වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මාලිනියේ ඉන්ද්‍රජාලය -3

මාලිනියේ ඉන්ද්‍රජාලය - 3

ආචාර්ය ශෝමා ඒ. චැටර්ජි වසර 40 ක් පුරා ඉන්දියාවේ සිනමාව පිළිබඳ විචාරයේ නියුතු මාධ්‍යවේදිනියකි. ඇය ආචාර්ය උපාධිය ලබා ගත්තේ සිනමා අධ්‍යයනය සඳහාය. සිය සිනමා විචාර සඳහා 1991 වසරේ ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ ඇය හොඳම සිනමා කෘතිය සඳහා 2002 වසරේදී ජාතික සම්මානයෙන් පුදනු ලැබීය. සිනමාව හා ජනමාධ්‍ය තුළ කාන්තාව පිළිබඳ කෘති 22 ක් ඇය විසින් රචනා කර ඇති අතර කෙටිකතා රැසක් ද නිර්මාණය කර ඇත. ජාතික හා අන්තර් ජාතික සිනමා ජූරි රැසක් නියෝජනය කර ඇති ඇය 2012 වසරේ කල්කටා රොටරි සමාජය මඟින් ජීවිතයේ එක් වරක් පමණක් පිරිනමන SAMMAN සම්මානයට ද හිමිකම් කියන්නීය

ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කිරීමට ඇය වාසනාවන්ත වූ බව ඇත්තය. එසේම මාලනී ෆොන්සේකා චනයෙන් නොව සිය දක්ෂතාවයෙන් නැවත නැවතත් සපථ කළ ඇගේ ප්‍රබල රංගනය එම අධ්‍යක්ෂවරුන් ඇය චරිතයකට තෝරා ගැනීමෙන් තැබූ විශ්වාසය තහවුරු වන අයුරින් ඉටු කළ නිසා ඒ අධ්‍යක්ෂවරුන් ද ගෞරවයට පාත්‍ර වූ බවද සත්‍යක් වන බව නිසි ක්ෂමාලාපයක් සහිතව හෝ සඳහන් කළ යුතුමය.

සමකාලීන ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටතම සිනමාරුවන් අතරින් කෙනකු ලෙස නැඟී සිටි ප්‍රසන්න විතානගේ ලියූ තිරපිටපතක් ඇසුරින් මාලිනී තැනූ 'ස්ත්‍රී' චිත්‍රපටයේ මැගිහාමිගේ චරිතය නිරූපණය කළේද ඇයමය. ස්ත්‍රී අපේ මතකයට ගෙන එන්නේ කුලී රථ රියැදුරකු හා ඔහුගේ ගරාවැටුණු ජගද්දල් නම් කුලී රිය අතර බැඳීයාව පිළිබඳ දිගහැරෙන රිත්වික් ඝටක්ගේ 'අජාන්ත්‍රික්' කෘතියයි. මිනිසුන් හා ද්‍රව්‍ය අතර බැඳීම සනිටුහන් කෙරෙන හැඟීම් හා හිතවත්කම් රිත්වික් ඝටක් ගේ අජන්ත්‍රික් (1958) (ශෝකී මිථ්‍යාව) කෘතියේ පෞද්ගලික අත්දැකීමක අද්විතීයත්වය මනාව ගෙන එයි. සිනමා භාෂාව ඔස්සේ ඝටක් විස්තර කරන්නේ බිමල් නැමැති කුලී රථ රියැදුරා සහ ඔහු විසින් ජගද්දල් ලෙස නම් කරනු ලැබූ, එහි කාලය ඉක්ම ගියද ඉවත් කර දැමීමට නොහැකි බෙහෙවින්ම දිරාපත් පැරැණි රථය අතර ඇති අමුතුම, අත්‍යන්තයෙන් මානුෂීය වූ බැඳීමයි. ස්ත්‍රී කෘතිය කේන්ද්‍ර කර ගන්නේ වයිරා සමඟ මැගිහාමිගේ ඇති කායික, මානසික සහ චිත්තාවේගී බැඳීම වන අතර ප්‍රේක්ෂකයාට එකවරම ඇගේ සිහිබුද්ධිය පිළිබඳ සැකයක් මතුවන්නට ඉඩ නොතබයි. මනුෂ්‍යයකු වන මැගි හාමි සහ සිවුපාවකු වන වයිරා අතර ඇති සම්බන්ධය අමුතුම බැඳීමකි. එහෙත් මාලිනී රංගන ශිල්පිනියක ලෙස මෙන්ම අධ්‍යක්ෂවරිය ලෙස එය ගවේෂණය කරන්නේ එක් අතකින් සාමාන්‍ය ලෙස පෙනුනද අසාමාන්‍ය වූ අයුරිනි.

මගේ වාසනාවට මට දකින්නට ලැබුණු ඇගේ චිත්‍රපට දහය අතරින් වඩාත් සිත් ගත්තේ ස්ත්‍රී සහ ආකාස කුසුම්ය. ප්‍රසන්න විතානගේ ගේ 'ආකාස කුසුම්' හි මාලිනී නිරූපණය කරන්නේ විටෙක ජනප්‍රිය නිළියකව වැජඹී පසුව ගමේ කුඩා නිවෙසක හිඳීමින් රසකැවිලි තනා විකිණීම බඩරස්සාව කරගත්, තමා අතීතයේ ගෙවූ උත්කර්ෂවත් දිවියේ මතක ශේෂයන්වලින් විඳවන බවක් නොපෙන්වන බහු-ස්තරීය චරිතයකි. ඇය පෙම්වතුන් සඳහා නිවෙසේ කාමර කුලියට දෙන්නීය. තම සැමියා විසින් රැගෙන යන ලද තමන්ගේ දියණිය පිළිබඳ නිරන්තර සෙවිල්ලෙන් පසුවන මවකි. අතිශය ජනප්‍රිය තරුවක වී සිටියදී ඇය සතුව තිබිය හැකි වූ මනමෝහනියත්වය සහ දැඩි ආත්ම විශ්වාසය පිළිබඳ හැඟීම බැහැර කළ මාලිනී, සන්ධ්‍යා රාණී ලෙස ආත්මාභිමානයෙන් කළ රංගනයට අමතරව, විතානගේ සංස්ක්ෂිප්තව හා ඉතා සියුම්ව කරන නිර්මාණාංශු ඇයගේ රංගනයෙන් වඩාත් ඉස්මතු කරවයි. ගැහැනියක සතු පූර්ණ රහස්‍යබව සහ විස්මිත හැකියාව සියුම් ලෙස විමසා බැලෙන මාලිනීගේ රූපණය සන්ධ්‍යා රාණිගේ චරිතය තරමටම බහුස්තරීය වෙයි. මේ චරිතය සිහිගන්වන්නේ මූල්‍යමය වශයෙන් දැඩි ලෙස අසාර්ථක වූ 'ප්‍රෝනොයි පාෂා' නම් සිය අවසන් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු ස්වේච්ඡාවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් සැඟවුණු ඉන්දීය සිනමා ශිල්පිනී සුචිත්‍රා සෙන්ය. මේ කෘතියේ මාලිනී ෆොන්සේකාගේ මාහැඟි නිරූපණය වෙනුවෙන් රජත මයුර සම්මානය සමඟ රුපියල් ලක්ෂ පහලොවක මුදල් ත්‍යාගයකින් සහ විශේෂ ජූරි සම්මානයකින් ඉන්දියාවේ IFFI උලෙළේදී පුදනු ලැබීය. මාලිනී පැවසුවේ ආකාස කුසුම්හි ඇයගේ භූමිකාව ඇය කැමතිම චරිත අතරින් එකක් බවය. සන්ධ්‍යා රාණි ලෙස ඇය ආකාස කුසුම් හි රඟ දක්වන චරිතය ඉතාලියේ ලැවැන්තේ අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළිය සම්මානය දිනා ගත් අතර 2009 ආසියා පැසිෆික් සිනමා උලෙළේ හොඳම නිළිය ලෙස නිර්දේශ විය.

චිත්‍රපට 150කින් සුසැදි ඇගේ දිගු නිරූපණ චාරිකාවේදී අධ්‍යක්ෂවරයාගේ අවශ්‍යතා සහ ප්‍රේක්ෂකාගාරයේ අපේක්ෂා ඉටු නොවුණු එකදු කෘතියක් හෝ සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ශ්‍රී ලාංකේය සිනමාවේ විශිෂ්ටතම අධ්‍යක්ෂවරුන් සමඟ කටයුතු කිරීමට ඇය වාසනාවන්ත වූ බව ඇත්තය. එසේම මාලනී ෆොන්සේකා චනයෙන් නොව සිය දක්ෂතාවයෙන් නැවත නැවතත් සපථ කළ ඇගේ ප්‍රබල රංගනය එම අධ්‍යක්ෂවරුන් ඇය චරිතයකට තෝරා ගැනීමෙන් තැබූ විශ්වාසය තහවුරු වන අයුරින් ඉටු කළ නිසා ඒ අධ්‍යක්ෂවරුන් ද ගෞරවයට පාත්‍ර වූ බවද සත්‍යක් වන බව නිසි ක්ෂමාලාපයක් සහිතව හෝ සඳහන් කළ යුතුමය. 1985 පැවැත් වූ 9 වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ දී ධර්මසේන පතිරාජ 1974 නිර්මාණය කළ එයා දැන් ලොකු ළමයෙක් වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීම හුදු ජයග්‍රහණයක් පමණක් නොවේ. එය පැහැදිලි කරන්නේ රංගන ශිල්පිනියක ලෙස දෝමනස්සයට, භීතියට සහ සිනහවට උපන් ශ්‍රී ලාංකේය සහ පෙරදිග පරමාදර්ශී ගැහැනිය නිරූපණයෙහි ලා ඇය සතු නිධන්ගත කුසලතාවයයි. ඇය අන්තර්ජාතික සම්මානයෙන් පිදුම්ලත් ප්‍රථම ශ්‍රී ලාංකීය රංගන ශිල්පිනිය බවටද පත් වූවාය.

සය වැනිවරට පැවැත් වූ බෙංගලූරු අන්තර්ජාතික සිනමා උලෙළේ දී ශ්‍රී ලාංකීය සිනමාවට කළ පූර්ණ දායකත්වය වෙනුවෙන් ඇය 2014දී අභිනන්දන උපහාරයෙන් පුදනු ලැබිණි. එම අභිනන්දනයට ඇය ප්‍රධාන නිළිය ලෙස රඟ පෑ සිනමා කෘති පහක ප්‍රත්‍යාවලෝකන දැක්මක්ද ඇතුළත් විය. ඒ, ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ නිධානය, ධර්මසේන පතිරාජගේ අධ්‍යක්ෂණයන් වන එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත් සහ සොල්දාදු උන්නැහේ, සමඟ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම්ය. උත්සවයට සහභාගී වීමට නොහැකි වූ මාලිනී ඒ බුහුමන් වෙනුවෙන් දැක් වූ ප්‍රතිචාරය වූයේ "මෙමඟින් දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවන් උදාවන" බවය.

ස්තුතියි
2018 වසරේ ජූලි 21 සෙනසුරාදාය.