|
ලස්සනට පිපුණු වන මලට හරසරNihal Nelson
කලා ජීවිතයේ පුරා වසර 55 ක් එක හා සමාන ජනප්‍රියත්වයකින් එදා සිට අද දක්වාම සිටිනවා යනු එක්තරා ආකාරයක ආශ්චර්යයකි. වෙනස් වන සමාජ, ආර්ථික, සමාජීය හා දේශපාලන පසුබිම මත එකී වෙනස්වීම අප කවුරුත් බලාපොරොත්තු වන්නක් මෙන්ම නොවෙනස් සත්‍යයක් ද වන්නේය. එහෙත් අප කථානායකයා වන ප්‍රවීණ ගායන ශිල්පී නිහාල්් නෙල්සන් ගේ ජීවන චරිතය දෙස නැවත හැරී බැලුවහොත් ඒ වෙනස්වනවා යැයි අප අදහන සියල්ල ඔහු කෙරේ අදාළ නොවෙමින් ක්ෂේත්‍රයට පැමිණි දා සිට මේ දක්වාම එක හා සමාන ජනප්‍රසාදයක් රඳවා ගන්නට සමත් විය. මෙකී පූර්විකාවට සුවිශේෂ හේතුවක් වන්නේ පසුගියදා මොරටුව ලලිත කලා සංගමය මඟින් පවත්වන්ට යෙදුණු අති උත්කර්ෂවත් උලෙළකදී නිහාල් නෙල්සන් 'මොරටු පුත්‍ර අභිමානී' සම්මානයෙන් පිදුම් ලැබීමයි. සැබවින්ම නිහාල් නෙල්සන් යනු මොරටුවට අභිමානයක් රැගෙන ආවෙකි. එය එදා අද මෙන්ම හෙටත් සිදුවන්නකි. "මොරටුව ලලිත කලා සංගමය වසර ගණනාවක් පුරා මේ ප්‍රදේශයට විවිධ අයුරින් සේවය කරන සංගමයක්. එහි ගරු සභාපති තිලක් ද මෙල් ප්‍රමුඛ කණ්ඩායම තමයි මෙහි නියමුවෝ වන්නේ. පසුගිය කාලය පුරා මොරටුව ප්‍රදේශයේ කලාකරුවන් ඇතුළුව එකසිය ගණනක පිරිසකට මේ සංගමය මඟින් සාම විනිසුරු පදවි අරන් දුන්නා. මේ ප්‍රදේශයේ පදිංචි අහිංසක කලාකරුවන්ට ලබා දෙන්න නිවාස කිහිපයක් ඔහු මේ දිනවල සොයමින් සිටිනවා. දැනට කිහිපයක් ලැබිලත් තිබෙනවා. ඒ අතරතුර ඔහු යෝජනාවක් ගේනවා මට උපහාරයක් පවත්වන්න ඕන කියලා. අවුරුදු 55 ක් ගීත ගයලා මොරටුව ඉන්න ප්‍රමුඛතම ගායකයා වශයෙන්. ඒක නම් කරලා තිබුණේ "මොරටුව ලලිත කලා අභිමානි මොරටු පුත්‍ර" සම්මානය. ඒක තමයි මට පසුගියදාක පිරිනැමුණේ. මේ යෝජනාව ආවම මම කල්පනා කළා මාව සම්මානයට පත් වෙනවා කියන්නේ එක විෂය ක්ෂේත්‍රයක් පමණයි කියන එක. මොරටු පුරවරයෙන් කලාවට දායාද වුණු තවත් කලාකරුවෝ රාශියක් ඉන්නවා. ඒ අනුව මම යෝජනා කළා තවත් අංශ දෙකක් මේ සඳහා එක් කර ගන්න. රංගනය පැත්තෙන් ටෙනිසන් කුරේත්, නර්තනය පැත්තෙන් චන්දන වික්‍රමසිංහත් යෝජනා වුණා. මුලින් සිනමා අංශයෙන් මොරටුවට හිටිය ප්‍රවීණතමයා වුණේ රෝයි ද සිල්වා මහතා. නමුත් ඔහු හදිසියේ අපෙන් සමු ගැනීමෙන් පස්සේ ප්‍රවීණතමයා වුණේ ටෙනිසන්. නර්තනය පැත්තෙන් ගත්තොත් අති විශාල පිරිසක් අද මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. නමුත් ජාත්‍යන්තර තලයට මේ නම රැගෙන ගිය දක්ෂයකු විදියට අප චන්දනව තෝර ගත්තා." නිහාල් අයියාගේ ජීවිතය දෙස ආපසු හැරෙත්දී මොරටු පුුරවරයේම ඉපිද, හැදී වැඩී මොරටු ජනතාවගේ සාදර අත්පොළසන් හඬින්ම ඉදිරියට පැමිණි ගායකයකු වශයෙන් ඔහු මොරටු පුරවරයට අභිමානය රැගෙන ආවෙකි. ගමෙන්, නගරයට, නගරයෙන් ලංකාවටම පමණක් නොව ඉන්පසුව දේශ දේශාන්තරවල ද තම නාමය රැව් පිළිරැව් දීමට තරම් භාග්‍යයක් හිමි කර ගත්තෙකි. මොරටු ජනතාවගේ ප්‍රසාදය, ආශිර්වාදය ඔහු පුරා වසර 55 ක් එකම ජනප්‍රියතාවයකින් තබන්නට මුලික අඩිතාලම වූයේය. ඒ ආශිර්වාදය නිහාල් නෙල්සන් අදටත් සිහිපත් කරන්නේ සදා කෘතවේදිත්වයකිනි. මොරටු ජනතාව වෙනුවෙන් උපන් අති මහත් වූ භක්තියකිනි. "මගේ ජීවන ගමනේ උත්පත්ති මොහොත ආරම්භ වෙන්නේ මොරටුවෙන්. ගෙදරින් පහළ බාලාංශයට, ඉන් පසු පාසලට. ඉන් පසු මොරටුව ගමට, ඉන්පසු මොරටුවෙන් කොළඹට, ලංකාවේ විවිධ ප්‍රදේශවලට, සමස්ත ලංකාවටම, ඊට පස්සේ රටෙන් එතෙරට. මේ ගමන් මඟ හරිම දිර්ඝයි. අදටත් මේ ගමන මම තවත් ඉදරියට රැගෙන යනවා. හැබැයි එහි වස්තු බීජය පැල වෙන්නේ මොරටුව ගමේ. ඒකයි මම අභිමානයෙන් මොරටු පුත්‍රයෙක් කියලා කියන්නේ. මගේ ජීවිතේ සින්දු කියන්න පටන් ගත්තේ බොහොම කුඩා කාලයේදී. ගෙදරින් ඉස්කෝලෙට ගියාම ඉස්කෝලේ සාහිත්‍ය සංගමයේ හැම සතියෙම සින්දු කියන කෙනා වන්නේ මම. හැබැයි මම කියන්නේ මමම හදා ගත් සින්දු. කාගෙවත් සිංදු කියන්නේ නෑ. මෙලඩි එකත් මගේමයි. මේ හින්දම පාසලේ ළමයි, ගුරුවරු අතරේ දවසින් දවස මම ජනප්‍රිය වුණා. ඊට පස්සේ ටික ටික ගමට යන්න මට සිද්ධ වුණා. ගමේ තිබුණු පුංචි පුංචි සාදවලට මම නැතුවම බැරි ගායකයෙක් වුණා. ගම අඳුර ගන්න කොට මගේ හිත ඉලක්කෙට වැඩ කරන්න පුරුදු වුණා. මම ඊළඟට යන්නේ කොහාටද කියන තැන තමයි සිටියේ. ඔහොම යන කොට තමයි මට සරත් මුණසිංහ කියන ගීත රචකයා හමු වන්නේ. (වත්මනෙහි ඔහු මීගහවෙල සුමනශාන්ත හිමි). ඔහු මට ගීත ගණනාවක් ලියලා දෙනවා. ඒ ගීත ඇතුළේ තමයි මගේ පළවෙනි ගීතය වෙන 'ලස්සනට පිපෙන වන මල්' ගිතය තියෙන්නේ. නිහාල් අයියගේ ජීවිතෙත් ගීතයක් වගේ. කතාව අහගෙන යනකොට මට හිතුණා. තාල අලංකාර බොහොමයි. නිහාල් නෙල්සන් කියන ගායකයා අධ්‍යාපනය අරඹනුයේ ගමේ පාසල වූ නිර්දෝෂ මරියා මිශ්‍ර පාඨශාලාවෙනි. වර්තමානයේ එය රාවතාවත්ත රෝමානු කතෝලික මිශ්‍ර පර්ෂද පාසලය. නිහාල් මේ පාසලෙන් අට පාස් වූ පසු අස් වී මොරටු මහා විද්‍යාලයට ඇතුළත් වන්නේය. ගායන දිවියේ අපූරුතම වේදිකාවක් එහිදී ඔහුට නිම වන්නේය. පන්තියේ පමණක් නොව සමස්ත පාසල් සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ ගුරුවරුන්ගේ ආදරය දිනා ගැනීමට මෙහිදී ඔහුට හැකි වන්නේය. 1960 ඔහු උසස් පෙළින් පසු පාසලින් ඉවත් වී සමාජයට මුසු වන්නේය. නිහාල්ගේ පියා මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතු කළ අයෙක් වූ අතර මව ඉංග්‍රීසි ගුරුවරියකි. මවට අවශ්‍ය වූයේ සිය පුතුගේ අධ්‍යාපන කටයුතු හොඳින් ඉටුවනවා දැකීම පමණය. එහෙත් ඇය නිහාල්ගේ සංගීත දිවියට කිසි දින බාධා නොකළාය. එසේ වූයේ ඔහු සංගීත කටයුතු සේම අධ්‍යාපන කටයුතු ද හොඳින් කරගෙන ගිය බැවිනි. "මම ජීවිතේ ඉගෙන ගන්නේ සමාජයෙන්. කවුරුත් මට මේක කරන්න, මේක කරන්න එපා කියලා නීති තහංචි දාලා තිබුණේ නෑ. සමාජයේ ජීවත් වෙනකොට මම මගේ ඉලක්ක හඳුනා ගත්තා. එතෙන්ට යන්න මොනවද ඕන කියලා මම ඉගෙන ගත්තා. මට දනුණා අධ්‍යාපනය නැතුව කිසිවක් කරන්න බෑ කියලා. ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි කියලා දැනුණා. ඒ නිසා මම ඉගෙන ගත්තා. සමාජයේ හොඳ නරක මොනවද කියලා දැනගත්තා. සියලුම දෙනා එක්ක එක වගේ ආශ්‍රය කළා. හැබැයි නරකයි කියලා දැනෙන දේ මම කළේ නෑ. එතෙන්දි නැවතීමේ තිත තියා ගන්න මම දැනගෙන හිටියා. බැරිම තැනක් වුණොත් කොමාවක් හරි දාගන්න මම ඉගෙන ගත්තා. මම බෞද්ධයෙක් විදියට ආගමානුකූල ජිවිතයට පුංචි කාලේ ඉඳන්ම හුරු වුණා. අරක්කු, සිගරට්, මස් මාළුවලින් තොර වුණා. ඒවා කවුරුත් කියලා නොවෙයි. ආගම කෙරෙහි අන්ධ භක්තියෙනුත් නොවෙයි. බුදුන් වහන්සේ ගේ දර්ශනය හොඳින් අවබෝධ කර ගත්තෙක්. එහෙම වුණා කියලා මගේ ජීවිතේ නිසි වයසට කරන්න ඕන සියලු දේ මම නොකර හිටියේ නෑ. ගැටවර වියේ දඩබ්බරකම්, රස්තියාදුවීම් සියල්ල තිබුණා. ගමේ මරණෙට, මඟුලට හැම තැනම හිටියා. හැබැයි මගේ ඉලක්කෙට යද්දි මිනිස්සුන්ගේ ආදරය දිනා ගන්න ජීවත් වෙන්න ඕන කොහොමද කියන එක මම අවබෝධ කර ගනිමින් හිටියා.'' නිහාල් නෙල්සන්ගේ ජීවන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානය වන්නේ යහළුවෙකුගේ මංගල උත්සවයකදී එකල අතිශය ජනප්‍රිය සංගීතඥයෙකු වූ ඒ. ජේ. කරීම් මුණ ගැසීමය. මේ හමුව ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට මුල පුරයි කියා එදා නිහාල් හෝ අනෙක් කිසිවකු හෝ සිතන්නට නැත. එහෙත් ඒ හමුව මෙරට සංගීත ක්ෂේත්‍රයට අමරණීය ගායකයකුගේ හිමිකම ලබාදීමට හේතුවක් වූයේය. "ඒ මඟුල් ගෙදරදි මට සින්දුවක් කියන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ ජනප්‍රිය ගායකයන් රැසක් එතැන හිටියා. මොහිදින් බෙග් පවා හිටියා. ඒ වෙනකොට මම 'ලස්සනට පිපුණු' ගීතය හදාගෙන හිටිය නිසා ඒ සින්දුව තමයි එතැන කිව්වේ. 1962 පෙබරවාරි මාසේ. ලොකු ගායකයන් මා දිහා අවධානෙන් බලා හිටියා. බෙග් මාස්ටර් කිව්වා 'ෂා පොඩි එකා මරුනේ' කියලා. ඒ. ජේ. කරිම් තමයි මියුසික් කළේ. මට ඔහු කිව්වා මල්ලි යන්න එපා. පොඩ්ඩක් මාව හම්බ වෙලා යන්න කියලා. එතකොට මට අවුරුදු 16 ක් විතර ඇති. ඒ කාලෙ මට ඉස්කෝලේ ඩබල් ප්‍රමෝෂන් දෙකක් ලැබුණා. ඒ නිසා නිසි වයසට කලින් පාසල් අධ්‍යාපනය හමාර කර ගත්තා. මඟුල් ගෙදර ඉවර වෙලා කරීම් අයියා මට කිව්වා මල්ලි එන්න මම ඉන්නේ බම්බලපිටියේ 4 වැනි ලේන් එකේ. එතෙන්ට හෙට එන්න කියලා. මමත් පහුවදා සවස එතැනට ගියා. එතැනට ගියාම එතන තනිකරම 'හෙවන්' Heaven එකක්. රොක්සාමි ඇතුළු ඒ කාලේ හිටපු සුපිරිම ගණයේ අය හිටියේ. එතැනත් මට සින්දුවක් කියන්න වුණා. රොක්සාමි මාස්ටරුත් හරි ආස වුණා. කරීම් අයියා කිව්වා එන ඉරිදා මාත් එක්ක තැනකට යමු කියලා. මාව එක්කන් ගියා මරදානේ කේ. ඩී. ඩේවිඩ් මාවත කියලා ඉස්සර කිව්වේ, එල්පින්ස්ටන් එක පිටුපස්සේ, චන්ද්‍රසේන කලායතනය එතකොට තිබුණේ එතැන. ආර්. ඒ. චන්ද්‍රසේන කියන්නේ ලංකාවේ නෞෂාඩ්. ආයේ කතා කරන්න දෙයක් නෑ. මාව එක්කන් ගිහින් මාස්ටර්ට හඳුන්වලා දුන්නා. මාව දැක්ක ගමන් ඉන්ඩකෝ පොඩ්ඩක් කියලා ගේ ඇතුළට ගිහින් ඇවිත් කී බෝඩ් එක ළඟට ඇවිත් බලමු කියලා කිව්වා. ලංකාවේ අති විශාල සංගීතඥයන්, වාදකයන්, ගායකයන් මට හමුවෙලා තියෙනවා. ඒත් මේ තරම් දක්ෂයෙක් මට අදටත් හමු වෙලා නෑ. මම හුස්මක් ගන්න කොට දන්නවා 'පිච්' එක මොකක්ද කියලා. මම එදත් කිව්වේ සරත් මුණසිංහ ලියපු 'ලස්සනට පිපුණ වන මල්' ගීතය. ඊට පස්සේ මට ඔහුත් සමඟ කැන්ඩි ලේක් ක්ලබ් එකේ සින්දු කියන්න යන්න ලැබුණා. ඒ කාලේ ඒකේ සින්දු කියනවා කියන්නේ ගුවන් විදුලියට ගියා හා සමානයි. පළවෙනි දවසේ ඒකෝ දැම්මා. එතනත් කිව්වේ ලස්සනට වන මල් ගීතය. ඒ 1962 දෙසැම්බර් මාසේ. මට තාමත් මැවිලා පේනවා මාව උඩ දාලා පිළිගත් විදිය. එදා රුක්මණී දේවි, එඩී ජයමාන්න, මොහිදින් බෙග් තමයි හිටපු වයසක උදවිය. ඒ. එම්. යූ. රාජ්. මම තමයි අලුත්ම පොඩිම කොල්ලා. නිවේදන කටයුතු කළේ කරුණාරත්න අබේසේකර. මට දැනුණේ මම දිව්‍ය ලෝකේ ගියා වගේ. එඩී ජයමාන්න මාව ඔඩොක්කුවේ තියගෙන දැන්නේ අපට කොල්ලෝ හම්බ වුණේ කියලා කිව්වා මට තාම මතකයි'. මේ ජනපි‍්‍රයත්වයත් සමඟ චන්ද්‍රසේන මාස්ටර් මේ ගීතය පටිගත කිරීමට සැලසුම් කරන්නේය. ගෞරි කෝපරේෂන් හි පැට්‍රික් කුරේරා එවකට ගී තැටි නිෂ්පාදනයේ පෙරමුණ ගත්තෙකි. එවකට තිබූ තැටිගත කිරීමේ අනෙක් ආයතන වූයේ මිලර්ස් සහ කාගිල්ස්ය. නිහාල්ගේ ගීතය ගෞරි කෝපරේෂන්හි තැටිගත කර ගුවන් විදුලියේ කරු අයියාට ලබා දුණි. 'කරු අයියා ගුවන් විදුලියට මේ තැටිය ගෙන ගොස් ප්‍රචාරය කළා. ගුවන් විදුලියට යවනවා කියන්නේ ඉතින් විශ්ව විද්‍යාලයට ගියා වගේ තමයි. 1963 ජනවාරි වගේ තමයි ගීතය තැටිගත කළේ D K R S කියන ලේබලය යටතේ මේ ගීතය කරු අයියා 1963 මාර්තු මාසේ 31 වැනිදා හරියට දවල් 11.20 ට ප්‍රචාරය කළා. ඔහු කියනවා අලුත් ගායකයකුගේ අලුත් ගීතයක් මම ඉදිරිපත් කරන්නේ. මම අද මල් වෙඩිල්ලක් පත්තු කරනවා. මල් වෙඩි කියන ජාතිය උඩ ගිහිල්ලා එළිය දීලා ලස්සන දර්ශනය දීලා නිවිලා යනවා. හැබැයි හොඳට මතක තියා ගන්න මේ පත්තු කරන මල් වෙඩිල්ල සදාකාලිකයි. කවදාවත් හැමදාම අහසේ බැබළෙනවා කිව්වා. කරු අයියාගේ ඒ දැක්ම කොයි තරම් ද කියලා අදයි මට දැනෙන්නේ. අදත් මට හරි සතුටක් දැනෙනවා ඒ ගැන සිහිපත් වෙද්දි. මගේ පළවෙනි සින්දුව 'ලස්සනට පිපුණ වන මල්' ගීතයට වයලින් ගැහුවේ වික්ටර් රත්නායක. ඒ කාලේ ඔහු ආර්. ඒ. චන්ද්‍රසේන ළඟ වයලින් වාදකයෙක්. ඒ ගැන මට වඩා හොඳින් වික්ටර් කියයි. මේ තමයි මම ආපු ගමන. ඒ ගැන මට ආඩම්බරයි. නැවත වතාවක් මම සිහිපත් කරන්නේ මොරටුවෙන් ලැබුණු අභිමානය තමයි මට අරටුවක් වෙන්න හේතු සාධක සැපයුවේ. මේ අභිමානය මට ලැබුණ මේ උපහාරය මට විශාල සතුටක්. ගීයට 55ලස්සනට පිපුණු වන මල් - ගල් පීරන දිය වැල් ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මඟ බලා සුපුන් චන්ද්‍ර දිලී අහසේ තරු නැග එද්දී ඉර බැස යන්නට මත්තෙක් කූඩුව සොයලා |