වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




රෝයි - සුමනා අලුත් වැඩක වැඩි බර සුමනාට

රෝයි - සුමනා අලුත් වැඩක වැඩි බර සුමනාට

රෝයි - සුමනා යුවළ මෙරට සිනමාලෝලීන් වෙනුවෙන් නර්මාණය කළ චිත්‍රපට සංඛ්‍යාව අති විශාලයි. ඉන් ඇතැම් සිනමා සිත්තම් තිරගත වූයේ ආදායම් වාර්තා තබමිනි. මේ දිනවල ඔවුන් දෙපොළ තවත් අලුත් සිනමාපටයක් නිර්මාණය කිරීමට සැලැසුම් සකස් කරමින් සිටින වගයි ආරංචිය.

ඒ හේතුවෙන් රෝයිටත් වඩා සුමනා කාර්යබහුල වී ඇතිවග වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා. කොහොම නමුත් රෝයි සුමනා චිත්‍රපටයක් තැනීමට ආරම්භ කළොත් දෙන්නාගෙන් වැඩිබර අදින්නේ සුමනා බව ක්ෂේත්‍රයේ හැමෝම දන්නවා.

මෙහි සංගීත නිර්මාණය සඳහා සංගීත් වික්‍රමසිංහව තෝරාගෙන ඇති අතර අනිත් ශිල්පීන් තවමත් තෝරා ගැනීම සිදු කොට නැතිලු. රෝයි සුමනාගේ අලුත්ම චිත්‍රපටයේ අලුත් විස්තර ඉදිරි සරසවිය කළාප ඔස්සේ අපි ගෙන එන්නෙමු.


වසර 50 යි, නිහාල් ඇවිත් හෙට මියුසියස් ශ්‍රවණාගාරයේදී

ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන්ගේ ගායන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ගී ප්‍රසංගය හෙට සවස 6.00 ට කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

නිහාල් එදා මෙදාතුර ගැයූ ජනප්‍රිය, කඩඉම් ගීත විස්සක් පමණ සජීවී ලෙසින් ඔහු එදින ගායනා කරනු ලබයි. ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ප්‍රසංගය සංගීතවත් කරනුයේ නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායමයි. චන්දන වික්‍රමසිංහ ඇතුළු නර්තන කණ්ඩායම විසින් මෙම ප්‍රසංගය හැඩ ගන්වද්දී රොඩ්නි වර්ණකුල හා ප්‍රියන්ත සෙනෙවිරත්න අපූර්ව රංගනයකින් නිහාල්ගේ ගායනයන්ට දායක වේ. කථනය තිලක් කුමාර රත්නායකගෙනි.

නිහාල්ගේඅලුත්ම ගීත ඇතුළත් ‘රිංගින් ටෝන්’ සංයුක්ත තැටිය ද එදින එළිදැක්වීමට නියමිතය. එහි නිෂ්පාදනය සහ වසර ‘50යි නිහාල් ඇවිත්’ ප්‍රසංගයේ අධීක්ෂණය සරත් කොතලාවල ප්‍රමුඛ ටොරානා ආයතනය මඟිනි.


ඒ මං නෙමේ

පසුගිය සරසවිය කලාපයක අනුලා බුලත්සිංහලගේ සම්මුඛ සාකච්ඡාවක් ගෙන ආවා ඔබට මතක ඇති. එහි ඇය එක්තරා නාට්‍ය සංවිධායකවරයකු ගැන විවේචනාත්මක අදහස් කිහිපයක් පළ කළා. ඒ ඔහුගේ ආත්මාර්ථකාමී ප්‍රකාශ දෙක තුනක් සම්බන්ධව.

නම නොකියා ඇය එම සංවිධායකවරයා පිළිබඳ පැවසුව ද ක්ෂේත්‍රයේ වැඩි දෙනකු අනුමාන කරලා තියෙන්නේ අනුලා පැවසුවේ ජූඩ් ශ්‍රීමාල් ගැන කියලා. දශක තුනකටත් වඩා කාලයක් නාට්‍ය සංවිධායකවරයකු වශයෙන් සක්‍රීයව සිටින ඔහු බලවත් අසිරුතාවයකට පත්වෙලා. අනුලා කියලා තියෙන්නේ තමන් ගැන නෙවෙයි, වෙනත් සංවිධායකවරයකු පිළිබඳ යැයි ජූඩ් වගකීමෙන් කියා සිටිනවා.
 

මනෝජ් පීරිස්ගේ සත්සර මෙහෙයවීමෙන් ‘සුසර ගී දැහන’ 25 දා

සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ජානක වික්‍රමසිංහගේ මියුරු ගැයුම් ඇතුළත් ‘සුසර ගී දැහැන’ ගී ප්‍රසංගය මෙම 25 වැනිදා මරදාන ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

මෙහි කථනය වසන්ත රෝහණගෙනි. සුමියුරු සත්සර දායකත්වය ලලිත කලාවේදී, විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සුබසාධක සංගමයට ආධාර පිණිස මෙය සංවිධානය කෙරේ.


රාස්ස සහ පරාස්ස 18 තඹුත්තේගම

රෝහණ දන්දෙණිය රචනා කොට අධ්‍යක්ෂණය කළ ‘රාස්ස සහ පරාස්ස’ වේදිකා නාට්‍යය මාර්තු 18 වැනිදා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී වේදිකා ගත වේ.


පුත්‍ර සමාගම 17 දා ලයනල් වෙන්ඩට්

ප්‍රසන්න විතානගේ පරිවර්තනය කළ ජයලත් මනෝරත්න විසින් නිර්මාණය කළ ‘පුත්‍ර සමාගම’ 17 වැනිදා කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකා ගත වේ.

‘උමතුසංවරුසාව’ නාට්‍යය අද කටුනායක ගුවන් හමුදා කඳවුරේ

ජයශ්‍රී චන්ද්‍රජිත් අධ්‍යක්ෂණය කරන උමතුසංවරුසාව වේදිකා නාට්‍යය මෙම මස 14 වැනිදා එනම් අද කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ සිනෙස්ට්‍රා ශාලාවේදී රංගගත වේ.


‘රූ සඳ රෑ’ 17 දා බිල්ක්ටවුන් හි

සිංහල සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ ගායක යුවළක් වන රූකාන්ත චන්ද්‍රලේඛාගේ විචිත්‍රවත් ගී ප්‍රසංගය රූ සඳ රෑ මෙම මස 17 වැනිදා සවස ඔස්ට්‍රේලියාවේ සිඩ්නි බිල්ක්ටවුන්හි බොවිමන් ශාලාවේදී පැවැත්වේ. සුරේෂ් මාලියද්ද මෙහි සංගීතය මෙහෙයවනු ලබයි. රූ සඳ රෑ ආනන්ද ජයරත්නගේ සංවිධානයකි.


‘තීවුරා මහාමායා මියැසි ඵලක’ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී .....

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් ඉදිරිපත් කරන නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු අංග රැසකින් සමන්විත ‘තීවුරා මහාමායා මියැසි ඵලක’ ප්‍රසංගය 16 වැනි (සෙනසුරාදා) දා පස්වරු 1. සිට 3. දක්වාත්, පස්වරු 5. සිට 7. දක්වාත් ප්‍රසංග දෙකක් ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වේ.

ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය සඳහා විදුහල්පතිනී පුෂ්පිකා බන්දුවංශ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයත් විශේෂ ආරාධිතයන් රැසකුත් සහභාගී වීමට නියමිතය.


‘පන්සිය පනස් ජාතකය’ 19 දා දයාවංශ සමාගමේදී දොරට වඩී

කලාසූරි නෝමන් සිරිපාලගේ නවතම සංස්කරණය විමර්ශන හා ඌණ පූර්ණ සහිත ‘පන්සිය පනස් ජාතකය’ පළමු හා දෙවන කාණ්ඩ මාර්තු මස 19 වැනිදා කොළඹ, මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී. ‘පන්සිය පනස් ජාතකය’ පළමු කාණ්ඩයෙන් ඒක නිපාතය, අපණ්ණක වර්ගයේ සිට අත්ථකාම වර්ගය අවසානයට කථා අංක 01 සිට 50 දක්වාත්, දෙවන කාණ්ඩයෙන් ඒක නිපාතය – ආසිංස වර්ගයේ සිට කකණ්ටක වර්ගය අවසානයට කතා අංක 51 සිට 150 දක්වා ඇතුළත් වේ. - යතේජා


සීවලී ඉලංගසිංහගේ නවතම සිතුවම් දැක්ම

ප්‍රවීණ චිත්‍ර ශිල්පී සීවලී ඉලංගසිංහගේ නවතම චිත්‍ර දැක්ම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පිහිටි ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී මේ දිනවලදී පැවැත්වේ. මෙම නවතම චිත්‍ර ප්‍රදර්ශනයේ ඔහුගේ මුල් යුගයේ චිත්‍ර ගණනාවක් මෙන්ම නවතම නිර්මාණ ගණනාවක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත. - සංජීව


වකුගඩුවක් ඕනෑ

රුසියානු, ප්‍රංශ, ජර්මන් සංස්කෘතික ආයතනයන්හි මෙයට වසර ගණනාවකම පැවැති කලා කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් සැපයූ කලා ශිල්පී සුදර්ශන් නෝ ආ දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගනගේ මහතා නිර්දේශ කර ඇත.

ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඡ/ධ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව පවසයි. මේ සඳහා පුණ්‍ය ක්‍රියාවක් ලෙස සලකා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතකු ඇතිනම් 0772288078 හෝ 0714818921 යන දුරකථන අංකයන්ට දන්වන ලෙස ඉල්ලා සිටියි.


 

 

 

සඳුනි චමල්කා රචිත ‘මම අසංස්කෘතිකයි’ කෙටි කතා 11 ක් ඇතුළත්

සඳුනි චමල්කා මදුරාවල විසින් රචිත ‘මං අසංස්කෘතිකයි’ කෙටි කතා සංග්‍රහය දැන් වෙළෙද පොළ වෙත නිකුත්කර ඇත. සම්ප්‍රදායික කථා රටාවෙන් බැහැර වූ කෙටි කතා 11 ක් මෙම කෘතිය සඳහා ඇතුළත්කර තිබේ. ජීවිතය දෙස නව මානයකින් දකින මෙම කෙටි කථා සංග්‍රහය සමාජය තුළ කාන්තාවට හිමි තැන දෙස යථාර්වාදීව බැලීමක් කර ඇත.

‘වාසනාවන්ත අවාසනාවන්තිය’ නම් නවකතාවෙන් ග්‍රන්ථකරණයට පිවිසි සඳුනි චමල්කා මදුරාවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සිංහල විශේෂ) උපාධිධාරිණියකි. මං අසංස්කෘතිකයි කර්තෘ ප්‍රකාශනයකි.

ජනක් ට පාසල් භූමියේ දී උපහාර....

හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ ආචාර්ය ප්‍රවීණ කලා ශිල්පී ජනක් ප්‍රේමලාල් මහතා 2012 රූපවාහිනී රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ දී හොඳම නළුවා වශයෙන් සම්මානයට පාත්‍ර විය. විද්‍යාරත්නයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ජනක් ප්‍රේමලාල් මීට පළමුව දීප ව්‍යාප්ත ටෙලි සම්මාන උත්සව හතරකින් ද වර්ෂයේ හොඳම නළුවා වශයෙන් ද ගෞරව සම්මානයට ලක් විය. ඒ ජයග්‍රහණයන් නිමිති කරගෙන ජනක් ප්‍රේමලාල් කලාකරුවා අගැයීමේ විශේෂ උත්සවයක් විද්‍යාරත්න එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණ.

පීඨාධිපති ඕපල්ලේ ඥනසිරි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හරසර ප්‍රණාම උළෙල පැවැත්විණි. මෙහිදී ටවර් හෝල් රඟහල පදනමේ විධායක අධ්‍යක්‍ෂ ඩග්ලස් සිරිවර්ධන මහතා ජනක් ප්‍රේමලාල් හට ගෞරව සම්මානය පිරිනැමූ අයුරු.

‘සෝමාදේවී’ චිත්‍රපටයට අලුත් නළු, නිළියන් තෝරාගත් දා

වීර කතා, ඓතිහාසික කතා ඇසුරෙන් වැඩියෙන් චිත්‍රපට නිර්මාණය වන මේ සමයේ තවත් ඓතිහාසික කතාවක් සිනමාව වෙනුවෙන් නිර්මාණය වීමට නියමිතයි. ඒ කීර්ති බණ්ඩාර අධ්‍යක්ෂණයෙන් දායක වෙන ‘සෝමා දේවී’ චිත්‍රපටයයි.

වළගම්බා රජ සමය හා පබැඳි ඓතිහාසික කතාවක් වන මෙම චිත්‍රපටය සඳහා නවක නළු නිළියන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණයක් පසුගියදා කොළඹ 7 සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේදී (සුදර්ශිය) පැවැත්වුණා. ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

රූකඩ රාජ්ජේ  හොරණ ට එයි

පරගස්තොට ‘සුමිතුරෝ සුබ සාධක සංගමය විසින් මෙම 17 වැනි දා සවස හොරණ ශ්‍රීපාලි රඟහලේ දී ‘රූකඩ රාජ්ජේ’ නාට්‍යය වේදිකා ගත කෙරේ.

බූරුවා මහත්තයා 16 දා ඇල්පිටියේ

ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නගේ නාට්‍ය නිර්මාණයක් වන ‘බූරුවා මහත්තයා’ 16 වැනිදා ඇල්පිටිය රූපා කරුණාතිලක ශාලාවේදී රඟදැක්වේ.

දෙයියෝ සාක්කි  17 දා බූස්සේ

ආචාර්ය අනුර චන්ද්‍රසිරිගේ ‘දෙයියෝ සාක්කි’ වේදිකා නාට්‍යයේ 50 වැනි දැක්ම මාර්තු 17 වැනිදා බූස්ස නාවික හමුදා කඳවුරේ රංග ශාලාවේදී වේදිකාගත වේ.