වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ජමුනා රාණිට හා කේ. රාණිට නොදෙවෙනි ජී. එස්. බී. රාණි

ජමුනා රාණිට හා කේ. රාණිට නොදෙවෙනි ජී. එස්. බී. රාණි

උපතින් මැලේ ජාතික කාන්තාවකි රාණි අක්කා. ඇයගේ මුල් නම ඥෙයි සීනාඊ බන්සජයාය. උපන්නේ 1930 අගෝස්තු 20 වැනිදා බදුල්ලේ ගුරුන්වත්තේය. ඇගේ පියා නූසම්මින් බන්සජයා විය. ඔහු බදුලු පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකි.

මීට වසර 50 කට පෙර මගේ පියාගේත්, මාමාගේත් සමීප මිතුරෙකු වූ අපේ ගෙදර නිතර ආ ගිය ජෝශප් වනිගරත්න හා ඔහුගේ හිිතවතෙකු වූ වැලිවිට ලෙස්ලි ද, මට ගමනක් යාමට කතා කළහ. එවකට මා උසස් පෙළ හදාරණ ශිෂ්‍යයෙක් වූ අතර ආතර් යූ. අමරසේන සංස්කරණය කළ 'විසිතුර' සිනමා පුවත්පතට ලිවීමට අවස්ථාවක් ලබා සිටි අවධියකි.

'ඔයා ජී. ඇස්. බී. රාණි ගැන අහලා ඇති නේද?' ජෝශප් අයියා මගෙන් ඇසීය.

'පින්තූරවලින් දැකලා මිස හැබහින් දැකලා නැහැ. සින්දු නම් අහල තියෙනවා.'

'රාණි අපේ ළඟම නෑයෙක්. එයාට වඩා එයාගේ මහත්තයා ඇන්ටන් අයියා. රන්ජිත් දැන් 'විසිතුර' පත්‍රයට කලාකාරයන් ගැන ලියන නිසා රාණි ගැනත් පත්තරේට ලියන්න පුළුවන්ද? රාණි විහාර මහා දේවි පාක් එකේ 'ස්වර්ණ රාණී' කියලා ෂෝ එකක් කරනවා. පොඩි සපෝට් එකක් දෙමුද?'

'ජෝසප් අයියේ මම 'විසිතුර' පත්‍රයට ලියන්න පටන් ගත්තා විතරයි. මේක හොඳ අවස්ථාවක්. ජී. එස්. බී. රාණි කිව්වාම කවුද නොදන්නේ. එයගේ සින්දුත් හරිම ප්‍රසිද්ධයි. මම හෙට 'විසිතුර' පත්තරේට යනවා කරු අයියගේ ලිපියක් අරගෙන. අමරසේන මහත්තයාගෙන් අහලා අපි වැඩේ කරමු' මම කීවෙමි.

පසුදා මම අමරසේන මහතා හමු වී අනුමැතිය ලබා ගතිමි.

'ඉන්න තැන දැනගන්න. මම පින්තූර ගන්න කෙනෙක් යවන්නම්' අමරසේන මහතා කාරුණිකව මට කීවේය.

කොළඹ නගර සභාවේ බදු එකකු කරන ප්‍රධාන නිලධාරියා වූ ජෝසප් අයියාට විශාල මෝටර් බයිසිකලයක් තිබුණි. දිනක් ඔහු මා පිටුපස හිඳුවා අපි පවනට බඳු වේගයෙන් රාණිගේ නිවෙස බලා (මගේ මතකය හරි නම් දළුගම) ගියෙමු.

ජෝසප් අයියාගේ පියා වනිගරත්න මහතා ද අපේ නිවසට නිතර ආව ගියේ කොළඹ නගර සභාවේ ප්‍රධාන බදු එකතු කරන නිලධාරියා වූ නිසා අප නිවසේ මේසයක් මගේ තාත්තා වෙන් කොට තිබීම නිසාය. පසු කලෙක ජෝශප් අයියා 'දෙවියනි ඔබ කොහිද?' චිත්‍රපටය නිෂ්පාදනය කළේය. චිත්‍රපට නළු අරුණ ශාන්ති ද ජෝසප් අයියා ඥාතියකු නිසා ඔහු ද නිතර අපේ ගෙදර ආව ගියේය.

එදා රාණිගේ ගෙදරට ගිය මට ඇගේ ගායන දිවියේත් පෞද්ගලික දිවියේත් අපූරු තොරතුරු දැනගන්නට ලැබුණි. ඒ හැම දෙයකටම වඩා ඇගේ සැමියා වූ ඇන්ටන් පෙරේරා මගේ හිතවතා විය. කැලණියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ප්‍රවෘත්ති ඇමතිව සිටි ආර්. ඇස්. පෙරේරා මහතාගේ බිරිඳ ජෝසප් අයියාගේ සොහොයුරෙකි. එමෙන්ම පෙරේරා මහතා ඇන්ටන් අයියාගේ ද ඥාති සොහොයුරෙකි.

මේ සම්බන්ධතා නිසා 'රාණි අක්කා' ද මගේ හිතවතියක් විය. කොපමණ හිතවත් වුවා කිවහොත් ඇගේ 'ස්වර්ණ රාණි' ප්‍රසංගයේ බැනර් පවා මා ඇඳ දුනිමි. එකල මා චිත්‍ර ශිල්පයට හා අකුරු ඇඳීමට තිබූ කිසියම් පුංචි දස්කමක් ජෝසප් අයියා දැක තිබිණි.

රාණි අක්කා එදා මට කී කතා අනුව මම විශේෂාංගයක් විසිතුරට ලිව්වෙමි. ඒ මතකය අලුත් වූයේ මෑතකදී අයි. ටී. එන් නාළිකාවේ උදය කුමාර තෙන්නකෝන් නිෂ්පාදනය කළ 'නොමියෙන සිහිනය' වැඩසටහනට සහභාගිවීමට යන අවස්ථාවේ ප්‍රවීණ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනී පීරීස් අපට තුටුපඬුරු කොට දුන් ගීත රචක නීතිඥ දයානන්ද රත්නායක සංස්කරණය කළ 'පරම රමණී' කෘතිය බැලීමෙනි.

උපතින් මැලේ ජාතික කාන්තාවකි රාණි අක්කා. ඇයගේ මුල් නම ඥෙයි සීනාඊ බන්සජයාය. උපන්නේ 1930 අගෝස්තු 20 වැනිදා බදුල්ලේ ගුරුන්වත්තේය. ඇගේ පියා නූසම්මින් බන්සජයා විය. ඔහු බදුලු පොලීසියේ උප පොලිස් පරික්ෂකවරයෙකි. චින්තා නෝනා ඔහු පිය බිරිඳය. බන්සජයා මහතා මරදානේ පොලීසියට මාරුවිමක් ලබා පැමිණීම කුඩා සීනාඊගේ ජීවිතයේ ද පෙරළියක් ඇති කිරීමට සමත් විය. මරදාන පොලීසියට යාබද ක්ලිප්ටන් විද්‍යාලයට ඇතුළත් වූ සීනාඊට ඉඳ ගැනිමට ලැබුණේ පාසලේ දක්ෂතම විරුදු ගායිකාවක් ලෙස 'කප්' ගහපු ඇග්නස් තිසේරා නම් ශිෂ්‍යාව අසල පුටුවේය. මේ දෙදෙනා ගජ මිතුරියන් වීමට වැඩි කල් නොගියේය. මෙයට තවත් හේතුවක් වූයේ සීනාඊට ගායන හැකියාව තිබීමය. රුක්මණී දේවි, ග්‍රේටා ජැනට්, ලක්ෂ්මි බායි ආදීන්ගේ ගීත ඇයට අපූරුවට ගැයීමේ හැකියාව තිබුණි. පාසලේ විවිධ ප්‍රසංගවල සීනාඊ ගී ගැයූ අතර ඇග්නස් විරුදු කීහ. මේ දෙදෙනා පසු කලෙක කලා ලෝකයේ ඉහළටම ගියෝය.

ඇග්නස් පසුව ගුවන් විදුලි ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් හා චිත්‍රපට නිළියක් ද වූවාය. ආනන්ද සිරිසේනගේ බිරිඳ වූ ඇය ප්‍රකට නිවේදක කමල් දේශප්‍රියගේ මවය.

සීනාඊගේ ගායනා හැකියාව දුටු ඇගේ මස්සිනා වූ අහමද් දිනක් තම බිරිඳත්, සීනඊත් 1944 වසරේ කොලොම්බියා තැටි නිෂ්පාදනය කළ පොරෝලිස් ප්‍රනාන්දු සමාගමට කැටුව ගියේය. එදා කොලොම්බියා තැටි සඳහා ගායිකාවන් පරීක්ෂණය කළ සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර් හා ගීත රචක යූ. ඩී. පෙරේරා මාස්ටර් වෙත ගිය තම ඥාති සොහොයුරිය ඔවුන් හමුවේ ගී ගයද්දී සිනාඊ එළියට වී රට කජු ගොට්ටක් කමින් සිටියාය. හදිසියෙන් මස්සිනා ශබ්දාගාරයේ දොර ඇරගෙන සීනාඊ අසලට කලබලයෙන් ආවේය.

'අක්කාගේ කටහඬ හොඳ නෑ කියලා මාස්ටර්ලා දෙන්නම කිව්වා. ඔයා ගැන මම ඒගොල්ලන්ට කිව්වා. නංගි එන්න. ඔයාට මේ චාන්ස් එක ලැබේවි.'

'අනේ අයියා මම කැමති නෑ'

එතැනට අක්කා පැමිණියාය.

'අපි ඔයාට අයිස් ක්‍රීම් අරන් දෙනවා. අලුත් සපත්තු දෙකකුත් අරං දෙනවා. තව රට කජු ගොටු ගොඩක් අරං දෙනවා යනකොට. හොඳ නංගී වගේ ඔඩිෂන් එකට ඉන්න. ඔයා පාස් වේවි.'

අක්කා බලෙන්ම අතින් අල්ලාගෙන ශබ්දාගාරය තුළට ඇය ගෙන ගියාය.

ගීතයක් ගයන්නැයි මොහොමඩ් ගවුස් මාස්ටර් සීනාඊට කීවේය. ඇයට මතකයට ආවේ දූතිකා රෝයි ගැයූ බෙංගාලි ගීතයකි.

එදා ශබ්දාගාරය තුළ වයලීනයක් අතැති ඇල්බට් පෙරේරාත් (අමරදේව), ශාන්ති කුමාර් සෙනෙවිරත්න, වසන්තා සන්දනායක, තබ්ලා නඩරාජාත් සිටි බව ඇයට මතකය.

'හොඳයි සිංහල ගීතයකුත් ගයන්න' යූ. ඩී. මාස්ටර් කිවේය. ඇය ඊළඟට කිවේ රුක්මණී දේවි ගැයූ 'බලධාරී' ගීතයකි.

පරීක්ෂණයෙන් සමත් වූ කුඩා සී ට ග්‍රැමෆෝන් ගිතයක් ගැයීමට අවස්ථාව ලැබුණි. එහෙත් ප්‍රශ්නයක් තිබුණි. තද නීතිගරුක තාත්තාගෙන් අවසර ගැනීමය. තාත්තාගෙන් අවසර ගැනීම අහමද් අයියා බාර ගත්තේය.

'උඹ කියන හින්දා අවසර දෙනවා. මැලේ ජාතිකයෝ වූ අපි ඔය විකාර වැඩවලට කැමැති නෑ. උඹලා සීනාඊ කියන නම නැතිව ඕනෑ නමක් දාගනිල්ලා.' ඇගේ පියා වූ බන්සජයා පොලිස් නිලධාරියා අහමද්ට කීවේය.

සීනාඊට ගෙදර කියා ඇත්තේ කිටී කියාය.

'මාස්ටර් මෙයාට ගෙදරට කියන නම කිටී'

'ඒක පූසෙකුගෙ නමක්නෙ. අපි මේ කෙල්ලට 'රාණි' කියලා නම තියමු.' යූ. ඩී. මාස්ටර් යෝජනා කළේය.

'මාස්ටර් මෙයාගේ නම ඥෙයි සීනාඊ බන්සජයානේ. ඒකේ මුල් අකුරු ට්. ඉ. ඕ එකතු කරලා 'ට්. ඉ. ඕ. රාණි' කියලා නම තියමුද?' අහමද් කීවේය.

මාස්ටර්ට දෙදෙනාගේම අනුමැතිය ලැබිණ. ඇගේ මුල්ම ගීතය වුයේ 'සමඟි බලේ පාමු'ය. ගීත රචනය යූ. ඩී. පෙරේරා මාස්ටර්ගෙනි. සංගීතය ගවුස් මාස්ටර්ගෙනි. රාණි ඊළඟ ගීතය මොහිදීන් බෙග් සමඟ ගැයූ 'සිරි සාර භවනේ' ගීතයේ ගීත රචනය හා සංගීතය යූ. ඩී. මාස්ටර්ගෙනි. රාණිගේ ගී හඬට වශී වූ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ඇය අසලට පැමිණියේය.

'රාණි අපි සිංහල චිත්‍රපටයක් හදන්න ළඟදීම ඉන්දියාවට යනවා. මියුසික් කරන්නේ ගවුස් මාස්ටර්. රාණිව සින්දු කියන්න මම තෝර ගන්නවා.'

'මේ 1946 වසරේ. එතකොට ලංකවේ සිංහල චිත්‍රපටයක් හදල නෑ. මම බොහොම ආසාවෙන් හිටියේ. අමරදේව, ගවුස් මාස්ටර්ලා එක්ක ඉන්දියාවේ යන්න ඉන්න කොටම මගේ තාත්තා මිය ගියා. ශාන්ති කුමාර් මා වෙනුවට ඉන්දියානු ගායිකා භාග්‍යරතී කියන ගායිකාව. 'අසෝක මාලා' කරලා ඉන්දියාවෙන් ආපු ශාන්ති කුමාර් ගවුස් මාස්ටර්ට කියලා ගුවන් විදුලියේ ගීත ගයන්න අවස්ථාව ලබා දුන්නා. ඔය කාලේ අම්මත් අන්ත්‍රා වුණා. ඔය ඉන්න කාලේ මට පි. එල්. ඒ. සෝමපාල මහත්තයා හමුවෙලා මාව ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයට ඉදිරිපත් කළා. රත්න ජංකර් කියන විශිෂ්ට සංගීතඥයා ලංකාවට ආවා. මම පරීක්ෂණයකටත් හිටියා. මේ පරීක්ෂණ දෙකෙන්ම මම 'ඒ' ශ්‍රේණියෙන් සමත් වුණා. ජී. එස්. බී. රාණි අප ආදරෙන් ඇමතූ 'රාණි අක්කා' 1970 මා 'සරසවිය' පුවත්පතට කළ සංවාදයකදී කීවාය.

මේ කාලයේ රාණි වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවාය. ජේ. ඩී. ඒ. පෙරේරාගේ 'සිරිසඟබෝ' උපාලි වනසිංහගේ 'දස්කොන්', 'රොඩී කෙල්ල' මේ අතර විශේෂිතය. දස්කොන් නාට්‍යයේ ඇය සමඟ ප්‍රධාන චරිතය රඟපෑවේ හර්බට් එම්. සෙනෙවිරත්නය. 1953 වසරේ ඇයට සිය පෙම්වතා හමු විය. එක්තරා නත්තල් උත්සවයක ගීත ගැයීමට ගිය ඇයට තම ගීතවලට ආදරය කරන අපූරු රසිකයකු හඳුනා ගන්නට ලැබිණ. ඔහු කඩවසම් තරුණයෙකි. ඔවුනොවුන් කළ කතාබහ ප්‍රේමයකට පෙරළිණ. තරුණයාගේ නම ආර්. ඒ. ඇන්ටන් පෙරේරාය. ඔහු හිටපු (1970 සිට 77) ඇමතිවරයකු වූ ආර්. ඇස්. පෙරේරා මහතාගේ ඥාති සොහොයුරෙකි. 1953 පෙබරවාරි 17 වෙනිදා ඔවුන් අතිනත ගත්හ. එතැන් සිට ඇය ජී. ඇස්. බී. රාණි පෙරේරා නම් වූවාය. මේ විවාහ මංගල්‍යය ලියා පදිංචි කර ඇත්තේ නුගේගොඩ පදිංචිව සිටි සිසිර කුමාර මානික්ක ආරච්චිගේ නිවසේදීය. පසු කලෙක මානික්ක ආරච්චි රචනා කළ චිත්‍රපට ගීත ද රාණිට ගැයීමට අවස්ථාව ලැබිණ.

ජී. එස්. බි. රාණි පෙරේරා විසින් නවක ගායකයන් රැසකට අතහිත දී ඇත. එච්. ආර්. ජෝතිපාල, ධර්මදාස වල්පොල, සිසිර සේනාරත්න, කේ. සේන, ඩබ්ලිව්. ප්‍රේමරත්න, ඇන්. කරුණාරත්න මේ ගායකයන් අතර ප්‍රමුඛය. ජෝතිපාල ගැන අපූරු තොරතුරක් නීතිඥ දයානන්ද රත්නායක රාණි අක්කා සමඟ කළ සංවාදයෙන් හෙළි වෙයි.

'මගේ මහත්තයා ඇන්ටන් පෙරේරා තමයි මුලින්ම ජෝතිපාලව අඳුන ගත්තේ. මහත්තයා එතකොට වැඩ කළේ රෙඩිෆියුෂන් සමාගමේ මරදාන ඩිෂන් ඒජන්ට් විදිහට. ඇන්ටන් මරදානේ නොදන්න කෙනෙක් නෑ. මටත් වඩා හුඟාක් ජනප්‍රියයි ඇන්ටන්. මරදානේ හිටපු ප්‍රසිද්ධ චණ්ඩියෙක් වූ 'චණ්ඩි චොප්පෙ' ඇන්ටන්ට ජෝතිපාලව හඳුන්වලා දීලා තිබුණා.

'හොඳට සින්දු කියන කොල්ලෙක් සර්, නෝනට කියලා අපේ කොල්ලට මොකක් හරි සපෝට් එකක් අරන් දෙන්න.'

ඇන්ටන් ද හිස වැනුවා මිස ඉන් එහාට යමක් පැවසීමට නොගියේය. ඇන්ටන් හා විවාහ වූ අලුත බැවින් ඔවුන් දෙදෙනා ඇසුරු කළ බොහෝ අයගෙන් පාටියකට හෝ බජව්වකට හෝ ඇරයුමක් නොලැබුණා නම් ඒ කලාතුරකිනි.

'අපේ විවාහය වෙනුවෙන් සිසිර සේනාරත්න පැදුරු පාටියක් සූදානම් කළා. අපි දෙන්නා එතැන ඉන්දැද්දි ඒ බජව්වට චොප්පෙ ජෝතිපාලව එක්කන් ආවා.'

ආර්. ඒ. චන්ද්‍රසේන මාස්ටර් පැදුරු පාටිය භාරව කටයුතු කළ අතර ඇන්ටන්, චන්ද්‍රසේන මාස්ටර් ළඟින්ම ඇසුරු කළ අයකු වූ බැවින් චන්ද්‍රසේන මාස්ටර් එම පාටිය ඇන්ටන් සහ රාණි වෙනුවෙන් භාරගෙන තිබුණි. ඇන්ටන් චන්ද්‍රසේන මාස්ටර් ළඟට ගොස් ජෝතිපාල ඔහුට හඳුන්වා දුන්නේය.

'හොඳට හින්දි සින්දු කියන කොල්ලෙක්. මචං කොල්ලට සින්දුවක් කියන්න දීපං'

යහළුවාගේ ඉල්ලීමට පිටුපෑමට නොහැකි වූ බැවින් චන්ද්‍රසේන ද දෙවරක් නොසිතාම ඊට කැමැත්ත පළ කළේය. ආර්. ඒ. චන්ද්‍රසේන ද ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී අනුන්ට උදව් කිරීමට තරම් හිතක් තිබූ මහත්මා ගුණයෙන් පෝෂිත අයකු වූ බැවින් ජෝතිපාලට ඒ අවස්ථාව ලැබුණි. එදා ජෝති හරි ලස්සනට හින්දි සින්දු දෙකක්ම කිව්වා.

'ජෝතිපාල මුල් වරට යුග ගීයක් කිව්වේ මාත් එක්කයි. ඒ වගේම පළමුවෙනි වතාවට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී ප්‍රසිද්ධ වේදිකාවේ යුග ගීයක් කිව්වෙත් මාත් එක්ක. එත් අන්තිමට මගෙත් එක්ක අමනාප වුණා. ඒ අපි අතර දේශපාලනේ නිසා. හැබැයි ජෝතිගේ අවසන් කාලේ මට කතා කරලා කිව්වා මාත් එක්ක මුලින් කියපු 'ඇල්හේනේ පැල් රකිද්දී 'වගේ ජනප්‍රිය ගී ගයන්න ආසයි කියලා. ඒත් ඒක ඉටු වුණේ නැහැ.

රාණිට හාපුරා කියා චිත්‍රපටයක ගීතයක් ගයන්න ලැබෙන්නේ පී. එල්. ඒ. සෝමපාල නිසා බව ඇය කෘතඥතාපූර්වකව පවසා ඇත. සෝමපාල සංගීත අධ්‍යක්ෂණය කළ සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ 'අසෝකා' (1955) චිත්‍රපටයේ. ඇය මොහිදීන් බෙග් සමඟ ගැයූ මේ ගීත අතිශයින්ම ජනප්‍රිය වූණා.

'පෙම් පහන නිවී - පෙම් මල් පර වී
ඇවිළේය වියෝ ගිනි ජාලේ
අපි හැංගි හැංගි බැඳි ආලේ'
'ලෝකේ සිහිනයක් වගේය
අරුම පුදුම ජීවිතේ
කවුද මෙහෙම මැව්වෙ ලෝකේ
මේක සිහිනයක් වගේය ලෝකෙ'

ඇය තනිවම ගැයූ 'ආදරේ - සාගරේ - රැල් නගී හෝ ගගා' ඇය හා ධර්මදාස වල්පොල සමඟ ගැයූ 'පායන සඳසේ - මෝරයි ආලේ - දිවා රෑ දෙවේලේ' ගීත ද එදා ජනප්‍රිය විය. මුලින්ම තිරගත වූයේ ඇය ගී ගැයූ 'සුරඟනී' (1955) චිත්‍රපටයයි. එහි ඇය ධර්මදාස වල්පොල සමඟ ගැයූ 'සුරඟනාවි මාගේ ඔබ නොම වේය හීන කුලයේ' තනිවම ගැයූ 'තනි වූ හදේ සෝකේ', 'ආලේ පෙම් රැස් දහරා' ගීත ද නැවුම් රසයක් නරඹන්නාට දැනුණි.

රාණි ප්‍රතිපත්ති ගරුක ගායිකාවකි. සිරිසේන විමලවීරයන්ගේ චිත්‍රපට වූ අසෝකා, පොඩි පුතා, සිරකරුවා සඳහා ඇය වරෙක මුදල් නොගෙනද, තවත් වරෙක ලද සුළු මුදල ද ගත්තේ සිංහල චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස අසීරු ගමනක් ගිය ඔහුට උපකාර කිරීමේ පරම අදහසින්. ඒ ගීත අතරින් මේ ගීත ඇය විශේෂයෙන් ඇලුම් කළාය.

'කිරි මුහුද! ඕ කිරි මුහුද කැලැම්ඹිල
පාවී එනවා ප්‍රේමාමෘතේ'

(ගායනය - හරුන් ලන්ත්‍රා සමඟ 'පොඩි පුතා' චිත්‍රපටය)

හාචාර්ය සුනිල් ආරියරත්න සඳහන් කර තිබුණේ සිංහල සංගීත ක්ෂේත්‍රයෙහි සුප්‍රසිද්ධ රාණිලා තිදෙනෙකු (ජමුනා රාණි, කේ. රාණි සහ ජී. එස්. බී. රාණි) සිටි බවත් ඒ තිදෙනාම අති දක්ෂ ගායිකාවන් බවය. ඒ මුල් රාණිලා දෙදෙනා ඉන්දියානුවන් වීමත්, ජී. එස්. බී. රාණි අපේ රාණි කෙනෙකුවීමත් කියාය. අපේ රාණි දකුණු ඉන්දියානු රාණිලාට වඩා නොදෙවැනිව ගී ගැයූ බවත්ය. ඉන්දියානු ශබ්දාගාරවලදී ඉන්දියානු සංගීතඥයන් සෑහීමට පත් කරවමින් ගී ගැයූ බවය. සිංහල උච්චාරණයෙන් අනෙක් රාණිලා අභිබවමින් අපේ රාණි ගී ගැයූ බවය.

චිත්‍රපටවල ගී ගයමින් රාණි 'සුරංගණී' චිත්‍රපටයේ නැන්දා කෙනෙකුගේ චරිතයක් ද 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සුපර්වයිසර් ලෙස ද ඇය රඟපෑ අතර ඇගේ සැමියා ඇන්ටන් සුනීතා, සුන්දර බිරිඳ, සුරතලී, අසෝකා චිත්‍රපටවල පොලිස් ඉන්ස්්පෙක්ටර් චරිතය රඟපෑවේය. රාණි ගැයූ සෙසු චිත්‍රපට අතර දුප්පතාගේ දුක චිත්‍රපටයේ මේ ගීත දෙක සුවිශේෂිය.

චන්ද්‍රා කාන්ති සාගරේ
ගිලීලා නාමි ආදරේ'
(දුප්පතාගේ දුක)
දුක් වේදනා වින්දේ අහෝ
කර්මය ම එලවා එයි බවේ
(දුප්පතාගේ දුක)
'ලොවේ දෙයියො
සල්ලි තමා'

(සහාය ගායනය - බෙග් (දුප්පතාගේ දුක)

'සුරතලී' චිත්‍රපටයේ ධර්මදාස වල්පොල හා 'ප්‍රේමේ මෝරන කාලේ', 'ගීත දේවි ශ්‍රී සරසවි' හා තනිවම 'පෙම් ගී ගයා විනෝදේ' ගීත ගැයුවාය. 'සිරකරුවා' චිත්‍රපටයේ ද ගී ගැයූ ඇය 'දෙයියන්නේ රටේ' චිත්‍රපටයේ බෙග් සමඟ 'රැල්ලේ කිරි වැල්ලේ - හාදු දේවි' හා තනිවම 'මට ඔබ ද අගෙයි - හැදු මව ද මගෙයි' ගීත ද 'දස්කම' චිත්‍රපටයේ මේ ගීත දෙක අතිශයින් ජනප්‍රිය විය.

තුරු වදුළු තුදේ සඳලු තලේ
කැකුළු දැලේ සුරතලේ
මඩ දිය පිපුනට පිරිසුදු කිරි සුදු ඕලු
රජ සිටු දූවරු වරලස පලඳා ලංකාර වේලු

'සුනීතා' චිත්‍රපටයේ ධර්මදාස වල්පොල සමඟ ගැයූ 'සීදේවි රූබරී මා - නයනා රසී වෙ සැමදා' 'මෝරලා ප්‍රේ්ම ගීතේ ආදරේ මිහිර නෑවේ' ඇල්. ඇම්. පෙරේරා සමඟ ගැයූ 'ඩාලිං මයි ලව් - අපි දෙන්නම නිව්', 'පුරුෂ රත්නය' ඉන්ද්‍රානි විජේබණ්ඩාර සමඟ ගැයූ 'සිංහල ජාතිය ලොව බැබලේ' 'ගැහැනු ගැට' චිත්‍රපටයේ සිසිර සේනාරත්න සමඟ ගැයූ 'රන් වලා තොටිල්ලේ', 'සුන්දර බිරිඳ' චිත්‍රපටයට ධර්මදාස වල්පොල හා ඇය ගැයූ 'සඳ පායලා වාගේ', 'සිරිය සොබනා - නයන දේ සැපා', 'ලාලිත රූපේ - සෝබන දේහේ' හා තනිවම ගැයූ 'සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා' , 'රඟ පා විමෝදේනී මේ ප්‍රීතියේ නී ගයා' යන ගීත අතිශයින්ම ජනප්‍රිය වූහ. 'නළඟන' චිත්‍රපටයට ඇය ගැයූ 'පරම රමණී අපේ ආලේ - සදාකල් දුකට වී මූලේ' ගීතයත්, 'කුරුලු බැද්ද' චිත්‍රපටයට ගැයූ 'වී කිරිල්ලී යයි ඉගිල්ලී - මම පියඹනුදෝ කෙසේ' 'චණ්ඩාලි' චිත්‍රපටයට ඇය ගැයූ 'පාලුයි තනි මට මේ ලෝකේ', බෙග් සමඟ ගයන 'සඳෙහි සඳුන් වනේ', 'මැණිකක් රකිනා නා රජිඳෙකු සේ', 'සේයාවක් පසුපස' චිත්‍රපටයට ඩබ්ලිව්. ප්‍රේමරත්න හා ගැයූ 'සාගර මත සඳ', 'සැපත සොයා' චිත්‍රපටයට ඇය ඩබ්ලිව්. ප්‍රේමරත්න සමඟ ගැයූ 'ඈත චන්දන හිමේ' හා අවසන් වරට ඈ ගී ගැයූ 'මහ රෑ හමු වූ ස්ත්‍රිය' චිත්‍රපටයට ගැයූ 'වළාකුලක් මෙන් ඈතට පාවුණ නිම් නැති අඹර දිගේ 'ගීත රාණිගේ ගීතාවලියේ කැපී පෙනෙයි. ශ්‍රී 296, දරුවා කගේද, ගංතෙර, වෙන ස්වර්ගයක් කුමටද, සුජාගේ රහස, සෝබා, සොඳුරු යුවළ චිත්‍රපටවල ද ඇය ගී ගැයුවාය.

ඇය ගැයූ සරල ගී අතර බෙග් සමඟ ගැයූ 'ජෝඩු ජෝඩු වී කුරුල්ලෝ පියඹා ගියා' ගීතය ද අමතක නොවේ.

ජී. ඇස්. බී. රාණි පෙරේරා වෙනුවෙන් 'පරම රමණී' හරසර ප්‍රණාම උලෙළක් 2004 වසරේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී. ඒ ඇගේ ගායන දිවියට වසර 60 ක් හා දිවි ගමනේ හැත්තෑපස් වසරකට ළඟාවීම නිමිත්තෙනි. මේ හරසර උලෙළ සංවිධානය කරන ලද්දේ විශාරද එඩ්වඩ් ජයකොඩි හා ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ය.

ජී. ඇස්. බී. රාණි නම් විශිෂ්ඨ ගායිකාව 2004 සැප්තැම්බර් 07 වෙනිදා ජීවිතයෙන් සමුගත්තාය.