරය්යාගේ චරිතය රඟන්නට ලැබීමත් එයට සරසවිය සම්මානය දිනා ගැන්මට ඉඩ ලැබීමත් සිනමා ජීවිතයේ මහා කඩඉම් වූයේය. ඒ වන විට ජෝ අබේවික්‍රම යනු ආපසු හරවන්නට පුළුවන් කමක් නොවන චරිතයක් විය. ඔහු කැමරාව ඉදිරියේ රඟපානු මම දැක ඇත්තෙමි.එයට මූඩ් අවශ්‍ය නොවීය. අහල පහල සිටින සියල්ලන් රස කතා කියමින් සිනස්සමින් සිටින ජෝ මහත්තයා එකී ගැඹුරු චරිතයට වහා අවතීරණය වෙයි.වරෙක එක් චිත්‍රපටයක ජෝමහත්තයා අතිශය ගැඹුරු චරිත නිරූපණයක යෙදෙනු මම බලා උන්නෙමි.එය පසුකලක සම්මානයට පාත්‍ර චරිතයක් විය.

එහෙත් වෙනදා මෙන් කිසිදු මූඩ් එකකින් තොරව ඔහු රංගනයට පිවිසියේය.මේ අතර වාරයේ තවත් නළුවකු එහි රූප ගත කිරිමකට එක් වූයේය.ඔහු ටික වේලාවක සිටම චරිතයට එක් වූයේ පේවෙමිනි.එක් වරම ජෝ මහත්තයා කළ ප්‍රතිචාරයක් නිසා අනෙක් නළුවා කරකවා අත හැරියා වැනි විය.ජෝ අබේවික්‍රම වැනි පරම්පරාවේ මිනිසුන් රංගනය බැරෑරුම් කාර්යක් බව දැන උන්නේය.එය පාසලකින් ඉගෙන ගත් ධර්මයක් නොවීය. කවර තැනකදී වුව ඔවුන් කරන දෙයට හදවතින් කැපවිණපාසලක නොඉගැන්වූ දෑ ඔහු ජීවිතයෙන් ඉගෙන රංගනයට මුසු කළේය.

ඔවුන් ඉගෙන ගත්තේ රටේ තොටේ සිදුවන දෑ හරහාය.ජීවිතය ඔවුනට අගනා පාඩම් කියා දී තිබිණ.ජෝ මහත්තයා තමා දන්නා දේ අතරින් සිනමාවට එක් කළේ ඉතා අල්පයකි.ඔහුගේ මතක ගබඩාව පුදුම සහගත එකකි. එය ඇතැම් විට සංසාරය පුරා එක් රැස් කළ මතක ගබඩාවක්දැයි සිතියි හැකි තරමිය.එහෙත් ඇතැම් චිත්‍රපටයක රඟපාන්නට යන ජෝ මහත්තයා එහි තම කටයුත්ත පමනක් හොඳීන් කර ආපසු පැමිණි අවස්ථා එමටය.ගියේ උළු හෙවිල්ලන්න නම් ආයේ වත්තේ හතර මායිම අපට මොටෝ.එහෙම නෙවිද?

චිත්‍රපටය ගොඩ දාන්න උදව් නොකළ වගක් හැඟුණ හෙයින් ඒ ගැන විතාළ අපෙන් ඔහු අසා සිටියි.එහෙත් දෙබස් සැපයීමෙන් හෝ ඇතැම්විට නිර්මාණ පාර්ශවයට සම්මාදම් වී ජෝ මහත්තයාගේ අත්වාරුවෙන් ගොඩ ගිය චිත්‍රපට ද එමටය.

කුඩා කළ රත්නපුර හරහා බදුල්ලට නැතහොත් ඇඹිලිපිටියට කරත්ත කරුවන් ගියේ ඔහුගේ ගම හරහාය.ඒ කරත්තකරුවන් තව ඉදිරියේ හමුවන බඩ දන හපුතලේ කන්ද ගැන කියන කරත්ත කවි ඔහුට කට පැඩම් ව තිබිණ.එය මෙන්ම ඔවුන් කී ගැමි කුණුසරුප ද ඔහුගේ මතක යේ විය.

මේ සියල්ල කරළියට ආ අවස්ථා දෙකකි.එකක් ඔහු චරිත නිරූපණය කරන අවස්ථාවකය. අනෙක හොඳ මිතුරු සමාගමකදීය.මෙබඳු විටෙක නිතැනින්ම කතානායක වනුයේ ජෝ අබේව්ක්‍රමයන්ය. සතා සීපාවා පමණක් නොව මිනිස් සමාජයේ බොහෝ දෑ ඇතැම් පුවතක් හා බැඳුණු ඔහුගේ ජීවිත අත්දැකීම් ද එහි එමට විය.ඒ සියල්ල රස කර පණ පොවනු අප දැක ඇත්තේය.

මේ ජීවිත අත්දැකීම අතිශය පුළුල් එකක් වූයේ ඔහු වසර අසූවකට වඩා ජීවත් වූ නිසාම නොවේ. ඒ හරහා තම ජීවිතය ආලෝකමත් කර ගත් හෙයිනි.පුරහඳ කළුවර,දෑස නිසා,බැද්දේගම,සාර විට,වැලිකතර,බඹරු ඇවිත් වැනි චිත්‍රපට පමණක් නොව තුෂාරා,වාසනා වැනි චිත්‍රපට සදහා ද අනුප්‍රාණ සැපයූවේ ජීවන තක්ෂලාවෙන් ඔහු උගත් දෙයයි. ඒ තක්සලාව හරහා ඔහු අගනා මිනි කැට දෙකක් ද සිනමාවට දායාද කළේය. නිළි රැජණ මාලිනී ෆොන්සේකා මේ අතරින් පළමුවැන්නියයි. රවීන්ද්‍ර රන්දෙණිය අනෙක් මැණික් කැටයයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනි දින රාත්‍රිය එළැඹෙත්ම සදහටම නික්ම ගිය ජෝ අබේව්ක්‍රමයන් ගේ දේහය කොළඹ කනත්තේ ඉදි වූ චිතකයක දැවී ගියේ එයින් දින කිහිපයකට පසුවය.ඒ සමග මැකී ගියේ පුරවා නොහැකි අතීත කතාවකි.කූඩාරම් සිනමාහලේ සිට නවීන සිනමාහලකට චිත්‍රපට ප්‍රදර්ශණය මාරු වන අන්දම ඔහු දුටුවේය. තම ගම හරහා ගිය කරත්ත කරුවන් නොපෙනී යද්දී විදුලි වේගයෙන් සැර දමා කන්ද අදින ලොරි ද සුඛෝපභෝගී රථ ද ඔහු දුටුවේය.

ගම අද්දරින් ගලන දෙනවක ඔයේ නිමල දිය බොර වන අයුරුත් එහි පැන පැන නැටූ දංඩි පැටව් එ දිය සැඟවන අයුරුත් ඔහු අකම්පිත ව බලා සිටියේය.කලකට ඉහත ගැමි කම යනු අවඥාවෙන් සළකන යුගයක් විය. එකල අබිමානවත්ව තමා ගැමියෙක්යැයි පැවසූ ජෝ මහත්තයා අද හද්දා කොළඹ වැසියන් ද තමන් ගැමියන්යැයි ආඩම්බරයට කියනු අසා තනිවම සිනා සෙන්නට සමත් වූයේය.

ඉඩ ලද විටක රට තොට ඇවිද යද්දී ජෝ මහත්තයා පැවසූ කතාවක් මගේ මතකයට එයි. ඒ කතන්දර අපේ රටේ ජන ජීවිතය හා බැඳී පවතින අපූරු ඒවාය.ඒවා ජෝ මහත්තයා ද කට වචනයෙන් පරම්පරාවෙන් ඇසූ ඒවාය. ඒ කතන්දර අපට කියන්නට සමත් ඇසූ පිරු තැන් ඇති නළු පරම්පරාව ද ක්ෂය වන්නට ආසන්නය.ජෝ මහත්තයාගේ අගය තවත් වැඩි එහෙම අය නැති විටය. වනස්පතිය නැතහොත් මහ අප්පච්චි නැති වග වැටහෙන්නේ එවිටය.

එහෙත් මහ අප්පච්චි මිය ගිය දවසේ සමහරු ජෝගී නැටූ වග අපට අමතකව නොයේ.එහෙත් මෙරට සිනමාවට රංගනය උගන්වන්නට මහ අප්පොච්චිලාගේ පරම්පරාව බොහෝ කැපවීම් කළේය.ඔහු මිය ගිය දවසේ මෙරට සිනමාහලක් වැසුණේ නැත.කොළඹ නගරයෙන්ම ජෝ අබේවික්‍රම පිළිබඳ සුදු කොඩියක් එල්ලා ශෝකය පළ කළේ ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රදර්ශණය කළ සිනමාහලක් පමණී. මහ අප්පච්චි ආයෙමත් එන එකක් නැතැයි මට සිතෙන්නේ එවිටය.