වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




යන් මං තොසින් මඟ තොරතුරු නියමදැන

යන් මං තොසින් මඟ තොරතුරු නියමදැන

ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී

මම හිතන්නේ ඉතාම සුළු කාලයයි. මේ වසර අවසාන වෙන්න කලින්. මම හිතනවා ඒ ගැන මම පුරාජේරු දෙඩිය යුතු නැහැ කියලා. ඒ පිළිබඳ කිසිවක් අද දවසේ කතා කිරීම සුදුසු නෑ. මම හිතනවා දෙසැම්බර් මාසේ වෙන කොට ලංකාවේ සියළුම ප්‍රේක්ෂකයන්ට ජාතික රූපවාහිනියේ කිසියම් වෙනසක් සිදු වීද නැත් ද කියා දෘශ්‍යමාන වේවි කියලා.

මෙරට ජාතික නාළිකාව වශයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවට ඇත්තේ සුළු පටු වගකීමක් නොවේ. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සාරධර්ම සුරකිමින් අනෙකුත් තරගකාරී මාධ්‍ය ආයතනයන් සමඟ නිරන්තර යෙදෙන තරගකාරී ගමනක ද නියුක්ත වෙමින්, නව ලොවට නව දැනුමකින්, නව්‍යමය අත්දැකීම් රැගෙන එමින් ජාතික වගකීමක් ඉටු කිරීමේ බාරදූර කාර්යය ඔවුන් සතුය. මෙකී ගමන් මාර්ගයේ නියමුවාණන් ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ කාන්තාවකි. ඇය මෙරට කලා මාධ්‍යයට මෙන්ම මාධ්‍ය ලෝකයට ද අමුත්තියක් නොවේ. තමන්ටම ආවේණික දැක්මකින් තම කලා නිර්මාණ ද නවමු දිශානතියකට යොමු කළ ඇය සිනමාකාරියක වශයෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර තලයට ඔසවා තබන්නට වාසනාවන්ත වූවාය.

 එකී වාසනා මහිමයත්, දක්ෂතාවයත්, හැකියාවත් පමණක් නොව නිවැරැදි දැක්මකින් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ද තම දැක්ම නිවැරැදිව සනිටුහන් කරන්නට මේ දිනවල දැඩි උත්සාහයක නියුතු වන්නීය. ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික රූපවාහිනී සංස්ථාවට පත්ව ආ පළමු සභාපතිනිය වශයෙන් මෙකී මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ඈ වාර්තාවකට ද හිමිකම් කියන්නීය. ඈ ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දය. ජාතික රූපවාහිනී සංස්ථාවේ නව දැක්මත්, ඉදිරි අනාගතයත් මෙන්ම ගෙවුන කාල පරිච්ඡේදය පුරා මුහුණ දෙන්නට සිදු වු අභියෝගත් පිළිබඳ කතාබහකට පසුගිය දිනක අපි ඇය හමු වුණෙමු.

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විවිධ වෙබ් අඩවි ඔස්සේ නිරන්තර කතාවට බඳුන්වන රූපවාහිනී සංකේතය වෙනස් කිරීම පිළිබඳ වන කතාබහේ පදනම කුමක්ද?

මේ කතා සියයට සීයක් නෙමේ සීයට දාහක් අසත්‍යයක්. අපි කිසිම ආකාරයකට අපේ සැළලිහිණි සන්නාමය වෙනස් කරන්න හෝ ප්‍රතිසංස්කරණය කරන්න හෝ වෙන යම් එවැනි ආකාරයේ කිසිදු කාරණයක් සම්බන්ධයෙන් අප කතා කරලා තියා ඒ ගැන හිතලාවත් නැහැ. නමුත් අපි මේ දිනවල අපේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා. ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂක සංගණන වාර්තාවලදී කිසියම් පහළ තැනකට ඇද වැටිලා තියෙනවා. අපි ඒ ගැන කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ. ඒකත් එක්ක අපට උවමනා වෙලා තිබෙනවා මේ නාළිකාව පෙර තිබුණු තත්ත්වයට ගේන්න. අපි මීට පෙර අංක එකේ නාළිකාව බවට පත් වෙලා හිටියා. ඇත්තටම කිව්වොත් 2013 - 2014 දී ඉඳලා තමයි මේ අවගමනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ නාළිකාව නැවත නඟා සිටුවීමේ වෑයමක මම සහ අපේ වත්මන් පාලන අධිකාරිය නිරත වෙලා ඉන්නවා. ඒ වෑයම තුළදී අපි කිසියම් වෙළෙඳ උපක්‍රම සහිත සන්නාමය වෙනස් කිරීමෙන් තොරව නව්‍යකරණයකට ලක් කිරීමේ වෑයමක යෙදෙමින් ඉන්නවා. එතකොට එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවෘත්ති ප්‍රකාශය අභ News සහ උදෑසන පත්තර වැඩ සටහන අභ Press නමින් අපි හඳුන්වනවා.

මේ ආකාරයට දැනට මාසයක පමණ කාලයක සිට මේ වැඩ සටහන් දෙක අපි කරගෙන යනවා. ආයතනික මට්ටමින් හෝ ඉන් පරිබාහිරව මේ කාල සීමාව පුරා අපට විවේචනයක් විරෝධතාවක් මතු වුණේ නෑ. මේ ‘අභ’ කියන වචනය අපට අළුත් දෙයක් නොවෙයි. වසර 10 ට වඩා පැරැණි වචනයක් ඒක. ඒ කියන්නේ අපේ ආයතනයේ තියෙන සියළුම පටිගත කිරීම්, ඒවා බාහිර ප්‍රේක්ෂකයන්ට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් තිබෙනවා ආයතනය ඉදිරිපිට. අපි ඒක හඳුන්වලා තියෙන්නේ අභ Entertainment කියලා. ඒ නිසා මේක අපේ ආයතනයටම අනුබද්ධ වෙච්ච වචනයක් සහ අපි පරිහරණය කළ වචනයක්. ඒකත් එක්ක අපට අවශ්‍ය වුණා පොඩි Branding එකක් කරන්න. ඒකෙදි හැම තැනකදිම තිරයේ ඉදිරිපසින් ඉහළම වම් කොනේ තියෙන්නේ ජාතික නාළිකාවේ ජාතික සන්නාමය. ඒක කිසිම මොහොතක අපි වෙනස් කරලා නෑ. නමුත් මෙතනදි අපි හඳුනාගත්ත දෙයක් තමයි සභාපති ධුරයට පත් අවස්ථාවේ ඉඳලා අපි ආරම්භ කළා අභ්‍යන්තරිකව යම් යම් වෙනස්කම් කිහිපයක් කරන්න. එවැනි වෙනස්කම් කරත්දී නාළිකාව කියන්නේ ආයතනයක්වත්, රූපවාහිනි යන්ත්‍රයක්වත් නොවෙයි.

නාළිකාවක් කියන්නේ ඒ තුළින් එළියට ලබාදෙන සන්නිවේදන ක්‍රමෝපායන් සහ එහි තිබෙන ගුණාත්මක වටිනාකමයි. නැතුව යම්කිසි ගොඩනැගිල්ලක්වත්, මධ්‍යස්ථානයක්වත් නොවෙයි. ඒ කර්තව්‍යය තමයි රූපවාහිනිය තුළ මූලිකම අනන්‍යතාවය රැඳී පවතින්නේ. ඒ නිසා අපට අවශ්‍ය වෙලා තිබුණා මිනිසුන්ගේ හදවතට දැනෙන බුද්ධියට ආමන්ත්‍රණය කරන වර්තමානයේ තිබෙන විවිධ සමාජමය ආකල්ප යම් යම් සම්මුතීන් හා මිනිසුන්ගේ වැරැදි මති මතාන්තර වෙනස් කරලා ඉතාම නිවැරැදි විදියට මිනිස්සුන්ගේ දැනුම සන්නද්ධ කරවන නූතනවාදී වැඩ සටහන් මාලාවක් නිර්මාණය කිරීමේ මෙහෙයුමට මම අත දැම්මා.

එහි මූලාරම්භය සිද්ධ වුණේ කොතනින්ද?

මේ වෙනකොටත් වෙනස් වෙලා විකාශය වන වැඩ සටහන් ගණනාවක් තිබෙනවා. එහි මූලාරම්භය ‘අභ’ නෙවෙයි. උදාහරණයක් විදියට සෙනසුරාදා රාත්‍රී විකාශය වන ‘තාල භාෂණ’ කියන වැඩ සටහන මම සභාපතිත්වයට පැමිණියාට පසු කළ වෙනස්කමෙන් එකක්. මේ මොහොත වන විටත් නව්‍ය වැඩසටහන් 10 ක් පමණ විකාශය ආරම්භ වෙලා තිබෙනවා. සියළුම වැඩ සටහන් 34 ක් නිර්මාණය කරන්නට මා ඇතුළු නව පාලනාධිකාරය යටතේ අපි මුලපුරලා තිබෙනවා. මේවායේ නිර්මාණ සංකල්පයන් ඇතැම් ඒවා මගේ. ඇතැම් ඒවා මේ ආයතනයේම සේවය කරන නිර්මාණකරුවන්ගේ. අපි අතර කිසිම ගැටීමක් නෑ. අනිත් එක ඒක මගේ නිර්මාණ සංකල්පයක් කියල මට අවශ්‍ය දේ කර ගැනීමේ වෑයමක් කොහෙත්ම නෑ. ඒ විදියට මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත වැඩ සටහන් 34 ක් අපි නිර්මාණය කළා.

මේ තනතුර බාරගන්න කොට ඔබට අභියෝග රාශියක් තියෙන්න ඇති?

මට ලොකු වගකීමක් තියෙනවා. මම සභාපතිත්වයට එනකොටත් විවිධ පාර්ශවයන්, සමාජ ජාල මඟින් සුබපැතුම් රාශියක් ගලාගෙන ආවා වගේම අනෙක් පැත්තෙන් විවිධ පාර්ශවයන් ඇස් කන් අයාගෙන බලාගෙන හිටියා මම ඇවිල්ලා මෙතන කරන වෙනස මොකක්ද කියලා. මොකද මමත් නිර්මාණකරුවෙක් හින්දා. ඒ වගේම අනිත් පැත්තෙන් මම කාන්තාවක්. මේ ආයතනයට පැමිණි පළවෙනි සභාපතිනිය මම. ඒ වගේම අපි කාටත් අමතක කරන්න බෑ ජාතික රූපවාහිනිය කියන්නේ එකම ශ්‍රව්‍ය දෘශ්‍ය රාජ්‍ය මාධ්‍යය බව. එහෙම වුණාම මට පැවරෙන වගකීම අති විශාලයි. ඒ වගකීම්, අභියෝග හොඳ හෝ නරක සියල්ල බලාගෙන මම මෙතෙන්ට ආවේ.

හැබැයි මට ලොකු ආත්ම විශ්වාසයක් හා හිත තුළ ලොකු ශක්තියක් තිබුණා මේ වගකීමට, මේ අභියෝගවලට මට මුහුණ දීලා ජයගන්න පුළුවන් කියලා. ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මම වෙනසක් කළා. මේක මට කරන්න ලැබෙන්නේ නෑ මේ ආයතනයේ ඉන්න නිර්මාණකරුවන්ගෙන්, සේවකයන්ගෙන් මට සහයෝගය නොලැබුණා නම්. ඔවුන්ගේ සහයෝගය මට උපරිමයෙන්ම ලැබුණා.

 මම නෙවෙයි ඒ නිර්මාණ කළේ ඔවුන්. මගේ නායකත්වය යටතේ ඔවුන්ගේ සංකල්ප හා මගේ සංකල්ප අනුව ඔවුන් ඒ මෙහෙයුමට අත ගහලා තියෙනවා කියන්නේ ඒ තුළින්ම පැහැදිලි වෙනවා ඒ නායකත්වය ඔවුන් බාරගත්තා කියලා. ඒ වගේම ඔවුන් ඉතාම තෘප්තියකින් ඒ කටයුතුවල යෙදෙනවා. මේ විවිධ වෙනස්කම් ක්‍රමානුකූලව අපේ සමාජයට කාන්දු වෙන්න ගත්තම අපේ අවට ඉන්න විවිධ දේශපාලන මතධාරීන් මෙන්ම තරගකාරී වෙනත් මාධ්‍ය ආයතනයන් යම් ආකාරයකට මේ වෙනස දරා ගැනීමට බැරි වුණාදෝ කියා හිතෙනවා.

මොකද මේ වගේ අභූත අසත්‍ය ප්‍රචාර ආයතනය වෙනුවෙන් කරන්නට මැදිහත් වෙන්නේ. අනිත් එක එහි තිබෙන උත්ප්‍රාසය සහ ඛේදවාචකය වෙන්නේ මේ මෙහෙයුම කරන්නට ඉදිරිපත් වෙන්නේ අපි හා සමඟම ඉන්න තවත් තරගකාරී මාධ්‍ය ආයතනයක පාලන අධිකාරියක් විසින්. ඔවුන්ම අරඹපු පුවත්පතක් විසින් තමයි මේ ප්‍රචාරණය වෙන්නේ. නමුත් මම හිතනවා ඉඳලා හිටලා වදින මෙවැනි ගල් මුල් එක්තරා ආකාරයකට වටිනවා කියලා. සාමාන්‍ය කතාවකුත් තියෙනවානේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා.

එහෙම ගල් වැදෙන කොට අනිත් අය අඩුගාණේ හැරිලා බලනවා මොකටද මේ ගල් ගහන්නේ කියලා. මේ වෘක්ෂය තුළ ඵල හට ගැනෙමින් තියෙනවාද කියලා අපිට සමාජයට සන්නිවේදනය කිරීමට මේ සිදුවීම මුල් වුණා කියලා මට හිතෙනවා. ඒ හින්දා දැන් අපි ඒ චෝදනා අපිට තිබෙන අකුල් හෙළීම් පිළිබඳ කාලය නාස්ති නොකර තවදුරටත් අපේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යාම තමයි අපේ වගකීම හැටියට ජාතික නාළිකාවේ සභාපතිනිය වශයෙන් මම විශ්වාස කරන්නේ.

වත්මන් ආර්ථික, දේශපාලන, සංස්කෘතික හා සමාජීය වටපිටාව තුළ ජාතික නාළිකාවේ ගමනාන්තය කෙබඳු විය හැකිද?

ඇත්තටම මම හිතනවා අද මුළු ලෝකයම ඩිජිටල් තාක්ෂණයත් එක්ක බැඳිලා ඉන්නවා. හෙට දවසේ ලෝකය තුළත් විද්‍යාඥයෝ අනාවැකි පළ කරනවා විද්‍යුත් මාධ්‍යය කියන එක සමහර විට නැති වෙලාම යන්න පුළුවන් කියලා. මොකද ඒ තරමට මිනිස්සු තමන්ගේ මොබයිල් ෆෝනයට නැත්නම් තමන්ගේ ඩෙස්ක්ටොප් එකට, තමන්ගේ පාල්ම්ටොප් එකට තමන්ගේ සන්නිවේදන කටයුතුත් එක්ක ලඝු වෙලා ඉන්නවා. ඉතින් එවැනි තැනකදී අපි ඉතාමත් විධිමත් ආකාරයට අපි රැගෙන ආපු වටිනාකම්, සංස්කෘතික අගයන් අපේ ජාතිකත්වය කියන දේ රඳවා ගනිමින් හැබැයි නූතන සමාජයට ගැළපෙන ආකාරයට අපේ ව්‍යුහය ආකෘතිය වෙනස් කරන්න අපි මහන්සි ගන්න ඕනෑ. මේ අංශ දෙකම සමබරව පවත්වා ගැනීමට වෑයම් කිරීම තමයි පවතින ලොකුම අභියෝගය.

එක පැත්තකින් ජාතික නාළිකාව වශයෙන් අපට තිබෙන වටිනාකම් සිඳ බිඳ දමාගන්න බෑ. අනිත් පැත්තෙන් නූතන සමාජය අපි අනෙක් නාළිකාවන් සමඟ එකට තරග කරන්න ඕනෑ. ඉතින් ඔය අංශ දෙකම සමබර කර ගැනීමේ විශාල කාර්යභාරයක් මගේ අතේ තියෙනවා. ඒ මෙහෙයුමේ තමයි මම ඉන්නේ. මට මේකට සම්බන්ධ වෙනවා නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වන සාරංග විජේරත්න. ඔහු ඇත්තටම වෙළෙඳ ප්‍රචාරණය සම්බන්ධව විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වෙළෙඳ ප්‍රචාරණය සහ අලෙවිකරණය සම්බන්ධ කථිකාචාර්යවරයෙක්. ඔහුගේ ඒ දැනුමත් අපට විශාල වශයෙන් බලපානවා. ඒ වගේම අපේ දේශපාලන වැඩසටහන් හා තොරතුරු පැත්තෙන් මැදිහත් වීම ලබා දෙන්නේ අපේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වන නවාස් මොහොමඩ් මහතා. ඒ නිසා අපේ නව පාලන අධිකාරියේ තුන් දෙනා තුන් අතකින් මේ මෙහෙයුමට එකතු වෙලා ඉන්නවා. ඒ තුළින් අපට අළුත් ගමනක් යන්නට පුළුවන් වෙලා තියෙනවා.

ඔබේ නව ගමන් මඟ සඳහා වත්මන් දේශපාලන අධිකාරිය තුළින් අවැසි නිදහස ඔබට තිබෙනවාද?

මේක මම කියන්නේ වගකීමක් සහිතව. ජාතික නාළිකාව කියන්නේ පවතින රජයේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් තොරව අපිට යන්න බෑ. කවුරු හරි කියනවා නම් නෑ අපි හරිම ස්වාධීනයි කියලා ඒක බොරුවක්. හැබැයි අපේ සන්නිවේදන කර්තව්‍යය තුළ අපේ ඇමතිවරයා වන මංගල සමරවීර ඇමතිවරයා ඉතාම නව දැනුමකින් යුතු, සමාජයේ සිද්ධ වෙන සන්නිවේදන ක්ෂේත්‍රයේ යාවත්කාලීන වෙච්ච ඉතාමත්ම පුළුල් දැක්මක් සහිත නූතනවාදී පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ නුතනවාදී දැක්ම සහ මතවාදය අපිට විශාල පිටුවහලක් වෙනවා අපි කරන නව වෙනස්කම්වලට පාර කියන්න.

ඇත්තටම මට මතකයි මම සභාපති ධූරය බාරගන්න වෙලාවේ එතුමා මට කියපු දේ තමයි මේ පත්වීම මට දුන්නේ දේශපාලන පත්වීමක් ලෙස නෙවෙයි, වෘත්තීයමය පැත්තෙන් මම සුදුසු නිසයි මේ පත්වීම මට දුන්නේ කියලා. එතුමා එහිදී මට කියපු මූලික දේ තමයි ඔබගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නාළිකාව තරගකාරී වෙළෙඳපල තුළ සංගණන වාර්තා බිඳිමින් වැඩිම අචබඪදඨඵ ලබාගෙන ඉස්සරහට යන හැල්මේ දුවන නාළිකාවක් බවට පත් කරන්න නොවෙයි.

 ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා ඉතාම ගුණාත්මක මිනිස්සුන්ට ගෞරවයකින්, සතුටකින් විඳින්න පුළුවන් ඒ වගේම නව සමාජයත් එක්ක අත්වැල් බැඳගන්න නුතනවාදී හැබැයි ගෞරවනීය නාළිකාවක් බවට පත් කිරීම තමයි කියලා. ඒ ඔවදන උපදෙස මට ඉතාම ශක්තියක් වුණා. එතනින් එහාට මම කරන කිසිම නිර්මාණ කටයුත්තකට හෝ මේ ආයතනය තුළ මම කරන සැලසුම්වලට එතුමන් කිසිම ආකාරයකට බාධා කිරීමක් හෝ බලපෑමක් කරන්නේ නැහැ. හැම මොහොතේම කියන්නේ ඔබ කෙරෙහි තබා තිබෙන විශ්වාසය හා නව පාලන අධිකාරිය කෙරෙහි තබන විශ්වාසය ඔබ දිගටම රැගෙන යයි කියන බලාපොරොත්තුවෙන් ඒ කිසිවකට මැදිහත් වෙන්නේ නෑ. ඔබට ඉතාම ස්වාධීන පරිසරයක් තියෙනවා. තමන්ට ඒ කාර්යභාරය කරගෙන යන්න කියලයි.

අපි ඔබ හඳුනා ගන්නේ සිනමාකාරියක් විදියට. මේ සභාපති ධුරය ඒ සිනමාකාරිය වසා දමයිද?

පොඩ්ඩක්වත් නෑ. මම ඉතාම කෙටි දවසකට මේ ආසනය බාර ගත්තේ. මොකද හේතුව ජාතික නාළිකාව කිසියම් තැනක් කරා නිර්මාණශිලීව ගෙන යන මෙහෙයුමට නායකත්වය දීලා ඒ වර්ධනය වුණාට පස්සේ ඉතා සුළු කාලයකින් මම මේ තනතුරින් සමු ගනී. මොකද ඒකට එකම හේතුව මට මේ තනතුරට ඇරියුම් ලැබෙන්නෙත් මම ජාතික වශයෙන් අධ්‍යක්ෂවරියක් ලෙස තබා තිබූ සළකුණ නිසා. ඒ මගේ මූලික අනන්‍යතාවය බිඳගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ. ඒ හින්දා මම අත ගහපු දේ යම් කිසි තැනකට ඔසවා තබලා හරියාකාරව ඉෂ්ට කරලා නැවත මගේ සුපුරුදු තනතුරට යනවා මගේ ඉදිරි ගමන යන්න.

ඔබේ ගමනාන්තයට යාමට තව කොච්චර කල් යාවිද?

මම හිතන්නේ ඉතාම සුළු කාලයයි. මේ වසර අවසාන වෙන්න කලින්. මම හිතනවා ඒ ගැන මම පුරාජේරු දෙඩිය යුතු නැහැ කියලා. ඒ පිළිබඳ කිසිවක් අද දවසේ කතා කිරීම සුදුසු නෑ. මම හිතනවා දෙසැම්බර් මාසේ වෙන කොට ලංකාවේ සියළුම ප්‍රේක්ෂකයන්ට ජාතික රූපවාහිනියේ කිසියම් වෙනසක් සිදු වීද නැත් ද කියා දෘශ්‍යමාන වේවි කියලා.

ඔබේ නවතම චිත්‍රපටයේ තොරතුරු කීවොත්?

ඒක 100% ක්ම කලාත්මක චිත්‍රපටයක්. එහි ප්‍රධාන භූමිකාවන් රඟපාන්නේ ජයනි සේනානායක සහ බුද්ධදාස විතානාරච්චි. තවත් නවතම රංගන ශිල්පිණියක් එහි චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයට තාවකාලිකව මම නම යොදලා තියෙන්නේ ‘සාර සුභාවට මල් පිපිලා’ කියලා. නමුත් ඒ නම වෙනස්වීමට නියමිතයි. මේ චිත්‍රපටයේ ඉතිරි වැඩ ඉවර කරලා සිනමා උලෙළ නියෝජනයට ඉදිරිපත් කිරීමට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. මම එදත්, අදත් හෙටත් සිනමාකාරියගෙන් මිදෙන්නේ නැහැ.

විශේෂයෙන් ඔබෙන් විමසිය යුතු කාරණාවක් තිබෙනවා.

ජාතික නාළිකාවේ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන්. එක්තරා කාල වකවානුවක ඒ පිළිබඳ තිබුණේ ඉතාම අප්‍රසාදාත්මක අවදියක්. ඔබ ඒ සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්නාද?

බොහොම ස්තූතියි ඒක මතක් කළාට. අනෙක් සියලු කාරණා පසෙකලා මේක සඳහන් කිරීම වැදගත්. ඇත්තටම මම ජාතික නාළිකාවේ සභාපති ධූරයට පත් වෙලා එනකොට පෙර අධිකාරිය විසින් අනුගමනය කරපු ක්‍රමවේදයක් තිබුණා. කලින් තත්ත්වයමයි අපි අදටත් අනුගමනය කරන්නේ. පිටස්තර ක්ෂේත්‍රය තුළ ඉන්න විද්වත් මණ්ඩලයක් තුළින් දෙන සහතික කිරීමක් තිබුණේ. ඒ තත්ත්වය තිබුණට ඒක නාමිකව පමණයි තිබිලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ ටික කලකට ඉහත ඉතිහාසයක්.

මේ මණ්ඩල තිබුණට මණ්ඩලවලින් දෙන තීන්දු පරයා වෙනත් ක්‍රමවේද යටතේ තමයි එම කටයුතු සිද්ධ වෙලා තිබුණේ. ඒ ගැන මම සවිස්තරාත්මකව කියවිය යුතු නැහැ. එහි ප්‍රතිඵලයක් හැටියට ඇතැම් නිෂ්පාදකවරුන් කෙරුණු ක්‍රමවේදයන්ට එරෙහිව අධිකරණයට ගිහින් නඩු පවරලා අදටත් ඒ නඩු අධිකරණවල ඇසෙමින් පවතිනවා. නමුත් වර්තමාන රජය බලයට පැමිණියාට පස්සේ මම හිතන්නේ ඒ කිසිදු අසාධාරණයක් කෙරිලා තිබුණේ නෑ. නමුත් මම සභාපති ධූරයට එනකොට මම දැක්ක සුළු සුළු අඩුපාඩු ඒ මණ්ඩලවල, නිරික්ෂණ කමිටු තුළ තිබුණා කියලා.

 ඒ සුළු අඩුපාඩු නැවත පිළිසකර කරලා අලුත්ම සමීක්ෂණ මණ්ඩල තුළ නූතනවාදී විදියට හිතන අද සමාජය තුළ තිබෙන දැනුමින් ක්‍රියා කරන රටේ පිළිගත්ත කලාකරුවන් සහ විද්වතුන් එක්ක මණ්ඩල පත් කරලා ටෙලි නාට්‍ය මණ්ඩල කමිටු හදලා තිබෙනවා. ඉතින් එතැන මට තියෙන ලොකුම ගැටලුව තමයි මේ සමීක්ෂණ කමිටු විසින් මේ ටෙලි නාට්‍ය නරඹලා ඒ සම්බන්ධ තීන්දු තීරණ දුන්නාම අපි ජාතික නාළිකාවේ ලකුණු 75 ට වැඩියෙන් ගත්ත ටෙලි නාට්‍ය තමයි අපි මිලදී ගන්නේ. 65 - 75 අතර ටෙලි නාට්‍ය අනුග්‍රාහකයොත් එක්ක අපි හවුලේ බෙදාගෙන මිලදී ගන්නවා. 65 ට අඩුවෙන් ගන්න ටෙලි නාට්‍ය අපි ජාතික නාළිකාවේ පෙන්නන්නේ නෑ කියන පදනමේ ඉඳගෙන තමයි මම ඒ කර්තව්‍යයට උපදෙස් දුන්නේ. ඇත්තටම ඒ කමිටුවලින් ප්‍රකට නිර්මාණකරුවන්ගේ නිර්මාණ කෘතීන් ප්‍රතික්ෂේප වුණාම ඔවුන් අවසානයේ මාත් එක්ක පෞද්ගලිකව අමනාප ඇති කර ගන්නවා .

ඒ වගේම ඔවුන් මා සමඟ වෛර බැඳගෙන, විවිධ ආකාරයෙන් පහර ගැසීම් සහ මාව විවේචනය කිරීම් කරනවා. නමුත් ඔවුන් විවේචනය කරන්නේ යහපත් ක්‍රමවේදයක් හැදීම කියන දේ මිසක මාව නොවෙයි. ඔවුන් විවේචනය කරන්නේ ඉරඵබඥථ එකයි. හරි දේ කිරීම තමයි විවේචනයට බඳුන් වෙන්නේ. මම කිසිම විටක සමීක්ෂණ මණ්ඩවල කටයුතුවලට ඇඟිලි ගහන්නේ නෑ. ඔවුන් ස්වාධීනව ඒ ටෙලි නාට්‍ය නරඹන්නේ. ඇත්තටම කිව්වොත් උදාහරණයක් හැටියට මම කලින් කීව ෂර්ලි පී. දෙලංකාවලගේ ‘පෝටාවැටිය’ ටෙලි නාට්‍යය අනුමත වුණා වගේම නවක අධ්‍යක්ෂවරයෙක් වන ඉරේෂ් ලොකු බණ්ඩාර කියන නාට්‍යකරුවාගේ ‘ඉඩෝර වැස්ස’ විකාශයට නියමිතයි. එය ඔහුගේ ප්‍රථම ටෙලි නාට්‍යය. නමුත් අපි කිසිම ආකාරයකින් භේදයක් සැලකුවේ නෑ. අපිට අවශ්‍ය වෙලා තිබුණේ ඒ නිර්මාණයේ තිබෙන ගුණාත්මක බව පමණයි. එතකොට ඒ නිර්මාණකරුවා කවුද කියලා දන්නේ සමීක්ෂණ මණ්ඩලය.

ඔවුන් ඒකට ඉහළම ලකුණු දීලා තිබුණා. අපි ඒක මිල දී ගත්තා. මෙවැනි තත්ත්වයන් යටතේ හැම දෙනාටම පාරදෘශ්‍ය විධිමත් ක්‍රමවේදයක් තුළින් ඕනෑම ආධුනිකයෙකුට පවා නිර්මාණ මෙහි අද පෙන්වන්න පුළුවන්කම තිබෙනවා නිර්මාණය ගුණාත්මක අතින් ඉහළ නම්. ඒ වගේම අපි තවත් ක්‍රමවේදයක් ආරම්භ කළා. ආයතනයට කවුරු හරි ටෙලි නාට්‍යයක් හැදුවාම පෞද්ගලික නාළිකාවලට ඉහළ මිල ගණන්වලට විකුණා ඉතිරි ටික තමයි මෙහෙට එවන්නේ සමීක්ෂණ මණ්ඩලයට දාන්න. අපි රාජ්‍ය නාළිකාවන් නිසා අපි ඒ තරම් ඉහළ මිල ගණන් ගෙවන්නේ නෑ. ඒ හින්දා හැම වෙලාවෙම අපේ ටෙලි නාට්‍ය පෞද්ගලික නාළිකාවල යන ටෙලි නාට්‍ය සමඟ තරගකාරී මට්ටමින් තරග වදිද්දී හැම වෙලේම අපි ෆේල් වෙනවා.

අපිට ඒකෙන් පසුබෑමක් ඇති වෙනවා. නමුත් කවුරුත් දන්නවා වර්තමානය තුළ ටෙලි නිර්මාණවලට විශාල ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා සහ ප්‍රේක්ෂකයින් පුරුදු වෙලා ඉන්නවා ඒවා නරඹන්න. මම මෙතෙන්ට ආවට පස්සේ අලුත් වැඩ පිළිවෙලක් ආරම්භ කළා ප්‍රකට සහ ආධුනික. යම් කිසි යහපත් ප්‍රතිඵලයක් ඇති කළ හැකියි යැයි විශ්වාස කළ හැකි නිර්මාණකරුවන්ට අපි පෞද්ගලිකව ආරාධනා කරලා ඔවුන්ගේ පිටපත් සහ යෝජනාවලිය අපට ඉදිරිපත් කළාට පස්සේ ඒවා මණ්ඩලයට දාලා අනුමත කරගෙන ඒ ටෙලි නාට්‍ය අප මෙහේ ගිවිසුම් අත්සන් කරලා යම්කිසි සාමාන්‍ය ගෙවන මිලට වඩා ඉහළ මිලකට මිලදී ගන්නවා. එවැනි නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේම නාට්‍ය අද හෙටම විකාශය වීමට නියමිතයි.