වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය මුල්ම කතුවරයා ගැන සටහනක්

මීමන ප්‍රේමතිලක කවියාගේ හෙටට යෙදෙන සියවස් ජන්ම දිනය වෙනුවෙනි...

සරසවිය මුල්ම කතුවරයා ගැන සටහනක්

මා මීමන ප්‍රේමතිලක කවියා දුටුවේ පූර්ව ජ්‍යෙෂ්ඨය පන්තියේ ඉගෙනීම ලබද්දී 'නවීන පද්‍ය රචනය' නම් අපට නියමිත කවි පොතෙනි. ඒ 1961 වසරය. දහ හතර වැනි වියේ පසු වූ මම පන්ති ගුරුවරයා විසින් මීමන කවියා ලියූ 'මිය ගිය දරුවෙක්' (A Dead Child) කාව්‍ය රචනාව කිසියම් රිද්මයකට ගයමින් ඉගැන් වූයේ අපේ හදවත් හි ශෝකී රසය ද්වනිත කරමිනි. ගුරුවරයා කියවන විට මගේ දෑසට කඳුළු නැඟුණේ මා කුඩා කල මගේ අයියා මියගිය අවස්ථාව මතකයට ආ නිසාය.

කවියෙන් දුටු මීමන ප්‍රේමතිලක ජීවමානව මා දැක නැත. 'නවීන පද්‍ය රචනා' පොතේ සංස්කාරකවරයා ද ඔහුය. එදා මා හද බැඳි 'මියගිය දරුවෙක්' කවි පන්තියේ කව් දෙකක් මට තවමත් කටපාඩම්ය.

සමන් පොහොට්ටුවක් බිමයි පිපෙන්නටත් කලින්
හඳත් වැසී තිබේ වලාකුළින් නබෝ ගැබේ
මොකෝ සොබාදමේ පවා මෙසේ විසේසයක්?
හ හා! හ හා! කුඩා බබෙක් නිදයි මිනී වළේ

බුදුන් - දහම් - සඟුන් ළඟින් රැකු නිරන්තරින්
පියම්බිකාවගෙයි මගෙයි දයා බැදුම් ලැබූ
සුනිල් - සරත් - සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අහෝ! කොහේද ඒ ගියේ

මීමන කවියා 'සිළුමිණ'ට 'සරසවිය' පුවත්පත්වලට ලියූ ලිපිවලට මා කෙතරම් ආදරේ කළාදැයි කිවහොත් ඒවා කපා ඩ්‍රෝවින් පොතක අලවා ගතිමි. වරෙක ඔහු ලියූ ලිපියක මෙසේ ලියා තිබුණි.

'පද්‍යය මගේ විවාහක බිරිඳ මෙනි. ගද්‍ය මගේ අනියම් බිරිඳය. ඇන්ටන් චෙකොෆ් මෙන් මා මගේ අනියම් බිරිඳ වෙත ඇදී ගිය බවක් දැනේ. වරක් ඔස්කා වයිල්ඩ් කී පරිදි කවිය නිසා 'මම මීවදයන් හී රස බැලීමි. රෝස මල් පෙති පාගා ගෙන ගියෙමි. රසවතෙක් වීිමි.'

දවසක විවේකයක් ගෙන මිමන කවියා මධු විත පිරෙන තෙක් වයින් බී ග්‍රීක කලාකාරයින් ද ඔමාර් ඛයාම් කවියාගේ දර්ශනය ද ගුත්තිලයෙහි වීණා වාදනය ද මතක් කරවන මේජර් බාවාගේ අලුත්ගමින් හැරී සැතැපුම් පහක් පමණ පිටිසර පිහිටි උද්‍යානයට ගොස් ඇත. මේ ගමන්වලට කැමරා ශිල්පීන් වන නිමල් පෙරේරා අභයවර්ධන, රියන්සි විජේරත්න සහභාගි වී ඇත. මේජර් බාවාගේ උද්‍යානය ගැන ලිපිය මීමන කවියා අවසන් කර ඇත්තේ මෙසේය.

'දවසේ වැඩ හමාර වූ කම්කරුවකු ගෙදර යන්නාක් මෙන් සූර්යයා අවරදිගට යාමර සැරැසෙයි. සන්ධ්‍යාව එළඹෙයි. ඉන් පසු උද්‍යානයයේ කීමෙන් කිමෙක් සිදු වී දැයි මම නොදන්නෙමි.'

(සිළුමිණ - 1961 නොවැම්බර් 12)

මා පාසල් යන කාලේ සඳකඩ පහණ, සමාධි බුදු පිළිමය, ප්ලේටෝ, ශේක්ස්පියර්, සොබා දහම, කොළඹ යුගය කවි ගැන ඉගෙන ගත්තේ ඔහු 'සරසවිය' පුවත්පතට ලියූ රසවත් විශේෂාංග තුළිනි.

ජ්‍යෙෂ්ඨ පන්තියේදී මීමන කවියා, විමල් අභයසුන්දර, විමලේන්ද්‍ර වතුරේගම සහ විමලසිරි පෙරේරා සංස්කරණය කළ 'දෙටු පෙළ සාහිත්‍ය' අපේ අත්පොතක් විය.

ආනන්ද විද්‍යාලයේ උගැනිද්දී මට මීමන කවියා ඉහතින් ලියූ මැණික් තුනෙන් දෙකක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක හා සරත් රවීන්ද්‍ර ප්‍රේමතිලක (හිටපු ක්‍රීඩා කර්තෘ) හඳුනා ගැනීමට හැකි විය.

මීමන කවියා මා හා ප්‍රේමකීර්ති ද අල්විස් පියවි ඇසින් දැක ගත්තේ 1965 ජූනි මාසයේ අවසන් ගමන් ගිය කොළඹ කනත්තේ සුසාන භූමියේදීය. සෙනඟ අතරින් පීරා ඔහුගේ නිසල දේහයට අපි ගෞරවය දැක්වීමු.

මීමන කරුණාරත්න ප්‍රේමතිලක උපන්නේ මීට ශත වර්ෂයකට ඉහත 1919 සැප්තැම්බර් 20 වෙනදාය. එනම් මෙයින් සිය වසකට ප්‍රථම දවසකය. 'සිළුමිණ' පත්‍රයේ ප්‍රධාන කතුවරයා වූ ඔහු 'සරසවිය' පුවත්පතේ ද ආරම්භක කතුවරයාය. 1963 අප්‍රේල් 10 වෙනිදා 'සරසවිය' මංගල කලාපය නිකුත් කර ඇත්තේ පිටපත් 50,000 ක් මුද්‍රණය කරමින් බව වාර්තා වේ. එකල 'සරසවිය' පත්‍රයේ ප්‍රධාන වැඩ පෝර්මන් වූ කර්තේලිස්ට මීමන ප්‍රේමතිලක මහතා හාපුරා කියා ලිපියක් අකුරු ඇමනීමට භාර දෙන අවස්ථාවේ ගත් අගනා ඡායාරූපයක් ලේක්හවුස් පුස්තකාලයේ ඇත. එහි පසෙකින් පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ විමලසිරි පෙරේරා මහතා ද විය. 'සරසවිය' පුවත්පත ඇරැඹුණු හැටි ප්‍රේමතිලක මහතා විසින් ලියූ 'මගේ ප්‍රේමය කලාව සහ ජීවිතය' කෘතියේ මෙසේ සඳහන් වෙයි.

'සරසවිය රංජිත් විජයවර්ධන මහතාගේ අදහසක ප්‍රතිඵලයකි. එහි කර්තෘ පදවියට මා තෝරා ගනු ලැබීය. මට සහයකයකු වශයෙන් විමලසිරි පෙරේරා තෝරා ගන්නා ලදී. නැකතට පළමුවැනි අත් පිටපත වර්ණ සංයෝජකයින්ට යැවූයේ මා නමුත් 'සරසවිය' සම්පූර්ණයෙන්ම පිට කළේ විමලසිරි පෙරේරාය.

රංජිත් විජයවර්ධන මහතා මා කැඳවා මෙසේ ප්‍රශ්න කළේය.

'සරසවියේ පියා ඔබයි. විමලසිරි ගැන හිතන්නේ මොකද?'

'විමලසිරි සරසවියේ ප්‍රධාන කර්තෘ හැටියට පත් කරන්නට තිබුණේ මීට ඉහතදීයි' මම කීවෙමි.

ඒ අනුව සරසවියේ ප්‍රධාන කර්තෘවරයා විමලසිරි පෙරේරායි'

මීමන ප්‍රේමතිලකයන් එකල රැඩිකල් චරිතයක් බව ඔහු ලියූ දේවලින් පෙනේ. යකෙකුටවත් බිය නැති ඔහු තම හැඟීම් නිර්භයව ප්‍රකාශ කර ඇත. වරෙක ඔහු මෙසේ ලීවේය.

එක්තරා අතකින් ඔහු බර්නාඩ් ෂෝ, රූසෝ, චංචාවෝ, ලිංයුටාන්, වොල්ට් විට්මන් මෙන්ම දාර්ශනිකයෙකි. 'අනුනට අත හිත දෙමින්, ඔවුනට නැඟී සිටීමට අව්‍යාජව ඉඩ ප්‍රස්තාව සලසන මිනිසුන් දෙවියන් වහන්සේ විසින් මනුලොව එවනු ලබන්නේ මිනිස් හදවත් පිරිමැද ඔවුන් යළි ස්වර්ගයට ගෙන්වා ගැනීම පිණිසය

'මගේ පුද්ගලික කල්පනාවේ හැටියට ලිංගේන්ද්‍රියන් වසාගෙන සිටීම පවා අස්වාභාවිකය. බොරු කීම අස්වාභාවිකය. අනුන්ට ද්වේෂ කිරීම අස්වාභාවිකය. ඇත්ත සැඟවීම පාපයකි. සාපයකි.

එක්තරා අතකින් ඔහු බර්නාඩ් ෂෝ, රූසෝ, චංචාවෝ, ලිංයුටාන්, වොල්ට් විට්මන් මෙන්ම දාර්ශනිකයෙකි.

'අනුනට අත හිත දෙමින්, ඔවුනට නැඟී සිටීමට අව්‍යාජව ඉඩ ප්‍රස්තාව සලසන මිනිසුන් දෙවියන් වහන්සේ විසින් මනුලොව එවනු ලබන්නේ මිනිස් හදවත් පිරිමැද ඔවුන් යළි ස්වර්ගයට ගෙන්වා ගැනීම පිණිසය.' මේ කියමන මීමන ප්‍රේමතිලක පත්‍ර කලාවේදියාට හැම අතින්ම උචිතය. ඔහුගේ ජීවිතය වසර 47 කට සීමා වූයේ ඒ නිසාය.

මීමන ප්‍රේමතිලකයන්ගේ ලොකු පුතා සුනිල් මාධව පියා මෙන්ම මානව දයාවෙන් පිරි මිනිසෙකි. සුනිල් කවියකු ලේඛකයකු මෙන්ම පත්‍ර කලාවේදියෙකි. ලංකාවේ පාසල් සිසුන් නිර්මාණය කළ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටයේ කතාව ලිවීමට රංජිත් ලාල් හා මා විසින් භාර දුන්නේ සුනිල්ටය. ඒ වනවිට සුනිල් ආනන්දයෙන් සමුගෙන ලේක්හවුසියට බැඳී සිටියේය. ආනන්දයේ අපේ සමකාලීන ශිෂ්‍යයකුව සිටි ප්‍රේමතිලක මහතාගේ දෙවන පුතා සරත් ප්‍රේමතිලක පාසලේ සිටියදීම චිත්‍රපට ළමා නළුවකු ලෙස 'සිකුරු තරුව' චිත්‍රපටයේ රඟපෑවේ එහි ප්‍රධාන නිළිය වූ පුණ්‍යා හීන්දෙනිය සමඟය. ඒ චිත්‍රපටයේ තම දෙමාපියන් හා සොහොයුරිය සමඟ ගේ දොර අතහැර බඩු පොදි කරත්තයක පටවා පයින් අලුත් නවාතැනකට යන දර්ශනය අපට අමතක නොවේ. ඒ දර්ශනය වඩාත් අමතක නොවන්නේ එහි පසුබිමින් නාරද දිසාසේකර ගයන 'ගමන නොනිමෙයි ජීවිතේ මේ පුරුදු ජීවන මං තලේ' ගීිතය නිසාය. ඒ අතීත කතාව මා ඇසූ විට සරත් මතකය අවදි කළේය.

'තාත්තා මිය යන විට මට වයස අවුරුදු පහළොවක් විතර ඇති. එතකොට මම ආනන්දයේ බ්. ඉ. ඛ්. පන්තියේ හිටියේ. තාත්තාගේ හොඳ මිත්‍රයෙක් හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කවියා. සෙනෙවිරත්න අන්කල් දවසක් මම පාසල් ගිහින් එනකොට අපේ පන්නිපිටියේ මහල්වරාව ගෙදර ඇවිත් හිටියා. එදා ඩී. ආර්. නානායක්කාරත් හිටිය කියල මට මතකයක් තියෙනවා. මම ගේ ඇතුළට යනවා මේ දෙන්නා හොඳට බලා හිටියා.

'මීමන 'සිකුරු තරුවේ' පුංචි ළමයෙකුගේ චරිතයක් තියෙනවා. මේ සරත් නම් ඒ චරිතෙට අපූරුවට ගැළපෙනවා.'

සෙනෙවිරත්න අන්කල්ගේ ඒ ප්‍රශ්නයට තාත්තා පිළිතුරක් දුන්නේ නැහැ.

සෙනෙවිරත්න අන්කල් ගියාට පස්සේ තාත්තා මගෙන් මේ ගැන ඇහැව්වා.

'අනේ තාත්තේ මට රඟපාන්න ආස නෑ. මට ඕව තේරෙන්නේ නැහැ.'

තාත්තා මුකුත් කිව්වේ නෑ.

ආයිත් දවසක් සෙනෙවිරත්න අන්කලුයි, ඩී. ආර්. නානායක්කාරයි, ජෝන් අමරතුංග මහත්තයයි අපේ ගෙදර ආවා.

'මොකද? මීමන පුතා කියන්නෙ.'

'එයා රඟපාන්න කැමති නැහැ කියන්නේ' තාත්තා කිව්වා. තාත්තා අපේ ස්වාධීනත්වය අගය කළා. අපිට කිසිවකට බල කළේ නෑ.

'පුතා, ඔයාට රඟපාන්න පුළුවනි. මම පුතාව මගේ පුතෙක් වගේ බලාගන්නම්. ඔයාට ඉන්න තියෙන්නේ මේ අමරතුංග මහත්තයාගේ මීරිගම ගෙදර. මම ඉන්නේ පල්ලෙවෙල. අත ළඟ.'

එහෙම කියන කොට මම රඟපාන්න හිතුවා. අනික රූපගත කිරීම් තිබුණේ ඉස්කෝලෙ නිවාඩු කාලේ. මම සිකුරු තරුවේ පුණ්‍යාගේ මල්ලී ලෙස රඟපෑවා. තාත්තයි අම්මයි මංගල දර්ශනය බලන්න ආවා. රඟපෑම ගැන මුකුත් කිව්වේ නැහැ. ඒ තාත්තගේ හැටි. තාත්තා අම්මට කිව්වලු පුතා හොඳට රඟපාලා තියෙනවා කියලා.'

සරත් කියන්නේ තම පියා කිසි දිනෙක සල්ලි පස්සේ දිව්ව කෙනෙකු නොවෙයි කියාය. කවදාවත් ඉඩම් කඩම් ගැන වුණත් ආසාවක් නොතිබූ බවය.

'තාත්තා දරුවන් පස් දෙනාටම එක ලෙස ආදරෙයි. අයියට, මට වගේම සඳුන්, මල්ලීටත්, රමණී හා මිහිරි නංගිලාවත් වට කරගෙන අම්මත් එක්ක ගත කළ ලස්සන ජීවිතයක් අපට තිබුණේ. සමන් මල්ලි මුලදි මැරුණා. ඒකයි තාත්තා 'සුනිල් - සරත් - සමන් කියා රුවන් තුනක් තිබේ' කියලා කවි පන්තියක ලියලා තිබුණේ. මේ කවි පන්තිය ලියන කාලේ සඳුන් හා රමණී, මිහිරි ඉපදිලා නැහැ. ක්‍රීඩා කර්තෘ මණ්ඩලයේ හිටිය සඳුන් අකාලේ මිය ගියා. තාත්තා ගෙදර ඉන්නකොට ගෙදර පිරිලා. තාත්තා අපි පස් දෙනාට තිබූ ආදරය අනික් දරුවන්ටත් තිබුණා. අපේ ගෙදර අක්කර 3 ක පමණ ඉඩමක්. මේ ඉඩම මැදින් පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට යන කෙටි පාරක් තිබුණා. ඒ නිසා බොහෝ දෙනෙක් ඒ පාරෙන් මිනිස්සු ගියා ආවා. තාත්තා ඒකට ඉඩ දුන්නා.ගමේ මිනිස්සු එක්ක සමාජ මට්ටම්, තනතුරු ගැන නොසිතා ආශ්‍රය කළා. තාත්තා යාළුවන් එක්ක අල්ලාප සල්ලාපයේ යෙදෙන්න ආසයි. අපේ් ගෙදර මිදුලේ ලොකු අඹ ගහක් තිබුණා. ඒ ගහට යට ඉඳන් තාත්තා යාළුවෝ එක්ක කතා කරනවා. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, පී. කේ. ඩී. සෙනෙවිරත්න, පී. බී. අල්විස් පෙරේරා, එච්. එම්. කුඩලිගම, ජෝන් රාජදාස, සෝමවීර චන්ද්‍රසිරි, උපනන්ද බටුගෙදර, විමලසිරි පෙරේරා අපේ ගෙදර නිතර ආව ගිය අය. ඒ කවුරු ආවත් අම්මා කෑම හදනවා.

වසක් කළු පාට රොවර් වර්ගයේ මෝටර් රථයකින් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා අපේ ගෙදර ආවා. තාත්තා එක්ක කතා කර ඉඳලා වත්තේ තාප්පයක උඩ තිබුණ තෝමස් හාඩිගේ නවකතාවක් දැකලා මෙහෙම ඇහැව්වා.

'කවුද තෝමස් හාඩිගේ මේ පොත කියවන්නේ කියලා. මීමන ද?'

'නැහැ. මගේ ලොකු පුතා' තාත්තා කිව්වා.

වික්‍රමසිංහ මහත්තයා අයියාගේ හිස අතගාලා මෙහෙම කිව්වා.

'බොහොම බරපතළ පොතක්. හොඳයි හොඳට කියවන්න'

සරත් අතීත කතාව එසේ විස්තර කළේය.

'සිකුරු තරුව' චිත්‍රපටයෙන් පසු සරත්ට 'පරසතු මල්' චිත්‍රපටයේ ද ළමා චරිතයක් රඟපෑමට අවස්ථාව ලැබී ඇත. ඔහු ඒ සඳහා දින හතරක් ෂූටිංවලට ගොස් තිබේ. ඒ සෑම දිනකම මහා ධරානිපාත වර්ෂා ඇද හැලී ඇත.

'මීට පස්සේ යං මෑන් ඔයා ෂූටිං එනකොට නාල එන්න. මොකද ඔයා ආවදාට වහිනවා' අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකා විහිළුවට කියා ඇත.

සරත්ට රඟපෑම එපා විය. මේ අතර දිනක් ලෙස්ටර් ජේම්ස් පීරස්, විලී බ්ලේක් සමඟ මීමන හමුවීමට පැමිණ ඇත. ඔවුන් සරත්ව 'ගම්පෙරළිය' චිත්‍රපටයේ කුඩා තිස්සගේ චරිතයට තෝරා ගත් බව පැවසීය. එහෙත් මීමන කියා ඇත්තේ 'සරත් චිත්‍රපටවල රඟපෑමට යාම නිසා ඉගෙනීම් කටයුතු අතපසුවන' බවය. ඒ වනවිට පාසලේ අන්තිම කාර්තුවේ සරත් විභාගයට සූදානම්ව සිටියේය. සරත් ගම්පෙරළියේ කුඩා තිස්සට හොඳ යයි ලෙස්ටර්ට රෙකමදාරු කර තිබුණේ පුණ්‍යාය.

'තාත්තා තරම් අව්‍යාජ, සරල, සීමිත සම්පත්වලින් සෑහීමකට පත් වූ මිනිසෙක් මම දැකලා නෑ. මට පෙනෙන්නේ ඔහු ඉන්ද්‍රකීලයක් කියලා. අපිට නිදහස්ව හිතන්න, වැඩ කරන්න ඉඩ ඇරියා. පවුලේ හතර දෙනෙක් පුවත්පත් කලාවට යොමු වුණේ අපේ උත්සාහයෙන්. සුනිල් අයියා, මම, සඳුන් මල්ලියි රමණි නංගි ලේක්හවුසියේ මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියක් ලෙස සේවය කළා. පුංචි නංගි මිහිරි ඉංජිනේරු උපාධිය ඉගෙන ගෙන ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නෙ.'

තම පියා ලේක්හවුසියේ ලොකු මිනිස්සු වගේම පුංචි අයත් එක්කත් එක වගේම ඇසුරු කර ඇත්තේ සහෝදරත්වයෙන් බව සරත් කියයි. 'සිළුමිණේ' දුක්ගන්නා රාළ වූ පියසේන අයියාත්, ෆෝමන් කර්තේලිස්, ලඩ්ලෝ අංශයේ සිල්වා ද සමඟ මල්පැණි බොමින් සතුටු සාමිචියේ යෙදීමට මීමන කතුවරයා සැදී පැහැදී සිටියේලු. රාත්‍රී කාලයේ 'සිළුමිණ' පත්‍රයේ නිදි වරා වැඩ කරන ඔහු පත්‍රය අලුයම මුද්‍රණය කරන තුරු පැදුරන් එළා කර්තෘ මණ්ඩලයේ බිම නිදා ගන්නා අවස්ථා අද ජීවත්ව ඇති පැරැණි අයට නම් මතක ඇති.

මීමන කවියාගේ විවාහයේ සිට මරණය තෙක් සෙවණැල්ල මෙන් සිටි, ඔහුගේ හිතුවක්කාර, දඩබ්බර ගතිගුණ ඉවසමින් ද, ඔහුගේ ආදරය සෙනහස ලබමින් ද දරුවන් රැක ගනිමින් ඔවුන් අද සිටින ඉහළ තත්ත්වයට රැගෙන ආ උතුම් මාතාව, උතුම් බිරිඳ ඇඩ්ලින් මැතිනියයි.