වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

පසුගිය සතියේ පළ වූ පැනයක් සම්බන්ධයෙන් කුරුණෑගල සෝමචන්ද්‍ර මහතා පහත අයුරින් පිළිතුරක් එවා ඇත. එය අද මෙම තීරුවේ ප්‍රථමයෙන් පළ වේ.

අර්ජුන් මහතා වෙත,

2013. 07. 03 සරසවිය පත්‍රයට ඔබ දුන් පිළිතුරු දෙකක් ගැන මෙසේ ලියමි. සන්ධ්‍යා කුමාරි – මාලිනී ෆොන්සේකා එකට රඟපෑම.

සකුන්තලා චිත්‍රපටයේ දෙදෙනා එකට රඟපෑවේ නැත. එහි සන්ධ්‍යා දියණිය ලෙස රඟපෑවා. එම දියණියගේ තරුණ කාලය නිරූපණය කළේ මාලිනියයි.

මිල්ටන් විජයට ගී ගැයුවාද?

ඔබට මතක ඇති කුමර කුමරියෝ චිත්‍රපටයට මිල්ටන් ගැයූ ‘නීල දෑසේ කවි තිසරාවි’ ගීතය. එහි එම ජවනිකාවට පෙනී සිටියේ විජය කුමාරණතුංගයි.

ගාමිණී ෆොන්සේකා මෙන් රංගනයෙහි යෙදෙමින් දක්ෂ ලෙස අධ්‍යක්ෂණයෙහි යෙදුන ශිල්පියෙක් සිටිනවාද?

ප්‍රභාත් රාජපක්ෂ - නාවලපිටිය

තමන්ම අධ්‍යක්ෂණය කරමින් රඟපාන එක කරන්න තවමත් ගාමිණී තරම් කිසිම අධ්‍යක්ෂවරයෙකුට මෙරට දී බැරි වුණා. සමහර නළුවන් චිත්‍රපට අධ්‍යක්ෂණය කළත් ඔවුන්ගේ එම චිත්‍රපට සාර්ථක වී ඇත්තේ රඟ නොපා අධ්‍යක්ෂණය කළ නිසයි. එයට එකම හේතුව ගාමිණී සිනමා කැමරාව එපිට සිට රූපය පිළිබඳ ඉගෙන ගෙන තිබීමයි.

සිනමා නළු නිළියන්ට වඩා ටෙලි නාට්‍ය නළු නිළියන් නොමඟට යාමේ ප්‍රවනතාව වැඩියෙන් පවතියි. මෙයට මූලික හේතුව කුමක්ද?

ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ

නොමඟ යනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි මට වැටහෙන්නේ නැහැ. සංඛ්‍යාත්මකව ගත්කළ සිනමාවට වඩා ටෙලි නාට්‍ය නළු නිළියන් වැඩියි. වර්තමානයේ මාධ්‍ය බලවත්කම නිසා ජනතාව වෙත තොරතුරු ගලායාමත් ඉක්මන්. අනෙක නොමඟ යනවා නම් නොමඟ යන්නේ නළු නිළියන් විතරමද?

ජෝස්, වේජස් ඔෆ් ෆයර් චිත්‍රපටවල රඟපෑ බටහිර නළු රෝයි ෂයිඩර් ගැන විස්තරයක් කරන්න.

ආනන්ද වික්‍රමාරච්චි - දෙහිඕවිට

1932 නොවැම්බර් 10 වැනිදා රෝයි රිචඩ් ෂයිඩර් නමින් ඉපිද 2008 පෙබරවාරි 10 වැනිදා මිය ගිය රෝයි ෂයිඩර් අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ ජෝස් චිත්‍රපටයේ පොලිස් නිලධාරී මාර්ටින් සී බූට්ගේ චරිතයෙන් වුවත් ඔහුගේ වඩා විශිෂ්ටම රඟපෑම ඕල් දැට් ජෑස් චිත්‍රපටයේ සිනමාවේදී ජෝ ගිඩියන්ගේ චරිතය බව මගේ හැඟීමයි. ඇමරිකාවේ නිව්ජර්සිවල මෝටර් රථ කාර්මිකයකුගේ පුත්‍රයකුª ලෙස ඉපිද රංගනය හැදෑරූ ඔහු ඇමරිකානු ගුවන් හමුදාවෙත් කටයුතු කළා. වේදිකා නළුවකු ලෙස මුලින්ම රඟපෑම හා එක්වන ඔහු රූපවාහිනියෙන් ද තම රංගනය විදහා දැක්වූවා. පසුව ඔහු සිනමාවේද දස්කම් දැක්වූවා. දෙවරක් විවාහ වූ ෂයිඩර් මෑන් ස්ටිල් ඔෆ් ද නයිට්, බ්ලූ තන්ඩර්, ද ෆ්රෙන්ච් කනෙක්ෂන්, ද රේන් මේකර් වැනි චිත්‍රපට රාශියක රඟපෑවා.

‘චෝටි බෙහෙන්’ චිත්‍රපටයේ රඟපෑ නන්දා ගැන තොරතුරු ටිකක් කියන්න.

රේමන් ලියනගේ - මුදුන්ගොඩ

1939 ජනවාරි අට වැනිදා මහාරාෂ්ඨ ප්‍රාන්ථයේ ජනප්‍රිය හින්දි නළුවකු වූ මාස්ටර් විනයාක්ගේ දියණිය වූ ඇය පියාගේ මරණය නිසා ළමා වියේදීම මන්දිර් චිත්‍රපටයේ ළමා නිළියක ලෙස සිනමාවට එක් වූවා. ඒ මන්දිර් චිත්‍රපටයේදී අවුරුදු අටේ වයසේදී රඟපෑවා. ඇය සුප්‍රකට සිනමාවේදී වී. ශාන්තාරාම් ගේ තුෆෙන් ඕර් දියා චිත්‍රපටයෙන් ජනප්‍රිය වූවා. ඇය මුලින්ම ෆිල්ම් ෆෙයාර් සම්මානයක් දිනා ගත්තේ බාබි චිත්‍රපටයෙන්. දුල්කා ෆූල්, කනූන්, හම් දෝනෝ ජබ් ජබ් ෆුල් කෙලේ වැනි චිත්‍රපට ගණනක ඇය රඟපෑවා. ඇය තරුණ වියේදී කොතෙකුත් විවාහ යෝජනා ආවත් විවාහ වූයේ නැත. පසු කාලයේදී විවාහ වූයේ සුප්‍රකට සිනමාකරු මන්මෝහන් දේසායි සමඟයි. ඔහුගේ හදිසි මරණයත් සමඟ තනි වූ ඇය වර්තමානයේ ද තනිව ජීවත් වෙනවා.

අද ඉඳහිට හෝ ඇයගේ සැප දුක් විමසන්නේ වහිඩා රෙහ්මාන්, ආශා පරේක්, සයිරා බානු වැනි ඇගේ පැරැණි මිතුරු මිතුරියන් පමණයි.

ලෝකයේ ප්‍රථම කතානාද චිත්‍රපටය වන්නේ ‘ද ජෑස් සිංගර්’ යන්නයි කියනවා. එය ඇත්ත කියා දෙන්නකෝ.

මැණිකේ විල්වල – කෑගල්ල

අම්මපා සහතික ඇත්ත.

බටහිර තිරයේ එදා කඩවසම් නළුවා වූ ටෝනි කර්ට්ස් තවම රඟපානවාද?

ඩඩ්ලි ගෝමස් – මොරටුව

ඔහු 2010 සැප්තැම්බර් 24 මිය ගියා.

පැරැණි චිත්‍රපට ඇසුරෙන් නැවත නිෂ්පාදනය වූ සිංහල චිත්‍රපට මොනවාද?

කපිල ජයවිලාල් - කුලියාපිටිය

සුජාතා, කඩවුන පොරොන්දුව, තුෂාරා, ඒ අතරින් කිහිපයක්.

ජනප්‍රිය නිළියක් වූ තමාරා දිල්රුක්ෂි දැන් කෝ?

යූ. ජී. පාලිත කුමාරසිංහ – ගඩලාදෙණිය

ඇය දැන් විදේශගත වී සිටිනවා. ටෙලිවිෂන් එකේ නම් දකින්න නැහැ.

එදා සිංහල චිත්‍රපට ගීත බොහෝමයක් අතිශය ජනප්‍රියතාවට පත් වූයේ දමිළ සංගීත අධ්‍යක්ෂවරුන් වන ඇස්. දක්ෂිණමූර්ති, ටී. ආර්. පාපා, රාජා නාගේන්ද්‍ර, එස්. කේ. ඕජා, මොහමඩ් ගවුස්, පී. ඇස්. දිවාකර්. ආර්. මුත්තුසාමි, රොක්සාමි, ටී. එෆ්. ලතීෆ් වැනි දමිළ අය නිසා බව මා කීවොත් ඔබ පිළිගන්නවාද?

සරත් රණසිංහ - කපුගොඩ

ඔබ සඳහන් කළ සංගීත අධ්‍යක්ෂවරුන්ගෙන් දෙතුන් දෙනෙකු හැර අති බහුතරය චිත්‍රපට සඳහා සංගීතය සැප වූයේ දමිළ චිත්‍රපටවල අනුකාරක තනුවලටයි. ඒවායේ ස්වතන්ත්‍ර තනු තිබුණේ අතලොස්සයි. එහෙත් ෂෙල්ටන් ප්‍රේමරත්න, සෝමදාස ඇල්විටිගල, ආචාර්ය අමරදේව, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක වැනි සංගීත අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂණය කළ ස්වතන්ත්‍ර ගී තනු දමිළ සංගීත අධයක්ෂවරන්ගේ සංගීතය අබිබවා ගියා. එහෙත් පැරැණි පුරෝගාමී සංගීත අධ්‍යක්ෂවරුන් බහුතරය චිත්‍රපට ජනප්‍රිය කළේ උතුරු ඉන්දියානු මධුර තනු කොපි කරමින්. ඇතැමුන් ඉන්දියාවේදී තමන්ගේ චිත්‍රපට සඳහා මධුර තනු නිර්මාණය කළත් අපේ චිත්‍රපටවලට නව තනු නිර්මාණය කළේ නැහැ. මේ අතර මොහමඩ් ගවුස්, මුත්තුසාමි ඇතුළු කිහිප දෙනෙකු ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කළා.