වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජීවන්ගේ ප්‍රධානත්වයෙන් බර්මින් උපහාර උළෙලක් 15 වැනිදා

ජීවන්ගේ ප්‍රධානත්වයෙන් බර්මින් උපහාර උළෙලක් 15 වැනිදා

බර්මින් ලයිලි ප්‍රනාන්දු කියන්නේ අපේ රටේ කලාව එක්ක නිතරම කියැවෙන නමක්. ටෙලි නාට්‍ය තිස් අටක් අධ්‍යක්ෂණය කළ බර්මින් දක්ෂ ගුරුවරයෙක්. ඒ වගේම ඔහු අපේ කලා ක්ෂේත්‍රයට තිළිණ කළ පිරිස අපමණයි. අද කලා ලොවේ විකුම්පාන ක්ෂේත්‍ර කිහිපයක ප්‍රධාන චරිත බර්මින්ගේ මඟ පෙන්වීමෙන් කලා ලොවට පැමිණි අය.

මේ පිරිස එකතු වෙලා බර්මින් වනුවෙන් උපහාර උළෙලක් පවත්වන්නට තීරණය කළා. බර්මින් ලයිලි හරසර ප්‍රණාම උළෙල ලෙස නම් කොට ඇති මෙම උළෙල මාර්තු 15 දා හතරට පැවැත්වෙන්නේ මහවැලි කෙන්ද්‍රයේ.

පසුගිය දිනවල බර්මින් තවත් අපූරු කටයුත්තකට මුල පිරුවා. ඔහු තමාගේ ටෙලි නිර්මාණ දහසයක් සංරක්ෂණය සඳහා බාර දුන්නා.

මේ කටයුතු අතරේ අපි බර්මින් හමු වුණේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන කතාබහ කරන්න.

* මුලින්ම අප අතීතයෙන් ගමන් අරඹමු.

මං කලාවට ආවේ තිස්ස ගුණවර්ධන ගුරුතුමාට පින්සිද්ධ වෙන්න. එතුමා අධ්‍යක්ෂණය කළ කැකිල්ලේ රජ්ජුරුවෝ නාට්‍යයෙන් තමයි මං කලාවට පය තිබ්බේ. එතැන් පටන් මං කලාව මගේ ජීවිතය බවට පත් කර ගත්තා. ඉන් පස්සේ ගුරුවරයෙක් විදියට තවත් පරපුරකට කලා රසය බෙදන්නට මට හැකිවීම සතුටක්. ගුරු සේවයෙන් සමු අරගෙන මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසුණා. මේ වන විට ටෙලි නාට්‍ය තිස් අටක් මා අධ්‍යක්ෂණය කොට තිබෙනවා.

ඒ ගෙවුණු කාලය අතිශය සුන්දරයි කියලා මට හිතෙනවා. මං නිර්මාණය කළේ ඒ කාලයට ගැළපෙන විදියට. ජනවාර්ගික අර්බුදය ගැන මං කළ නිර්මාණ මිනිසුන් සන්සුන් කරන්නට ඉවහල් වුණා. ඒ වගේම භීතියෙන් සැතපිලා හිටිය මිනිස්සුන්ගේ හිනාව දැක ගන්න මං බෝඩිම වගේ නාට්‍යයක් කළා. ගංගා සහ නිශ්ශංක අතිශය ජනප්‍රිය වුණා. මේ ආපු දිගු සාර්ථක ගමන මට ශක්තියක්.

එ වගේම මං පරමාදර්ශ ගුරුවරු ගැන සංයමයෙන් කතා කලා. මං ගුරුවරයෙක් වුණ නිසා ගුරු දෙවිවරු ගැන කතා කරන්න මට උවමනා වෙලා තිබුණා.

* මේ ගමනේ අසුන්දර තැනුත් තිබෙනවා?

ඔව්. මං අධ්‍යක්ෂණය කළ සිවුරඟ සේනා තිරගත වුණේ මගේ නම නැතිව. මං ඒ චිත්‍රපටය බැලුවේ මුදල් ගෙවලා. මගේ අකුණු සැර ටෙලි නාට්‍ය විකාශය වුණේ මගේ නම නැතුව. මේ වගේ එකී මෙකී නොකී බාධක මැද තමයි මේ ගමන ආවේ.

* මේ කලකිරීම නිසා ද ටෙලි නාට්‍ය කරන්නේ නෑ කියන තීරණේට ආවේ?

ඔව්. ඇත්තටම මං ඉන්නේ දැඩි කලකිරීමෙන්. අපි මහන්සි වෙලා ටෙලි නාට්‍ය හැදුවට ඒව පෙන්නන්න දහදුක් විඳීන්න වෙනවා. ඒ නිසා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න හිතුවා.

* ස්ථාවර තීරණයක්ද?

මේ ළඟදී මං රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයට ගියා. එතැනදි ජනාධිපතිතුමා මුණ ගැහුණා. එතුමාගේ ඉදිරි වැඩ පිළිවෙළ ගැන මට තිබෙන්නේ ලොකු පැහැදීමක්. මගේ තීරණය වෙනස් වුණා. ඊළඟට රන්මිහිතැන්නේ ටෙලි නාට්‍යයක් කරන්න මං තීරණය කළා. ඊට අමතරව කවුරුන් හෝ ටෙලි නාට්‍යයක් විකාශය කිරීමට දිනයක් ලබා දී මට නාට්‍යයක් කරන්න කිව්වොත් මං නොපැකිළිව එය භාර ගන්නවා. මං තවමත් මේ ක්ෂේත්‍රයට ආදරෙයි.

* හරසර ප්‍රණාම උළෙල ගැනත් කතා කරමු.

මෙම උළෙල පැවැත්වෙන්නේ මාර්තු 15 වැනිදා හවස හතරට මහවැලි කේන්ද්‍රයේදී. පනස් දෙවසරක මගේ ජීවිතේ කලාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් තමයි මේ උළෙල සංවිධානය කොට තිබෙන්නේ. දැනට කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දැවැන්තයන් මගේ මඟ පෙන්වීමෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි උදවිය. ඒ අය තමයි උළෙල සංවිධානය කරන්නේ.

ජීවන් කුමාරණතුංග ඇමතිතුමාගේ, අපේ සහෘදයාගේ ප්‍රධානත්වනයෙන් පැවැත්වෙන උළෙලේ රසදුන පුවත්පතේ කර්තෘ සුනිල් මිහිඳුකුල, ගීත රචක නිලාර් එන්. කාසිම්, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය සරත් විජේසූරිය, ගීතා කුමාරසිංහ, රන්ජන් රාමනායක, අනර්කලී ආකර්ෂා, දිල්හානි ඒකනායක, සුදත් රෝහණ, ආත්මා ලියනගේ සහ ඩබ්ලිව්. එච්. කේ. විජේසේකර කෙටි දෙසුම් පැවැත්වීමට නියමිතයි.

මේ උළෙලේදී මගේ නිර්මාණවල ඩී. වී. ඩී. එකතුවක් එළිදැක්වීමට ද කටයුතු සංවිධානය කොට තිබෙනවා. එදාට මගේ නමින් වෙබ් අඩවියක් ද එළි දක්වනවා.

ඇත්තටම මේ ප්‍රණාම උළෙල ගැන මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. රුක්මණී ඉඳල මේනකා මධුවන්ති දක්වා නවක නිළියන් සමඟ මං වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ සුළු කාලයක් නෙවෙයි. මේ ප්‍රණාමය මට තවත් ශක්තියක් ගෙනේවි.

* ඔබ චිත්‍රපටයක් කරන්නට මුල පිරුවා නේද?

ඔව්. මේ චිත්‍රපටයේ නම සඳළුතලේ කුමාරිකාව. ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, ටෙනිසන් කුරේ, ශිරෝමි රොමේශිකා, අනූෂා දමයන්ති, මේනකා මධුවන්ති, චංචලා වර්ණසූරිය, ප්‍රේමදාස විතානගේ, චතුර පෙරේරා, නෙතු ප්‍රියංගිකා වගේ පිරිසක් තමයි මේ චිත්‍රපටයට දායක වෙන්නේ. මේ චිත්‍රපටයේ තිර රචනය සෝමපාල ලීලානන්දගෙන්. ගීත රචක නිලාර් එන්. කාසිම්ගෙන්. මෙම චිත්‍රපටයට රවිහාන්ස් වැටකේපොත වගේ අලුත් පරම්පරාවේ සංගීතඥයෙක් ද සම්බන්ධ කරගන්නට මට හැකි වුණා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ දමින්ද ඩයස්.

* රසවත් සිදුවීම් එමට ඇති මේ ගමනේ?

අමතක නොවන සිදුවීම් නම් අසීමිතයි. මං වාලම්පූරි චිත්‍රපටය රූගත කළේ මරිච්චිකට්ටිවල. අපි ගිහිං ඉන්න වෙනම තැනක් හැදුවා. පරණ පෘතුගීසි ගෙවල් කිහිපයක් දොරවල් ජනෙල් දාලා ඉන්න පුළුවන් විදියට හදා ගත්තා. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා දැන් රූගත කිරීම්වලට සූදානම්. නමුත් කැමරා අධ්‍යක්ෂවරයා තවමත් නෑ. ඩොනල්ඩ් කරුණාරත්න තමයි කැමරා අධ්‍යක්ෂවරයා හිටියේ. අන්තිමට මං ගියා ඩොනල්ඩ් හොයාගෙන. බලද්දී ඩොනල්ඩ් ආගර පතනෙ චිත්‍රපටයක වැඩ. බලෙන් තමයි ඩොනල්ඩ්ව අපේ රූගත කිරීම්වලට අරන් ආවේ. මේක මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ.

* ඔබ ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. නව පරම්පරාව ගැන මොකද හිතෙන්නේ?

මං උදාහරණයක් දෙන්නම්. ඉස්සර දවසක ජේ. එච්. ජයවර්ධන රංගන ශිල්පියා තමන්ට පිටපත ලැබුණාම මුලින්ම කිහිපවරක් පිටපත කියවනවා. ඉන් පස්සේ තමන්ට තිබෙන දෙබස් යටින් රතු පාට ඉරි අඳිමින් ඒවා පාඩම් කරනවා. දර්ශන තලයට එයා එන්න ඉස්සර වෙලා කිහිප වරක් පෙර පුහුණු වෙනවා. ඒත් අද නළු නිලියෝ දර්ශන තලයට ඇවිත් පිටපත අරන් වටේටම එස්. එම්. එස් යවනවා.

මේ කතාවෙන් තත්ත්වය පැහැලියි. අද ඉන්න අතැම් අය කරන්නේ කියන දේ විතරයි. එත් එදා හිටිය නළු නිළියන් ඊට වඩා තමන්ගේ නිර්මාණ වෙනුවෙන් කැප වුණා. නවකයන්ට ඉදිරියට යන්නට හෝ දියුණු වෙන්නට උවමනාවක් නැහැ. අද බලන්නේ ආපු ගමන් ප්‍රධාන නිළිය වෙන්න.

ඉස්සර නිළියෝ දර්ශනයකට ඇඳුමක් ඕනෙ කිව්වම ඇඳුම් මල්ලක් අරන් එනවා. අද කෙළින්ම අධ්‍යක්ෂකගෙන් අහන්නේ මගේ ඇඳුම් රෙඩි නේද කියල. මේකයි අද තත්ත්වය. මේ හේතුව නිසා අද තරු නැහැ. තරු ගුණයෙන් හෙබි නළුවෙක් හෝ නිළියක් වෙන්න කාටවත් උවමනාවකුත් නැහැ.