|
අධ්‍යක්ෂවරු නොදැක චිත්‍රපට හදපුගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු
ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙණිය ආදී ලාංකික සිනමාවේ මහා පතාකයන් එකට රඟපෑ චිත්‍රපටයක් ඔබට මතකද? ඒ ධර්මසිරි ගමගේ නිර්මාණය කළ පූජාය. පූජා නිපද වූයේ ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දුය. නිෂ්පාදකයකු ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වීම අරඹන්නේ කොයි ආකාරයෙන්ද? මම පදිංචි වෙලා හිටියේ ග්‍රෑන්ඩ්පාස්වල. මම පාසැල් ගියේ ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් විද්‍යාලයට. අපේ ගේ ළඟ තමයි ආර්. මුත්තුසාමි මාස්ටර් පදිංචි වෙලා හිටියේ. මම නිතර එහෙ යනවා සිනමාවට සම්බන්ධ වෙන්න ඕනෑ කියලා හිතලා. දවසක් මාස්ටර් මාව සම්පත චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න එක්ක ගියා. හැබැයි මාස්ටර් මට කිව්වේ පුතා හොඳින් ඉගෙන ගන්න. මම චිත්‍රපටයක කාර්මික ශීල්පියෙක් හරි වෙන්න චාන්ස් එකක් අරන් දෙන්නම් කියා. ඔය අතරේ ලන්ඩන් හාමු චිත්‍රපටය කරන කාලයේ අශෝක පොන්නම්පෙරුම නිතර මාස්ටර්ගේ ගෙදර එනවා. දවසක් මගේ තියෙන ආශාව ගැන අශෝක පොන්නම්පෙරුමට මාස්ටර් කිව්වා. අශෝක පොන්නම්පෙරුම කිව්වා මම හොඳ කැමරමන් කෙනෙකුයි, හොඳ සංස්කරණ ශිල්පියෙකුයි හඳුන්වල දෙන්නම් ඉගෙන ගන්න කියලා. කැමරාමන් එම්. ඒ. ගෆූර්වයි, සංස්කරණ ශිල්පී සිරි කේ. විතාරණවයි මට මුණගස්සලා දුන්නා. ඒ වෙනකොට මම ඉස්කෝලෙන් අස් වූ මුල් කාලයේ 1970 විතර. එයාලගේ සුහද පැතුම චිත්‍රපටයේ වැඩට මම ගියා. ඒත් දවස් දෙක තුනක් විතරයි. මට මහ කම්මැලියි. ලයිට් අල්ලන එකයි බෝඩ් අල්ලන එකයි, මට ඒ වැඩේ එපා වුණා. ඊට පස්සේ මම ජාතික හෝටල් පාසලට බැඳිලා නොබැඳි සමුළුවට වැඩ කළා වේටර්වරයෙක් ලෙස. සමුළුව අවසානයත් සමඟ වයික්කාලේ රන්වැලි හෝටලයට මාව යොමු කළා. ඊට පස්සේ ටික කාලයක් රූම් බෝයි හා වේටර් කෙනෙක් ලෙස වැඩ කළා. මේ හෝටලය අයිතිව තිබුණේ රන්ජිත් විජේවර්ධන මහත්තයාට. එතුමාගේ සරති නමින් තිබූ ඒජන්සියක් මඟින් කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මම මැද පෙරදිග ගියා හෝටල් රැකියාවක් සඳහා. එහෙ මම රූම් බෝයි වේටර් ලෙස රැකියාව කරන්න ලැබුණේ ඩුබායිවල හයට් රිජන්සි හෝටලයේ. තරු පන්තියේ හයට් රිජන්සි හෝටලය ඔබේ සිහිනය සැබෑවක් බවට පත් කළා? රුපියල් පහේ බත් පැකට් එක කාලා චිත්‍රපටවල කාර්මික පැත්ත කරන ජීවිතය මට ඇල්ලුවේ නැති නිසාම 1980 වේදී මම මේ හෝටලයේ රැකියාවට ගියත් කවද හරි චිත්‍රපටයක් කිරීමේ ආශාව හිතෙන් ඈත් වුණේ නැහැ. මම හෝටලයේ කළමනාකාරිත්වයට කිව්වා මම මේ රැකියාව කරන්නේ ගෙයක් දොරක් හදාගන්න නෙවෙයි, පිච්චර් එකක් කරන්න සල්ලි හොයා ගන්න කියලා. මට ඒ ආශාව ඉටු කර ගන්න උදව් කරන්න කියලා මගේ අදහස කිව්වම ඒ අය මට පැය විසි හතරම දුන්නා රැකියාව වෙනුවෙන් කැප වෙලා මුදලක් හොයා ගන්න. නියමිත වේලාවට අමතරව මම වැඩ කරලා අමතර මුදලක් සමඟ සල්ලි ටිකක් හොයා ගත්තට පස්සේ මගේ හිතේ තිබුණ ආශාවට කාලය හරි කියලා මට හිතුණා. ඒ පාර මම එහෙ ඉඳලා ධර්මසිරි ගමගේ මහත්තයාට ලියුමක් ලිව්වා මම ළඟ මෙච්චර මුදලක් තියෙනවා, මට හොඳ කලාත්මක චිත්‍රපටයක් කරන්න ඕනේ කියලා. ඇයි ඔබ කුලුඳුලේ නිෂ්පාදනය කරන්න හදන චිත්‍රපටයට ධර්මසිරි ගමගේව තෝරා ගන්නේ? ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මමයි මගේ බිරිය ජසින්තා ප්‍රනාන්දු අපි දෙන්නා 1982 දී බැඳලා මධුසමය ගත කරන්න නුවරඑළියේ ගිහින් නිව් ට්‍රිවෝලි සිනමාහලෙන් මුලින්ම බැලුවේ ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ යස ඉසුරු චිත්‍රපටය. ඒක නිසා මට ආස හිතුණා ඔහුත් සමග චිත්‍රපටයක් කරන්න. චිත්‍රපටය බලල ගෙදර ආපු මම නෝනට කිව්වා මම චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. ඒක මම දෙන්නේ ධර්මසිරි ගමගේ මහත්තයට කියලා. ඒ තරම් ඒ චිත්‍රපටය මට අල්ලල ගියා. එදා ඒ චිත්‍රපටය බලන්නත් ලොකු සෙනඟක් ඇවිත් හිටියා. ධර්මසිරි ගමගේ හා ඔබ අතර පෙර හැඳුනුම්කමක් තිබුණාද? මම දන්නේ නැහැ ඔහු කළු ද සුදු ද කියලවත්. කිසිම හමුවක් ඒ වන තුරුත් අපි අතර සිදු වෙලා තිබුණේ නැහැ. මම ඩුබායිවල ඉඳලා ගමගේ මහත්තයට ලංකාවට ලියුම් ලිව්වා. ඔහු රැකියාව කළේ ලේක්හවුස් එකේ. අපි අතර සියලු ගනුදෙනු වුණේ ලියුම් මඟින්. අලුගෝසුවා කියලා කතාවක් තියෙනවා. ඔයා ළඟ තියෙන මුදලේ හැටියට අපි කළු සුදු චිත්‍රපටයක් කරමු කියලා කිව්වා. මගේ අදහසට නම් යාළුවෝ කැමැති වුණේ නැහැ. ඔබට වෙන්නෙත් බෙල්ලෙ වැලදා ගන්න කියල තමයි කිව්වේ. ඒත් මට වෙනසක් දැනුණු නිසා චිත්‍රපටය කරමු කියලා මම දන්වලා එව්වා. ඔබ නැතුව චිත්‍රපටය පටන් ගත්තා? මම ඩුබායිවල ඉඳලා සල්ලි එව්වා. මගේ බිරිය හා එයාගේ මල්ලි තමයි ලංකාවේ මුදල් හදල් ගැන හොයලා බැලුුවේ. චිත්‍රපටයේ මුහුරත් එක තිබ්බා 1984 දී. ඒ වෙන කොට මගේ බිරියට ලොකු දුව හම්බ වෙන්න හිටියේ. ෂූටින් යන අතරේම තමයි දුවත් ලැබුණේ. ඒ වෙලාවේ චිත්‍රපටයේ ෂූටින් යන වෙලාව. ධර්මසිරි අයියා මට කතා කරලා කිව්වා මේක හොඳ වෙලාවක් මල්ලි, දුවට පූජා ප්‍රියසාදරී කියල නම දාන්න කියලා. මගේ දෙවැනි දුවට නම දැම්මේ මාලිනී ෆොන්සේකා. ඒ දුව උදාරා සංඛනී. දුවල ඕස්ට්‍රේලියාවේ පදිංචි. එහෙ පුරවැසියන් දැන්. දරුවො ලබල එයාල සතුටින් ජීවත් වෙනවා. ධර්මසිරි අයියා මට කිව්වා ඔයාව මම ජීවිතයට දැකලවත් නැති එකේ, මම කවුද කියලවත් නොදැන චිත්‍රපටයට සල්ලි දැම්ම නිසා මේ චිත්‍රපටයෙන් මම ඔයාට නමක් තියල දෙනවා කියලා. මුල්ම චිත්‍රපටය ඔබ නිෂ්පාදනය කරන කොට ආස හිතුණේ නැද්ද ඇවිත් බලල හරි යන්න? චිත්‍රපටයේ ෂූටින් තිබුණා මාස හතරක් විතර. මම සති දෙකක නිවාඩුවක් අරන් ලංකාවට ආවා. ඒ වන කොට වැලිකඩ හිරගෙදර ෂූටින් අළුගෝසුවා ලෙස රඟපෑ ජෝ අබේවික්‍රම මරණයට පත්වන අවස්ථාව රූපගත කරන දවස එදා තමයි මම මගේ චිත්‍රපටය නිෂ්පාදනය කරන අධ්‍යක්ෂවරයා වූ ධර්මසිරි ගමගේ අයියව සැබැවින්ම දකින දවස වුණෙත්. ඊට පස්සේ මම ආයෙත් සති දෙකකින් ඩුබායි ගියා. නැවත මම 1986 දී චිත්‍රපටයේ රිලීස් එකට රැකියාවෙන් අයින් වෙලාම ලංකාවට ආවා. ඔබේ මුල්ම චිත්‍රපට නිෂ්පාදනයෙන්ම ඔබට කියලා ගෙයකුත් හදා ගත්තා? චිත්‍රපටය රිලීස් වෙලා තුන්වන සතියේ විතර පීක් වෙන්න පටන් ගත්තා. දින සීය පැනලා ආරම්භක සිනමා ශාලාවල තිරගත වුණා. ආදායම ඉහළින්ම ලැබුණා. මම ඉඩමක් අරන් ගෙයකුත් හැදුවා මටම කියලා චිත්‍රපටයේ සල්ලිවලින්. මම ළඟ තිබුණ සල්ලි ඉවර වුණාට පස්සේ මම ආයෙත් 1988 දී ප්‍රංශයට ගියා හෝටලයක වේටර් රැකියාව සඳහා. ප්‍රංශයට ගිය ඔබ නැවතත් චිත්‍රපට නිෂ්පාදනයට මුල පුරනවා? 1994 දී මම හේමසිරි සෙල්ලප්පෙරුම සමඟ සඳරේඛා චිත්‍රපටය කළා මම හදපු ගේ බැංකුවට උගස් කරලා. මම ප්‍රංශයේ. මගේ බිරිය තමයි චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු හොයලා බැලුවේ. ඒ චිත්‍රපටයත් ලාබ ලැබුවා. මම චිත්‍රපටයේ මංගල දර්ශනයට තමයි ලංකාවට ආවේ. ඔය චිත්‍රපටය කරන කොටත් මම හේමසිරි සෙල්ලප්පෙරුම දැකල කතාබහ කරලා තිබුණේ නෑ. හැම දෙයක්ම සිදු වුණේ ලියුම් ගනුදෙනු මත. අධ්‍යක්ෂවරයකු නොදැක චිත්‍රපට නිෂ්පාදනයට එක් වන ඔබ පසුව චිත්‍රපට අධ්‍යක්ෂණය වෙත යොමු වන්නට අදහස් කළා නේද? සුදු සලු නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න උත්සාහ ගත්තා. හැබැයි මම ඒකෙන් වැටුණා. ක්ෂේත්‍රය නොදැන දැක්ක පමණින් අධ්‍යක්ෂවරයෙක් වෙන්න ගිහින් මම ඇණ ගත්තා කිව්වොත් හරි. වේදිකා නාට්‍ය නිෂ්පාදනයටත් ඔබ එක් වන්නේ කිසිදු පැකිලීමකින් තොරව? පූජා චිත්‍රපටය කළාට පස්සේ මම ගියා අත් නාට්‍ය බලන්න. කමල් අද්දරආරච්චි මගේ යාළුවා කිව්වා ජයන්ත නාට්‍යයක් කරන්න යනවා පුළුවන් නම් නිෂ්පාදනයෙන් දායක වෙයන් කියලා. ඒ අනුව මම මෝරා වේදිකා නාට්‍ය නිෂ්පාදනය කළා. මේ නාට්‍යය 1987 දී රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේදී සියලුම සම්මාන දිනා ගනු ලැබුවා. ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් යොමු වෙනවා? එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ දුලාරි ටෙලි නාට්‍යයට මම 1996 දී නිෂ්පාදනයෙන් දායක වුණා. ලංකාදීප පත්‍රයේ ගිය දයා රාජපක්ෂ ඇදපු චිත්‍ර කතාවක් වූ දුලාරි මම ගොඩක් ආස කළ කතාවක්. මම කලින්ම දයා රාජපක්ෂගෙන් එය මුදල් ගෙවා අරන් තිබුණා. මම ප්‍රංශයේ ඉන්න කොට එච්. ඩී. ප්‍රේමරත්නගේ සෙයිලම, විසිදෑල ඇතුළු චිත්‍රපට කීපයක් ගෙනත් චිත්‍රපට උලෙළක් පැවැත්වූවා. ඒක අති සාර්ථක වුණා. ඒකේ සතුටට එච්. ඩී. මගෙන් ඇහුවා මම මොකක්ද කරලා දෙන්න ඕනේ කියලා. මම දුලාරි කතාව කිව්වා. එයා කිව්වා චිත්‍රපටවලට මේ කාලය හොඳ නැහැ. අපි මේක ටෙලි නාට්‍යයක් කරමු කියලා. කොටස් දහතුනක ටෙලි නාට්‍යයක් කළා. එකෙනුත් මම ලාභ ලැබුවා. අද කර්මාන්තයේ පිබිදීමත් සමඟ ඔබ ගැන අපිට බලාපොරොත්තු තැබිය හැකිද? සමහර විට, මම අවධියෙන්. මම මුලින්ම පූජා නිෂ්පාදනය කරන කොට මට වයස අවුරුදු 29 යි. අද මට වයස අවුරුදු හැට පහයි. මේ වෙන කොට මම ලෝකයේ රටවල් 44 ක සංචාරය කරලා තියෙනවා. මම චිත්‍රපට නිෂ්පාදනය කළේ රැකියාවක් කරලා හම්බ කරල. අදත් මම රැකියාවෙන් විශ්‍රාම ලබල හිටියත් පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මා ළඟ තියෙන මුදලක් මම දේකට යොදවනවා නම් පස් මහ බැලුම් බලල යොදවන එක තමයි හොඳ කියල මම හිතනවා. අද තියෙන්නේ මට සල්ලි යොදන්න බයක්.
|