වර්ෂ 2012 ක්වූ අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඇලෙක්සැන්ඩ්‍රියාවට වැටුණු ප්‍රේම වැස්සේ තෙමුණු ඈ Agora

ඇලෙක්සැන්ඩ්‍රියාවට වැටුණු ප්‍රේම වැස්සේ තෙමුණු ඈ Agora

හයිපේෂා සුකුමාල බව සැබැවි. ඈ ඇස රහසිගතව නරඹන ශිෂ්‍යයන් සිටින බවත් සැබැවි. එහෙත් ඈ ආලයෙන් බැදී සිටින්නේ තාරකා විද්‍යාව,දර්ශනය සහ ගණිත කර්ම කෙරෙහිය.

තරුවක ආයු කාලය,සූර්යයා සහ අනෙකුත් ග්‍රහ තාරකාවල හැසිරීම,ලෝකයේ ගෝලාකාර බව හෝ පැතැලි බව ඈ උන්මාදයට පත් කරවන කාරණාවන්ය. තරු පොළොවට කඩා නොවැටීම පිළිබද පුදුමයට පත් වන මිනිසුන් අතර සිටින හයිපේෂා ගුරුත්වාකර්ෂණය ගැන අනාවැකි පහළ කරයි. එකල ඔවුන් දැන සිටි ස්වල්ප ආකාශ වස්තූන් හැර තවත් බොහෝ දෑ ලෝකයේ තිබිය හැකි බවට සැක කරයි.

පෘථිවිය භ්‍රමණය වන බවට මතයක් ගොඩ නඟන්නට උත්සාහ කරයි. සෞරග්‍රහ මණ්ඩලය පිළිබද නොයෙකුත් කාරණා සොයා බලයි. ලෝකය පැතැලි පෘෂ්ඨයක් නොවන බවට සහතික වෙයි. එහෙත් නිදහස් මතදාරී හයිපේෂා මේ අභියෝගයට ලක් කරන්නට යන්නේ 4 වැනි සියවසේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පැවැති දේවවාදී සංකල්ප සමඟ ජීවත් වන මිනිසුන්ගේ ඔළු ගෙඩිය.

ඈ සටන් වදින්නේ දැනුම උදෙසාය. එහෙත් මේ බුද්ධිමත් සටන සිනාවකින් අවසන් වේ යැයි කාට නම් කිව හැකිද?

ඇලෙජැන්ඩ්‍රෝ අමෙනබාර් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටය නිෂ්පාදනය කර ඇත්තේ ෆර්නැන්ඩෝ බොවයිරා සහ අල්වාරෝ ඔගස්ටින් විසිනි. 2009 ඔක්තොම්බරයේ දී නිකුත් වූ 'අගෝරා' ඉතිහාසයෙන් පෙත්තක් ගෙන ඔබේ ඇසේ තවරන්නාක් බදුය. අමෙරිකානු ඩොලර් මිලියන 75 ක ඇස්තමේන්තුවක් අනුව තැනූ අගෝරා උපයා දී ඇති ආදායම අමෙරිකානු ඩොලර් 37,828,420 කි.

හයිපේෂා ලෙසින් අනර්ඝ රංගනයක නිරත වන ඈරැචෙල් වෙයිස් ය. ඩේවස් ලෙස රඟමින් මැක්ස් මින්ග් හෙලා ඉටු කර ඇති සේවය ද සුළුපටු නොවේ. ඔරෙස්ටස් ලෙස රඟන ඔස්කාර් අයිසැක්ව ද අමතක කර දැමිය හැකි නොවේ.

රෝමය පුරා කුණාටුවක් ලෙස එක් වරම හමා ගිය ක්‍රිස්තියානුවන්ගේ නැඟී සිටීම අගෝරා සිනමාපටය පුරාවට ලේ බිඳු හැලෙමින්,සුසුම් නැඟෙමින්,සිනාව මැකී යමින් ගලා යයි. උසස් යැයි සම්මත කුළ පරම්පරාවලට අයත් ප්‍රභූන් සහ දාසයන් අතර ඉතාමත් නිශ්ශබ්දව හමා යන මේ කුණාටුව කෙතරම් විනාශකාරීද කියා හැඟෙන්නේ සිනමාපටය අවසාන භාගයේදීය.

හුදෙක් පෙම් අරගලයක් සේ පෙනී යන හයිපේෂා දිනා ගැනීමේ හුදෙකලා සටන සමඟ කල් ගත කරන ඔරෙස්ටස් ගේ දුර්වලම ස්ථානය ද පසුකාලීනව හයිපේෂාම වෙයි. සිය ස්වාමි දියණිය සමඟ ඒක පුද්ගල පෙමක පැටලෙන දාසයා ඩේවස් ය. පෙම් ත්‍රිකෝණයක කිසිත් නොදැන ඇවිදින ආලෝකමත් තාරකාව හයිපේෂාය.

මේ ඉතිහාසගත කතාන්දරය විද්‍යාව සහ ආගමික විස්වාසයන් එකිනෙක සමඟ ඇති කරගන්නා යුද්ධයෙන් ඉතිරි වන සුන්බුන් ගැන අපට කියයි. පැරැණි ග්‍රීසියේ ස්ථාන නාමයක් වූ අගෝරා යන්න මේ සිනමාපටයට භාවිත කිරීම උත්ප්‍රාසය ඇති කරවයි. විශේෂයෙන් ම දැනුම සමඟ පවතින අන්ධානුකාර සටන් ආදිය වර්තමානයේ පවතින දේශපාලන සටන් සමඟ වෙනස් නොවේ. බලය රැක ගැනීම ප්‍රධාන අරමුණු කරගත් මේ සටන් ලේ ගංගා ගලා යාමෙන් අවසන් වේ. සහෝදරයන්,සහෝදරියන් එකිනෙකා පරයමින් නැඟී සිටීමට එකිනෙකා මරා දමයි. ආගම මේ අතර මුල් තැනක් ගෙන කටයුතු කරනු පෙනෙයි.

2009 වසරේ කාන් සිනමා උළෙලේ මුල් වරට ප්‍රදර්ශනය කළ අගෝරා විචාරකයන්ගේ දැඩි අවධානයට ලක් වූ සිනමාපටයක් විය. 2009 වසරේ දී ස්පාඤ්ඤයේ තිරගත කර වැඩිම ආදායමක් උපයා ගත් සිනමාපටය බවට පත් වීමටද අගෝරා ට හැකි විය. එහෙත් ඇතැම් විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ මේ සිනමාපටය ඒ හේතුවෙන්ම දැඩි ජනප්‍රියත්වයක් අත් කර ගති. ස්පාඤ්ඤයේ දී පැවැත්වූ ගෝයා සම්මාන උළෙලේ දී සම්මාන හතක් දිනා ගැනීමට අගෝරා සමත් විය. ඒ අතර හොඳම තිර නාටකයට අයත් සම්මානයද විය.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්ලැටොනික් පාසලේ දර්ශනය සහ විද්‍යාව උගන්වන හයිපේෂා තම ජීවිතය විද්‍යාව වෙනුවෙන් කැප කිරීමට ඉටා ගනී. එහෙත් පෙම් ත්‍රිකෝණයකට ඇයව හසු කර ගන්නා ඩේවස් නම් වහලාත් ඇගේ ශිෂ්‍යයෙකු වන ඔරෙස්ටස් ඉතිහාසගත කතාන්දරය ප්‍රේමයෙන් පුරවාලන්න උත්සාහ කරයි. වඩාත් දිරිමත් ඔරෙස්ටස් එක් නාට්‍ය රඟ දැක්වීමක් අතරතුර හයිපේෂා වෙත ඇති ප්‍රේමය සංගීත භාණ්ඩයක් වාදනය කර ප්‍රකාශ කරයි. මහත් ලැජ්ජාවට පත් වන ඈ තම පංති කාමරයේ ඉගැන්වීමක යෙදී සිටින අතරතුර ඔරෙස්ටස් අපහසුතාවයට පත් කරමින් තම අකමැත්ත ප්‍රකාශ කර සිටියි.

මේ සියල්ල අතරතුර නගරය පුරා දිවි ගෙවන වහලුන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමේ ප්‍රවණතාවකට මුහුණ දෙමින් සිටියි. දෙවියන් පිළිබද පැවති විශ්වාස සහ ඇදහීම් ඔවුන් එළිපිටම ප්‍රශ්න කරයි. තැන් තැන් හි රොක් වෙමින් ක්‍රිස්තියානි ආගම පිළිබද දේශනා පවත්වයි. ඇලෙක්සැන්ඩ්‍රියාව පුරා සිටින බහුතරයක් වහලුන් මේ නව ආගම කෙරෙහි බැදුණු සිත් ඇතිව වෙනසක් බලාපොරොත්තු වෙයි. ස්වකීය දාසභාවයෙන් මිදී යා හැකි වාසනාවන්ත දොරටුවක් ලෙස ඔවුන් දකින්නේ මේ නව ආගමයි.

ඇලෙන්ජන්ඩ්‍රෝ අමෙනබාර්

හයිපේෂා සිනමපටයේ අධ්‍යක්ෂ

1972 මාර්තු 31 වැනි දා ස්පාඤ්ඤයේ උපන් ඇලෙන්ජන්ඩ්‍රෝ සිනමාව පිළිබඳ මෑඩ්‍රිරිඩ් හි යුනිවර්සිඩාඩ් කම්ප්ලුටෙන්ස් වෙතින් ඉගෙනීම ආරම්භ කළ මුත් එය අවසාන නොකිරීය. අධ්‍යක්ෂණය මෙන්ම සිනමා තිර නාටක රචනයෙහි ද නිරත වූ ඔහු සම්මානලාභී අධ්‍යක්ෂවරයෙකි.2005 දී 'ද සී ඉන්සයිඩ්' වෙනුවෙන් හොඳම විදෙස් සිනමාපටයට හිමි සම්මානය ඔහු දිනා ගති.

මේ පීඩනය පුපුරා ගොස් පැගන්ස් නගරයේ රෝම නීතිය නොසලකා හරිමින් දොරටු බිඳ හෙළමින් නගරයට ඇතුළු වීමට උත්සාහ දරයි. නුවර ආරක්ෂා කරගනු වස් ශිෂ්‍යයන් සටනට පොළඹවාලන්නේ ගුරුවරුන්ය.

ඉතාමත් කෲර ලෙස ක්‍රිස්තියානි ආගමිකයන් මරා දමන සිසුන් සුළු මොහොතකින් දැඩි ප්‍රහාරයකට ලක් වෙයි. පැගන් නුවර දොරටු බිඳ හෙළමින් ඇතුළු වන ක්‍රිස්තියානි භක්තිකයන් පැගන් නුවර අත්පත් කර ගනී. හයිපේෂා ගේ පියා ද දරුණු ලෙස මේ සටනින් තුවාල ලබයි. ඉතාමත් අනුවේදනීය සිදුවීම වන්නේ ඔහු තුවාල ලබන්නේ ඔහුගේම වහලෙකු අතින් වීමය. එපමණක් නොව හයිපේෂා ඇතුළු සහසක් බුද්ධිමතුන් පණ සේ ආරක්ෂා කළ සෙරපෙයිම් පුස්තකාලයට ද ඔවුන් ඇතුළු වෙයි.

වටිනා ලියවිලි අතොලොස්සක් ගෙන පලා යන හයිපේෂා ඇතුළු බුද්ධිමතුන් හට අත්වන ඉරණම මහත් කණගාටුදායකය. හයිපේෂා ගේ පවුලේ දාසයා වූ ඩේවස් සිය ස්වාමියා අත් හැර ක්‍රිස්තියානි භක්තිකයන් සමඟ එකතු වෙයි. කෙටි කලකින් නැවත හයිපේෂා සොයා එන ඩේවස් ඈ දූෂ්‍ය කිරීමට සැරසෙයි.

ඩේවස් තුළ පැවති හැඟීම ඈ සැබෑවටම වටහා ගන්නේත්,ඉන් වෙව්ලා යන්නේත් ඉන් පසුවය. එහෙත් ස්වල්ප මොහොතකින් තම අදහස වෙනස් කරගන්නා ඩේවස් තම කිණිස්ස ඇය අතට පත් කර තමාව මරා දමන ලෙස ඉල්ලා සිටියි. ඈ ඔහුගේ ගෙළ බැඳී වහල්භාවයේ මාලය කිණිස්සෙන් කපා දමා ඔහු නිදහස් මිනිසෙකු බව පවසයි.

කාලයකට පසුව ඔරෙස්ටස් නගරයේ පාලකයා බවට පත් වන අතර ඔහු ක්‍රිස්තියානි ආගම නාමිකව වැළඳ ගනී.හයිපේෂා තව දුරටත් විශ්වයේ රහස් සොයමින් සිටියි. වෙනත් ග්‍රහලෝක ගැන සිතන්නට වෙයි. ලෝකයේ ගෝලාකාර බවක් පිළිබඳ තර්ක ඉදිරිපත් කරයි. කොටින්ම කිවහොත් ඈ පැවැති විශ්වාසයන් අතික්‍රමණය කිරීමට සිතයි. එහෙත් දැඩි මතධාරී ආගමික නායකයන් ඈ නො ඉවසයි.

කාන්තාවක තම විශ්වාසයන් අභියෝගයට ලක් කිරීම පිළිබඳ නොරිස්සුමෙන් පසු වන අතර අවසන ඈ ආගමික විශ්වාසයන් කෙළසා දැමුවේ යැයි චෝදනා කරයි. අන්තිම තීරණය හයිපේෂා ගල් ගසා මරා දැමීමයි. මේ ආරංචිය දැනගත් ඩේවස් උමතුවට පත් වූවාක් මෙන් ඈ සොයා එයි.

අල්තාරයක් ආසන්නයේ නිරුවත් කෙරෙන ඈව වැළඳ ගන්නා ඩේවස් අන් අය ගල් රැගෙන පැමිණ එන්නට පෙර ඇගේ ගෙළ සිර කරමින් වඩාත් සුවදායී මරණයක් අත් කරදෙයි. මේ සිනමාපටයේ වඩාත් දුක්ඛදායකම මොහොතයි. සියල්ල අවසන නොකියූ ප්‍රේමයක් ඈ වධ හිංසාවකින් බේරා ගනී. එහෙත් ඔහු විසින් තමන් ආදරය කළ සුකුමළ වස්තුව මරා දමයි.

ඉතිහාසය ප්‍රේමයෙන් පටන් නොගත්තත් ප්‍රේමයෙන් අවසන් වන්නේ නම් කෙතරම් සුන්දරද?