වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘නවල්ස්’ 16 දා අන්තර් ජාලයට

 ‘නවල්ස්’ 16 දා අන්තර් ජාලයට

සියත නාලිකාවේ ඉදිරියේදී විකාශය වීමට සූදානම් කොට ඇති පොත පත පිළිබඳ කතාබහ කෙරෙන ‘නවල්ස්’ වැඩ සටහනෙහි වෙබ් අඩවිය මෙම මස 16 වැනිදා එනම් එන සෙනසුරාදා සවස 4.00 ට ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අන්තර් ජලයට නිකුත් කෙරේ. එයට අමතරව පොතපත සම්බන්ධයෙන් තවත් වැඩසටහන් කිහිපයක් ද එදින හඳුන්වා දෙන බව වැඩ සටහනේ අධ්‍යක්ෂ අරුණ පත්තිනිගේ සරසවියට දන්වා සිටියි.


‘රිදම් නයිට්’ 17 දා බියගමදී

නළු නිළි ගී ප්‍රසංගය (රිදම් නයිට්) 2013 මාර්තු 17 ඉරිදා බියගම පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. කථනය තිලක් කුමාර රත්නායක මහතායි.


කාන්තා දිනය සමරන්න චිත්‍රපට නොමිලේ පෙන්වනවා

20 – 22 පුංචි තියටර් එන්න

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන්, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, විශේෂ කටයුතු දෙකක් සංවිධාන කර ඇත. ඉන් පළමුවැන්න, නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙලකි. ඔවුන් මෙය සංවිධාන කරන්නේ 9 වෙනි වරටයි.

මාර්තු මස 20 වෙනිදා සිට 22 වෙනිදා දක්වා චිත්‍රපට උළෙල පැවැත්වේ. දර්ශන වාර 2ක් යටතේ, මෙම චිත්‍රපට, නාමෙල් මාලනී පුංචි තියටර් හීදී නැරඹිය හැකිය.

චිත්‍රපට උළෙල පිළිබඳ තොරතුරු මෙසේයි

මාර්තු 20 – “ අ සෙපරේෂන් “ පර්සියානු චිත්‍රපටය ( සිංහල උපසිරුසි සහිතව ) සවස 3 ට සහ ප.ව. 6ට අධ්‍යක්ෂණය අස්ගාර් ෆාර්හඩ්

මාර්තු 21 – “ ඩර්ටි පික්චර් ” ( හින්දි, දෙමළ, තෙළිඟු ) අධ්‍යක්ෂණය මිලාන් ලුත්‍රියා සවස 3ට සහ 6ට

මාර්තු 22 – “ සරෆිනා ” ( ඉංගී‍්‍රසි ) අධ්‍යක්ෂණය, ඩැරල් ජේම්ස් රූඩිට් සවස 3ට සහ සවස 6ට

මෙයට අමතරව, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සංවිධාන කළ කෙටි විඩියෝ චිත්‍රපට තරගයක් ද විය. එහි ජයග්‍රාහී චිත්‍රපට ප්‍රදර්ශනය සහ ත්‍යාග ලබා දීම, මාර්තු 20 වෙනිදා ප.ව. 2.30ට සිදු කෙරේ.


‘පිත්තල කොණ්ඩෑරුම’ සෑම සෙනසුරාදාවකම ස්වර්ණවාහිනියේ

පිත්තල කොණ්ඩෑරුම ශ්‍රී ලාංකේය ජන සමායේ පවත්නා විවිධ විෂමාචාර ක්‍රියා සහ සමාජ විරෝධී ක්‍රියා අතු ගා දමන්නට වෙර දරන දරුවන් තිදෙනෙකුගේ වීර ක්‍රියා පාදක වූ ටෙලි නිර්මාණයකි. ස්වර්ණවාහිණි නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදාවකම රාත්‍රියේ විකාශය වන මෙම ටෙලි සිත්තමෙන් සංඛ, ඉසුරු සහ කාශ්‍යප යන මිතුරන් තිදෙනා සොයා ගන්නා ගුප්ත බලවේගයක් සමාජ සුබ සිද්ධිය උදෙසා යොදා ගැනෙන අයුරු දිග හැරේ. විනෝදාත්මක මෙන්ම තවත් වරෙක ත්‍රාසජනක සිදුවීම්වලට මුහුණ දෙන ඔවුන්ගේ අනාගතය කෙබඳු වේවිද? යන්න පිත්තල කොණ්ඩෑරුම ඔබට කියයි.

සමන් කුමාර ලියනගේ ගේ අධ්‍යක්ෂණයෙන් රිචඩ් අබේවර්ධන නිෂ්පාදනයෙන් නිර්මාණය වන පිත්තල කොණ්ඩෑරුමෙහි ජනක් ප්‍රේමලාල්, නිල්මිණි බුවනෙක, චාමකර මුතුකුමාරණ, හංසිකා ෂෙහානි, චන්ද්‍රසෝම බිංදුහේවා, ශනාල් මකරන්ද, ගෙවින් අභිෂේක්, මැණිකේ අත්තනායක, සරත් කොතලාවල, රිචඩ් මානමුදලි, දයාසිරි හෙට්ටිආරච්චි, සරත් චන්ද්‍රසිරි, දීපානි සිල්වා, සුජාතා අලහකෝන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. කැමරාකරණය ගාමිණි චමින්ද, තිර රචනය මායාදුන්න බණ්ඩාර, සංස්කරණය කෝලිස උදය කුමාර, කලා අධ්‍යක්ෂණය චිත්‍රසේන ද සිල්වා, අංග රචනය නාරද තොටගමුව සහ සංගීතය රංජිත් ප්‍රේමවීර විසිනි.