වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




උලෙළේ භූතයන් සොයන්න පෙර හෘදය සාක්ෂියට එකඟ වන්න ජූඩ්!

උලෙළේ භූතයන් සොයන්න පෙර හෘදය සාක්ෂියට එකඟ වන්න ජූඩ්!

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජූඩ් රත්නම්ගේ 'ඩීමන්ස් ඉන් පැරඩයිස්' චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීමට තීරණය විය. ඔහුගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් චින්තන ධර්මදාස සිය කෘතිය උලෙළින් ඉවත් කර ගැනීමට ප්‍රයත්නය දැරුවද, නිෂ්පාදකවරයා එය ප්‍රදර්ශනය කිරීමට ගත් තීරණයට එරෙහි වීමක් ලෙස තම කෘතිය නැරඹීමෙන් වළකින ලෙස ඔහු සමාජ මාධ්‍ය මඟින් කළ ඉල්ලීමක් කළේය. මාලක දේවප්‍රිය තරගකාරී අංශයෙන් සිය කෘතිය ඉවත් කර ගත්තේය. මේ සිදුවීම පිළිබඳ පසුගිය සතියේ සරසවිය පුවත්පත මඟින් කළ සම්මුඛ සාකච්ඡා සංවාදයට විවෘත බව අපි කීවෙමු. එසේම සමබර මාධ්‍ය කලාවක් අගයමින්, ප්‍රතිපාර්ශ්වයට දුන් සම්පූර්ණ ඉඩ ලබා දීමට එකඟ වෙමින් මේ තීරණයට හේතුව අපි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා මහත්මියගෙන් විමසුවෙමු. මේ ඇගේ අදහස් දැක්වීමයි...

අපි මුලින්ම යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පිළිබඳ හඳුන්වා දෙමු?

වෘත්තිය වෙනකක් වුවත් මම චිත්‍රපට ගැන උනන්දුවක් තිබෙන රසිකාවක්, සිනමා රසාස්වාදය පිළිබඳ හැදැරූ කෙනෙක්. ලංකාවේ සිනමාව, සිනමා රසවින්දනය කියන්නේ රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ පෞද්ගලික අංශයේ විශාල මැදිහත්වීමක් දකින්න නැති ක්ෂේත්‍රයක්. අපි යුද්ධයක් එක්ක ජීවත් වුණු සමාජයක්. 83දි මම පාසල් ශිෂ්‍යාවක්. පානදුර නගරයේ පාසල ඉදිරිපිට කෝවිලත්, මහ වීදියත් ගිනි ගන්නවා මම දැක්කා. ඒ වෙද්දි මුස්ලිම්, දෙමළ, සිංහල සියලු ජනයා ජීවත් වූ මේ නගරයේ සතියකදී දෙමළ ජනතාවගෙන් හිස්වන හැටි මම දැරිවියක ලෙස දැක්කා. පාසලින් නික්මිලා මේ මහ සමාජයේ ජීවත් වන මගේ අවරුදු තිහකට වැඩි කාලයක් ගෙවුණේ මේ යුද්ධය, ජන වර්ගය, ආගම, කතාකරන භාෂාව මුල් කරගත් ගැටුම් එක්ක. ඒ යුද්ධය නිමා වෙලා 2009 සිට මේ වනවිට වසර ගණනාවක් ගත වී තිබෙනවා. ඕනෑම රටක යුද්ධයක යම් සන්ධිස්ථානයකින් පසුව, ඒ ක්‍රියාවලියේ සිටි යම් යම් පාර්ශ්වවලට සිදුවුණු අකටයුතුකම් වෙනුවෙන් යම් යුක්තියක් ඉටු කිරීමේ ක්‍රියාවලියක් ඇති වෙනවා. යුද්ධය නිමා වීමත්, සාමය ළඟා කර ගැනීමත් අතර ඇති ඒ ක්‍රියාවලියට අපි සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලිය කියා කියනවා. දකුණු අප්‍රිකාව වැනි රටවල ඒ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් සිදු වුවත් ලංකාවේ අපි එහෙම දැක්කේ නැහැ. ඒ නිසාම යුද්ධය නිමා වුණාට ගැටුම තාම ඉවර නෑ. එවැනි රටක සමාජයක, අවුරුදු තිහක කාලයක් විවිධ තැන්වල, කුඩා කණ්ඩායම්වලට, තරුණයන්ට විදේශීය චිත්‍රපට කෘති වශයෙන් ලබා ගත නොහැකි කාලවල චිත්‍රපට ප්‍රදර්ශනය කරමින් යම් සාකච්ඡාවක් ගොඩ නඟමින් සිටි කෙනෙක් මම.

යාපනය කියන්නෙත් එහෙම තැනක්. යුද්ධයෙන් අවතැන් වූ කාන්තාවන් සහ ළමයින් පිළිබඳ යම් සමීක්ෂණයක යෙදෙන සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ නියැලෙන්නියක ලෙස යුද්ධය පැවතුණු කාලයේ මෙන්ම යුද්ධයත් සාමයත් දෙකම නොතිබුණු කාලවල යාපනයේ වැඩ කරමින් දිගු කලක් ජන වර්ග තුනටම සිදු වුණු හානිය ඇසින් දුටුවකු ලෙස ඒ කලාපවල ජීවත් වූ කෙනෙක්. මෙහිදී පදවිය ශ්‍රීපුර වැනි ප්‍රදේශවල යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාව සමඟත් මම කටයුතු කර තිබෙනවා. මුස්ලිම් ප්‍රජාවට යාපනයෙන් ඉවත් වෙන්න කියලා එල්ටීටීඊය බල කළ වෙලාවේ එතැනින් අවතැන් වෙලා පුත්තලම, කල්පිටිය ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම් අය සමඟත් මම වැඩ කළා. උතුරේ විශේෂයෙන්ම රජයේ හමුදාව, ඉන්දියානු සාම සාධක හමුදාව ආදී අය මෙන්ම එල්ටීටීඊය නිසා තමන්ගේ ප්‍රජාවෙන්ම තමන්ට තර්ජන එල්ල වූ අය සමඟ වැඩ කළ කෙනෙක් මම. ඒ ක්‍රියාවලියේදී යම් විදිහකින් මේ යුද්ධය නිම වූ පසුවත් අදටත් යාපනය උප අර්ධද්වීපයේ මේ ජීවත් වන ප්‍රජාව බෙදිලා ඉන්නවා. ඒ භාෂාව නිසා නෙවෙයි. කුලය, ආගම, අධ්‍යාපන මට්ටම හෝ විශ්වාස කරන දේශපාලන මතවාද නිසා වෙන්න පුළුවන්. මගේ අත්දැකීම අනුව මේ බෙදුණු සියලුම කොටස් එක් ස්ථානයකට ගොනු කරගන්න ප්‍රබල අභියෝගයක් තිබෙන තැනක පිළිතුරක් සෙවීම ලෙස එකම වේදිකාවකට සියලු දෙනා ගෙන ඒමේ අරමුණ තමයි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළට ආරම්භයෙදී තිබුණේ.

මේ උලෙළට චිත්‍රපට තෝරන්නේ කවුද?

සිනමා උලෙළක පෙන්වන සිනමා කෘති තෝරා ගන්නේ අභිරක්ෂක මණ්ඩලයක් (ඛ්භපචබධපඵ) මඟින්. මේ උලෙළේ නිර්මාණ අධ්‍යක්ෂවරයාගේ වගකීම මා අතින් වැඩියෙන් සිදු වන්නේ. ඊට අමතරව යාපනය වගේ ස්ථානයක වැඩ කරන විට යම් යම් වැඩ කොටස් පහසු කිරීම සඳහා උදව් කරන මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ පවා ඉතිහාසය ගෙන බැලුවොත් විවිධ දේශපාලන මතිමතාන්තරවල ඉන්න අය. ඒත් කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා.

වසර තුනක් පුරා පැවැත්වුණු උලෙළ පිළිබඳ දකුණේ තිබුණේ අවම අවධානයක්. විශේෂයෙන්ම සිංහල මුද්‍රිත මාධ්‍ය වැඩි ගණනක් මේ උලෙළ පිළිබඳ එකදු වාක්‍යයක්වත් පළ කර නැහැ. එකම රූපවාහිනී නාළිකාවක්වත් උලෙළේ අධ්‍යක්ෂවරිය ලෙස මට වැඩසටහනක් ලබා ගන්න ආරාධනා කරලා නැහැ. ඔබ දන්නවා තානාපති කාර්යාලයකින් චිත්‍රපට තුන හතරක් ගෙනත් කොළඹ නගරයේ උලෙළක් පවත්වන විට රජයේ සහ පෞද්ගලික නාළිකා උනන්දුවෙන් ඒ පිළිබඳ සාකච්ඡා ලබා දෙන බව. ඒත් අපෙන් කිසිම සංවාදයක්, විමසීමක් නැ.

ඔබ මාධ්‍යවලින් ඉල්ලීමක් කළාද?

අප ප්‍රධාන මාධ්‍ය හමුවක් පවත්වනවා යාපනයේ. ඊට සමගාමීව ආරාධනා කරනවා මේ උලෙළට සහභාගී වන්න කියලා. සරසවිය පුවත්පත වැනි සමහර ආයතන සහභාගී වෙලා ඒ ප්‍රවෘත්තිය පළ කර තිබෙනවා මෙවැනි උලෙළක් තිබුණු බවට. ඒත් මම කියන්නේ ප්‍රචාරය ලබා නොදුන් මාධ්‍ය ගණන වැඩියි. එවැනි තත්ත්වයක් තිබියදී යාපනයේ දෙමළ මාධ්‍යවල හැසිරීම වෙනස්.

යාපනයේ ජනතාව මේ උලෙළ දකින්නේ කොහොමද?

පසුගිය අවුරුදු තුනේම මේ චිත්‍රපට උලෙළට වැදුණු ලේබලය තමයි එල්ටීටීඊ විරෝධී චිත්‍රපට උලෙළක් යන්න. ඉන් දැඩිම විරෝධය මට එල්ල වුණේ ගිය වසරේදියි. ඒත් මේ උලෙළ මඟින් උත්සාහ කරන්නේ සියලු පාර්ශ්වයන්ගේ මතයන්ට ඉඩ දීම නිසා කිසිදු අවස්ථාවක පක්ෂග්‍රාහී වන්න මම ඉඩ තැබුවේ නැහැ. ඒ නිසාම යුද්ධයේ අවසාන කාලය පිළිබඳ යාපනයේම ජීවත් වන සිනමාකාරිනියක වන ෂෙරීන් ක්ෂේවියර්ගේ උත්‍රපුල්ලෙයාර් චිත්‍රපටය උලෙළට ආවා. ඒ වගේම යාපනයෙන් විශේෂයෙන් යුරෝපයට සංක්‍රමණය වුණු අය අතින් තම ප්‍රජාව පිළිබඳ ඉතාම තියුණු පහරදීම් සහ විවේචන රැගත් චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. මේවා දකුණෙන් එන මාධ්‍යවේදීන් ඇතුළු පිරිස දැක තිබෙනවා. උතුරේ ඒවාට මතු වුණු සංවාද පිළිබඳ සහභාගීවූවන් දන්නවා. එනිසා උතුරේ මාධ්‍ය මේ උලෙළ දෙමළ විරෝධී, දකුණේ න්‍යාය පත්‍ර උතුරට ගෙන එන උලෙළක් ලෙස හඳුන්වා තිබුණා. ඒ අභියෝග මැද තමයි මම මේ උලෙළ කරගෙන යන්නේ.

ඒ අභියෝග ජයගන්න ඔබට සහායක් ලැබුණද?

මේ මොහොතේ මට අවි අමෝරාගෙන සිටින දකුණේ මාධ්‍යවේදීන් සහ විචාරකයන් කසිම කෙනෙක් දකුණෙන් ගිය මේ තනි ගැහැනිය වන මට ඒ විරෝධවලදී මා සමඟ එකට හිටගත් බවක් මතක නැහැ. මම දෙමළ විරෝධී නැති බව කියන්න මේ කිසි කෙනෙක් හිටියේ නැ. මා එක්ක හිටියේ යාපනය අර්ධද්වීපයේ තමන්ගේ විචාරාත්මක කෘති ඉදිරිපත් කරන්න උත්සාහ කළ සිනමාකරුවන්. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සංජීව පුෂ්ප කුමාර, ප්‍රියන්ත කළුආරච්චි, විමුක්ති ජයසුන්දර වගේ නිර්මාණකරුවන්ගේ අත්දැකීම් මේ උලෙළේ ප්‍රදර්ශනය වී තිබෙනවා. ඒ නිර්මාණවලදී මුහුණ දුන් අභියෝග ප්‍රථම වතාවට හෙළි කරන්න මම කැමතියි. සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් පිළිබඳ විචාරකයන්ට විවිධ මත ඇති. ඒත් එහි අන්තර්ගතය ගත්තොත් කියවෙන්නේ දකුණේ පැවතුණු භීෂණය පිළිබඳව. උතුරේ ජනයා කැමති නැ ඔවුන්ට තිබුණු පීඩාව දකුණෙත් තිබුණු බව පිළිගන්න. ඔවුන්ගෙන් මේ චිත්‍රපටයට විරෝධය ආවේ අපට මෙතෙක් කල් තිබුණු පීඩනය, ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට දශක ගණනාවකට කලින් දකුණේ තිබුණු භීෂණයක් පිළිබඳ චිත්‍රපටයක් උලෙළට ගෙන එන්නේ දකුණේ න්‍යායපත්‍රයට අනුවයි කියන හැඟීමෙන්. ප්‍රියන්ත කළුආරච්චිගේ රතු සමනළ හීනයක් චිත්‍රපටයෙන් කියැවෙන්නේ නිධානයක් වෙනුවෙන් බිල්ලට දෙන දෙමළ තරුණියක් පිළිබඳවයි. විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනිඅරන් චිත්‍රපටයේ සම්පූර්ණ නිරුවත් තරුණියගේ රුව දෙමළ සමාජයට අනවශ්‍ය දේවල් රැගෙන එන බව කියමින් වැඩිහිටි විචාරකයන් පවා විරුද්ධ වුණා. ඉනිඅවන්වලටත් එහෙමයි. මෙලෙස ආ විරෝධයන්ට මුහුණ දුන්නේ උලෙළේ අධ්‍යක්ෂවරිය වන මම. ඒත් හැමදාම මම උත්සාහ කළේ මේ සියල්ල ආත්ම ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් වේදිකාව ඉදිරියට ගෙන යන්නයි. දකුණෙදි එය අපට කළ හැකි වුවත් සංක්‍රාන්තික යුක්තිය පමා වූ තැනක එය තරමක් අමාරුයි. මොකද හැමෝම හිතනවා තමන්ගේ තුවාලය අනෙකාට වඩා ලොකුයි කියලා. ඒ අතර දකුණේ අය චෝදනා කරන්නේ දෙමළ අයට පක්ෂයි කියලා. කොහොම වුණත් ඔය එල්ලන්න හදන කිසි ලේබල් එකකට මම අයිති නැහැ.

දැන් අපට කියන්න ජූඩ් රත්නම්ගේ චිත්‍රපටයට මොකද වුණේ කියලා?

ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය සහ යාපනය සිනමා උලෙළේ එය ප්‍රදර්ශනය කිරීම කියන දේ 2018 වසරේ කතාවක් නෙවෙයි. ජූඩ් නොකියන කතාව තමයි යාපනය සිනමා උලෙළේ ඔහුගේ කෘතිය ප්‍රදර්ශනයට මම ආරාධනා කළේ 2017 වසරේ කියන දෙය. එවර ඔහු මට කීවේ "ඉට්ස් නොට් ද ටයිම් අනෝමා" (මේ ඒකට කාලය නොවෙයි අනෝමා) කියලයි. ඔහුගේ ප්‍රකාශනය යාපනයේ ස්ථානගත කරන්න තිබුණු අයිතිය අපි පිළිගත්තා. ඔහු ආවේ නැති බවට ප්‍රකාශ නිකුත් කරන්න ගියෙත් නැහැ. ඒ පසුබිම එලෙසම තිබියදී මෙවර ජීඅයිඉසෙඩ් ආයතනය අපේ අනුග්‍රාහකත්වය දක්වන ආයතනයක් ලෙස යෝජනා කළා ජූඩ්ගේ චිත්‍රපටය පෙන්වමු කියලා.

එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

ඔවුන් මේ වනවිට දකුණේ එම චිත්‍රපටය පෙන්වමින් ඉන්නවා. එහි උපාලි මහතා මට කතා කළ විට මම කීවා ගිය වසරේ ජූඩ් බැහැ කීව නිසා එකඟ වෙයිද දන්නේ නැහැ කියලා. කොහොම වුණත් අවසානයේ මේ කපු කම කළේ උපාලි. ජූඩ්ගේ චිත්‍රපටය දකුණේ හා රටින් පිටතදී සංවාදයට ගන්නවාට වඩා යාපනයේ රූගත කළ, ඒ ජනතාවට සෘජු සම්බන්ධයක් තිබෙන එකක් නිසා යාපනයේ ප්‍රදර්ශනය කර ඒ හරහා සංවාදයක් ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාවත්, ජූඩ්ගේ ප්‍රකාශන අයිතියත් පිළිබඳ තදින් විශ්වාස කරන කෙනකු ලෙස මම චිත්‍රපටය මෙහි ගෙන ඒමට එකඟ වුණා. ඒත් ජීඅයිඉසෙඩ් ආයතනය අවසාන මොහොතේ අපට සම්බන්ධ වූ නිසා කෘතිය පිළිබඳ කතා කළෙත් අවසාන මොහොතේ. අභිරක්ෂක මණ්ඩලය යෝජනා කරන චිත්‍රපට වගේම උලෙළේ අධ්‍යක්ෂවරිය විදිහට චිත්‍රපට තෝරාගෙන ආරාධනා කරන්නේ මම. එහිදී සැම මතවාදයක්ම නියෝජනය වීම සහ කලාත්මක ගුණය පිළිබඳ නව ප්‍රවණතා සහිත චිත්‍රපට සොයා ගැනීම තමයි මගේ අභියෝගය.

ඩීමන්ස් ඉන් පැරඩයිස් ප්‍රදර්ශනය වන බව ඔබ ප්‍රකාශ කළාද?

ඔව්. එය ප්‍රකාශ කිරීමෙන් පසු යාපනය තුළ මහා කැළඹීමක් ඇති වුණා. මම දැක්කා ජූඩ් රත්නම් ප්‍රකාශයක් කර තිබෙනවා 'මේ භූතයා කවුද' කියන්න කියලා. චිත්‍රපටයට ආ විරෝධයත් මම ප්‍රකාශ කළේ ජීඅයිඉසෙඩ් ආයතනයේ උපාලිටමයි. මම කිව යුතු කාරණයක් තිබෙනවා. උලෙළක සංවිධායකයකු ලෙස ජූඩ් වැඩ කරලා නැතුව ඇති. ඒත් සරසවිය උලෙළට සම්බන්ධ ඔබට වැටහෙනවා ඇති සිනමා සම්මාන උලෙළක බැරැරුම්කම. වි‍ශේෂයෙන් අන්තර්ජාතික උලෙළකදි එය වඩාත් සංකීර්ණයි. විදේශීය චිත්‍රපට ලංකාවට එන්න ඕනා. සමහරු හිතන්නේ ලංකාව කියන්නේ කොළඹ කියලා. ඒත් කොළඹ කියන්නේ ලංකාව තුළ නගරයක් වගේම යාපනය තිබෙන්නේ ඊට බොහොම දුර. ගොඩනැඟිලි ටිකක් හැදුණට යාපනය කියන්නේ තවම යුක්තිය හරියට ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය සිදු නොවුණු, පුහුණුව හරියට සිදු නොවුණු තැනක්. මේ අරගල මැද ජූඩ් රත්නම් මට දුරකථන ඇමතුමක් දුන්නත් මම චිත්‍රපට දර්ශනයක සිටි නිසා එයට අමතන්න බැරි වුණා. පසුව මම කතා කරලා කීවා ඔහුගේ චිත්‍රපටයට යාපනයේ විරෝධයක් තිබෙන බව සහ චිත්‍රපටය ප්‍රදර්ශනය වන වෙලාව අපට අතපසු කරන්න සිදු වන බව, සිනමා විචාරකයන්, උලෙළට සම්බන්ධ කොටස්, උලෙළේ බර අදින අය වැනි විවිධ කණ්ඩායම් මටත් වෙනත් අයටත් කතා කර දැක්වූ විරෝධය නිසා උලෙළේ දර්ශනය ඉවත් කරන්න වනවා කියලා.

ඔවුන් කලින් චිත්‍රපටය නැරඹූ අයද?

සමහරු විදේශවලදීත්, සමහරු යූ ටියුබ් හරහා කොටස් කීපයකුත්, තවත් අය දකුණේ ප්‍රදර්ශනවලදීත් චිත්‍රපටය නරඹා තිබුණා. ඔවුන් ඔස්සේ චිත්‍රපටය පිළිබඳ තොරතුරු සන්නිවේදනය වූ අයත් විරෝධයට එක් වී තිබුණා.

විරෝධය චිත්‍රපටයේ කුමක් අරභයාද?

චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙලා මාස 16ක් ගත වෙලත් ඇයි අධ්‍යක්ෂවරයා එය යාපනය අර්ධද්වීපයේ මහජන ප්‍රදර්ශනයට කටයුතු නොකළේ. ඇයි මේ උලෙළ හරහා එමින් උලෙළේ නම ජූඩ්ට පාවිච්චි කරන්න දෙන්නේ. ඔහුට තනියම එන්න කියන්න චිත්‍රපටයත් රැගෙන යාපනයට... මම දැක්කා ඔබේ පුවත්පත ඇතුළු මාධ්‍ය මේ චිත්‍රපටය වාරණය කළ බව කීවා. මම අහන්නේ වාරණය කියන්නේ මොකක්ද? චිත්‍රපටයක් සම්පූර්ණයෙන් තහනම් කිරීම. එය ප්‍රදර්ශනය කරන්නම බැ. ලංකාවේ වාරණය සම්බන්ධ මණ්ඩලය චිත්‍රපටය අනුමත කර තිබෙනවා. උලෙළෙන් කළේ ප්‍රදර්ශනය අත්හිටුවීම පමණයි. ඒත් ජූඩ් රත්නම්ට මෙය යාපනයේ පෙන්වීමේ අවකාශය තිබෙනවා. එවිට කොහෙද වාරණයක්. යාපනයෙන් ඉල්ලීම ආවේ උලෙළේ පස්ස දොරෙන් ජූඩ්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනයට ඒමට එරෙහි වෙමින්. එයට මූලික වුණේ ජූඩ් රත්නම් බීබීසීයට කර තිබූ එක් ප්‍රකාශයක 'දෙමළ මිනිසුන් සමූල ඝාතනය වුණත් එල්ටීටීඊය පරාජය කළ යුතුව තිබීම' යනුවෙන් සඳහන් කර තිබුණා. මෙන්න මේ 'සමුල ඝාතනය' කියන වචනයටයි දෙමළ ප්‍රජාවේ විරෝධය තිබුණේ. මම ඇහුවා ඇයි එක වචනයක් අල්ල ගන්නේ මුළු කෘතියටම ප්‍රදර්ශනය වන්න ඉඩ දීලා සංවාදයකට යමු කියලා. එවැනි කතාබහක මම ඉද්දි තමයි ජූඩ් මට කතා කළේ. මම කීවා ඉතා කනගාටුවෙන් වුවත් චිත්‍රපටය ඉවත් කරන්න වෙනවා කණ්ඩායම් දෙකක බෙදීමක් තිබෙන නිසා කියලා. මොකද මෙවර සංවිධායක කමිටුවේ ප්‍රධානී ලෙස කටයුතු කළ රඝුරාම් පෞද්ගලික මතය මත තනතුරෙන් ඉල්ලා අස්වෙන්න හැදුවා. එවිට අධ්‍යක්ෂවරිය ලෙස මම කළ යුත්තේ කුමක්ද? ජූඩ්ගේ චිත්‍රපටය කියන්නේ එකක් පමණයි. තවත් චිත්‍රපට 79ක ප්‍රකාශන අයිතිය මම රැකිය යුතුයි.

ජූඩ්ගේ ප්‍රතිචාරය වුණේ කුමක්ද?

මේ කතාබහ සියල්ල වුණේ අපි කොළඹ සිටිද්දියි. ඇත්තටම ජීඅයිඉසෙඩ් ආයතනය තමයි යෝජනාවක් කළේ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ සාකච්ඡාවක් කරන්න පුළුවන්ද චිත්‍රපටය පෙන්වන්නට නියමිත ස්ථානයේ කියලා. ජූඩ්ගේ චිත්‍රපටය පිළිබඳ මගේ විවේචනය කුමක් වුවත්, ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් හැමදාමත් පෙනී සිටින්නියක ලෙස සහ උලෙළේ අධ්‍යක්ෂවරිය ලෙස ජූඩ්ට යාපනයේ ප්‍රදර්ශන හිමිකම තිබිය යුතු බව විශ්වාස කරන කෙනෙක් ලෙස මම කණ්ඩායම තුළ ලොකු අරගලයක් ජූඩ් වෙනුවෙන් කළා. කණ්ඩායම කියන්නේ උලෙළේ සංවිධායකයන් පමණක් නෙවෙයි. විවිධ පිරිස්. යාපනයේ ඉංග්‍රීසියෙන් කතා කරන මධ්‍යම පාන්තික පිරිස කීවා ඔවුන්ට මේ චිත්‍රපටය බලන්න අයිතියක් තිබෙනවා කියලා. ඒත් පොදු මතය වුණේ උලෙළට මෙය ඇතුළත් නොවිය යුතුයි කියලා. මම ජූඩ්ටත් උපාලිටත් පොරොන්දු වුණා යාපනයට ගොස් උලෙළ ආරම්භ කළ පසු ජූඩ්ගේ අයිතිය තහවුරු කරන්නට කැපවන බව. මම ස්තුතිවන්ත වනවා සිලෝන් තියටර්ස් ආයතනයට චිත්‍රපටය ප්‍රදර්ශනය නොවුණත් ඒ වෙලාව හිස්ව තබා ශාලාවේ දොරවල් සංවාදය වෙනුවෙන් ඇර තැබුවාට ඔහුට අහිමි වූ අවස්ථාව පිළිබඳ පණිවිඩය යාපනයේ ජනතාවට දෙන්න. ඒත් ඒ සංවාදයට ආවේ තුන් දෙනයි. දකුණට වෙලා මාධ්‍ය සන්දර්ශන කළ කිසි කෙනෙක් ඒ අවකාශයට ආවෙ නෑ. භූපති නලින්, විදර්ශන කන්නන්ගර හෝ ජූඩ් රත්නම් උත්සාහ කළාද උතුරේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න මේ මාස 16 ඇතුළත? ජූඩ්ගේ චිත්‍රපටය උතුරේ ප්‍රදර්ශනයට උත්සාහ කළ එකම පුද්ගලයා මම. අඩුම ගානේ ඒ සංවාදයටවත් ඔවුන් ආවේ නෑ. මම ඒ හිස් අවකාශය තැබීම ඔහුගේ ප්‍රකාශනයේ අයිතියට මම දුන් තල්ලුවක් ලෙස කවුරුහරි පිළිගන්නවාද? කියලත් මට ප්‍රශ්නයක් තිබෙනවා.

ඔබ ආරාධනා කළාද ඔවුන්ට?

මාධ්‍යයටත් ජූඩ්ටත් මාධ්‍ය නිවේදනයක් ලෙස නිකුත් කළ ලියුමේ මම සඳහන් කළා මේ වැඩටහනේ චිත්‍රපටයට අදාළ කාලය තුළ වෙන කිසිවක් ප්‍රදර්ශනය කරන්නේ නෑ. එතැන මේ සංවාදය පටන්ගමු කියලා.

ඇයි මාධ්‍ය නිවේදනයක්?

මම ඉතාම කාර්යබහුලව පැය විසිහතරත් මදි වෙලා සතියක් නිදිවරාගෙන වැඩකරමින් ඉන්න වෙලාවක ඔහු මධ්‍යම රාත්‍රියේ මගෙන් විද්‍යුත් ලිපියකින් මෙයට එරෙහි වූවන් කවුද කියා අහලා ඊට පිළිතුරු දෙන්න මට දවසක්වත් නොදී මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරනවා. මෙය කොතරම් ශීලාචාරද? මගේ ප්‍රකාශනයේ අයිතියට මොකද වෙන්නේ කියා මම අහන්න කැමතියි. එයින් පෙන්නුම් කළේ ඔහු මට දුන් දුරකථන ඇමතුමේ කියූ අන්තිම වාක්‍යයයි. ඔහු කීවා 'මම මෙය මාධ්‍යයට අරගෙන යනවා' කියලා. මම ඔහුට කීවා එය ඔබේ අයිතිය කියලා. ජූඩ්ගේ සහෝදරයා කිං රත්නම් තමන්ගේ චිත්‍රපටය ගෙන ආවා. ඔහු සිය සහෝදරයා වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කළා. කවුරුත් මුකුත් කළේ නෑ. ඒ ප්‍රකාශය කිං රත්නම්ගේ ෆේස්බුක් ගිණුමේ බලන්න පුළුවන්. හැබැයි වාරණය ගැන කතාකරන ජූඩ්ලා එතැනම අනෝමා රාජකරුණා කරන ප්‍රකාශය ඉවත් කරන්න කටයුතු කරනවා. එතැන සිටි අය සහ කැමරා මෙයට සාක්කි. ඉතින් මොකක්ද ඒ? කවුද පක්ෂග්‍රාහී? මේවාට ජූඩ් රත්නම් උත්තර දෙන්න ඕනා. මොකද මගේ ප්‍රකාශය එතන තිබුණානම් මගේ දේශපාලන ස්ථාවරයත් හෙළි වෙනවා. එවිට ඔවුන්ට පිළිගන්න වෙනවා මමත් ඉන්නේ ජූඩ්ගේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් කියලා. ඒ නිසා ඒ ටික කැපුවා. මේ කණ්ඩායම දැන් ඉන්නේ අර රජ්ජුරුවෝ වගේ හෙළුවෙන්.

වාරණය ගැන කතා කරමින් කොළඹට වෙලා වීරයෙක් වගේ ඉන්නැතුව ඇයි චිත්‍රපටය නැතුව හෝ ජූඩ් යාපනයට ආවේ නැත්තේ. ඇයි ඔවුන් මට මඩගැසීමේ ප්‍රචාරකවාදී යාන්ත්‍රණයේ යෙදෙමින් මාධ්‍ය සන්දර්ශන පවත්වමින් ඉන්නේ? භූතයා ගැන මම කියන්නේ, සොහොන් පොළවල්වල භූතයෝ ඉන්නවා කියලා සමාජ පිළිගැනීමක් තිබෙනවා. යාපනය කියන්නේ සොහොන් පොළක්. එහි භූතයෝ ඉන්න පුළුවන්. හැබැයි මෙතන භූතයෝ හිටියේ නැ. විචාරකයන්, විශ්විද්‍යාල සිසුන්, මගේ කණ්ඩායම හැම කෙනකුම කතා කළේ මගේ මූණට. ජූඩ් රත්නම් පසුගිය වසර දහයේ කී වතාවක් යාපනේට ගියාද මම දන්නේ නැ. ඒත් මම සතිපතා ගියා. බස් එකේ උදේ ගිහින් විශ්වවිද්‍යාලයේ කටයුතු කරලා ආපහු බස් එකේ කොළඹ එනවා. කෝච්චියේ ගිහින් මාස ගණන් යාපනේ ඉඳලා එනවා. ඒ නිසා පේදුරු තුඩුවේ, වඩමාරච්චි, මන්නාරමේ සිට මේ අවුරුදු තුනේ චිත්‍රපට බලන්න ආ දෙමළ ප්‍රජාව මට කී දේ පළමු වතාවට මම හෙළි කරන්නම්. 'ඔබ දකුණෙන් එන සිංහල කෙනෙක්. මේ චිත්‍රපටය සමඟ ප්‍රශ්නය තිබෙන්නේ ඔබත් එක්ක නෙවේ ජූඩ් එක්ක. මේ උලෙළේ මේ චිත්‍රපටය එල්ලන්න එපා. මෙය අපේ-අපේ ප්‍රශ්නයක්. ඔබ අයින් වෙන්න.' කියලා. දැන් මොකක්ද මට ගන්න තිබෙන තීරණය?

එතකොට සංහිඳීයාවට මොකද වෙන්නේ?

ඒක තමයි මමත් අහන්නේ. කවුද මේ ප්‍රශ්නය උස්සගෙන යන්නේ. කිං රත්නම්ට සහාය දෙන්නවත් කවුරුත් ගියාද? මම අගය කරනවා මහින්ද අබේසිංහ කැමරා ශිල්පියා උලෙළට සහභාගී වීම සම්බන්ධව. ඔහු ජූඩ්ගේ චිත්‍රපටයේත් කැමරා ශිල්පියා. ඔහුට මුකුත් වුණේ නැ. හුඟක් දෙනා කතා කරනවා උතුර දකුණ යා කිරීම ගැන. මම හැමදාම කියන්නේ ඊට කලින් උතුරේ බෙදුණු කොටස් එක තැනකට ගේන්න.

ඔබ මේ කරුණු ජූඩ්ට කීවාද?

මගේ සන්නිවේදනය තිබුණේ ජීඅයිඉසෙඩ් ආයතනය සමඟයි. මම ඔවුන්ට කීවා. උපාලි එය කීවාද මම දන්නේ නැ. ඒ අතර මම උත්සාහ කළා උලෙළින් පසු මෙය වෙනත් තැනක ප්‍රදර්ශනය කරන්න. එයට යාපනේ ජනතාව කිසිකෙනෙක් එරෙහි වුණේ නැ. මම එය ඉතාම නිර්භයව කියනවා.

හැබැයි ඔහු යාපනයට නොඒම නිසා උතුරේත් දකුණේත් අන්තවාදීන්ට උඩගෙඩි දීලා තිබෙනවා.

මේ චිත්‍රපටයෙන් දෙමළ ප්‍රජාවගේ හිත රිදෙන්න ඉඩ තිබුණාද?

දෙමළ අයගේ හිත රිදෙනවා කියලා ජූඩ්ගේ චිත්‍රපටය නතර කළා කියලා හිතනවා නම් ඔවුන්ට ලාස්ට් ෆෝල්ට් බලන්න කියන්න. ඉනායි දක්වා චිත්‍රපට නරඹන්න. මම මේ උලෙළ කරන්නේ කාගෙවත් හිත සුවපත් කරන්න නෙවෙයි. මේ උලෙළ දේශපාලන ප්‍රකාශයක්.

චින්තන ධර්මදාස ඔහුගේ චිත්‍රපටය ඉවත් කර ගැනීමට නිෂ්පාදකවරයා ඉඩ නොදීම නිසා එය නැරඹීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කළේ තමන්ගේ වර්ගයාගේ අත්වැරදීම් පිළිබඳ ජූඩ්ට කතා කළ නොහැකි බිමක චින්තන තමන්ගේ ප්‍රජාව පිළිබඳ කරන ස්වයං විවේචනය නුසුදුසු බව කියමින්?

මම අහන්නේ තමන්ගේ වර්ගයා ගැන මෙතෙක් කතා කළ එකම කෙනා ජූඩ් විතරද? ලාස්ට් ෆෝල්ට්, ඉනායි උලෙළේ තිරගත වෙද්දි කවුරුත් ඒවාට ගැහුවද? යාපනේ ජනතාවට අවමන් කරන්න එපා කියලා මම චින්තන ධර්මදාසට කියනවා.

එතරම් සමබර තැනක් නම් ජූඩ්ට මෙහෙම වෙන්නේ ඇයි?

ඔබ අහන්නේ නිවැරදිම ප්‍රශ්නයයි. මමත් කියන්නේ ජූඩ් ඒ ප්‍රශ්නයට වටේ නොගිහින් අවංකව පිළිතුරු දිය යුතුයි. ජූඩ්ගේ හෘදය සාක්ෂියේ තමයි මෙයට පිළිතුර තිබෙන්නේ.

මාලක දේවප්‍රියත් තම චිත්‍රපටය තරගකාරී අංශයෙන් ඉවත් කළා?

මේ උලෙළට දකුණෙන් යන්න සිටි සැම අයෙකුටම යන්න එපා කියන කැම්පේන් එක තදින්ම කෙරුණා. ඒත් බොහෝ දෙනා උලෙළට ආවා. තරගකාරී අංශයට ඉල්ලුම් කර සිටි දකුණේ දෙදෙනාගෙන් මාලකට තමන්ගේ ප්‍රකාශනයේ අයිතිය අභියෝගයට ලක් වූ වෙලාවක් මේ. එනිසා චිත්‍රපටය ගලවා ගන්නවා හැර වෙන විකල්පයක් තිබුණේ නැ. ඒ නිසා ඔහුගේ තත්ත්වය මට තේරුම් ගන්න පුළුවන්.

අවසන් වශයෙන් ඔබට කියන්න තිබෙන්නේ මොනවාද?

අපි සියලුදෙනා පිළිගත යුතු කරුණක් තිබෙනවා යුද්ධය ඉවර වුණත් ගැටුම ඉවර වෙලා නැ. සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ගැටලුවක් මේ රටේ තිබෙනවා. මෙයට අවුරුදු අටක් තිස්සේ පිළිතුරු සොයාගන්න බැරි වීමේ අර්බුදයේ තමයි ජූඩ්, මම ඇතුළු මුළු කලාවම හිර වී තිබෙන්නේ. ඇත්ත ප්‍රශ්නය මඟහරිමින් වෙන දේවල් කතා කරන්නෙත් ඒකයි. ජූඩ්ගේ චිත්‍රපටය ගැලෙව්වාට මම උතුරේ වීරවරියක් වුණේ නැහැ. මොකද ඒ හා සමාන චිත්‍රපට උලෙළේ පෙන්වූ නිසා. මට අද උතුරත් එකතුවෙලා ගහනවා. දකුණත් එකතුවෙලා ගහනවා. අපි වැඩ කරන්නේ දැඩි සැකයක් මැද. හැබැයි මම සටනේ රැදී සිටියා. සටනකට භූමියක් ඕනා. ජූඩ් ඒ භූමියට එනවා වෙනුවට මාධ්‍ය සන්දර්ශනයක යෙදී සිටිනවා කොළඹ ඉඳන්. මෙහි ද්‍රෝහියා කවුද? වුණේ මොකක්ද? විය යුතුව තිබුණෙ කුමක්ද? ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරන්න අප කළ යුත්තේ මොනවාද යන්න මාධ්‍ය සන්දර්ශන කරුවන්ට වඩා බුද්ධිමත් ජනතාවට බාරයි. ප්‍රජාවේ යම් කොටසක් මේ උලෙළ රැක ගත යුතු බව සිතන්නේ ඇයි කියා සිතුවොත් පෙනෙයි එතැන තමයි අමාරුවෙන් හෝ පොඩි හෝ අවකාශයක් රැකිලා තිබෙන්නේ. ඒ අවකාශය අමාරු කර තිබෙන්නේ රට කරවූ සියලුම රජයන් සහ උතුරෙත් දකුණේත් අන්තවාදී කණ්ඩායම්. ඔවුන් තවම ක්‍රියාත්මක බව අප පිළි ගන්න ඕනා. ඒ අය බෝල පාස් කර ගන්න අතර මම මගේ වැඩ කොටස කරමින් සාර්ථක උලෙළක් නිමා කළා.