|
ශාන්ත සොයිසාගේ ‘නෙතු’ රූගැන්වෙන ගොතටුව දර්ශන තලයට යමු
රෑපානේ එකටම ආලින්දයට ගොඩවදින එයාලාව පසුගිියදා අපට අංගොඩ - ගොතටුවේ ශාන්ත සොයිසාගේ නිවෙසේදියි හමුවුණේ. මෑතකදීම 'පබා', 'පබළු' ආදි ටෙලිවලින් ප්‍රේක්ෂක හදවත් හි සම්මානනීය වූ ශාන්ත සොයිසායි රූපවාහිනී මහගෙදර (ස්වාධීන රූපවාහිනිය) වෙනුවෙන් නෙතු ටෙලියට නගන්නේ. රැයේ ආලින්දය පුංචි තිරයෙන් සරසන්නට 'නෙතු' වෙනුවෙන් සලරූ අමුණ අමුණ සිටි ඒ අය අප එහි ගොඩවදිද්දී එක්රොක්ව සිටියේත් ශාන්තගේ නිවෙසේ ආලින්දයට. ඒ සැඳෑවේදී නිවෙස් වැරෙන්ඩාවේදියි කමලසිරි, කොඩී දෙන්නා එකට හමු වෙන්නේ. කමලසිරිවත් මගින් බස්සවාගෙනමයි කොඩී තවත් මොක මොකක්දෝ ඩීල් වැඩකට යන්න යන්නේ. 'එක සීන්නෙකකට වරුවක් නැතිනම් ඊටත් වඩා ගතවෙන වෙලාවලුත් තියෙනවා. දවස ගානේම නෙතු ටෙලියට දර්ශන එකතු වෙනවා. ඒ රූගන්වීම්වලට පිළියන්දල අවට දර්ශන තලත් යොදා ගැනෙනවා. රත්නා ලාලනී ජයකොඩි අලුතින් නෙතු පිරිවරට එක්කාසු වෙනවා. හුඟක් වෙලාවට අලුත් ටෙලියක් කරද්දී ඒත් එක්කම අලුත් මුහුණක් හඳුන්වා දෙන්නත් මං කටයුතු කරනවා. නෙතු ටෙලියෙන් ඒ වරම ලැබූ දිනූෂා සිරිවර්ධනටත් අද පෙර පුහුණුවීම් ආදියට තිබෙන කැපවීම ඉදිරියටත් තිබුණොත් ඇයත් රටේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වේවි. අපේ නෙතු පිරිවරම පසුගිය දවස්වල එකට එකතු වෙලා ස්වභාවික විපත්වලට ලක් වෙච්ච ජනතාවට උදව් පදව් කරන්නට එක්වීමත් අපේ බැඳීම පෙන්වන්නක්. 'නෙතු' අධ්‍යක්ෂණය කරන ශාන්ත සොයිසා රූ ගැන්වීම් අතරතුර ලද විවේකයකදී අපට එහෙම කියනවා. අපව මුණගැහුණු හැන්දෑකරේ ෂූටිං හමාර වෙලා විශ්ව කොඩිකාර ආපිට මහනුවර යන්නයි හිටියේ.
'ශාන්ත සොයිසා මගේ මුල්ම ටෙලි නාට්‍ය අධ්යක්ෂතුමා. ඔහුයි මාව පුංචි තිරයට හඳුන්වා
දුන්නේ. කාර්යබහුල නමුත් මං පුදුම සතුටකින් ජීවත් වෙන්නේ. විශේෂයෙන් ශාන්ත සොයිසාගේ
නිර්මාණ කාර්යයකදී අපට ඕනෑකරන ඒ නිර්මාණ විවේකය නොඅඩුවම ලැබෙනවා. රංගනයේදී නිතරම මනස නිරවුල් කරගෙන ඉන්නට ඕන. මට ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් මං රඟපෑමට එන්නේ ඒ සියල්ලම අමතක කරලා. ඉතින් මට ලොකුවට ප්‍රශ්නත් නැති කෙනෙක් නිසා කොහොමටත් ගැටලුවක් නෑ' ඒ විශ්ව කොඩිකාරගේ අදහස්. ඕනෑම වෙලාවක සිනහමුසු මුහුණින් සැහැල්ලුවෙන් සිටිනවා දකින මීනා එක්කලායි අපේ දැන් දොඩමලුව. මීනාගේ විවේකය ගතවෙන විදිය දැනගන්න ප්‍රේක්ෂිකාවන් එහෙම වැඩිපුර කැමැති ඇති? දියණිය උසස් පෙළට සුදානම් වෙමින් සිටිද්දී ගෙදරදොර වගකීම් කන්දරාවත් ඉටුකරනා ගමන්මයි මීනා හුරුපුරුදු සැහැල්ලුවෙන්ම අපට උත්තර දෙන්නේ. 'සොබාදහම විඳින්න මං හරි ආසයි. විශේෂයෙන් කුරුල්ලන්ට. ගෙවත්තට කුරුල්ලෝ එනකල් මං එයාලට කෑම බීම තියලා මඟ බලන් ඉන්නේ. මට ඒ පුරුද්දෙන් ලොකු මානසික සුවයක් ලැබෙනවා. ඒ හැරෙන්නට පොත්පත් කියවීමත් ඒ නැතිනම් විවිධ කලාත්මක චිත්‍රපට නැරඹීමත් මගේ එදිනෙදා විවේකය ගෙවෙන කටයුතු. පුද්ගලික ජීවිතයෙන් 'නෙතු' දිහෑට හැරී බලා මීනා ඇය නෙතූ වෙනුවෙන් මවන චරිතය දැනෙන හැටිත් සිහි කළා.
මීනා ළඟින් හැරෙද්දීම අප ඇස ගැටෙනා කුප්පියාවත්තේ කොඩීව අත්හැර යන්නට සිතක් අපට නැහැ. 'කුප්පියාවත්තේ කොඩී මඟ තොටේදී ඉහළ ප්‍රතිචාර ලැබෙන වෙනස්ම චරිතයක්. ඒ චරිතය කළු චරිතයක් ද සුදු චරිතයක් ද කියන එක නෙවෙයි. කොඩීගේ චරිතය මිනිස්සුන්ට දැනිච්ච එකයි මට වැදගත්. ඔයා කොඩී විදියට හොඳට රඟපානවා කියලා මට හුඟක් ප්‍රේක්ෂකයෝ කියලා තියෙන්නේ. එකම කාලයක විවිධ නාලිකාවල විකාශය වෙන ටෙලි නාට්‍ය ගණනාවකින් මේ දිනවල ප්‍රේක්ෂකයන් මාව දකිනවා'.
දවසේ මෙහෙවර හමාර කරලා සැඳෑව තුරුලු කරන්
චන්දික, මීනා දෙදෙනාගෙන් ඈත් මෑත් වුණත් නෙතු ටෙලි නාට්‍යයේ මීනාගේ මෙහෙකාරියට පණ දෙන ප්‍රවීණ රංගන ශිල්පිනියක් තවම දර්ශන තලයේ. ඇය සමන්ති ලැනරෝල්. 'අරයට මොකද වෙන්නේ. මෙයාට අන්තිමට මොකද වෙන්නේ කියලා එහෙම මගෙනුත් හුඟක් ප්‍රේක්ෂකයන් අහනවා. නෙතු ටෙලි නාට්‍යයේ වයලම්මාගේ චරිතය මං කරන්නේ'. 'දෙවැනි ඉනිම' 'සිහිනයක් නිසා' ආදී ටෙලි නාට්‍ය හරහාත් අප හමුවන සමන්ති කොමඩි චරිතවලට කොටු නොකොට ඊට වෙනස් චරිත ලැබීම පිළිබඳ සතුටකින් පසුවන්නේ. විශ්ව කොඩිකාර, දිනූෂා සිරිවර්ධන, චන්දික නානායක්කාර, මීනා කුමාරි, රත්නා ලාලනි ජයකොඩි, ලාල් කුලරත්න, චමිලා පීරිස්, ගයනා සුදර්ශනී, ප්‍රියන්ත සෙනෙවිරත්න, සමන්ති ලැනරෝල්, නිපුනිකා හේවාගමගේ, දිමුතු චින්තක, වත්සලා දියලගොඩ, අභිෂේක් සොයිසා, අනිල් විජේසිංහ, මහේෂ් උයන්වත්ත, ධම්මික අලුත්ගෙදර, ශ්‍රීමතී හීනටිගල, නයෝමි තක්ෂිලා, උදේනි නදීකා, අනුර ජයසේකර ආදීහු රැඟුමින් නෙතු හැඩ කරති. සහාය අධ්යක්ණයෙන් සුරංග විජේසුන්දර ද කැමරාවෙන් රොෂාන් පෙරේරා ද වේශ නිරූපණයෙන් මධුශංඛ දිසානායක ද කලා අධ්‍යක්ෂණයෙන් චාමර හෙට්ටිආරච්චි ද සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත නාවලගේ ද නිෂ්පාදන කළමනාකරණයෙන් වික්ටර් කුරේ ද එක්වන නෙතු මහේෂ් රත්සර මද්දුම ආරච්චි ස්වාධීන රූපවාහිනියට රචනා කරයි.
|