වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අනිත්‍යා හෙට සිට රිදී තිරයේ

තෙහදක් මත්කළ - සෙනෙහෙ සුසුම් සර

අනිත්‍යා හෙට සිට රිදී තිරයේ

නාලක විතානගේ සිනමා ප්‍රවේශය

අවසන් රාත්‍රිය කෙමෙන් වියැකෙමින් තිබුණි. ඈත් වූ ලෑලි අතරින් අපිළිවෙළ කාමරයට ඉඳහිට එබෙන අනාරාධිත සඳ එළියත් දුගඳ මිශ්‍ර වූ තෙත් සුළං රැල්ලත් මිලාන්ට ගණනක් නැත. ලෑලි කාමරයේ අබලන් වූ බෙලෙක් අල්මාරියට ගිලිහී වැටුණු මීයාගේ කර කර ශබ්දයෙන් මිලාන් නැවත පියවි සිහියට පැමිණියේය.

‘අද මං ජීවත් වන අන්තිම දවස’

විසි අට හැවිරිදි මිලාන් තම සිතට කෙඳිරුවේය. මිය යෑමේ අදිටන කෙමෙන් දැඩි වෙමින් පැවතුණි. තමා හදා වඩා ගත් මවුපියන්ට ද පිටුපාමින් තමා ආදරය කළ තරුණී; චේතනා එතෙර රටක අවසන් සුසුම් පොද වාතලයට මුහු කළ බවට සැල වූ වේදනාකාරී වචන වැල මිලාන්ගේ දෙකන් අතරේ දෝංකාර දුන්නේය.

මිලාන් ජීවිතය මුල සිට කියවන්නට තම හිත්පොත පෙරළුවේය. චේතනා සමඟ ගෙවූ අති සුන්දර ඉමිහිරි හුදෙකලා ප්‍රේම පාරාදීසය මිලාන්ගේ සිත් අහස මත බොඳව, ඉහිරී මැකී ගියේය. ක්‍රමයෙන් මිලාන වී යන චේතනාගේ මියැදුණු වත මඬල සමඟ මිලාන් උන්මත්තකයකු සේ හිනැහුණේය.

දැන් පැමිණ තිබෙන්නේ ජීවිත යාත්‍රාවේ අවසන් නිම්නයටය. තව සුළු මොහොතකින් මෙලොව හැරදා සදානන්දනීය වූ හුදෙකලා කොදෙව්වේදී චේතනා සමඟ එක් විය යුතුය. මිලාන් වහා නැගිට්ටේය. අවසන් වරට තමාට මෙතෙක් දුක් විදින්නට සෙවණ සැදූ මුඩුක්කු කාමරය දෙස මිලාන් බැලුවේ කෘතගුණ සැලකීමට මෙනි.

පටු කෙටි ගුරු පැහැති දුහුවිල්ල වසා ගත් හුරු පුරුදු ගුරු පාර දිගේ මිලාන් නොඑන ගමන යන්නට පිටත් වූයේය. පහන් කණුවේ ආලෝකයෙන් දිදුලන ඇඳි පාලම දැන් ඔහුට ඉතාම ළඟය. මිලාන් පාලම මත හිට ගත්තේය. තව මොහොතකින් මේ සියල්ල හැරදා යා යුතුය. මධ්‍යම රාත්‍රියේ අවර්ණ සඳ එළිය වෑස්සෙන ජලකඳ පාලම යටින් ඈත ඇදෙමිනි.

සියලු සිතිවිලි හිරකරලමින් මිලාන් පාලමෙන් පැනීමට සැරසුණේය. එකවර ඇසුණු ගැහැනු කටහඬ ඔහුගේ අවසන් පිටවීමට බාධා කළේය. මරණ සිතිවිල්ල පරයා නැගුණු ආගන්තුක සිතිවිලි දාමයකින් මිලාන්ගේ හිත පිරී ගියේය. ඔහු වහා හඬ පැමිණි දෙස බැලුවේය. පාලමෙන් පැනීමට ගොස් කෙළවරක හිර වී සිටින තරුණිය මිලාන්ගෙන් ජීවිතය ඉල්ලා සිටියේය.

තමාගේම වයසට සම යයි හැඟෙන මේ තරුණී බේරා ගැනීමත් සමඟම මිලාන්ගේ මරණ සිතිවිල්ල උපන් ගෙයිම මිය ගොස් තිබුණි. මේ ආගන්තුක තරුණිය; කෞෂි සමඟ ජීවිතය බෙදා ගැනීමට තීරණය කරන මිලාන්ගේ ඊළඟ නවාතැන්පල බවට පත් වන්නේ කොෂිගේ කුලී නිවෙසය.

ජීවිතය ගැනත්, මරණයේ බියකරු බවින් උපන් ළෙන්ගතු මිත්‍රත්වය ගැනත් ජීවිතයේ ඉදිරිය ගැනත් නිරතුරුවම කතාබහ කරමින් මිලාන් සහ කෞෂි එකට නිවෙසේ දෙතැනක දිවි ගෙවමිනි. එක් දිනෙක ලැබෙන ඇරැයුමකට අනුව කෞෂි සහ මිලාන් පිටව යන්නේ මිලාන්ගේ මිතුරකුගේ උපන් දින සාදයකටය. මේ සොඳුරු සාදය ඔවුන්ගේ ජීවිතය අඳුරු කරාවි යයි මිලාන්වත්, කෞෂිවත් කිසි විටෙකත් නොසිතුවේය.

දැන් සාදයේ උච්චතම හෝරාවයි. තාලයට වැයෙන ස්වර අතරේ නැටවෙන සිරුරේ හදවත් ද තාලයට ස්පන්ධනය වෙමිනි. මිලාන්ගේ මිතුරකු වන ඉම්රාන් ගේ හදවත සහ කෞෂිගේ දෑස මේ මොහොතේ වෙලෙමින් තිබුණි. කෞෂිගේ තියුණු දෑස් කැල්ම ඉම්රාන්ගේ නෙත් කෙවෙණි තුළ සැතපී තිබුණි. අවසන දෙදෙනා තාවකාලික ප්‍රේම බැම්මකින් බැඳුණේ මිලාන්ට හොරෙනි.

සාදයෙන් උණුසුම්න්ද මත්පැනින්ද සන්තර්පණය වී සිටි මිලාන් උන්නේ පියවි සිහියට ඔබ්බෙනි. ඒ හේතුව මත කෞෂිගේ කැමැත්තෙන්ම ඉම්රාන් ද කුලී නිවෙසට පැමිණෙන්නේ බලාපොරොත්තු රැසක් පෙරදැරි කොට ගනිමිනි. එදින රාත්‍රිය කෞෂිගේ සහ ඉම්රාන්ගේ ප්‍රේම ජීවිතයේ උච්චතම තැන ස්පර්ෂ කරමින් තිබිණි. උදෑසනට අර අඳින සඳඑළිය අතරේ ඉම්රාන් සහ කෞෂි යහන් ගතවන්නේ උපරිම ආදරයෙන් වෙළෙමිනි.

රාත්‍රියක ඇවෑමෙන් ළෙන්ගතු පෙම්වතුන් වූ කෞෂි සහ ඉම්රාන්ගේ ඇසුර දිගින් දිගටම දලු දමමින් පැවතිණි. මේ ප්‍රේම වෘත්තාන්තය මිලාන්ගෙන් සඟවා තබා ගැනීමට දෙදෙනාම ගත්තේ දැඩි උත්සාහයකි.

එක් දිනෙක දිවා කාලයේ කුලී නිවෙසට පැමිණෙන මිලාන් නිවෙස ඉදිරිපිට නවතා තිබූ ඉම්රාන්ගේ වාහනය දැකීමෙන් සියල්ල අවබෝධ කර ගන්නේ සංවේගයෙනි. ඒ පිළිබඳ අසන සෑම ප්‍රශ්නයකටම සෘණාත්මක පිළිතුරු සපයන කෞෂි මේ ඇසුර පිළිබඳ මිලාන් අසන කතාන්දරය තරයේ ප්‍රතික්ෂේප කරන්නේ කෝපාවිෂ්ටවය. නමුදු අවසානයේ ඉම්රාන්ගේ අමතකව ගිය මුල් පසුම්බිය පැනයට කදිම පිළිතුරක් ලබා දෙන්නේ ඉම්රාන් කෞෂි කෙරෙහි තිබූ ප්‍රේමය පලුදු කරලමිනි.

තමාගේ මිතුරකු වූ ඉම්රාන් තමා වෙහෙසී අහම්බෙන් තනාගත් පෙම් ලොව ගිනිබත් කිරීම ගැන ලොවට නොපෙනෙන්නට කඳුළු පුරන මිලාන්, ඉම්රාන්ගේ ජීවිතය පිළිබඳ සෙවීමේ මෙහෙයුම අරඹයි. මේ සෙවීම තුළ හමුවන ඉම මිලාන්ට ගෙනේනේ ආත්මීය තිගැස්මකි. තමා මෙතෙක් කල් මියගිය බව සිතා උන් චේතනා ඉම්රාන්ගේ පෙම්වතිය බව දැනගන්නා ඉම්රාන් ලොවම බිඳී ගියා වැනි හැඟීමකින් පෙළෙයි.

චේතනා මිය ගිය බව මිලාන්ට ඒත්තු ගන්වන කතා පුවත දෙමාපියන් විසින් සැලසුම් කළ මිථ්‍යා කතාවක් බව චේතනා මිලාන්ට පවසන්නේ දැඩි පශ්චත්තාපයෙනි. අහිමි වූ දෙයට වඩා හිමි කරගත යුතු දේ ගැන සිතන මිලාන් ඉම්රාන්ගේ දෙබිඩි ජීවිතය ගැන කෞෂිට පවසයි. නමුදු කෞෂි මිලාන්ගේ කිසිදු කතාවක් පිළිගැනීමට මැලි වෙයි. ඉන් කලකිරීමට පත්වන මිලාන් ඉම්රාන්ගේ දෙපස දිවි ගෙවන කෞෂිව සියැසින් දැකීමට සලස්වයි. නමුදු කෞෂි ඉම්රාන් කෙරේ ඇති ආදරය බිඳ නොගනී.

මින් කෝප වන මිලාන් කෞෂිට දැඩි ලෙස බැන වදී. සිතින් අයිති කරගත් කෞෂි තමාගේ බව සිතන මිලාන් සිතින් හඬා වැටෙයි.

මේ සියල්ල විඳ දරාගත නොහැකි කෞෂි ජීවිතයේ යථාර්ථය හෙළි කිරීමට තීරණය කරයි.

කෞෂි මෙතෙක් සඟවාගෙන සිටි කතාන්දරය කුමක් ද?

අවසානනෙය් ඉම්රාන්ට කුමක් වේවිද?

චේතනා - මිලාන්ට හිමි වේවි ද?

මේ සියලු පැනවලට පිළළිතුරු සොයන කතාන්දරයයි ‘අනිත්‍යා’. නාලක විතානගේ ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන අනිත්‍යා හෙට සිට එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවලදී නැරැඹීමෙන් මෙම පිළිතුරු සියල්ල නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇත.

නාලක විතානග

2004 වසරේදී ‘ඩොන්ට් ඩ්‍රෙස් ෆෝ ඩිනර්’ නම් වූ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි නාට්‍යය ඇසුරින් බන්දුල විතනාගේ සැකසූ සිංහල අනුවර්තනයක් ‘රාත්‍රී භෝජනය’ නමින් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන එමින් නාට්‍ය කලාවට පිවිසි නාලක විතානගේ බ්‍රිතාන්‍යයේ ඉංග්‍රිසි ප්‍රහසනවල අඩංගු සුවිශේෂ ලක්ෂණවලට දැඩි ඇල්මක් දක්වන තරුණ නිර්මාණකරුවෙකි. එම නාට්‍ය ශෛලිය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ හෙතෙම එහි ආකර්ෂණීය ලක්ෂණ ඇතුළත් සිංහල ස්වතන්ත්‍ර පිටපතන් ‘කාසිමල්ල’ නමින් තම දෙවන නිෂ්පාදනය ලෙස රංගගත කළේ තවත් පියවරක් ඉදිරියට තබමිනි.

ඉන් පසු එළැඹි කාලය තුළ රූපවාහිනී නාට්‍ය නිර්මාණකරනයට යොමුවුණු හේ එම ක්ෂේත්‍රය වෙත දැඩි අවධානයක් සහ කාලයක් යොමු කළේය.

නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ දෙකොන ගිනි, අයි ලව් ජෙනී, අල්ලපු ගෙදර ස්වර්ණවාහිනියේ විකාශය වූ අතර, මයි ස්විට් ස්ටැන්ලි මැක්ස් ටී. වී. හී විකාශය විය.

2009 වසරේ මැද භාගයේදී උපන් දා මරණය නමින් වේදිකාවට තිළිණ කළ නාට්‍යය මේ වන විට බ්‍රේකිං නිව්ස් නමින් වේදිකා ගත වේ. අනිත්‍යා නාලකගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය රූපාන්තරණ ලෙස නම් කොට තිබේ.

ආරාධිත රඟන ශිල්පීන් - සංගීතා විරරත්න, රොජර් සෙනෙවිරත්න, බන්දුල විතානගේ
ප්‍රධාන රංගන ශිල්පින් – මැණික් විජේවර්ධන, විශ්ව ලංකා, කිෂානි අලංකා පෙරේරා, උදිත් අබේරත්න
සංකල්පය, තිර රචනය සහ අධ්‍යක්ෂණය – නාලක විතානගේ
ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය – පී. බාලසූරිය
සංස්කරණය - ඒෂාන් මොටාගෙදර
අංග රචනය – නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය - රෝහණ හේවාවිතාරණ
ගීත රචනා සහ තනු - මලික් පෙරේරා
පසුබිම් සංගීතය - බුද්ධික ශ්‍රී කහවල, මධුෂාන් ෆොන්සේකා, මංගල ෆොන්සේකා
සහාය අධ්‍යක්ෂණය – කීර්ති රුවන්
නිෂ්පාදන කළමනාකරු - බුද්ධික ඉරෝෂන්
විශේෂ නිෂ්පාදන දායකත්වය - සම්පත් ජයසුන්දර, සුජිත් දොලමුලගේ, උදාර විදානගමගේ
සම නිෂ්පාදනය – හරේන් නාගොඩවිතාන, චින්තක රණවීර, නුවන් වැලිවිට
විධායක නිෂ්පාදනය - ෂදිශ් පතිරණ
නිෂ්පාදන සම්බන්ධිකරණය - බුද්ධිකා දර්ශනී