වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සල්ලි ගන්න ගියහම හරි ප්‍රශ්න

සල්ලි ගන්න ගියහම හරි ප්‍රශ්න

චමුපා ගොඩගේ

රිදී සිත්තම් – වර්ෂා
තුන්මංතැන්න – තාරා
යාය 4 - ශාක්‍යා

අද අපි කතාබහ කරන්නේ ඉහත චරිත ත්‍රිත්වය නිරූපණය කළ ඇයත් එක්ක. තවත් හඳුන්වාදීම් අවශ්‍ය වන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ඒ තාරකාව කවුද කියලා.

ඒ වුණත් ඇයව නමින් හඳුන්වාදීම අපේ යුතුකමක්.

චමුපා ගොඩගේ.

ඇගේ සොඳුරු සිත්මඬල කියූ කතාවයි මෙතැන් සිට ලියවෙන්නේ.

චමුපා, රංගන ශිල්පිනියක වීමේ සිහිනයක් තුන් හිතකවත් නොතිබූ ඔබ මේ වන විට රංගනයෙන් බොහෝ දුර ඇවිත්. මොකද හිතෙන්නේ කෙටි කලකදී ලැබුණු අවස්ථාවන් සහ ජනප්‍රියත්වය පිළිබඳව?

ඔබ පැවසුවා වගේ කෙදිනකවත් මට හිතිලා නැහැ නිළියක වන්න. ඊට මට අවස්ථාව ලැබුණේ මං දෙරණ ටී.වී මිස් ශ්‍රී ලංකා තරගය දින්නට පස්සේ. සාමාන්‍යයෙන් එවන් වූ තරගයකින් ජය ලැබීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් කෙනෙකුට ලැබෙන්නේ සීනිබෝල චරිත. මට වුණේ ඒකෙ අනික් පැත්ත.

වර්ෂා, තාරා සහ ශාක්‍යා පැතිකඩයන් තුනක් ඔස්සේ දිව යන චරිත. තාරාට ඇති දෙබස් හරිම බරයි. ඇය කියන හැම වචනයකටම හේතුවක් තියනවා. මා රංගනයට ඇවිත් කෙටි කාලයකදී දිගු ගමනක් යන්න අවස්ථාව ලැබුණේ ඉහත චරිතයන්ගේ ස්වභාවය නිසා. හිතට ගොඩක් සතුටුයි ඒ ගැන.

චමුපා, වර්ෂා වගේ ද? තාරා වගේ ද? ශාක්‍යා වගේද?

මගේ ගතිගුණවලට වඩාත් සමීප තාරා. ඇය වගේම මමත් හරියට පරිසරයට ආදරය කරනවා. හරිම සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ.

ඔබේ අදහස දිගින් දිගටම රංගනයේ යෙදෙන්නද?

එහෙම බලාපොරොත්තුවක් නැතුවයි මං ජීවත් වන්නේ. මගේ වෘත්තීය වශයෙන් කවදා හරි මං තෝරා ගන්නේ ගිණුම්කරණය. මේ වන විටත් සිංගප්පූරුවට සබැඳි ඔස්ටන් ඉන්ස්ටර්ටියුටි ආයතනයේ ඒ විෂය ගැන විශේෂවේදී උපාධියක් හදාරනවා.

එතකොට රඟපාන්නේ විනෝදාංශයක් විදිහටද?

රංගනය විනෝදාංශයක් විදිහට හඳුන්වනවාට මං අකැමැතියි. මන්ද යත් එය පූජනීයත්වයෙන් සැලකිය යුතු වෘත්තියක් නිසා. මට ලැබුණේ ගුණාත්මක චරිත. ඒවා මාව රංගනයට යොමු කළා. එවන් වූ චරිත ඉදිරියේදීත් මට ලැබුණොත් රංගනයේ යෙදේවි. රංගනයේ යෙදෙන අතරතුරදී විනෝදාංශයක් ලෙස නොසලකා වෘත්තීමය තත්ත්වයෙනුයි මං රඟපාන්නේ.

ඔබ හා සිංගප්පූරුව අතර සබඳතාවයක් තියනවා නේද?

ඔව්. මං කලායක් හිටියේ අධ්‍යාපනය ලැබුවේ සිංගප්පූරුවේ. එහිදී මං නිරූපණ ශිල්පිනියක වශයෙන් ක්‍රියා කළා. එහිදී ලැබුණු ආභාසයයි දෙරණ තරගය සඳහා මං යොදා ගත්තේ.

මෙහිදී නිරූපණ ශිල්පිනියක් දෙස බලන්නේ වපර ඇසින්. එහි තත්ත්වය කොහොමද?

සිංගප්පූරුවේ නිරූපණ ශිල්පය වෙනුවෙන් උපාධියක් පවා තියනවා. ප්‍රවීණ නිරූපණ ශිල්පියෝ අනිවාර්යයෙන්ම ඒ උපාධිය ලබා ගන්නවා. ඔවුනට සිංගප්පූරු සමාජයේ ඉහළ පිළිගැනීමක් තියනවා. ඒත් අපේ රටේ එවැනි පසුබිමක් නැහැ. කනගාටුයි. අනාගතයේදීවත් මේ තත්ත්වය වෙනස් වෙනවා නම් හොඳයි.

අපේ රටේ කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඒක නම් කථා කළ යුතුªම මාතෘකාවක්. ක්ෂේත්‍රය ගැන ලොකු ප්‍රසාදයක් මා තුළ නැහැ. ඒකට හේතුව කියනවා නම් අපට අදාළ ගෙවීම් ගන්න ගියාම හරි ප්‍රශ්න. සමහර විට ඒක අහන්න ඕන අයට කතා කළාම දුරකථනයට එන්නේ නැහැ. සමහර ප්‍රඩක්ෂන්වල අපට ලබාදුන් දුරකථන අංක විසන්ධි වෙලා. මං මේ කතා කරන්නේ මං වැඩ කරපු නාට්‍ය තුන ගැන නෙවෙයි, පොදුවේ සලකලා.

මූල්‍යමය ප්‍රශ්නය ඇරෙන්න වෙනත් ගැටලු ඇත්තෙම නැති ද ක්ෂේත්‍රය තුළ?

ඒ ප්‍රශ්නය තමයි මට දැනුණේ. මිල හරිම ගැටළුවක්. මං ගාණක් කිව්වාම කීයක් හරි අඩු කරන්නමයි බලන්නේ. මේක මට විතරක් නෙවෙයි ප්‍රවීණයන්ටත් තිබෙන ප්‍රබල ගැටලුවක්.

ඔබට චරිතයක් ලැබුණාම පළමුව සොයා බලන්නේ මුදල ගැනද?

කොහෙත්ම නැහැ. අධ්‍යක්ෂ, කැමරා අධ්‍යක්ෂ, ඉන්න කණ්ඩායම, නළු නිළියෝ, පිටපත, දර්ශන තල ආදිය විතරයි මං බලන්නේ. චරිතයට සරිලන මුදලක් දෙන්න අදාළ අය වග බලාගත යුතුයි.
චමුපා ගැන තවත් විස්තර

සම්පූර්ණ නම – චමුපා ශිරාණි ගොඩගේ
පාසල
– මහමායා බාලිකාව, නුවර
ගම
– නුවර
උපන් දිනය
– ජූනි 08
ලග්නය
- සිංහ

මා දන්නා පරිදි ඔබ මේ වන විට පෙම්වතියක්. ඔහු අකැමැතිද ඔබ රංගනයේ යෙදෙනවාට?

ඔහුගේ ආශිර්වාදය මතයි මගේ සියලු කලා කටයුතු කරන්නේ. ඒ වාක්‍ය ඇතුළෙ ඉහත ප්‍රශ්නයට පිළිතුරු තියනවා.

මොකක්ද ඔහුගේ නම?

ඒක දැන්මම කියන්නේ නැහැ.

කලා ක්ෂේත්‍රය ඇතුළේ පුද්ගලයින්ගේ දික්කසාද වීම් වැඩියි. චමුපාට බය නැති ද එවන් වූ ක්ෂේත්‍රයක දිගින් දිගටම රැඳෙන්න?

දික්කසාද වීම ඒ ඒ අයගේ ප්‍රශ්නයක්. අනික ඕනෑම ක්ෂේත්‍රයක දික්කසාද දැකිය හැකියි. ඒක කලා ක්ෂේත්‍රයට විතරක් පොදු ප්‍රශ්නයක් නොවෙයි.

මේ වන විට ඔබට අයුතු යෝජනා කීයක් විතර ඇවිත් තියනවද?

කියන්න සතුටුයි. එකක්වත් නැහැ.

කැමරාව ඉදිරියේ හමු වූ ඔබට ගැළපෙනම පෙම්වතා කවුද?

රොෂාන් රවීන්ද්‍ර. ඔහුත් එක්ක රඟපාන්න හරිම ලේසියි.

චමුපාට හොඳම යාළුවෝ කී දෙනෙක් ඉන්නවාද?

එක්කෙනයි. ඒ දෙනුෂ්කා වීරප්පෙරුම.

ඔබව කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

ඉස්සෙල්ලා කිව්වා වගේ හරිම සැහැල්ලු කෙනෙක්.