වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අඬන්න බැරුව මං දුක් වින්දා

අඬන්න බැරුව මං දුක් වින්දා

කසුන් මධුසංඛ කියූ කතාව

මංජුලා කුමාරි නොහොත් ඕලු සහ ටෙක්ලා කුමුදු කුමාරි යන ජනප්‍රිය තාරකාවන් දෙපොළ රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝවක් මේ දිනවල ටෙලිවිෂනයේ දිග හැරෙනවා. එම ගීතය ආරම්භ වන්නේ ‘නෙතු සලා පෑ හසරැල් ගගුලක්’ යන වදන් පේළියෙනි.

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තෙවන අදියරෙහි අවසන් තරගකරුවන් විසි හතරට ආ කසුන් මධුසංඛයි ඊට හඬ මුසු කොට ඇත්තේ. ගීතයේ අර්ථයත් එයට නිර්මාණය වූ අපූරු රූප රචනයත් නිසා ප්‍රේක්ෂක අවධානයට ලක් වූ එය අලළා සටහනක් තබන්න අප කල්පනා කළා. ඒ ගැන හැම විස්තරයක්ම දන්නේ කසුන්. මෙතැන් සිට ඔහු ‘නෙතු සලා පෑ හසරැල් ගඟුලක’ ගීතය පිළිබඳව කතා කරාවි.

පළමුව මං මේ වගේ අදහසක් දක්වන්නට කැමැතියි. අලුත් පරපුරේ ඇතැම් අය ගීතයක් නිිර්මාණය කොට මාධ්‍යයට කියනවා ‘මගේ අලුත් ගීතය රැල්ලෙන් මිදුන එකක්, ඒ වගේම වෙනස් අදහසක් ඇති ගීයක්’ කියලා. මං නම් ඒ වගේ පවසන්නේ නැහැ. ‘නෙතු සලා’ රැල්ලට නිර්මාණය වූ ගීයක්. අමුතු වචන නෙවෙයි මේකේ අපිට හුරු වූ සාමාන්‍ය වචන තියෙන්නේ. ඒ නිසා මේ වන විට ගීතය ඉහළ ප්‍රතිචාර ලබමින් තිබෙනවා.

මේක හරිම සංවේදීජනක අදහසක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ ගීයක්. එහි රූප රචනය ගලා යන්නේ මෙපරිද්දෙන්. දෙදෙනකු විවාහ වෙනවා. ඔවුන් මධුසමය දා සොරෙකුගෙන් පහර කා මනමාලිය මිය යනවා. මනමාලයාට කල්පනා වන්නේ විවාහයෙහි සුන්දරත්වය. ඒත් ඒ සියල්ල දැන් ගිලිහිලා වග වැටහෙනවා.

නන්දන වික්‍රමගේ මහත්මයා ඒ අදහසින් හැඟුම්බර පද මාලාව ලියා දුන්නා. එය මගේ අතට දීලා ඔහු මට කිව්වා ‘කසුන් මං ලියූ අනෙක් ගීත වගේම මෙයත් ජනප්‍රිය වේවි’ කියලා. ඇත්තටම ඔහු කියූ අනාවැකිය හරියටම හරි. ගෙදර ආ ගමන් මේ සඳහා තනුවක් යොදන්න පටන් ගත්තා. පදමාලාව අතටගෙන කිහිපවරක් කල්පනා කළමුත් කිසිම මෙලඩියක් ඔළුවට ආවේ නැහැ. ඊට පසුව මං ඇත්තටම මෙහි අදහස ගැන කල්පනා කෙරුවා. ‘මට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා නම් මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද’ එහෙම හිතුණා. ඒ හැඟීම හිතේ තියාගෙන ගීතය නිකම් යළිත් වතාවක් මිමිණුවා. එක පාරටම පදමාලාව තනුවකින් පණ ලැබුවා. එය වහා වහා මං රෙකෝඩරයකට පටිගතකර ගත්තා. ගීයේ රෙකෝඩිං ටික ඉවර කරගත් පසු රූප රචනාව කරන්නට බාර දුන්නේ ප්‍රසාද් රණසිංහට. ජගත් විජේනායක මහත්මායි ඒ සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබා දුන්නේ.

මංජුලාව වීඩියෝව සඳහා යොදා ගත්තේ ආරාධිත රංගන ශිල්පිනියක් විදිහට. මං හිතුවා ඇය බැහැ කියයි කියලා. ඒත් මගේ ඉල්ලීම ඇය අහක දැමුවේ නැහැ. ඊළඟට මෙහි ප්‍රධාන නිළියට ටෙක්ලව යොදා ගත්තා. ඔක්කොම හරි. ඒත් නළුවකු නැහැ.

ඉතිං උඹ කොල්ලා වෙයංකෝ. ප්‍රසාද් මට එහෙම කිව්වා. ඔහුගේ ඉල්ලීමට චකිතයෙන් යුතුව මං හා කිව්වා.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් අවට සහ නුගේගොඩ මිරිහානේ මෙය ෂූට් කළා. හොඳම දේ තමයි මට අඬන්න නොහැකිවීම නිසා සිදු වූ සිදුවීම. ඇත්තම කිව්වොත් මං ජීවිතයේ දුක්වෙනවට වඩා හිනා වෙලා ඉන්න කෙනෙක්. මං ආයෙත් අර හැඟීම හිතේ මවා ගත්තා. ඒ මේ සිදුවීම මට වුණා නම් කියන එක. ඉන් පසුව සජීවීව රඟපාන්න ලැබුණා.

සංස්කරණ කටයුතුවලින් අනතුරුව මාධ්‍යයන්ට වීඩියෝව බාර දුන්නා. මේ වන විට එය නිතර දෙවේලේ විකාශය වෙනවා. ගොඩක් අය රංගන ශිල්පියකු විදිහටත් මෙයින් මා හඳුනාගත්තා. මේක මගේ පස්වැනි ගීතය. ඒ වගේම මාව වඩාත්ම ජනප්‍රිය කළෙත් මේක. දැන් පාරක තොටක යද්දී මියගිය පෙම්වතිය ගැනමයි අහන්නේ. ඒ ගැන කියලාම ඇති වෙලා. කොහොම නමුත් ඒකෙන් දැනෙන්නේ ‘නෙතුªසලා පෑ හසරැල් ගඟුලක’ බොහොම ජනප්‍රියයි කියලා.