වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ් රණසිංහගේ අලුත් නිළියට අමෝජා වීරසිංහගෙන් රංගන පුහුණුවක් වරම ලබන නවක නිළිය ඔබද?

රාජ් රණසිංහගේ අලුත් නිළියට අමෝජා වීරසිංහගෙන් රංගන පුහුණුවක් වරම ලබන නවක නිළිය ඔබද?

ජනප්‍රිය චිත්‍රපට රැසක් නිපද වූ රාජ් රණසිංහ සිය නවතම චිත්‍රපටය සඳහා රංගන ශිල්පිනියක පුහුණු කිරීමට සූදානම් වේ.

පෙරළිකාරයෝ, නොම්මර එකයි, හිත හොඳ පුතෙක්, චාන්දනී වැනි චිත්‍රපට නිෂ්පාදනය කළ රාජ් රණසිංහ මෙවර සිය නවතම චිත්‍රපටය සඳහා අලුත්ම නිළියක ලෙස තෝරා ගන්නේ එම පුහුණුව දුන් තැනැත්තියයි.

ඔහු බලාපොරොත්තු වනුයේ උස අඩි 5.3 ට වැඩි පැහැපත් සිරුරකින් හෙබි යෞවනියකි. ඒ සඳහා මෑතක දී ලබා ගත් ඡායාරූප සමඟ රඟපෑමට වරම්, සරසවිය බාරේ, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට මෙම මස 28 වැනිදාට පෙර ලැබෙන ලෙස එවිය යුතුය.

එහිදී සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තෝරා ගනු ලබන රංගන ශිල්පිනියට අනෝජා වීරසිංහ වෙතින් පුහුණුව ලැබෙනු ඇත.


බුද්ධික ‘අපි තමයි හොඳම’ සමඟ 14, 15 ලුම්බිණියට

බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළ ‘අපි තමයි හොඳම’ වේදිකා නාට්‍යයේ මංගල දැක්ම මාර්තු 14 සහ 15 යන දෙදින තුළ කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවේ.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතාගේ සංකල්පයක් මත එම විද්‍යාලයීය නාට්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය හා ඉදිරිපත් කිරීම අනුව මෙය සිදු කෙරේ.


කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමිතිය චිත්‍රපට නිෂ්පාදනයට

සීමාසහිත ශ්‍රීී ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය මඟින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු පසුගියදා ඇරැඹිණි. වරිග පොජ්ජ නමින් නම් කරන ලද එහි මුහුරත් උළෙල පසුගියදා එම සමිතියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණ. එය මෙරට ආදිවාසී ජනතාව පාදක කොට ගෙන නන්දසිරි ගමගේ විසින් රචනා කරන ලද ‘වරිගය’ නම් වූ කෙටි කතාව ඇසුරෙන් නිර්මාණය වන්නකි. මෙරට ආදිවාදී ජනතාව විසිවන සියවසේ දෙවන භාගයේ සිට මුහුණ දෙන ඛේදාන්තය හෙළිදරව් කිරීමේ අරමුණ ඇතිව තැනෙන වරිග පොජ්ජ තුෂාර තෙන්නකෝන් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරයි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. විශ්වජිත් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. ජයන්තා රණවක අංග රචනා ශිල්පියාය.

වරිග පොජ්ජ සඳහා රංගනයෙන් දායක වන්නේ සමුපකාරයේම පිරිස වේ.


සනත් - සුනිල් ටී. එක් කළ සිනහව අතරින් අද වැඩ අරඹයි

සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක දෙවැනි වරටත් අධ්‍යක්ෂවරයකු වෙමින් සුනිල් ටී. ප්‍රනාන්දුගේ පනස් හය වැනි සිනමාපටයේ රූගත කිිරීම් අද සිට ඇරැඹේ. ‘ සිනහව අතරින්’ යනුවෙන් නම තබා ඇති එය සනත්ගේ පළමු අධ්‍යක්ෂණය වන එකමත් එක රටකට වඩා හාත්පසින්ම වෙනස් එකක් වනු ඇත.

සනත් ගුණතිලක, සේමිණි ඉද්දමල්ගොඩ ඇතුළු පිරිස සිනහව අතරින් සඳහා රංගනයෙන් දායක වෙයි.


රජිත – නටාෂා - උදිත් එක් කළ නිම්සරා ශ්‍රී එෆ්. එම්.

රජිත හිරාන්, උදිත් අබේරත්න, නටාෂා පෙරේරා, වසන්ති රංවල, හිලේරියන් පෙරේරා, සුමිත් ගෝමස් ආදීන්ගේ හඬ මුසුවෙන් රස ගැන්වෙන නවතම ගුවන් විදුලි නාටකය නිම්සරා 18 වැනිදා සිට සතියේ සෑම දිනකම දහවල් එකට ශ්‍රී එෆ්. එම්. ඔස්සේ විකාශය වේ.

අංජුල ප්‍රියන්ත මනම්පේරි මේ නාට්‍යයේ රචකයා සහ නිෂ්පාදකවරයාය.


අර්නස්ට් වඩුගේ රචිත ‘සුපුන් සඳ’ 22 දා දොරට වඩී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ විසින් රචිත නවතම නවකතාව ‘සුපුන් සඳ’ ලබන 22 වැනිදා මහරගම පිහිටි ඒ මහතාගේ නිවසේදී එළි දැක්වේ. පියකුගේ නොහොබිනා දිවි පෙවෙතක් නිසා සමාජය තුළ තාඩන පීඩනවලට සහ අපහසුතාවයට පත්වන අහිංසක තරුණයකුගේ කතා පුවතක් ‘සුපුන් සඳ’ තුළින් දිග හැරේ.

අර්නස්ට් වඩුගේ විසින් මෑතකදී රචිත ‘මගේ මැණික’, ‘සංකලනි’ නවකතා ද්විත්වයත් ‘යුග දිවිය’ සහ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ ජීවිත කතාව ඇතුළත් ‘හදවත රත්තරං’ කෘති දෙකත් ඉතාමත් ජනප්‍රියත්වයක් ලබා ගත් කෘති අතර වේ.


පුංචි පැංචි රසවත් කරන්න කීර්ති එයි

එළඹෙන ඉරිදා උදෑසන (17 දා) විකාශය වන පුංචි පැංචි වැඩසටහන රසවත් කිරීමට කීර්ති පැස්කුවල් සහභාගි වේ. එහිදී ඔහු මෑතකදී නිකුත් කළ නිල් ආකාසේ ළමා ගී තැටියේ ගීත කිහිපයක් පොඩිත්තන් සමඟ ගයනු ඇත. නිල් ආකාසේ හි පද රචනා සහ සංගීත නිමැවුම් උපුල් පෙරේරාගෙනි. ප්‍රදීප් මහේෂ් ලියනගේ පුංචි පැංචි වැඩසටහන නිෂ්පාදනය කරනු ලබයි.